ට‍්‍රම්ප් හා ජෙරුසලම: මැද පෙරදිග “සාම” පාලියේ අවසානය

Trump and Jerusalem: The end of the Mideast “peace” charade

2017 දෙසැම්බර් 08

ඊස්රායලයේ අගනුවර වසයෙන් ජෙරුසලම පිලිගන්නා බවටත් වොෂින්ටන් තානාපති කාර්යාලය ජෙරුසලමට ගෙනයන බවටත් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් කර ඇති ආක‍්‍රමනශීලී හා ප‍්‍රකෝපකාරී කතාව ජනනය කල පලමු ඵලයන් වන්නේ, ජීව උන්ඩ, රබර් පතරොම් හා කඳුලු ගෑස් භාවිතා කරමින් ඊස්රායල හමුදා භටයන් විසින් වාඩිලාගෙන සිටින සමස්ත භූමි ප‍්‍රදේශය පුරා විරෝධතාවන් මැඩපැවැත්වීමට කල වෙඩිතැබීම්වල දී පලස්තීන කම්කරුවන් හා තරුනයන් 100 දෙනෙක් තුවාල ලැබීම යි.

දෙසැම්බර් 6දා ඔහු කල කතාවේ දී එක්සත් ජනපදය දශක හතක් පුරා අනුගමනය කර තිබෙන, කුහකත්වය මත පදනම් වන පිලිවෙත ට‍්‍රම්ප් විසින් අවලංගු කරනු ලැබීය. ජෙරුසලම අරබයා වන ගැටලුව ඊස්රායලය හා පලස්තීනය අතර සාකච්ඡා හරහා පමනක් විසඳාගත යුතු ය යන පිලිවෙත රාජ්‍ය දෙපාර්තමේන්තුව නිල වසයෙන් අනුගමනය කල ද, ඩිමොක‍්‍රටික් හා රිපබ්ලිකන් යන පක්ෂ දෙකේ ම අනුයාත ජනාධිපති අපේක්ෂකයෝ තානාපති කාර්යාලය ජෙරුසලමට ගෙනයන බවට පොරොන්දු වුව ද තනතුරට තේරී පත්වූ පසු අමතක කර දැමූ හ. ඒ හා සමාන ව එක්සත් ජනපදයේ කොංග‍්‍රස් සභාව ද තානාපති කාර්යාලය චලනය කිරීමට ඒකමතික ව එකඟ වූ නමුත් එය කල්දැමීම සඳහා ජාතික ආරක්ෂක ආවරනයක් ජනාධිපතිවරයාට සම්පාදනය කලේ ය.

ඉස්ලාම්, ක‍්‍රිස්තියානි හා යුදෙව් ආගම්වල වඩාත් ම පූජනීය ලා සැලකෙන ස්ථාන පිහිටා ඇති ජෙරුසලමේ නෛතික තත්ත්වය අරබයා වන ගැටුම්වල පුපුරනසුලු ස්වභාවය, ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත‍්‍රික කටයුතුවල දී හඳුනාගෙන තිබුනේ ඊස්රායල රාජ්‍යය ස්ථාපනය කිරීමටත් බොහෝ පෙර සිට ය.

එක පහරින් ම ට‍්‍රම්ප් පෙර පැවති පාලනාධිකාරයන්ගේ හැසිරීම් රටාව කෙලින් කලේ ය. එසේ කිරීම මගින් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ දක්ෂිනාංශික ආන්ඩුවට ට‍්‍රම්ප් දුන් පැහැදිලි සංඥාව වන්නේ, ඊස්රායලයේ සියොන්වාදී යලි පදිංචි කිරීම්, පලස්තීනුවන්ගේ භූමි අල්ලාගැනීම්, වාර්ගික සුද්ධකරනයන් හා මහා පරිමාන මර්දනය කිරීම්වලට වොෂින්ටනයේ කොන්දේසි විරහිත සහයෝගය ලැබෙනු ඇති බව යි.

ට‍්‍රම්ප් පලස්තීන පාලනාධිකාරය වෙත ප‍්‍රදානය කල කිසිවක්, ඊස්රායලය හා බටහිර බලයන් වෙනුවෙන් පෙනී සිටින ආරක්ෂක භටයෙක් ලෙස එය දැන් ඉටුකරන භූමිකාව දිගට ම ඉටුකරන ලෙසට (ඒනම් “රැඩිකල්වාදය පැරදවීම” සඳහා වන ඇමරිකානු කුරුස යුද්ධය සමග ඒකාබද්ධ වීමට හා පලස්තීන ජනයා “නො එකඟතාවන්ට විවාදයෙන් මිස ප‍්‍රචන්ඩත්වයෙන් ප‍්‍රතිචාර නො දැක්වීම” තහවුරු කිරීමට කල අන පැනවීම) අනවා සිටීම ඉක්මවා නො යයි.

නො නවතින ඊස්රායල ප‍්‍රචන්ඩත්වය, ඉඩම් අහිමි කිරීම, තමන්ගේ තරුන ජනයා හිතූමතේ හිරබාරයේ දැමීම හා එකදිගට කරගෙන යන යුද්ධ හා මර්දන ක‍්‍රියා හරහා දසදහස් ගනනක් ජනයා මරා දැමීම ආදියට මුහුන දී ඇති පලස්තීනයේ ජනයාට, “සාධාරන වාදවිවාද” හරහා ගැටලු විසඳා ගන්නා ලෙස කියනු ලබන්නේ, ඔවුන්ගේ අතිමූලික අභිලාෂයන් හා අයිතිවාසිකම් කුදුමහත් අවඥාවෙන් යුතු ව දැනටමත් අහිමි කිරීම මගින් එම ගැටලු විසඳනු ලැබ තිබෙන තතු යටතේ ය.

නගරයේ සමස්ත ජනගහනයෙන් සියයට 40ක් හෙවත් පලස්තීන වැසියන් 320,000 ගනනකට පුරවැසි අයිතීන් අහිමි කර තිබෙන ජෙරුසලම මත ඊස්රායල ස්වෛරීභාවය හා ඇමරිකානු තානාපති කාර්යාලය එම නගරයට ගෙනයාම, “සාම ක‍්‍රියාවලිය ඉදිරියට ගෙනයාමේ බොහෝ කල්ගත වූ පියවරක් බව” ට‍්‍රම්ප් විසින් සඳහන් කරනු ලැබී ය. මෙම “ක‍්‍රියාවලිය” අධීක්ෂනය කරන ඔහුගේ බෑනා වන ජාඩ් කුෂ්නර් සහ ඔහුගේ සංගතයේ හිටපු ඉහල පෙලේ නීතිඥයන් වන ජේසන් ග‍්‍රීන්බ්ලැට් හා ඩේවිඩ් ෆ‍්‍රීඩ්මාන් ද ඊස්රායලයේ ඇමරිකානු තානාපතිවරයා ද යන පුද්ගලයන් මත් අල්ලාගත් භූමිප‍්‍රදේශ තුල නීති-විරෝධී ඊස්රායල පදිංචි කිරීම්වලට ඉතසිතින් සහයෝගය දුන් පුද්ගලයෝ වෙති.

2016 දී තමන්ගේ මැතිවරන උද්ඝෝෂනයට මුදලින් ආධාර කල දක්ෂිනාංශික ක‍්‍රිස්තියානි මූලධර්මවාදීන්ගේ හා ඇමරිකාවේ සිටින ධනවත් ඇමරිකානු සියොන්වාදීන් අතලොස්සකගේ සහයෝගය දිනාගැනීම සඳහා දුන් පොරොන්දුවක් තම ක‍්‍රියාව මගින් “ඉටුකරන” බව ට‍්‍රම්ප් මුග්ධ ලෙස ගෙනහැර දැක්වී ය. ඔහුගේ පරිපාලනය අර්බුද විසින් අරක්ගත් තතු තුල ඔහුගේ “පදනම” ශක්තිමත් කරගැනීම කෙරෙහි ට‍්‍රම්ප් කාංසා සහගත වේ.

වඩාත් මූලික දෙය වන්නේ, පලස්තීනුවන්ට එරෙහි ට‍්‍රම්ප්ගේ දේශපාලනික ව ආක‍්‍රමනශීලී ක‍්‍රියාව, විශේෂයෙන් ම ඉරානයට එරෙහි ව සමස්ත මැද පෙරදිග කලාපය ම යුද්ධය කරා ඇදගෙන යාමේ ධාවනය සමග බැඳී තිබීම යි. ට‍්‍රම්ප් තම කතාව කල දිනයේ ම එක්සත් ජනපද භටයන් 2,000ක් (මෙය කලින් කී සංඛ්‍යාව මෙන් හතර ගුනයකි) සිරියාව තුල දිගේලි කර ඇතැයි ද අයිඑස්අයිඑස් සංවිධානයේ පරාජයෙන් පසුව පවා ඔවුන් ව ආපසු කැඳවා නො ගන්නා බව ද පෙන්ටගනය විසින් තහවුරු කරනු ලැබීය.

ට‍්‍රම්ප්ගේ කතාවෙන් ඉක්බිති ව, එක්සත් ජනපද පිලිවෙතේ මාරුව විසින් ආගමික මනෝගතීන්ට ආයාචනා කරන අල් කයිඩා වැනි ඉස්ලාමීය කන්ඩායම්වලින් නව ප‍්‍රහාර එල්ල වීමට හේතුවනු ඇතැයි ගනන් නැති අනතුරු ඇඟවීම් පල වී තිබේ. එක්සත් ජනපද මිලිටරි හා රහස් තොරතුරු සංස්ථාපිතයේ ගනන් බැලීම්වලට මෙය නිසැක සාධකයක් විය හැකි වුවත්, එවැනි ප‍්‍රහාර ගසාකනු ඇත්තේ විශේෂයෙන් ම ඉරානයට විරුද්ධ යුද්ධය සඳහාත් රට තුල ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් මතට පහර දීමටත් ව්‍යාජ නිමිති ලෙස ය.

සෑම අරාබි තන්ත‍්‍රයකින් ම පාහේ මෙන් ම බටහිර යුරෝපයේ එක්සත් ජනපදෙයේ නාමික හිතවතුන් වෙතින් ද ට‍්‍රම්ප්ගේ කතාවට ගෝලීය පරිමාන හෙලාදැකීම් එල්ල වී ඇත.

යුරෝපීය ධනේශ්වරය, වොෂින්ටනයේ ඒකපාර්ශවික ප‍්‍රකෝපකාරී ක‍්‍රියාව දැකගන්නේ, ඔවුන්ගේ රටවල් තුල මුස්ලිම් ජනගගහනයන් ප්‍රකෝපකරනයන්ට පොලඹවන්නාවූත් ලාභ උපදවන ආයෝජන හා වෙලඳපොලවල් තමන්ට අහිමි කරනු ඇති ඉරාන-විරෝධී පිලිවෙතක් අනුයාමට හේතුවන්නාවූත් එකක් ලෙස ය. ඒ අතර ම, සුවිශේෂී වසයෙන් ජර්මානු හා ප‍්‍රන්ස ආන්ඩුවල ප‍්‍රතිචාරයෙන් පැහැදිලි වන්නේ, මැද පෙරදිග තුලත් අනෙක් තැන්වලත් මිලිටරි විධික‍්‍රම ද යොදාගෙන තමන්ගේ ම මහා බල අවශ්‍යතා සඳහා පිනුම් පිත්තක් ලෙස ට‍්‍රම්ප්ගේ ක‍්‍රියාව යොදාගැනීමට යුරෝපීය පාලක පන්තීන් තුල ඇති සූදානම යි.

අරාබි තන්ත‍්‍රයන්ගේ විරෝධය පෑම් ගත්කල ඒවා මුලුමනින් ම වංක ය. සවුදි රාජාන්ඩුව, ඊජිප්තුවේ ජෙනරාල් සිසිගේ පොලිස් රාජ්‍ය ආඥාදායකත්වය, ජෝර්දානයේ හෂීම්වාදී රාජාන්ඩුව සහ මොහොමඩ් අබ්බාස්ගේ පලස්තීන පාලනාධිකාරය යන ඒවා, ජෙරුසලම පිලිබඳ එක්සත් ජනපද පිලිවෙතේ වෙනස් වීම ගැන කල් තබා ම දැනුවත් ව සිටිය හ.

සවුදි බලවතා වන ඔටුන්න හිමි මොහොමඩ් බින්-සල්මාන් කුමරු පසුගිය මාසයේ අබ්බාස් ව රියාද් නුවරට කැඳවා, ජෙරුසලමේ සියලු වැසියන් ද බටහිර ඉවුරේ සියලු ජනපදයන් ද ඊස්රායලයේ හිමිකමට පත් කර, පලස්තීනයේ සිට පැමිනෙන සංක‍්‍රමනකියන් ආපසු යාම වලකමින් එරට (පලස්තීනය) හුදෙක් ම ඊස්රායල පාලනය යටතේ පවතින එකිනෙකින් වෙන් ව පිහිටි බන්තුස්තාන් ජනපදවලට අන්ඩ දමන “රාජ්‍යයක්” බවට සිඳවන්නා වූ එක්සත් ජනපද-ඊස්රායල “සාම සැලසුමට” කීකරු වන ලෙස ඇනවූ බවට විශ්වාසවන්ත වාර්තා පවතී. එක්කෝ මෙම අපරූපනය පිලිගන්නා ලෙසත්, එසේ නැතහොත් පලස්තීන පාලනාධිකාරයට ලැබෙන සවුදි මුදල් අහිමි කරගෙන “ඉවත් කරනු ලැබීමට” සූදානම් වන ලෙසත් අබ්බාස්ට අවසන් නිවේදන නිකුත් කෙරුනු බවට ද වාර්තා වේ.

පසුගිය වසර 70 පුරා පලස්තීනුවන් ව පාවා දී ඇති අරාබි පාලන තන්ත‍්‍රයන්, ට‍්‍රම්ප් හා නෙතන්යාහුට විරුද්ධ වීමට කැමැත්තක් නො දක්වයි. සවුදි අරාබියට හා අනෙකුත් ප‍්‍රතිගාමී ගල්ෆ් රාජාන්ඩුවලට අවශ්‍ය වන්නේ ඉරානයට විරුද්ධ ව ට‍්‍රම්ප් හා නෙතන්යාහු සමග පෙලගැසීමට යි.

තීරනය, “ඓතිහාසික සැතපුම් කනුවක්” යයි නෙතන්යාහු විසින් උත්කර්ෂයට නැංවුව ද එහි යථාර්ථය වන්නේ, දශක ගනනාවක් තිස්සේ පලස්තීන ජනතාව පීඩාවට පත්කිරීම සාධාරනීකරනය කිරීමටත් එය වහංගු කිරීමටත් යොදාගත් දේශපාලන ප්‍රෝඩාවන් වන “සාම ක‍්‍රියාවලීන්” සහ “රාජ්‍ය දෙකේ විසඳුම” යන ඒවායෙහි මිනී කනත්ත මත ගොඩනගන ලද සොහොන් ගලක් ය යන්න යි.

ට‍්‍රම්ප්ගේ ක‍්‍රියාව යලිත් ප‍්‍රදර්ශනය කර තිබෙන්නේ, පලස්තීන ජනයාගේ අභිලාෂයන් ඉටු කිරීම හා සියොන්වාදී රාජ්‍යය විසින් ඔවුන් ව පීඩාවට පත් කිරීම අධිරාජ්‍යවාදය හා අරාබි ධනේශ්වර තන්ත‍්‍රයන් අතර ගනුදෙනු හා උපාමාරු මගින් අවසාන කල හැකිය යන්නෙහි ප්‍රෝඩාකාරී භාවය යි.

දැනට කෙරීගෙන යන හා වැඩි දියුනු වන ඊස්රායල-පලස්තීන ආතතීන් විසින් සලකුනු කරන මැද පෙරදිග කලාපය තුල වැඩෙන අර්බුදය, ධනේශ්වර ජාතිකවාදයේ ඓතිහාසික බංකොලොත් භාවය හෙලිදරවු කර තිබේ.

ධනේශ්වර ජාතිකවාදයේ සියොන්වාදී රූපාකාරය, හොලෝකෝස්ටයෙන් පලා එන යුදෙව්වන් සඳහා මාතෘභූමියක් ස්ථාපනය කිරීම සාධාරනීකරනය කිරීමේ පදනම මත සිය සුජාත භාවය කියාපෑවේ ය. එහෙත් යුදෙව් ජනයා පලස්තීනුවන්ට හා කලාපය තුල අනෙකුත් ජනයාට එරෙහි ව පිහිටුවීම මගින් මිලිටරීකෘත රාජ්‍යයක් එමගින් නිර්මානය කලේ පෘථිවි තලය මත්තෙහි වඩාත් ම අසමාන සමාජයන්ගෙන් එකක් අධීක්ෂනය කරන රාජ්‍යයක් බිහි කරමිනි. ලියොන් ට්‍රොට්ස්කි ප‍්‍රකාශ කල පරිදි මෙම රාජ්‍යය ස්ථාපනය කිරීම යුදෙව් ජනයාට එරෙහි “ලේවැකි උගුලක්” බව සනාථ කෙරී තිබේ.

මැද පෙරදිග තුල නව කුඩා රාජ්‍ය කැබලිත්තක් නිර්මානය කිරීමේ ධනේශ්වර ජාතිකවාදී ක‍්‍රියාමාර්ගය මත පදනම් ව පලස්තීන ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රීය හා සමාජමය අභිලාෂයන් ඉෂ්ට කරගැනීම කිසිසේත් ම කල නො හැක්කක් බව පලස්තීන ජාතිකවාදය කුදුමහත් ලෙස තහවුරු කර ඇත. ඒ වෙනුවට එමගින් නිර්මානය කර ඇත්තේ, අබ්බාස් ද විදේශාධාර කොන්ත‍්‍රාත්තු හා සීඅයිඒ වේතනයන්ගෙන් යැපෙමින් වාඩිලාගැනීමට විරුද්ධවන්නන් ව මර්දනය කරන ඔහුගේ සමීප නිලධරයන් හා මිලියනපතියන් අතලොස්සකගේ අවශ්‍යතා නියෝජනය කරන පලස්තීන පාලනාධිකාරය පමනි.

පලස්තීනුවන් දශක ගනනාවක් තිස්සේ පෙලෙන මර්දනය, දරිද්‍රතාව හා ප‍්‍රචන්ඩත්වය අවසන් කිරීමත් කලාපය අලලා ගත් යුද්ධයක තර්ජනය නැවැත්වීමත් සියලු ජාතික හා ආගමික බෙදුම් රේඛා කපාගෙන අධිරාජ්‍යවාදයටත්, ඊස්රායලයේ හා අරාබිකරයේ එහි ප‍්‍රාදේශීය ඒජන්තයන්ටත් විරුද්ධ ව තම බලවේග ඒකාබද්ධ කරගත යුතු කම්කරු පන්තියේ කර්තව්‍යයකි.

අධිරාජ්‍යවාදයේ අර්බුදය විසින් අවුලුවනු ලබන්නා වූ මැද පෙරදිග කලාපය තුල ආධිපත්‍යය දරා ඇති දේශපාලන ප‍්‍රබන්ධයන්ගේ බිඳ වැටීම, සමස්ත පෘථිවි ගෝලයෙන් ධනවාදය පෙරලා දැමීමේ අරගලයෙහි කොටසක් ලෙස මැද පෙරදිග කලාපයේ සමාජාවාදී සමූහාන්ඩු සංගමයක් සඳහා වන අරගලය තුල යුදෙව් හා අරාබි කම්කරු පන්තිය එක්සත් වීමේ ක්ෂනික අවශ්‍යතාව ඉස්මතු කරයි.

බිල් වෑන් ඕකන්

Share this article: