බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ නායකයා ලෙස කෝබියන්ගේ පත්වීම මඟින් මතු කෙරෙන දේශපාලන ප්‍රශ්න

The political issues posed by Corbyn’s election as UK Labour Party leader

2015 සැප්තැම්බර් 14

බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ නායකයා ලෙස ජෙරමි කෝබියන්ගේ පත්වීම ඇඟවුම් කරන්නේ, එරට සමාජයේ කුනුවූ ස්වභාවය පිලිබඳ දැවැන්ත සමාජ නොසතුට හා පිලිකුලයි. එවන් මනෝ ගතීන් බෙදාහදා ගැනීමට නොපුලුවන් වන්නේ, හෘද සාක්ෂියේ නූල්පොටක්වත් ඉතිරිව නැති හෝ පෞද්ගලික ධන සම්පත් සැලකිය යුතු තරම් ගොඩගසාගෙන ඇති අයෙකුට පමනි.

මාග්‍රට් තැචර් හා ටෝනි බ්ලෙයාර්ගේ දේශපාලන උරුමය නියෝජනය කරන්නේ, රටතුල මෙන්ම ඉන් පිටතත් සිටින බ්‍රිතාන්‍යයේ වරප්‍රසාදිත ඉහල සමාජ ස්ථරයන්ගේ මූල්‍ය පරපුටුකම හා සාපරාධිත්වයත් අන් සියල්ලන්ගේ පුලුල් වන සමාජ කාලකන්නිකමත් ය.

එහෙත් දේශපාලන විශ්ලේශනයක් හසුරුවන මූලධර්මාත්මක ගනන් බැලීම් පවතී. දේශපාලන වාතාවරනයේ වැදගත් මාරුවීමක් තුල, කෝබියන් පලමුවෙන් වාසි ලැබූ පුද්ගලයා වුවත්, වර්තමාන රාජ්‍ය කටයුතු සම්බන්ධයෙන් දරන වගකීමෙන් ඔහුට හෝ ඔහු දැන් නායකත්වය දරන පක්ෂයට ගැලවී යා නොහැකිය. එම තත්වය වෙනස්කිරීම ගැන කවර කථා ද?

නායකත්ව මැතිවරනයේ ප්‍රතිපල සැලකිල්ලට ගන්නා කල, අන්තර් සම්බන්ධිත සාධක ගනනාවක් සලකා බැලිය යුතුය. මැයි මාසයේ පැවති මහ මැතිවරනයෙන් ලේබර් පක්ෂය අන්ත පරාජයක් ලැබීමෙන් පසුව යලි සිතා බැලීමේදී ඊට හේතුව ලෙස ඔවුන්ට පෙනී ගොස් ඇත්තේ, තියුනු වියදම් කප්පාදුව, වඩ වඩාත් සංක්‍රමනික විරෝධී පියවර හා මිලිටරි වියදම් ඉහල නැංවීමට ඔවුන් දුන් සහයෝගය හා තම “කප්පාදු ගැති” න්‍යායපත්‍රයට එරෙහිව ප්‍රකාශිත මහජන මතය බවය.

ලේබර් පක්ෂය තවත් දකුනට තල්ලුවීම නතරකරන පැලැස්තරයක් අලවා ගැනීමේ අපේක්ෂාව නායකත්ව තරඟය තුල පැවති බව, තවත් මිලියන ගනනක් දුගී භාවයට පත්කරන කොන්සවේටිව් ආන්ඩුවේ ශුභ සාධන පනත වර්ජනය කල යුතු බවට වැඩබලන නායක හැරියට් හාර්මන් කල අවධාරනයෙන් සලකුනු කෙරින. ඒ වෙනුවට තරඟය මඟින් එලිමහනට ගෙන ආවේ, එවන් පියවර කෙරෙහි කම්කරු පන්තියේ හා මධ්‍යම පන්තික කොටස්වල පවතින විරුද්ධත්වය පිලිබඳ ඇඟවුමකි. එමගින් මුල් සැලැස්ම කඩාකප්පල් විය.

නම්දරා සිටින “වාම” ලේබර් මන්ත්‍රී කෝබියන් කප්පාදු විරෝධියෙක් ලෙස පෙනී සිටිමින් ඡන්දවලින් සියයට 59.5ක් ලබාගැනීමට සමත් විය. එය, සියයට 19ක් ලබා ගත් ඇන්ඩි බර්න්හැම්, 17ක් ලත් ය්වෙට් කූපර් හා 4.5ක් ලැබූ ලිස් කෙන්ඩෝල්ට හිමිවූ ඡන්දවල මුලු එකතුවටත් වැඩි ප්‍රමානයකි.

මෙසේ සිදුවූයේ, සිය “උරුමය” ඉදිරියට ගෙන යන ලෙස යලි යලිත් ඉල්ලා සිටිමින් කල ටෝනි බ්ලෙයාර්ගේ මැදිහත්වීම් වලින් පසුවය. වඩාත් නිවැරදිව කිවහොත් ඊට පින්සිදු වන්ටය. ඔහුගේ මැදිහත්වීම වඩාත් බ්ලෙයාර් වාදියෙක්වූ කෙන්ඩෝල් ලත් නින්දිත පරාජය සහතික කලේය. ලේබර් පක්ෂයේ ඇකිලෙන කටුව තුල පවා නව ලේබර් දක්ෂිනාංශයට සැලකිය යුතු සහයෝගයක් නොලැබීම, පන්ති සම්බන්ධතාවන්ගේ ස්වභාවය පිලිබඳ වඩා පුලුල් පිලිබිඹුවකි.

මෙය හුදු බ්‍රිතාන්‍ය සංසිද්ධියක් පමනකුත් නොවේ. ලෝක වෙනස්කම් ඇඟවුම් කරන 2008 මූල්‍ය කඩාවැටීම, සෑම තන්හිදීම නිල දේශපාලනයේ පාරිශුද්ධ වහන්තරාව ඉරාගෙන ගොස් තිබේ. ආර්ථිකය, සමාජය හා භූ දේශපාලනය ඔස්සේ ලෝක ධනවාදයේ ගැඹුරුවන පොදු අර්බුදය, පාලනයේ සම්ප්‍රධායික යාන්ත්‍රනයන් අස්ථාවර කරමින්, සමාජ හා දේශපාලන නොසංසුන්තා ගිනියම් කරන අතර ධනපති දේශපාලනය පුපුරා යාම් හා භේදයන්ගේ තැනට ඇද දමයි.

සිය දේශපාලන ග්‍රහනය යලි අත්කර ගැනීමට වලි කන ධනේශ්වරය, වඩ වඩාත් නොසංසුන්වන වැඩකරන ජනතාව සිය පාලනයෙන් ගිලිහී තම පාලනයට බරපතල අභියෝගයක් එල්ල කිරීම වලක්වාගැනීමේ දේශපාලන උපාමාරු දැමීමේ නිරතව සිටියි. එක් අතකින් මෙය, ප්‍රන්සයේ ජාතික පෙරමුන වැනි ෆැසිස්ට්වාදී හා ස්වෝත්තමවාදී බලවේගයන් මතුවී ඒමෙන් ද අනෙක් අතට, ග්‍රීසියේ සිරිසාව, ඇමරිකාවේ බර්නි සැන්ඩර්ස් හා බ්‍රිතාන්‍යයේ කෝබියන් වැනි “වාම” බලවේග සමඟ කෙරෙන සෙල්ලමෙන් ද පැහැදිලි කෙරේ.

කෝබියන්ගේ ජයග්‍රහනය තක්සේරු කිරීමේදී සමහර විචාරකයෝ, “පද්ධතියට ඊලඟ කම්පනය ගෙන එමින්, බොල්ෂෙවික්වාදයේ යටි රැවුල සහිත බර්බන් (විස්කි) සඳහා මැතිවරන වෙලඳපොලක්” නිර්මානය කරනු ඇතැයි පවසන, ටෙලිග්‍රාෆ් පත්‍රයේ හිටපු කතෘ චාල්ස් මුවර්ගේ වැනි වචන යොදා ගනිති. ගාඩියන් පත්‍රයේ ඇන්ඩෘ ස්පැරෝ, “මොන පැත්තකින්වත් සිතාගත නොහැකි පරිදි පන්ඩිතයින් පසෙකට දමමින්, ග්‍රීසියේ සිරිසාව මෙන් බලයට පත්වන, කෝබියන් නායකත්වය විසින් මෙහෙයනු ලබන යම් ආකාරයක ආර්ථික ව්‍යසනයක්“ පැනැනඟිනු ඇතැයි කම්පාවට පත්වේ.

එවන් ගනන් බැලීම් වලින් වැඩකරන ජනතාවට තියුනු අනතුරු ඇඟවීමක් නිකුත් කෙරේ. කෝබියන්ගේ ජයග්‍රහනය පසුපසින් නොවරදවාම පැමිනෙනු ඇති උපාමාරු, සම්මුති හා පාවාදීම් මඟින් කම්කරුවන් අන්ධකාරයට තල්ලුවීම වැලැක්වීමට නම් ග්‍රීසිය තුල සිරිසාවේ නින්දිත යටත්වීමෙහි පාඩම් උගත යුතුය.

දේශපාලන සංස්ථාපිතයේ හා මාධ්‍යයේ සමහරුන් දැන් කථාකරන, බ්‍රිතාන්‍යයේ දේශපාලන භූ තලය වෙනස්කල හැකි මැතිවරන “භූ කම්පනයක“ බිහිසුනුකම පිලිබඳ තැතිගැන්මට හේතුව, කෝබියන් නොව, ඔහුට ආන්බාන් කරගත නොහැකිවනු ඇතැයි ඔවුන් බිය වන නැඟී එමින් තිබෙන මහජන ව්‍යාපාරයයි.

කෝබියන්ගේම ඉතිහාසය අවස්ථාවාදී සුලු ධනපති දේශපාලනය තුල ගිලී ඇත. ලේබර් පිලිවෙතේ ක්ෂේත්‍රයන්ට එරෙහිව ඔහුට ලැබුන සියලු ඡන්ද, ලේබර් පසුපෙලෙහි සිටිමින් වසර 32ක් තිස්සේ කීකරු ලෙස පක්ෂය ආරක්ෂා කිරීම වෙනුවෙන්ය.

නමින් හැර එහි දේශපාලනයෙන්, සංවිධානයක් ලෙසින් හා එහි සංයුතියෙන් ටෝරි වන ලේබර් පක්ෂය, කම්කරු පන්ති අරගලයේ මෙවලමක් බවට පත්කරගත හැකි යයි කිසිවෙකුටත් බැරෑරුම් ලෙස කියා සිටිය නොහැකිය. බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය පටන් ගත්තේ ටෝනි බ්ලෙයාර් සමඟ නොවේ. එය වනාහි සියවසකටත් වැඩි කාලයක් තිස්සේ පරීක්ෂාවට ලක්වී ඇති බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ හා එරට රාජ්‍ය යාන්ත්‍රනයේ උපකරනයකට නොඅඩු ධනපති පක්ෂයකි. ක්ලෙමන්ට් ඇට්ලි, ජේම්ස් කැලහන් හෝ ජෙරමි කෝබියන් විසින් නායකත්වය දෙනු ලැබුව ද එහි හරය නොවෙනස්ව පවතී.

මෙම ආස්ථානයෙන් සලකන කල පත්වීමෙන් ඉක්බිතිව කෝබියන් කල අවධාරනය, එනම් සියල්ලටත් වඩා පක්ෂයේ එකමුතුව වැදගත්ය යන්න, කාලයාගේ ඇවෑමෙන් සනාථවී තිබෙන පරිදි බ්‍රිතාන්‍ය තුල සමාජවාදයේ ප්‍රමුඛ දේශපාලන විරුද්ධවාදියා වන එම පක්ෂයේ සහයෝගිතා පිලිවෙත පිලිබඳ ප්‍රකාශයකි.

එසේම පත්වීමත් සමඟම සමාජවාදී කම්කරු පක්ෂය හා සමාජවාදී පක්ෂය වැනි බ්‍රිතාන්‍යයේ ව්‍යාජ වාම කන්ඬායම් කෝබියන්ගේ නායකත්වයෙන් යුත් කම්කරු පක්ෂයට සිය කීකරු සහාය පලකලහ. සිරිසාව සිදුකල පාවාදීම වසංකර එයට පහසුකම් සැපයූ ඔවුන් දැන් සූදානම් වන්නේ, අලුත් පාවාදීමකටය. ඒ “පහල මට්ටම, පාර්ලිමේන්තුවෙන් පිටත“ ව්‍යාපාරය සමඟ සම්බන්ධවීම වැනි කඩතුරාව යටතේය. එය දැන් සිදුවන්නේ නව ලේබර් නායකත්වය යටතේ බව ඔවුන් කියා සිටියි.

කෝබියන්ගේ පත්වීම පුලුල් සමාජ විරෝධයක ප්‍රකාශනය වන තාක් දුරට එය, විප්ලවවාදී විකල්පයක් ගොඩනැඟිය නොහැකි යයි කියා සිටින ව්‍යාජ වමේ ප්‍රකාශ බොරු කරයි.

කම්කරු පන්තිය මුහුනදෙන වඩාත් මූලික ගැටලුව වන්නේ, කෝබියන්ගේ හෝ ලේබර් පක්ෂයේ සීමාසහිතකම නොවේ. පවතින සමාජ සම්බන්ධතාවන්ගේ යථාර්තය මේ මඟින් සලකුනු කරනවා පමනි.

ආර්ථික, සමාජ හා දේශපාලන ජීවිතය වටකරගත් මූල්‍ය අධිකාරීන්ගේ ගල ග්‍රහනය බිඳ දමන කම්කරු පන්තියේ දැවැන්ත සමාජ අරගලයකින් තොරව, ධන සම්පත් යලි බෙදාහැරීමක් සඳහා බලපැමක් කල හැකි යයි, විශේෂයෙන්ම ග්‍රීසියේ සිදුවීම් වලින් පසුව, යමෙකුට බැරෑරුම් ලෙස සිතාගත හැකි ද? බ්ලෙයාර් හා එවැනි තවත් දේශපාලඥයින් මෑත සතිවල කල ප්‍රකාශ, කිසිදු ප්‍රතිපත්ති වෙනසක් කෙරෙහි පල වන පාලක පන්තියේ දරුනු ප්‍රතිරෝධය පිලිබඳ සුදුමැලි පිලිඹිඹුවක් පමනි.

තීරනාත්මක ප්‍රශ්නය වන්නේ, කම්කරු පන්තියේ අව්‍යාජ ස්වාධීන ව්‍යාපාරයක් ගොඩනැඟීම පිලිබඳ කාරනයයි. බ්‍රිතාන්‍ය තුල ඒ සඳහා සටන් වදින්නේ සමාජවාදී සමානතා පක්ෂය පමනි. වාතාවරනය පිලිබඳ වෛෂයික තර්කනය මත පදනම්ව සසප, නොවරදවාම එලඹෙන සමාජ අරගලයන්ට සූදානම් වන අතර සමාජවාදී විප්ලවයේ ක්‍රියාමාර්ගය විස්තාරනය කරයි.

ජූලි හයිලන්ඩ්

Share this article: