වතු කම්කරුවන් අඳගොවි ක‍්‍රමයට කර ගැසිය යුතුයයි කොම්පැනිකරුවන්ගේ සංගමයේ සභාපති කියයි

ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, 2016 මැයි 16

තේ දලු නෙලන වතු කම්කරු කාන්තාවන්

ශී‍්‍ර ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති, රොෂාන් රාජදුරෙයි වතු කම්කරුවන්ට වැටුප් වැඩි කිරීම මුලුමනින් ප‍්‍රතික්ෂේප කරමින් ඩේලි මිරර් පුවත්පතට පසුගිය දා දීර්ඝ සම්මුඛ සාකච්ඡාවක් දී ඇත. පසුගිය සාමූහික ගිවිසුම අවසන් වීමෙන් අවුරුද්දක් පිරෙන මාර්තු 31 දා මිරර් පුවත්පතට පල කල අදහස් වලින් ඔහු අවධාරනය කර ඇත්තේ කම්කරුවන් මත රුදුරු සූරා කෑමක් පැටවීමට කොම්පැනිකරුවන් සකස් කර ඇති සැලසුම් කිසිසේත්ම වෙනස් නොකරන බවයි.

රාජදුරෙයි මෙසේ පවසයි: “භාන්ඩ මිල ලෝක පරිමානව පහත වැටීම සහ අපගේ ප‍්‍රධාන අපනයන වෙලඳපොලවල් බහුතරයක පවතින අස්ථාවරභාවය ඇතුලුව, අපගේ පාලනයෙන් පිටස්තර සාධක වල ප‍්‍රතිපලයක් ලෙස තේ සහ රබර් මිල පහත වැටී ඇත.” වැටුප් වැඩි වීමක් දීම කෙසේ වෙතත් දැනට පවතින රුපියල් 620 වන දරිද්‍රතා මට්ටමේ දෛනික වැටුප පවා ගෙවීම “මූල්‍යමය” වසයෙන් කල නො හැකි බව ද ඔහු අවධාරනය කලේ ය.

ඔහු තරයේ ප‍්‍රකාශ කර ඇත්තේ කම්කරුවන්ගේ නිෂ්පාදන පලදායීතාව ඉහල දැමීමකින් තොර ව තේ කර්මාන්තය පවත්වාගෙන යා නොහැකි බවයි: “ශ‍්‍රී ලංකාවේ වතු කර්මාන්තය මත ඔඩුදුවා ඇත්තේ, විශේෂයෙන්ම, අනෙකුත් ප‍්‍රධාන තේ නිපදවන රටවල් සමග සසඳන විට පහත් නිෂ්පාදන පලදායිතාව, ඇතුලු දීර්ඝකාලීන ප‍්‍රශ්නයන් ය.” එනිසා කම්කරුවන් තම පලදායිතාව නග්ගා ගත යුතු යයි ඔහු කියා සිටී.

තේ කර්මාන්තයේ අර්බුදයට කිසිසේත් ම කම්කරුවන් වග කිව යුතු නැත. එහෙත් රාජදුරෙයි ඇතුලු වැවිලිකරුවන් කියන්නේ ලාභ පිපාසිත කොම්පැනි පවත්වා ගැනීමට නම් ඔවුන්ගේ අර්බුදයට කම්කරුවන් කර ගැසිය යුතු බවයි.

ලංකාවේ තේ කර්මාන්තය මුහුන දී ඇති අර්බුදය 2015 ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ සඳහන් වී ඇත්තේ මෙසේය: “අපනයන ආදායමෙන් සියයට 13ක් පමන වන ශ‍්‍රී ලංකාවේ දෙවන විශාලතම වෙලඳ භාන්ඩය වන තේ අපනයන ආදායම, පසුගිය වසර පහ තුල අවම අගය වාර්තා කරමින් එක්සත් ජනපද ඩොලර් මිලියන 1,340ක් දක්වා සියයට 17.7 දක්වා අඩුවිය. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන ගැනුම්කරුවන් වන රුසියාව සහ ඇතැම් මැදපෙරදිග රටවලින් ශ‍්‍රී ලංකාවේ තේ සඳහා වූ ඉල්ලුම විශාල ලෙස අඩු වූ අතර, භූ දේශපාලනික වර්ධනයන්, ආනයනය කරන රටවල මුදල් අවප‍්‍රමානයවීම සහ ඛනිජ තෙල් මගින් ලද ආදායම අඩුවීම මේ සඳහා හේතු විය.”

තේ කර්මාන්තය අලලා ගෙන ඇත්තේ සමස්ත ලෝක ධනවාදය තුල හඹා යන අර්බුදයේ කුනාටුවයි. පසුගිය අඩ සියවස තුල වැඩෙමින් ආ අර්බුදය, 2008 ඇමරිකාවේ මූල්‍ය සමාගම්වල බිඳ වැටීමෙන් පටන්ගෙන, ලෝක ධනවාදය දැන් කඩා වැටීමක කාල පරිච්ඡේදයකට ගමන් කරවා ඇත. අවපාතයේ ප‍්‍රවනතාවයන් දියුනු ධනපති රටවල පටන් රටක් රටක් පාසා පැතිරී යයි. මෙම අර්බුදය ලංකාවේ කොම්පැනි වලට තබා, ඒවා තැරැව්කාර සම්බන්ධතා පවත්වා ගෙන යන ගෝලීය මහා සංගතයන්ටවත් පාලනය කල නොහැකි ය. ධනවාදයේ මූලික ලක්ෂනයක් වන්නේ පාලනය කල නොහැකි අරාජිකත්වයයි.

ලංකාවේ ධනපති ක‍්‍රමයේ අර්බුදය ලෝක අර්බුදයේ ප‍්‍රතිඵලයකි. රාජදුරෙයි ඇතුලු කොම්පැනිකරුවන් ආන්ඩුවේ පිටුබලය ඇතිව, කම්කරුවන් මත පටවන්නට සැලසුම් කර ඇත්තේ මෙම අර්බුදයයි. ඔවුන්ට අර්බුදය පාලනය කල නොහැකි වුවත් එය කම්කරුවන් මත පැටවීමට නම් පැකිලීමක් නැත.

කෙන්යාවේ තේ දලු නෙලන කම්කරුවෙකු දවසකට කිලෝග්රෑම් 60ක් ද උතුරු හා දකුනු ඉන්දියාවේ පිලිවෙලින් 50ක් සහ 36ක් ද වෙතත් ලංකාවේ එය කිලෝග්රෑම් 18ක් බවට රාජදුරෙයි දෝෂාරෝපනය කරයි.

පලදායිතාව ඉහල දැමීම නමින් වැවිලිකරුවන් යෝජනා කරන්නේ කුමක්ද? හැකිලී යන වෙලඳපොලේ තමන්ගේ පංගුව රැක ගැනීම සඳහා තේ නිපයන රටවල් අතර ලෝක වෙලඳ පොලේ වැඩෙන බෙලිකපා ගන්නා යුද්ධයෙන් දිනීමට කම්කරුවන් තම පලදායිත්වය ඉහල දමා කොම්පැනි වලට කොන්දේසි සාදා දිය යුතු බවය.

කෙන්යාවේ හා ඉන්දියාවේ කම්කරුවන්ගෙන් ඉහල පලදායිතාවක් ගන්නේ කුමන රුදුරු කොන්දේසි යටතේ ද යන්න රාජදුරෙයි පැහැදිලි කරන්නේ නැත. වැවිලිකරුවන් උත්සුක වන්නේ කෙතරම් අඩු පඩියකට වැඩිම වැඩ කොටසක් කම්කරුවන්ගෙන් උපුටා ගන්නේ කෙසේ ද යන්න ගැනයි.

කෙන්යාවේ හා ඉන්දියාවේ උතුරු හා දකුනු ප‍්‍රදේශවල ලමුන් හා කාන්තාවන් ඇතුලු කම්කරුවන්ගේ ශ‍්‍රමය අමානුෂික කොන්දේසි තුල සූරා කැවේ. කෙන්යාවේ යුනිලීවර්, ජේම්ස් ෆින්ලේ හා ඉන්දියාවේ ටාටා ඇතුලු සමාගම්වලින් පාලනය වන වතුවල මෙම කොන්දේසි වාර්තා වේ.

කෙන්යාවේ තේ දලු නෙලන කම්කරුවෙකුගේ දිනක වැටුප ඇමෙරිකානු ඩොලර් 3කට වැඩි වන්නේ යන්තමිනි. ලංකාවේ මෙන්ම කම්කරුවන් දරිද්‍රතාවයේ තබා ගැනීමට ක‍්‍රියා කරන එරට වෘත්තීය සමිති වලට වුව ද කම්කරුවන්ගේ ජීවන තත්වය අවුරුදු දහයකට පෙර පැවති තත්වයට වඩා පහත් බව පිලිගැනීමට සිදු වී ඇත. ඉන්දියාවේ කම්කරුවන්ට ගෙවන්නේ උතුරේ ඩොලර් 2 හා දකුනේ ඩොලර් 4 ක අන්ත දරිද්‍ර වැටුපකි.

බෙලි කපා ගන්නා තරඟය තුල දලු කැඩීම ඉහල දමා ගැනීමට කෙන්යාවේ කොම්පැනි තාක්ෂනයේ වර්ධනය උපයෝගී කරගත්තේ ය. ඉන් අඩුම ගනනේ රැකියා 80,000 විනාශ කෙරුනි.

අඩු පලදායිතාවකට රුපියල් 620ක පඩියක් දීමට අමතරව අනෙකුත් වියදම් ද ඇතුලුව රුපියල් 1,100ක් තරම් ඉහල වියදමක් කම්කරුවන් නඩත්තු කිරීමට වැය වන්නේ යයි රාජදුරෙයි කන්කෙඳිරි ගායි. මුලු පඩියම ලැබෙන්නේ යැයි ගනන් බැලුවත් බේත්හේත් ඇඳුම්-පැලඳුම්, විදුලිය, ලමුන්ගේ අධ්‍යාපනය සහ අවශ්‍ය ගමන්බිමන් ආදී වියදම් රුපියල් 620කින් කර ගත හැකි යයි වැවිලිකරුවන් කියා සිටින්නේ මොනම යහපත් ජීවිතයක් වත් කම්කරුවන්ට උරුම නැති බවද, ඔවුන් සිටින්නේ තමන්ට ලාබ මඩි තරකර දීමට පමනක් යයි ද කල්පනා කරන ධනපතියාගේ දෘෂ්ටි කෝනයෙනි. ලාබ කඩා වැටෙන විට මේ කොන්දේසි තවත් කපා දැමීමට ධනපතියා තැත් කරයි.

රාජදුරෙයි සඳහන් කරන අනෙකුත් වියදම් වලට ඇතුලත් වන්නේ තවමත් කම්කරුවන් ජීවත් වන බි‍්‍රතාන්‍ය පාලන සමයේ ඔවුන්ව කොටුකර තැබූ බැරැක්ක ලයින් කාමර, නිසි පරිදි වෛද්‍යවරු, හෙදියන් හෝ සාත්තු සේවකයන් නැති බෙහෙත් ශාලා, නිසි පහසුකම් නැති පාසල් ආදියයි!

ධනපති මාධ්‍ය විසින් හුවා දැක්වෙන රාජදුරෙයිගේ විසඳුම ඩේලි මිරර් සාකච්ඡාවේදී පැහැදිලි කර ඇත්තේ මෙසේය: “අප යෝජනා කරන්නේ තේ කර්මාන්තය තුල ක‍්‍රියාත්මකවන ක‍්‍රමය, එනම්, කම්කරුවා දැන් යැපෙන්නා වූ ද, ඔහුගේ හෝ ඇගේ (කම්කරුවාගේ) ඉපැයුම් ශක්‍යතාව හිරකෙරී ඇත්තාවූ ද පැමිනීම මත පාදකවූ වැටුප් ක‍්‍රමය මුලුමනින් ම වෙනස් කිරීමයි. තමන්ගේ වෘත්තීය ගැනත් ස්වාධිකාරී සමාජ නිෂ්පාදන ව්‍යාපාරයක කොටස්කරුවන් ලෙසත් සාඩම්බර වන්නාවූ ව්‍යවසායකයන් බවට අප ඔවුන් පරිවර්තනය කල යුතු ය.”

කම්කරුවන් “ව්‍යාපාරිකයන්” කිරීමේ මෙම ව්‍යාජය ඔවුන් හඳුන්වන්නේ “ආදායම බෙදා ගැනීමේ” ක‍්‍රමයක් ලෙසය. ඒ අනුව නිශ්චිත තේ පඳුරු සංඛ්‍යාවක් කම්කරු පවුලකට පැවරේ. පොහොර, රසායනික ද්‍රව්‍ය හා ආම්පන්න සමාගමෙන් ලැබෙයි. තේ දලු යැවිය යුත්තේ සමාගමේ තේ කම්හලටය. මෙරට හා විදේශ වෙලඳ පොලේ බැංකුකාරයන්ගේ හා සමාගම්වල උපාමාරුවලින් පසුව පෙන්වන ආදායමෙන් කොටසක් “සාඩම්බර ව්‍යවසායකයා” හෙවත් දහදිය හෙලන කම්කරුවාට ලැබෙයි. ඉන් අර්ථසාධක අරමුදලට හා සේවක භාරකාර අරමුදලට කපා ගැනීම් ද ඇතුලුව කම්කරුවාට රුපියල් 1000 ට වැඩි ආදායමක් දිනකට උපයා ගත හැකි යයි රාජදුරෙයි කියයි.

කම්කරුවාගේ මුලු පවුලම වත්තේ කැඹීරීමට යොදා ගැනීමක් අලුත් ක‍්‍රමයෙන් අපේක්ෂිතය. කම්කරුවා ඇතිකරන සතුන්ගෙන් හා වෙනත් ක‍්‍රමවලින් පොහොර සපයා ගැනීමක් ද බලාපොරොත්තුවෙයි.

මෙම සමස්ත ක‍්‍රමය ම කම්කරුවන් විසුරුවා හරින, පැරනි අඳගොවි ක‍්‍රමයට බෙහෙවින් සමානය. කම්කරුවාගේ පහත් ජීවන හා සමාජ කොන්දේසි තවත් පහලට ඇද දැමීමට පමනක් එය තුඩු දෙයි. (කියවන්න: ජනවාරි 7, වතු කම්කරුවන් මත අඳගොවි ක‍්‍රමය පැටවීමට වෘත්තීය සමිති සහාය දෙති )

කම්කරුවන් ට ප‍්‍රහාරයන් එල්ල කිරීමේ දී වතු සමාගම් ඍජුව ම පදනම් වන්නේ ධනපති ආන්ඩුවේ සහ වෘත්තීය සමිතිවල සහයෝගය මත ය. “විශේෂයෙන් ම වැවිලි ක්ෂේත‍්‍රය තුල වැටුප් ගිවිස ගැනීම් සම්බන්ධයෙන් කෙරෙන අයුතු දේශපාලන බලපෑම් ඉවත් කර පුද්ගලික අංශයට කාර්යක්ෂම ආකාරයකට කලමනාකරනය කර ගැනීමට ඉඩ දෙන” ලෙස රාජදුරෙයි ආන්ඩුවට කියයි. කම්කරුවන්ගේ වැටුප් අරගලයක් පැන නැගෙතැයි බියෙන් වැටුප් වැඩි කිරීම් ගැන පූච්චානම් කතා කියන ආන්ඩුව රාජදුරෙයිගේ විසඳුමට කිසිසේත්ම විරුද්ධ නැත.

සමිති වෙතට හැරෙන රාජදුරෙයි “කර්මාන්තයේ දිගුකල් පැවැත්ම පිලිබඳ ප‍්‍රශ්නය බෙහෙවින් ම රඳා පවතින්නේ වෘත්තීය සමිති මත” බව පෙන්වා දෙයි.

වතුකරයේ වෘත්තීය සමිති අතර, ආරුමුගම් තොන්ඩමාන්ගේ ලංකා කම්කරු කොංග‍්‍රසය (සීඩබ්ලිව්සී) ආන්ඩුවට රිංගා ගැනීමට මාන බලමින් සිටියි. පී. දිගම්බරම් හා මනෝගනේෂන් නායකත්වය දරන ජාතික කම්කරු සංගමය (එන්ඩබ්ලිව්යු) හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී කම්කරු සංගමය (ඩීඩබ්ලිව්සී) ද කඳුරට ජනතා පෙරමුන (යූපීඑෆ්) ආන්ඩුවේ කොටස් කරුවෝ ය. ජනතා විමුක්ති පෙරමුන ද වතු සමිතියක් පවත්වා ගෙන යයි. මේ සමිති ව්‍යාජ ලෙස වැටුප් වැඩිවීමක් ගැන දෙඩවුවත් රාජදුරෙයිගේ යෝජනාවට පක්ෂ ය. කම්කරුවන්ට ඉඩම් ලබාදීමේ නමින් ඔවුන් ඊට පලිප්පු දමයි. කුමන නමකින් හැඳින්වුවත් එය අන්ත ප‍්‍රතිගාමී ය.

වතු සමාගම් විසින් ලාබ ගරා ගැනීම මුලික ව රඳා පැවතුනේ සහ පවතින්නේ වෘත්තීය සමිති වල ද්‍රෝහී ක‍්‍රියා කලාපය මත ය. වැටුප් සහ සේවාකොන්දේසි කප්පාදුවට එරෙහිව කම්කරුවන් අතර පසුගිය වසර වල පැන නැගුන අරගල කඩාකප්පල් කිරීමටත්, එම අරගල මර්දනය කිරීම සඳහාත් පොලිසියට සහ වතු සමාගම් වලට වෘත්තීය සමිති දිගට ම සහයෝගය දුන්හ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ ඇමති පට්ටම් දරා සිටි දිගම්බරම් මේ ආන්ඩුවේ ද ඇමැතියෙකි. මනෝගනේෂන් ද වත්මන් ආන්ඩුවේ ඇමැතියෙකි. ධනපති ආන්ඩුවල වරප‍්‍රසාද භුක්තිවිඳින වැවිලිකරුවන් සහ ව්‍යාපාරිකයන් වන මොවුහු ධනේශ්වර දේශපාලඥයෝ ද වෙති. ඔවුන් නියෝජනය කරන්නේ වතු කම්කරුවන්ගේ අවශ්‍යතාවයන් නො ව, ධනපති ආන්ඩුවේ, මහ ව්‍යාපාරිකයන්ගේ සහ ප‍්‍රාග්ධනයේ අවශ්‍යතාවයන් ය.

ආන්ඩුවේ හා සමිතිවල සහයෝගයෙන් ක‍්‍රියාවට දමන්නට මාන බලන වැවිලිකරුවන්ගේ සැලසුමට වතු කම්කරුවන් විරුද්ධ විය යුතුය. ලංකාවේ වතු කම්කරුවන් තමන් මෙන්ම බැට කෑමට ලක්ව සිටින කෙන්යාව, ඉන්දියාව, චීනය ඇතුලු රටවල තම පන්ති සහෝදරයන් සමග එකමුතුව ගොඩනගා ගනිමින් ජාත්‍යන්තර සමාජවාදී වැඩ පිලිවෙලට සටන් කල යුතුය.

ආන්ඩුව වතු ජනසතු කිරීමෙන් ප‍්‍රශ්නය විසඳිය නොහැකි යයි රාජදුරෙයි කියා ඇත. සත්තකින්ම. වතු ලාබ පිපාසිත කොම්පැනි කරුවන්ගේ අතේ තැබීමෙන් ද ප‍්‍රහාරය වලකා ගත නොහැකි ය. ආන්ඩුව දැන් ආර්ථික අර්බුදයේ බර කම්කරුවන් මත පැටවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිවෙල ක‍්‍රියාවට දමමින් සිටී. වතු කම්කරුවන්ට එල්ල කෙරෙන ප‍්‍රහාරය සමස්ත කම්කරු පන්තියට හා දුගීන්ට එල්ලවන කප්පාදු වැඩපිලිවලේ ම කොටසකි.

මෙම ප‍්‍රහාර නතර කල හැක්කේ ධනපතියන්ගේ ලාබය සඳහා නො ව, බහුතරය වන කම්කරුවන්ගේ හා දුගීන්ගේ අවශ්‍යතාව මත නිෂ්පාදන ක‍්‍රමය සලසුම් කරන ක‍්‍රමයක් තුල පමනි. එනම් ලංකාවේ ධනපති පන්ති පාලනය පෙරලා දමා මහා වතු, කර්මාන්ත, මූල්‍ය ආයතන හා අනෙකුත් ව්‍යවසායයන් කම්කරු පාලනය යටතේ ජනසතු කරන සමාජවාදී වැඩපිලිවෙලක් ක‍්‍රියාවට දමන කම්කරු ගොවි ආන්ඩුවක් බලයට ඒම මගින් පමනි. ඒ සඳහා දේශපාලන අරගලයක් සංවිධානය කිරීම වතු කම්කරුවන් හා සමස්ත කම්කරු පන්තිය ඉදිරියේ ඇති තීරනාත්මක වගකීම වේ.

වෘත්තීය සමිති ධනපතියන්ගේ කාර්මික පොලීසිය ලෙස ක‍්‍රියා කරයි. ඊට එරෙහිව තම අවශ්‍යතා සඳහා කම්කරුවන්ට සටන් කල හැක්කේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී චන්දයෙන් පත්කර ගන්නා ක‍්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීමෙනි. වතුකරයේ හා අනෙකුත් කර්මාන්ත හා ව්‍යාපාරයන් තුල ක‍්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීමට මූලිකත්වය ගන්නා ලෙස ද සමාජවාදී වැඩපිලිවෙලට සටන් කිරීමේ උපකරන බවට ඒවා පත්කර ගන්නා ලෙස ද අපි කම්කරුවන් ගෙන් ඉල්ලමු.

මෙම ක‍්‍රියාමාර්ගය සහ ඉදිරිදර්ශනය සම්පාදනය කරන සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ලෙස ගොඩ නැගීමට එක්වන ලෙස වතු කම්කරුවන්ගෙන් සහ තරුනයන් ගෙන් අපි ඉල්ලා සිටිමු.

Share this article: