අන්ත දක්ෂිනාංශයේ නවතම ජයග‍්‍රහනය, නව ෆැසිස්ට්වාදීහු ඔස්ට්‍රියාවේ මැතිවරනයේ වැඩි වාසි අත්කර ගනිති

In latest victory for the far right, neo-fascists gain in Austrian election

2017 ඔක්තෝබර් 17

පසුගිය සති අන්තයේ ඔස්ට්‍රියානු මැතිවරනයේ ප‍්‍රතිපලය ජාත්‍යන්තර රටාවක් අනුගමනය කරයි. 1930 ගනන්වල මහා අවපාතයෙන් පසුව ලෝක ධනවාදයේ ගැඹුරුම අර්බුදය හා නව ලෝක යුද්ධයක වැඩෙන අන්තරාය තිබිය දී, අන්ත දක්ෂිනාංශික පක්ෂ සිය බලපෑම වැඩි කර ගන්නා අතර නිල “වාම” පක්ෂ පරාජයෙන් පරාජයට යමින් සිටී.

පෝලන්තයේ ජරොස්ලොව් කසීන්ස්කි සහ හංගේරියාවේ වික්ටර් ඕර්බන්ගේ නැගීම; බ්‍රිතාන්‍යයේ බ්‍රෙක්සිට් ජනමත විචාරනය තුල ආගාමික විරෝධී එක්සත් රාජධානියේ ස්වාධීනතා පක්ෂයෙහි (යූකේඅයිපී) ප‍්‍රධාන ක‍්‍රියාකලාපය; එක්සත් ජනපදය තුල ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ ජයග‍්‍රහනය, ප‍්‍රන්ස ජනාධිපතිවරනයේදී ජාතික පෙරමුන දෙවැනි ස්ථානය දක්වා පැමිනීම, සහ ජර්මනියේ අන්ත දක්ෂිනාංශික ජර්මනිය සඳහා විකල්පය (ඒඑෆ්ඩී) ජර්මානු පාර්ලිමේන්තුවට ඇතුලු වීම මෙම සන්තතියෙහිම කොටසකි.

2016 අගභාගයේදී යුරෝපයේ සාම්ප‍්‍රදායික පාලක පක්ෂ හා මාධ්‍ය පන්ඩිතයෝ ඔස්ට්‍රියානු ජනාධිපතිවරනයේ දී අන්ත දක්ෂිනාංශික ඔස්ට්‍රියානු නිදහස් පක්ෂයේ (එෆ්පී ඕ) අපේක්ෂක නෝබර්ට් හොෆර් පරාජය කොට ඇලෙක්සැන්ඩර් වැන්ඩර් බෙලන් ලැබූ පටු ජයග‍්‍රහනය අන්ත දක්ෂිනාංශිකයන්ගේ නැගීමේ පසුබෑමේ සාක්ෂියක් ලෙස ප‍්‍රශංසාවට ලක් කලහ.

ඒ වෙනුවට, එෆ්පී ඕ, ඉරිදා මහ මැතිවරනයේ දී සැලකිය යුතු ජයග‍්‍රහන වාර්තා කලේ, කොන්සර්වේටිව් ජනතා පක්ෂයට ( ඕවීපී) දෙවැනිව පැමිනෙමිනි. නව ෆැසිස්ට්වාදීහු, කොන්සවේටිව්වරුන් සමග සභාග ආන්ඩුවකට ඇතුලු වීමට සූදානමින් සිටිති. මේ අතර, දක්ෂිනාංශික සංස්ථාපිත පක්ෂ හා නාමික වමේ පක්ෂ සියල්ල එෆ්පී ඕ හි සංක‍්‍රමනික විරෝධී, ස්වෝත්තමවාදී ක‍්‍රියාමාර්ගය පිලිගෙන සිටිති.

බර්ලීනයේ ටැගෙස්පීගෙල් වාර්තා කරන ලෙස එය ඕවීපී හි සෙබස්තියන් කර්ස් මෙම “ක‍්‍රිස්තියානි ඩිමොක‍්‍රටිකයන්ගේ සාම්ප‍්‍රදායික මාවතෙන් අන්ත දක්ෂිනාංශයට හැරීම” මෙහෙයවනු ලැබීය. “කර්ස් සහ දක්ෂිනාංශික ජනතාවාදී එෆ්පී ඕ හි ආස්ථාන ප‍්‍රධාන වශයෙන් වෙනස් වන්නේ විස්තර වලින් පමනකි” යයි පුවත්පත ඊට එකතු කොට ඇත.

නව ෆැසිස්ට්වාදීන් පරදවා ජය ගැනීම සඳහා කොන්සර්වේටිව්වරුන් සමග තරඟ කල ඔස්ට්‍රියාවේ සමාජ ප්‍රජාතන්ත‍්‍රවාදීහු තුන්වන ස්ථානයට පත්ව සිටිති. ඉරිදා මැතිවරනයෙන් පසුව, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ (එස්පී ඕ) ෆෙඩරල් චාන්සලර් ක‍්‍රිස්ටියන් කර්න්, එෆ්පී ඕ සමග හවුල් ආන්ඩුවක් ඉදිරිපත් කිරීමේ සිය පක්ෂ යෝජනාව අලුත් කරන ලදි.

යුරෝපය පුරා අන්ත දක්ෂිනාංශික පක්ෂවල නැගීම සඳහා හේතුව කුමක් ද? පිලිතුර හමු වන්නේ ඔවුනගේ දේශපාලනයට වඩා “වාම” කියාගන්නවුන්ගේ දේශපාලනයේය.

එස්පී ඕව සමාජ ප‍්‍රතිසංස්කරනවල පක්ෂයක් වීම නතර වුනේ බොහෝ කලක සිටය. එය, ඔස්ට්‍රියානු ප‍්‍රාග්ධනයේ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා එහි ජාත්‍යන්තර ප‍්‍රතිමල්ලවයන්ට හා එහි ම කම්කරු පන්තියට එරෙහි ධනේශ්වර, අධිරාජ්‍ය-ගැති පක්ෂයකි. ඔස්ට්‍රියානු දුම්රිය පද්ධතියේ ප‍්‍රධාන විධායක නිලධාරි ලෙස කර්න්, එස්පී ඕහි නායකයා වීමට සහ පසුගිය ගිම්හානයේ චාන්සලර් ධුරය පිලිගැනීමට පෙර යුරෝ 700,000 ක වැටුපක් සහිත ඉහලම ව්‍යාපාරික විධායකයෙකු බවට පත්ව සිටියේ ය.

සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් වෘත්තීය සමිති නිලධරය සමග සමීපව කටයුතු කරමින් සංගත ප‍්‍රභූන්ගේ උපකරනයක් ලෙස ක‍්‍රියාත්මක වන්නේ, රැකියා හා වැටුප් මත එල්ල කරන ප‍්‍රහාරයන්ට එරෙහි සියලු කම්කරු පන්තියේ ප‍්‍රතිරෝධය මර්දනය කිරීම හා යුරෝපීය හා ජාත්‍යන්තර කම්කරු පන්තිය අතර සහයෝගිතාව අවහිර කොට ආර්ථික ජාතිකවාදය ප‍්‍රවර්ධනය කිරීම සඳහා ය. නව ෆැසිස්ට්වාදීන් සමග සහයෝගීත්වය සඳහා එස්පී ඕ හී වෘත්තීය සමිති අන්ඩ පක්ෂය ඇතුලතින් මෙහෙයවූයේය.

ව්‍යාජ-වාම චන්ද්‍රිකා රාශියකින් වටවී සිටින සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් (හා එක්සත් ජනපදයේ ඩිමොක‍්‍රටික් පක්ෂය) 1960 ගනන්වල ශිෂ්‍ය විරෝධතා ව්‍යාපාරය තුලින් මතු වූ හරිතයන් මෙන් ම සැපවත් මධ්‍යම පන්ති සථරයන්ගේ අවශ්‍යතා නියෝජනය කරයි.

කම්කරු ජනතාව වර්ගවාදී හා ෆැසිස්ට්වාදී පිලිවෙත්වලට සහයෝගය දෙන්නේ නැත. ඊට විපරීතව, වමට නැඹුරු දේශපාලන රැඩිකලීකරනයේ, ධනේශ්වර විරෝධී මනෝගතීන්ගේ වර්ධනයක් හා පන්ති අරගලයේ පුනර්ජීවනයක බොහෝ සලකුනු දක්නට ලැබේ. එක්සත් ජනපදයේ මිලියන 13 ක් ජනයා, ප‍්‍රධාන වශයෙන් තරුනයින් හා කම්කරුවන්, පසුගිය වසරේ ඩිමොක‍්‍රටික් ප‍්‍රාථමික මැතිවරනවලදී සමාජවාදී අපේක්ෂකයකු යැයි විශ්වාස කොට බර්නි සැන්ඩර්ස්ට ඡන්දය දුන් අතර එය දුටු පමනින් මෙම දිගු කාලීන කාර්යධරයා ඩිමොක‍්‍රටිකයින් සඳහා ඔහුගේ සහය වෝල් ස්ට්‍රීට් හා සීඅයිඒ අපේක්ෂක හිලරි ක්ලින්ටන් වෙත ලබා දුන්නේ ය.

මැයි මාසයේ දී, යුරෝපීය ගුවන්විදුලි විකාශකයන්ගේ සංගමය විසින් කල මත විමසුමක දී වයස අවුරුදු 18 ත් 35 ත් අතර වයසේ පසුවන ජනතාවගෙන් බහුතරයක් පවතින තත්වාරෝපිතයට එරෙහිව “විශාල පරිමානයේ නැගිටීමක්” සඳහා සහභාගී වනු ඇතැයි කියා තිබේ. මෙම සමීක්ෂනයේ දී තරුනයන් 10 දෙනාගෙන් 9 දෙනෙක් පවසා ඇත්තේ, “බැංකු සහ මුදල් ලෝකය පාලනය කරන්නේය” යන්නට තමන් එකඟ බව හා එබඳුම කොටසක් කියා ඇත්තේ “ධනවතුන් හා දුප්පතුන් අතර පරතරය” පුලුල් වෙමින් තිබෙන බව ය.

දක්ෂිනාංශික මැතිවරන ජයග‍්‍රහනයන් බොහෝ සෙයින් ම “කම්කරු” හා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ කම්කරු පන්තිය හැර යාමේ ප‍්‍රතිඵලයක් වන අතර ඔවුහු දශක ගනනාවක් තිස්සේ යෙදී සිටියේ ධනවාදයට එරෙහි ඕනෑම විරුද්ධත්වයක් හෝ කම්කරු පන්තිය දෙසට කුමන හෝ ආරම්භකත්වයක් හෝ කම්කරු පන්තිය මුහුන දෙන ගැටලු පිලිබඳ උත්සුකය අත්හැර දැමීමෙහි ය. ඒ වෙනුවට, සියලුම වර්ගවල වැඩකරන ජනතාව ජීවන තත්වයන් මත එල්ල වන දරුනු ප‍්‍රහාරයන්ට මුහුන දී සිටිය දී ඔවුහු වාර්ගික සුලුතරයන් හා කාන්තාවන් අතර තුනී වරප‍්‍රසාදිත ප‍්‍රභූ ස්ථරයක් ධනවත් කිරීම සඳහා භාවිතා කෙරෙන වාර්ගික සහ ලිංගික අනන්‍යතා දේශපාලනය ප‍්‍රවර්ධනය කිරීමෙහි යෙදී සිටිති.

එපමනක් නොව, බැංකු හා සංගත විසින් ඉල්ලා සිටින කප්පාදු පිලිවෙත් ක‍්‍රියාවට දැමීම සඳහා මෙම පක්ෂ පූර්න දුෂ්සහායකත්වයේ යෙදී සිටින බව කම්කරුවන් හොඳින් දනී.

සංක‍්‍රමනික විරෝධී හා වර්ගවාදී පිලිවෙත් සඳහා පුලුල් ශ‍්‍රාවකත්වයක් අත්කර ගැනීම සඳහා අන්ත දක්ෂිනාංශික පක්ෂවලට පවතින හැකියාව දේශපාලන සංස්ථාපිතය තුල සමාජ අතෘප්තියට කිසිදු ප‍්‍රගතිශීලී බිහිදොරක් නොමැතිවීමේ ප‍්‍රතිඵලයකි. ව්‍යාජ වමේ සංවිධාන ද ඇතුලු සමස්ත ධනේශ්වර දේශපාලන වර්නාවලිය, අන්ද මන්දව ඉවක් බවක් නැතිව දකුනට තල්ලුවෙද්දී විරුද්ධත්වයක් නොමැතිවීම මගින් අන්ත දක්ෂිනාංශය තව තවත් ශක්තිය අත්කර ගනී.

එස්පී ඕ, වෘත්තීය සමිති හා ව්‍යාජ වම කම්කරු පන්තියේ සමාජ අවශ්‍යතා කෙරෙහි දක්වන උදාසීනත්වය හා සතුරුකම, එහි වාචාල සටන් පාඨ සමග අන්ත දක්ෂිනාංශය මගින් පුරවනු ලබන දේශපාලන රික්තයක් නිර්මානය කර තිබේ. සරනාගත හා මුස්ලිම් ජනතාවට එරෙහි උද්ඝෝෂන සමස්ත ඔස්ට්‍රියානු මැතිවරන ව්‍යපාරය තුල ආධිපත්‍යය දරා තිබුනි. සංස්ථාපිතයේ පක්ෂවලට කිසිදු ප‍්‍රගතිශීලී පිලිතුරක් නැති රැකියා විරහිත භාවය, වැටුප් කප්පාදුව, සෞඛ්‍ය රැකවරන අහිමි කිරීම වැනි සෑම පුරෝකථනීය සමාජ ගැටලුවකටම දඩමීමන් බවට පත්කර ඇත්තේ ඔවුන්වය.

1980 දශකය දක්වා ඔස්ට්‍රියාව සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක ආදර්ශයක් ලෙස පැවැතුනි. පොදු නිවාස, වයස්ගතයන් සඳහා ප‍්‍රතිපාදන සැපයීම වැනි ක්ෂේත‍්‍රවල සමාජ ජයග‍්‍රහන අත්කර ගෙන තිබුනි. නමුත් ඔස්ට්‍රියාවේ බැංකු හා සංගත කම්කරු පන්තියේ වියදමෙන් ගෝලීය වෙලඳපොල තුල තරඟකාරී වීමට උත්සාහ දරන තත්වය තුල මෙම ප‍්‍රහාර එන්න එන්නම උත්සන්න කෙරිනි. නැගෙනහිර යුරෝපයේ ධනේශ්වර පුනස්ථාපනය හා හිටපු ස්ටැලින්වාදී නිලධරයන් ධනපති කතිපයාධිකාරත්වයන් බවට පත්ව පාලනය කරන බදු අඩු ස්ථානවල ලාභ ශ‍්‍රම තටාක නිර්මානය කිරීමත් සමග මෙම ප‍්‍රහාර උසි ගැන්වුනි.

වියානාවට කිලෝ මීටර් 100 ට වඩා අඩු දුරකින් දේශ සීමා පිහිටි හන්ගේරියාවේ සහ ස්ලෝවේකියාවල වැටුප් අනුපාත ඔස්ට්‍රියාවේ මෙන් තුනෙන් එකක් පමන වේ. එෆ්පී ඕ බලකොටු දෙකක් වන බර්ගෙන්ලෑඩ් සහ කැරින්තියා ෆෙඩරල් ප‍්‍රාන්තයන් හංගේරියාව සහ ස්ලෝවීනියාවට මායිම්ව පවතී.

මෙම සමාජ අසමානතාවන් මගින් සමාජ ආතතීන් හා වියවුල් නිර්මානය කර ඇති අතර, බෝල්කන් මාර්ග හරහා 2015 ගිම්හානයේ දී සරනාගතයන් දස දහස් ගනනක් ඔස්ට්‍රියාවට පැමිනීම මගින් එම තත්වය උත්සන්න කෙරිනි. ඔවුහු එක්සත් ජනපදය හා එහි යුරෝපීය සගයන් විසින් යුද්ධ මගින් විනාශ කර දැමූ මැද පෙරදිග විශාල ප‍්‍රදේශ වලින් පලා ආ අය වෙති. මුලදී ඔවුන් වෙත ජනප‍්‍රිය අනුකම්පාවක් ලැබුනි. එහෙත් කොන්සර්වේටිව් හා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීහූ එෆ්පී ඕ හී ආගන්තුක භීතිකාවට ඈඳී සමාජ අසහනය ප‍්‍රතිගාමී දිශානතියකට යා කිරීමේ උත්සාහයක නිරත වූහ.

මිලියන ගනනක් කම්කරුවන් හා තරුනයන් තමන්ගේ සමාජ අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම සඳහා සටන් වැදීමේ මාවතක් සොයමින් සිටිති. අවශ්‍ය වන්නේ සමාජ ප‍්‍රහාරයන්, යුද්ධය හා ආඥාදායකත්වය කරා යන ධාවනයට එරෙහිව සමාජවාදී ඉදිරිදර්ශනයක පදනම මත ප‍්‍රතිරෝධය බලගන්වන කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් ගොඩ නැගීමයි. ඒ සඳහා දේශීයව උපන් හා ඒහා සමානව විදේශීය ආගාමිකයින් සහ සියලු ජාතික හා වාර්ගිකත්වයන් හරහා බෙදා ඇති කම්කරු පන්තිය ඒකාබද්ධ කොට සියලු කම්කරුවන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් කොන්දේසි විරහිතව ආරක්ෂා කිරීමේ පක්ෂයක් ගොඩ නැගීම අවශ්‍ය වේ. මෙම පක්ෂය හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා එහි ජාතික ශාඛා වන, සමාජවාදී සමානතා පක්ෂ වේ.

පීටර් ෂ්වාර්ස්

Share this article: