ශ්‍රී ලංකාවේ සසප හා සසජාතශි, මරුති සුසුකි කම්කරුවන් නිදහස් කරන ලෙස බලකරමින් පිකට් කරති

Sri Lankan SEP and IYSSE hold picket to demand freedom of Maruti Suzuki workers

අපගේ වාර්තාකරුවන් විසිනි, 2017 අප්‍රේල් 1

ගොතන ලද මිනීමැරීමේ චෝදනා මත ඉන්දියානු හර්යානා ප‍්‍රාන්ත අධිකරනය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් පමුනුවා ඇති මරුති සුසුකි කම්කරුවන් 13 වහාම නිදහස් කිරීම සඳහා වන ඉල්ලීම සමාජගත කිරීමට, සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) සිකුරාදා පස්වරුවේ කොටුව දුම්රියපොල ඉදිරිපිට පිකට් උද්ඝෝෂනයක් පැවත් වූහ.

සසප/ සසජාතශි පිකට් උද්ඝෝෂනය සංවිධානය කරනු ලැබුවේ, මරුති සුසුකි කම්කරුවන්ට බොරු නඩු ඇටවීමට එරෙහිව ඉන්දියාව, දකුනු ආසියාව හා ලෝකය පුරා කම්කරු පන්තිය බලමුලු ගැන්වීම සඳහා වන හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගෙන යන උද්ඝෝෂනයේ කොටසක් ලෙස ය.

පසු ගිය මාසයේ උතුරු ඉන්දියාවේ හර්යානා ප‍්‍රාන්තයේ උසාවියක්, ඇතිවූ ගින්නකින් සමාගම් කලමනාකරුවෙකු හුස්ම හිර වී මියයාම සම්බන්ධයෙන්, කම්කරුවන් 13කු වරදකරුවන් යයි තීරනය කල නමුත් ගින්න හා කම්කරුවන් අතර මොනයම් හෝ සම්බන්ධයක් පෙන්වීමට පැමිනිලිකරුවන් අසමත් වූ අතර, පොලීසිය ජපාන මොටර් රථ සමාගම සමග නීති විරෝධී ලෙස කුමන්ත‍්‍රනය කර, සාක්ෂි ගොතා තිබූ බවට විනිශ්චයකාරවරයාට පවා ඔහුගේ තීන්දුවේ දී පිලිගැනීමට සිදු විය.

කම්කරුවන් 13දෙනාගෙන් දොලොස් දෙනෙක් මෑත දී පිහිට වූ මරුති සුසුකි කම්කරු සංගමයේ (එම්එස්ඩබ්ලිව්යූ) ඡන්දයෙන් පත් වූ නිලධාරීන් වූහ. හර්යානා ප‍්‍රාන්තයේ මරුති සුසුකි මෝටර් රථ එකලස් කිරීමේ කම්හලේ කම්කරුවන් විසින් එම්එස්ඩබ්ලිව්යූ ස්ථාපිත කරනු ලැබුවේ, ආන්ඩුව පිලිගත්, සමාගමට පක්ෂපාතී, වෘත්තීය සමිතියට එරෙහිව ගෙන ගිය කටුක අරගලකින් පසුවය.

සසප හා සසජාතශි ආධාරකරුවන් සියයකට ආසන්න සංඛ්‍යාවක් ඊයේ පැවති පිකට් විරෝධතාවට සහභාගී වූහ. මරුති සුසුකි කම්කරුවන්ට තම සහාය දැක්වීමට, දෙමල බස කතා කරන ආධාරකරුවන් සැලකිය යුතු සංඛ්‍යාවක් යුද්ධයෙන් විනාස වූ උතුරේ සිට කොලඹට පැමිනියහ. මධ්‍යම කඳුකරයෙන් පැමිනි දෙමල බස කතා කරන වතු කම්කරුවන් ද විරෝධතාවට එක්වූහ.

විරෝධතාව පැවත්වූයේ කොලඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී ය. එය පැයකට වැඩි කාලයක් පැවකි අතර වැඩ අවසන් කර හෝ පාසල් ඇරී නිවෙස් බලා යන කම්කරුවන්ගේ හා තරුනයන්ගේ අවධානය හා උනන්දුව ආකර්ෂනය කර ගත්තේ ය. පිකට් කිරීමට පෙර හා එය අතරතුර දී, සසප හා සසජාතශි ආධාරකරුවෝ මරුති සුසුකි කම්කරුවන්ගේ නිදහස දිනාගැනීමට ජාත්‍යන්තර කම්කරු පන්තියේ කාර්මික හා දේශපාලනික බලමුලු ගැන්වීම ඉල්ලා සිටින හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා ශ්‍රී ලංකාවේ සසප විසින් නිකුත් කරන ද ප‍්‍රකාශනයේ පිටපත් බෙදා හැරියෝ ය. මරුති සුසුකි කම්කරුවන්ට එරෙහිව සමාගම හා ආන්ඩුව එකතුව සිදු කල දඩයමේ අර්ථය ද එය ලෝකය පුරා කම්කරුවන්ගේ අයිතීන්ට එරෙහිව එල්ල කෙරෙන ප‍්‍රහාරයේ කොටසක් වන්නේ කෙසේ ද යන්න ද ඔවුහු පැහැදිලි කලහ.

සසප/ සසජාතශි පිකට් විරෝධතාව

පිකට්කරුවෝ ඉංග්‍රීසි, සිංහල හා දෙමල භාෂාවලින් යුත් “බොරු නඩු අටවා දඩයම් කල මරුති සුසුකි කම්කරුවන් නිදහස් කරනු!” යයි සඳහන් බැනර් ද “මරුති සුසුකි කම්කරුවන්ට එරෙහි දඩයම පරාජය කිරීමට එක්වනු,” “කම්කරු පන්තියේ ජාත්‍යන්තර එක්සත්කම ගොඩනගනු,” “අධිරාජ්‍යවාදී යුද සැලැසුම්වලට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් කරනු,” “සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එල්ල කෙරෙන ප‍්‍රහාරයන්ට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් කරනු,” “දකුනු ආසියානු සමාජවාදී සමූහාන්ඬු සංගමයක් සඳහා,” හා “කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ගොඩනගනු,” යයි සඳහන් පුවරු ද ප‍්‍රදර්ශනය කලහ.

බොරු නඩු ඇටවුනු මරුති සුසුකි කම්කරුවන් වහා නිදහස් කිරීම ද 2012දී සමාගම විසින් දොට්ට දමන ලද හා කොන්ත‍්‍රාත් කම්කරුවන් 2,300දෙනා නැවත සේවයේ පිහිටුවන ලෙස ද ඉල්ලා ඔවුහු සටන් පාඨ හඬ නැගූහ. ඔවුහු එක්සත් ජනපදය හා අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන්ගේ යුද සැලැසුම්, ගෝලීය ධනේශ්වර ප‍්‍රභූවේ ජාත්‍යොන්මාද ප‍්‍රචාරනය හා රාජ්‍ය මර්දනයට හැරීම, වැඩෙන විරැකියාව හා කම්කරුවන්ගේ අයිතීන් මත ප‍්‍රහාර හෙලා දුටු අතර, සමාජවාදය සඳහා අරගලය අතට ගන්නා ලෙස කම්කරු පන්තියෙන් ඉල්ලා සිටියහ.

සසප/ සසජාතශි පිකට් විරෝධතාව ලෝක සමාජවාදී වෙබ් අඩවිය තුල ප‍්‍රසිද්ධියේ නිවේදනය කෙරුනි. කොලඹ හා ඒ අවට පෝස්ටර් (දැන්වීම්) අලවමින් ද එයට ප‍්‍රසිද්ධිය ලබා දුනි. විරෝධාව ගැන සෝදිසියෙන් සිටීමට පොලිස් භටයන් රඳවා තිබුන ද එවැනි පියවරක් ප‍්‍රදේශය හරහා ගමන් කරමින් සිටි කම්කරු, තරුන පිරිස් විශාල සංඛ්‍යාවකගේ අවධානය හා විරෝධයට හේතු විය හැකිව තිබූ බැවින් ඔවුහු මැදිහත් නොවූහ.

සසප මාධ්‍ය නිවේදනයට ප‍්‍රතිචාර දක්වමින්, ප‍්‍රධාන පුද්ගලික නාලිකාවක් වන සිරස එෆ්එම්, හා දිනපතා දෙමල බසින් පලවන වීරකේසරී පත‍්‍රය සසප/ සසජාතශි පිකට් උද්ඝෝෂනය ආවරනය කිරීමට මාධ්‍යවේදීන් එවූහ. සිරස එෆ්එම් මාධ්‍යවේදී සසප දේශපාලන සභිකයන් වන පානි විජේසිරිවර්ධන සමග සිංහල බසින් ද එම්. තේවරාජා සමග දෙමල බසින් ද සම්මුඛ සාකච්ඡා වීඩියෝ ගත කලේ ය.

තේවරාජා සිරස එෆ්එම් සම්මුඛ සාකච්ඡාව

මරුති සුසුකි කම්කරුවන් වහා නිදහස් කරන මෙන් ඉල්ලා ජාත්‍යන්තර කමිටුව දියත් කල ඔන්ලයින් පෙත්සමට, මාර්ගවල ගමන්ගත් අයගේ අත්සන් ලබා ගැනීමට සසප/ සසජාතශි සාමාජිකයින් විසින් පහසුකම් සලසා තිබූ අතර එයට සැලකිය යුතු සහයෝගයක් ලැබුනි.

තරුනයින් ඔන්ලයින් පෙත්සමට අත්සන් කරමින්

විරෝධතාව අවසානයේ සසප දේශපාලන කමිටු සභිකයින් වන ඩබ්ලිව්.ඒ.සුනිල් හා තේවරාජා, පිලිවෙලින් සිංහල හා දෙමල භාෂාවලින් කතා කරමින්, කෙටියෙන් රැස්ව සිටියවුන් ඇමතූහ. මරුති සුසුකි කම්කරුවන්ගේ බොරු නඩුව සමාගම් කලමනාකරනය, පොලීසිය, අධිකරන බලධාරීන්, හා එවකට කොංග‍්‍රසය නායකත්වය දුන් හර්යානා ප‍්‍රාන්ත ආන්ඩුව ඇතුලු දේශපාලන සංස්ථාපිතයට සම්බන්ධ ඒකාබද්ධ කුමන්ත‍්‍රනයක ප‍්‍රතිඵලය බව ඔවුහු පැහදිලි කලහ. “කම්කරුවන්ගේ එක ම අපරාධය අන්තර්ජාතික සමාගම විසින් පවත්වා ගෙන යන ලද වහල් ශ‍්‍රම කොන්දේසිවලට එරෙහිව සටන් කර තිබීම” බව සුනිල් පැවසී ය.

2012 ජූලි මාසයේ දී මරුති සුසුකි කලමනාකරනය කම්කරුවන්ට එරෙහිව ප‍්‍රකෝපරන උසිගන්වා ඔවුන්ට කම්හල් බිමේදී පහර දීමට කුලියට ගත් මැරයින් යොදා තිබුනේ කෙසේ දැ යි සසප කථිකයෝ පැහදිලි කලහ. මෙම කුමන්ත‍්‍රනය මධ්‍යයේ, අභිරහස් ලෙස ගින්නක් හටගත් අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස සමාගමේ මානව සම්පත් කලමනාකාර අවනිෂ් කුමාර් දේව්ගේ මරනය සිදුවුනි. “මෙම ගින්න හා කම්කරුවන්ට අනුකපම්පා සහගත වී යැයි ප‍්‍රසිද්ධව සිටි කලමනාකරුවාගේ මරනය ඩැහැ ගනිමින් ගොතන ලද මිනීමැරුම් චෝදනා මත කම්කරුවන් 13දෙනා වරදකරුවන් කොට ජීවිතාන්ත සිරදඬුවමකට ලක් කෙරී ඇතැ” යි තේවරාජා පැහදිලි කලේ ය.

අනෙක් දේවල් අතර, “වරදකරුවන්” හඳුනා ගැනීමට පැමිනිලි පක්ෂයේ සාක්ෂිකරුවන් අසමත් වීම, ඔප්පු කිරීමේ වගකීම ප‍්‍රාන්ත ආන්ඩුව වෙතින් කම්කරුවන් වෙත මාරුකරමින් විනිශ්චයකාරවරයා නැවත නැවතත් නීතිය කඩ කිරීම ගැන සඳහන් කරමින් කථිකයෝ, මරුති සුසුකි නඩුව නීතිමය විකාරයක් යයි හෙලිදරව් කලහ. “කම්කරුවන්ට එරෙහි තීන්දුව පැහදිලිව ම දේශපාලනිකව පොලඹවන ලද්දක්” යයි සුනිල් ප‍්‍රකාශ කලේ ය. “මෙය මෝදි හා ඔහුගේ (බීජේපී) ආන්ඩුව වහල් කඳවුරු කොන්දේසි හා ලාභ ශ‍්‍රම සූරාකෑමට කම්කරුවන්ගේ විරුද්ධත්වය කුරිරු ලෙස මර්දනය කරන බවට විදේශ ආයෝජකයින්ට දෙන ලද පැහැදිලි පනිවුඩයකි. අනෙක් අතට එහි අර්ථය වූයේ, දරිද්‍ර වැටුප් හා කොන්ත‍්‍රාත් ශ‍්‍රමයට එරෙහි ඕනෑ ම අභියෝගයක් ම්ලේච්ඡ ලෙස මර්දනය කරන බවට සමස්ත කම්කරු පන්තියට ම කරන ලද අනතුරු ඇඟවීමකි.”

බොරු නඩු ඇටවුනු මරුති සුසුකි කම්කරුවන් හුදකලා ඉන්දීය ප‍්‍රපංචයක් නො වන බව පැහැදිලි කරමින්, තේවරාජා මෙසේ පැවසී ය, “එය ගෝලීය ධනවාදයේ වැඩෙන අර්බුදයේ කොන්දේසි යටතේ, ලෝකය පුරා ධනේශ්වරය විසින් ක්‍රියාත්මක කරනු ලබන සමාජ ප‍්‍රතිවිප්ලවයේ කොටසකි.”

එක්සත් ජනපදය තුල ඩොනඩ් ට‍්‍රම්ප්ගේ නව පාලනාධිකාරය, යුරෝපය පුරා ආන්ඩු, හා හිටපු ජනාධිපති රජපක්ෂ මෙන් ම වර්තමාන සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ද කම්කරුවන්ගේ සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එරෙහිව පුලුල් ප‍්‍රහාරයන් ගෙන ගොස් ඇත්තේ කෙසේ දැ යි කථිකයෝ පැහැදිලි කලහ. “එවැනි ප‍්‍රහාරයන් පරාජය කල හැකි එක ම මාවත, කම්කරු පන්තියේ ජාත්‍යන්තර එක්සත්කම” යයි ඔවුහු ප‍්‍රකාශ කලහ.

බොරු නඩු ඇටවුනු මරුති සුසුකි කම්කරුවන් නිදහස් කර ගැනීමට සටන් කිරීමේ දී ඔවුන්ගේ ජාත්‍යන්තර සහෝදර සහෝදරියන් සමග එක් වීමට ද ජාත්‍යන්තර කමිටුව විසින් දියත් කරන ලද ජාත්‍යන්තර ආරක්ෂක උද්ඝෝෂනයට සහය දැක්වීමට ද මෙම තීරනාත්මක උද්ඝෝෂනය ප‍්‍රචාරය කිරීම හා සසප හා සසජාතශි විසින් අප්‍රේල් මස 4වැනිදා කොලඹ මහජන පුස්තකාලයේ දී පවත්වනු ලබන රැස්වීමට සහභාගී වන ලෙසට ද ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගෙන් හා තරුනයිගෙන් ඉල්ලා සිටිමින් ඔවුහු තම කතා අවසන් කලහ.

Share this article: