වෘත්තීය සමිති නිලධරය අනධ්‍යන කම්කරු වර්ජනය පාවා දෙයි

පානි විජේසිරිවර්ධන විසිනි, 2018 අප්‍රේල් 14

සේවයට වාර්තා කිරීමේ අවසන් දිනයක් නිවේදනය කරමින් ආන්ඩුව කල තර්ජනයට යටත් වෙමින් විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව දින 44 ක් අඛන්ඩව පැවති අනධ්‍යන සේවක වර්ජනය අප්‍රේල් 13 වන දා අවසන් කලේය.

වැඩි වැටුප්, සෞඛ්‍ය රක්ෂනයක් සහ විශ‍්‍රාම වැටුපක් ඇතුලු ඉල්ලීම් කීපයක් මත පෙබරවාරි 28 දා ආරම්භ කල විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන්ගේ වර්ජනයට දිවයින පුරා විශ්ව විද්‍යාල සහ ඊට අනුබද්ධ ආයතනයන්හි 15,000 කට අධික සේවක පිරිසක් සහභාගි වී සිටියහ.

ඒකාබද්ධ කමිටුවේ සමසභාපති එඩ්වඩ් මල්වත්තගේ මාධ්‍යයට ප‍්‍රකාශ කර තිබුනේ, සියයට 10 ක වැටුප් වැඩි කරීම අනුමත කෙරුනු චක‍්‍රලේඛයක් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව (යූජීසී) විසින් නිකුත් කල බැවින් වර්ජනය නවතා, අප්‍රේල් 17 වන දා සිට සේවයට වාර්තා කිරීමට තීන්දු කල බවයි. අනෙක් ඉල්ලීම් වන, භාෂා ප‍්‍රවීනතා දීමනාවක්, සෞඛ්‍ය රක්ෂනයක්, විශ‍්‍රාම වැටුපක් සහ සහනදායී නය ක‍්‍රමයක් පිලිබඳව සොයා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට උසස් අධ්‍යාපන ආමාත්‍යවරයා විසින් බලධාරීන් ට උපදෙස් දී ඇති බවද මල්වත්තගේ මාධ්‍යය ට පවසා ඇත.

වර්ජනයේ යෙදුනු කම්කරුවන් ඉල්ලා සිටියේ සියයට 35 ක වැටුප් වැඩි කිරීමක් වන නමුදු සමිති නිලධරය එය සියයට 10 ක් දක්වා කප්පාදු කිරීමට එකඟව ඇතිවා පමනක් නොව, සෞඛ්‍ය රක්ෂනයක් සහ විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් සඳහා වූ අනෙක් ප‍්‍රධානතම ඉල්ලීම් දෙක, අනාගතයේදී පත් කිරීමට නියමිත ඊනියා කමිටුවකට යටත් කොට අත් හැර දමා ඇත. කම්කරුවන්ගේ මෙම දැවෙන ඉල්ලීම් සම්බන්ධයෙන් ඒකාබද්ධ කමිටුව මුලසිටම දැක්වූයේ අල්ප අවධානයකි.

එපමනක් නොව, වසරකට සියයට 20 බැගින් වූ වැටුප් වැඩි කිරීම් මගින් 2020 වන විට 2015 තිබූ මූලික වැටුපට සමාන මාසික හිලව් දීමනාවක් ලබාදෙන බවට, 2016 දී උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධ කමිටුව සමග ඇතිකරගත් ගිවිසුම අහෝසි කල බවට එම අමාත්‍යංශය අප්‍රේල් 9 වන දා නිකුත් කරන ලද නිවේදනයට සමිති නිලධරය මුලුමනින්ම අනුගත වී ඇත.

මේ අර්ථයෙන් ගත් කල සමිති නිලධරය වර්ජනය අවසන් කර ඇත්තේ, රාජ්‍ය මර්දනය සහ නිලධරයේ පසුපසට ඇදීම් නොතකා අධිෂ්ඨානවත් අරගලයක නියැලී සිටි අනධ්‍යන කම්කරුවන්ගේ ඉල්ලීම් සියල්ලම පාවා දෙමිනි.

සියයට 10 ක වැටුප් වැඩි කිරීමේ චක‍්‍රලේඛය වර්ජනය අත්හැරීම සඳහා කඩතුරාවක් පමනි. සැබැවින්ම වර්ජනය අත් හැරීමට සිදුවූයේ, අප්‍රේල් 17 වන දා හෝ ඊට පෙර සේවයට වාර්තා නොකරන පරිවාස සහ කොන්ත‍්‍රාත් පදනමේ කම්කරුවන් සේවය අත්හැර ගියා සේ සලකන බවටත්, එසේ සේවයට වාර්තා නොකොට තවදුරටත් වර්ජනයේ නියැලෙන ස්ථිර කම්කරුවන්ට එම කාලය සඳහා වැටුප් අහිමි කරන බවටත් ආන්ඩුව කල තර්ජනය හේතුවෙනි.

රාජ්‍ය වියදම් දැවැන්ත ලෙස කප්පාදු කරමින් පුද්ගලීකරනය වේගවත් කිරීම සහ ඊට එරෙහිව නැගී සිටින කම්කරු-පීඩිත මහජනතාව පොලිස්-මිලිටරි ක‍්‍රම වලින් තලා දැමීම සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවේ මූලෝපාය යි. අනධ්‍යන කම්කරුවන්ගේ ඉල්ලීම් දිගින් දිගටම ප‍්‍රතික්ෂේප කිරීමත් ඔවුනට එරෙහි අවසන් දින නියම කිරීමේ තර්ජනයත් ගලා එන්නේ මෙම මූලෝපායෙනි.

ආන්ඩුවට කන්නලව් කිරීමෙන් හෝ හුදු විරෝධතා මගින් මෙම මූලෝපායෙන් නිර්නය කෙරෙන ප‍්‍රහාරයන් ආපසු හැරවිය නොහැකි බවත්, තම අයිතීන් සුරක්ෂිත කර ගැනීම සඳහා කම්කරු පන්තිය තමාගේම මූලෝපායක් යටතේ සටන් කලයුතු බවත්, සමාජවාදී සමානතා පක්ෂය (සසප) අනධ්‍යන සේවක වර්ජනය ආරම්භයේ සිටම පැහැදිලි කොට ඇත.

කම්කරු පන්තියේ මෙම මූලෝපාය වනාහි, ආන්ඩුවටත්, සමස්ත ධනපති ක‍්‍රමයටත් එරෙහි, ජාත්‍යන්තර සමාජවාදී විප්ලවයේ මූලෝපාය යි. මෙම මූලෝපාය මත පදනම් වූ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන අරගලයක අත්‍යවශ්‍යභාවය ද සසප පෙන්වා දුනි.

ආන්ඩුවේ තර්ජනයත් සමග වඩාත් පැහැදිලිවූයේ එවන් අරගලයකින් තොරව අනධ්‍යන සේවක වර්ජනයට ඉදිරියට යා නොහැකි බවයි. ඒකාබද්ධ කමිටුව වර්ජනය පාවා දුන්නේ අනධ්‍යන කම්කරුවන් ඉදිරියේ එම අභියෝගය නිශ්චිතව මතුවූ අවස්ථාවේදී ය.

ආන්ඩුවේ අවසන් නිවේදනය අනධ්‍යන කම්කරුවන්ට එරෙහිව පනවන ලද්දක් නොවේ. සෑම ක්ෂේත‍්‍රයකම වර්ධනය වෙමින් පවත්නා පන්ති අරගල සම්බන්ධයෙන් ආන්ඩුවේ ප‍්‍රතිචාරය කුමක්ද යන්න පෙන්නුම් කරමින් සමස්ත කම්කරු පන්තියට කරන ලද අනතුරු ඇඟවීමකි.

කියවන්න:ආන්ඩුව අනධ්‍යන සේවකයන්ට අවසන් දිනයක් නියම කරයිි: සමස්ත කම්කරු පන්තියට දෙන ලද බලගතු සංඥාවක් `

Share this article: