ඉන්දියාව පකිස්ථානයට මිලිටරි ප‍්‍රහාර එල්ල කරයි

India launches military attacks against Pakistan

කීත් ජෝන්ස් විසිනි, 2016 සැප්තැම්බර් 30

ඉන්දියාව 28දා රාත‍්‍රියෙහි පැය 5ක් තිස්සේ පකිස්ථානය තුලට බහුවිධ මිලිටරි ප‍්‍රහාර එල්ල කලේය. එය දකුනු ආසියාව ව්‍යසනකාරී ප‍්‍රතිවිපාක ගෙන එන බිහිසුනු පූර්න යුද්ධයක අබියසට ඇද දැමීය.

එය ඉන්දියාව හා පකිස්ථානය යන න්‍යෂ්ටික අවි දරා සිටින දෙරටක් අතර පලමු යුද්ධය පමනක් නොව, ඇමරිකාව හා චීනය ද දෙපැත්තට වේගයෙන් ඇදී ආ හැකි යුද්ධයක් ද විය හැකිව තිබුනි.

පකිස්ථානයේ ප‍්‍රති ප‍්‍රහාර අපේක්ෂවෙන් හෝ ඉන්දියානු යුද සූදානම ආවරනය කිරීමේ උපායක් ලෙස, ඉන්දියානු බලධාරීහු, පන්ජාබ් හා ජම්මු-කාෂ්මීර ප‍්‍රාන්තවල පකිස්ථානය දේශසීමාව දිගේ කිලෝ මීටර් 10ක් ඇතුලත වාසය කරන සියල්ලන් ඉවත්කිරීමට 29දා නියෝග කලහ.

ඉන්දියානු මිලිටරි ප‍්‍රහාරය "ප‍්‍රකෝප නොකල හා නග්න ආක්‍රමනයක්" ලෙස පකිස්ථාන අගමැති නවාස් ෂරීෆ් විසින් හෙලා දුටුවේය. ඉස්ලමාබාදයේ ප‍්‍රතිචාරය පිලිබඳව සාකච්ඡා කිරීමට ඔහු 30දා හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා ඇත.

ඉන්දියාව පවසන්නේ, තමන් ඉන්දියානු හා පකිස්ථාන පාලනය යටතේ ඇති කාෂ්මීරය බෙදා වෙන් කරන පාලන රේඛාවේ පකිස්ථානය පැත්තේ ඇති "ත‍්‍රස්තවාදී මෙහෙයුම් ඒකක" හතකට පහර දුන් බවයි. සිය හමුදා කිමී 3ක් පමන දුරක් පකිස්ථානය තුලට ගමන් ගත් බවත්, ඔවුන් "ත‍්‍රස්තවාදීන්ට හා ඔවුන් ආරක්ෂා කිරීමට උත්සාහ කරන අයට සැලකිය යුතු හානි" සිදුකල බවත් ඉන්දියාව පවසයි.

මෙහෙයුම පිලිබඳව මිලිටරිය කිසිවක් නොපැවසීය. නිල මූලාශ‍්‍ර පදනම් කර ගනිමින් ඉන්දියානු මාධ්‍ය පවසන්නේ, ඉන්දියානු කොමාන්ඩෝ භටයින් හා ප‍්‍රහාරක හෙලිකොප්ටර් පකිස්ථාන පාලනය යටතේ පවතින කාෂ්මීරය නැතිනම් අසාඩ් තුලට ගමන්ගත් අතර ඔවුන්ගේ "ගොදුරු දුසිමක් පමන" වූ බවය.

ඉන්දියාව හා පකිස්ථානය පසුගිය විසිපස් වසර පුරා නැවත නැවතත් හටගත් යුද අර්බුද තුලින් ගමන් කර ඇති අතර, 1999දී ඉන්දීය කාෂ්මීරයේ කාගිල් ප‍්‍රදේශයෙහි අප‍්‍රකාශිත යුද්ධයක පැටලී සිටියේය. එහෙත් ඉන්දියාව දශක ගනනක් තිස්සේ පකිස්ථානය තුල මිලිටරි ආක්‍රමන සිදු කල බව ප‍්‍රසිද්ධියේ පිලි නොගත්තේ, එයින් යුද්ධය, න්‍යෂ්ටික යුද්ධය පවා, වේගයෙන් උත්සන්න විය හැකිය යන බිය නිසාය.

28දා ප‍්‍රහාරය එල්ල වුනේ, ඉන්දීය සෙබලු 18ක් මරා දමමින් ජම්මු-කාෂ්මීරයේ ඌරි මිලිටරි කඳවුරට ඉන්දියානු විරෝධී ඉස්ලාමීය සටන්කරුවන් එල්ල කල ප‍්‍රහාරයෙන් දින 10ට පසුවය. කිසිදු මූලික පරීක්ෂනයකින් පවා තොරව ඉන්දියාවේ හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව, ප‍්‍රහාරයේ වගකීම ඉස්ලමාබාදය විසින් භාරගත යුතු බව කියා සිටිමින් පකිස්ථානයට දඬුවම් කරන බවට දිව්රීය.

ඉන්දියාවේ මාධ්‍යම, විපක්ෂයේ සංවිධාන හා විශ‍්‍රාමික හමුදා නිලධාරීන් පෙලක් පකිස්ථානයට එරෙහි යුද ඝෝෂාවට එක්වූහ.

ප‍්‍රීති උත්සවයක් වැනිවූ ඊයේ පැවති මාධ්‍ය සමුලුවකදී ඉන්දියානු මිලිටරි මෙහෙයුම් පිලිබඳ අධ්‍යක්ෂ ජෙනරාල් ලුතිනන් ජෙනරාල් රන්බීර් සිං පැවසුවේ, "නිරවද්‍ය ප‍්‍රහාර" ඉලක්ක කලේ, පාලන රේඛාව හරහා ඉන්දියාව තුලට "එවීම" සඳහා ස්ථානගතකර සිටි "ත‍්‍රස්තවාදී කන්ඬායම් වලට" බවයි.

දේශසීමා හරහා ආක්‍රමන සඳහා ඉන්දියාවට වෙනත් සැලසුම් නැතැයි සිං පැවසීය. "කෙසේ වෙතත්, මතුවිය හැකි ඕනෑම තත්වයක්ට මුහුන දීම පිනිස ඉන්දියානු හමුදා මුලුමනින්ම සූදානම්ව සිටී."

මේ අතර පකිස්ථානය මිලිටරිය, දේශසීමා හරහා නිරවද්‍ය "ප‍්‍රහාර" එල්ල කල බවට කෙරෙන ඉන්දියානු වාර්තා එකහෙලා ප‍්‍රතික්ෂේප කරමින් ඒවා "මිථ්‍යාවක්" බවත් "සාවද්‍ය බලපෑම් ඇතිකිරීම" පිනිස ඉන්දියාව විසින් "නිර්මානය කල අසත්‍ය " ප‍්‍රචාර බවත් පැවසීය.

28දා රාත‍්‍රියේ සිය සෙබලු දෙදෙනෙක් මියගොස්, තවත් 9ට තුවාල සිදුවූ බවත් ඒ, පාලන රේඛාව ඔස්සේ නිරන්තරව සිදුවන ආකාරයේ කාලතුවක්කු හා වෙඩි හුවමාරුවකින් බවත් පකිස්ථානය පවසයි. ඉන්දියාවේ ප‍්‍රකාශයන්ට අභියෝග කරමින් මිලිටරිය කියා ඇත්තේ, " පකිස්තානු භුමියේ ඉලක්ක වෙත ප‍්‍රහාර එල්ල කලහොත් පකිස්ථානය ඊට දැඩි ලෙස ප‍්‍රතිචාර දක්වන බව පැහැදිලිව ප‍්‍රකාශ කර තිබෙන" බවයි.

දෙපාර්ශවයම සාවද්‍ය තොරතුරු පතුරවන බව පැහැදිලිය. ඉන් පෙන්නුම් කරන්නේ තත්වය කෙතරම් බරපතල ද යන්නයි.

28දා ප‍්‍රහාරය එල්ල කලේ, ඉන්දියාව තුලට ත‍්‍රස්තවාදී කන්ඬායම් ඇතුල්වීම වැලැක්වීම සඳහා බවට නව දිල්ලිය කරන ප‍්‍රකාශය ගත් කල එය, ආක්‍රමනිකත්වයේ ඉවබව නැති කටයුතු සඳහා ගොතන ලද කඩතුරාවක් බව ඕනෑවටත් වඩා පැහැදිලිය.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය පකිස්ථානයේ ප‍්‍රතිගාමී හා වර්ගවාදී පාලක පන්තිය හා එරට මිලිටරිය කෙරෙහි කිසිදු පක්ෂපාතිත්වයක් නොදක්යි. ඔවුන් නැවත නැවතත් ක‍්‍රියාකර ඇත්තේ එරට ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් පෑගීමටත්, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ රූකඩයින් ලෙසත් ය. ඇෆ්ගනිස්ථානයේදී සෝවියට් සංඟමයට එරෙහි සිය සැඟවුනු යුද්ධයේ ඛනිෂ්ඨ හවුල්කරුවෙකු ලෙස ඉස්ලමාබාදයට සලකනු ලැබූ සීඅයිඒ කෝව තුල පුරුදු පුහුනුවූ පකිස්ථානය, ඉන්දියාවට එරෙහි සිය මිලිටරි-මූලෝපායික එදිරිවාදිකම් පිරිමසා ගැනීමට ඉස්ලාමීය ත‍්‍රස්තවාදීන් ප‍්‍රයෝජනයට ගත්තේය. විශේෂයෙන්ම කාෂ්මීරයේ ඉන්දියානු පාලනය කෙරෙහි පලවන ජනතා විරෝධය වාර්ගික රේඛා ඔස්සේ බෙදා, දේශපාලනිකව මර්දනයේදී හා පීලිපැන්නවීමේදී එසේ විය.

දෙරට අතර මිලිටරි මූලෝපායික පරතරය පිලිබඳව යලි යලිත් අනතුරු අඟවන පකිස්ථානය, තමන්ට වඩා හය ගුනයක ජනගහනයකින් ද සත් ගුනයක් විශාල ආර්ථිකයක් ද සහිත ඉන්දියාව තුල ප‍්‍රහාර එල්ල කිරීම සඳහා ත‍්‍රස්තවාදීන් රිංඟවන්නේ මක්නිසා ද? නව දිල්ලිය දැනටමත් යුද්ධයට සූදානම් වෙද්දී?

2010න් පසුව ඉන්දියාවේ වර්ධන වේගය පහත වැටීමෙන් කලබලයට පත් එරට ධනේශ්වරය, කම්කරු පන්තිය සූරාකෑම දැඩි කිරීමටත් ලෝක කරලියේ සිය මහ බලවතෙකු පිලිබඳ සිහිනය සැබෑකර ගැනීමටත් නරේද්‍ර මෝඩිගේ අන්ත දක්ෂිනාංශික බීජේපීය බලයට පත් කලේය. දෙවන අරමුන ලුහුබඳිද්දී ඉන්දියාව, චීනයට එරෙහි වොෂින්ටනයේ යුදව්‍යායාමයට වඩ වඩාත් ඒකාග‍්‍රවී ඇති අතර ඇමරිකානු සහයෝගයෙන් දිරිමත්ව කලාපීය අධිපතියා බවට පත්වීමට උත්සාහ දරයි.

ඉන්දීය පාලක පන්තිය, පකිස්ථාන "ත‍්‍රස්තවාදයේ" අහිංසක ගොදුරක් බවට රට පත්ව ඇතැයි මවාපාන අතර බීජේපී ආන්ඩුව, පකිස්ථානය සමඟ ගැටුමක් කරා රට තල්ලු කරයි. බලයට පත්වූ වහාම එය මිලිටරියට නියෝග දුන්නේ පාලන රේඛාව පිලිබඳව වඩාත් ආක්‍රමනකාරී පිලිවෙතක් අනුගමනය කිරීමටය. එහි ප‍්‍රතිපලය වූයේ 2015දී දශකයක් තුල වඩාත්ම දිග්ගැස්සුනු දේශසීමා හරහා ෂෙල් වෙඩි හුවමාරුවක පැටලීමයි. ඌරි ප‍්‍රහාරයට මාසයකටත් පෙර මෝඩි, ඉස්ලමාබාදයට එරෙහිව, පකිස්ථානයේ නිරිතදිග බලුකිස්ථාන් ප‍්‍රාන්තයේ වාර්ගික-ජාතිකවාදී ත‍්‍රස්තවාදයට ඉන්දියාව අනුකූලතාවය දක්වනු ඇතැයි නිවේදනය කලේය. එය පකිස්ථානය බිඳී යාමේ තර්ජනය මතු කරයි.

28දා ප‍්‍රාහාරයේ අර්ථය වූයේ, පකිස්ථානය සම්බන්ධයෙන් නව දිල්ලිය, තවදුරටත් ඊනියා "මූලෝපායික සංහිඳියා" පිලිවෙත ට බැඳී නොසිටින අතර සිය මූලෝපායික අවශ්‍යතා වෙනුවෙන් වඩාත් පුලුල් අවදානමක් ගැනීමට පවා නවදිල්ලිය සූදානම් බව පෙන්වා දීමයි.

පකිස්ථානය කියන පරිදි දේශසීමා හරහා ප‍්‍රාහාර එල්ල නොවීය යන්න ද හුදෙක් විශ්වාසනීයත්වයෙන් තොරය. සිදුවීම් පිලිබඳ මිලිටරියේ කරුනු දැක්වීමට ප‍්‍රතිවිරෝධී ප‍්‍රකාශ පකිස්ථානය ආන්ඩුවේ විවිධ නිලධාරීන් හා දේශපාලන නායකයින් විසින් නිකුත් කරනු ලැබ ඇත. ඒ අතර ආරක්ෂක ඇමති කවාජා මොහමඩ් අසිෆ් ද වේ. ඔහු මෙසේ පැවසීය. "ඉන්දියාව යලි වතාවක් මෙසේ කිරීමට උත්සාහ කලහොත් අපි බලගතු ලෙස ප‍්‍රතිචාර දක්වන්නෙමු."

ඉන්දියාව පකිස්ථානය තුලට කඩා වැදීමක් කල බව ප‍්‍රතික්ෂේප කිරීම මඟින් ඉස්ලමාබාදය, තත්වය තවත් නරක අතට හැරීම වලක්වා ගැනීමට උත්සාහ කර ඇත. ධනේශ්වර භූදේශපාලනයේ ප‍්‍රතිගාමී ආස්ථානයේ සිට ජනතාව ඇවිස්සීමට උත්සාහ නොකර, ඉන්දියාව දේශසීමා හරහා කරන කඩාවැදීමකට විරුද්ධව තමන්ම යලි යලිත් කියා සිටි ආකාරයේ මිලිටරි ප‍්‍රහාර එල්ල කිරීමට පැන නොගැනීමෙන් ඇතිවූ ලැජ්ජා සහගත පසුබෑමට ද මුහුනපෑවේය.

ඔහු කෙසේවෙතත් එම ආස්ථානය, පකිස්ථානය කෙතරම් දුබල ද යන්න පිලිබඳ සාක්ෂියක් ලෙස, මෝඩි ආන්ඩුව මෙන්ම ඉන්දියානු පාලක පන්තියේ අතිශය යුදවාදී කොටස් විසින් ඩැහැගනු ලැබූ බවත් එය ඔවුන් දිරිමත් කර ඇති බවත් පෙනී ගියේය. කොන්ග‍්‍රස් පක්ෂය ද ස්ටැලින්වාදී කොමියුනිස්ට් (මාක්ස්වාදී) පක්ෂය ද ඇතුලු සමස්ත දේශපාලන සංස්ථාපිතයම ඊට එක් විය. පකිස්ථානයට එරෙහි කඩා වැදීමේ ජයග‍්‍රහනය සමරනුවස් බීජේපීය, සමස්ත පක්ෂ රැස්වීමක් පැවැත්වීම ද එයට ඇතුලත්ය. මේ අතර මාධ්‍යයේ, මිලිටරි විරුවන් ගැන කථා කරමින් ඉන්දියාවේ බලය හා දෘඩත්වය ගැන ආන්ඩුවේ කයිවාරු වලට හුරේ දමමින් පෙරමුන ගත්තේය.

අද දිනයේ දකුනු ආසියාවේ සමස්ත ජනතාවටම මිලිටරි විනාශයක් අත්කර දීමට තර්ජනය කරන ඉන්දියාව හා පකිස්ථානය අතර ඇති එදිරිවාදිකම, ධනේශ්වර පාලනයේ අසාර්ථකත්වය පිලිබඳ තෙස්තමේන්තුවකි. එය වනාහි, මුස්ලිම් පකිස්ථානය හා හින්දු ඉන්දියාව ලෙස දක්වමින් 1949දී දකුනු ආසියාව වාර්ගික රේඛා ඔස්සේ බෙදා වෙන්කිරීම තුල මුල්බැසගත්තකි. එය ක‍්‍රියාවට නඟනු ලැබුවේ දකුනු ආසියාවේ එකිනෙකාට සතුරු ඉන්දියානු කොන්ග‍්‍රස් පක්ෂය හා පකිස්ථානයේ මුස්ලිම් ලීගය ද විසිනි. එය උප මහාද්වීපයේ බ්‍රිතාන්‍ය යටත්විජිත හාම්පුතාගේ ඉවත් වීමත් සමඟ ක‍්‍රියාත්මක විය.

යුද අන්තරාය දැඩි කරන දැවැන්ත සාධකයක් වන්නේ, චීනය සමඟ යුද්ධය සූදානම් කිරීම, එරට වැටලීම හා හුදෙකලා කිරීමේ, දශකයක් තිස්සේ පවත්වාගෙන යන මූලෝපායික මෙහෙයුම් වලදී, පෙරමුනු රාජ්‍ය යක් බවට ඉන්දියාව පත්කර ගැනීම සඳහා වොෂින්ටය කරන මැදිහත්වීමයි. මෝඩි යටතේ ඉන්දියාව, දකුනු චීන මුහුදු ආරවුල තුලට ඉන්දියාව මෙහෙයවීම හා ඇමරිකාවේ ආසියානු පැසිෆික් සහචරයින් වන ජපානය හා ඕස්ට්‍රේලියාව සමඟ ද්විපාර්ශවීය හා ත‍්‍රෛපාර්ශවීය බැඳීම් තරකර ගැනීම සිදුව තිබේ. පසුගිය මාසයේදී මෝඩි, ඇමරිකානු යුද ගුවන්යානා වලට හා යුද නැව් වලට ඉන්දියාවේ මිලිටරි කඳවුරු විවෘත කිරීමට එකඟ විය.

ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් හා ඔබාමා යටතේ ඇමරිකාව, ඉන්දියාවට අගනා "මූලෝපායික තෑගි" පිරිනමා ඇත. තමන්ගේ අති නවීන අවි වෙත පිවිසීමට ඉඩ දීම ද ඉන්දියාවේ දේශීය න්‍යෂ්ටික වැඩසටහනේ සම්පත් න්‍යෂ්ටික අවි වැඩිදියුනු කිරීම පිනිස යොදාගැනීමට නව දිල්ලියට අවකාශ සලසන, ලෝක න්‍යෂ්ටික නියාමන යාන්ත‍්‍රනය තුල විශේෂ තත්වයක් ලාබා දීම ද ඒ අතර වේ

සීතල යුද්ධ අවධිය පුරා දකුනු ආසියාවේ ප‍්‍රධාන ඇමරිකානු සහචරයා වූ පකිස්ථානය සමඟ වොෂින්ටනයේ බැඳීම් ද ඇමරිකානු- ඉන්දීය සහයෝගිතාවය ශක්තිමත් වීම තුල, බාල්දුවී ඇත.

වොෂින්ටනය දකුනු ආසියාව තුල බල තුලනය පෙරලා දමා ඇති බවට ඉස්ලමාබාදය අනතුරු අඟවයි. නව දිල්ලිය සමඟ එහි සමීප හවුල්කාරිත්වය, ඉන්දියාව දිරිමත් කරයි. එය අවි හා න්‍යෂ්ටික අවි තරඟය ගිනියම් කරයි.

මූලෝපායිකව හුදෙකලා වීම පිලිබඳ බිය නිසා පකිස්ථානය, එහි දිගුකාලීන සහචරයා වන චීනය වෙත වඩාත් සමීප කර තිබේ. එලෙස වොෂින්ටනයේ ලෙන්ගතු කම අහිමිවීම තුඩුදී ඇත්තේ ඉන්දියාව සමඟ සතුරුකම් වැඩි වීමටය.

එහෙත් ඔබාමා පාලනය, නව දිල්ලිය පිනවීම සඳහා පකිස්ථානයට "දඬුවම්" කිරීමට කොල එලිය දල්වා ඇත ද ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු මැදිහත්වීම් සඳහා අවශ්‍යම සහාය ලබාගැනීමට තවමත් පකිස්ථානය මත වාරුවී සිටින අතර ඉහත කාරනය ප‍්‍රතික්ෂේප කරයි.

ඔබාමාගේ ජාතික ආරක්ෂක උපදේශක ඉන්දියාවේ අජිත් ධොවාල්ට කථාකර තිබුනේ, ඉන්දියාව ප‍්‍රහාර එල්ල කිරීමට පැය කිහිපයකට පෙරාතුවය. කියා තිබුනේ ඒ, ඌරි ප‍්‍රහාරය ගැන කනගාටුව පලකිරීමට හා ත‍්‍රස්තවාදයට එරෙහිව ඉන්දියාව ගෙන යන අරගලයට සහාය පලකිරීමට බවය. මාධ්‍ය කියා තිබුනේ එම පියවර, ඌරි ප‍්‍රහාරයට පකිස්ථානය වගකිව යුතු බව පැවසීම ද ඇතුලුව වොෂින්ටනය වෙතින් තමන්ට සැලකිය යුතු සහායක් නොලැබෙන බවට ඉන්දියාවෙන් පල වන කනස්සල්ලට ප‍්‍රතිචාර වශයෙන් සිදුවූවක් බවය.

ප‍්‍රශ්නය වන්නේ, ඉන්දියානු ප‍්‍රහාරය හෙලාදැකීම ඇමරිකානු නිලධාරීන් විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබීමයි. එහිදී ඉන්දියාව බෙහෙවින් ප‍්‍රකෝපකාරී ලෙස කඩා වැදුනු අතර එය නීති විරෝධී ද වන්තේය. ඒ වෙනුවට ඔවුන් සම්ප‍්‍රධායික ප‍්‍රකාශයක් නිකුත් කරමින් සංසුන් වන ලෙසත් සාකච්ඡා පෙරට ගන යන ලෙසත් පවසා තිබුනි.

ඇමරිකාව යෙදී සිටින්නේ අතිශය අන්තරායකාරී හා ගිනිගන්නා සුලු සෙල්ලමකය. නව දිල්ලිය සමඟ සිය චීන විරෝධී සන්ධානය සඳහා ඇමරිකාව, ඉන්දියානු ආන්ඩුව දිරිමත් කරන අතර එය දැන් තුඩුදෙන්නේ, වාර්ගික විසෙන් පිරිපුන් බීජේපීය, පකිස්ථානයට එරෙහි රාජ්‍යතාන්ත‍්‍රික, ආර්ථික හා මිලිටරි පියවර ගැනීමේ "මැන බලන" පිලිවෙතක් බව කියන අතර තුර වඩාත් ආක්‍රමනික කටයුතු සඳහා දිරිමත් කිරීමටය. එය පොලඹවන්නේ, දැනටමත් යුද්ධ 4ක පැටලී ඇති පකිස්ථානය, මහා පරිමාන ඉන්දියානු ආක්‍රමනයකට විරුද්ධව මෑතකදී ස්ථානගත කරන ලද සංග‍්‍රාමෝපායික න්‍යෂ්ටික අවි පාවිච්චි කිරීමටය.

Share this article: