කීර්ති බාලසූරිය සහෝදරයාගේ අභාවයේ 30 වන සංවත්සරය නිමිත්තෙනි

On the 30th anniversary of the death of Comrade Keerthi Balasuriya

ඩේවිඩ් නෝර්ත් විසිනි, 2017 දෙසැම්බර් 19

මෙම ලිපිය ලෝසවෙඅ ජාත්‍යන්තර කතෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නොර්ත් විසින් කීර්ති බාලසූරියගේ අභාවයේ 30වන සංවත්සරය සමරන ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ සහෝදරවරුන් වෙත යවන ලද්දකි. කීර්ති සහෝදරයා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි ශ්‍රී ලංකා ශාඛාව වන සසපයේ පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) ආරම්භක ප‍්‍රධාන ලේකම් විය. අනුස්මරනය කොලඹ කනත්තේදී දෙසැම්බර් 18දා පැවැත්වුනි.

ප‍්‍රිය සහෝදරවරුනි,

තිස් වසරකට පෙර 1987 දෙසැම්බර් 18දා කීර්ති බාලසූරිය සහෝදරයා වයස 39දී අකල් මරනයකට ගොදුරු විය. එම සිකුරාදා උදෑසන ප‍්‍රවෘත්තිය දැනගන්නා විට, මා තුල දරුනු කම්පනයක් ඇති විය. ඉන්දියානු හා ශ්‍රී ලංකා ධනේශ්වරය අතර ඇතිකරගන්නා ලද ද්‍රෝහී ගිවිසුම මුල්කරගෙන ලන්ඩනයේදී මා කීර්ති හා එක්ව දේශපාලන ප‍්‍රකාශයක් ලියා ගතව තිබුනේ යන්තම් සති කිහිපයක් පමනි. සිය බුද්ධිමය හා දේශපාලන බලයේ උච්ඡතම අවස්ථාවෙහි මෙම දීප්තිමත් විප්ලවවාදියා හදිසියේම අප අතරින් වියෝවූ බව විශ්වාස කිරීමට පවා නොහැකි විය.

සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස් අනුස්මරනට සහභාගිවූවන් අමතයි

කීර්තිගේ අභාවය හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවටත් එහි ශ්‍රී ලංකා ශාඛාවටත් පිරිමැසිය නොහැකි පාඩුවකි. කීර්ති ශ්‍රී ලංකාව තුල විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය පිහිටුවන ලද 1968 පටන් එයට නායකත්වය සැපයීය. බ්‍රිතාන්‍යයේ කම්කරු විප්ලවවාදී පක්ෂය (කවිප) වඩ වඩාත් මූලධර්ම විරහිත ජාතික අවස්ථාවාදයට පල්ලම් බැසීමෙන් උග‍්‍රව කරන ලද අතිශයින්ම දුෂ්කර දේශපාලන කොන්දේසි යටතේ කීර්ති, විකොස පිහිටුවීමේදී පාදක වූ විප්ලවවාදී ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගය සුරැකීමට කැපවී සිටියේය.

කවිප තුල අර්බුදය පැනනැගි 1985 ඔක්තෝබරයේදී කීර්ති සහෝදරයා ලංඩනයට පැමිනියේය. හතරවන ජාත්‍යන්තරය ඓතිහාසිකව පාදක වූ මූලධර්ම ආරක්ෂා කිරීමට සටන් වදිමින් සිටි ජාත්‍යන්තර කමිටුවේ කොටස් සමග ඔහු වහාම අත්වැල් බැඳ ගත්තේය. කවිප සමග භේදයේ දේශපාලන පාඩම් උකහා ගනිමින් කීර්ති, ඊලඟ දෙවසරක කාලය තුල ජාත්‍යන්තර කමිටුව න්‍යායිකව හා දේශපාලනිකව යලි සන්නද්ධ කිරීමේදී තීරනාත්මක ක්‍රියාකලාපයක් ඉටු කලේය.

ස්ටැලින්වාදී, ජාතිකවාදී හා ව්‍යාජ සමාජවාදී කයිවාරුවේ ද්‍රෝහී අච්චාරුවක් තුලින් මාක්ස්වාදී ජාත්‍යන්තරවාදයේ මූලධර්මයන්ට විකල්පයක් සොයාගෙන ඇතැයි පැවසූවන්ට වඩා, විප්ලවවාදී මාක්ස්වාදියෙකු ලෙස ඔහුගේ කටයුතු චිරාත්කාලීනව පවතිනු ඇතැයි මම කීර්ති සහෝදරයාගේ අවමංගල්‍යයේදී පැවසුවෙමි.

එම අනාවැකියේ නිරවද්‍ය භාවය සනාථ කෙරී ඇත. කීර්තිගේ අභාවයේ සිට ගතවූ 30 වසර තුල ඉතිහාසය, “තුන්වන ලෝකයේ” නානාවිධ ධනපති ජාතිකවාදී නියෝජිතයින්ගේ (කිහිප දෙනෙකු පමනක් සඳහන් කරන්නේ නම්, නෙල්සන් මැන්ඩෙලා, නසාර් හා ගඩාෆි වැනි අය ) ගැන නොකීව ද මාඕ, හෝ චී මින්, ටිටෝ හා කැස්ත්‍රෝගේ දේශපාලන උරුමය සමග අනන්‍යතාවට දරුනු පිලිතුරක් දී ඇත.

කීර්ති සහෝදරයාගේ අභාවයෙන් තිස් වසරක ඇවෑමෙන්, ලෝක සමජවාදී විප්ලවයේ ක්‍රියාමාර්ගය නියෝජනය කරන ලෝකයේ එකම දේශපාලන ප‍්‍රවනතාව හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පමනක්ය යන කාරනය අවිවාදිතය. අපගේ කීර්ති බාලසූරිය සහෝදරයාගේ හා ආදරනීය මිතුරාගේ ජීවිතයෙහි නොමැකෙන උරුමය රැඳී ඇත්තේ මෙහිය.

ඩේවිඩ් නෝර්ත්

ඇමරිකා එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයත් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කතෘ මන්ඩලයත් වෙනුවෙනි.

මෙම ලිපි ද කියවන්න:

* කීර්ති බාලසූරිය සහෝදරයාගේ මතකය වෙනුවෙන්

* විසිවන සියවසේ දෙවන භාගයෙහි දකුනු ආසියාවේ ප‍්‍රමුඛතම මාක්ස්වාදියා

Share this article: