එක්සත් ජනපද සසප ජනාධිපති අපේක්ෂකයා ශ්‍රී ලංකාවේ ප්‍රෙක්ෂකයින් අමතයි

US SEP presidential candidate addresses Sri Lankan audience

අපේ වාර්තාකරුවන් විසිනි, 2016 ඔක්තෝබර් 31

එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ජනාධිපති අපේක්ෂක ජෙරී වයිට් අන්තර්ජාලය හරහා අමතන ලද ඉරිදා සන්ධ්‍යාවේ කොලඹ පැවති රැස්වීමට, කම්කරුවන්, තරුනයින්, වෘත්තිකයන්, ගෘහනීන් හා පක්ෂ සාමාජිකයන් හා ආධාරකරුවන් 100කට අධික පිරිසක් සහභාගි විය. සසප හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) විසින් රැස්වීම සංවිධානය කරන ලදී.

රැස්වීම සඳහා සසප හා සසජාතශි කොලඹ හා අවට ප්‍රදේශවල මෙන් ම වතුකරයේ සහ යාපනයේ උද්ඝෝෂනවල නිරත වූයේ, ඇමරිකානු මැතිවනරයට එරට පක්ෂය කරන මැදිහත් වීම පිලිබඳ ව සාකච්ඡා කිරීමට යි. 2012 ජනාධිපතිවරන උද්ඝෝෂනය තුල දී ශ්‍රී ලංකාවට පැමිනි වයිට් කෑගල්ලේ රබර් වතු වලට ද තවත් ප්‍රදේශ කිහිපයකට ද ගිය අතර කෑගල්ල, කොලඹ හා ගාල්ලේ ප්‍රසිද්ධ රැස්වීම් ඇමතී ය.

ජෙරී වයිට් කොලඹ රැස්වීම අමතමින්

ඊයේ පැවති කොලඹ රැස්වීම අවසාන වූයේ, නොවැම්බර් 5දා එක්සත් ජනපද සසප විසින් පවත්වන සමාජවාදී යුද විරෝධී සමුලුවට සහාය පලකරන යෝජනාවක් ඒකමතික ව සම්මත කරමිනි. රැස්වීම තුල ප්‍රකාශයට පත්වූ සමාජවාදී ජාත්‍යන්තරවාදය පිලිබඳ බලගතු ඇඟවුමක් ලෙස, යෝජනාව ඒකමතික ඡන්දයෙන් සම්මත විය.

යෝජනාව ආරම්භ වූයේ මෙලෙසිනි: “එක්සත් ජනපදයේ සසප හා සසජාතශි විසින් නොවැම්බර් 5දා පැවැත්වීමට නියමිත ධනවාදයට හා යුද්ධයට එරෙහි ව සමාජවාදය නමැති සම්මේලනයට මෙම රැස්වීම පූර්න සහාය පල කරමින් සුභපැතුම් පිරිනමයි. එම සම්මේලනය, අධිරාජ්‍යවාදී යුද්ධයට විරුද්ධ ව, එක්සත් ජනදයේත් ජාත්‍යන්තර වත් කම්කරු පන්තියේ හා තරුනයන්ගේ සමාජවාදී ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනැගීමට හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව දියත් කරනු ලබන අරගලයේ වැදගත් සන්ධිස්ථානයක් යයි අපි විශ්වාස කරමු.”

රැස්වීමේ මුලසුන හෙබවූ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාතික කර්තෘ කේ. රත්නායක ජෙරී වයිට් හඳුන්වා දුනි. ඇමරිකානු මැතිවරනයට තරඟ වදින එක ම සමාජවාදී අපේක්ෂකයන් වන්නේ වයිට් හා සසප උප ජනාධිපති අපේක්ෂක නයිල්ස් නීමුත් පමනක් බව ඔහු විස්තර කලේ ය.

එක්සත් ජනපද මැතිවරනයට ශ්‍රී ලංකාවේ ව්‍යාජ වම්මුන්ගේ ප්‍රතිචාරය විලක්ෂනය කල රත්නායක, ව්‍යාජ-වාම එක්සත් සමාජවාදී පක්ෂය (එසප) එක්සත් ජනපදයේ එහි සහයෝගී පක්ෂය වන සමාජවාදී විකල්පය (එස්ඒ), ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකත්වය සඳහා තරඟ කල බර්නි සෑන්ඩර්ස් තමන් සමාජවාදියෙක් යයි කල ව්‍යාජ ප්‍රකාශයන්ට පිටුබලය දුන් බව සඳහන් කලේ ය. සෑන්ඩර්ස්, හිලරි ක්ලින්ටන් පිටුපස පෙලගැසීමෙන් පසුව එස්ඒ, ධනපති හරිත පක්ෂයේ අපේක්ෂකයාට සහයෝගය දීමට පටන් ගත්තේ ය.

කපිල ප්‍රනාන්දු

සසජාතශි කැඳවුම්කරු කපිල ප්‍රනාන්දු රැස්වීම සඳහා විශ්ව විද්‍යාල සිසුන් අතර කල උද්ඝෝෂනයේ දී ලද අත්දැකීම් සමහරක් කැටිකොට දැක්වී ය. නිල මාධ්‍යයන් එක්සත් ජනපද මැතිවරනය බොහෝ සෙයින් නො තකා හැර ඇතත්, වැඩෙන ලෝක යුද තර්ජනය ගැන මෙන් ම එය නවත්වන්නේ කෙසේ ද යන්න හා සමාජවාදය සඳහා සටන් වදින්නේ කෙසේ ද යන්න ගැන සාකච්ඡා කිරීමට බොහෝ සිසුන් උනන්දු වූ බව ඔහු කීවේ ය.

ක්ලින්ටන් හා ට්‍රම්ප් අතර පැවති රූපවාහිනී විවාදයක් නරඹා තිබුනු එක් ගුරුවරියක් සියලු ඇමරිකානු ජනයා යුද්ධයට පක්ෂ බව නිගමනය කොට තිබුනේ යයි ප්‍රනාන්දු විස්තර කලේ ය. එහෙත් ලෝසවෙඅ ලිපි කියවූ ඇය සැබෑ තත්ත්වය බොහෝ සෙයින් වෙනස් බව තේරුම් ගත්තා ය.

අන් සියල්ලට වඩා එක්සත් ජනපදයේ කටයුතු හරහා පෘථිවි ගෝලයේ සෑම ප්‍රදේශයක් ම භූ-දේශපාලනික ආතතීන්ගේ වාසුලිය තුලට ඇද ගනු ලබමින් තිබෙන බව සසප සහකාර ජාතික ලේකම් දීපාල් ජයසේකර අවධාරනය කලේ ය. තම ගෝලීය ආධිපත්‍යය තහවුරු කිරීමට වොෂින්ටනය ගන්නා ආක්‍රමනශීලී හැරීම තවත් ව්‍යසනකාරී ලෝක යුද්ධයක අන්තරාය වැඩි කරයි.

චීනයට එරෙහි යුද සූදානමේ දී ඉන්දියාව ඉදිරි පෙලේ රාජ්‍යයක් ලෙස ගොනු කර ගැනීමට එක්සත් ජනපදය සෑම උත්සාහයක් ම දරමින් සිටින බව ජයසේකර කීවේ ය. ඉන්දියානු ආන්ඩුව මෙන් ම, ඇමරිකානු ගැති කොලඹ ආන්ඩුව ද ආසියාව තුල වොෂින්ටනයේ යුද සැලසුම් වලට ශ්‍රී ලංකාව බැඳ දමමින් සිටී.

දීපාල් ජයසේකර

“මේ තත්ත්වය තුල එක්සත් ජනපදය ගැන මෙන් ම ලෝක ආධිපත්‍යය සඳහා එහි ධාවනය ගැන වයිට් ඔබ අමතා කතා කිරීම ශ්‍රී ලංකාව ද ඇතුල කලාපීය කම්කරුවන්ට හා තරුනයන්ට අතිශයින් වැදගත්” යයි ජයසේකර කීවේ ය. සමාජවාදී පදනමක යුද්ධයට විරුද්ධ ව කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව හා විප්ලවවාදී පක්ෂ ගොඩනැගීම තීරනාත්මක වේ.

ජෙරී වයිට් තම කතාව ආරම්භ කලේ ප්‍රෙක්ෂකයින්ගෙන් ලැබුනු උනුසුම් පිලිගැනීම මධ්‍යයේ ය. ඔහුගේ කතාව එකවර ම සිංහලට හා දෙමලට පරිවර්තනය කරන ලදී.

“ මැතිවරන උද්ඝෝෂනය ආරම්භයේ සිටම උප ජනාධිපති අපේක්ෂක නයිල්ස් නීමුත් හා මම, අපගේ ආයාචනා ඉදිරිපත් කලේ හුදෙක් එක්සත් ජනපදයේ කම්කරුවන්ට පමනක් නො ව, මෙරටෙහි මෙන් ම සමාජ අර්බුදයට, ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එරෙහි ප්‍රහාරයන්ට සහ මානව ශිෂ්ඨාචාරයේ අනාගතයට ම තර්ජනය කරන ලෝක යුද්ධයේ අන්තරායට මුහුන දී සිටින, ආසියාවේ, යුරෝපයේ හා ලොව පුරා අපගේ සහෝදර සහෝදරියන්ට” යයි වයිට් කීවේ, එක්සත් ජනපද සසපයේ මැතිවරන උද්ඝෝෂනයේ ජාත්‍යන්තර ස්වභාවය අවධාරනය කරමිනි.

“වසරකට වැඩි මැතිවරන උද්ඝෝෂනයකින් පසුව ඇමරිකානු ජනතාවට ඉතිරි ව ඇත්තේ, විදේශයන්හි මිලිටරි ප්‍රචන්ඩත්වය උත්සන්න කිරීමටත් රට තුල කම්කරු පන්තියට එරෙහි යුද්ධය උග්‍ර කිරීමටත් කැපවූ දක්ෂිනාංශික අපේක්ෂකයන් වන හිලරි ක්ලින්ටන් හා ඩොනල්ඩ් ට්‍රම්ප් යන දෙදෙනාගෙන් එක් අයෙක් තෝරාගැනීමේ විකල්පයයි ” යනුවෙන් වයිට් විස්තර කලේ නිල මැතිවරන ක්‍රමය තුල ඇමරිකානු කම්කරු පන්තිය දේශපාලනික ව බැහැර කරනු ලැබ ඇති ආකාරය පෙන්වා දෙමිනි.

“දේපොල වෙලඳාම් ජාවාරමට සම්බන්ධ ධනකුවේරයයෙකු වන ට්‍රම්ප්, සංක්‍රමන විරෝධී ස්වෝත්තමවාදය, ආර්ථික ජාතිකවාදය හා දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීම ආදී ප්‍රතිගාමී මාවත් ඔස්සේ දේශපාලන අතෘප්තිය හරවා යැවීමට උත්සාහ කරයි. මහජන අතෘප්තියට ආයාචනා කිරීමේ ඒකාධිකාරී හැකියාව ඔහුට ලැබී ඇත්තේ, නිල ‘වාමාංශයේ’ හා ඩිමොක්‍රටික් පක්ෂයේ කම්කරු පන්ති විරෝධී පිලිවෙත් නිසා ය” යයි වයිට් පෙන්වා දුන්නේ ය.

“ක්ලින්ටන් මූර්තිමත් කරන්නේ පවත්නා තත්ත්වය යි. ඇය වනාහි වෝල් වීදියේ සහ සංගත හා දේශපාලන සංස්ථාපිතයේ මනාපය ලත් අපේක්ෂිකාව යි. ඇයගේ ආධාරකරුවන් අතරට, වෝල් වීදියේ ප්‍රමුඛ බැංකුකරුවන් පමනක් නො ව, නීති විරෝධී ඉරාක ආක්‍රමනය, සීඅයිඒ වධ කඳවුරු හා එන්එස්ඒ ඔත්තු බැලීම් සැලසුම් කල අය ද ඇතුලත් වෙති.”

මැද පෙරදිග, යුරෝපය හා ආසියාව තුල වොෂින්ටනයේ මිලිටරිවාදී පිලිවෙත් මුහුන දී සිටින ගැඹුරු අර්බුදය මධ්‍යයේ ඇමරිකානු පාලක පන්තිය තුල පවත්නා තියුනු දේශපාලන බෙදීම් ගැන වයිට් සඳහන් කලේ ය. ඇමරිකානු පාලක ප්‍රභූව තුල “සාමය වෙනුවෙන් පෙනී සිටින කන්ඩායමක්” නැතැයි ඔහු අවධාරනය කලේ, “අවසාන විග්‍රහයේ දී, ඇමරිකානු යුද ධාවනය මුල් බැස තිබෙන්නේ දේශපාලනඥයන්ගේ පුද්ගලික අභිලාෂයන් තුල නො ව, ඇමරිකානු හා ලෝක ධනවාදයේ වෛෂයික පරස්පර විරෝධයන් තුල ය” යයි පෙන්වා දෙමිනි.

“අධිරාජ්‍යවාදී යුද්ධය බිහි කරන එම පරස්පර විරෝධයන් ම සමාජවාදී විප්ලවය සඳහා ද වෛෂයික පදනම් නිර්මානය කරන බව” ඔහු විස්තර කලේ ය. “කම්කරු පන්තියේ හා තරුනයන්ගේ පුලුල් ස්ථරයන්හි රැඩිකලීකරනය ආරම්භයේ දී විකෘත ආකාරයකින් වුවත් ප්‍රකාශයට පත් වූයේ තමා ‘සමාජවාදියෙක්’ යයි කියාගත් බර්නි සෑන්ඩර්ස් වටා ගොනු වූ සහයෝගය ලෙස ය. එහෙත් සසප අනතුරු ඇඟවූ පරිදි සෑන්ඩර්ස් දැන් උත්සාහ කරන්නේ තම ආධාරකරුවන් යුද ගැත්තියක් හා වෝල් වීදියේ රූකඩයක් වන ක්ලින්ටන් පිටුපස ගාල් කිරීමට යි.”

එක්සත් ජනපදය තුල මෝටර් රථ කම්කරුවන්, ගුරුවරුන් හා විදුලි සංදේශ කම්කරුවන් අතර අරගල වර්ධනය වීම වයිට් විසින් කැටිකොට දැක්වූයේ, ඒවා වනාහි ජාත්‍යන්තර ව කම්කරු පන්තියේ අරගල යලි පැනනැගීමේ කොටසක් බව පෙන්වා දෙමිනි. “ලෝක දේශපාලනයේ නිද්‍රෝපගත යෝධයා වන ඇමරිකානු කම්කරු පන්තිය වෙතින් පෙර නුවූ විරූ කැපකිරීම් සඳහා කෙරෙන බලපෑම්, ලෝක අධිරාජ්‍යවාදයේ හදවත තුල ම ඔවුන් අරගලවලට අද දමනවා” යයි ඔහු කීවේ ය.

ව්‍යාජ-වාම දේශපාලනයේ දිරිසුන් ඉහල මධ්‍යම පාන්තික නියෝජිතයින් කියා සිටින පරිදි කම්කරු පන්තිය “අතුරුදහන් ව” නැතැයි වයිට් කීවේ ය. “එක්සත් ජනපදය තුල යෝධ කම්කරු පන්තියක් සිටී. ගෝලීය ව ගත්කල, පසුගිය දශක දෙක තුල චීනයෙන්, ඉන්දියාවෙන් හා අනෙක් රටවලින් කම්කරුවන් බිලියන 1.5ක් ජාත්‍යන්තර නිර්ධන පන්තියට එක් ව සිටිනවා.” එහෙත්, ධනවාදයේ මිනීවල කනින්නා ලෙසත් වඩා දියුනු සමාජවාදී දේපොල සබඳතාවන්හි භාරකරුවා ලෙසත් කම්කරු පන්තියට සිය ඓතිහාසික කාර්යභාරය ඉටුකල හැක්කේ එහි හිස ලෙස මාක්ස්වාදී පක්ෂයක් පවතින්නේ නම් පමනි.

එක්සත් ජනපදයේ, ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තර ව කම්කරු පන්තියට එක්සත් ජනපද මැතිවරනයෙන් කිසිදු විසඳුමක් ගෙන එන්නේ නැති බව විස්තර කරමින් වයිට් මෙසේ අවධාරනය කලේ ය: “අවශ්‍ය වන්නේ, යුද්ධයට හා අසමානතාවට, ආඥාදායකත්වයට හා ධනවාදයට එරෙහි ව ඉදිරියේ එන අරගලවලට සූදානම් වීම යි.” ඔහු කතාව අවසන් කලේ, “සාමය හා සමානතාව අවශ්‍ය වන ජනගහනයේ අතිමහත් බහුතරයේ ශක්තිය ඒකාබද්ධ කරගන්නා කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුවේ පදනම මත, ධනේශ්වර පද්ධතිය අවසන් කිරීම සඳහා බලගතු සමාජ දේශපාලන ව්‍යාපාරයක් අපි ගොඩනගනවා” යයි පක්ෂයේ අචල විශ්වාසය අවධාරනය කරමිනි.

උනුසුම් ප්‍රතිචාරයක් ලද වයිට්ගේ කතාවෙන් පසුව ප්‍රෙක්ෂකත්වයෙන් ඉදිරිපත් වූ ප්‍රශ්න කිහිපයක් වටා සජීවී සාකච්ඡාවක් වර්ධනය විය. එහි දී ඉදිරිපත් වූ ප්‍රශ්නවලට, එක්සත් ජනපදය තුල ද්වි-පක්ෂ ක්‍රමයේ ඛාදනය සහ කම්කරුවන් හා තරුනයන් අතර ගෙන ගිය සසප මැතිවරන උද්ඝෝෂනය පිලිබඳ අත්දැකීම් කවරේද වැනි කරුනු ඇතුලත් විය.

Share this article: