හම්බන්තොට වරාය කම්කරුවන් රැකියා රැකගැනීමේ අරගලයක

රත්නසිරි මලලගම සහ මෛත්‍රිපාල සිල්වා විසිනි , 2017 ඔක්තෝබර් 03

හම්බන්තොට මාගම්පුර වරාය කම්කරුවෝ තම රැකියා ස්ථිර කරන ලෙස බල කරමින් සැප්තැම්බර් 27 දින සංකේත වර්ජනයක නිරතවූහ. විරෝධතා උද්ඝෝෂනයට කම්කරුවන් 500කට ආසන්න පිරිසක් සහභාගී වුහ. වර්ජනය කැඳවුම් කරනු ලැබුවේ මාගම්පුර වරාය සේවක සංගමය විසිනි.

වර්ජිත කම්කරුවන්ට එරෙහිව අවශ්‍ය මොහොතක යෙදවීම පිනිස ආන්ඩුව නාවික හමුදා භට කන්ඩායම් කිහිපයක් සීරුවෙන් තබා තිබුන අතර කම්කරුවන් බිය ගැන්වීම සඳහා නාවික හමුදාවට අයත් බල්ලන් යොදා ගෙන ඔවුන් ව පරීක්ෂාවට ලක් කොට ඇත.

තම රැකියා ස්ථීර කරන ලෙස ඉල්ලා පසුගිය දෙසැම්බර් මාසයේ ද මෙම කම්කරුවන් දින අටක අඛන්ඩ වර්ජනයක යෙදුනි. ඔවුන් එම අරගලයට පිවිසුනේ චීනයේ මර්චන්ට් පොර්ට් හෝල්ඩින්ග් සමාගම සමග බද්ධ ව්‍යාපාරයක් බවට හම්බන්තොට වරාය පරිවර්තනය කිරීමේ ආන්ඩුවේ සැලැස්ම යටතේ රැකියා අහිමිවීමේ තර්ජනය මැදය.

නාවික හමුදාව යොදවා පහරදීම හා උසාවි නියෝග පැනවීම ඇතුලූ මෘග රාජ්‍ය මර්දනයක් මගින් ආන්ඩුව විසින් ඔවුන්ගේ අරගලය දුෂ්ට ලෙස මැඩලනු ලැබීය. වර්ජනය එලෙස මර්දනය කිරීමට ආන්ඩුවට හැකිවුයේ කම්කරුවන් සංවිධානය වී සිටින මාගම්පුර වරාය සේවක සමිතිය (මාවසේස) සහ ඔවුන්ට "සහයෝගය" දීමට ඉදිරිපත් වී සිටි වෘත්තීය සමිති, ඊනියා වමේ සංවිධාන සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් ඔවුන්ගේ අරගලය දේශපාලනිකව අවමංගත කර හුදකලා කිරීමේ ප‍්‍රතිපලයක් ලෙසය.

අනියම් කම්කරුවන් 480ක් මාගම්පුර වරායේ සේවයේ යොදවා සිටිති. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් 2011 දී සේවයට බඳවා ගනු ලැබු මෙම කම්කරුවන් පසුව නිර්මානය කල මාගම්පුර වරාය කලමනාකරන පුද්ගලික සමාගමට 2013 දී අනියුක්ත කරනු ලැබීය. සේවය ස්ථීර කරන බවට පොරොන්දුවක් දී තිබු නමුත් එය රැවටිල්ලකි.

චීන සමාගම සමග මෛත‍්‍රිපාල සිරිසේන-රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුව මේ වන විට ගිවිසුම අත්සන් කර ඇති අතර නොවැම්බර් මාසයේ සිට නව සමාගම කටයුතු ආරම්භ කිරීමට නියමිතය. ගිවිසුමට අනුව මාගම්පුර වරායේ කොටස්වලින් සියයට 70ක් චීන සමාගමට හිමිවේ. ශ‍්‍රී ලංකා ආන්ඩුවේ පංගුව සියයට 30කි.

රැකියා ස්ථීර කරගැනීම සඳහා වරාය සහ නාවික කටයුතු ඇමති මහින්ද සමරසිංහ සමග මාවසේස සාකච්ඡා වට තුනක් පැවත් වූ නමුත් නිසි පිලිතුරක් නොලැබුන බව කම්කරුවෝ පැවසුහ. ගයාන් නමැති කම්කරුවා ප‍්‍රකාශ කල ආකාරයට "චීන සමාගමේ මනාපය පරිදි සුදුසුකම් ඇති අය ස්ථීරකර අනෙක් අයට වන්දියක් ගෙවනු ඇතැයි" තමන් "සිතන බව" පවසා ඇමති සමරසිංහ ප‍්‍රශ්නයෙන් ලිස්සා ගොස් ඇත. එහි තේරුම චීන සමාගම මනාප නැතිනම් කම්කරුවන්ගේ රැකියා අහිමිවන අතර ආන්ඩුව දැනටමත් මුලූමනින්ම වගකීමෙන් නිදහස් කර ඇති බවය.

වරාය අධිකාරියේ සභාපති සමග සැප්තැම්බර් මාසයේ 25දා පැවති සාකච්ඡාවේදී වන්දියක් ලබා දීමට ඉඩ ඇති බවත් උපරිම වන්දිය රුපියල් ලක්ෂ නවයක් පමන විය හැකි අතර අවමය ලක්ෂ දෙකක පමන මුදලක් විය හැකි බවත් ඔහු පවසා ඇත.

ගයාන් කියා සිටියේ සියලූ කම්කරුවන් වසර හයක සේවා කාලයක් සම්පුර්න කර ඇති අතර රැකියා අහිමි වුවහොත් කිසිම අයෙකුට ජීවිතය පවත්වා ගෙන යා නොහැකි තත්වයක් උද්ගත වන බවයි. වයස 55 වනතුරු තම රැකියාවල නිරත වියහැකි බවට වරායේ හිටපු සාමාන්‍යාධිකාරිවරයෙකු නිකුත් කල ලිපි බැංකුවලට ඉදිරිපත් කර මෙම කම්කරුවන්ගෙන් බොහෝ දෙනෙකු රුපියල් ලක්ෂ විසි පහ තිහ ආදී වසයෙන් නය ලබාගෙන නිවාස ඉදිකර ඇත.

"රැකියාව නැති වුවහොත් බැංකු නය ගෙවා ගත නොහැකිව උන්හිටි තැනුත් අහිමිවන" බව ගයාන් සඳහන් කලේ ය.

නුවන් නමැති තවත් කම්කරුවෙක් ලෝක සමාජවාදී අඩවියේ වාර්තාකරුවන්ට ප‍්‍රකාශ කලේ "නොවැම්බර් 01වන දින වනවිට චීන සමාගම වැඩ ආරම්භ කරන්නේ සේවක ප‍්‍රශ්නවලට වලට මොනම විසඳුමක්වත් නැතිව. අවසානයේ ඇමති කියන විදියට ලක්ෂ දෙකක වන්දියක් අරගෙන අපට යන්න වෙන්නේ මොන අගාධයකටද?"

අතිකාල සහ අනෙකුත් දීමනා සහිතව රුපියල් 30,000ත් 50,000ත් අතර මාසික වැටුපකි මෙම කම්කරුවන්ට ලැබෙන්නේ. ඔවුන්ගෙන් සමහරු අනුරාධපුරය, පොලොන්නරුව වැනි ඈත පිටිසර ගම්බද පලාත්වලින් පැමිනි අය වෙති. මාසික වැටුපෙන් අඩකට වඩා බැංකු නය, නවාතැන් ගාස්තු සහ ආහාර-පාන වලට වැය වෙයි.

රැකියා රැකගැනීම සඳහා අරගලය කිරීමේ දැවෙන උවමනාව සහ අධිෂ්ඨානය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් සමඟ කතාකල බොහෝ කම්කරුවන්ගෙන් ප‍්‍රකාශයට පත් විය. එහෙත් ඊනියා බහුජන සංවිධාන හා බෞද්ධ ආගමික නායකයන් සමග සන්ධාන ගතවී දරු පවුල් සමග පාරට බැස ආන්ඩුවට ලොකු පීඩනයක් දැමීමෙන් රැකියා රැකගත හැකිය යන මිත්‍යාවක් ඔවුන් අතර ඇත. එය කම්කරුවන්ගේ ඔලූව තුල අහම්බෙන් පැන නැගුන එකක් නොවේ. මාගම්පුර වරාය සේවක සමිතිය, ඊනියා වමේ පක්ෂ සහ ජවිපෙ විසින් දෙසැම්බර් මාසයේ අරගලය තුලදී හිතාමතා වගාකල මිත්‍යාවකි.

ලංකා විදුලිබල මන්ඩලයේ (ලංවිම) මෑත අරගලය තුලදී ද ජවිපෙ සහ එහි පාලනය යටතේ පවතින ලංකා විදුලි සේවක සංගමයේ මූලිකත්වය සහිත ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය (ඒවෘසස) විසින් ලංවිම කම්කරුවන් අතර එවන් මිත්‍යාවක් වගා දිගා කලේය. අවසානයේ ආන්ඩුවේ මර්දනය ඉදිරියේ දීන ලෙස යටත් වූ ලංවිම සමිති කම්කරුවන්ගේ අරගලය නිර්ලජ්ජිත ලෙස පාවා දුන්හ.

පුද්ගලීකරනයට එරෙහිව ජුලි මාසයේ පැවති තෙල් සංස්ථා කම්කරුවන්ගේ අරගලයේ කටුක අත්දැකීම ද එබඳුය.

හම්බන්තොට වරාය මෙන්ම, රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන වල කම්කරුවන්ගේ රැකියා අහිමිවීමේ තර්ජනය මතු කෙරී ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යටතේ සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව විසින් ක‍්‍රියාවට දමන රාජ්‍ය ආයතන පුද්ගලීකරනය හා ප‍්‍රතිව්‍යුහගත කිරීම ඇතුලූ ආර්ථික ප‍්‍රතිසංස්කරන වල කොටසක් ලෙසය.

ගැඹුරුවන ලෝක ධනවාදයේ අර්බුදය තුල දේශීය සහ විදේශීය නය අර්බුදයක කරවටක් ගිලී සිටින ලංකාවේ පාලක පන්තියට ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ උවමනාවන් මත ක‍්‍රියාකිරීම හැර අන් මගක් නැත. විදේශ ප‍්‍රාග්ධනය ආකර්ෂනය කර ගැනීම සඳහා කලාපයේ සෙසු රටවල් සමග ලංකාවේ ධනපති පාලක පන්තිය යෙදී ගෙන සිටින්නේ මාරාන්තික තරගයකය. කම්කරු පන්තිය විසින් අතීත අරගල මගින් දිනාගත් අයිතීන්ට කෙටීම සහ අඩු වැටුපට කොන්ත‍්‍රාත් සහ අනියම් කම්කරුවන් සේවයේ යෙදවීමේ වැනි ක‍්‍රම ක‍්‍රියාවට දැමීම මෙම වියරු තරගය හා සම්බන්ධ වූ පිලිවෙතකි.

ධනපති ආන්ඩුවට බලපෑම් දැමීම මගින් කම්කරු පන්තියේ රැකියා හා සෙසු අයිතීන් රැකගත හැකි යැයි විශ්වාස කිරීම බරපතල මිත්‍යාවක් වන්නේ එහෙයිනි.

ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස ශ‍්‍රී ලංකාවේ ධනපති පන්ති පාලනය අහෝසිකරන හා වරාය ඇතුලූ මූලික කර්මාන්ත සහ ව්‍යවසායන් කම්කරු පාලනය යටතේ ජනසතු කරමින් සමාජවාදී වැඩ පිලිවෙලක් ක‍්‍රියාවට දමන කම්කරු-ගොවි ආන්ඩුවක් සඳහා කරන සටනකින් තොරව හම්බන්තොට වාරයේ හෝ කම්කරු පන්තියේ අන් කවර කොටසක අයිතීන් දිනා ගැනීමට හෝ අතීත අරගල මගින් දිනා ගත් අයිතීන් රැක ගත නොහැකිය.

වෘත්තීය සමිති, ඊනියා වාම හා බහුජන සංවිධාන හා ධනපති දේශපාලන පක්ෂවලින් ස්වාධීනව දේශපාලන ඉදිරි දර්ශනයකින් හා විප්ලවවාදී නායකත්වයකින් කම්කරු පන්තිය සන්නද්ධ වියයුතු යැයි සමාජවාදී සමානතා පක්ෂය (සසප) අවධාරනය කරන්නේ එම නිසාය. එවන් අරගලයක් සංවිධානය කිරීමට මග අවුරමින් ප‍්‍රධාන බාධකයක් ලෙස ක‍්‍රියාත්මක වන වෘත්තීය සමිතිවලින් බිදී සිය ඡන්දයෙන් තෝරා පත්කරගන්නා කම්කරු ක‍්‍රියාකාරී කමිටු හැම වැඩපොලක් තුලම ගොඩනගා ගනිමින් ධනපති ආන්ඩුවේ ප‍්‍රහාරවලට එරෙහිව කම්කරු පන්තියේ පොදු අරගලයක් සංවිධානය කල යුතුය.

කියවන්න ශ‍්‍රී ලංකාව: හම්බන්තොට වරාය සේවක වර්ජනයේ දේශපාලන පාඩම්,
ලංවිම අරගලයෙන් උගතයුතු පාඩම්

Share this article: