ෆ‍්‍රැන්ක්ෆට් ගුරුකුලය, පශ්චාත් නූතන වාදය සහ ව්‍යාජ වමේ දේශපාලනය: මාක්ස්වාදී විවේචනයක් කෘතියේ පෙරවදන

Foreword to The Frankfurt School, Postmodernism and the Politics of the Pseudo-Left: A Marxist Critique

ඩේවිඩ් නෝර්ත් විසිනි, 2015 ජූලි 21

පලමුවන කොටස

දෙවන කොටස,තුන්වන කොටස

ෆ‍්‍රැන්ක්ෆට් ගුරුකුලය, පශ්චාත් නූතන වාදය සහ ව්‍යාජ වමේ දේශපාලනය: මාක්ස්වාදී විවේචනයක් නමැති සිය නවතම කෘතියට ඬේවිඞ් නොර්ත් විසින් ලියනලද පෙරවදන කොටස් තුනකින් මෙහි පල කරයි. මෙම The Frankfurt School, Postmodernism and the Politics of the Pseudo-Left: A Marxist Critiqueපොත මෙහ්රිංග් පොත්හලෙන් ලබාගත හැකිය. , pdf ක්‍රමයටසම්පූර්න පෙරවදන ලබාගත හැකිය.

***

මෙම කෘතිය මාක්ස්වාදී න්‍යාය සහ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ විප්ලවවාදී ක‍්‍රියාමාර්ගය, ඉදිරි දර්ශනය සහ භාවිතය වර්ධනය කිරීම අතර සම්බන්ධ තාවය විභාග කරයි. මෙම සන්දර්භය තුල, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින්, වර්තමානයේ පවතින නානාප‍්‍රකාර සුලු ධනේශ්වර ව්‍යාජ වාම හා සමාජවාද විරෝධී දේශපාලන ප‍්‍රවනතාවන්ට න්‍යායික පදනම් සම්පාදනය කරන ප‍්‍රති-භෞතික වාදී සහ ප‍්‍රති-මාක්ස්වාදී බුද්ධිප‍්‍රවනතාවන්ගේ - ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය සහ පස්චාත් නූතන වාදයේ විවිධ අංශ වලට සම්බන්ධ අස්තිත්වවාදී අහේතුක වාදය - ප‍්‍රතිගාමී ස්වභාවය එලිදරව් කිරීමට සැලකිය යුතු කාලයක් සහ ශක්තියක් යොදනු ලැබ ඇත්තේ මන් ද යන්න එය පැහැදිලි කරයි.

ජාත්‍යන්තරව වඩාත් පතල ව්‍යාජ වාම සංවිධානය නම් සිරිසා නමැති ග‍්‍රීක පක්ෂයයි. කප්පාදුවට එරෙහි මහජන ව්‍යාපාරය නොමග යවමින්, දිරි සුන් කර පාවාදෙන, පුහු ජනතාවාදී වැකි වමාරන මේ ජාතියේ සුලුධනේශ්වර ව්‍යාපාරයක් බලයට පැමිනි කල ඇති වන්නාවූ දේශපාලන ව්‍යසනය පිලිබඳ තුච්ඡ නිදර්ශනයකි, 2015 ජනවාරියේ දී පවත්වන ලද මැතිවරනය දිනා බලයට පත් සිරිසා ආන්ඩුව ඉටුකල භූමිකාව. ග‍්‍රීසියේ වැඩකරන ජනතාවට ද, තරුනයින්ට ද සිරිසාවේ සාපරාධී පාවාදීමෙන් ඉක්බිත්තේ උදාකල සියලු ඛේද ජනක ප‍්‍රතිවිපාක සමග ගත් කල, ව්‍යාජ වම විසින් නගාසිටුවන ලද ප‍්‍රතිමාක්ස්වාදී න්‍යාය සහ ප‍්‍රතිගාමී පන්ති ආසක්තයන්ගේ සමකාලීන රූපාකාරයන් අතර සමීප සම්බන්ධතාවය පිලිබඳ මෙම වෙලුමේ විශ්ලේෂනය බෙහෙවින් කාලෝචිත ය.

ස්ටයිනර් සහ බ්‍රෙනර්: සුලු ධනේශ්වර ව්‍යාජ වාම වාදයේ සමාජ හා දේශපාලන රෝග විනිශ්චය පිලිබඳ විෂය අධ්‍යයනයක්

මෙම වෙලුමේ ප‍්‍රථම ලිපි තුන ලියන ලද්දේ, ඇමරිකා එක්සත් ජනපදයේ සමජවාදී සමානතා පක්ෂයේ ද හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ද න්‍යායික පදනම්, ඉදිරි දර්ශන සහ භාවිතයට එරෙහිව, ඇමරිකානු ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ හිටපු සාමාජිකයන් දෙදෙනෙකු වන ඇලෙක්ස් ස්ටයිනර් සහ ෆ‍්‍රෑන්ක් බ්‍රෙනර් විසින් එල්ල කල ප‍්‍රහාරයන්ට ප‍්‍රතිචාර හැටියටය. ඔවුන් දෙදෙනාම වර්කර්ස් ලීගය (සසප පූර්වගාමීයා) හැර ගියේ 1970 ගනන්වල දී ය යන්න සලකා බලන කල්හි, අපට ඔවුන් ගේ ලියවිලි නොසලකා හරින්නට හැකිව තිබුනි. මොවුන් මෙයට ශතවර්ෂ කාලකට තරම් පෙර ව්‍යාපාරය හැර ගියවුන් යයි සලකන කල්හි සසප, ක්ෂනික දේශපාලනික නට්ටම් වීමකට ලංව තිබුනේ ය යන ස්ටයිනර් සහ බ්‍රෙනර් ගේ අනතුඅරු හැඟවීම, දේශපාලනික විශ්වසනීය භාවයෙන් තොර වූ වා පමනක් නොව සදාචාරාත්මක බලපෑමකින්ද තොර විය. නිශ්චිත වගකීමක් නො ඇඟවූ, පක්ෂයේ හිතවතුන් ය යන පදයෙන් ඔවුන් තමන්ව හඳුන්වාගැනීම - ඔවුන්ගේ වඩ වඩාත් උග‍්‍ර අතට හැරෙමින් තිබූ විවේචනයන්ට ප‍්‍රතිචාර දක්වීමට සසපය බැඳී නොතිබුනි. කෙසේ වෙතත් සැලකිල්ලට ලක්වූ කරුනු දෙකක් නිසා පිලිතුරු දිය යුතු බවට ජාත්‍යන්තර කමිටුව ඒත්තු ගැන්වීය.

පලමුවැන්න, ස්ටයිනර් හා බ්‍රෙනර් වර්කර්ස් ලීගයේ ආරම්භක ඉතිහාසය තුල යම් ක‍්‍රියාකලාපයක් ඉටුකර ඇතැයි සලකන කල, ඔවුන්ගේ විවේචනයන්ට ප‍්‍රතිචාර දැක්වීම මගින් ඔවුන්ගේම දේශපාලන වර්ධනයට හා යම් හෝ හැකියාවක් ඇත්නම්, විප්ලවවාදී ව්‍යාපාරයේ වැඩකටයුතු තුල ට ඔවුන්ගේ ක‍්‍රියාකාරී සහභාගිත්වය දිරිගැන්විය හැකි යයි අප අවංකව විශ්වාස කිරීමයි. එහෙත් කල් නොයවාම පැහැදිලි වූයේ, අපගේ ඒත්තු ගැන්වීමේ උත්සාහයේදී අඩුවෙන්ම පල දරනු ඇත්තේ එය බවය.

දෙවන කාරනාව ඔවුන්ගේ විවේචනයන්හි න්‍යායික සන්දර්භයයි. සමාජවාදී විඥානය යලි පනගැන්වීමට යුතෝපියාව (මනෝ රාජ්‍යය) තීරනාත්මක මන් ද, වෛෂයිකවාදය හෝ මාක්ස්වාදය සහ හිස හෝ හදවත යන දෙකම නැති කරගත් මාක්ස්වාදය යන ඔවුන්ගේ ප‍්‍රධාන ලියවිලි සමන්විත වූයේ, මධ්‍යම පන්තික හිටපු - රැඩිකලුන් ද ශාස්ත‍්‍රාලිකයන් ද පුලුල් ස්ථරයක් අතර ප‍්‍රචලිත වූ ප‍්‍රති මාක්ස්වාදී සංකල්ප සමූහයකිනි.

තමන් රකින්නේ ජාත්‍යන්තර කමිටුවේ සම්ප‍්‍රදායන් බව ස්ටයිනර් සහ බ්‍රෙනර් ප‍්‍රකාශ කල නමුත් ඔවුන්ගේ ලියවිලි පිලිබඳ අපගේ විශ්ලේෂනය එලිදරව් කලේ, ඔවුන් සිය උත්පේ‍්‍රරනය ලබාගත්තේ හර්බට් මාකුස් හා ෆ්‍රොයිඩෝ-මාක්ස්වාදීන් වූ විල්හෙල්ම් රීක් සහ එරික් ෆ්‍රොම් ද අර්නස්ට් බ්ලොක් නමැති මනෝරාජිකවාදී (යුතෝපියානු) න්‍යායඥයා ගෙන් ද බවයි.

තමන්ගේ ම මතවාද හා න්‍යායික සහ දේශපාලන මූලාශ‍්‍ර විචාරාත්මකව හෝ ක‍්‍රමානුකූලව සොයා යාමට (එසේ කිරීම මාක්ස්වාදීන්ගේ අපෝහක භෞතිකවාදී විධික‍්‍රමයේ අනිවාර්ය අංගයක් වේ) ස්ටයිනර් සහ බ්‍රෙනර් කිසි විටෙකත් යත්න නොදැරුහ: ඇත්ත වශයෙන් පරම්පරා ගනනාවක ප‍්‍රතිමාක්ස්වාදීන්ගේ, ඓතිහාසික භෞතික වාදයේ සතුරන්ගේ තර්ක තමන් කොතරම් පිටපත් කරන්නේ දැයි ඔවුන් මුලුමනින්ම වටහා ගෙන නොතිබුනා වීමට හොඳටම ඉඩ ඇත. ඔවුන් විසින් “වෛෂයික වාදය”, “නිර්නකවාදය” සහ “ග‍්‍රාම්‍ය භෞතිකවාදය” හෙලාදකිනු ලැබීම ද ප්ලෙඛනොව්ගේ බුද්ධිමය දායාදයට සහ ලෙනින්ගේ භෞතිකවාදය සහ අනුභූතික විචාරයට නිග‍්‍රහකිරීම ද බුද්ධිප‍්‍රබෝධයට සහ තර්ක බුද්ධියට, විද්‍යාවට සහ තාක්ෂනයට ඔවුන් එල්ල කල චෝදනා ද භෞතිකවාදය සහ විඥානවාදය අතර වෙනස බොඳ කර දැමීම ද ‘අවිඥානයේ’ අර්ථභාරය අධිතක්සේරු කිරීම ද, “අතර්කයේ” අර්ථභාරය හුවාදැක්වීම ද පන්ති සූරාකෑමට එරෙහිව පුද්ගල පරත්වාරෝපනයේ වැදගත් කම ඔසොවාලීම ද මනෝරාජික මිත්‍යා නිර්මානය උත්කර්ශනය කිරීම ද යන මේ සියල්ලේ කිසිදු අපූර්වත්වයක් තිබුනේ නැත.

මුල් ලියවිලි තුන හුදෙක් ස්ටයිනර් ට සහ බ්‍රෙනර් ට පිලිතුරක් පමනක් නොවේ. ඒවා වනාහි සමකාලීන දේශපාලන සහ සංස්කෘතික ජීවිතය මත ප‍්‍රතිගාමී බලපෑමක් ඇති කරන්නාවූ ද කම්කරු පන්තිය, තරුනයින්, ශිෂ්‍යයන් සහ බුද්ධිමතුන් අවමංගත කර දිරිසුන් කිරීමට නොදරන තැතක් නැත්තාවූ ද දැනට පවතින ප‍්‍රති-මාක්ස්වාදී ප‍්‍රභේදයන්ට එරෙහිව එල්ල වූ ලියවිලි වේ.

අතාර්කිකවාදය සහ ව්‍යාජ වමේ දේශපාලනය

විශේෂයෙන්ම ගත වූ දශකය තුල, නිට්ෂෙ, බ්‍රොසොව්ස්කි, සොරල්, ඩි මැන්, ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය, සහ (ෆොකෝල්ට්, ලැක්ලවු, බදියු, යනාදී* පශ්චාත් නුතන වාදීන් ගේ තවත් බොහෝ ස්වරූප ගත් අන්ත දාර්ශනික ආත්මීයවාදය, සහ අතර්කවාදය සමග බැඳුනු වර්ගය, ජාතිකත්වය, ජනවර්ගය, ලිංගය, සහ ලිංගික නැඹුරුව මත පදනම්වූ මධ්‍යම පන්තියේ ප‍්‍රතිගාමී ව්‍යාජ වාම දේශපාලනය, සාරභූත සමාජ ප‍්‍රවර්ගය ලෙස පන්ති භේදය ප‍්‍රතික්ෂේප කොට ධනවාදය කෙරේ විරුද්ධත්වය යටපත් කරමින්, ඒ වෙනුවට, පෞද්ගලික “අනන්‍යතාව” සහ “ජීවන ශෛලිය” ආදේශ කරමින්, “මානව ඓතිවාසිකම්” වල නාමයෙන් කෙරෙන අධිරාජ්‍යවාදී කඩාවැදීම් සහ යුද්ධ යුක්තිසහගත කිරීමේ ලා තීරක වැඩ කොටසක් ඉටු කර දී ඇත.

න්‍යායික සංකල්ප වර්ධනය වන්නේ ඓතිහාසික, දේශපාලන සහ සමාජ රික්තයක නොවේ. විශිෂ්ට රුසියානු මාක්ස්වාදී ජෝර්ජි ප්ලෙඛනොව්, 1911 ලියූ සමාලෝචනයක දී, ජර්මනියේ ෆ්‍රෙයිබර්ග් සරසවියේ දර්ශනවාදය පිලිබඳ මහාචාර්යවරයෙකු වූ හෙන්රික් රිකර්ට් (1863-1936) ඓතිහාසික භෞතික වාදයට එල්ල කල ප‍්‍රහාරයකට මෙසේ පිලිතුරු සැපයීය.

සත්තකින්ම රිකර්ට් සහ ඔහු වැනි වෙනත් විද්‍යාඥයෝ, ඓතිහාසික භෞතිකවාදය පිලිබඳ දැනුම් මාත‍්‍රයකින් හෝ තොර වෙති. එසේ වන්නේ කිසියම් පුද්ගලික දුබලකමක් නිසා නොව, ඔවුන්ගේ බුද්ධිමය දර්ශනපථය සමස්ත පන්තියකටම සුවිශේෂ වූ දුර්මතයන් ගෙන් වැසී ඇති හෙයිනි. ඔවුන් ගැන සැබවින්ම කිව හැක්කේ, ඔවුන් ඓතිහාසික භෞතිකවදය යයි බෙදාහරින කුනු කන්දල් වනාහි, “මුලුමනින්ම අවිද්‍යාත්මක දේශපාලන අගතියක් බවය.” ඓතිහාසික භෞතිකවාදයට ඔවුන් දක්වන සතුරු බව ව්‍යක්තව කියාපාන්නේ, “නියත සමාජ-ප‍්‍රජාතන්ත‍්‍රවාදී අපේක්ෂාවන්ට” ඔවුන් තුල ඇති සතුරු කමය. (1)

ස්ටයිනර් සහ බ්‍රෙනර් විසින් ලියා ඇති “කුනුකන්දල්” වනාහි, 1960 සහ 1970 ගනන්වල රැඩිකලීකෘත තරුන ශිෂ්‍ය පරපුරක බුද්ධිමය සහ දේශපාලන විකාශනයේ නිර්මිතයකි.

එම පරම්පරාවේ බොහෝ දෙනකු මෙන් ඔවුහු ද එක්තරා අවස්ථාවකදී මාක්ස් වාදයට ආකර්ශනය වූහ; මාක්ස්වාදය ඔවුන්ට ධනේශ්වර සමාජය ගැන විවේචනය කිරීමට න්‍යායික අත්තිවාරමක් සපයා දුනි. එහෙත් මධ්‍යම පන්තික ශිෂ්‍යයා ගේ “ප‍්‍රති-ධනවාදය,” එහි ස්වභාවයෙන් ම, අවසාන විග‍්‍රහයේ දී ඉල්ලා සිටියේ, පවත්නා සමාජයට සීමිත ප‍්‍රජාතන්ත‍්‍ර ප‍්‍රතිසංස්කරන වලට වඩා වැඩි නුවූ දෙයකි. ඒ සඳහා උවමනා වූයේ ද අතිශයින්ම දියාරු කරන ලද මාක්ස්වාදයකි. ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරුකුලයේ පෙරා, යුරෝපය සහ ඇමරිකාව පුරා සරසවි හරහා අලෙවි කැරුනේ, අතිශයින්ම සැර බාල දියාරුවකි. හයිඩෙගර් යටතේ ලද පුහුනුවේ මැකිය නොහැකි අඩයාලම දරා සිටි න්‍යායික කෘතීන් නිර්මානය කල හර්බට් මාර්කුස්, බෙහෙවින් ම ජනප‍්‍රිය වූයේ, අස්තිත්වවාදී මනෝවිග‍්‍රහයෙන් ලොකු වඩියක් මාක්ස්වාදය ට කලවම් කිරීම මගිනි. මධ්‍යම පන්තික සිසුන් අතර ගැඹුරු ප‍්‍රතිචාරයක් ලත් ප‍්‍රශ්න වූයේ, කම්කරු පන්තිය ගොදුරු කර ගන්නා ආර්ථික සූරාකෑම සහ බලය අල්ලා ගැනීමේ කම්කරු පන්ති අරගලය ට සම්බන්ධ කරුනු නොව, පරාරෝපනය, අවරෝධනය සහ ලිංගිකත්වය පිලිබඳ ගැටලු ය.

නිව් යෝර්ක් නගරයේ සමාජ පර්යේෂන සඳහා නව පාසැලේ උපාධි ධරයෙකු වූ ස්ටයිනර් සම්බන්ධයෙන් සලකන කල, ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරුකුලයේ බලපෑම නිසැකව ම ඔහුගේ මාක්ස් වාදී සංකල්ප හැඩගැස්වූවා සේම, ඔහු 1971 දී වර්කර්ස් ලීගයට එක්වූ පසුව පවා එම බලපෑම දිගටම ඔහුගේ චින්තනය මත අනුහස ද පැවැත්වීය. බ්‍රෙනර් වර්කර්ස් ලීගයේ සාමාජිකයෙකුව සිටියදී ඔහු කෙරේ එම බලපෑම එතරම්ම පැහැදිලිව නොපෙනුනේ නම් ඒ, ඔහු න්‍යායික ප‍්‍රශ්න කෙරේ දැක්වූ උනන්දුව එතරම්ම විශද නොවූ නිසා පමනි.

කෙසේ වුවද යුද්ධය අවසන් වීම, තරුනයින් අනිවාර්යයෙන් යුද්ධයට බඳවාගැනීම නවතාලීම, හා 1973දී එක්සත් ජනපදය වියට්නාම් යුද්ධයෙන් ඉවත් වීම ආරම්භ වීමත් සමග ශිෂ්‍ය විරෝධතා ව්‍යාපාරය බිඳ වැටීම, ස්ටයිනර් සහ බ්‍රෙනර් යන දෙදෙනාම දිරි බිඳ උකටලී බවට පත් කලේය. 1978 හා 1979 මුල මාස කිහිපයක් ඇතුලත මේ දෙදෙනා වර්කර්ස් ලීගයෙන් ඉවත් වීම, හුදෙක් පෞද්ගලික පලායාමක් වූයේ නැත. එය පෙන්නුම් කලේ, යුද විරෝධී ව්‍යාපාරයේ ප‍්‍රධාන රැල්ල බවට පත්ව සිටි මධ්‍යම පන්තික ශිෂ්‍යයන් ගේ දක්ෂිනාංශික විකාශයයි.

දෙදෙනාම වර්කර්ස් ලීගයෙන් පලායාමේ ප‍්‍රතිඵලයක් වශයෙන්, ජාත්‍යන්තර කමිටුවේ බි‍්‍රතාන්‍ය ශාඛාව වූ කම්කරු විප්ලවවාදී පක්ෂයේ ද එහි චිර කාලීන නායක ජෙරී හිලීගේ ද උග‍්‍ර වන්නට පටන්ගෙන තිබුනු අවස්ථාවාදී දේශපාලනයට එරෙහිව, 1980 ගනන් ආරම්භයේදී වර්කර්ස් ලීගය විසින් අරඹන ලද අරගලය තුල, ස්ටයිනර් සහ බ්‍රෙනර් කිසිදු ප‍්‍රතිපදානයක් නොකලහ. හීලි විසින් ආත්මීය විඥානවාදී ආකාරයකින් අපෝහක භෞතිකවාදය මුසාකරනය කිරීම ට එරෙහිව වර්කර්ස් ලීගය කල සවිස්තර විවේචනයට, ඔවුහු මුලුමනින්ම ආගන්තුක වූහ. 1985 ශරත් සමයේ අග ජාත්‍යන්තර කමිටුව තුල භේදය පිලිබඳ තොරතුරු ප‍්‍රසිද්ධ වත්ම, ස්ටයිනර් වර්කර්ස් ලීගය සමග සම්බන්ධතා යලි ඇතිකර ගත්තේ ය. වර්කර්ස් ලීගය තීරක භූමිකාවක් ඉටු කල, ජාත්‍යන්තර කමිටුව විසින් කර ගෙනයනු ලැබූ දේශපාලන සහ න්‍යායික අරගලය කෙරේ එකඟතාවය පලකරමින් ස්ටයිනර්, පක්ෂයේ ආධාර කරුවෙකු වන බව කියා සිටියේ ය. කෙසේ වෙතත්, (ඔහු අවංකවම පිලිගත් පරිදි) ගෙවී ගිය අවුරුදු කිහිපය තුල ගොඩ නගාගෙන තිබුනු සුව පහසු මධ්‍යම පන්තික ජීවන රටාව අවුල් කර ගැනීමට කැමැති නොවූ ස්ටයිනර්, පක්ෂයට ඇතුලූ නොවීමට තීන්දු කලේය.

1990 ගනන්වල අග පක්ෂයට වඩාත් සමීප වන බවක් පෙනී ගිය ස්ටයිනර්, සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකත්වය ඉල්ලා සිටියේය. කෙසේ වෙතත් අපට පෙනීගියේ, ඔහු කවිප සමග භේදය අවධියේ සටන්වැද පැහැදිලි කර ගැනුනු න්‍යායික සහ දේශපාලන ප‍්‍රයුක්තයන් පරෙස්සමින් අධ්‍යයනය කර හා එහෙයින්ම ඒවා උකහාගෙන නොතිබුනු බව ය. සසප ඔහු ඇතුලු කර නොගැනීමට තීන්දු කලේ ය. එහෙත් අපි ඔහු සමග හිතවත් සම්බන්ධතාවක් පවත්වාගෙන ගියෙමු. “ඇලෙක්ස් ස්ටයිනර්ගේ දේශපාලන හා බුද්ධිමය චාරිකාව” යන දිගු නිබන්ධයක් මෙම වෙලුමට අන්තර්ගත වේ. එහිදී ස්ටයිනර් සමග න්‍යායික ව්‍යාපෘතීන්හිදී සහයෝගීව කටයුතු කිරීමේ ක‍්‍රම සොයාගැනීමට සසප දැරූ ඉවසිලිමත් උත්සාහය විමසා බැලේ.

ඉරාක යුද්ධය සහ සුලු ධනේශ්වර වම

මෙම ප‍්‍රයත්නයන් අවසාන කර දැමුනේ, ඇමරිකාව තුලත් ජාත්‍යන්තරවත් දේශපාලන තත්වයේ ඇතිවූ තියුනු වෙනස් කම් විසිනි. ප‍්‍රථම ලියවිල්ල ස්ටයිනර්ට ලියන ලද්දේ 2013 ජුලි මාසයේ දී එක්සත් ජනපදය විසින් ඉරාකය ආක‍්‍රමනය කොට යාන්තම් මාස 3ට පසු ය. ස්ටයිනර් සහ බ්‍රෙනර්ට මා ලියූ අවසන් ලිපිය පලකරන ලද්දේ, 2008 ඔක්තෝබරයේ වෝල් වීදියේ බිඳ වැටීමට සති කිහිපයකට පෙර හා බරක් ඔබාමා තෝරාපත් කර ගැනීමට සති කිහිපයකට පසුව ය. මේ අවුරුදු පහ තුල, 1960 ගනන් වල පැනනැගි මහා සමාජ ව්‍යාපාර තුලින් හිස එසවූ පැරනි මධ්‍යම පන්තික විරෝධතා ව්‍යාපාරයන්හි නටබුන් වල දේශපාලන දිශානතියේ ප‍්‍රගාඪ මාරුවක් සිදු විය.

ඉරාක යුද්ධය සූදානම් කෙරෙමින් පැවති සති වලදී ලෝකය වටා යුද විරෝධී මහජන පෙලපාලි පැවැත්විනි. එහෙත් යුද්ධය ආරම්භ වූ වහාම ඒවා අවසන් වූ අතර යලි ඇරඹුනේ ද නැත. ප‍්‍රථම අප‍්‍රිකානු-ඇමරිකානු ජනාධිපති ලෙස ඔබාමාගේ පත්වීම, සුලූ ධනේශ්වර වම ඇමරිකානු දේශපාලනයේ ප‍්‍රධාන ධාරාව තුලට ඒකාග‍්‍ර කර ගැනීම සඳහා දේශපාලන යුක්තිකරනය සම්පාදනය කලේය. පැරනි විරෝධතා ව්‍යාපාරයන්ගෙන් සැලකිය යුතු කොටසක්, විශේෂයෙන්ම පෝසත් මධ්‍යම පන්ති පසුබිමකින් සාමාජිකයන් ඇදගත් සංවිධාන, දේශපාලන රැඩිකල්වාදයෙන් බිඳී වෙන්වී, සමාජවාද විරෝධී සහ අධිරාජ්‍ය ගැති ව්‍යාජ වමක් බවට පරිවර්තනය වීමේ සිය දීර්ඝ සන්තතිය සම්පූර්න කලෝය.

ස්ටයිනර් සහ බ්‍රෙනර් මෙම දකුනු මාරුවට හසුවූහ. 2003 මාර්තුවේදී ස්ටයිනර්, ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ සමාජවාදී සමානතා පක්ෂය විසින් කැඳවන ලද ප‍්‍රසිද්ධ යුද විරෝධී සම්මේලනයකට සහභාගී වෙමින්, එහි ආස්ථානයන්ට පක්ෂව කතා කලේ ය.

අවුරුදු පහක් ගත වීමට පෙර ඔහු සමාජවාදී සමානතා පක්ෂයේ ද ජාත්‍යන්තර කමිටුවේ ද මරනය ප‍්‍රකාශයට පත් කරන්නට විය. එම අවුරුදු පහ තුල ජාත්‍යන්තර කමිටුව තම දේශපාලන ක‍්‍රියාමාර්ගය වෙනස් කර තිබුනේ නැත. ඇත්ත වශයෙන් සිදු වූයේ සබඳකම් අලුත් කර ගත් මේ දෙන්නා, මාක්ස්වාදී දර්ශනවාදය සහ ට්‍රොට්ස්කිවාදී දේශපාලනය ප‍්‍රතික්ෂේප කරමින්, ජාත්‍යන්තර කමිටුවට එරෙහි සන්ධානයක් ගොඩනගා ගැනීමයි.

සාවද්‍ය න්‍යාය වෛෂයිකව පල දෙයි. ඔවුන්ට මාක්ස්වාදී න්‍යාය වටහා ගැනීමේලා පැවති නොවිසඳුනු අඩු පාඩු -අන් සියල්ලටමත් වඩා, ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරුකුලයේ න්‍යායයඥයන් කෙරේ ඔවුන් දැරූ ආකල්පය - ඔවුන් පන්ති පීඩනයන් ඉදිරියේ බුද්ධිමය වශයෙන් නිරායුධ කලේය. එහෙත් ස්ටයිනර් සහ බ්‍රෙනර් ගේ විකාශනයේ වියුක්ත සහ හුදෙක් බුද්ධිමය ස්වභාවයේ වරද ඉක්මවා ගිය දෝෂ පැවැත්තේය. අවසාන විග‍්‍රහයේ දී ඔවුන්ගේ දර්ශනයේ වෙනස්කම් ඔවුන්ගේ දේශපාලනය නිර්නය කරනවාට වඩා සිදු වූයේ, ඔවුන්ගේ දේශපාලනයේ වෙනස් කම් ඔවුන්ගේ දර්ශනවාදය නිර්නය කිරීමයි. ස්ටයිනර් සහ බ්‍රෙනර්ගේ දේශපාලනයේ එන්ට එන්ටම වැඩි වූ අප‍්‍රතිපත්තික සහ අවස්ථාවාදී ස්වරූපය, ඔවුන්ගේ සමාජ වාතාවරනය තුල මුල් ඇද තිබුනු අතර, දාර්ශනික සහ ඓතිහාසික භෞතිකවාදයෙන් බිඳීමට ඔවුන්ට බල කලේ ය. 2003 සහ 2008 අතර සමයේ ඔවුන්ගේ වාතාවරනයේ තියුනු සමාජ දේශපාලන වෙනස්කම් මැද්දෑවේ, සිය ආන්තික දේශපාලන අවස්ථාවාදයේ යුක්ත්‍යාරෝපනය “ෆ්‍රොයිඩො-මාක්ස්වාදීන්ගේ” (මාක්ස්වාදය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ගේ මනෝ විද්‍යාව සමග දෙමුහුන් කලවුන්ගේ- දිරි සුන් න්‍යායන් තුල සොයා ගැනීමට ලැබීම ඔවුන් අමන්දානන්දයට පත් කලේය.

ඔවුන්ගේ න්‍යායික ආස්ථානයන්හි අති මූලික උල්පත වූයේ ඔවුන්ගේ පන්ති යොමුවයි. 2006 ජූනියේදි, මා ඔවුන්ගේ තර්ක විතර්ක විග‍්‍රහ කරමින් පහත සඳහන් අනතුරු ඇඟවීම කලෙමි:

ඔබගේ විවිධ ලේඛන වල ඉදිරිපත්කර ඇති අදහස් පෙන්නුම් කරන්නේ, ස්ටයිනර් සහ බ්‍රෙනර් සහෝදර වරුනි, ඔබ දෙදෙන මෙයට දශක තුනකට පෙර අපගේ ව්‍යාපාරය හැරගිය තැන් පටන් මාක්ස්වාදයෙන් පිටතට න්‍යායිකව සහ දේශපාලනිකව ගමන් කර ඇති දුර ය. ඔබගේ වත්මන් පථය දිගේ යාගත හැක්කේ, බොහෝ වර්ෂ ගනනකට පෙර ඔබ ප‍්‍රතිග‍්‍රහනය කල දේශපාලන ආස්ථානයන් ගෙන් ඉතුරුව ඇති ටික ද මුලුමනින්ම හැරපියා පමනි.

ඔවුන් තම ලේඛනවල ඉලක්කය දර්ශනවාදයේ සිට දේශපාලනයට මාරු කරන විට, ප‍්‍රති-ට්‍රොට්ස්කිවාදයේ අවිහලෙන් ගත් අවි යොදා ගෙන, ජාත්‍යන්තර කමිටුව ද සසප ද “නිකාය වාදී” යයි හෙලාදැකීමට පටන් ගත්හ. අප කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය ආරක්ෂා කිරීම ද ධනේශ්වර දේශපාලන පක්ෂ වලට සහය දීම ප‍්‍රතික්ෂේප කිරීම ද ප‍්‍රහාරයට ලක් කිරීමේදී ඔවුන් යොදාගත් ප‍්‍රියතම අපවාදය වූයේ මෙයයි.

ඔවුන්ගේ බ්ලොග් අඩවියේ ලිපි පලවන්නේ ඉඳහිට වන හෙයින් ස්ටයිනර් ගේ සහ බ්‍රෙනර් ගේ දේශපාලන විකාශනය පිලිබඳ සමාලෝචනයක් කිරීම අමාරු නැත. සාමාන්‍යයෙන් උදාසීන මේ වෙබ් අඩවියේ අන්තර්ජාල ක‍්‍රියාකාරිත්වයේ මට්ටම සලකා බලන කල්හි, එහි නිද්‍රාශීලි කතුවරුන්ට හාස්‍ය රසයකුත් තිබෙන බව අඟවන එකම ලක්ෂනය නම්, එයට තෝරාගෙන ඇති නොනවතින විප්ලවය යන නාමය යි.

සතියකට දින හයක් ලිපි සම්පාදනය කරන වාර්ෂිකව ලිපි 5000කට වැඩි යෙන් අන්තර්ජාල ගත කරන ජාත්‍යන්තර කමිටුවේ උදාසීන “කට්ටිවාදයේ වෛෂයික වාදය” හෙලාදකින ස්ටයිනර් සහ බ්‍රෙනර් ගේ බ්ලොග් අඩවියේ අන්තර්ජාල පලකිරීම් අතර මාස ගනන් කාල පරාසයන් පවතියි. විප්ලවවාදී ව්‍යාපාරයක් ගොඩ නැගීම “තීරනාත්මක හදිසි බවක්” අත් කර ගන්නා අතර “අන් කවර කලෙකටත් වඩා, දැනුවත් නායකත්වයක අවශ්‍යතාවය දැන් පැනනැගී ඇති” බව (2) ඔවුන් මෑතදී ප‍්‍රකාශ කල නමුත්, ඔවුන්ගේ බ්ලොග් අඩවිය ප‍්‍රමුඛ දේශපාලන සිද්ධීන්ට දක්වන ප‍්‍රතිචාරය නම් .... නිහැඬියාව යි. ඔවුන් සිය කාලකන්නි දේශපාලන නිද්‍රාවෙන් ඉඳහිට ඇහැරෙතොත් ඒ, ජාත්‍යන්තර කමිටුව හෙලාදැකීමට ද තමන්ගේ දකුනු ගමනේ තවත් සැතපුම් කනුවක් සලකුනු කිරීමටත් ය.

සටහන්

1. ප්ලෙඛනොව් ගේ Selected Philosophical Works දාර්ශනික කෘති වල තුන්වන වෙලූමේ (මොස්කව් 1976) 483 වන පිටුවේ “එච්. රිකට් ගේ පොත” නම් ලිපිය තුල ප්ලෙඛනොව්, එච්. රිකට් යොදාගත් වාක්‍යාංශ තරමක් අවඥාසහගත ව උද්ධෘත ලකුනු තුල බහා දක්වයි. සාත්රේ ගේ, මර්කුස් ගේ සහ ෆොකොල්ට් වැනි පසු කාලීන අතර්කවාදීන්ට බරපතල ලෙස බලපෑ, නාසි පන්දම්කාර අස්තිත්වවාදී දාර්ශනික මාර්ටින් හෙයිඩගර් තම චර්යාව ඇරඹුවේ, රිකට් ගේ සහකරු ලෙස බව සටහන් කිරීම වටනේ ය.

2. http://forum.permanent-revolution.org/2014/10/about-this-web-site.html

Share this article: