ශ්‍රී ලංකා වතු කම්කරු සමිති ආන්ඩුව සහ හාම්පුතුන් සමග කුමන්ත්‍ර‍නය කරයි

Sri Lankan plantation unions conspire with government and employers
இலங்கை பெருந்தோட்டத் தொழிற்சங்கங்கள் அரசாங்கத்துடனும் முதலாளிமாருடனும் சேர்ந்து சதி

ශ්‍රී හරන් විසිනි, 2016 ජූනි 10

වතු කම්කරුවන්ගේ වැටුප්, රැකියා සහ සමාජ අයිතීන් මත බරපතල ප‍්‍රහාරයක් එල්ල කිරීම සඳහා හාම්පුතුන් සමග ගිවිස ගැනීමට දෙමල ප‍්‍රගතිශීලි සන්ධානය සහ සෙසු වතු වෘත්තීය සමිති එකඟ වී ඇත.

ජුනි 02 වන දින වතු කම්කරු වෘත්තීය සමිති එකමුතුවක් වන දෙමල ප්‍ර‍ගතිශීලී සන්ධානය (ටීපීඒ) වතුකම්කරුවන් සඳහා නව වැටුප් ගිවිසුමක් නිවේදනය කලේය.

ගිවිසුම සූදානම් කලේ කම්කරුවන්ගේ පිටුපසිනි. එය අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ විසින් මෙහෙයවූ උප කැබිනට් කමිටුවක් සමග කල සාකච්ඡා මත පදනම් වූ අතර, වතු සමාගම් සහ වෘත්තීය සමිති අතර වැඩ ප්‍රමානය තවත් ඉහල නැංවීමේ කොන්දේසි සහිත සාකච්ඡා මත එය එලිදැක්වෙන අතර වික්‍ර‍මසිංහ සාකච්ඡාවන්හි මුලසුන හොබවනු ඇත.

ටීපීඒ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී ජනතා පෙරමුන, කම්කරුවන්ගේ ජාතික සමිතිය සහ කඳුරට ජනතා පෙරමුන යන සංවිධාන වලින් සමන්විත වන අතර පිලිවෙලින් මනෝ ගනේශන් , පී . දිගම්බරන්, සහ වී. රාධක්‍රිශ්නන් නායකත්වය දරති. මේ සියලු දෙනා වික්‍ර‍මසිංහ ආන්ඩුවේ ඇමතිවරුන්ය.

නව ගනුදෙනුව යටතේ, වතු සමාගම් වලට, මෙම මස අවසන් වීමට මත්තෙන් නව සාමූහික ගිවිසුම සකස් කරන තෙක්, අප්‍රේල් මාසයේ සිට තාවකාලික රුපියල් 100ක (ඇඩො ශත 69ක) දෛනික වැටුප් වර්ධකයක් ගෙවීම සඳහා භාන්ඩාගාරය මගින් සහතික වන බැංකු නය ලැබෙනු ඇත.

වතු සමාගම් වලට අවශ්‍ය වන්නේ, වත්මන් දෛනික වැටුප් ක්‍රමය අහෝසි කොට, වියදම් අඩුකිරීමට හා පලදායීතාවය ඉහල දැමීමට යොමුවුනු “ආදායම් බෙදා ගැනීමේ” යෝජනා ක්‍රමයක් ඇතිකර ගැනීමටය.

වෘත්තීය සමිති සහ වතු සමාගම් අතර පූර්වයෙන් පැවති සාමූහික ගිවිසුම 2015 මාර්තු මාසයේ අවසන් විය. තවමත් විශාලතම වතු කම්කරු වෘත්තීය සමිතිය ලෙස පවතින ලංකා කම්කරු කොංග්‍ර‍සය (සීඩබ්ලිව්සී), වත්මන් රුපියල් 620 වැටුප, රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා සිටියේය. ටීපීඒ තුල සිටින පාර්ශ්වයන්ද ඇතුලු අනෙක් සමිති මේ ඉල්ලීමට සහය දුන්හ.

පසුගිය ජූලි මාසයේ සීඩබ්ලිව්සී “අකුරට වැඩකිරීමේ” වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් කැඳවූ නමුත් ඉන්මනින්ම එය හකුලා ගත්තේ අගෝස්තුවේ ජාතික මැතිවරනය පැවැත්වෙන බව පවසමිනි. කෙසේ වුවද, කිසිදු වැටුප් වැඩිවීමක් ප්‍ර‍දානය කිරීමට වතු සමාගම් දැඩි විරුද්ධත්වය පල කොට තිබූ තත්ත්වය තුල, සීඩබ්ලිව්සීහි සැබෑ උත්සුකය වූයේ, වතුකම්කරුවන්ගේ කාර්මික ක්‍රියාවලිය, දැවැන්ත අරගලයක් බවට වර්ධනය වනු ඇතැයි යන්නයි.

සමිතිය පසුව, අයවැයෙන් පෞද්ගලික අංශය සඳහා නිවේදනය කල රුපියල් 2500 ක මාසික වැටුප් වැඩිවීම, වතු කම්කරුවන්ට ද ලැබිය යුතු බව දක්වමින්, රුපියල් 1000 දෛනික වැටුපක් සඳහා වූ සිය ඉල්ලීම අතහැරියේය. වෙනත් වචන වලින් කිවහොත්, මසකට දින 25 ක් වැඩකරන වතුකම්කරුවන්ට දෛනික රුපියල් සියයක වැටුප් වැඩිවීමක් පමනක් ලැබෙනු ඇති බවයි.

මැයි 25 වනදා ටීපීඒ මෙම ඉල්ලීම සඳහා බලකිරීමට එක්දින වැඩවර්ජනයක් කැඳවීය. කෙසේ වුවද වර්ජනය අතහැර මැයි 26 වන දින මැද කොලඹ තුල ටීපීඒ නායකයන් විසින් “ වාඩිවී සිදු කරන ” අවිහිංසාවාදී විරෝධතාවයකින් එය අවසන් විය.

පසු දින වතුහිමියන්ගේ සංගමයේ සභාපති රොෂාන් රාජදුරේ, තේ සහ රබර් අංශයේ වැඩි වන පාඩු ගැන ප්‍ර‍කාශ කරමින්, රුපියල් සියයක වැටුප් වැඩිවීමේ ඉල්ලීම ප්‍ර‍තික්ෂේප කලේය. වැඩිවන ගෝලීය අවධමනය සහ මැද පෙරදිග යුද අර්බුදය තියුනු වීම නිසා, ශ්‍රී ලංකාවේ තේ අපනයනය පහල වැටී ඇති බව වතු සමාගම් පෙන්වා දී ඇත.

ටීපීඒ හි සිටින ආන්ඩුවේ ඇමතිවරු, වික්‍ර‍සිංහගේ කැබිනට් උපකමිටුව සමග සාකච්ඡාවන්ට මුල පිරීම මගින් ප්‍ර‍තිචාර දැක්වූහ. තාවකාලික රුපියල් සියයක දෛනික වැටුප් වැඩිවීමේ අරමුන වනුයේ, කම්කරුවන්ගේ වැඩෙන වෛරය දියකර හැරීමයි.

ගිවිසුම යටතේ සමිති සහ වතු සමාගම්, ආදායම් බෙදා ගැනීමේ ක්‍රමය සහ නිශ්චිත වැඩ පැය ගනන අහෝසි කිරීම සඳහා වතු හිමියන්ගේ සංගමයේ ඉල්ලීම පිලිබඳ කථාබහ අරඹනු ඇත.

සමාගම විසින් සපයන පොහොර, රසායන ද්‍ර‍ව්‍ය සහ උපකරන සමග, වත්තක තේ පඳුරු නිශ්චිත ප්‍ර‍මානයක් හෝ තේ ගස් පිහිටි නිශ්චිත ප්‍රදේශ වෙන්කර වතු කම්කරුවන්ට පවරනු ඇත.

නව වැඩපිලිවෙල යටතේ දස දහස් සංඛ්‍යාත වතු කම්කරුවන්, වතු සමාගම් වල අඳයට අස්වනු නෙලන්නන් බවට පත් කරමින්, තව දුරටත් දරිද්‍ර‍තාවයට ඇද දමනු ඇත.

කම්කරු පන්තිය තුල වඩාත්ම දුප්පත් සහ සූරාකෑමට ලක්වන කොටසකි වතු කම්කරුවෝ. ප්‍රමානවත් පහසුකම් වලින් තොරව බැරැක්ක බඳු ලැයින් කාමර තුල ජීවත්වන 200,000 පමන කම්කරුවන් සේවයේ යොදවන වතු සමාගම් 22 ක් ඇත. පසුගිය සතියේ සමිති සහ කැබිනට් උපකමිටු සාකච්ඡා අනුයමින්, වතු කම්කරු ඇමති නවීන් දිසානායක, ප්‍රාදේශීය වතු සමාගම් සහ වෘත්තීය සමිති සමග “වැවිලිකරුවන්ගේ නව ආකෘතියක්” පිලිබඳ සාකච්ඡාවකට මුල පුරා ඇති බව, සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතට පැවසීය. ඔහු ප්‍ර‍කාශ කලේ මෙය “භූමියක නෛතික අයිතිය වතු කම්කරුවන්ට ලබා ගත හැකි තත්වයක්” බවයි. “භූමිය ඔවුන්ට අයිති වනු ඇත. ඔවුන් වඩ වඩාත් තේ දලු නෙලනු ඇත” යනුවෙන් ඔහු පැවසීය.

හාම්පුතුන් සඳහා කාර්මික පොලිස් බල ඇනියක් ලෙස සේවය කරන වතු සමිති, වතු හිමියන්ගේ සංගමය හා ආන්ඩුව සමග ඔවුන්ගේ සාකච්ඡාව සම්බන්ධයෙන් කිසිවක් ප්‍ර‍කාශ කොට නැත.

වතු සමාගම් විසින් දවසකට තේ දලු නෙලීමේ ප්‍ර‍මානය කිලෝ ග්‍රෑම් 16-19 සිට20-24 දක්වා ඉහල දැමීමට එරෙහිව කම්කරුවන් කලින් විවිධ හුදෙකලා ක්‍රියාමාර්ගවල නිරත වූවද සමිති නායකයන් ඉක්මනින්ම මෙම විරෝධතා නවත්වා දැමූ අතර සමහර වතු තුල සටන්කාමී කම්කරුවන් දඩයම් කිරීම පිනිස පොලීසිය සහ සමාගම් කලමනාකාරිත්වය සමග කුමන්ත්‍ර‍නය කොට තිබේ.

බහුතරයක් නිලධාරීන් ව්‍යාපාරිකයන් සහ වැවිලිකරුවන් වන වතු කම්කරු සමිති , කම්කරුවන්ගේ අවශ්‍යතා නියෝජනය නොකරන අතර සෘජුවම වතු සමාගම් සහ ආන්ඩුව ආරක්ෂා කරති.

සීඩබ්ලිව්සී පූර්වයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුවට සහය දුන්නේය. රාජපක්ෂ ආන්ඩුවේ කැබිනට් අමාත්‍යවරයෙකු වූ සීඩබ්ලිව්සී නායක ආරුමුගම් තොන්ඩමන් දැන් වික්‍ර‍මසිංහ ආන්ඩුවට ඇතුලුවීමේ මං සොයමින් සිටී.

කම්කරුවන්ගේ ජාතික සමිතියේ නායක පී. දිගම්බරන් සහ කඳුරට ජනතා පෙරමුනේ වී. රාධක්‍රිශ්නන් ද රාජපක්ෂගේ ප්‍රජාතන්ත්‍ර‍ විරෝධී පාලනයට සහය දැක්වූහ. පසුගිය වසරේ කොලඹ ඇමරිකානු ගැති ආන්ඩුවක් බලයට පත් කිරීම සඳහා වොෂිංටනය ක්‍රියාත්මක කල තන්ත්‍ර‍මාරු මෙහෙයුම තුල, මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති කිරීමට උදව් කරමින් ඔවුහු පැති මාරු කලහ.

ටීපීඒ නිලධාරීන් වන ගනේශන්, දිගම්බරම් හා රාධක්‍රිශ්නන්, වතු කම්කරුවන් සඳහා වැටුප් වර්ධකයක් දිනා ගෙන ඇති බවට වංචනිකව ප්‍ර‍කාශ කරමින් සිටී. සියලුම වතු කම්කරු සමිති කම්කරුවන්ගේ වැටුප්, ජීවන කොන්දේසි හා සමාජ අයිතීන්ට එරෙහි ඓතිහාසික ප්‍ර‍හාරයක් එල්ල කිරීමට සූදානම් වෙමින් සිටී.

Share this article: