සමාජ අසමානතාව සහ ධනවාදයට එරෙහි සටන

Social inequality and the fight against capitalism

2016 ඔක්තෝබර් 25

සමාජ අසමානතාවේ වැඩීම පිලිබඳ විස්තරාත්මක අධ්‍යයනයක් සිදු කොට ඇති ප්‍රන්ස දේශපාලන අර්ථශාස්ත්‍රඥ තෝමස් පිකටි විසින් ඉරිදා ඔස්ට්‍රේලියාවේ සිඩ්නි හි දී පවත්වනු ලැබූ දේශනය ආස්ථාන දෙකකින් වැදගත් විය.

පලමු ව, Capital in the Twenty-First Century, (විසි එක් වැනි සියවසේ ප්‍රාග්ධනය) නමැති, 2014 දී ප්‍රකාශිත වැඩියෙන් ම අලෙවි වුනු සිය කෘතිය තුල ඉදිරිපත් කෙරුනු දත්ත මත මෙන් ම එය පල වීමෙන් පසුව ගතව ඇති දෙවසරක කාලයේ අලුත් ප්‍රතිඵල මත ද පදනම් වුනු පිකටි, පුලුල් ජනතාවන්ගේ ජීවන තත්වයන් එක්කෝ එක තැන පල් වෙන නැතහොත් හායනය වන කොන්දේසි යටතේ සමාජයේ මුදුනෙහි සිදු වෙමින් පවතින ධන සමුච්චයන ක්‍රියාවලිය (ධනය ගොඩගැසීමේ ක්‍රියාවලිය) සුවිශද ප්‍රස්තාර සහ වගු මාලාවක් තුල ලේඛනගත කලේ ය

දේශනය අනාවරනය කල දෙවැන්න, පිකටි සහ මෙම ක්ෂේත්‍රය තුල වැඩ කරන වෙනත් ආර්ථික විද්‍යාඥයින් ඉදිරිපත් කරන, ධනය හා ප්‍රාග්ධනය මත බදු පැනවීම ඇතුලු විවිධ ධනේශ්වර ආන්ඩුවල පිලිවෙත්වල වෙනස්කම් ඇති කිරීම මගින්, නොකඩවා වැඩෙමින් පවතින මේ සමාජ උපද්‍රවය කෙසේ හෝ මැඬපැවැත්විය හැකි ය යන දේශපාලන ඉදිරිදර්ශනයේ බංකොලොත්භාවය යි.

කතාවට කියන පරිදි, කරුනු වනාහි දඩබ්බර දේවල් ය. වෛෂයික දත්ත පිලිබඳ විශ්ලේෂනයකින් පිකටි ඉදිරිපත් කල කරුනු වලම තර්කනය, අසමානතාව නිර්මානය කරන්නා වූ ධනේශ්වර සමාජ පර්යාය ජාත්‍යන්තර කම්කරු පන්තියේ සමාජවාදී විප්ලවයක් මගින් පෙරලා දැමීම හැර, සමාජ අසමානතාවට එරෙහි ව සටන් කිරීමේ වෙනත් ක්‍රමයක් නොමැති බව ය

පිකටිගේ කෘතිය 2014 මැයි මස ඉංග්‍රීසියෙන් පල වූ විට, මූල්‍ය ප්‍රභූහු එහි සොයාගැනීම් තුල ගැබ් ව පැවති අන්තරායන් වහා හඳුනාගත්හ. ඔවුන්ගේ ප්‍රධාන හොරනෑවක් වන ලන්ඩනයේ පල වන ෆයිනෑන්ෂල් ටයිම්ස්, සිය ආර්ථික සංස්කාරක විසින් ලියනු ලැබූ ලිපියක් සමග කෙලින් ම සටනට බැස්සේ, පිකෙටිගේ දත්ත භාවිතය "දෝෂ සහිත" බව කියා පාමිනි. පුවත්පත "පිකෙටිගේ කෘතියට ඉහලින් විශාල ප්‍රශ්න ලඹ දෙයි" යන හිසින් යුතු කතුවැකියක් පල කලේ ය.

මේ විවේචන, පොතෙහි එන දත්ත සේ ම පොත නිකුත් වීමෙන් පසු ප්‍රකාශයට පත් වූ වැඩිදුර කරුනු සමුදායක් හමුවේ ගිලා බැස තිබේ. එක නිදසුනක් පමනක් කියතොත්: දෙවසරකට පෙර පුද්ගලයින් 85 දෙනෙකු ලෝක ජනගහනයෙන් අඩක් සතු ධනය තරම් විශාල ධනස්කන්ධයක් පාලනය කල බව අනාවරනය විය. මේ වසරේ දී එම සංඛ්‍යාංකව 65 දක්වා පහල වැටී තිබේ.

සිඩ්නි දේශනය තුල පිකෙටිගේ ඉදිරිදර්ශනය ලාභ පද්ධතිය පෙරලා දැමීම සඳහා කරුනු දැක්වීම අරමුනු කරගත්තක් නො ව හරියට ම එහි ප්‍රතිපක්ෂය විය. ඔහු වැඩ කරමින් සිටින්නේ එවැනි ප්‍රතිඵලයක් වලක්වාගැනීමට යි. සිය දේශපාලන දෘෂ්ටිය තුල හෙතෙම මාක්ස්ගේ ද, සමාජවාදී විප්ලවයට මඟ පාදන්නා වූ ධනේශ්වර ක්‍රමයෙහි ඓතිහාසික අර්බුදයක් පිලිබඳ මාක්ස්ගේ "අනාවැකි" නමින් ඔහු හඳුන්වන දෙයෙහි ද ප්‍රතිමල්ලවයෙකි.

ක්ලින්ටන් පරිපාලනයේ හිටපු කම්කරු ලේකම් රොබර්ට් රීච් හඳුන්වා දුන් පදයක් යොදාගතහොත්, ඔහු "පන්ති රනශූරයකු නො ව පන්ති දුක්ගන්නාරාල කෙනෙකි." "වත්කම් බෙදී යාම පිලිබඳ දීර්ඝ කාලීන ගතිකයන්ගේ ප්‍රතිවිපාක විභව වශයෙන් බිය දනවන සුලු ය" යි සඳහන් කරන පිකටි, මූල්‍ය ප්‍රාග්ධන සඳහා අත් වන ප්‍රතිලාභ සහ සැබෑ ආර්ථිකයේ වර්ධනය අතර පුලුල් වන පරතරය සිය පොත තුල පෙන්වා දුන්නේ ය.

එනම්, ඔහු වත්මන් සමාජ හා ආර්ථික පර්යායට එරෙහි ව වැඩෙන අන්තරාය පිලිබඳ පාලක ප්‍රභූනට අනතුරු අඟවන අතර වත්මන් අන්තරායකර ප්‍රවනතාවලට එරෙහි ව ප්‍රධාන වසයෙන් ප්‍රාග්ධන ප්‍රතිලාභ මත පනවන ගෝලීය බද්දක් ඇතුලු පියවර මාලාවක් නිර්දේශ කරයි. මෙය "දැනට දීර්ඝ කාලීන ව නඩත්තු කල නොහැකි රේට්ටුවකින් වර්ධනය වන හා නිදහස් වෙලඳපොලෙහි වඩාත් උද්‍යෝගීමත් නියමුවන් පවා බියපත් කරනු ඇති, ලෝක ධන අසමානතාවේ සීමාන්තික වැඩීම පාලනය කරනු ඇතැ" යි ඔහු කියාසිටියේය.

මේ වැකි ප්‍රකාශයට පත් කල පසු ගත වූ දෙවසර තුල සිදු ව ඇත්තේ කුමක් ද?

ලෝකයේ මහ බැංකු ලාභ මුදල් මූල්‍ය වෙලඳපොල වලට පොම්ප කිරීම මගින් අවුලුවනු ලැබ, සමාජය මුදුනේ පෘථුල පරිමානයෙන් ධනය සමුච්චිත වීම ශීඝ්‍රයෙන් සිදු ව ඇත්තේ, චිරකාලික නිශ්චලනය (secular stagnation) නමින් හැඳින්වෙන දෙය තුල - එනම්, වර්ධනයේ සහ ආයෝජනවල පහල යාම, නිෂ්පාදන ඵලදායීතාව පහල වැටීම, ලෝක වෙලඳාමේ කැපී පෙනෙන මන්දගාමීත්වයක්, සහ මේවායේ ප්‍රතිවිපාක ලෙස හටගන්නා ජීවන තත්වයන්ගේ කඩා වැටීමක් තුල - යටින් පවත්නා සැබෑ ආර්ථිකය අර්බුදග්‍රස්ත ව පවතින අතර ය.

මෙය, බ්‍රිතාන්‍යයේ බ්‍රෙක්සිට් ඡන්දය, එක්සත් ජනපදයේ "සමාජවාදී" යැයි කියාගත් බර්නි සෑන්ඩර්ස්ට ලැබුන සහාය, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අපේක්ෂකත්වය සහ දේශපාලන හා මූල්‍ය සංස්ථාපිතය කෙරෙහි වැඩෙන වෛරය සහ ලොව වටා ධනේශ්වර විරෝධී මනෝගතීන්ගේ නැඟීම යනාදිය තුල පරස්පර විරෝධී ආකාරවලින් පිලිබිඹු වන මූලික කැරල්ලක් පහලින් උත්පාදනය කර තිබේ. සමාජ ආතතීන් කෙතරම් තීව්‍ර ද යත් මේ ගැටලු දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේත් වෙනත් ගෝලීය ආර්ථික සංස්ථාවලත් සෑම රැස්වීමක ම න්‍යාය පත්‍රයට ඇතුලත් ව තිබේ.

පිකටිගේ පොත පුලුල් වසයෙන් කියවනු ලැබුව ද ලොව කිසිදු තැනක කිසිදු ආන්ඩුවක් සමාජ අසමානතාව පිටුදැකීම සඳහා ඔහු අනුදැන වදාරන පියවර අනුගමනය කොට නැත. මෙසේ සිදු ව ඇත්තේ නාමික ව "වාමාංශික" ආන්ඩුවල හිඟයක් නිසා නො වේ. ඇලෙක්සිස් සිප්රාස්ගේ සිරිසා ආන්ඩුව 2015 ජූලි 5 වැනි දා ලැබුනු දැවැන්ත කප්පාදු විරෝධී ඡන්දය ප්‍රතික්ෂේප කොට යුරෝපීය හා ජාත්‍යන්තර බැංකුවල ඉල්ලීම් ක්‍රියාවට නැඟූ ග්‍රීසියේ අත්දැකීම ජාත්‍යන්තර අර්ථභාරයක් ඉසිලී ය. දේශපාලන අත්දැකීම තුල එය සනාථ කලේ සමස්ත ලාභ පද්ධතිය ම පෙරලා දැමීමෙන් තොර ව මූල්‍ය ප්‍රාග්ධනයේ ආඥාදායකත්වය අවසන් කිරීමේ ක්‍රමයක් නොමැති බව යි.

පිකටිගේ සිඩ්නි දේශනයේ ශ්‍රාවකයකු මේ අත්දැකීම්, අන් සියල්ලට වඩා ලෝකයේ කිසිදු තැනක ආන්ඩුවක් ඔහු අනුදැන වදාරන පියවර යන්තමින් හෝ සලකා නොබලන බව ඉස්මතු කරමින් ඔහු ප්‍රශ්න කල විට, මේ ආර්ථික විද්‍යාඥයාගේ ප්‍රතිසංස්කරනවාදී ඉදිරිදර්ශනයෙහි ආවෘත අන්තරය පැහැදිලි ව එලිමහනට පැමිනියේ ය.

ප්‍රන්ස හා ජර්මානු ආන්ඩු, නය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා වූ යෝජනා ප්‍රතික්ෂේප කිරීම "ඉතා කනගාටුදායක" බව ඔහු කී ය. එක්සත් ජනපද ජනාධිපතිවරනයේ අපේක්ෂකයන් දෙදෙනාගෙන් එකෙකුදු ඔහු අනුදැන වදාල බදු පිලිවෙත් සම්මත කර නොගන්නා බව හෙතෙම පිලිගත්තේ, “සමහර විට වෙනත් සමයක, ඇතැම් විට මීට වඩා අඩුවෙන් සුදු හා ටිකක් වැඩියෙන් තරුන වෙනත් බර්නි සෑන්ඩර්ස් කෙනෙකු" ජයග්‍රහනය කොට "වෙනසක් කිරීමට" සමත් වනු ඇතැයි අපේක්ෂාව පල කරමිනි.

ඔහුගේ එක ම ඉදිරිදර්ශනය "දැනුම ප්‍රජාතාන්ත්‍රික කිරීම" පිනිස විය. එමගින් පිලිවෙත්වල වෙනස්කම් ඇතිකිරීමෙහි සමත් "ප්‍රමානවත් පීඩනයන්" ජනනය කල හැකි වෙතැයි ඔහු අපේක්ෂාව පල කලේ ය.

හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ දේශපාලන වාර්තාව, පිකටි සහ ධනේශ්වර ක්‍රමයේ ප්‍රතිසංස්කාරකයින් වීමට සිටින අන්‍යයින්ට තියුනු අන්දමින් වෙනස් වෙයි. වසර විස්සකට පෙර, එක්සත් ජනපදයේ වර්කර්ස් ලීගය හා ලොව අනෙක් තැන්වල හජාජාක ශාඛාවෝ සිය නම් සමාජවාදී සමානතා පක්ෂය ලෙස වෙනස් කලෝ ය.

මේ වෙනස පදනම් වූයේ කෙටි කලක් පැවති වර්ධනය හා "වෙලඳ පොල ඉන්ද්‍රජාලය" වර්නනා කල ප්‍රචාරක ව්‍යාපාරයට යටින් එවක යම් අන්දමකට සැඟවී තිබුනු, ධනේශ්වර ක්‍රමය තුල වැඩෙමින් පැවති කැලඹීම, - නිල සාකච්ඡා තුල එය විෂයයක් වීමට බොහෝ කලකට ප්‍රථම - අපේ යුගයෙහි නිර්නයකාරී ගැටලුව බවට පත් වනු ඇති වැඩෙන සමාජ අසමානතාව තුලින් ප්‍රකාශයට පත් වන්නේ ය යන අවබෝධය මත ය.

මේ තක්සේරුවට එලඹුනේ අහම්බෙන් නො වේ. තව ද එය වාසනාවට හරි ගිය අනුමානයක ප්‍රතිඵලය ද නො වේ. එය පදනම් වූයේ මාක්ස් විසින් විශ්ලේෂනය කෙරුනු ධනේශ්වර පද්ධතියෙහි වෛෂයික පරස්පර විරෝධයන් පිලිබඳව කරන ලද විද්‍යාත්මක තක්සේරුවක් මත යි. පිකටි සහ අන්‍යයන් මේ සා පරිශ්‍රම දරා ප්‍රතික්ෂේප කිරීමට ඉදිරිපත් වන්නේ එය යි.

හජාජාක විශ්ලේෂනයෙහි නිගමනය වූයේ - ලාභ පද්ධතියෙහි අර්බුදය ඔවුන්ගේ විඤ්ඤානය සහ අවබෝධය වෙනස් කරමින් පුලුල් කම්කරු පන්තික ජනතාවන්ගේ ජීවිත කෙරෙහි බලපාන ප්‍රධාන ආකාරයන්ගෙන් එකක් වන - සමාජ අසමානතාවේ වර්ධනය, සමාජවාදී විප්ලවයේ අවශ්‍යතාව න්‍යායික නිර්මිතයක් ලෙස නො ව ජීවමාන යථාර්ථයක් ලෙස මතු කරමින් දේශපාලන හා සමාජ අරගලයෙහි මුඛ්‍ය නියාමක බලවේගයක් බවට පත් වනු ඇති බව යි.

ලොව වටා ධනේශ්වර ආන්ඩු සහ ආයතන විනාශයට ඇද දමන සමාජ ප්‍රතිරෝධයෙහි සහ උග්‍ර දේශපාලන අර්බුදයෙහි වැඩීම තුල - බ්‍රික්සිට් සිට එක්සත් ජනපද ජනපතිවරනය දක්වා - අප අත්දකිමින් සිටින්නේ, පිකටි සහ පවත්නා තත්වය පිලිබඳ සෙසු ප්‍රතිසංස්කරනවාදී විවේචකයින්ගේ සිහින නො ව, ඊට අදාල සියලු පරස්පර විරෝධයන් සහිත ව විප්ලවවාදී අරගල පිලිබඳ නව කාලපරිච්ඡේදයක මතු වීම යි.

නික් බීම්ස්

Share this article: