එක්සත් ජනපදය න්‍යෂ්ටික-නොවන විශාලත ම බෝම්බය ඇෆ්ගනිස්තානය මත හෙලයි: මානව වර්ගයාට එරෙහි අපරාධයක්

US drops largest non-nuclear weapon on Afghanistan: A crime against humanity

2017 අප්‍රේල් 14

එක්සත් ජනපදය තම අවි ගබඩාවේ තිබූ න්‍යෂ්ටික නොවන විශාලතම අවිය පසුගිය බ‍්‍රහස්පතින්දා ඇෆගනිස්තාන්-පකිස්තාන් දේශසීමාව මත හෙලීම මානවවර්ගයාට එරෙහි සාපරාධී ක්‍රියාවකි. විස වායුව යොදා ගැනීම සම්බන්ධයෙන් රුසියාව හා සිරියාව හෙලා දකිමින් අසත්‍ය ප‍්‍රචාරක උද්ඝෝෂනයක එක්සත් ජනපදය හා ජනමාධ්‍යයන් නියලී සිටින මොහොතේ ම, ඇමරිකානු මිලිටරිය මැසිව් ඕඩිනන්ස් එයාර් බ්ලාස්ට් (එම් ඕඒබී) නම් භයානක අවිය ඇෆ්ගනිස්තානය තුල හෙලීම ස්ථානගත කරමින් සිටියේ ය.

පෙන්ටගනය බෝම්බ දැමීමේ බලපෑම ගැන විස්තර ස්වල්පයක් නිකුත් කර ඇති අතර, එම් ඕඒබී හෙලීමෙන් ඇතිවන මුලු මරන සංඛ්‍යාව, චුදිත සිරියන් ගෑස් ප‍්‍රහාරය තුල මියගිය සංඛ්‍යාවට වඩා දැවන්ත සංඛ්‍යාවක් වනු ඇතැ යි යමෙකුට නිශ්චිතව ම සිතා ගත හැක. කෙසේ නමුත් සිරියාවේ ගෑස් ප‍්‍රහාරයක් සිදුවූ බවට පවා නිශ්චිත සාක්ෂි නොමැත.

හිරෝෂිමා හා නාගසාකි ව්‍යසනයෙන් වසර හැත්තෑදෙකකට පසු, ඇමරිකානු අධිරාජ්‍යවාදය නැවත වතාවක් ඔප්පු කර ඇත්තේ තමා ග‍්‍රහලෝකය මත සිටින ඉතාමත් කුරිරු මෙන් ම සාහසික බලය බව යි.

එම් ඕඒබී භාවිතයට ඇෆ්ගනිස්තානය ඉක්මවා යන ගම්‍යයන් පවතී. එය ප‍්‍රදර්ශනය කරන්නේ―මෙය, සැබවින් ම, ප‍්‍රහාරයේ ප‍්‍රධාන අරමුන යි ― ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අවශ්‍යතාවයන් හඹා යාමේදී එක්සත් ජනපද මිලිටරිය ක්‍රියාත්මක කිරීමට සූදානම් වන්නේ කවරක්ද ඒ සම්බන්ධයෙන් කුමන හෝ පැකිලීමක් නොමැති බව යි.

කොරියානු අර්ධද්වීපයේ සිට සිරියාව ද නැගෙනහිර යුරෝපය ද දක්වා ඉහල නගිමින් පවත්නා මිලිටරි ආතතීන්ගේ සන්දර්භය තුල ගත් කල, ඇෆ්ගනිස්තානය මත දැවන්ත බෝම්බයක් හෙලීම මගින් නියෝජනය කෙරෙන්නේ, රුසියාව, ඉරානය, උතුරු කොරියාව මෙන් ම වොෂින්ටනයේ උත්සුකයන්ට අභියෝග කෙරෙන ඕනෑ ම රටකට එරෙහිව වොෂින්ටනය විසින් මුදා හැරෙන ප‍්‍රචන්ඩත්වයට සීමාවක් නැති බවට කෙරෙන අනතුරු ඇඟවුමකි.

පෙන්ටගනය විසින් එම් ඕඒබී නැතහොත් ”සියලූ බෝම්බයන්ගේ මාතෲ”ලෙස නම් කරන ලද්දා වූ ද ජීබීයූ-43/බී මැසිව් ඕඩිනන්ස් එයාර් බ්ලාස්ට් යැයි නිල වසයෙන් ප‍්‍රකට අවිය මධ්‍ය අවකාශයේ දී ආසන්න වසයෙන් පුපුරන ද්‍රව්‍ය රාත්තල් 20,000ක් පුපුරුවා හරින්නේ පරිසරය ගිනි ගන්වමින් හා යාර 1,000ක් ඇතුලත සෑම දෙයක් ම වනසන දැවන්ත කම්පනයක් නිර්මානය කරමිනි. එහි කම්පන තරංග සැතපුම් 1.7ක අර්ධ විෂ්කම්භයකින් යුත් ප‍්‍රදේශයක සිටින සියලු පුද්ගලයන් මරා දැමීමට සමත් ය. ඉලක්කගත කලාපය තුල සිටි අයට ඇතිවූ පිපිරීමේ බලපෑම න්‍යෂ්ටික අවියක බලපෑමට සමාන ය.

මෙම අවිය 2003 දී එක්සත් ජනපදය විසින් ඉරාකය ආක‍්‍රමනය කිරීමත් සමග මුදා හරින ලද “කම්පනය හා විස්මය” නම් මිලිටරි මෙහෙයුමේ දී පාවිච්චි කිරීම සඳහා සැලැසුම් කෙරුන ද, එය අවුරුදු 14ක සටන් කාලය තුල දී කිසි දා ප‍්‍රයෝජනයට නො ගැනුනි. පෙන්ටගනය ඉරාක ජීවිත මිලියනයක් පමන ගිල ගත් යුද්ධයක් හා වාඩිලාගැනීමක් ගෙන ගිය මොහොතේ දී පවා, එකී අවිය එක්සත් ජනපද මූලෝපායික අරමුනුවලට යොදා ගැනීමට තරම් විනාසකාරී වැඩි යයි සලකන ලදී.

ඇෆ්ගනිස්තානය තුල මෙම බියකරු අවිය ප‍්‍රයෝජනයට ගැනීම සඳහා සැලැසුම් කිරීම ආරම්භ කෙරුනේ ඔබාමා පාලනාධිකාරය යටතේ දී ය.

පෙන්ටගන් සේනාධිපතීන්ට අනුව, මෙම සැබෑ “ජන ඝාතක අවිය” ඇෆ්ගනිස්තානයේ නැගෙනහිර නන්ගාර්හාර් ප‍්‍රාන්තයේ පර්යන්ත දිස්ත්‍රික්කයකට පලමු වරට අතහැරියේ අයිඑස්අයිඑස් සංවිධානයේ ඇෆ්ගනිස්තාන් අනුබද්ධ කොටස් විසින් යොදා ගන්නා ලදැ යි සැක කෙරුනු ගුහා හා උමං මාර්ග විනාශ කිරීමට ය.

කුඩා, අල්ප වශයෙන් සන්නද්ධ ඉස්ලාමීය ගරිල්ලා භට කන්ඩායමක් ― හුදෙක් අයිඑස්අයිඑස් ලාංඡනය යොදා ගත් පකිස්තානය තුල පදනම් කන්ඩායමක්― මත එවැනි දැවැන්ත බෝම්බයක් දැමීම සඳහා ක්ෂනික උපායික යුක්තියුක්තභාවයක් නොමැත. මූලෝපායිකව ගත්කල එහි යුක්තියුක්තභාවය ඊටත් අඩුය. එනමුත්, ඇමරිකානු මිලිටරි ශක්තියේ ගනන් බැලූ ප‍්‍රහාරයක තිබිය යුතු සියලු ම සලකුනු මෙම ප‍්‍රහාරයේ ඇත, එය න්‍යෂ්ටික ප‍්‍රහාරයක් නොවන අවස්ථාවකදී එල්ල කලහැකි ඉතාමත් බියජනකම ප‍්‍රහාරයකි.

මෙම බෝම්බ දැමීම සිදුවන්නේ සිරියානු ආන්ඩුවේ ගුවන්හමුදා කඳුවරකට කෲස් මිසයිල 59ක් එල්ල කරමින් අවම වශයෙන් පුද්ගලයන් 15 දෙනෙකු ඝාතනය කරමින් -ඔවුන්ගෙන් බහුතරයක් සිවිල් වැසියන්ය- වොෂින්ටනය සිරියාවට එරෙහිව පැහදිලි මිලිටරි ආක‍්‍රමනික ක්‍රියාවක් සිදුකොට යන්තම් සතියකට පසු ය.

ප‍්‍රහාරය යුක්තිසහගත කෙරුනේ සිරියානු ආන්ඩුව විසින් එල්ල කලේ යයි කියන රසායනික අවි ප‍්‍රහාරයකට එකටෙක කිරීමේ නාමයෙනි. දමස්කස් ආන්ඩුව එවැනි රසායනික අවි යොදා ගැනීම මෙන් ම, බටහිර මාධ්‍යයන්හි නිමක් නැතිි බොරු ද ප‍්‍රතික්ෂේප කලේ ය. සියලුම වෛෂයික සාක්ෂි පෙන්වා දෙන්නේ එය සීඅයිඒ සංවිධානය මෙන් ම සිරියාව තුල එය සහාය දෙන අල් කයිඩාවට සම්බන්ධ කන්ඩායමක් විසින් ඇති කරන ලද ප‍්‍රකෝපකිරීමක් බවට ය.

සිරියාව තුල සිදු කෙරුනු “රසායනික අවි” ප‍්‍රහාරය පිලිබඳ ප‍්‍රබන්ධය මත එක්සත් ජනපද ආන්ඩුව සහ මාධ්‍ය විසින් යුද ප‍්‍රචාරය ගෙන යමින් සිටියදීම, වොෂින්ටනය තම න්‍යෂ්ටික-නොවන විශාලතම අවිය ඇෆ්ගනිස්ථානයට හෙලීම සඳහා සූදානම් වෙමින් සිටියේ ය.

“මෙම ප‍්‍රහාරයෙන් සිවිල් වැසියන්ට සිදුවියහැකි අනතුරු වැලක්වීමට සෑම පූර්වාරක්ෂක පියවරක්ම” ගනු ලැබූ බව පෙන්ටගනය ප‍්‍රකාශ කර ඇත. එක්සත් ජනපද මිලිටරිය මැද පෙරදිග සිසාරා මිලියන ගනනාවක් මරා දමද්දී නැවත නැවතත් දුන් එවැනි පොරොන්දු, මුලුමනින් ම තුච්ඡ ය. මුල් වාර්තාවන්ට අනුව, ඉලක්කගත ප‍්‍රදේශය ආසන්නයේ ගම්මාන කීපයක් ඇති අතර, විය හැකි ලෙස සිවිල් මරන හා තුවාල ලැබූ සංඛ්‍යාව දැවැන්ත වනු ඇත.

මේ අවස්ථාවේ දී, මෙම ප‍්‍රහාරයේ සැබෑ හානිය කිසිවෙකුත් නො දනී, එමෙන් ම එය එක්සත් ජනපද මාධ්‍යයට කීමට ඉඩ හැරියහොත්, කිසිවෙකු ඒ පිලිබඳව කිසිවක් නො කියනු ඇත. නිව් යෝක් ටයිම්ස් වැනි සීඅයිඒ ආයතනයේ හොරනෑවන් හි කතුවැකි ලියන්නන් සහ සිරියාවේ රසායනික අවි ප‍්‍රකෝපකරනය සම්බන්ධයෙන් අසාද් තන්ත‍්‍රයට එරෙහි ආන්ඩුවේ හෙලාදැකීම් ගිරවුන් මෙන් වමාරන රූපවාහිනී නාලිකාවන්හි පුවත් කියන්නන්, ඇෆ්ගනිස්තානය මත එක්සත් ජනපද දැවන්ත බෝම්බ හෙලීම විසින් ඇති කරන ලද ජීවිත විනාසය ගැන මුලුමනින් ම නොතකා හරියි.

ඒ ආකාරයෙන් ම, එක්සත් ජනපද බෝම්බ හා මිසයිල මගින් ඉරාක හා සිරියානු ජනතාව මත ඇති කරමින් පවත්නා විනාසය මාධ්‍ය විසින් විශාල වසයෙන් නොසලකා හරිනු ලැබේ. බදාදා, එක්සත් ජනපද ගුවන් ප‍්‍රහාරයක් මගින් බටහිර මොසුල් නගරයේ සිවිල් වැසියන් 13කු ඝාතනය කලේ, 17කුට තුවාල සිදු කරමිනි, ඔවුන්ගෙන් වැඩි දෙනාට බරපතල ය. එදින ම, එක්සත් ජාතීන්ගේ ඒජන්සියක් එක්සත් ජනපදය ඉරාක නගරය අල්ලා ගැනීම මගින් ඇති කරන විනාසය විස්තර කලේ ය, මෙහි දී දහස් ගනනක් නොවේ නම් සිය ගනනක් පිරිමින්, ගැහනුන් හා ලමුන් මිය ගොස් ඇත. වාර්තාවට අනුව, “නිවාස විනාස කෙරෙමින් පවතී. පාසල් හා සෞඛ්‍ය මධ්‍යස්ථාන විනාස කෙරෙන අතර විදුලිය හා ජල මධ්‍යස්ථාන වැනි වැදගත් මහජන පොදු කාර්ය නටබුන් කෙරෙන්නේ, පුද්ගලයන් 300,00කට වඩා වැඩි පිරිසක් නිවාස අහිමි සරනාගත තත්වයට පත් කිරීම සමගිනි.”

මේ අතර, එක්සත් ජනපද යුද ගුවන්යානා, උතුරු සිරියාවේ, කුර්දි සටන් කරුවන් 18 දෙනෙකු ඝාතනය කෙරුනු “මිතුරු වෙඩි තැබීම” නම් ගුවන් ප‍්‍රහාරයක් ගෙන ගිය අතර සිරියානු ආන්ඩුව වාර්තා කලේ, සිවිල් වැසියන් සිය ගනනක් ඝාතනය කර තිබීමට ඉඩ ඇති රසායනික කාරකයන් පතුරවමින් එක්සත් ජනපද බෝම්බ අල් කයිඩා ආයුධ ගබඩාවක් පුපුරුවා හල බව යි. මෙම සිදුවීම් කිසිවකට මොනයම් හෝ සැලකිය යුතු මාධ්‍ය ආවරනයක් නො දේ; සිරියානු ආන්ඩුව පටලවනු ලැබ ඇති චුදිත රසායනික ප‍්‍රහාරයෙන් විපතට පත්වූවන් ගැන කිඹුල් කඳුලු හෙලන අයගේ හෘද සාක්ෂිය අවුලුවා ලීමට ඔවුන් කරන දෙයක් නැත.

“මානව හිමිකම්” ගැන යමෙකුට දේශන පැවැත්වීමට, ඊටත් වඩා “ත‍්‍රස්තවාදයේ” විරුද්ධවාදීන් ලෙස පෙනී සිටීමට මෙම මිනිස්සු කවුරුන් ද? නැවත වතාවක්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් ලෝකයට ප‍්‍රදර්ශනය කර ඇත්තේ ඔවුන් පරම වසයෙන් ම ජාත්‍යන්තර නීතියේ සීමාවන්ට හෝ සදාචාරයට බැඳී නොසිටින බව යි. ඩොනල්ඩ් ට‍්‍රම්ප් නම් ඉතා අප‍්‍රසන්න පුද්ගලයා තුලින් පුද්ගලාරෝපනය කෙරන, ලෝක වේදිකාව මත එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප‍්‍රචන්ඩ හා කොල්ලකාරී ක්‍රියා, ඇමරිකානු ධනේශ්වර පාලක පන්තියේ සාපරාධී හා පරපුටු ස්වභාවයේ සෘජු ප‍්‍රකාශනයකි.

මෙම විනාසයන් සිදුවන්නේ, තලීබාන් ආන්ඩුව පෙරලා දමමින්, තමන්ගේ ම පරපුටු තන්ත‍්‍රයක් අටවමින්, හා එතැන් සිට ලේවැකි යුද්ධයක් ගෙන යමින් හා වාඩිලා ගනිමින් එක්සත් ජනපදය ඇෆ්ගනිස්තානය ආක‍්‍රමනය කර වසර පහලොව හමාරකට පසුව ය. සම්ප‍්‍රදායික ඇස්තමේන්තු පවසන්නේ, සියදහස් ගනනක් තුවාල කරමින් හා මිලියන ගනනාවක් සරනාගතයන් බවට පත් කරමින්, 2001 සිට ඇෆ්ගනිස්තානයේ සිදුකොට ඇති මරන සංඛ්‍යාව 200,000ක් වූ බව යි. ආරම්භයේ සිටම මැදිහත්වීමේ අරමුන වූයේ ඇෆ්ගනිස්තානු ජනතාව අර්ධ-යටත් විජිත ඇමරිකානු ආධිපත්‍යයට යටත් කිරීම මෙන් ම මධ්‍යම ආසියාවේ තෙල්වලින් ආඪ්‍ය කලාපය මත තම ආධිපත්‍යය තහවුරු කිරීමට වූ අධිරාජ්‍යවාදී ධාවනය තවදුරටත් ගෙනයාමත් ය.

බෝම්බ දැමීමේ කාල ගනනය සැලකිය යුතු ය. එය සිදුවූයේ ඇෆ්ගනිස්තානය තුල සාම විසඳුමක් සඳහා අප්‍රේල් 14වැනිදා මොස්කව් නගරයේ සාකච්ඡාවක් කැඳවා තිබූ දිනයට පෙර දිනයේ දී ම ය. රුසියාව චීනය හා පකිස්තානය සමග සාකච්ඡාව කැඳවා තිබුනේ, ඉන්දියාව හා ඉරානය ඇතුලු තවත් රටවල් නවයක සහභාගිත්වය ඇතිව ය. තමන් ද සහභාගීමට ඉඩ ඇති බව තලීබාන් සංවිධානය අඟවා තිබුනි. ආරාධනය කර තිබුන ද, තමන් සහභාගී වනවා දැ යි යන්න තහවුරු කිරීමට වොෂින්ටනය අසමත් වූ අතර, රුසියාව තලීබාන් සංවිධානය සඳහා සහාය දෙන බවට එක්සත් ජනපද මිලිටරි ආඥාපතීන් නොනවත්වා පදනම් විරහිත චෝදනා එල්ල කර තිබුනි.

එක්සත් ජනපදය හා රුසියාව අතර සන්නද්ධ ගැටුමක් සිදුවන්නේ, සිරියාවට ඉහල අවකාශයේ දී වේවා, උතුරු කොරියාවට එරෙහිව මිලිටරි ප‍්‍රහාරයක් තුල හෝ රුසියානු බටහිර දේශසීමාවේ ප‍්‍රකෝපකරනයන් තුල වේවා, ඇෆ්ගනිස්තානය මත බෝම්බ දැමීමේ සිට ඊ ලඟ පියවර වනු ඇත්තේ න්‍යෂ්ටික මිසයිල දියත්කිරීම යි.

එක්සත් ජනපද හා ජාත්‍යන්තර කම්කරුවන් හා තරුනයන් මෙම අන්තරායකාරී සිද්ධීන්වලට ප‍්‍රතිචාර දැක්විය යුත්තේ තුන්වැනි, න්‍යෂ්ටික යුද්ධයක් තුලට සමස්ත ග‍්‍රහලෝකය ගිල්වීමෙන් එක්සත් ජනපද හා ලෝක ධනේශ්වරය නැවැත්වීමේ උපරිම බැරෑරුම් කමකින් හා අධිෂ්ඨානයකින් යුක්තව ය.

කම්කරු පන්තිය හා සමාජවාදී ජාත්‍යන්තරවාදී ක්‍රියාමර්ගය මත පදනම් වූ දැවන්ත යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමේ අරගලයේ කොටසක් ලෙස, ඇෆ්ගනිස්තානය තුල එක්සත් ජනපදයේ දාමරිකම්වලට එරෙහිව එක්සත් ජනපදය තුල හා ජාත්‍යන්තරව විරෝධතා ව්‍යාපාර සංවිධානය කල යුතු ය. එකී අරගලයේ හරි මැද තිබෙන්නේ කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වය ලෙස, සමාජවාදී සමානතා පක්ෂය හා හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ―ලෝක අධිරාජ්‍යවාදයේ එක ම අඛන්ඩ දේශපාලනික විරුද්ධවාදියා―ගොඩ නැගීම යි.

බිල් වෑන් ඕකන් සහ ඩේවිඩ් නෝර්ත්

Share this article: