ව්‍යාජ-වාම ‘අක්ෂය’ මධ්‍යම පන්තික අවශ්‍යතාවයන් සඳහා රෝසා ලක්සම්බර්ග් දුස්පරිහරනය කරයි

පානි විජේසිරිවර්දන විසිනි, 2017 පෙබරවාරි 20

රුසියානු විප්ලවයේ සම නායකයන් වූ ව්ලැඩිමීර් ලෙනින් සහ ලියොන් ට්‍රොට්ස්කි ට එරෙහිව, ශ්‍රේෂ්ඨ මාක්ස්වාදී විප්ලවවාදිනියක් වූ රෝසා ලක්සම්බර්ග් පිහිටුවමින්, ජාත්‍යන්තර මාක්ස්වාදී ව්‍යාපාරයේ අති මූලික න්‍යායික සහ දේශපාලනික ජයග‍්‍රහන ව්‍යාකූල කොට අකාමකා දැමීමේ ප‍්‍රතිගාමී ව්‍යායාමයක නිරතව සිටින ලොවපුරා ව්‍යාජ-වාම සංවිධාන සහ ඊනියා විශ්ව විද්‍යාල ශාස්ත‍්‍රාලිකයන් සමග ශී‍්‍ර ලංකාවේ ව්‍යාජ-වාම නඩයක් වූ ”අක්ෂය සාමූහිකය” ද පෙල ගැසී සිටියි. ඔවුන් විසින් පසුගිය දා කොලඹ විශ්ව විද්‍යාලය තුල පැවැත්වූ රෝසා ලක්සම්බර්ග් පිලිබඳ සංවාදය මෙම උද්ඝෝෂනයේ දුෂ්ඨ අරමුනු වඩාත් කැපී පෙනෙන අයුරින් ප‍්‍රකාශයට පත් වූ අවස්ථාවකි.

ලෙනින්, ට්‍රොට්ස්කි සහ ලක්සම්බර්ග් යන තිදෙනාම, විසිවන සියවසේ මුල් භාගයේ ජාත්‍යන්තර මාක්ස්වාදී ව්‍යාපාරය තුල පැන නැගි ප‍්‍රතිසංස්කරනවාදයන්ට, අවස්ථාවාදයන්ට සහ සංශෝධනවාදයන්ට එරෙහිව මාක්ස්වාදය ආරක්ෂා කිරීම සඳහා සටන් වැදි එකම විප්ලවවාදී පරපුරකට අයත් ප‍්‍රමුඛතම සාමාජිකයෝ වෙති. තම ව්‍යාපාරය මුහුන දුන් ප‍්‍රගාඪ දේශපාලනික සහ න්‍යායික ගැටලූ විසඳා ගැනීම සඳහා දරන ලද ප‍්‍රයත්නයේදී පැනනැගි මතභේද ඉතිහාසයේ පරීක්ෂනය තුලින් විසඳා ගනිමින් ඔවුහු ඒකායන අරමුනකට, එනම් ලෝක සමාජවාදී විප්ලවය සාක්ෂාත් කිරීම සඳහා උරෙනුර පැහැර සටන් වැදුනාහ.

මෙම තතු තුල, ලෙනින්ට සහ ට්‍රොට්ස්කිට එරෙහිව ලක්සම්බර්ග් දුෂ්පරිහරනයේ යොදවන ව්‍යාජ-වම්මුන්ගෙන් ඇගේ විප්ලවවාදී පෞරුෂයත්, පසුගිය සියවසේ සමස්ත අත්දැකීම් තුලින් සනාථ කෙරුනු ලෙනින්වාදී සහ ට්‍රොට්ස්කිවාදී න්‍යායික සහ දේශපාලනික උරුමයත් ආරක්ෂා කිරීම එම පරම්පරාව අනුයන අපේ ව්‍යාපාරයේ, එනම් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ අති මූලික වගකීමක් ලෙස සලකමු.

අක්ෂය සංවාදයේ පලමුව කතාකල ලක්මාලි හේමචන්ද්‍ර, මාක්ස්වාදයේ සහ රුසියානු විප්ලවයේ පරම සතුරන් මෙන්ම මාක්ස්වාදය හැරපියා ගිය දිරිසුන් ශාස්ත‍්‍රාලිකයන් සහ පශ්චාත් නූතනවාදීන් බොහෝ කලෙක සිට ඉදිරිපත් කරන සහ ජාත්‍යන්තර මාක්ස්වාදී ව්‍යාපාරය විසින් යලියලිත් ඛන්ඩනය කෙරුනු කුතර්කයක් ඇගේ නව සොයා ගැනීමක් ලෙස වැමෑරුවාය.

ඇගේ තර්කය සැකෙවින් මෙසේය: රෝසා ලක්සම්බර්ග් බෝල්ෂෙවික් විප්ලවයට සහයෝගය දුන්නේ විවේචනාත්මකවය. නිර්ධන පන්තික ඒකාධිපතිත්වය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී මධ්‍යගතභාවයෙන් යුත් බෝල්ෂෙවික් වර්ගයේ පක්ෂ ආකෘතිය හා ජාතික ස්වයංනිර්න අයිතිය යන කරුනු සම්බන්ධයෙන් ලෙනින් හා ඇය අතර ධ‍්‍රැවාන්තගත මතභේද පැවතිනි. වර්තමාන ශ‍්‍රී ලංකාව තුල පැන නැගී ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිලිබඳ මූලික ගැටලූව විසඳා ගැනීමේදී අපට ප‍්‍රයෝජනවත් වෙන රෝසාගේ මූලික ප‍්‍රතිපදානය වන්නේ, ඇය විසින් ජර්මන් සමාජ-ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ ”ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදයටත්”, ලෙනින්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මධ්‍යගතභාවයටත් එරෙහිව ඉදිරිපත් කල ”රැඩිකල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය” පිලිබඳ සංකල්පයයි.

හේමචන්ද්‍ර ගේ කුතර්කයන් පිලිබඳ අපගේ විමර්ශනය සඳහා ප‍්‍රවිෂ්ටයක් ලෙස ලෙනින්ගේ ම ප‍්‍රකාශයක් උපුටා දක්වමු.

”විප්ලවවාදී කම්කරු ව්‍යාපාරය සෑම රටක් තුලම වැඞී යනු දකින ධනපතියන් සහ කම්කරු සංවිධානවල සිටින ඔවුන්ගේ ඒජන්තවරුන්, සූරාකන්නන්ගේ පාලනය ආරක්ෂා කිරීමට උපයෝගි කර ගත හැකි දෘෂ්ටිමය සහ දේශපාලන තර්ක සොයා ගැනීම පිනිස ඉතාමත් නොවිමසිලිමත් ලෙස ප‍්‍රයත්න දරති. ආඥාදායකත්වය හෙලා දකිමින් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කරමින් ඉදිරිපත් කරන තර්කය මෙයින් විශේෂ තැනක් ගනී.” (9 වැනි වෙලූම, තෝරාගත් කෘති, වී.අයි. ලෙනින් - සිංහල පරිවර්තනය, ප‍්‍රගති ප‍්‍රකාශන, පි. 119)

ඉහල මධ්‍යම පන්තික ස්ථරයන් ගේ අවශ්‍යතා නියෝජනය කරන ‘අක්ෂය’ වැනි ව්‍යාජ-වාම නඩ නිර්ධන පන්තික ආඥාදායකත්වය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මධ්‍යගතභාවයෙන් යුත් විප්ලවවාදී පක්ෂයක් පිලිබඳ ලෙනින්වාදී සංකල්පයන්ට එරෙහිව ‘ඉතාමත් නොඉවසිලිමත් ලෙස’ බුරා පනින්නේ, 2008 මූල්‍ය අර්බුදයෙන් ඇලලී බිඳවැටීමක් තුලින් ගමන් කරන ලෝක ධනේශ්වර අර්බුදය හමුවේ ලොවපුරා ධනපති පාලකයන් විසින් කම්කරු-පීඩිත මහජනතාවගේ සමාජමය සහ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන්ට එරෙහිව කි‍්‍රයාවට දමමින් සිටින කප්පාදු වැඩපිලිවෙලවල් වලට, පොලිස් රාජ්‍ය සැලසුම් වලට සහ ආක‍්‍රමනකාරී මිලිටරි ව්‍යායාමයන්ට විරුද්ධව මිලියන සංඛ්‍යාත කම්කරුවන්, තරුනයන් සහ අවශේෂ පීඩිතයන් අරගලයන්ට අවතීර්න වෙමින් සිටින බැවිනි.

මෙලෙස වේගයෙන් රැඩිකලීකරනය වන කම්කරු පන්තිය, ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනයක් මත, බොල්ෂේවික් වර්ගයේ පක්ෂයන් තුල බලමුලු ගැන්වී ධනේශ්වර පද්ධතිය පෙරලා දමනු ඇතැයි ද ඒ හේතුවෙන් තමා භුක්ති විඳිමින් සිටින වරප‍්‍රසාද අහිමිවෙතැයි ද යන භීතියෙන් මෙම ව්‍යාජ-වම්මුන්ගේ දෙපා සලිතව ඇත.

සැබැවින්ම, රුසියානු විප්ලවය සිදුවූ 1917 වසරත් ඊට ශත වර්ෂයකට පසු එලැඹ ඇති 2017 වසරත් සැලකූ කල ලෝක දේශපාලන, ආර්ථික සහ සමාජ තත්වයන්හි බලගතු සමාන්තරයන් පවතින අතර එලැඹ ඇත්තේ ලෝක යුද්ධ සහ විප්ලවයන්ගේ යුගයකි. මෙම තතු තුල, පසුගිය සියවසේ ප‍්‍රගාඪ ඓතිහාසික සිද්ධීන්ගෙන්, ඒ අතරින් ප‍්‍රමුඛතම වූ රුසියානු විප්ලවයෙන් උකහාගත් මූලෝපායික අත්දැකීම් වලින් ලෝක කම්කරු පන්තිය සන්නද්ධවීම වලකාලීම මෙම නඩ විසින් භාරගෙන ඇති කර්තව්‍යයයි.

‘රැඩිකල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය’

නිර්ධන පන්තික ආඥාදායකත්වය පිලිබඳ ලෙනින් ගේ ප‍්‍රවාදයන්ට එරෙහිව ”රැඩිකල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය” තොරොම්බල් කිරීමේදී හේමචන්ද්‍ර පාදක වන්නේ මාක්ස්වාදයට සතුරු පශ්චාත් නූතනවාදී කඳවුරේ ප‍්‍රමුඛ න්‍යායාචාරීන් දෙදෙනෙකු වන අර්නස්ටෝ ලක්ලාවු සහ චැන්ටාල් මූෆේ විසින් 1985 දී ලියන ලද (Hegemony and the Socialist Strategy: Towards a Radical Democratic Politics, (අධිකාරය සහ සමාජවාදී මූලෝපාය: රැඩිකල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනයක් දෙසට) යන කෘතිය මතයි.

‘සමාජ සහ දේශපාලනික වෙනසක්’ සඳහා යත්න දරන ‘සමාජ ව්‍යාපාරයන්’ හට ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිලිබඳ ‘නවලිබරල්වාදී’ සහ ‘නවසංරක්ෂනවාදී’ සංකල්පයන්ට අභියෝග කරන ‘මූලෝපායක්’ අවශ්‍ය බව ලක්ලාවු සහ මූෆේ තම කෘතිය තුලින් තර්ක කරයි. මොවුන් කතා කරන්නේ සමාජ සහ දේශපාලනික වෙනසක් සඳහා මිස සමාජ විප්ලවයක් සඳහා නොවන අතර මෙම වෙනස සඳහා යත්න දරන සමාජ ව්‍යාපාරයන් හි පන්ති පදනම් වංචනික ලෙස අකාමකා දමයි.(අවධාරනය අපේ)

මෙය වනාහි, ධනේශ්වර පර්යාය තුල ඉහල මධ්‍යම පන්තික ස්ථරයන්ගේ වරප‍්‍රසාද සහ අවශ්‍යතා සුරක්ෂිත කෙරෙන ‘සමාජ සහ දේශපාලනික වෙනසක්’ සඳහා ‘අක්ෂය සාමූහිකය’ ගොඩනැගීමට යත්න දරන්නා වූ ‘සමාජ ව්‍යාපාරයක්’ සඳහා වූ ‘මූලෝපායක්’ හැර අන් කිසිවක් නොවේ.

‘අක්ෂය සාමූහිකයේ’ ජාත්‍යන්තර සගයන් ලෙස සැලකිය හැකි එක්සත් ජනපදයේ සමාජවාදී පක්ෂය 2008දී සම්මත කරගත් තම ‘මූලධර්ම ප‍්‍රකාශනයේ’ උද්ධෘතය ලෙස පවා යොදාගනු ලැබුවේ ‘සමාජවාදය, රැඩිකල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලෙස (Socialism as Radical Democracy)’ යන්නයි. ඔබාමා පාලන තන්ත‍්‍රයේ ප‍්‍රහාරයන් සම්බන්ධයෙන් මහජනතාව අතර, විශේෂයෙන්ම තරුනයන් අතර වැඩුනු විරෝධය, ලක්ලාවු සහ මූෆේ පවසන ආකාරයේ ‘සමාජ සහ දේශපාලනික වෙනසක්’ සඳහා වූ ‘සමාජ ව්‍යාපාරයක්’ වූ බර්නි සැන්ඩර්ස් ගේ මැතිවරන ව්‍යාපාරය තුලට ගාල් කරමින් එම විරෝධය අවමංගත කිරීම සඳහා එක්සත් ජනපද සමාජවාදී පක්ෂය ප‍්‍රමුඛතම කාර්ය භාරයක් ඉටු කලේය. ‘අක්ෂය සාමූහිකයේ’ ප‍්‍රයත්නය වන්නේ ද සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවටත් සමස්තයක් ලෙස ධනේශ්වර සංස්ථාපිතයටත් එරෙහිව වැඩෙන මහජන විරෝධය ඊනියා රැුඩිකල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යාපාරයක් තුල දියකර හැරීමයි.

මෙම ප‍්‍රතිගාමී අරමුන වෙනුවෙන් ලක්සම්බර්ග්ගේ සංකල්ප තම ‘රැඩිකල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ සමග අනන්‍ය කිරීමේ වංචනික උත්සාහයක යෙදුනු හේමචන්ද්‍ර, ”මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිලිබඳ විවාදයේදී අපිට අදටත් අදාලයි. වර්තමාන ආන්ඩුව පහුගිය ආන්ඩුවට වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිසා එය ආරක්ෂා කල යුතුද? මේක ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී තර්කයක්, අපි මේ ප‍්‍රශ්නයට පිලිතුරු සෙවීමට රෝසාගේ රැඩිකල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංකල්පය යොදාගත හැකි” යැයි පැවසුවේ ලක්සම්බර්ග් කවදා කොතැනකදී හෝ ‘රැඩිකල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ යන වචනය පවා භාවිතා කොට නොමැති තතු යටතේ ය.

නිර්ධන පන්තික ආඥාදායකත්වය පිලිබඳ ලක්සම්බර්ග්ගේ නොවිසඳුනු ප‍්‍රශ්න ඇගේ ”රුසියානු විප්ලවය” කෘතියෙන් ඇහිඳ ගත් හේමචන්ද්‍ර ඒවා ලෙනින් සහ ට්‍රොට්ස්කි ට එරෙහිව දමා ගැසුවාය. ඉහත කෘතිය ලියා වසරක් ගතවීමට පෙර 1919 ජනවාරියේ දී ජර්මානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආන්ඩුවේ උපස්ථම්භක හමුදාවන් විසින් බර්ලිනයේදී ලක්සම්බර්ග් මරා දැමුනි. ඇගේ මරනයට මාස කීපයකට පසු කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ පලමුවන සම්මේලනයට ලෙනින් ඉදිරිපත් කල ප‍්‍රවාද සහ වාර්තාව තුල කේන්දී‍්‍රය වශයෙන් පොරබදා තිබුනේ නිර්ධන පන්තික ආඥාදායකත්වය පිලිබඳ ප‍්‍රශ්නය යි. මෙම සම්මේලනයට සහභාගිවීමේ අවස්ථාව ඉතිහාසය විසින් ඇයට සලසා දුන්නේ නම් ඇගේ විප්ලවවාදී ශ්‍රේෂ්ඨත්වයට ගැලපෙන අයුරින් ඒ පිලිබඳව ද නිරවද්‍ය ආස්ථානයකට පැමිනීමේ හැකියාව ඇයට පැවතුනි.

‘ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ’ පන්ති පදනම පිලිබඳව ලෙනින්

‘ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ’ පන්ති පදනම පිලිබඳ මෙම අති මූලික ප‍්‍රශ්නය මතු කරමින් ලෙනින් මෙසේ පවසයි:

”ප‍්‍රථමයෙන්ම මෙම තර්කය, ‘සාමාන්‍ය ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ සහ ‘සාමාන්‍ය ආඥාදායකත්වය’ පිලිබඳ සංකල්පයන් උපයෝගී කර ගන්නා සහ ඊට අදාල පන්ති පිලිබඳ ප‍්‍රශ්නය මතු නොකරන එකකි. ජනප‍්‍රිය යැයි කියන මෙම පන්තිමය නොවන, නැතහොත් පන්ති ඉක්මවූ අදහස ඉදිරියට දමන්නේ සමාජවාදයේ මූලික සිද්ධාන්තයක් වන එහි පන්ති අරගල න්‍යාය සම්පූර්නයෙන්ම විරූප කරන ආකාරයෙනි. ධනපති පන්තියේ පැත්ත ගන්නා මෙම සමාජවාදීහු එම පන්ති අරගලය වචනයෙන් පිලි ගන්නා අතර ව්‍යවහාරයේ දී එය නොතකා හරිති.”(9 වැනි වෙලූම, තෝරාගත් කෘති, වී.අයි. ලෙනින් - සිංහල පරිවර්තනය, ප‍්‍රගති ප‍්‍රකාශන, පි. 119)

කවර හෝ ‘ශිෂ්ඨාචාර’ ධනපති රටක ‘සාමාන්‍ය ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ නොපවතින බවත් ඒවායේ පවතින්නේ ‘ධනපති ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ පමනක් බවත් ලෙනින් පෙන්වා දෙයි. නිර්ධන පන්තික ආඥාදායකත්වය යනු මෙතෙක් පැවති, පීඩකයන්ගේ සහ සූරාකන්නන්ගේ ආඥාදායකත්වය නොව, පීඩිත පන්තිය, එනම් නිර්ධන පන්තිය විසින්, එහි පීඩකයන් සහ සූරාකන්නන්, එනම් ධනපති පන්තිය යටත් කොට, සූරාකන්නන් තම ආධිපත්‍යය පවත්වා ගැනීමට දක්වන ප‍්‍රතිරෝධය පරාජය කිරීමට පවත්වාගෙන යනු ලබන ආඥාදායකත්වය යි.

ලෙනින් මෙසේ ද කියයි:

‘ආඥාදායකත්වයේ කාලයක්, එනම් දේශපාලන බලය දිනා ගැනීමේ සහ සූරාකන්නන් දක්වන ප‍්‍රතිරෝධය බලහත්කාරය යොදා මැඩලීමේ කාලයක් පසු නොකොට කිසිම පීඩිත පන්තියකට බලයට පත්වීමට හැකි වූයේ වත් බලයට පත්විය හැකි වන්නේ නැති බවත් ඉතිහාසය අපට උගන්වයි.’(9 වැනි වෙලූම, තෝරාගත් කෘති, වී.අයි. ලෙනින් - සිංහල පරිවර්තනය, ප‍්‍රගති ප‍්‍රකාශන, පි. 120)

ලෙනින් සහ ලක්සම්බර්ග් අතර පැවති න්‍යායික මතභේද

ලෙනින් සහ ලක්සම්බර්ග් අතර පැවති න්‍යායික මතභේද දුෂ්පරිහරනය කිරීම සම්බන්ධයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) ජාත්‍යන්තර කතෘ මන්ඩල සභාපති සහ එක්සත් ජනපද සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සභාපති ඬේවිඞ් නෝර්ත් විසින් තබා ඇති පහත දැක්වෙන දීප්තිමත් සටහනෙන් එම මතභේද පිලිබඳ අපේ ආස්ථානය ඉතා සුපැහැදිලිව ඉදිරිපත් කෙරී ඇත.

”ලෙනින් සහ ලක්සම්බර්ග් අතර වසර විස්සකටත් වඩාදිගු කාල පරාසයක් පුරා දිවෙන පොහොසත් සහ සංකීර්න සබඳතාව සරල ගුනාංගීකරනයකට සිඳවිය හැකි නොවේ. පලමුවන ලෝක යුද්ධයට ලොව ඇදීයන වසර වලදී මෙම ශ්‍රේෂ්ඨ විප්ලවවාදීන් දෙදෙනාම නියෝජනය කලේ යුරෝපීය සමාජ-ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යාපාරයේ වාමාංශය වන අතර ඔවුහු අවස්ථාවාදයේ පරම සතුරන් වූහ. ඔවුන් අතර පැවති මතභේද, බලගතු දුරකට ඔවුන් කි‍්‍රයා කරමින් සිටි දේශපාලන වටපිටාවන් තුල අභිමුඛ වූ සුවිශේෂී ගැටලු වලින් හැඩ ගැන්වුනි.” (ලෙනින් පිලිබඳ රෝසා ලක්සම්බර්ග්ගේ ආකල්පය සම්බන්ධයෙන් පිලිතුරක් , ලෝසවෙඅ, 2002 දෙසැම්බර් 5)

ප‍්‍රජාතන්ත‍්‍රවාදී මධ්‍යගත පක්ෂයක් පිලිබඳ ලෙනින්ගේ සංකල්පය

බලගතු මධ්‍යගත පක්ෂ නායකත්වයක් පිලිබඳ ලෙනින්ගේ අවධාරනය සම්බන්ධයෙන් ලක්සම්බර්ග්ගේ නොකැමැත්ත, පාර්ශ්වීය වශයෙන්, ජර්මානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය තුල පැවති නිලධාරිවාදී ව්‍යූහය සම්බන්ධයෙන් ඇය තුල පැවති විරුද්ධත්වයේ පිලිබිඹුවකි.

එමෙන්ම, ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ඔවුනගේ නොඑකඟතා වනාහි, එම ප‍්‍රශ්නයට වෙනස් ඉදිරි දර්ශනයන් තුලින් ප‍්‍රවිෂ්ට වීමට ඔවුන් මුහුනදුන් වෛෂයික තත්වයන් විසින් කෙරුනු බල කිරීම් වල ප‍්‍රතිඵලයකි.

නෝර්ත් එය පැහැදිලි කරමින් ඉහත ලිපිය තුල මෙසේ පවසයි:

”නමුදු, ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරය තුල අවස්ථාවාදයට එරෙහි පුලූල් අරගලයේ සන්දර්භය තුල පක්ෂ සංවිධානය පිලිබඳ මෙම මතභේද පිහිටවූ විට නව වර්ගයේ පක්ෂයක් ගොඩනැගීම සඳහා ලෙනින් කල අරගලය ඉමහත් ඓතිහාසික පරිමාවකින් යුත් දේශපාලනික සහ බුද්ධිමය ජයග‍්‍රහනයකි.” (ලෙනින් පිලිබඳ රෝසා ලක්සම්බර්ග්ගේ ආකල්පය සම්බන්ධයෙන් පිලිතුරක් ලෝසවෙඅ, 2002 දෙසැම්බර් 5)

විප්ලවවාදී පක්ෂය වර්ධනය කල හැක්කේ සංශෝධනවාදයට එරෙහි සම්මුති විරහිත අරගලයක පදනම යටතේ පමනක් බැව්, 1903 සහ 1914 කාලය තුල, ට්‍රොට්ස්කි සහ ලක්සම්බර්ග් ඇතුලු අන් සියල්ලන්ටත් වඩා සුපැහැදිලිව දුටුවේ ලෙනින් බව නෝර්ත් තම පිලිතුරෙන් පෙන්වා දෙයි.

පක්ෂ සංවිධානය පිලිබඳ ප‍්‍රශ්න වටහාගත යුත්තේ මෙම අති මූලික අරගලයේ සන්දර්භය තුල බැව් ලෙනින් අවධාරනය කල අතර ලෙනින්ගේ ‘මධ්‍යගතවාදය’ පිලිබඳ සංකල්පය වනාහි කම්කරු පන්ති ව්‍යාපාරය තුල අවස්ථාවාදයේ බලපෑමට එරෙහි අරගලයේ ප‍්‍රකාශනය යි.

ලක්සම්බර්ග් විසින් පක්ෂ සංවිධානය පිලිබඳ ලෙනින් සමග පැවති ඇගේ මතභේද සූත‍්‍රගත කර ඉදිරිපත් කරනු ලැබුවේ 1904 තරම් ඈත භාගයේදී ලියන ලද ”රුසියානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සංවිධානාත්මක ප‍්‍රශ්න -ලෙනින්වාදය ද? නැතහොත් මාක්ස්වාදය ද?” යන කෘතියෙනි. නමුදු ඔක්තෝබර් විප්ලවයේ අත්දැකීම් තුලින් ගමන් කරන ඇය 1918 දී ලියන ලද ”රුසියානු විප්ලවය” නමැති කෘතියේ දී මධ්‍යගතවාදය පිලිබඳ තම මතභේද නොනගනවා පමනක් නොව බොල්ෂේවික් පක්ෂය සම්බන්ධව තමාට ඇති විප්ලවීය ගෞරවය පිලිබඳව මෙසේ සටහන් කරයි:

”ඓතිහාසික හැකියාවන්ගේ සීමාවන් තුල සැබෑ විප්ලවවාදී පක්ෂයකට ප‍්‍රතිපදානය කලහැකි සියල්ල සඳහා තමා සමත් බව බොල්ෂේවික්වරුන් පෙන්වා ඇත. (අවධාරනය අපේ)”. සැබෑ විප්ලවවාදී පක්ෂය යන්න ලක්සම්බර්ග් යොදන විට බොල්ෂේවික් පක්ෂයේ අතිමූලික ලක්ෂනය වන ප‍්‍රජාතන්ත‍්‍රවාදී මධ්‍යගතභාවය ඇය විසින් අනුමත කෙරුනු බව නොතකා හැරිය හැක්කේ මුග්ධයෙකුට පමනි.

ජාතීන්ගේ ස්වයං-නිර්නය අයිතිය

”ජාතීන්ගේ සිපිරිගෙය නමින් හැඳින් වූ සාර්වාදී රුසියාව තුල කම්කරුවන්ගේ පක්ෂයක් නිර්මානය කිරීමට වෙර දරමින් සිටි ලෙනින්, ධනේශ්වර ලිබරල් කැඩෙට් පක්ෂයේ මහා රුසියානු ස්වෝත්තමවාදයත් මාක්ස්වාදී ව්‍යාපාරයත් අතර නොපෑහෙන පරතරයක් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය අංශයක් ලෙස සලකනු ලැබීය. ලක්සම්බර්ග්, පෝලන්ත සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රමුඛ න්‍යායාචාර්යවරියකගේ ධාරිතාවයෙන්, ජාතිකවාදී ෆිල්සුඞ්ස්කි ව්‍යාපාරයේ සුලු ධනේශ්වර ව්‍යාජ-සමාජවාදීන්ට එරෙහි නිර්දය අරගලයකට තල්ලු කෙරුනි.”

එහෙත්, මේවා හුදෙක් උපායික සලකා බැලීම් වලින් නිර්නය කෙරුනු, නිරන්තරව මතු වූ මතභේදයන් නොවේ. විවිධ ධනේශ්වර ජාතික ව්‍යාපාරයන් ගේ ‘විමුක්තිවාදී’ මවාපෑම් බලගතු ලෙස අපකීර්තියට පත් කෙරුනු විසිවන සියවසේ ඓතිහාසික අත්දැකීම් මගින් ස්වයං නිර්නය අයිතිය සම්බන්ධ ලක්සම්බර්ග්ගේ විවේචන සනාථ කෙරී ඇත.

‘භූගෝලීයකරනය සහ ජාත්‍යන්තර කම්කරු පන්තිය: මාක්ස්වාදයේ සුලු ධනේශ්වර ප‍්‍රතිවාදීන්ට පිලිතුරක්’ නම් වූ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටු ප‍්‍රකාශනය එය මෙසේ පැහැදිලි කරයි:

‘ලෙනින් අවුරුදු අසූවකට පෙර නිර්වචනය කල ආකාරයට වඩා මුලුමනින්ම වෙනස් අර්ථයක් අද ජාතික ස්වයං-නිර්නය අයිතිය විසින් දරනු ලැබේ. ස්වයං නිර්නය අයිතිය ඉදිරිපත් කර තිබෙන්නේ මාක්ස්වාදීන් විසින් පමනක් නොවේ. එය පසුගාමී රටවල ජාතික ධනේශ්වරයන් විසින් ද අධිරාජ්‍යවාදීන් විසින් ද ඉදිරිපත් කරනු ලැබ ඇත. පලමුවන ලෝක යුද්ධයේ අවසානයේ පටන් එක් හෝ තවත් අධිරාජ්‍ය බලයක් විසින් පවත්නා ප‍්‍රදේශ බෙදා ගැනීම එල්ල කර ගත් සැලසුම් යුක්ති සහගත කිරීම සඳහා මෙම ‘අයිතිය’ මතු කරනු ලැබ ඇත.’

‘අද ‘ස්වයං නිර්නය අයිතිය’ මතු කිරීමෙන් සාර්වති‍්‍රකව අදහස් කෙරෙන්නේ ජාතිකව බෙදී වෙන්වීමට සහ නව රාජ්‍යයක් නිර්මානය කිරීමට උපදෙස් දීමයි. ධනේශ්වර බෙදුම්වාදයට එරෙහි වූ ලෙනින් හා බෝල්ෂේවිකයන් විසින් මෙම අයිතියට දෙනු ලැබූ ‘නිෂේධනීය’ අර්ථය අධිරාජ්‍යවාදීන් ද ධනේශ්වර ජාතිකවාදීන් සහ මධ්‍යම පන්තික වමේ සිටින ඔවුන්ගේ අද්වකාත්ලා විසින් මෙම සටන් පාඨය ඉවබවකින් තොරව යොදා ගැනීම නිසා ව්‍යාකූල කරනු ලැබ තිබේ.’ (පි. 116)

‘අක්ෂය සංවාදයේ’ දෙවනුව කතා කල ගීතිකා ධර්මසිංහ, ඉහත දැක්වූ මධ්‍යම පන්තික අද්වකාත්කමෙහි දැනුවත් නියෝජිතවරියක බව පැහැදිලිව පෙන්නුම් කලාය. ශී‍්‍ර ලංකාවේ දෙමල බෙදුම්වාදී ධනේශ්වර ව්‍යාපාරයන් ‘විමුක්ති’ ව්‍යාපාරයන් ලෙස නම් කල ඇය, වර්තමානයේදී සාකල්‍යයෙන්ම ප‍්‍රතිගාමී අන්තර්ගතයක් රැගත් ‘ස්වයං නිර්නය අයිතිය’ වෙනුවෙන් පෙනී සිටියාය.

තම මධ්‍යම පන්තික අවශ්‍යතාවයන් සඳහා ලක්සම්බර්ග් යොදා ගන්නා මෙම ව්‍යාජ වම්මුන්ට විපරීතව, ලෙනින් සහ ට්‍රොට්ස්කි වැනි ජාත්‍යන්තර මාක්ස්වාදී සගයන් සමග ලක්සම්බර්ග් ගෙනගිය න්‍යායික අරගලයේ අතිමූලික අරමුන වූයේ කම්කරු පන්තිය මත පාදක වූ ජාත්‍යන්තර විප්ලවවාදී ව්‍යාපාරයක් ගොඩ නැගීමයි. ධනේශ්වර පද්ධතිය පෙරලා දමා ලෝක සමාජවාදය සාක්ෂාත් කිරීමයි. කම්කරුවනි, ශිෂ්‍යයනි, එම ශ්‍රේෂ්ඨ මාක්ස්වාදීන්ගේ කෘති පරිශීලනය කරමින් විසිවන සියවස පුරා කම්කරු පන්තිය අත්පත් කරගත් සමස්ත මූලෝපායික අත්දැකීම් වලින් ආඪ්‍ය වන ලෙස ඉල්ලා සිටිමු.

Share this article: