රුසියානු විප්ලවයේ සියවස සැමරීමට සසප කොලඹදී සාර්ථක රැස්වීමක් පවත්වයි

Successful public meeting in Colombo marks the Russian Revolution centenary

අපගේ වාර්තාකරුවන් විසිනි, 2017 නොවැම්බර් 18

සමාජවාදී සමානතා පක්ෂය හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ, රුසියානු විප්ලවයේ ශතසංවත්සරය නිමිත්තෙන් නොවැම්බර් 12වැනිදා කොලඹ නවනගර ශාලාවේ දී බලගතු රැස්වීමක් පැවත්වූහ. සසප/සසජාතශි සාමාජිකයින් හා ආධාරකරුවන් ඇතුලුව, කම්කරුවන්, ශිෂ්‍යයින්, තරුනයන් 150කු පමන මෙම අවස්ථාවට සහභාගී වූ අතර, 1917 ඔක්තෝබර් විප්ලවය පිලිබඳ ලෝක ප‍්‍රකට වාර්තා චිත‍්‍රපටයක් වන සාර් ටූ ලෙනින් මෙහිදී ප‍්‍රදර්ශනය කෙරුනි.

රැස්වීම සසප ෆේස්බුක් පිටුවේ සජීවි ව විකාශනය කෙරුනි. 300ක් පමන දෙනා එම මොහොතේ ම එය නැරුඹූහ. ඔවුන් අතර යාපනයේ සසප සාමාජිකයෝ හා ආධාරකරුවෝ ද ඉන්දියාවේ චෙන්නායි හි සිටින හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ආධාරකරුවෝ ද වූහ.

ලංකාව පුරා ද ජාත්‍යන්තරව ද හජාජක විසින් සියවස් සැමරුම් උත්සව පවත්වනු ලබ යි. ඊට දින හතරකට පෙර, පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ දී ද සැමරුම් රැස්වීමක් පවත්වා සාර් ටු ලෙනින් චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කරන ලදී. දෙසැම්බර් 16වැනිදා, ගාලු නගරයේ දී තවත් රැස්වීමක් පැවත්වේ.

කොලඹ රැස්වීමට සූදානම් වීමේ දී, සසප/සසජාතශි සාමාජිකයෝ කොලඹ නගරය හා එහි අවට කම්කරු පන්තික ප‍්‍රදේශවල හා විශ්වවිද්‍යාලවල ද උද්ඝෝෂනයේ යෙදුනාහ. අත්පත්‍රිකා බෙදා හරිමින් කම්කරුවන්, තරුනයන් හා ශිෂ්‍යයින් සමග රුසියානු විප්ලවයේ පාඩම් හා වර්තමානයට එහි අදාලත්වය ගැන සාකච්ඡා කරනු ලැබින.

ජාත්‍යන්තර ගීතය ගායනය කරන ශ්‍රාවකයින්

රැස්වීමේ මුලසුන ගත්, සසප දේශපාලනික කමිටු සාමාජික කේ. රත්නායක ඔහුගේ කතාව ආරම්භ කලේ යාපනය, චෙන්නායි හා ජාත්‍යන්තර සහෝදරයින්ට උනුසුම් ශුභපැතුම් පිරිනමමිනි. හජාජාක විසින් සංවිධානය කරනු ලබන ශතසංවත්සර රැස්වීම් හා සජීව දේශනවල අරමුන වන්නේ “ලෝකය පුරා සටනට එලඹෙමින් සිටින කම්කරුවන් හා තරුනයන් සඳහා අත්‍යාවශ්‍ය විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීම” බව ඔහු පැවසී ය. “වසර සියයකට පෙර බලය අත්පත් කර ගැනීමට රුසියානු කම්කරුවන් පෙලඹ වූ කොන්දේසි වලට සමාන තත්වයක් නිර්මානය කෙරෙන, ලෝක යුද ව්‍යායාමය ඇතුලු ධනපති පන්තියේ ප‍්‍රහාරයට ලෝකය පුරා මහජනයා මුහුන දෙමින් සිටිනවා” යැයි ඔහු පැවසී ය.

ඊට පෙර දින රාත්‍රියේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් තම සජීව කතාවේ දී කරන ලද සඳහනක් ගෙන හැර දක්වමින්, රත්නායක පෙන්වා දුන්නේ, “රුසියානු විප්ලවයේ සැබෑ උරුමය නියෝජනය කරන එක ම සංවිධානය හජාජාක” බව යි.

ඊට වෙනස් ලෙස ව්‍යාජ වාම කන්ඩායම් ශතසංවත්සර රැස්වීම් පවත්වන්නේ, කම්කරුවන් හා තරුනයන් ධනවාදයට අභියෝග කිරීමෙන් වැලක්වීමට බව රත්නායක පැවසී ය. එක්සත් සමාජවාදී පක්ෂයේ (එසප) නායක සිරිතුංග ජයසූරිය එම රැස්වීමක දී මෙසේ පැවසී ය: “එසප පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමග අත්වැල් බැඳගන්නේ, විප්ලවය ආසන්නයේ දී, වමේ සියලු දෙනා එක්රැස් කර ගනිමින් ලෙනින් හා ට්‍රොට්ස්කි ක්‍රියා කල ආකාරයට යි.”

කේ. රත්නායක

ජයසූරියට පටහැනි ලෙස, 1917 ඔක්තෝබරයේ දී රුසියානු කම්කරු පන්තිය විසින් බලය අල්ලා ගැනීම සූදානම් කෙරුනේ, සෑම අවස්ථාවාදී ප‍්‍රවනතාවකට ම එරෙහිව, “ලෙනින් හා ට්‍රොට්ස්කි විසින් ගෙන යන ලද තියුනු දේශපාලනික හා න්‍යායික අරගලකින්” බව රත්නායක පැහැදිලි කලේ ය. එසේ නොමැතිවූවා නම්, “ඔක්තෝබර් විප්ලවය සාර්ථක නොවීමට ඉඩ තිබුනු අතර ප‍්‍රතිවිප්ලවය ජය ගැනීමට ඉඩ තිබුනි.”

ප‍්‍රධාන කථිකයා වූ, සසප ප‍්‍රධාන ලේකම් විජේ ඩයස්, රුසියානු විප්ලවයේ ලෝක ඓතිහාසික වැදගත්කම පෙන්වා දුන්නේ ය. “එය සලකුනු කලේ මානව ශිෂ්ඨාචාරයේ නව ප‍්‍රගතිශීලී අවධියක ආරම්භය යි. ප‍්‍රතිවිප්ලවවාදී ස්ටැලින්වාදයේ පසුකාලීන පාවාදීම් නො තකා, විප්ලවයෙන් පසු ස්ථාපිත කෙරුනු ජනසතු දේපොල සම්බන්ධතාවන්ගේ පදනම මත, ලෝකයේ විශාල කලාපයක වැඩකරන ජනතාවගේ පවුල්වල ආර්ථික හා සමාජ තත්වයන් දියුනු කිරීම ඇතුලුව, අතිමහත් ජයග‍්‍රහන විප්ලවය විසින් අත්කර ගනු ලැබුනා.”

පලමුවැනි ලෝක යුද්ධයෙන් මුදා හැරුනු ම්ලේච්ඡත්වය මධ්‍යයේ, ලෙනින් හා ට්‍රොට්ස්කි විසින් නායකත්වය දෙන ලද, බොල්ශෙවික් පක්ෂය විසින් නිකුත් කෙරුනු, නිදහස හා සාමය සඳහා ඉල්ලීමට ආකර්ෂනය වුනු, ලෝකය පුරා කම්කරුවන් හා තරුනයන් ද සෑම මහාද්වීපයක ම පීඩිත මහජනතාව ද විශ්මිත කෙරුනු ආවේශය ඩයස් විසින් කෙටියෙන් ඉදිරිපත් කරන ලදී.

2008 සිට ධනේශ්වර ලෝක ආර්ථිකයේ ගැඹුරුවන බිඳවැටීම හා නැවත වතාවක් ලෝකය ගිල ගනිමින් තිබෙන මිලිටරිවාදය මෙන් ම අන්තර්-අධිරාජ්‍යවාදී තරඟය ගැන ද කථිකයා පැහැදිලි කලේ ය. “මෙම වර්ධනයන් බරපතල ලෙස ප‍්‍රකාශ කරන්නේ, ලෝක යුද්ධයක රූපයෙන්, 1914දී ලෝක දේශපාලන සංග‍්‍රාම භූමියට බියකරු ලෙස කඩා වැදුනු අතිමූලික පරස්පරවිරෝධයන් තවමත් විසඳී නැති බවයි.”

විජේ ඩයස්

ඔක්තෝබර් විප්ලවයේ ඉදිරිදර්ශනය පදනම් වූයේ, කම්කරු පන්තිය බලය ගැනීමේ අවශ්‍යතාවය අවධාරනය කල ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවයේ න්‍යාය මත යි. අද ට්‍රොට්ස්කි ද ට්‍රොට්ස්කිවාදය ද බියකරු ලෙස හෙලා දැකීම පිලිබිඹු කරන්නේ, “අධිරාජ්‍යවාදී පාලක පන්තියේ මංමුලාව යි” ඔහු පැවසී ය. පාලක පන්තිය විසින් මිලට ගැනුනු ශාස්ත‍්‍රාලිකයන් විසින් ට්‍රොට්ස්කිට එරෙහිව ගෙන යනු ලබන මඩ ගැසීමේ ව්‍යාපාරය මෙන් ම මහජනයා ලෝසවෙඅ වෙත පිවිසීම වැලක්වීමට වලිකන ගූගල් වාරනය පිලිබඳව ද කථිකයා සඳහන් කලේ ය.

“එහෙත් අද, ලෝක සමාජවාදී විප්ලවයේ ඉදිරිදර්ශනය හා නායකත්වයේ අවශ්‍යතාව තියුනු ලෙස මතු කරමින්, වැඩකරන ජනතාවගේ ද තරුනයන්ගේ ද අරගල ලෝක රඟමඬලේ නොයෙකුත් අවස්ථාවන් හි දී විවිධාකාර රූපාකාරයන්ගෙන් පැන නගිිමින් තිබේ. ව්‍යාජ වම්මු අද “පුලුල් පෙරමුනු” ඉල්ලා සිටින්නේ, 1917දී කම්කරු පන්තිය අතට බලය ගැනීම සඳහා බොල්ශෙවික් පක්ෂය ගෙන ගිය අරගලයට විරුද්ධ වූ මෙන්ෂෙවිකයන්, සමාජ විප්ලවවාදීන් හා අනෙකුත් “වම්මුන්” වගේම යි. “ඔක්තෝබරයේ ආරක්ෂාව සඳහා” යන ට්‍රොට්ස්කි 1932 වසරේ කෝපන්හේගන් නුවරදී පැවැත්වී කථාවෙන් වැකියක් ඩයස් උපුටා දැක්වීය. “ඓතිහාසික සිදුවීම් තුලට ජනතාවගේ කඩා වැදීම, සැබවින්ම විප්ලවයේ වඩාත්ම නොවැලැක්විය හැකි සාධකය වන්නේය.”

“කම්කරු පන්තියේ හා තරුනයන්ගේ වර්තමාන පරම්පරාව 1917 විප්ලවයේ පාඩම්වලින් පුහුනු කිරීමට අප දැනුවත් තීරනයක් ගෙන ඇත්තේ, එවැනි ක්‍රියාදාමයක් පිලිබඳ නොසැලෙන විශ්වාසයකින් යුතුව ය. ඒ නිසා එලඹෙන විප්ලවවාදී අරගලයන් තුල ට්‍රොට්ස්කිවාදී ධජය, එනම් සමාජවාදී ජාත්‍යන්තරවාදයේ ක්‍රියාමාර්ගය යටතේ ඔවුන්ට ප‍්‍රමුඛ කාර්යභාරයක් ඉටු කල හැකි වනවා ඇත.”

ප්‍රේක්ෂකයෝ සාර් ටු ලෙනින් චිත‍්‍රපටය උනුසුම් ව පිලිගත්හ, එය ප‍්‍රදර්ශනය කිරීමට පලමු ව සසප දේශපාලන මන්ඩල සභික පානී විජේසිරිවර්ධන විසින් කෙටි හැඳින්වීම් කරන ලදී. තදබල උනන්දුවක් ප‍්‍රදර්ශනය කරමින්, සසප පොත්පත් මේසයෙන් ආසන්න වසයෙන් රුපියල් 10,000ක් වටිනා පොත්පත් මිල දී ගැනුනු අතර පක්ෂය ගොඩනැගීමේ අරමුදලට රුපියල් 11,000ට වැඩි මුදලක් පරිත්‍යාග කෙරුනි.

සසප සාහිත්‍ය මේසයෙන්

රැස්වීමෙන් පසු ප්‍රේක්ෂකයෝ කීප දෙනෙක් ලෝසවෙඅට අදහස් දැක්වූහ.

දේශපාලන විද්‍යාව හදාරන ශිෂ්‍යයෙකු වන අනූෂ මෙසේ පැවසී ය: “මම රුසියානු විප්ලවය ගැන අසා තිබුනත් මට ඒ ගැන විස්තරාත්මක දැනුමක් තිබුනේ නෑ. සසජාතශි උද්ඝෝෂකයින් හමුවුනාට පසු සමාජවාදය කියන්නේ කුමක් දැ යි දැන ගැනීමට මට කුතුහලයක් ඇති වුනා. මම දැනට සසප ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් නම් පොත කියවලා තියෙනවා. මෙහි පැවැත්වුන කතා ඇසුවාට පසු, පොතේ අඩංගු දේවල් පිලිබඳ, විශේෂයෙන් ම හතරවැනි ජාත්‍යන්තරයට පදනම් වූ, පසුබිම ගැන මගේ දැනුම තවත් දියුනු වුනා. සෑම අයෙකුටම සමාන අවස්ථා පිරිනමන, සමාජ පද්ධතියක් ලෙස සමාජවාදයට මම කැමති යි.”

වෛද්‍යවරයෙකු වන අජිත් මෙසේ පැවසී ය: “කැඩී ගිය කන්ඩායමක් 2012දී පෙසප පිහිටුවන තෙක් මම ජනතා විමුක්ති පෙරමුන වෙනුවෙන් වැඩ කරලා තියෙනවා. මෙම පක්ෂ දෙක ගැන ම මම කලකිරුනා. මම කාලයක් ලෝසවෙඅ හා සසප ගැන විමසිල්ලෙන් හිටියේ, කම්කරු පන්තියට විකල්පයක් අවශ්‍යයැයි හිතපු නිසා. මම මෙම රැස්වීමට ආවේ, එලඹෙන අරගලයන් සඳහා ශ්‍රේෂ්ඨ ඔක්තෝබරයේ පාඩම්වලින් මහජනයා දැනුවත් කිරීම ඉතා වැදගත් කියලා මම හිතපු නිසා.”

Share this article: