ඕස්ට්‍රේලියාව තුල තවත් අභ්‍යන්තර කුමන්ත්‍රනයක්

Another palace coup in Australia

2015 සැප්තැම්බර් 16

14දා පැය කිහිපයක් තුල පාලක ලිබරල් පක්ෂයේ නායකයා හා ඔස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට් බලයෙන් පහ කර මැල්කම් ටර්න්බුල් බලයට පත් විය. එදින උදෑසන වන විට ඕස්ට්‍රේලියානු ජනතාවට දැකගත හැකි වූයේ, පස් වසරක් තුල තෙවන වතාවටත් තමන්ගේ පිටුපසින්, බලගතු ව්‍යාපාරික අවශ්‍යතා මුල්කරගෙන ක්‍රියාත්මක වන බල අරගලයේ කුඩා කල්ලියක් විසින් දියත් කල නින්දිත කුමන්ත්‍රනයක හා උපාමාරුවක ප්‍රතිපල වශයෙන් ආන්ඩුව වෙනස්කර ඇති බවයි.

2010 ජූනි මාසයේදී එවකට ලේබර් අගමැතිව සිටි කෙවින් රඩ් පක්ෂ අභ්‍යන්තර කුමන්ත්‍රනයකින් බලයෙන් පහ කෙරුනි. වසර තුනකට පසුව ඔහු, ඇබට් බලයට පත් කල 2013 මැතිවරනයට සති කිහිපයකට පෙරාතුව, සිය අනුප්‍රාප්තිකයාව සිටි ජූලියා ගිලාඩ්ට එරෙහිව එම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියම සැලසුම් කලේය. රඩ්ට එරෙහි කුමන්ත්‍රන මෙහෙයුමේදී, චීනයට විරුද්ධ ඇමරිකානු කුමන්ත්‍රනයන් සමඟ මුලුමනින්ම පෙල ගැසීමට ඔහු අසමත් වීම කෙරෙහි වොෂින්ටනයට පැවති සතුරුකම සමඟ සම්පාතවූ බලගතු ලේබර් පක්ෂ කන්ඬායමික අවශ්‍යතා ක්‍රියාත්මක විය.

ඕස්ට්‍රේලියාව තුල අභ්‍යන්තර කුමන්ත්‍රන පිලිබඳ ප්‍රවනතාවය පිලිබිඹු කරන්නේ, ධනපති ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැපවූ ආයතන හා නිල පක්ෂවල කුනුවීමයි. ලේබර්, ජාතික, ලිබරල් හා හරිත යන සියලු ප්‍රධාන දේශපාලන පක්ෂ අති මහත් බහුතර ජනතාවගෙන් මුලුමනින්ම පාහේ වියෝවී ඇත. එය වනාහි, වැඩකරන ජනතාවගේ රැකියා, වැටුප් හා ජීවන තත්වයන්ට දශක ගනනාවක් තිස්සේ එල්ල කල ප්‍රහාරයන්හි ද ජනගහනයේ සුලු පිරිසක් අත ඉමහත් ධනස්කන්ධයක් එක්රැස් වීමේ ද ප්‍රතිවිපාකයයි.

දෙවන ලෝක යුද්ධයේ පටන් ඔස්ට්‍රේලියානු දේශපාලනයේ අධිකාරය දැරූ ලේබර් හා ලිබරල් පක්ෂ, පිරිහෙන සාමාජික සංඛ්‍යාවන් සහිත ස්වයං සේවක නඩ හා ඔවුන්ගේ පරිවාරකයින්ට සීමාවූ හිස් කෝම්බ බවට පත්ව ඇත. ලේබර් පක්ෂයේ 54,000ක් ද ලිබරල් පක්ෂයේ 70,000ක් ද පමන වන ලියාපදිංචි සාමාජිකත්වය වුව ද දේශපාලන කටයුතු වලට සම්බන්ධවන තුනී කොටස් වලට කිසිදු සම්බන්ධයක් දරන්නේ නැත.

මෙම කුනුවූ හා පරිහානිගත දේශපාලන වාතාවරනයට පින්සිදු වන්නට, පුද්ගල දේශපාලඥයින්ට හා බල අරගලයේ තැරැව්කරුවන්ට, ජාතික දේශපාලනයේ ප්‍රතිපල වල පල්ලට හරිමින්, ඔවුන්ගේ පක්ෂ පසුපෙලේ කැරැල්ලක් පිලිබඳ බියකින් තොරව, එක් රැයකින් අගමැති පහ කිරීමට අවස්ථාව හිමිව තිබේ. එවන් ක්‍රමෝපායන්ගේ පිහිට පැතීම, 2008 ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසුව උත්සන්නවී ඇත. ග්‍රීසියේ හා ඉතාලියේ ජනතා කැමැත්තකින් තොරව, මූල්‍ය ප්‍රාග්ධනයේ කප්පාදු නියෝග ක්‍රියාත්මක කිරීම පිනිස නොයෙකුත් අවස්ථාවල තාක්ෂනවේදී ආන්ඩු පිහිටුවා ඇත. මුල් අදියරේදී ඔස්ට්‍රේලියානු ඛනිජ අපනයන සඳහා ඉල්ලුම මඟින් ජාත්‍යන්තර ආර්ථික කඩාවැටීමේ පූර්න බලය යම් ආකාරයකට වසංවී පැවතුන ද චීනයේ මන්දගාමිත්වය හා පහත වැටෙන පාරිභෝගික මිල ගනන් දැන් රටේ ආර්ථිකයට දැඩි ප්‍රහාරයක්වී තිබේ.

වැඩකරන ජනතාවට එරෙහිව සිය කප්පාදු න්‍යායපත්‍රය ක්‍රියාවට නැඟීමට ඇබට් ආන්ඩුව දැක්වූ අසමත්කම නිසා ඉච්ඡා භංගත්වයට පත් මහ ව්‍යාපාරිකයේ බලගතු කොටස්, එම කර්තව්‍ය ඉටුකර ගැනීම සඳහා ටර්න්බුල් වෙත හැරී තිබේ. හිටපු ගෝල්ඩ්මන් සැක්ස් බැංකුකරුවෙක් වන ඔහු, මූල්‍ය ප්‍රාග්ධනයේ අවශ්‍යතා පිලිබිඹු කරයි. ඇබට් ලිබරල් පක්ෂයේ කොන්සවේටිව් පිලට නායකත්වය දෙමින් දක්ෂිනාංශික ජනතාවාදියෙකු ලෙස පෙනී සිටි අතර ටර්න්බුල්, දේශගුනික විපර්යාස හා සමලිංඟික විවාහ වැනි ප්‍රශ්න මත ඉහල මධ්‍යම පන්ති කොටස් වලට “ප්‍රගතිශීලී” ආයාචනා ඉදිරිපත් කිරීමට උත්සාහ කර තිබේ.

ඔස්ට්‍රේලියාව “ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ කුමන්ත්‍රන අගනුවර” ලෙස නම්කරමින් බීබීසී සේවය ඊයේ, ජාත්‍යන්තර මාධ්‍ය තුල පල වන එවැනිම ප්‍රතිචාර ප්‍රචාරය කල අතර ආර්ථික අර්බුදය හා දේශපාලන කලබැගෑනි සෑම රටකම සාමාන්‍ය බවට පත්ව තිබේ. වැඩකරන ජනතාවගේ ජීවන තත්වයන්ට විනාශකාරී ප්‍රහාර එල්ල කිරීම ද ප්‍රතිවාදී කන්ඩායම් වලට එරෙහිව සිය පාර්ශවීය අවශ්‍යතා ඉදිරියට ගෙනයාමේදී ද පාලක පන්තීහු, වඩ වඩාත් විවෘතව ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රමවේදයන්ගේ පිහිට පතති.

2016 ඇමරිකානු ජනාධිපතිවරන ව්‍යාපාරය මෙහිදී කැපී පෙනෙයි. එය, අපේක්ෂකයින් මිලට ගත් හා ගෙවීම් කරනු ලබන මිලියනපතියන් හා කෝටිපතියන් අතර තරඟයක් දක්වා ලඝුවී ඇත. ප්‍රාථමික වටයන්ට සහභාගී වීමට පවා, අවශ්‍ය කෙරෙන ඩොලර් මිලියන ගනන් සම්පාදනය කරන්නේ ඔවුන්ය. දේශපාලන බලල් අතක් යොදා නොගෙන තනිවම තරඟයට ඉදිරිපත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් කෝටිපතියෙකි.

දිගු කලක් තහවුරුවී සිටින සංස්ථාපිත පක්ෂවල පරිහානිය හා පරිපූර්න කඩා වැටීම අනෙකුත් තැන්වල ධනපතියන්ට, කම්කරු විරෝධී න්‍යායපත්‍රය ක්‍රියාත්මක කිරීමට නව දේශපාලන යාන්ත්‍රනයන් වෙත හැරීමට බලකෙරී ඇත. මෙම තත්වය තුඩුදී ඇත්තේ, ප්‍රන්සයේ ජාතික පෙරමුන වැනි අන්ත දක්ෂිනාංශික හා ග්‍රීසියේ සිරිසා වැනි ව්‍යාජ වාම සංවිධාන ද යන දෙවර්ගයේම නව දේශපාලන මෙවලම් පුම්බා පෙරට ගැනීමටය.

බ්‍රිතාන්‍යයේදී ජෙරමි කෝබින් “වාම” දේශපාලන ආරක්ෂක කාපාටයක් ලෙස පුම්බන අතර ලේබර් පක්ෂයේ නායකයා ලෙස ඔහුගේ පත්වීම නිල දේශපාලනයේ කුනුවීම හෙලිදරව් කර ඇත. තනතුර සඳහා ඉදිරිපත්වූ කෝබින්ගේ දැවැන්ත ජයග්‍රහනයත් ඔහුගේ බ්ලෙයාර්වාදී වෙලඳපොල ගැති විරුද්ධවාදීන්ගේ අන්ත පරාජයත්, සමස්ත දේශපාලන සංස්ථාපිතය කෙරෙහි ද එහි කප්පාදු වැඩසටහන කෙරෙහි ද වැඩකරන ජනතාවගේ බුර බුරා නැඟෙන විරුද්ධත්වය පිලිබඳ සිහින් සලකුනක් පමනි.

මේ සතිය තුල කැන්බරාහි ඇතිවූ කැලඹීම් සලකුනු කරන්නේ, සියලු මහ ව්‍යාපාරික ධනපති පක්ෂ වලින් කම්කරු පන්තිය සිය දේශපාලන ස්වාධීනත්වය අත්කර ගැනීමේ අවශ්‍යතාවයි. ආන්ඩු ප්‍රතිසංවිධානය කිරීමේදී ලේබර් මෙන්ම ලිබරල් පාර්ලිමේන්තු මන්ත්‍රීන්, අති මූලික ප්‍රජාතන්ත්‍ර ප්‍රතිමාන පවා මුලුමනින්ම නොතකා හරිමින් එවන් කුමන්ත්‍රන හා උපාමාරු වෙත යොමුවීම අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතුය. ව්‍යාපාර හා මූල්‍ය අධිකාරීන් විසින් ඉල්ලා සිටිනු ලබන තියුනු කප්පාදු වලට එරෙහිව සටන් වැදීමට පෙරට ඇදෙන කම්කරු පන්තියට විරුද්ධව යොදාගනු ඇති රුදුරු පියවර එමඟින් අපේක්ෂිතය.

කම්කරු පන්තියට සිය සමාජ අවශ්‍යතා හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් රැකගත හැකි එකම මාර්ගය, පුලුල් වන සමාජ අසමානත්වයේ, මර්දනයේ හා යුද්ධය කරා තල්ලුවේ උල්පත වන ලාභ සූරාකෑමේ පද්ධතිය පෙරලා දැමෙන සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනම මත ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැඟීම පමනි. එවන් ක්‍රියාමාර්ගයක් සඳහා සටන් වදින එකම පක්ෂය සමාජවාදී සමානතා පක්ෂය පමනි.

පීටර් සිමන්ඩ්ස්

Share this article: