ශ්‍රී ලංකා පොලීසිය යාපනයේ තරුනයන් දුසිම් ගනනක් අත්අඩංගුවට ගනී

இலங்கை பொலிஸ் யாழ்ப்பாணத்தில் டசின் கணக்கான இளைஞர்களைக் கைது செய்துள்ளது

සුභාෂ් සෝමචන්ද්‍රන් සහ එස්. ආනන්ද් විසිනි, 2017 අගෝස්තු 16

කුරිරු කඩාපැනීමක් දියත් කරමින්, යාපන අර්ධද්වීපයේ විවිධ ප‍්‍රදේශ තුල සියයකට වැඩි පුද්ගලයන් ප‍්‍රමානයක් අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස රාජ්‍ය මර්දනය තීව‍්‍ර කිරීමට ආන්ඩුව හා පොලීසිය යොදාගනිමින් සිටින්නේ, සන්නද්ධ කල්ලියක් විසින් කෝපායිහි දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට එල්ල කරන ලද ප‍්‍රහාරයන් ය.

පොලිස්පති පූජිත් ජයසුන්දර එම ප‍්‍රහාරයෙන් ක්ෂනික ඉක්බිත්තේ යාපනයට ගොස් එල්ටීටීඊය යලි හිස ඔසවමින් සිටින බවට ප‍්‍රකාශ කලේ ය. “අප මෙරටින් ත‍්‍රස්තවාදය තුරන් කොට ඇතැයි පැවසුව ද, එහි බීජ මුලුමනින් ම තුරන් කර ඇතැයි කිසිවෙකුට සහතික විය නො හැකි” යයි ඔහු කියා සිටියේ ය. දෙමල-විරෝධී රුදුරු වාර්ගික උද්ඝෝෂනයක් දියත් කිරීම සඳහා පාලක පක්ෂ, පොලීසිය, විපක්ෂය හා ධනපති මාධ්‍ය එක්ව ගෙනයන ඒ හා සමානවූ උද්ඝෝෂනය සමග ඔහුගේ ප්‍රකාශයන් සමපාත විය.

තුන්නලායි යනු මෙම මර්දනය රුදුරු ලෙස ක්‍රියාවට දැමෙන එක් ප‍්‍රදේශයකි. හමුදාව හා පොලීසිය එක්ව කඩාපැන තරුනයන් 42ක් අත්අඩංගුවට ගත් තුන්නලායි හා කුඩවත්ත යන ප‍්‍රදේශවලට, ලෝසවෙඅ වාර්තාකරුවෝ ගිය හ.

මෙම ප‍්‍රදේශය විශේෂයෙන් ඉලක්ක කරගෙන ඇත්තේ, තරුන කම්කරුවෙකු මරාදැමීමට එරෙහි ව මහජනයා පැවැත්වූ විරෝධතාවක් හේතුවෙනි. තිනේශ් යෝගරාජා නමැති මෙම කම්කරුවා පසුගිය ජූලි 8 දා මරා දැමුනේ වැලි ප‍්‍රවාහනය කරමින් තිබූ ලොරියක ගමන් කරමින් සිටියදී ය. කෝපයට පත් ජනයා පොලිස් මුරපොලකට පහර දී තරුනයාට වෙඩි තැබීමට සම්බන්ධ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ නිවසට අලාභහානි කලහ. මහජන කෝපය අපගමනය කිරීම සඳහා, තරුනයා මරා දැමීමේදී රාජකාරියේ නිරත ව සිටි පොලිස් නිලධාරීන් “පමන ඉක්මවා බලය පාවිච්චි කලේ” යයි පිලිගත් පොලීසිය, ඔවුන් වෙනත් ස්ථානයකට මාරුකිරීම පමනක් සිදු කලේය.

තුන්නලායි හා කුඩවත්ත ප‍්‍රදේශ වටලෑම සඳහා පොලිස් නිලධාරීන් දහස් ගනනක් යොදවන ලද අතර, අගෝස්තු 4 දා සිට 8 දා දක්වා වූ මෙම මෙහෙයුම සිදු කෙරුනේ දැඩිලෙස සන්නද්ධ වූ පොලිස් විශේෂ කාර්ය බලකායේ (එස්ටීඑෆ්) සහ හමුදාවේ සහාය සහිතවයි. මෙය යුද්ධය පැවති කාලයේ වටලෑමකට සමාන වීය.

පොලිස් හා හමුදා ට‍්‍රක්රථ, ජීප් රථ හා මෝටර් සයිකල් ප‍්‍රදේශය පුරා සැරිසරද්දී මෙහෙයුම සිදු විය. රහස් ඔත්තු නිලධරයෝ සුපරීක්ෂාකාරී ව බලා සිටිය හ. ප‍්‍රදේශවාසීන්ට හා උපකාරක පන්තිවලට සහභාගි වන ලමුන්ට පවා ඉවතට යාම තහනම් කෙරුනි. පාන් වෙලඳාමේ යෙදෙන්නන් ඇතුලු පිටස්තර වැසියන්ට ඇතුලු වීම තහනම් කරනු ලැබිනි.

බස්රථ නැවැත්වූ හමුදා භටයන් මගීන් පරීක්ෂාවට ලක්කල හ. තුන්නලායි හා කුඩවත්ත ප‍්‍රදේශවල ලිපිනයන් සහිත ජාතික හැඳුනුම්පත් තිබූ ජනයා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. දෙමල පොලිස් නිලධාරීන් කාන්තාවන්ට කුනුහරුපෙන් බැනවැදුනු බවත් අත්අඩංගුවට ගත් ජනයාට මාංචු දමා දැඩිලෙස පහරදුන් බවත් මහජනයා චෝදනා කලහ.

කුඩවත්ත ප‍්‍රදේශයේ පූමානි නමැති 70 හැවිරිදි රෝගී කාන්තාවක් කම්පනයෙන් මියගියේ පොලීසිය ඇයගේ දියනිය අත්අඩංගුවට ගැනීමට තැත්කිරීමේ දී ය. ඇයගේ අවමගුලට බාධා කරමින් එයට සහභාගිවන්නන් අත්අඩංගුවට ගන්නා බවට පොලීසිය කල තර්ජනය නිසා එයට සහභාගි වූයේ ගැහැනුන් හා පිරිමින් කිහිප දෙනෙකු පමනි.

තම පවුල්වලට කෑම ඇඳීම සපයන්නන් අත්අඩංගුවට පත් ව තිබීම හෝ එසේ පත්විය හැකි යයි පවත්නා භීතිය හේතුවෙන් මෙම ගම්වල බොහෝ පවුල් කුසගින්නෙන් පෙලෙති. මෙම වටලෑම්වලදී, ලොරි 14ක් හා මෝටර් සයිකල් 11ක් අත්අඩංගුවට ගනු ලැබිනි.

අත්අඩංගුවට ගත් ජනයාට පොලිස් මුරපොල විනාශ කිරීම, ටයර් පිලිස්සීම, උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ නිවසට හානි කිරීම හා නාවික හමුදා නිලධාරීන්ට පහර දීම සම්බන්ධයෙන් පොලීසිය චෝදනා කලහ. අත්අඩංගුවට පත් ජනයා අත පිහි, පොරව හා අත් බෝම්බයක් තිබුනු බවට පොලීසිය කියා සිටියහ. ඒවා ප‍්‍රතික්ෂේප කල ගම්වාසීන් කීවේ චෝදනා ගොතන ලද ඒවා බව යි.

සිංහල පාලක පන්තිය විසින් බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි ව දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ ගෙනගිය වර්ගවාදී යුද්ධයෙන් උතුරු හා නැගෙනහිර ජනයා පීඩා වින්දා හ. කොලඹ ආන්ඩුව හා එහි ආරක්ෂක හමුදා, සිවිල් වැසියන් දහස් ගනනක් මරාදැමීම හා බලහත්කාරී අතුරුදන්කිරීම්වලට වගකීම දරති. ගම්වාසීහු කියා සිටියේ යුද්ධ සමයේ වැනි බිහිසුනු කාලසීමාවකට තමන් යලි මුහුන දෙන බව යි.

ඇමරිකානු-හිතවාදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ආන්ඩුවට පිටුබලය දෙන දෙමල ජාතික සන්ධානය (දෙජාස) රාජ්‍ය මර්දනයට සහයෝගය දක්වයි.

පොලිස් කඩාපැනීම යුක්ති සහගත කරමින් දෙජාස පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා ජූලි 2දා තිනක්කුරල් පත‍්‍රයට මෙසේ කීවේ ය: “පොලීසිය අවංක ව රාජකාරිය කලොත්, මෙවැනි කඩුවලින් කෙටීමේ සිද්ධි, මත්ද්‍රව්‍ය ආනයනය කිරීම් සදහට ම නැවැත්විය හැකි යි. එසේ ම පොලීසිය අවංක ව ක්‍රියාකලහොත් මහජනයා ඔවුන්ගේ පූර්න සහයෝගය දෙනු ඇති. ඒ අතර ම, මහජනයා අවබෝධ කරගත යුත්තේ, කඩුවලින් කෙටීමේ සිද්ධිවලට මිලිටරිය යොදාගැනීමට සිදුවන තරම් තත්ත්වය වෙනස් වී ඇති බව යි. මෙය අවබෝධ කරගතයුතු මහජනයා, එවැනි සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයන් නීතිය හමුවට ගෙන ඒමට සහයෝගය දිය යුතු යි.”

ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ)වෙත කතාකල මහජනයා පොලිස් මර්දනයට හා දෙජාසට එරෙහි ව තම කෝපය පලකල හ.

“පොලීසිය අත්අඩංගුවට ගත් ජනයාට විරුද්ධ ව චෝදනා ගොතලා තිබෙනවා. මගේ ඥාති මාලු වෙලෙන්දෙක් එයාගේ වෙලඳාම් කරන ස්ථානයේ දී ම අත්අඩංගුවට ගත්තා. පොලීසිය එයා අතේ අත්බෝම්බයක් තිබුනා කියා කියනවා. එය සම්පූර්න බොරුවක්. තිනේශ් මරා දැමීමට එරෙහි ව අපි විරෝධය පලකරනකොට පොලීසිය අපි ව වීඩියෝ කලා. දැන් ඒ වීඩියෝ අපට විරුද්ධ ව යොදා ගන්නවා.”

“පොලිස් වෙඩිතැබීමට විරුද්ධ ව අපි විරෝධය පලකරනකොට, පොලීසිය මාව අත්අඩංගුවට ගැනීමට කල උත්සාහය නිසා මම මාධ්‍යයට කතා කලා. මගේ දුව හරහා පොලීසිය මගේ ජීවිතයට තර්ජනය කර තිබෙනවා. මම දැන් ඉන්නෙ හැංගිලා. අපට කන්න අඳින්න දෙන අයත් හැංගුනොත් ගැහැනුයි ලමයිනුයි කුසගින්නට පත්වනු ඇති. කොයි මොහොතේ මොකක් වේදැයි අපි බයෙන් ඉන්නවා. දෙමල පාර්ලිමේන්තු සභිකයන් කවදාවත් අපි ව බලන්න එන්නේ නැහැ. අපි ඉන්නේ කිසිම හව්හරනක් නැතුව. මෙයින් පස්සේ, අපි කිසිම දේශපාලනඥයෙකුට අපේ ගම්වලට ඡන්දය ඉල්ලන්න එන්න දෙන්නේ නැහැ.”

තවත් කාන්තාවක් වන එස්. රන්ජිනී මෙසේ කීවා ය: “අවුරුදු විස්සක් වයස මගේ පුතා අගෝස්තු පලවෙනිදා නඩුවකට පෙනී සිටින්න උසාවි ගියා. එහිදී පොලීසිය ඔහු අත්අඩංගුවට ගත්තා. මම පොලීසියෙන් ඇහුව එයාව අත්අඩංගුවට ගත්තෙ මොකද කියල. නාවික හමුදා නිලධාරියෙකුට පහර දුන්න කියල පොලීසිය මට කීවා. එදා මගේ පුතා හිටියෙ යාපනයෙ කියල මම පොලීසියට කිවුවත් පොලීසිය ඒක පිලිගත්තෙ නැහැ. ගෙදර පාක් කරල තිබුන අපේ වෑන් එක පොලීසියෙන් අරන් ගියා.”

අගෝස්තු පලවෙනිද වරනි හිදී තමන්ගේ ස්වාමි පුරුෂයා වූ වදනරාජා යාපනයේ සිට ආපසු ගෙදරට එමින් සිටිය දී අත්අඩංගුවට ගත් බව අනෙක් කාන්තාව කීවා ය. “මේ සිද්ධිය සමඟ ඔහුට කිසිම සම්බන්ධයක් නැහැ. අපි දැන් ජීවත් වෙන්නෙ කිසිම උදව් උපකාරයක් නැතුව. ඔහු රෝගයකින් පෙලෙනවා. එයා දිනපතා බෙහෙත් බොනවා. එයා බන්ධනාගාරගත වෙලා ඉන්නෙ කිසිම ප‍්‍රතිකාරයක් නැතුව. අපි උතුරු පලාතෙ මහ ඇමති ව මුනගැහුන. මානව හිමිකම් කොමිසමටත් පැමිනිලි කලා. ඒ කිසි දේකින් මොකුත් වුනේ නැහැ. සමහර දෙමල පොලිස්කාරයො මගේ ගෙදරට ඇවිල්ල මටයි පහලොස් හැවිරිදි මගේ දුවටයි කුනුහරපෙන් බැන්න. ඒගොල්ලො ආපහු ගියේ දුව භූමිතෙල් වක්කරගෙන ගිනි තියාගන්නව කියල තර්ජනය කලාට පස්සෙ.”

කුඩා කඩ හිමියෙකු මෙසේ පැවසීය:“අත්අඩංගුවට පත් බොහෝ පුද්ගලයන් කිසිදු සිද්ධියකට සම්බන්ධ නැහැ. අපි දැන් ජීවත් වෙන්නෙ යුද්දෙ තිබුන වගෙ ම කාලෙක. මහජනයාට පොලීසියෙන් වෙඩි තියන එකට කිසිම විසඳුමක් නැහැ. අහිංසක මිනිස්සුන්ට ආයුධ තියන් ඉන්නවා කියලත් ඒගොල්ලන්ට එල්ටීටීඊ එකත් එක්ක සම්බන්ධකම් තියනව කියලත් ආවා කන්ඩායමට සම්බන්ධයි කියලත් පොලීසිය චෝදනා කරනවා. ඒක පට්ටපල් බොරුවක්. අවුරුදු 17ක් වයස ලමයිනුත් අත්අඩංගුවට ගත්ත. මම අහන්නෙ “මේකද යහපාලනය කියල?”

Share this article: