ශ්‍රී ලංකා ජනාධිපතිගේ වසරක පාලනය: පම්පෝරිය හා යථාර්ථය

One year of Sri Lankan President Sirisena’s rule: Propaganda and reality

පානි විජේසිරිවර්ධන විසිනි, 2015 ජනවාරි 11

වොෂින්ටනයේ අනුග්‍රහය ලත් තන්ත්‍ර මාරුවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කැබිනට් මන්ඩලයෙන් ඉවත්වූ මෛත්‍රීපාල සිරිසේන, නව ජනාධිපති ලෙස පත්වී ජනවාරි 08දාට වසරක් සැපිරෙයි. සංවත්සරය සැමරීම පිනිස ඔහුගේ ආන්ඩුව, 2016 වසරේ පලමු සතිය “යහ පාලනයේ ජයග්‍රාහී සතිය“ ලෙස නම් කරමින් රට පුරා නිල උත්සව සංවිධානය කර තිබුනි.

පසුගිය සතිය මුල ගාල්ලේ පැවති රැස්වීමක් අමතමින්, තම පලමු වසර ගැන සතුටට පත්වන්නේදැයි යමෙකු තමන්ගෙන් ඇසුවොත් ඊට “මගේ පැහැදිලි හා එකම පිලිතුර වන්නේ ‘ඔව්‘ යන්න බව“ සිරිසේන පැවසුවේ ය. ඔහු මෙසේ ද පැවසීය, “පසුගිය වසරේදී අප ගත් තීරන (ජනතාවගේ) බඩට නොදැනෙනවා වෙන්නට පුලුවන.“ ඒවා ගනු ලැබුවේ, “නිදහස, ප්‍රජාතන්ත්‍රය හා මානව අයිතීන් සුරැකීමටත්, දූෂනය තුරන් කර ජනතාවට අවශ්‍ය කෙරෙන යහ පාලනය සහතික කිරීමටත් ය.“

සිය ආන්ඩුවේ තීරන “බඩට නොදැනුනාය“ යන ජනාධිපතිගේ අවමන් සහගත ප්‍රකාශය පෙන්නුම් කරන්නේ, වැටුප් වැඩිවීම් හා අත්‍යවශ්‍ය භාන්ඩ මිල අඩුකිරීම ද ඇතුලු යහපත් ජීවන තත්වයන් හා සමාජ කොන්දේසි වෙනුවෙන් හඬනැඟූ කම්කරුවන්, තරුනයින් හා පීඩිත ජනතාව කෙරෙහි වන ඔහුගේ අවඥාව ය. පසුගිය වසර තුල එවන් ඉල්ලීම් මුල්කරගත් අරගල මාලාවක් පැන නැඟුනි. රටේ අනෙකුත් බොහෝ සමාජ හා සෞඛ්‍ය ප්‍රශ්න ගැන සඳහන් නොකලත්, ජනගහනයෙන් සියයට 25ක් මන්දපෝෂනයෙන් පෙලෙන රටකි, මෙය.

ප්‍රජාතන්ත්‍රවාදය සහතික කිරීම පිලිබඳ සිරිසේනගේ වාර්තාව කුමක් ද? ආඥාදායක විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ඔහු පොරොන්දු වුව ද ඇති කලේ සීමිත වෙනස්කම් පමනි. එය මුලුමනින්ම අහෝසි කිරීම සඳහා සිය ධුර කාලය අවසන් වන 2020 දක්වා සිටිය යුතු බව ඔහු පැවසීය. ජනාධිපති බලතල වෙනස් කිරීම පිලිබඳ ඔහුගේ ආන්ඩුව සිදුකල වෙනස්කම් අතර, “ව්‍යවස්ථාපිත මන්ඩලයට“ රජයේ ඉහල නිලධාරීන් පත් කිරීමේ බලය ජනාධිපතිට නොව, ආන්ඩුව හා විපක්ෂයේ නායකයින් වෙත පැවරීම ද ඇතුලත් ය.

උතුරු නැගෙනහිර මිලිටරි පාලනය තවදුරටත් ක්‍රියාත්මක ය. සිරිසේන යටතේ ද ආන්ඩුව, බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහි යුද්ධයේදී යොදාගත් එම පොලිස්-රාජ්‍ය ක්‍රමෝපායන් ම වැඩකරන ජනතාවට එරෙහිව ද යොදා ගනියි. සෞඛ්‍ය සේවයේ වර්ජනය පැවතියදී කම්කරුවන්ට එරෙහිව හොරිකඩයින් ලෙස හමුදාව යොදාගත්තේ ය. වැඩ ප්‍රමානය ඉහල නැංවීමට එරෙහිව සටන් වැදුනු වතු කම්කරුවන් පොලිසිය යොදවා දඩයම් කරන ලදි. අයවැය කප්පාදු වලට එරෙහිව විරෝධතා දැක්වූ බැංකු සේවකයින් අධිකරන තහනමකට ලක් කිරීම මෑතම සිදුවීම යි. සිසුන්ට හා පිරිසිදු පානීය ජලය ඉල්ලා විරෝධතා දැක්වූ දකුනේ ගොවීන්ට එරෙහිව පොලිස් ප්‍රචන්ඩත්වය යොදා ගැනින.

මානව හිමිකම් ආරක්ෂාව ගැන කෙසේ ද? මිලිටරිය විසින් සිදු කල යුද අපරාධ පිලිබඳ යෝජිත ජාත්‍යන්තර පරීක්ෂනය ඇමරිකාවේ ද සහාය ඇතිව යටපත් කලේ ය. එල්ටීටීඊයට එරෙහි මිලිටරි මෙහෙයුම් වලදී දස දහස් ගනන් දෙමල වැසියන් මරා දැමූ බවට කලින් පැවති රාජපක්ෂ ආන්ඩුවට හා මිලිටරි නායකයින්ට චෝදනා එල්ලවී තිබුනි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවට වොෂින්ටනයේ අනුග්‍රහය ඇතිව ගෙන ආ යෝජනාවෙන් සිරිසේන ආන්ඩුවට නිසැකවම යුද අපරාධ වලට සුදුහුනු ගෑම සඳහා ඉඩ සැලසෙන පරිදි, ඊනියා දේශීය පරීක්ෂනයක් පැවැත්වීමට අවකාශ සැලසුනි. “එල්ටීටීඊ සැකකරුවන්“ ලෙස හංවඩු ගැසූ, වැඩිපුරම දෙමල ජාතිකයින් වන දේශපාලන සිරකරුවන් 200කට වැඩි පිරිසක් තවමත් නඩු නැතිව සිරභාරයේ පසුවෙති.

“දූෂනයෙන් තොර“ විනිවිද පෙනෙන පාලනයක් පිලිබඳ සිරිසේනගේ කයිවාරු ප්‍රෝඩාකාරී ය. මාරුවෙන් මාරුවට දශක හතක් රට පාලනය කර ඇත්තේ, සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා අගමැති රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය යි. මේ පක්ෂ දෙක අල්ලස, දූෂනය හා ඥාති මිත්‍ර සංග්‍රහය පිලිබඳව එකකට පසුව තවෙකක් වශයෙන් සෝලි වලට පැටලී ඇත.

පසුගිය වසර පුරා සමාජවාදී සමානතා පක්ෂය හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඉදිරිපත්කර තිබෙන විශ්ලේෂන සනාථවී තිබේ. ජනාධිපතිවරනයේ ජාත්‍යන්තර ඇඟවුම් පැහැදිලි කරමින් ලෝසවෙඅ 2015 ජනවාරි 12දා මෙසේ අනතුරු ඇඟවීය.

“රටේ කම්කරු පීඩිත ජනතාව සිරිසේන බලයට පත්වීමෙන් ලබනු ඇති සාමයක්, ප්‍රජාතන්ත්‍රවාදයක් හා සෞභාග්‍යයක් නැත. රට චීනයට එරෙහි ඇමරිකාවේ කුමන්ත්‍රනවල තවත් වැයික්කියක් බවට පත්වෙනු ඇත. නරක අතට හැරෙන ගෝලීය ආර්ථික බිඳවැටීමේ කොන්දේසි හමුවේ සිවිල් යුද්ධය පැවති 26 වසරක කාලය තුල පනවන ලද හා රාජපක්ෂ විසින් පුලුල් කරන ලද මර්දනකාරී අන පනත් යොදාගනිමින් ජීවන තත්වයන් මත තව තවත් ගැඹුරු ප්‍රහාර එල්ල කරනු ඇත.“

සිරිසේන බලයට පත්වීම, දිවයිනට පමනක් නොව මුලු කලාපයටම සන්ධිස්ථානයක් වන්නේ ය. ඔහු බලයට පත් වුනේ, ඇමරිකාව සමඟ සමීප සම්බන්ධකම් ඇති වික්‍රමසිංහ හා හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ සහාය ඇතිව, වොෂින්ටනය විසින් දියත් කල දේශපාලන මෙහෙයුමක් හරහා ය. පසුගිය අගෝස්තුවේ පැවති මැතිවරනයෙන් ව්‍යාපාරික පිටුබලය ලත් එජාපය, පාර්ලිමේන්තුවේ බහුතරයකගේ සහාය ලබාගැනීමෙන් පසුව තන්ත්‍ර මාරුව සම්පූර්න විය.

පුරවැසි බලය වැනි මධ්‍යම පාන්තික සංවිධාන ද සමග එක්ව, නව සමසමාජ පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ව්‍යාජ වම්මු, රාජපක්ෂ ආන්ඩුව යටතේ පැවති මර්දනයට හා ජීවන තත්වයන්ට එල්ල කෙරුනු ප්‍රහාරයන් කෙරෙහි කම්කරු පීඩිත ජනතාව අතර පැවති විරුද්ධත්වය, ප්‍රජාතන්ත්‍රවාදී මුහුනුවරක් ආරූඪ කරමින් ඇමරිකානු ගැති මෙහෙයුම පිටුපස සෘජුව හා වක්‍ර ලෙස පෙලගැස්වූහ.

වොෂින්ටනයේ මැදිහත්වීම, ආසියානු-ශාන්තිකර කලාපයේ ඇමරිකානු ආධිපත්‍යය තහවුරු කිරීමේ අටියෙන්, චීනය මිලිටරි වශයෙන් වැටලීම හා යුද්ධය සූදානම් කිරීමේ එහි පුලුල් “ආසියාවට හැරීමෙහි“ කොටසක් විය. ඇමරිකාව රාජපක්ෂට සතුරුකම් දැක්වූයේ ඔහුගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රමෝපායන් නිසා නොව, බීජිනය සමග ඔහු පවත්වාගෙන ගිය ආර්ථික හා දේශපාලන සම්බන්ධතා නිසා ය. සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව, දිවයින චීනය වෙතින් ක්‍රමානුකූලව ඉවතට හැරවූ අතර බීජිනය සිය වානිජ්‍ය හා බලශක්ති මූලාශ්‍ර සුරක්ෂිත කර වර්ධනය කිරීමේ “නාවික සේද මාවත“ ව්‍යාපෘතියේ කොටසක් ලෙස සලකනු ලබන කොලඹ වරාය නගර යෝජනා ක්‍රමය වැනි චීනයේ ප්‍රධාන ආයෝජන නතර කිරීම හා සීමා කිරීම ද ඊට ඇතුලත් විය.

සිරිසේනගේ ආන්ඩුව දිවයින, ඇමරිකාවේ යුද සැලසුම් තුලට සමීප ලෙස ඒකාග්‍ර කර ඇත. මේ සම්බන්ධකම් තහවුරු කර ගැනීම පිනිස රාජ්‍ය ලේකම් ජෝන් කෙරී හා එක්සත් ජාතීන්ගේ ඇමරිකානු තානාපති සමන්තා පවර් ඇතුලු එරට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දුසිමක් පමන විටින් විට දිවයිනට පැමින ඇත. 2015 ඇමරිකාව අත්කරගත් දෑ ලැයිස්තුගත කරමින් කෙරී, ජනවාරි 01දා වාර්තාවක් ලිවීය. “නයිජීරියාව, බුරුමය, ශ්‍රී ලංකාව හා වෙනිසියුලාව වැනි රටවල් පසුගිය වසරේදී වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහන අත්කර ගත්තේ ය.“ ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ කෙරීගේ කථා ප්‍රෝඩාකාරී ය. මේ සෑම රටක් තුලම ඇමරිකාව, වොෂින්ටන් ගැති ආන්ඩු ඇටවීමේ කුමන්ත්‍රනවල නිරතව සිටියේය.

පසුගිය සතියේදී ආන්ඩුව, චීනය ආර්ථික වශයෙන් හුදෙකලා කිරීම පිනිස සැලසුම් කල, ඇමරිකාව මූලිකත්වය ගත් අන්තර් ශාන්තිකර හවුල්කාරිත්වය යන වොෂින්ටනයේ වෙලඳ හා ආයෝජන කන්ඩායමට එක්වීම ගැන සාකච්ඡා කරන බව නිවේදනය කලේ ය. ලබන මාසයේ කොලඹදී “එක්සත් ජනපද-ශ්‍රී ලංකා හවුල්කාරිත්ව සාකච්ඡාව“ පැවැත්වෙන අතර ඊට ආරක්ෂාව හා නාවික සහයෝගිතාව ද ඇතුලත් වනු ඇත. ඇමරිකාව, ඩොලර් බිලියන 2.4ක් වන දැවැන්ත තෙල් පිරිපහදු ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට ද අදහස් කරයි. හම්බන්තොට වරායේ ඉදිකෙරෙන එය, එවැනිම ව්‍යාපෘතියක් සඳහා වන චීනයේ සැලැස්මට වල කැපීමට දැරෙන උත්සාහයකි.

සිය කථාවේදී සිරිසේන, රටේ ආර්ථික ගැටලු වත්මන් ආන්ඩුවේ වරදක් නිසා සිදුව නොතිබුන ද ඒවා විසඳීමට තමන් උත්සාහ කරන බව පැවසීය. ගෝලීය පසුබෑම හා නැගෙන නය බරට මුහුනපා සිටින පාලක පන්තිය, ග්‍රීසියේ ආර්ථික අර්බුදයට සමාන්තරයන් අඳින අතර එහිදී මෙන්ම මෙරටෙහි ද කප්පාදු වැඩසටහන්වල අවශ්‍යතාව පෙන්වා දෙයි. ආන්ඩුව දැනටමත් සිය අයවැය යෝජනාවන්හි, විශ්‍රාම අයිතීන්, පොහොර හා අනෙකුත් සහන කැපීම, රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම හා අත්‍යවශ්‍ය භාන්ඩවල බදු වැඩිකිරීම වැනි යෝජනා සමඟින් සිය ප්‍රතිචාරය කෙසේ සිදුවන්නේ ද යන්න පෙන්නුම් කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත මුදල පා කිරීමෙන් පසුව, ගිය වසර තුල රුපියලේ අගය සියයට 10න් අවප්‍රමානය වී තිබීම ආර්ථික අර්බුදයේ ඇඟවුමකි. ආන්ඩුව පොදු වියදම් තියුනු ලෙස කපා හරින ලෙස බල කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තවත් නයක් ලබාගැනීම පිනිස සාකච්ඡා කිරීමට යන බව නිවේදනය කර ඇත.

සිරිසේන හා වික්‍රමසිංහ බලයට පත් කිරීමට දරදිය ඇද්ද නසසප නායක වික්‍රමබාහු කරුනාරත්න මෑතකදී, ආන්ඩුවේ “ප්‍රජාතන්ත්‍රවාදය“ වර්නනා කරමින් ලක්බිම ඉරිදා සංග්‍රහයට තීරුවක් ලියා තිබුනි. විවිධ ක්ෂේත්‍රයන්හි අරගල පැන නැගීම සිරිසේන යටතේ පවතින ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ නිදසුනක් ලෙස ඔහු නරුම ලෙස කියා පාන්නේ ය. ඔහු මෙසේ ලිවීය, “වැඩකරන ජනතාව වැටුප් ප්‍රශ්න, වරප්‍රසාද ප්‍රශ්න හා සේවා ප්‍රශ්න මත අරගලයන්ට එලැඹී ඇත.“ සියලු සමාජ අරගල “ප්‍රජාතන්ත්‍රවාදී නිදහසේ වාතාවරනය තුල“ ගෙන යාමේ අවශ්‍යතාව මතුවී ඇත.

කරුනාරත්න සිරිසේනට හා ආන්ඩුවට නිර්ලජ්ජිත ලෙස තුති පූජා පවත්වන අතර, තියුනු පන්ති ගැටුම් හටගන්නා කල මුදාහරිනු ලබන්නාවූ රාජ්‍ය ප්‍රචන්ඩත්වය පිලිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් වන ආන්ඩුවේ මර්දනකාරී ක්‍රියා වසං කරයි. පුරවැසි බලය වැනි ව්‍යාජ වාම කන්ඩායම් විසින් පිටුබලය දෙනු ලබන වෘත්තීය සමිති ද එසේම සිරිසේන යටතේ ඇති “ප්‍රජාතන්ත්‍රවාදය“ පිලිබඳව කථා කරන්නේ, සියල්ලටත් වඩා දිවයින වොෂින්ටනය සමඟ පෙල ගැසීම වසං කිරීමේ අටියෙනි.

සිරිසේන පැමිනීමෙන් වසරක් ගතවූ තැන කම්කරු පන්තිය, දේශපාලන තත්වය පිලිබඳ තක්සේරුවක් කල යුතු ය. ආන්ඩුව, කම්කරු පන්තියේ ජීවන තත්වයන්ට එරෙහි ප්‍රහාර උත්සන්න කරනු මෙන්ම ලොව පුරා කම්කරුවන් තවත් විනාශකාරී ලෝක යුද්ධයක අනතුරට ඇද දමන ඇමරිකාවේ යුද සැලසුම් වලට රට ගැට ගැසීමේ ද යෙදී සිටියි. ගැඹුරෙන් ම සිංහල වර්ගවාදයේ පැටලී සිටින රාජපක්ෂ හා ඔහුගේ ශ්‍රීලනිප කන්ඩායම වෙත ආපසු යාම කිසිදු ප්‍රගතිශීලී විසඳුමක් සපයන්නේ නැත. කම්කරුවන් හා තරුනයින් සසප වෙත හැරෙමින්, ආන්ඩුවට මෙන්ම සමස්ත ධනපති පර්යායටම එරෙහිව ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරිදර්ශනය සඳහා සටන් වැදීම අවශ්‍ය වන්නේ ය.

Share this article: