ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය පැහැරගැනීම් හා වධ හිංසා දිගටම පවතින බව එක්සත් ජාතීන්ගේ ඒජන්සිය පවසයි

UN agency says government torture and abductions continue in Sri Lanka

සමන් ගුනදාස විසිනි, 2016 දෙසැමම්බර් 19

ශ‍්‍රී ලංකා ආන්ඩුව යටතේ, වධ හිංසා හා පැහැර ගැනීම් දිගටම කෙරී ගෙන යන බව වධ හිංසා වලට එරෙහි එක්සත් ජාතීන්ගේ (එජා) සම්මුතියේ අන්තර්ජාතික ක‍්‍රියාත්මක කිරීම් නිරීක්ෂනය කරන එජා මංඩලය වන වධහිංසාවට එරෙහි කමිටුව (වඑක) අනාවරනය කලේය. මෙම මස මුලදී නිකුත් කල වාර්තාවක මෙම චෝදනා ඇතුලත් වේ.

”තමන්ගේ පරිපාලනය යහ පාලනය” නියෝජනය කරන බවට ජනාධිපති සිරිසේන හා අගමැති වික‍්‍රමසිංහ ගේ අවධාරනය කිරීම් වලට පටහැනිව, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය 2009 දී පරාජය කොට වසර හතක් ඉක්ම ගොස් තිබියදී, කොලඹ පොලිස් රාජ්‍ය පාලන විධික‍්‍රම කම්කරු පන්තියට හා පීඩිත ජනතාවට එරෙහිව තවමත් පාවිච්චි කරන බව වධහිංසාවට එරෙහි කමිටුව පැහැදිලි කරයි.

චෝදනාවල සැකසහිත ස්වභාවය කුමක්වුවද, ශ‍්‍රී ලංකාවේ ”පොලීසියේ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව (සීඅයිඩී) විසින් නඩු බොහොමයක අපරාධ පරීක්ෂන වලට අදාලව සාමාන්‍ය ක‍්‍රමවේදය” ලෙස භාවිත කරනු ලබන්නේ වධ හිංසා, බව එජා විශේෂ නියෝජිත ජුවාන් ඊ. මෙන්ඩෙස් 2016 මැයි වලදී කල ප‍්‍රකාශය වාර්තාව ඉස්මතු කොට දක්වයි.

වරෙන්තුවක් නොමැතිව සැක කරුවෙක් අත් අඩංගුවට ගැනීමට, අත් අඩංගුවට ගත් දිනය හෝ වේලාව සටහන් නොකර ඔවුන් රඳවා ගැනීමට හා ”බලහත්කාරය යටතේ තොරතුරු ලබාගැනීමට හැකිවන ලෙස” පරීක්ෂන පැවැත්වීමට ශ‍්‍රී ලංකා පොලීසියට පුලූල් පරාසයක බලතල හිමිව ඇති බව වධහිංසාවට එරෙහි කමිටුව සඳහන් කරයි.

මෙම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රම අධිකරනය විසින් වසන් කෙරෙන අතර ”මෙම ක‍්‍රමවේදය වලක්වාලීමට අත්අඩංගුවට ගැනීමේ නීතිමය තත්වය හෝ පොලිස් පරීක්ෂන පැවැත්වීම ගැන නිසියාකාර අධීක්ෂනයක් නීතිපති හෝ අධිකරනය නොපවත්වන” බව වාර්තාව පැවසීය.

”පූර්ව-විනිශ්ච නඩු ඇසීමේදී මහේස්ත‍්‍රාත්වරුන් නිතරම විය හැකි පීඩා කිරීම් ගැන ප‍්‍රශ්න නොකරන අතර තව දුරටත් ඒ පිලිබඳ සොයා නොබලමින් සැක කරුවන් රිමාන්ඞ් භාරයේ රඳවා තබා ගැනීමට පොලිස් නිලධාරීන්ගෙන් කෙරෙන ඉල්ලීම් පිලිගන්නා” බවද එජා විශේෂ නියෝජිත මෙන්ඩෙස් සඳහන් කර ඇති බව වධහිංසාවට එරෙහි කමිටුව උපුටා දක්වා ඇත.

”සුදු වෑන් පැහැරගැනීම්” හා පොලීසිය හා හමුදාව විසින් ”සිරකර තැබෙන නොදන්නා ස්ථාන” හිදී දරුනු වධ හිංසාවලට මුහුන දුන් බොහෝ පුද්ගලයන් ගැන මෑතකාලයේ කල චෝදනා සම්බන්ධව ශ‍්‍රී ලංකා රජය පරීක්ෂන පවත්වා නැති බව එජා කමිටුව පැවසුවේය.

ශ‍්‍රී ලංකාව තුල ”රහස් වධ හිංසා කඳවුරු හෝ රඳවා තබන ස්ථාන නැති” බවට කරන ආන්ඩුවේ ප‍්‍රකාශ ප‍්‍රතික්ෂේප කරන වධහිංසාවට එරෙහි කමිටුව නීතිය ක‍්‍රියාවේ යොදවන මූලස්ථානවලත්, හමුදා කඳවුරු හා සරනාගත කඳවුරු තුලත් හා ”පුනරුත්ථාපන මධ්‍යස්ථාන” තුලත් වධ හිංසා සිදුවෙමින් පවතින බව පැවසුවේය. ”එල්ටීටීඊ ය සමග, දුරස්ථ හෝ සම්බන්ධතාවයක් පැවති” පුද්ගලයන් සැකකරුවන් ලෙස තබා ගෙන තිබුනු බව එය තවදුරටත් පැවසුවේය.

ශ‍්‍රී ලංකාවේ සුලුතරයක් වන දෙමල ජනගහනය සමග ”සහජීවනය” පෝෂනය කරන බවට ආන්ඩුව ප‍්‍රකාශ කරන අතරේදී, යුද්ධයෙන් විනාශ වුන උතුරු හා නැගෙනහිර පලාත්වල මිලිටරි වාඩිලා ගැනීම දිගටම ගෙනයමින් රජය තම වර්ගවාදී පීඩනය පවත්වා ගෙන යයි.

”සීඅයිඩී සහ ටීඅයිඩී (ත‍්‍රස්ත විමර්ෂන අංශය) යේ පුද්ගලයන් විසින් ගැටුමෙන් (යුද්ධයෙන්) පසු කාලසීමාව තුල මැනික් ෆාම් කඳවුරේදී හා අනෙකුත් ප‍්‍රදේශවලදී අත් අඩංගුවට ගත් පුද්ගලයන්ට එරෙහිව කල ලිංගික අඩන්තේට්ටම් ඇතුලුව පුලුල්ව පැතිරුනු වධ හිංසා ගැන චෝදනා” සඳහන් වන්නාවූ මානව අයිතිවාසිකම් පරීක්ෂා කරන එජා මහ කොමසාරිස්ගේ කාර්යාලයෙන් නිකුත් කරන වාර්තාව වධහිංසාවට එරෙහි කමිටුව ගෙනහැර දක්වා ඇත.

ත‍්‍රිකුනාමලයේදී විශේෂ කාර්ය බලකා පුද්ගලයන් විසින් උසස් පෙල පාසල් ශිෂ්‍යයින් පහක් පේලියට තබා මරා දමනු ලැබීමේ චෝදනාව හා මුත්තූර්හිදී ඇක්ෂන් කොන්ට‍්‍රා ලේ ෆෙම් ආයතනයෙහි සහනාධාර සේවකයන් 17 ක් මරාදැමීමේ චෝදනා වැනි ඉහල ගනයේ සිදුවීම් ගැන කොලඹ පරිපාලනය විමර්ෂන නිමා කර නොමැත. රාජපක්ෂ ආන්ඩුව යටතේ යුද්ධය යලි පන ගැන්වීම දක්වා ගෙන ගිය කොලඹින් උත්සන්න කෙරුනු මිලිටරි ප‍්‍රකෝපකිරීම් සමග 2006 ජනවාරියේදී සිසුන් මරා දමන ලද අතර ලේ වැකි ගැටුම නැවත පටන් ගෙන මසක් ඇතුලත එනම් 2006 අගෝස්තුවේදී සහානාධාර සේවකයන් මරා දැමිනි.

2009 යුද්ධය නතර වූ තැන සිට දූෂන හා ලිංගික අඩන්තේට්ටම් සිද්ධීන් 39 ක ප‍්‍රගතිය සම්බන්ධව ඉල්ලා සිටි විස්තර ලබා දී නැති බව වධහිංසාවට එරෙහි කමිටුව පැවසීය. රාජ්‍ය හමුදාවන්ට එරෙහිව ඇති වධ හිංසා පිලිබඳ චෝදනා ගැන නීතිමය ක‍්‍රියාමාර්ගවල අඩුව සම්බන්ධව ද එය තම උත්සුකතා ප‍්‍රකාශ කලේය.

රජය විසින් පත් කල ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට (ශ‍්‍රීලමාහිකො) 2012 සිට වධ හිංසා පැමිනිලි 2,259 ක් ලැබී ඇති බව වධහිංසාවට එරෙහි කමිටුව වාර්තා කලේය. චෝදනා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇති අතර එය කිසිඳු ස්වාධීන පරීක්ෂනයක් නොකර හුදෙක් සියල්ල පොලීසිය වෙත යවා තිබේ. 2015 දී, ශ‍්‍රීලමාහිකොට එවැනි චෝදනා 425 ක් ලැබී ඇති අතර මේ වසරේ මුල් මාස අට තුල 208 ක් ලැබී තිබේ.

පොලීසිය විසින් වධ හිංසාවලට සාමාන්‍යයෙන් භාවිතා කරන ක‍්‍රම ගැන විස්තරාත්මක වාර්තාවක් ශ‍්‍රීලමාහිකො වධහිංසාවට එරෙහි කමිටුව වෙත ලබා දී තිබේ. මෙම ක‍්‍රියාවන් අතර ”පුද්ගලයා නිරුවත් කිරීම හා අතෙන්, කකුලෙන්, පොලුවලින්, හා යකඩ පොලුවලින් පහර දීම, පොලුවලින් කකුලේ යටි පතුල්වලට පහරදීම, පහරදීමෙන් පසු බීමට වතුර නොදී සිටීම, පුද්ගලයාට පහත් ක‍්‍රියා කරන්නැයි බල කිරීම, පයෙන් පෑගීම හා පයින් ගැසීම, ඇස්වලට, මුහුනට හා ලිංගේන්ද්‍රයන්ට මිරිස් වතුර ගෑම, පුද්ගලයා දෑත් වලින් එල්ලා තැබීම හා කරකැවීම/ හා හෝ දෙපාවල යටිපතුල්වලට පහරදීම, පුද්ගලයාගේ නිය ගැලවීම, පුද්ගලයා ජනේලයකට හෝ සිරමැදිරියේ පොල්ලකට පැය ගනනක් මාංචු යොදා තැබීම” ඇතුලත් වේ.

ශ‍්‍රී ලංකාවේ බස්නාහිර පලාතේ කලුතරදී 2016 මාර්තුවලදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ලඟ තබාගැනීමේ වරදට පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ එක් පුද්ගලයෙකුගේ වෛද්‍ය වාර්තාවෙන් ”ඉදිරිපෙල දතක් අහිමිවීමක්, වැලමිටෙහි සීරීම් තුවාලයක්, හා ශරීරයේ සීරීම් හා තැලීම් තුවාල ඇතුලූව තුවාල දොලහක්” තිබූ බව අනාවරනය විය. ”වෛද්‍ය නිලධාරීන්ට ලෙහෙසියෙන් හඳුනාගත නොහැකි වන්නාවූ ක‍්‍රම භාවිතකර ශාරීරික වධ හිංසා පැමිනවීම වැඩිවී ඇති” බව වධහිංසාවට එරෙහි කමිටුව වාර්තාව පෙන්වා දේ.

”ප‍්‍රශ්න කිරීම්වලදී පමනක් නොව අත් අඩංගුවට ගැනීමේදී පවා” වධ හිංසාවලට ලක් කෙරෙන බවද ”සාමාන්‍යයෙන් පැමිනිලිකරුවන් අඩු ආදායම්ලාභී පවුල්වල අය” බවද ශ‍්‍රීලමාහිකො තොරතුරු පෙන්වා දෙයි. අවස්ථා ගනනාවකදී, අත් අඩංගුවට ගැනීම් වරදවා හඳුනාගැනීමක ප‍්‍රතිපල විය.

ශ‍්‍රී ලංකාවේ සිරමැදිරි පිරී ඉතිරී ඇති බව පවසන වධහිංසාවට එරෙහි කමිටුව අඩි හතේ අඩි පහේ මැදිරියක තුන් දෙනෙක් සිර කල අවස්ථාවක් ද, ඇඳන් රහිතව බිම නිදා ගන්නට සිදුවීම්, හා රාත‍්‍රී කාලයේදී ශරීර කෘත්‍ය සඳහා ප්ලාස්ටික් බාල්දියක් පාවිච්චි කිරීමට බලකිරීම් ගැන ද සඳහන් කර ඇත.

වධ හිංසාවලට ගොදුරු වූ බොහෝ දෙනාට උපරිමාධිකරනය හරහා නීතිමය සහනයක් හෝ වන්දි, ලබාගැනීමකට ඉහල මූල්‍ය වියදම් නිසා ඉඩක් නොමැති බව එජා කමිටුව පෙන්වා දී ඇත. උසාවියෙහි ගොඩ ගැසී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොන්න ගැන ද එය තම අවධානය යොමු කර තිබේ.

ශ‍්‍රී ලංකාවේ ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත (ත‍්‍රවැප) යටතේ රඳවා ගනු ලබන්නෙක් වසර 15 තෙක් නඩු ඇසීමක් නොමැතිව තබා ගත හැක. චෝදනා නොමැතිව පැය 72 සඳහා ඔවුන් රඳවා ගත හැකි අතර මහේස්ත‍්‍රාත්වරයෙක් වෙත ඔවුන්ගේ නඩුව ඉදිරිපත් කරන්නට පෙර මාස 18 තෙක් රඳවා ගැත හැකිය. ත‍්‍රවැප වෙනුවට ගෙන ඒමට යෝජිත නව ප‍්‍රති ත‍්‍රස්තවාදී පනත ගැන කිසිඳු තොරතුරක් රජය ලබා දී නැති බව වාර්තා පැවසීය. විශේෂයෙන්ම කම්කරු පන්තිය හා සමාජවාදීන් ඉලක්ක කරමින් ඕනෑම දේශපාලන ක‍්‍රියාකාරිත්වයක් මැඩ පැවැත්වීමට පාවිච්චි කිරීමට පුලූල් පොලිස් බලතල හා ත‍්‍රස්තවාදය ගැන පුලුල් අර්ථ දැක්වීමක්නව සැලසුම්ගත නීතියට ඇතුලත් වේ.

නොවැම්බරයේ ජිනීවාහිදී පැවති තම රැස්වීමේ රජයේ නියෝජිතයා ලෙස සීඅයිඩී යේ හිටපු නියෝජ්‍ය පොලිස්පති හා ජාතික බුද්ධි තොරතුරු ප‍්‍රධානී සිසිර මෙන්ඩිස්ගේ පැමිනීම ගැන වධහිංසාවට එරෙහි කමිටුව තම උත්සුකතා ද විස්තර කලේය. 2009 ජූනි තෙක් මෙන්ඩිස් ටීඅයිඩී හි පාලන අධිකාරිය මෙහෙයවීය.

පුලුල්ව පැතිරුන වධ හිංසා හා ප‍්‍රජාතන්තීය අයිතිවාසිකම් අවභාවිතය සම්බන්ධව තොරතුරු වසන් කිරීමට ආන්ඩුව වධහිංසාවට එරෙහි කමිටුවේ රැස්වීමට මෙන්ඩිස් යැවීය. ආන්ඩුව, කොලඹින් සිදු කල යුද අපරාධ හා අනෙකුත් මානව හිමිකම් උල්ලංඝනයකිරීම් වලට සුදුහුනු ගෑමටත් තම කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව කම්කරු පන්තියේ විරෝධය මැඩ පැවැත්වීමට පොලිස් හා මිලිටරි බලය යෙදවීම දිගටම කරගෙන යාමටත් අධිෂ්ටාන කර ගෙන සිටී.

Share this article: