ඉන්දියාවේ බීජේපී ආන්ඩුව ලමා දූෂනය සඳහා මරන දඬුවම පනවයි

India’s BJP government imposes death penalty for child rape

වසන්ත රූපසිංහ විසිනි, 2018 අප්‍රේල් 24

ඉන්දියාවේ හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂය (බීජේපී) ආන්ඩුව, වයස අවුරුදු 12 හෝ ඊට අඩු ලමුන් දූෂනය කිරීම හෝ ඊට සහභාගි වූ බව ඔප්පු වන්නේ නම් ඔවුන්ට එරෙහි ව මරන දඬුවම ද ඇතුලු දැඩි දඬුවම් පැනවීමේ ආඥා පනතක් පසුගිය සති අන්තයේ පැනවී ය.

“2018 අපරාධ නීති (සංශෝධන) ආඥා පනත”, ඉන්දියාවේ එකම මුස්ලිම් බහුතරයක් වෙසෙන ප‍්‍රාන්තය වන ජම්මු කාෂ්මීරයේ බීජ්පී නායකයන් අට හැවිරිදි අසීෆා බානෝ යන මුස්ලිම් දැරිය කෲර ලෙස සමූහ දූෂනයට ලක් කර මරා දැමීමට සහභාගි වූවන් ආවරනය කිරීමේදී ඉටු කල භූමිකාවෙන් අවධානය ඉවතට යොමුකිරීම සඳහා ගත් නරුම හා පැහැදිලි උත්සාහයකි.

දැන් බලධාරීන් පිලිගන්නා පරිදි, පසුගිය ජනවාරියේ අසීෆා බානෝ දූෂනය කර මරා දැමීම, බානෝ අයත් වූ අතිශයින් දුප්පත් හා අර්ධ-එඬේර බක්කාර්වාල් ප‍්‍රජාව වෙත එල්ල වූ වාර්ගික අභිප්‍රේරනයන් සහිත අපරාධයකි. චූදිතයන් ඉලක්ක කලේ, දශක ගනනාවක් නො වේ නම් ඊටත් වැඩි කලක් තිස්සේ අවුරුද්දෙන් වැඩි කාලයක් තම එලුවන්, බැටලුවන් හා අශ්වයන්ට තන උලා කෑමට යොදාගත්, හින්දු බහුතරයක් වෙසෙන කතුවා දිස්ත‍්‍රික්කයෙන් බක්කාර්වාල්වරුන් බියගන්වා පලවා හැරීම යි.

අගමැති නරේන්ද්‍ර මෝදි හා ඔහුගේ බීජ්පී ආන්ඩුව, මෙම ආඥා පනත හරහා බානෝගේ කෲර ඉරනම හා මෑත කාලීන තවත් ලිංගික ප‍්‍රචන්ඩත්වයන් කිහිපයක් කෙරෙහි පලවන මහජන පිලිකුල, ඔවුන්ගේ ප‍්‍රතිගාමී නීතිය හා සාමය පිලිබඳ න්‍යාය පත‍්‍රය පෙරට දැමීම සඳහා ගසාකෑමට අපේක්ෂා කරති. “ඉන්දීය දියනියන් ආරක්ෂා කිරීමේ” නාමයෙන් බීජ්පී ආන්ඩුව කරමින් සිටින්නේ, රාජ්‍යයේ මර්දන හස්තය තව තවත් පුලුල් කිරීම හා “සාධාරනය” රාජ්‍ය ප‍්‍රචන්ඩත්වයට සමාන කිරීම මගින්, දේශපාලන වටාපිටාව වැඩිදුරටත් ව්‍යාකූල කිරීම යි.

අසීෆා බානෝ පැහැරගැනීම, පිට පිට දූෂනය කිරීම හා සතියක් පුරා වධ දීමෙන් ඉක්බිති මරා දැමීම ගැන හින්දු කෝවිලක භාරකාරු හා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද ඇතුලු පුද්ගලයන් හය දෙනෙකුට, ජම්මු කාෂ්මීර පොලීසිය විසින් චෝදනා එල්ල කර ඇත. සාක්ෂි විනාශ කිරීම හා වෙනත් ආකාරවලින් චූදිතයන්ට රැකවල් දීම ගැන මුල දී සිද්ධිය විමර්ශනය කිරීම බාර කල තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ද චෝදනා එල්ල වේ.

කතුවා දූෂනයේ චූදිතයන්ගේ ආරක්ෂාව සඳහා ජම්මු කාෂ්මීර බීජේපී නායකයන්, වාර්ගිකව අභිප්‍රේරිත උද්ඝෝෂනයක් දියත් කර ඇත. පොලිස් විමර්ශන කන්ඩායමේ මුස්ලිම් නිලධාරීන් සිටින නිසා එය “පක්ෂපාතී” යයි ප‍්‍රකාශ කරමින් ද සිද්ධිය බීජ්පී මධ්‍යම ආන්ඩුවේ පාලනය යටතේ පවතින මධ්‍යම විමර්ශන කාර්යාංශයට පවරන ලෙස බලකරමින් ද ඔවුන් රැස්වීම් හා විරෝධතා සංවිධානය කර තිබේ.

බීජේපීයේ කටයුතු, සමස්ත-ඉන්දීය උද්ඝෝෂනයක් හා අර්බුදයට ලක් ව පවතින කාෂ්මීර නිම්නය මත නව දිල්ලියේ අස්ථාවර පාලනයට වල කපතැයි ඉන්දියානු පාලක කවයන් තුල සැක සාංකා අවුලුවාලීමෙන් ඉක්බිතිව, බීජේපී කටයුතු වලට සම්බන්ධ එහි ඉදිරිපෙලේ ම සිටි නායකයන් දෙදෙනාට එරෙහි ව එහි ජාතික නායකත්වය විසින් පියවර ගනු ලැබී ය. කාෂ්මීර මුස්ලිම්වරුන් අතර පදනමක් ඇති ජනතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ ප‍්‍රාන්ත ආන්ඩුවේ කනිෂ්ඨ හවුල්කරු ලෙස බීජේපීය සේවය කරන ජම්මු කාෂ්මීර ප‍්‍රාන්ත ආන්ඩුවේ කැබිනට් ඇමති ධුරවලින් ඉල්ලා අස්වීමට ඔවුන් දෙදෙනාට බල කෙරුනි.

පසුගිය සතියේ ආඥා පනත වනාහි දේශපාලන හානිය පාලනය කරගැනීමේ වැඩිදුර උත්සාහයකි.

එය අනුමත කරන ලද්දේ පසුගිය සෙනසුරාදා (අප්‍රේල් 21) පැවෙ“හදිසි” රැස්වීමක් යයි කියන ලද රැස්වීමේ දී ය. “ක්ෂනික පියවර ගැනීම” සඳහා ආන්ඩුවට “අවශ්‍ය තරම් හේතූන් පවතින බවට තමන් සෑහීමට පත් වූ” බව කියමින්, තවත් හිටපු බීජේපී ව්‍යවස්ථාදායක නියෝජිතයෙක් වන ඉන්දීය ජනාධිපති රාම් කෝවින්ද් ඊ ලඟ දිනයේ ආඥා පනත නීතියක් බවට පත්කරමින් අත්සන් තැබී ය.

ආඥා පනත් වනාහි, පාර්ලිමේන්තුව රැස් නො වන කාලයන් තුල රටෙහි නීතිය යලි ලිවීමට බලයේ සිටින ආන්ඩුවට ඉන්දීය විධායකයේ ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී බලතල යොදාගැනීමට හැකියාව ලබා දෙන, හිතුමතේ සකස් කරන ඒවා ය. එවැනි නීති ස්ථීර ලෙස බලාත්මක වීමට පාර්ලිමේන්තුව යලි රැස්වීමෙන් සති හයක් තුල අනුමත කල යුතු ය.

පසුගිය සති අන්තයේ ආඥා පනත මගින් ඉන්දීය දන්ඩනීති සංග‍්‍රහය, සාක්ෂි පනත, අපරාධ විධිවිධාන සංග‍්‍රහය හා (2012) ලිංගික අපරාධවලින් ලමුන් ආරක්ෂා කිරීමේ පනත යන ඒවා සංශෝධනය කෙරේ.

වයස 12 හෝ ඊට අඩු දරුවෙකු දූෂනය කිරීමට වරදකරු වන පුද්ගලයන්ට මරන දන්ඩනය පැනවීම හෝ අවම වසයෙන් වසර 20ක සිර දඬුවමක් නියම කිරීමට උසාවියට මෙම ආඥා පනත මගින් බලය ලබා දෙයි. වයස 12 හෝ ඊට අඩු අයෙකු සමූහ දූෂනයට සහභාගි වන අය එල්ලා මරා දැමීමට නියමිත අතර නැත්නම් අවම වසයෙන් “ජීවිතාන්තය” දක්වා සිරගත කරනු ඇත.

වයස 13 සිට 15 දක්වා වන ලමුන් දූෂනය කර වරදකරුවන් වන අයගේ අවම දඬුවම වසර 10 සිට 20 දක්වා වැඩි කර ඇති අතර ඒ සඳහා උපරිම දඬුවම “ජීවිතාන්තය” දක්වා සිරගත කිරීමයි. අනෙකුත් සියලු දූෂන සඳහා අවම දඬුවම වසර 7 සිට 10 දක්වාත්, උපරිම දඬුවම ජීවිතාන්තය දක්වා සිර ගත කිරීමය.

මෙම නෛතික වෙනස්කම්වලට අමතර ව ආයතනික පියවරයන් ගනනාවක් ද කැබිනට් මන්ඩලය විසින් අනුමත කලේ ය. ඒවා අතරට, ප‍්‍රාන්ත හා ඉහල උසාවිවලින් විමසා දූෂන නඩු විභාග කිරීම සඳහා අධිවේගී උසාවි පිහිටුවීම, අමතර රාජ්‍ය චෝදකයන් කුලියට ගැනීම හා සියලු පොලිස් ස්ථාන හා රෝහල්වලට දූෂන සිද්ධිවල දී භාවිතා කිරීමට විශේෂ අධිකරන වෛද්‍ය ඇඳුම් සම්පාදනය කිරීම අයත් වේ.

මෙම පියවරයන් මගින් දූෂනයට ලක්වන්නන්ට සාධාරනය ඉෂ්ට වේ යයි කිසිවෙකු අංශුමාත‍්‍ර මිථ්‍යාවක් වත් තබා නො ගත යුතු ය.

ඉන්දියානු පොලීසිය දූෂනය, අකාර්යක්ෂමතාව, වධ බන්ධන හෝ ව්‍යාජ-එදිරිවාදී ඝාතන හා අවසන් වසයෙන් සඳහන් කල ද වැදගත්කමින් නො අඩු දේශපාලන ප‍්‍රධානීන්, මහ ව්‍යාපාරිකය හා ධනවතුන් කෙරෙහි වන පක්ෂපාතීත්වය ගැන කුප‍්‍රකට ය.

උසාවිවල තත්ත්වය ඊටත් අන්ත ය. ඔවුන් කරන්නේ දුප්පතුන් හා පීඩිතයන් සඳහා එක් නීතියක් ද ධනවතුන් හා බලවතුන් සඳහා තවත් නීතියක් ද පවතින පද්ධතියකට තරමක් පැහැගැන්වුනු ඔපදැමීමක් සම්පාදනය කිරීම ය.

අනෙක් ආයතන මෙන් ඉන්දියාවේ නීති පද්ධතිය ද වඩ වඩා වාර්ගිකකරනය වෙමින් තිබේ. 1984 දිල්ලියේ සීක්-විරෝධී කැරලිවල සිට 1992 බබ්රි මස්ජිඞ් පල්ලිය සමතලා කිරීම හා 2002 ගුජරාටයේ මුස්ලිම්-විරෝධී කෝලාහල දක්වා වන ගනන් නැති වාර්ගික අපරාධවල පිටුපසින් සිටි බීජේපී, ෂිව් සේනා හා කොංග‍්‍රස් පක්ෂ නායකයන් දඬුවම් නො ලබා බේරී ඇත. 2002 කෝලාහලයේ දී මුස්ලිම්වරුන්ට පහරදීම් ඇවිලවීම පිලිබඳ හොඳින් ලේඛනගත භූමිකාවක් තිබුනු ගුජරාට බීජේපී ඇමතිනී මායා කොද්නානි, ඉහල උසාවිය විසින් වරදින් නිදහස් කලේ යන්තම් ගිය සතියේ ය.

බෝම්බ ප‍්‍රහාර හා අනෙකුත් ත‍්‍රස්තවාදී ප‍්‍රහාර සිදුකිරීම ගැන හින්දු වර්ගවාදීන්ට චෝදනා එල්ල කිරීම හෙවත් විවිධ “කහපැහැ ත‍්‍රස්ත ක‍්‍රියා” පිලිබඳ නඩු, වසර ගනනාවක් උසාවි තුල පල්වෙමින් තිබී එකකට පසු තවෙකක් වසයෙන් “සාක්ෂි නැති නිසා” බීජේපීය හඬනගා කියන පරිදි, විසඳී තිබේ.

මෝදිගේ දූෂන ආඥා පනත ගැන දේශපාලන සංස්ථාපිතය අදහස් දක්වන ප‍්‍රමානයට, ඒවා වඩ වඩාත් පක්ෂග‍්‍රාහී වී ඇත.

පන්ජාබයේ කොංග‍්‍රස් පක්ෂ මහ ඇමති අමරින්දර් සිං සිය ට්විටර් ගිනුමේ මෙසේ සඳහන් කලේ ය: “කුඩා දරුවන් දූෂනය කරන සියල්ලන්ට මරන දඬුවම පැනවීම වෙනුවෙන් මම පෙනී සිටිමි. එවැනි මිනිසුන්ට අනුකම්පාවක් නො ලැබිය යුතු අතර අද දින මධ්‍යම ආන්ඩුවේ කැබිනට්ටුව සම්මත කල ආඥා පනත මම සාදරයෙන් පිලිගනිමි. හදිසි අවශ්‍යතාව වන්නේ අනෙකුන්ට ආදර්ශයක් වන හා ඔවුන් වලකාලන දඬුවම් ය.”

මරන දඬුවම වසර 10ක් ම පාහේ තාවකාලික ව අත්හිටුවා තිබී මාස තුනක කාල පරාසයක් ඇතුලත- 2012 නොවැම්බර් හා 2013 පෙබරවාරි අතරතුර- දෙදෙනකු මරාදැමීමට නියම කරමින් මරන දඬුවම යලි ඇරඹුවේ කොංග‍්‍රස් පක්ෂය බව සඳහන් කල මනා ය.

2001 දෙසැම්බරයේ ඉන්දියානු පාර්ලිමේන්තුවට ත‍්‍රස්තවාදී ප‍්‍රහාර එල්ල කිරීම පිලිබඳ ගොතන ලද බොරු චෝදනා යටතේ දඬුවමට ලක් කල කාෂ්මීර මුස්ලිම් ජාතික අස්ෆාල් ගුරුට දඬුවම් කිරීමේදී ගනන් බැලුවේ, එවක කොංග‍්‍රස් පක්ෂය නායකත්වය දුන් එක්සත් ප‍්‍රගතිශීලී සන්ධාන ආන්ඩුව අනුකම්පා විරහිත ලෙස ක‍්‍රියාකිරීමට සූදානම් බව ප‍්‍රදර්ශනය කිරීම යි. මහජන විරෝධතා හා මරන දඬුවම වලක්වන ලෙස අන්තිම මොහොතේ උසාවියට කරන ඉල්ලීම් වැලැක්වීමට, ආන්ඩුව එම මරන දඬුවම රහසේ ක‍්‍රියාත්මක කලේ ය. (බලන්න: අනීතික දන්ඩනයක්: ඉන්දියානු ආන්ඩුව අෆ්සාල් ගුරුට මරන දඬුවම පමුනුවයි)

සිවිල් අයිතිවාසිකම් සංවිධාන, සමහර කාන්තා අයිතිවාසිකම් පිලිබඳ කන්ඩායම් හා දිල්ලි ඉහල උසාවිය විසින් පවා නව ආඥා පනත විවේචනය කර ඇත.

“ආඥා පනත සම්මත කිරීමට පෙර කිසිදු විද්‍යාත්මක තක්සේරුවක් හෝ අධ්‍යයනයක් කලේදැයි” දිල්ලියේ ඉහල උසාවියේ විනිසුරුවරුන් දෙදෙනෙකුගෙන් සමන්විත මඩුල්ලක් හෝ ජූරියක් විසින් ආන්ඩුවෙන් අප්‍රේල් 23දා විමසී ය. ලිංගික ප‍්‍රචන්ඩත්වයේ “මූලික හේතු විමසීමක්: හෝ ‘මිනිසුන් අධ්‍යාපනගත කිරීමක්‘ ගැන ආන්ඩුව සිතාබලා වත් නැති බව සඳහන් කල විනිසුරුවරු, බොහෝ දූෂන අපරාධකරුවන් පවා වයස 18ට අඩු අය හෝ පවුලේ සාමාජිකයන් වන බව ආඥා පනත විසින් සැලකිල්ලට ගෙන නැති බව කියා සිටිය හ.

ප‍්‍රමුඛ පෙලේ දිල්ලි සිවිල් අයිතිවාසිකම් නීතිඥ හා මරන දන්ඩනයට දැඩිසේ විරුද්ධව පෙනී සිටින ව්රින්දා ග්‍රෝවර්, දූෂකයන් මත පනවන නව දරුනු අවම දඬුවම් හා වියහැකි මරන දඬුවම, අපරාධයට ලක් වූවන් ඉදිරියට පැමිනීමෙන් වැලැක්වීමට ඉඩ ඇතැයි අනතුරු ඇඟවූවා ය. “අපරාධකරුවා පවුලේ අයෙක් හෝ දන්නා හඳුනන අයෙක් වන විට ලිංගික ප‍්‍රහාරයට ලක් වූ අය මරන දඬුවම හේතුවෙන් වාර්තා කිරීමෙන් වැලකෙන්නට පුලුවන. මෙමගින් අපරාධය යටගැසීම හා අපරාධයට ලක් වූ අය මුලුමනින් ම පිලිසරනක් නැති තත්ත්වයට පත් කරනු ඇත.”

මරන දඬුවම පනවනු ලබන්නේ “ආර්ථික හා සමාජ පරාමිතීන් අනුව ගොදුරු බවට පත්වීමට ඉඩ ඇති පුද්ගලයන් මත ප‍්‍රතිලෝම වසයෙන්” යයි සඳහන් කරමින් දිල්ලියේ ජාතික නීති විශ්ව විද්‍යාලය පලකල වාර්තාවක් ඉන්දියන් එක්ස්ප‍්‍රස් වාර්තාකාරිනී ශාලිනී නායර් විසින් උපුටා දැක්වූවා ය. දැනට ඉන්දියාවේ මරන දඬුවම නියම කොට සිටින සිරකරුවන් 385 දෙනාගෙන් 373 දෙනෙකු යොදාගෙන කල සම්මුඛ සාකච්ඡා මත පදනම් වන වාර්තාව, ඔවුන්ගෙන් සියයට 23ක් කිසිදා පාසල් නො ගිය අය බව, සියයට 9.1ක් ප‍්‍රාථමික අධ්‍යාපනය හමාර කර නැති බව හා සියයට 61.6ක් ද්විතීයක අධ්‍යාපනය හමාර කර නැති බව සොයාගත්තේ ය. මරන දඬුවම නියම කල අයගෙන් හතරෙන් තුනකටත් වැඩි දෙනෙක් (දලිත් හෝ අනෙකුත් සාම්ප‍්‍රදායික කුලහීන කන්ඩායම්වලට අයත්) හෝ ආගමික සුලුතරයන්ට අයත් “පසුගාමී පන්තීන්ට” අයත් අය බව වාර්තාව වැඩිදුරටත් පෙන්නුම් කලේ ය.

කතුවරයා නිර්දේශ කරන තවත් ලිපි:

කාෂ්මීර මුස්ලිම් දැරිය දූෂනය කර මරා දැමීම ආවරනය කරන බීජේපී නායකයන් කෙරෙහි ඉන්දියාව පුරා කෝපය පලවේ

Share this article: