ස්ලැවෝ ජිජැක්: ව්‍යාජ-වමේ සිට නව දක්ෂිනාංශයට- ලෝක සමාජවාදී වෙබ් අඩවිය

 

ස්ලැවෝ ජිජැක්: ව්‍යාජ-වමේ සිට නව දක්ෂිනාංශයට

Slavoj Žižek: From pseudo-left to new right

පීටර් ෂ්වාට්ස් විසිනි, 2016 පෙබරවාරි 8

ඉතිහාසඥ ජෝජ් බබරොව්ස්කි, සමාජ විද්‍යාඥ රුඩිගර් සෆ්රාන්ස්කි හා පීටර් ස්ලොටර්ජික් නම් දාර්ශනිකයා ඇතුලු සරනාගතයින්ට එරෙහි ව උද්ඝෝෂනයේ යෙදෙන ජර්මානු මහාචාර්යවරුන්ගේ ගොඩට ස්ලොවීනියානු දාර්ශනික ස්ලැවෝ ජිජැක් ද එක්වී ඇත. පශ්චාත්-නූතනවාදයේ ප්‍රමුඛ ප්‍රකාශකයා හා මනෝ විශ්ලේෂක ජැක් ලකාන්ගේ බැතිමතෙක් වන මොහු, සතිපතා පලවන ඩර් ස්පීගල් පුවත්පතේ ජනවාරි 16 සංස්කරනයේ, තම සගයන්ගේ ලිපි ලේඛන පරයා යන්නා වූ පන්ති උද්ධච්ඡ කම, නො සැඟවූ වර්ගවාදය හා ශක්තිමත් රාජ්‍යයක් සඳහා ආයාචනා කරන ලිපියක් පලකොට ඇත. ජනවාරි 27 දා ඩී වෙල්ට් දිනපතා පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාවක දී ජිජැක්, ඩර් ස්පීගල්හි ඉදිරිපත් කල අදහස් වර්ධනය කලේ ය.

දීර්ඝ කාලයක් පුරා ධනවාදයට විරුද්ධ හා සමහර විට “මාක්ස්වාදියෙක්" හා “පශ්චාත්-මාක්ස්වාදියෙක්" ලෙස පෙනී සිටීමට උත්සාහ දරා තිබෙන ජිජැක්, එනිසා ම විවෘත දක්ෂිනාංශිකයෙක් ලෙස මතුවීම විශේෂයෙන් අර්ථභාරී ය. බුද්ධිමතුන්ගේ හා අර්ධ-බුද්ධිමතුන්ගේ ව්‍යාජ-වාම කව තුල ගෞරවයට පාත්‍ර ව සිටින ජිජැක්, ඔවුන් ආකර්ශනය කරගෙන සිටියි. මහාචාර්ය තනතුරු හා ආරාධිත මහාචාර්ය තනතුරු මෙන් ම ජාත්‍යන්තර සම්මන්ත්‍රන හා දේශනවල කතා කිරීම සඳහා ගනන් නැති ආරාධනා ද ඔහුට ලැබී ඇත. බර්ලින්හි මාක්ස්21 කොංග්‍රසය ඇතුලු බොහෝ සිද්ධිවල දී ව්‍යාජ-වාම ජාත්‍යන්තර සමාජවාදී ප්‍රවනතාවේ ප්‍රකාශකයෙක් හා බ්‍රිතාන්‍යයේ සමාජවාදී කම්කරු පක්ෂයේ නායක ඇලෙක්ස් කැලිනිකෝස් සමඟින් ඔහු පෙනී සිට ඇත.

ඩර් ස්පීගල් ලිපිය තුල පීඩිතයන් හා අඩු වරප්‍රසාදිතයන් කෙරෙහි පවතින වෛරය හා අවඥාව, ජිජැක් ඔහේ වමාරයි. “පීඩිතයන්ගේ සැනකෙලිය" නමැති ඔහුගේ ලිපිය මෙසේ කූටප්‍රප්ත වේ: “‘පහල පන්තිවල' සාම්ප්‍රදායික ලක්ෂනයක් වන්නේ දුර්වල සතුන්, කාන්තාවන් ආදීන් කෙරෙහි පවතින කෲරත්වය යි."

සියලු දක්ෂිනාංශික ප්‍රචාරකයන් මෙන් ජිජැක් ද සමස්තයක් ලෙස සමාජ හෝ වාර්ගික කන්ඩායම්වලට අවලාද නැගීමට සැබෑ හෝ ගොතන ලද තනි සිද්ධි ඩැහැ ගන්නේ සත්‍ය කරුනු නො තකා හරිමිනි. නාසීන්ගේ යුදෙව්-විරෝධී රචනා තුල කුප්‍රකට මෙම විධික්‍රමය මෙවර යොමුවන්නේ යුදෙව්වන්ට නො ව දැන් ඉලක්කය වන මුස්ලිම්වරුන්ට එරෙහිවය.

ජිජැක්ගේ පරිභවයේ ආරම්භය වන්නේ, “පහත් පන්තිකයන්ගේ පිලිකුල් කටයුතු සැනකෙලියක්" ලෙස හෙතෙම වර්ග කරන, අලුත් අවුරුදු උදාවේ කොලෝන්හි සිද්ධීන් ය. සංක්‍රමනිකයන්ට හා මුස්ලිම්වරුන්ට එරෙහි ව උන්මත්තක ප්‍රචාරයක් අවුලුවාලීම පිනිස මාධ්‍ය විසින් කොලෝන් සිද්ධීන් ක්‍රමානුකූල ව පුම්බා දක්වනු ලැබේ. බොහෝ සෙයින් මත්පැන් භාවිතා වන එවැනි මහජන හමුවක දී සාමාන්‍යයෙන් සිදුවන දේවලට වඩා කිසිවක් එහි දී සිදු ව ඇති බවට මේ දක්වා සාක්ෂි නැත.

එහෙත් දේවල් තවත් දිග්ගැස්සවීමෙන් එය ජිජැක් නො වලක්වයි. සිද්ධියට සංක්‍රමනිකයන් මුලුමනින් වගකිව යුතු යයි දැක්වීමටත් “ඉච්ඡා භංග තරුන සංක්‍රමනිකයන්" ෆැසිස්ට්වාදීන් ලෙස හෙලා දැකීමටත්, ජිජැක්, ක්වෙන්ටින් ටරන්ටිනෝගේThe Hateful Eight (ද හේට්ෆුල් එයිට්) චිත්‍රපටයේ අන්තගාමී මධුපානෝත්සව සමග කොලෝන් සිද්ධීන් සංසන්දනය කරයි.

සරනාගතයින්ගේ ඉරනම කෙරෙහි පවත්නා අනුකම්පාවෙන් ප්‍රකම්පනයට පත් නො වන ලෙස ඔහු යලි යලිත් ඩර් ස්පීගල් පාඨකයන්ට අනතුරු අඟවයි. “බොහෝ සරනාගතයින්, අඩු හෝ වැඩි වසයෙන්, විනාශ කරන ලද රටවලින් පලා ආ අය වුවත් එම කරුන, නින්දිත ආකාරයෙන් හැසිරීමෙන් ඔවුන් නො වලක්වයි." “යමෙක් පහල ම මට්ටමේ සිටී ය යන්නෙන් ඔවුන් ස්වයංක්‍රීය ව සදාචාරයේ හා සාධාරනයේ හඬක් බවට පත් වේ යයි ගම්‍ය නො වේ."

“ආශාවේ, සතුරුකමේ හා වෛරයේ දුෂ්ට චක්‍රයට" - ජිජැක් මේවා මුලුමනින් සංක්‍රමනික තරුනයනට ආරෝපනය කරයි- පිටුපස “ගෝලීය සහෝදරත්වයේ කිසිදු ගැඹුරු මානව හරයක්" පවතින්නේ යයි උපකල්පනය කිරීම “බොලඳ මානවවාදී පාරභෞතිකවාදයේ කොටසක්" යයි ජිජැක් කියයි.

කොලෝන් සිද්ධිය ලඝු කිරීමට තම සම්පත් යොදා ගන්නා, “දේශපාලනික ව නිවැරදි ලිබරල් වාමාංශයට" විරුද්ධ ව කෝපවන ඔහු, “සංක්‍රමනිකයන් දැනුවත් කිරීමට ගන්නා උත්සාහයන් ලොමු දැහැගන්වන මෝඩකමක්" ලෙස හඳුන්වයි. ඔවුන් කොලෝන්හි දී හැසිරුනේ නො දැනුවත් කම නිසා නො ව “අපගේ සංවේදීතාවන් දූෂනය කිරීමට" අවශ්‍ය නිසා ය.

තමන්ගේ එක් ආකර්ශනීය චරිතයක් වන ප්‍රන්ස දාර්ශනිකයෙක් හා මාඕවාදියෙක් වන ඇලෙන් බදියු අනුයමින් ජිජැක්, මනුෂ්‍යවර්ගයා “ වර්ග තුනකට" බෙදයි: බටහිර, ශිෂ්ටාචාරගත, ධනේශ්වර-ප්‍රජාතන්ත්‍රවාදී පුරවැසියා; බටහිරට අයත් නො වන එහෙත් බටහිරට පවතින ආශාව මගින් මඩනා ලද අය හා අවසන් වසයෙන් බටහිරට පවත්නා වෛරය මාරක ස්වයං-විනාශකාරී වෛරයක් බවට පරිවර්තනය වන මානසිකත්වයක් සහිත ෆැසිස්ට්වාදී නාස්තිකවාදීන් යන තුන්ගොල්ල ය ඒ.

මෙම ව්‍යාපෘතියේ විජිතවාදී මොඩලය ඇති තරම් පැහැදිලි ය. එක් පසෙක සිටින්නේ, ශිෂ්ටාචාරගත බටහිර හා “බටහිරට පවතින ආශාවෙන් පෙලෙන දේශීය ප්‍රභූන් ය. අනෙක් පසින්, රඩ්යාඩ් කිප්ලිං විසින් “සුදු මිනිසාගේ වගකීම" ලෙස හැඳින්වූ, දේශීය ප්‍රභූන්ගේ සහයෝගය සහිත ව බටහිර අනසක යටතට ගත යුතු ම්ලේච්ඡ ගෝත්‍රිකයන් සිටී. මෙවැනි සංකල්පවල බැනරය යටතේ, පසුගිය වසර 150 තුල, අධිරාජ්‍යවාදය කිව නො හැකි තරමේ අපරාධ සිදුකොට මිනිසුන් මිලියන ගනන් සමූලඝාතනය කලේ ය.

ඩී වෙල්ට් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේ දී ජිජැක් සවිස්තර ව පැහැදිලි කල පරිදි ඔහුගේ ප්‍රායෝගික නිගමන යන්නේ මේ දිශාවට ය. ඕනෑම පෙගිදා රැලියක දී ඔහුට අත්පොලසන් දෙනු ඇත්තේ අන්ත දක්ෂිනාංශික ජර්මනිය සඳහා විකල්පය (ඕල්ටනේටිව් ෆෝ ජර්මනි) පක්ෂයේ සාමාජිකත්වය සඳහා සුදුසුකම් ලබා දෙමිනි.

“එහි පැමිනෙන මුස්ලිම්වරුන් යුරෝපීය වටිනාකම්වලට ගරු කල යුතු යයි යුරෝපය විසින් අන කිරීම" අවශ්‍ය බව කී ඔහු “වරද පිලිබඳ හැඟීමක් නිසා වාමාංශයේ සමහරුන් ඉල්ලා සිටින පරිදි යුරෝපයට නිකම් ම තම දේශසීමා විවෘත කල නො හැක" යි කීවේ ය. ඒ වෙනුවට, අපි “සංක්‍රමන ධාරාව ක්‍රමවත් ආකාරයකට ගලායාම" සහතික කල යුත්තෙමු. “සිරියාව පමනක් නො ව ලිබියාව ආසන්න රටවල් තුල ද පිලිගැනීමේ මධ්‍යස්ථාන" පිහිටුවිය යුතු ය. මෙය කල යුත්තේ “මිලිටරියේ ආධාරය" සහිත ව බව ඔහු අවධාරනය කලේ ය. වෙනත් වචනවලින් කිවහොත් ලිබියාව, ජෝර්දානය, ලෙබනනය හා අනෙක් රටවල සංක්‍රමනිකයන් සිරකර තැබීම සඳහා යුරෝපීය භටයන් යැවීම ජිජැක්ට අවශ්‍ය ය.

ජිජැක් ආරක්ෂා කරන්නේ මිලියන ගනන් රැකියා විරහිතයන් හා නාටකීය අසමානතාවක් නිර්මානය කර තිබෙන යුරෝපීය ධනවාදය යි. “මූලධර්මාත්මකව මට ධනවාදයට ද්වේශ කිරීමට අවශ්‍ය නැහැ" යි ඔහු කියයි. “ඇමරිකානු මොඩලයේ මූලධර්මවාදී වෙලඳපොල රැඩිකලීකරනය" හා “මූලික වසයෙන් චීනය තුල අනුගමනය කරනු ලබන ආසියාතික ආඥාදායක ධනවාදය" යන “ප්‍රජාතාන්ත්‍රික නො වන ධනවාදයන් දෙකක් විසින් යුරෝපියානු මොඩලය අනතුරට ලක්කොට ඇත." එහෙත් අනෙක් අතට “යුරෝපීය ධනවාදයට, ලෝකය වෙත පිලිගැන්විය හැකි යමක් තිබේ.“

මෙහි දී ජිජැක් දේශනා කරන්නේ, සංක්‍රමනිකයන්ට එරෙහි වාර්ගික ඇවිලවීම්, “පහල පන්තීන්" යක්ෂාවේෂ ගැන්වීම, දේශසීමා වසා දැමීම, “තමන්ගේම ධනවාදය“ ජාත්‍යන්තර එදිරිවාදීන්ගෙන් ආරක්ෂා කිරීම හා පෙරලා මිලිටරිවාදය වෙත හැරීම යන නව දක්ෂිනාංශයේ ක්‍රියාමාර්ගය යි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියට නම් මෙය පුදුමයක් නො වේ. මධ්‍යම පන්තියේ වඩා වරප්‍රසාදිත ස්ථරවල අවශ්‍යතා නියෝජනය කරන ව්‍යාජ වමේ පිලිවෙත, කම්කරු පන්තියේ අවශ්‍යතාවලට එරෙහි ව යොමු වන බව අපි වසර ගනනක් තිස්සේ අනතුරු අඟවා ඇත්තෙමු. මාක්ස්වාදයේ ඓතිහාසික භෞතිකවාදී විධික්‍රමය, ආත්මීය හා අතාර්කික පශ්චාත්-නූතනවාදයේ න්‍යායයන් මඟින් විස්ථාපනය කොට තිබෙන ව්‍යාජ-වම, ජාතිය හා ලිංගික යොමුව පිලිබඳ කරුනු මත නාභිගත වන විවිධාකර අනන්‍යතා-දේශපාලන රූපාකාරයන් පන්ති අරගලය වෙනුවට ආදේශ කොට ඇත.

වසර පහකට පෙර ජිජැක් නිව් යෝක්හි කල දේශනයක් ගැන අපි මෙසේ ලීවෙමු:

“ජිජැක් වනාහි ෂෙලිං, කියකගාඩ්, නීෂේ හා හයිඩැගර්ගෙන් පැවත එන ප්‍රති-මාක්ස්වාදී හා භෞතිකවාද-විරෝධී ප්‍රතිගාමී සම්ප්‍රදායක අංකුරයකි. ඔහු, 1960 ගනන්වල ප්‍රන්ස පශ්චාත්-ව්‍යුහවාදයේ නව-නීෂේවියානු හා නව-හයිඩැගරියානු චින්තනය සාරසංග්‍රහවාදී ලෙස යොදාගනී.

“වඩා මුග්ධ හා ගොරහැඩි වුවත් පශ්චාත්-ව්‍යුහවාදීන් හා පශ්චාත්-මාඕවාදීන් මෙන් ජිජැක් ද දේශපාලන අවස්ථාවාදියෙකි. ඔහු හඬ නඟන සියලු රැඩිකල් දෙඩවිලි තිබිය දී ම, ඔහුගේ ඔලුවේ පවතින දේශපාලන මනෝදෘෂ්ටීන්වලට විපරීතව, සැබෑ දේශපාලනයේ දී ඔහුගේ ආස්ථාන අවසන් වනු ඇත්තේ, ජාත්‍යන්තර කම්කරු පන්තියට හා අව්‍යාජ සමාජවාදයට මුලුමනින් ම හතුරු අවශ්‍යතාවලට සේවය කරමිනි."

ධනේශ්වර අර්බුදයේ තීව්‍ර වීම සමඟ එන තියුනු සමාජ ධ්‍රැවාන්තගත වීම, ජිජැක් හා ඔහුගේ පන්තියට ඔවුන්ගේ සැබෑ වර්නය පෙන්වීමට බල කරයි. තවදුරටත් ඔවුන්ට තම දක්ෂිනාංශික දේශපාලනය, ව්‍යාජ-වාම වාගාලාප තුල සැඟවිය නො හැක. එම අර්ථයෙන් ගත්කල, ව්‍යාජ-වමේ දෘෂ්ටිවාදියෙකුගේ සිට විවෘත දක්ෂිනාංශියෙකු දක්වා ජිජැක්ගේ පරිවර්තනය, ප්‍රචන්ඩ පන්ති ගැටුම් ඉදිරියේ එන බවට වන පැහැදිලි සංඥාවකි.

Share this article: