ඇමරිකාවේ වෙලඳ යුද්ධය තියුනු වෙද්දී චීනය පෙරලා පහර දීමේ සූදානමක

China prepares to strike back as US trade war intensifies

නික් බීම්ස් විසිනි, 2018 අප්‍රේල් 7

චීන භාන්ඩ වලට තවත් ඩොලර් බිලියන 100ක තීරු බදු පනවන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් කරන තර්ජනයට ප‍්‍රතිචාර දක්වමින් චීනය, තමන් වෙලඳ යුද්ධයකට සූදානම් බව පවසයි.

ප‍්‍රශ්නය උග‍්‍ර කිරීමේ යෝජනා ට‍්‍රම්ප් විසින් 5දා නිවේදනය කරනු ලැබුවේ, මේ සතිය තුල ප‍්‍රකාශයට පත්කල, ඩොලර් බිලියන 50ක් විටිනා චීන භාන්ඩ 1333ට බලපාන සැලැස්ම ඔස්සේ ඉදිරියට යන්නේ නම්, ප‍්‍රධාන කොටම කෘෂි නිෂ්පාදන 106ට සීමා පනවන බවට චීනය ගත් තීරනයට ප‍්‍රතිචාර වශයෙනි.

මාධ්‍යවේදීන් සමග හමුවකදී චීන වෙලඳ අමාත්‍යාංශයේ ප‍්‍රකාශක ගා ඕ ෆෙන් 6දා සවස බීජිනයේදී පැවසුවේ, ඇමරිකාවේ පියවර “අන්තිම වැරදි” බවත් චීනය ප‍්‍රති ප‍්‍රහාර සඳහා සූදානම්ව සිටින බවත්ය.

“චීනය බලවත් ප‍්‍රතිප‍්‍රහාරයකට සම්පූර්නයෙන්ම සූදානම්, එයට දෙගිඩියාවක් නැත.” චීන ආන්ඩුව “සවිස්තරාත්මක ප‍්‍රති පියවර” සූදානම් කර ඇති බවත් එය “කිසිම විකල්පයක් බැහැර නොකරන” බවත් ගා ඕ පැවසීය.

එක් විකල්පයක් විය හැක්කේ, චීනය සතුව ඇති ඩොලර් ට්‍රිලියන 1.2ක් වටිනා ඇමරිකානු භාන්ඩාගාර බැඳුම්කර විකුනා දැමීමේ තීරනයයි. ඇමරිකානු බැඳුම්කර සතු ලොකුම විදේශ රට එය වන අතර සැලකිය යුතු විකිනීමක් ඇමරිකානු බැඳුම්කර ප‍්‍රතිලාභ හා පොලී අනුපාත ඉහල නංවමින්, එරට මූල්‍ය වෙලඳපොල බරපතල අර්බුදයකට හෙලනු ඇත.

බොහෝ විශ්වාස කටයුතු, එහෙත් නම හෙලි නොකල අයෙකුගේ ප‍්‍රකාශයක් පදනම් කරගෙන ජනවාරියේදී බ්ලූම්බර්ග් පැවසුවේ, එවන් සැලැස්මක් චීන පාලක කවයන් අතර සැලකිල්ලට ලක්ව ඇති බවයි.

සීඑන්බීසී ව්‍යාපාරික නාලිකාව සමග පැවති හමුවකදී ඇමරිකානු භාන්ඩාගාර ලේකම් ස්ටීවන් මුන්චින් මේ ප‍්‍රශ්නය මතු කලේය. “අප වෙලඳ යුද්ධයකට ඇදී යාමේ අවදානමක් පවතියි.”

ට‍්‍රම්ප් ආන්ඩුවේ බදු කප්පාදුව සඳහා තවත් අරමුදල් සපයා ගත යුතුව ඇති කොන්දේසි යටතේ, ඇමරිකානු නයකර විකුනා දමමින් චීනය ප‍්‍රතික්‍රියා කල හැකිය යන අදහස ඔහු බැහැර කලේය. “මට ඒ ගැන කනස්සල්ලක් නැත, ඇමරිකානු නයකර මිලට ගන්නා බොහෝ දෙනා ලෝකය පුරා සිටිති” යයි ඔහු පැවසීය.

එහෙත් ප‍්‍රශ්නය මතුවීමෙන්ම පෙනෙන්නේ, එවන් පියවරක් ගැනීමේ හැකියාව ගැන චීන මෙන්ම ඇමරිකානු බලධාරීන් අතර ද සැලකිල්ල යොමුව තිබෙන බවයි. එය බරපතල ආර්ථික යුද්ධයක් ඇවිලවිය හැකිය.

ආරම්භක තීරුබදු පියවර නිවේදනය කිරීමේ තැන් පටන් ඇමරිකානු පාලනය, වෙලඳපොලවල් සැනසීමට උත්සාහ කරමින්, එකඟතාවක් ඇතිකර ගැනීමට චීනය සමඟ සාකච්ඡා හා රැස්වීම් පැවැත්වෙන බවත්, තීරුබදු පැනවීම, පසුව ජය ලැබීමේ අපේක්ෂාවෙන් මුලදී පාඩු විඳීමේ ආරම්භක පියවරක් බවත්, විශේෂයෙන්ම ජනාධිපති ට‍්‍රම්ප්ගේ ආර්ථික උපදේශක ලැරී ලුඩ්ලොව් විසින් සහතික කරනු ලැබීය.

එහෙත් එම උපාය 5දා ට‍්‍රම්ප් කල නිවේදනයෙන් කුඩුවී ගියේය. ඔහු ඇමරිකානු වෙලඳ නියෝජිත රොබට් ලයිට්හයිසර්ගෙන් ඉල්ලා සිටියේ, ඩොලර් බිලියන 100ක් වන චීන භාන්ඩ සඳහා තීරුබදු පැනවීම ගැන සලකා බලන ලෙසය.

දිනයේ සමහර අවස්ථාවල ඒකක 800ත් වඩා පහල වැටුනු ඩව් ජෝන්ස් කොටස් මිල දර්ශකය, ඒකක 572ක පහල අගයක් සලකුනු කිරීමත් සමග සිකුරාදා වෝල් වීදිය තියුනු ලෙස පහත වැටුනි. ට‍්‍රම්ප් 5දා පැවසුවේ ආරම්භයේදී “සුලු වේදනාවක්” ඇතිවිය හැකි නමුත් “අවසානයේදී අපි වඩාත් ශක්තිමත් රටක් බිහි කරන්නෙමු, මම පෙනී සිටින්නේ ඒ වෙනුවෙන්ය” යනුවෙනි.

සාකච්ඡා වට පැවැත්වෙන බව කියන සහතික වීමේ ව්‍යාපාරයට, ඇමරිකානු වෙලඳපොලවල් තුල උන්මාදයක් ඇතිවීම වැලැක්විය හැක්කේ කොතෙක් දුරට දැයි ඉදිරියේදී දැකගත හැකිය. එහෙත් චීන බලධාරීන් පවසන්නේ, ඇමරිකානු ආන්ඩුවේ නියෝජිතයින් සමග කිසිදු සාකච්ඡාවක් පැවැත්වෙන්නේ නැති බවයි.

චීන වෙලඳ අමාත්‍යාංශයේ ප‍්‍රකාශකයා “එවන් කිසිදු සාකච්ඡාවක් මේවන විට පැවැත්වෙන්නේ නැතැයි” ද එය මුසාවක් යයි ද පැවසීය. පවතින තත්වය යටතේ, “දෙපාර්ශවය කිසියම්ම හෝ සාකච්ඡාවකට එලඹීම සිදුවිය නොහැකි” බව ඔහු පැවසීය.

වෙලඳපොලවල් අස්වැසීමේ ව්‍යාපාරයෙහි නායකයා වන කුඩ්ලොව්ට පවා පිලිගැනීමට සිදුවුනේ, චීනය සමග බැරෑරුම් සාකච්ඡාවක් “මෙතෙක් ආරම්භවී නැති” බවයි. ඔහු බ්ලූම්බර්ග් වෙත පැවසුවේ, කුමන සාකච්ඡාවන් සිදු වුව ද ඒවා “සතුටුදායක නොවනු” ඇති බවයි.

ඇමරිකාවනු වෙලඳ යුද්ධයේ පිටුපස ඇති බලවේග ගැන සලකන කල උපාමාරු දැමීමේ ඉඩකඩ ඉතා අඩුය. චීනය සමග වන ඇමරිකාවේ වෙලඳ හිඟය ඩොලර් බිලියන 375ක් බව පෙන්වා දෙමින් ට‍්‍රම්ප්, බලහත්කාරී තාක්ෂනික මාරුකිරීම් හා අනෙකුත් ක‍්‍රම තුලින් බීජිනය ඇමරිකානු තාක්ෂනය සොරකම් කරන බවට දොස් පැවරීය.

දෙකින් වඩා මූලික ප‍්‍රශ්නය දෙවැන්නයි. රොබෝ තාක්ෂනය, කෘතීම බුද්ධි තොරතුරු, සන්නිවේදනය හා ඖෂධ විද්‍යාව වැනි අංශවලින් චීනය ප‍්‍රමුඛස්ථානයට පත් කිරීමට උත්සාහ කරන සීජින්පින් තන්ත‍්‍රයේ “2025දී චීනයේ නිෂ්පාදිත” පිලිවෙත, ඇමරිකානු පාලනයේ ප‍්‍රමුඛ උත්සුකය වී ඇත. මෙය ඇමරිකාවේ ආර්ථික හා මිලිටරි ආධිපත්‍යයට සෘජු තර්ජනයක් ලෙස සලකනු ලැබේ.

මෙම සලකා බැලීම්වල හරි මැද සිටිමින් ධවල මන්ඳිරයේ වානිජ්‍ය උපදේශක පීටර් නවාරෝ සමග එක්ව ලයිට්හයිසර්, වෙලඳ යුද්ධ පිලිවෙතේ ප‍්‍රධාන නියමුවන්ව සිටිති. 4දා පැවති ගුවන් විදුලි වැඩසටහනකදී ඔහු පැවසුවේ, “ඔවුන් (චීනය) අපගෙන් සොරාගෙන නවීන අධි තාක්ෂනික පදනමක් සකසා ගතහොත්, අපගේ ආර්ථිකය හා අපගේ ජාතික ආරක්ෂාවේ අර්ථයෙන් අපේ රටට අනාගතයක් නොතිබෙනු ඇත” යනුවෙනි.

6දා පැවති හමුවකදී නවාරෝ, ඇමරිකාවේ මැරවර ස්වභාවයේ කටයුතු වලට හඬක් මුසු කලේය. අපරාධ කල්ලි නායකයාගේ වචන සිහිගන්වමින් ඔහු පැවසුවේ, ට‍්‍රම්ප්ට චීන ජනාධිපති සීජින්පින් සමග “විශිෂ්ඨ බැඳීමක්” ඇති බවය. “එහෙත් මේවා ව්‍යාපාරික කටයුතුය. චීනයේ අසාධාරන වෙලඳ භාවිතාවන්ට එරෙහිව අප කෙලින් සිටිය යුතු වර්ගයේ ව්‍යාපාරයකි මෙය.”

වෙලඳ යුද්ධය දිග හැරෙමින් පැතිර යද්දී, දෙපාර්ශවයම ගෝලීය කරලිය තුල මිතුරන් සෙවීමට උත්සාහ කරති. අවධානය බෙහෙවින් යොමුව ඇත්තේ යුරෝපයට හා යුරෝපීය සංගමය වෙතටය. බ්ලූම්බර්ග්හිදී නැගුන ප‍්‍රශ්නයකට පිලිතුරු ලෙස යුරෝවේ චීන දූත මන්ඩලයේ ප‍්‍රධානී සාන් මින් පැවසුවේ, චීනය හා යුරෝ සංගමය, ආරක්ෂනවාදයට එරෙහිවත්, බහුපාර්ශවීය වෙලඳ ප‍්‍රතිපත්ති මත පදනම්වූ රෙගුලාසි අනුගමනය කිරීමට සෑම අයෙකු සමගම වැඩ කිරීමේ අවශ්‍යතාවත් මුල්කරගෙන කටයුතු කල යුතු බවයි. ඇමරිකානු පිලිවෙත ලෝක වෙලඳ සංවිධානයේ ප‍්‍රධාන මූලධර්මයන්ට මුලුමනින්ම පටහැනි” වන බව ඔහු පැවසීය.

චීනය හා යුරෝ සංගමය “ආරක්ෂනවාදයට සපුරා වෙනස් ආස්ථානයක් මත පිහිටා කටයුතු කල යුතුය. එසේම බහු පාර්ශවික වෙලඳ පර්යායක් මත පදනම්ව ඇති රෙගුලාසි මත කටයුතු කිරීමේ අවශ්‍යතාව පවතියි.” ඇමරිකාවේ කටයුතු “ලෝක වෙලඳ සංවිධානයේ මූලධර්ම වලට මුලුමනින්ම පටහැනිව” යන්නේ යයි ඔහු පැවසීය.

ලෝවෙසං මුල්කරගෙන චීනය ඇමරිකාවට එරෙහිව දියත් කර තිබෙන ව්‍යාපාරය, ඇමරිකානු ආන්ඩුවට කිසිදු බලපෑමක් ඇති නොකරයි. මන් ද යත්, වත්මන් තත්වය හා ලොවෙසංමත්, ඇමරිකාවේ වෙලඳ හිඟයට දායකවී ඇති මූලික සාධක වන නිසාය. එරට සලකන්නේ බුද්ධිමය දේපොල පිලිබඳ මූලික ප‍්‍රශ්නය පොරබැදීමට ලෝවෙසං ආකෘතිය ප‍්‍රමානවත් නැති බවය.

තමන්ගේ පැත්තෙන් ඇමරිකාව උත්සාහ කරන්නේ, 1962 “ජාතික ආරක්ෂාව” යන වගන්තිය යොදාගෙන ඇලුමිනියම් හා වානේ වලට මාර්තු 1දා පනවන ලද තීරු බදු මගින් යුරෝපය චීනයට එරෙහිව පෙලගස්වා ගැනීමටය. යුරෝපීය නිෂ්පාදන වලට එරෙහිව පනවන ලද තීරුබදු මැයි 1දා දක්වා අත්හිටුවා තිබේ. ඒ අතරතුර පැවැත්වෙන සාකච්ඡා වලදී, බදු නොපැනවීමේ වන්දිය, චීනයට එරෙහි කටයුතු වලට යුරෝ සංගමයේ සහාය බව ඇමරිකාව පැහැදිලිවම ප‍්‍රකාශ කර ඇත.

ඇමරිකානු පියවරයන්හි යුදවාදී ස්වභාවය, මේ සතිය මුල කුඩ්ලෝව් කල ප‍්‍රකාශ තුලින් ගම්‍යවේ. 2003 වසරේ ඇමරිකාව ඉරාකය ආක‍්‍රමනය කිරීමේදී යොදාගත් පුරසාරම යලි සිහිගන්වමින් ඔහු, චීනයට එරෙහි පියවර වෙනුවෙන් “කැමැත්තෙන් ඇතිකර ගන්නා වෙලඳ හවුලක්” කැඳවුම් කලේය.

ට‍්‍රම්ප් ආන්ඩුවේ කටයුතු මෙන්ම පුරසාරම් ද ඇඟවුම් කරන්නේ, පියවර හා ප‍්‍රති පියවර කුමක් වුවත්, අති මූලික ප‍්‍රශ්නයක් පරදුවට තැබී ඇති බවයි. එය ධනපති ආර්ථිකයේ හා දේශපාලනයේ ආකෘතිය තුල විසඳිය නොහැක.

ඇමරිකාව සලකන්නේ, චීනයේ ආර්ථික වර්ධනයත් එහි ක්‍රියාපටිපාටියත් තුලින් අධි තාක්ෂනික වර්ධනය තුලට කඩා වැදීම, අභිමුඛවී ඇති තර්ජනයක් ලෙසය. එය දැනටමත් ආර්ථික බලවතෙක් ලෙස එහි ප‍්‍රමුඛත්වය හීනකර ඇතුවාක් මෙන්ම මිලිටරි සුපිරි බලයට ද වල කපනු ඇති බව ඇමරිකාව සැලකිල්ලට ගනී. එය වැලැක්වීම පිනිස ගත හැකි සියලු පියවර ගැනීමට ඇමරිකාව අදිටන් කරගෙන සිටී. එය 1930 ගනන්වල මහා ආර්ථික අවපාතයෙන් මෙපිට අත් නොදුටු තරමේ ආර්ථික ව්‍යසනයකට ලෝකය ඇද දැමීමට තර්ජනය කරන අතරම අවශ්‍ය නම් ලෝක යුද්ධයකට පවා සූදානම් බව පෙන්නුම් කරයි.

Share this article: