උසාවිය නිහඬයි- ශ්‍රී ලංකාවේ අධිකරනයේ දූෂිතභාවය පිලිබඳ චිත‍්‍රපටයක්

Silence in the Courts—a film about judicial corruption in Sri Lanka

වසන්ත රූපසිංහ විසිනි, 2017 ජූනි 3

කතාව සහ අධ්‍යක්ෂනය ප‍්‍රසන්න විතානගේ

සිනමාවේදී ප‍්‍රසන්න විතානගේගේ නවතම නිර්මානය වන්නේ, 1990 ගනන්වලදී ශ්‍රී ලංකාවේ මහේස්ත‍්‍රාත්වරයෙකු විසින් කාන්තාවන් දෙදෙනෙකු දූෂනය කිරීමත් පසුව එය නීති බලධාරීන් විසින් වසන් කිරීමත් පදනම් කරගත් වාර්තාමය චිත‍්‍රපටයකි. කැනඩාව පදනම් කරගත් ජස්ටිස් ප්‍රොජෙක්ට් (Justice Project) මගින් මුදල් යොදවනු ලැබ 2014 දී නිපදවනු ලැබූ චිත‍්‍රපටය පසුගිය වසරේ ඔක්තෝබර් මාසය තෙක්ම ශ්‍රී ලංකාවේ සිනමාහල්වල ප‍්‍රදර්ශනය කෙරුනේ නැත. දැන් එය ඩීවීඩී වසයෙන් ලබා ගැනීම හෝ ශ්‍රී ලංකාවේ සිනමාවන් නම් වූ වෙබ් අඩවියෙන් අන්තර්ජාලය හරහා නැරඹීමේ හැකියාව ඇත.

උසාවිය නිහඬයි මගින් එහි කතාව කියැවෙන්නේ, පුවත්පත් වාර්තා, ඡායාරූප සහ කාන්තාවන් හා ඔවුන්ගේ සැමියන්ගේ නෛතික සාක්ෂි මත පදනම්ව නාටකාකාර ලෙස ප‍්‍රතිනිර්මානය කල ජවනිකා ඔස්සේ ය. චිත‍්‍රපටියේ එන එක් කාන්තාවන් කොලඹින් කිලෝමීටර් 100ක් දුරින් පිහිටි වී ගොවිතැන් කරන කුරුනෑගල දිස්ත්‍රික්කයේ දුප්පත් ගමක් වන පොල්පිතිගම ප‍්‍රදේශයේ පදිංචිකාරිනියන්ය.

චිත‍්‍රපටය ඇරඹෙන්නේ, අන්ත දරිද්‍රතාව හේතුවෙන් තරුනයින් විශාල සංඛ්‍යාවකට මිලිටරියට බැඳීමට සිදුවූ බවත් සිය ගනනක් කාන්තාවන්ට මැදපෙරදිග ගෘහ සේවිකාවන් ලෙස රැකියාවට යාමට බලකෙරුනු බවටත් සඳහන් කරමින් ගමේ පවතින සමාජ කොන්දේසි පිලිබඳ කරන කෙටි හැඳින්වීමක් සමගිනි.

උසාවිය නිහඬයි

ලිංගික අඩත්තේට්ටම්වලට ලක්කෙරුනු කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකුවූ ඩබ්ලිව්.බී.එම්. කමලාවතී විවාහවී සිටියේ රන්කරුවෙකුවූ චන්දන පුෂ්පරුවන් සමග ය. ඔහු, බාල රන්භාන්ඩ නිපදවා ඒවා සැබෑ රන්ආබරන ලෙස පෙන්වා උකස් කිරීමට චෝදනා ලැබ අත්අඩංගුවට ගෙන සිර දඬුවමට ලක් කර තිබේ. සෑම නඩුදිනයකම නොකඩවා උසාවියට යන කමලාවතී මහේස්ත‍්‍රාත් ලෙනින් රත්නායකගේ ඇස ගැටෙයි. ඇගේ සැමියා නිදහස් කර ගැනීමට පිලිවෙලක් සාදා දිය හැකියැයි විත්තිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයෙකු මාර්ගයෙන් කමලාවතීට දැන්වූ මහේස්ත‍්‍රාත් ඇය තානායමකට ගෙන ගොස් දූෂනය කර ඇත.

මහේස්ත‍්‍රත් ඔහුගේ බිරිඳට කල හදිය ගැන දැන ගන්නා පුෂ්පරුවන් කෝපයෙන් යුතුව නිරර්ථක විරෝධය පෑමේ ක්‍රියාවක නිරත වේ. ඒ, උසාවිය තුලට රහසිගතව අශුචි බෑගයක් රැගෙනවිත් රත්නායක වෙතට දමා ගැසීමෙනි. හමුදා නිලධාරීන් පනහක පමන පිරිසක් විසින් පුෂ්පරුවන් ග‍්‍රහනයට ගෙන, රෝහල්ගත කිරීමට සිදුවන පරිදි ඔහුට දරුනු ලෙස පහර දෙති.

මහේස්ත‍්‍රාත්වරයා හෙලිදරව් කිරීමටත් යුක්තිය ඉෂ්ට කරවා ගැනීමට කමලාවතී වෑයම් කරන නමුත් එය ප‍්‍රයත්නය ගඟට කැපූ ඉනි බවට පත් වේ. සිද්ධියෙන් මාස නවයකට පසු ඇය රාවය පුවත්පතේ කතෘ වික්ටර් අයිවන්ට සිය කතාව පවසන අතර ඔහු කමලාවතීගේ කතාව පුවත්පතේ පලකරයි.

ලිංගික අඩත්තේට්ටම සම්බන්ධව අනතුරුව පලවූ පුවත් හා රූපවාහිනී වැඩසටහන් කමලාවතීගේ චෝදනා විභාග කිරීම සඳහා කිසිදු නිල විමර්ශනයක් ලබා ගැනීමට අසමත් විය. වෙනත් කාන්තාවක් ද මේ අයුරින් මහේස්ත‍්‍රාත්ගේ ලිංගික හිංසනයට ලක්ව ඇති බව එක් පුවත්වාර්තාවක් මගින් හෙලිදරව් කෙරින. ඇගේ සැමියාද කමලාවතීගේ සැමියා මෙන් සිරගතව සිටින අයෙකි.

එවක නීතිපතිවරයා ව සිටි සරත් නන්ද සිල්වාගේ ප‍්‍රධානත්වයෙන් යුත් අධිකරන සංස්ථාපිතය හුදෙක්ම මහේස්ත‍්‍රාත් රත්නායක පිටුපස පෙලගැසෙමින් ඔහුට එරෙහිව මොනයම්ම හෝ ක්‍රියාමාර්ගයක් ගැනීම ප‍්‍රතික්ෂේප කලේ ය. පසුව ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග විසින් සිල්වා අගවිනිසුරු ලෙස පත් කලා ය.

අවසානයේදී, 1988දී අධිකරන සේවා කොමිෂන් සභාව (ජේසීඑස්), කමලාවතීගේ චෝදනා විමර්ශනය කිරීමට ති පුද්ගල මහාධිකරන විනිසුරු මඩුල්ලක් පත් කලේ ය. වසර දෙකකට අධික කාලයක් ගතවී රත්නායක සැබවින්ම ලිංගික අඩත්තේට්ටම්වලට සම්බන්ධයැයි එය විසින් සොයා ගැනිනි. එහෙත් සිදුවූයේ රත්නායකට එරෙහිව නඩු පැවරීම වෙනුවට සේවයෙන් තොරව වැටුප් ලැබෙන පරිදි ඔහු සේවයෙන් අනිවාර්ය නිවාඩු යැවීම යි.

දශක දෙකකට වඩා කාලයක් ගතවනවිට කාන්තාවන් දෙදෙනාගේ පවුල් විනාශභාග් වූ අතර රත්නායකට එරෙහිව කිසිදා චෝදනා එල්ල නොවිනි. එපමනක් නොව, පසුගිය ඔක්තෝබර් මාසයේදී, උසාවිය නිහඬයි ශ්‍රී ලංකාවේ සිනමාහල් තුල ප‍්‍රදර්ශනය කිරීම තහනම් කිරීම සඳහා නීති ක්‍රියාමාර්ග පවා ඔහු විසින් ගනු ලැබිනි. චිත‍්‍රපටියෙන් ඔහුගේ චරිතයට හා අධිකරනයේ ගෞරවයට හානි කර ඇති බව ඔහු කියා සිටියේ ය. කොලඹ දිස්ත්‍රික් අධිකරනය ඔහුගේ නඩුව ප‍්‍රතික්ෂේප කලේ ය.

උසාවිය නිහඬයි

1992 දී සිය ප‍්‍රථම චිත‍්‍රපටියවූ සිසිල ගිනිගනී නිපදවූ විතානගේ දක්ෂ සිනමාකරුවෙකි. ඔහු, රටේ පවතින මර්දනකාරී වාරන නීතිවලට එරෙහිව යමින් බුද්ධිමත් චමත්කාරජනක වෘත්තාන්ත ගනනාවක් රචනා කොට අධ්‍යක්ෂනය කර තිබේ. මේවායින් විශිෂ්ඨතම නිර්මාන අතරට, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහිව ශ්‍රී ලංකා ආන්ඩුව ගෙන ගිය දශක ගනනාවක සිවිල් යුද්ධය සාමාන්‍ය මහජනයා මත ඇති කල සමාජ හා භාවමය කම්පනය සංවේදී ආකාරයෙන් විදහා දක්වන පුරහඳ කලූවර (1977), ඉර මැදියම (2003) හා ඔබ නැතිව, ඔබ එක්ක (2013) යන චිත‍්‍රපට ඇතුලත් ය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය යන්ත‍්‍රනයේ දූෂිතභාවය ගැන යමක් විතානගේ විසින් හෙලිදරව් කර තිබීම පැසසුමට ලක්කල යුතු ය. ඒ අයුරින්ම තිබෙන්නට හැරියේනම් අධිකරන සංස්ථාපිතය විසින් දිගටම සඟවා සිටිනු ඇති සිදුවිමක් ඔහුගේ වාර්තා චිත‍්‍රපටය තුලින් පුලුල් ප්‍රේක්ෂකත්වයක් වෙතට පමුනුවයි. කෙසේවෙතත්, උසාවිය නිහඬයි හි පවතින මූලික දුර්වලතාව වන්නේ එය අවිවේචනාත්මකවම රාවය කතෘ වික්ටර් අයිවන් හා අයිවන්ගේ ජාතිකවාදී අවස්ථාවාදී දේශපාලන න්‍යාය පත‍්‍රයට අනුගත වීම යි.

අයිවන් ශ්‍රී ලංකා සංස්ථාපිතයේ විවේචකයෙක් ලෙස ප‍්‍රකට ය. මහේස්ත‍්‍රාත්වරයාගේ වෙස් මුහුන ගැලවීමටත් ඔහුගේ අපරාධ වසන් කිරීමට උත්සාහ කල අය හෙලිදරව් කිරීමේදී අයිවන් ප‍්‍රධාන භූමිකාවක් ඉටු කලේ ය. කෙසේවෙතත්, මෙම හෙලිදරව්වල වෑයම වන්නේ මහජනයා මුලා කිරීම යි. ඒවායින් ඉදිරියට දැමෙන ආස්ථානය වන්නේ, අධිකරන පද්ධතියේ හා සමස්තයක් ලෙස රාජ්‍ය යාන්ත‍්‍රනය තුල වසා පැතිරුන දූෂනය, ප‍්‍රතිසංස්කරනය සඳහා හා නව පාර්ලිමේන්තු අනපනත් සඳහා ආන්ඩුව මත පීඩනය දැමීම හරහා පරාජය කල හැකි බව යි. එවැනි සංකල්පවලට අභියෝග කිරීමට විතානගේගේ වාර්තා චිත‍්‍රපටිය අසමත් වන අතරම ප‍්‍රශ්නය අධිකරනය ඉක්මවා පවතින්නක් බව ඉඟියක්වත් නොමැතිවීම එහි මූලික අඩුපාඩුවකි.

අයිවන් වනාහී දේශපාලන ආධුනිකයෙකු නොවන බව පැහැදිලිව වටහා ගත යුතුය. ඔහුගේ දේශපාලන භූමිකාව ආරම්භ වන්නේ සුලු ධනේශ්වර සිංහල ජාතිකවාදී ජනතා විමුක්ති පෙරමුනෙනි (ජවිපෙ). 1971 කැරැල්ල ආන්ඩුව විසින් ම්ලේච්ඡ ලෙස මර්දනය කිරීමෙන් අනතුරුව ඔහු හා අනෙකුත් ප‍්‍රධාන නායකයින් අත්අඩංගුවට ගෙන සිරගත කිරීමෙන් පසු ජවිපෙ හි ව්‍යාජ සමාජවාදී වාංමාලාව අත්හැර දැමූ අයිවන් සාමවාදියෙක් බවට පත් විය. එතැන් සිට ඔහු නිරතව ඇත්තේ, ශ්‍රී ලංකා සංස්ථාපිතයේ ඒ හෝ මේ කන්ඩායම ඔජවඩමින් නින්දිත උපාමාරු මාලාවක ය.

ඒවායින් කිහිපයක් සඳහන් කරතොත්: 1994දී හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග බලයේ හිඳුවීමටගෙන ගිය උද්ඝෝෂනය තුල අයිවන් හා රාවය සමීපස්ථව නියැලුනේ ය. අනුක‍්‍රමයෙන් කුමාරතුංග සමග පරලවූ අයිවන් ඇගේ ගොරතර විවේචකයෙක්වූ අතර ජනාධිපති වසයෙන් මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒමට ආධාර කලේ ය.

ජනාධිපතිවරනය කල්තියා, එනම් 2015 ජනවාරිවල පවත්වන බව 2014 නොවැම්බර්වලදී රාජපක්ෂ නිවේදනය කලේ ය. එක්සත් ජනපද පාලානාධිකාරියට වඩාත් හිත පක්ෂපාතී අයෙකු බලයට ගෙනඒමට වොෂිංටනය හා ලංකාව තුල එහි සගයන් ඉක්මනින්ම අවස්ථාව ඩැහැ ගත්තේ ය.

මේ අවස්ථාවේදී, අයිවන් යලිවතාවක්, මෛත්‍රීපාල සිරිසේන බලයට ගෙන ආ වොෂිංටනය පිටුබලය දුන් පාලන තන්ත්‍ර මාරු මෙහෙයුමේ ප‍්‍රමුඛ ක්‍රියාකාරිනියක්වූ කුමාරතුංග හා රාජපක්ෂගේ අනෙකුත් විරුද්ධවාදීන් වෙත හැරුනේ ය. චීනය සමග රාජපක්ෂට තිබූ සමීප සබඳතාවන් කලාපය තුල එක්සත් ජනපදයේ භූමූලෝපායික සැලසුම්වලට බාධකයක්ව තිබූ අතර ඔහු විස්ථාපනය කල යුතුයැයි ඔබාමා පාලානාධිකාරිය අවධාරනය කලේ ය.

“ආඥාදායකත්වය” හා “දූෂනයට” විරුද්ධ සටනක් වසයෙන් වගවර්නනා කල අයිවන්ගේ පරිශ‍්‍රමයන් හා ඊනියා “යහපාලන” උද්ඝෝෂනය නියෝජනය කලේ, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද ගැති ස්ථර, අතෘප්තියට පත් ව්‍යාපාරික ප‍්‍රධානීන් හා රටේ ඉහල මධ්‍යම පාන්තික සාමාජිකයන්ගේ මෙන්ම, විවිධාකාර කලාකරුවන්, බුද්ධිමතුන්, ශාස්ත‍්‍රාලිකයන් හා රාජ්‍ය නොවන සංවිධානවල අවශ්‍යතාවන් ය. මෙම කොටස් තර්ක කලේ, රාජපක්ෂ හා පාලක කල්ලිය නෙරපා හැර ජනාධිපති ලෙස සිරිසේන බලයට ගෙන ඒමෙන් යුක්තිය හා ප‍්‍රජාතාන්ත්‍රික අයිතීන් තහවුරු කල හැකි බව යි.

රාවය පුවත්පත විසින් ආරම්භ කරන ලදුව විතානගේ හා තවත් කලාකරුවන් විසින් සහය දුන් පුරවැසි බලය, මෙම ව්‍යාජ ප‍්‍රජාතාන්ත්‍රික ප්‍රෝඩාව ඔජවැඩීමෙහිලා මූලික ක්‍රියාකලාපයක් ඉෂ්ට කලේ ය. පුරවැසි බලයේ අරමුන වූයේ මහජනතාවගේ මූලික අයිතීන් ආරක්ෂා කිරීම නොව, රාජපක්ෂට එරෙහිව කම්කරුවන් හා දුප්පතුන් අතරින් වැඩෙමින් තිබූ කැරලිකාරිත්වය වඩාත් සටන්කාමී අරගල බවට පරිවර්තනය වී නිල දේශපාලන රාමුවේ පාලනයෙන් පිටත සීඝ‍්‍රයෙන් වැඩීයාම වැලක්වීම යි.

2015 ජනවාරි සිරිසේන බලයට පත්වීමෙන් අනතුරුව, අයිවන් ලියූ ලිපියකින්, අධිකරන පද්ධතියේ පවතින “දූෂිත හා අවුල්කාරී තත්වය” ලංකාව මුහුන දී සිටින “දැවැන්තම බාධකය” බවත් “ ස්වාධීන, අපක්ෂපාත හා ක්‍රියාශීලී අධිකරනයක් රටක යහපත් ආන්ඩුකරනය සඳහා අත්‍යවශ්‍ය” බවත් සඳහන් කලේ ය.

උසාවිය නිහඬයි චිත‍්‍රපටයේ කතා කරමින්, “මේ වගේ අසාධාරනයට ලක්වෙච්ච සාමාන්‍ය මිනිසුන්ගේ දුක්ගැනවිලි කොච්චර නම් දහස්ගානක් යටපත් වෙලා අඳුරෙ තියෙනවාද කියලා තේරුම් ගන්න අමාරු නෑ” අයිවන් පවසයි. එහෙත්, අනවරත අයුක්තියේ ගොරතර ප‍්‍රතිවිපාක දරා සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ඛේදවාචකය යහමින් හා සත්‍ය ලෙසම පැහැදිලි ය. අයිවන් මෙන්ම චිත‍්‍රපටය ද මෙම අයුක්තීන්- උදාහරන වසයෙන්, දෙමල ජනයා පීඩාවට පත් කර ඇති කොන්දේසි; උතුරේ කෙරීගෙන යන මිලිටරි වාඩිලාගැනීම හෝ; අතීතයේ හා වත්මන් ආන්ඩුව විසින් වතු කම්කරුවන් හා කම්කරු පන්තියේ අනෙකුත් ස්ථරයන් ඉලක්ක කර අධිකරනය මගින් බොරු නඩු ඇටවීම යනාදිය- අනාවරනය කිරීමට අසමත් ය.

විතානගේ ගේ උසාවිය නිහඬයි තනා නිමවූයේ දූෂන විරෝධී උද්ඝෝෂනය හා සිරිසේන බලයට වැඩම්මවීමේ කටයුතු සිදුකෙරීගෙන යද්දී ය. අධ්‍යක්ෂවරයා මෙම උද්ඝෝෂනය තුලට ඇදී ගිය අතර දැන් ඔහුගේ චිත‍්‍රපටිය ශ්‍රී ලංකා රාජ්‍ය ප‍්‍රතිසංස්කරනය කල හැකිය යන්න හුවාදැක්වීම සඳහා යොදා ගනිමින් තිබේ.

පසුගිය ඔක්තෝබර් මාසයේදී මුල්වරට එය තිරගත කල අවස්ථාවේ උසාවිය නිහඬයි චිත‍්‍රපටයට රාවය, දි අයිලන්ඩ් හා ශ්‍රී ලංකාවේ අනෙකුත් මාධ්‍ය ප‍්‍රකාශන වලින් ඉහල ප‍්‍රසංශාවන් ලැබීම මවිතයට කාරනයක් නොවේ. වාර්තා චිත‍්‍රපටිය “මහජන විඤ්ඤානයේ දැවැන්ත පිම්මක්” හා “අධිකරනයේ ස්වාධීනත්වය” සඳහා අරගලය නියෝජනය කරන බව රාවය කීවේ ය. එහි “සත්‍යය කෙරෙහි ඉවසිලිවන්ත ප‍්‍රවේශය” ක් යනුවෙන්අයිලන්ඩ් පුවත්පත එය වගවර්නනා කලේ ය. “යුක්තිය රජයයි” යනුවෙන් ලියූ ලංකා හොට් නිව්ස් වෙබ් අඩවිය “ප‍්‍රසන්න හා වික්ටර්ගේ නාමයන් ශ්‍රී ලංකාවේ අධිකරන ඉතිහාසයේ සටහන් වනු ඇතැ”යි සඳහන් කලේ ය.

මෙම ගුනකථන ඉස්මත්තට එන්නේ, සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව, සිංහල මෙන්ම දෙමල කම්කරු පන්තියේ හා දුප්තුන්ගේ සමාජ කොන්දේසි හා ප‍්‍රජාතාන්ත්‍රික අයිතීන් වෙත පෙර නොවූවිරූ ම්ලේච්ඡ ප‍්‍රහාර එල්ල කරමින් තිබියදී ය. කම්කරුවන් මේවාට එරෙහිව පෙරලා සටන්වදින විට අයිවන් හා “ලිබරලුන්” ආන්ඩුව ආරක්ෂා කරමින් ප‍්‍රතිචාර දක්වා ඇත. “යහපාලනය” හා ප‍්‍රජාතාන්ත්‍රික අයිතීන් කෙරෙහි ඔවුන්ගේ උත්සුකය හුදෙක්ම ව්‍යාජයක් බව එනයින් පෙන්නුම් කර තිබේ.

අතීතයේදී එවැනි පිලිවෙත් කෙරෙහි විරුද්ධත්වය පලකර තිබෙන විතානගේ දැන් ඔහුගේ වාර්තා චිත‍්‍රපටිය යොදාගනිමින් තිබෙන දේශපාලන අරමුනු ගැන සහ එය අයිවන් කෙරෙහි තැබූ දේශපාලන විශ්වාසය ගැන පසුතැවිලි වනවා විය හැක.

ඔහුගේ ඊලඟ චිත‍්‍රපටය වන “හිරු දරුවෝ” තුලින් 19 වන ශතවර්ෂයේ මුල මහනුවර සිදුවූ, එකල පාලන බලය හෙබවූ දෙමල රජුට එරෙහිව සිංහල රදලයින් විසින් ගසන කැරල්ල පාදක කොටගත් ඓතිහාසික නාටකයන් විදහා දැක්වීමට විතානගේ තීන්දු කර ඇත. මාධ්‍ය වාර්තාවලට අනුව, “දෙමල-සිංහල ගැටුමේ මුලාරම්භයන්” වගවිභාග කිරීමට එය යත්න දරනු ඇත. විතානගේ ගේ පෙර චිත‍්‍රපටවලදී පෙන්නුම් කල අයුරින් යථාර්ථවාදී හා කලාත්මකව ආකර්ශනීය කෘතියක් වීම සඳහා, එයට, උසාවිය නිහඬයි මගින් අවාසනාවන්ත ලෙස සිදු කිරීමට අසමත්වූ දෙයක් වන පැතිර පවත්නා බලගතු ජාතිකවාදී පීඩනයන්ට අභියෝග කිරීමට සිදුවනු ඇත.

කතුවරයා පහත ලිපි ද නිර්දේශ කරයි:

ප‍්‍රසන්න විතානගේ ඔබ නැතිව, ඔබ එක්ක ශ්‍රී ලංකාවේ වාර්ගික යුද්ධයේ මානුෂික ප‍්‍රතිවිපාක

2014 ජූලි 14

පුරහඳ කලුවර යුද්ධය ශ්‍රී ලංකාවේ ගමක ජීවිතය සුනුවිසුනු කලේ කෙසේද කතාව හා අධ්‍යක්ෂනය ප‍්‍රසන්න විතානගේ

2000 මාර්තු 17

Share this article: