සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව) පිහිටුවීමෙන් 50වන සංවත්සරය
ලසසප පාවාදීමට එරෙහි විකොස / සසප දේශපාලන අරගලය

The RCL/SEP’s political struggle against the LSSP’s betrayal

ඩබ්ලිව්. ඒ. සුනිල් හා දීපාල් ජයසේකර විසිනි, 2018 දෙසැම්බර් 27

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) 1968 ජුනි මාසයේ දී ආරම්භ කිරීමේ 50 වන සංවත්සරය සලකුනු කිරීම සඳහා පලකරන ලිපි මාලාවක් හතරවැන්න මෙය යි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ශ්‍රී ලංකා ශාඛාව ලෙස විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) ලෙස ආරම්භ කල එය 1996 දී සමාජවාදී සමානතා පක්ෂය (සසප) ලෙස යලි නම් කරන ලදී. 1968 ජුනි 16-17 දිනවල පැවති විකොස ආරම්භක සම්මේලනය සැමරීමට ප්‍රකාශයක් පලකොට ඇත.

විකොස මූලධර්මාත්මක පදනම් විස්තාරනය කරන මෙම ලිපි පසුගිය 50 වසර තිස්සේ එම මූලධර්ම සඳහා කල අරගලයෙන් අත්‍යවශ්‍ය පාඩම් උකහා ගනී. 1964 දී ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් යයි කියාගත් ලංකා සම සමාජ පක්ෂය සිරිමා බන්ඩාරනායක මැතිනියගේ සභාග ආන්ඩුවට ඇතුලු වෙමින් පාවා දී තිබුනු සමාජවාදී ජාත්‍යන්තරවාදයේ ක්‍රියාමාර්ගය හා ඉදිරිදර්ශනය මත විකොස ආරම්භ කරන ලදී.

සසප වැඩකටයුතුවල කේන්ද්‍රයේ පවතින්නේ, ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස කල්පසු වූ ධනේශ්වර වර්ධනයක් සහිත රටවල කම්කරුවන්ගේ හා ගම්බද පීඩිතයන්ගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් සඳහා අරගලයට නායකත්වය දිය හැක්කේ කම්කරු පන්තියට පමනක් බව තහවුරු කෙරුන ට්‍රොට්ස්කිගේ නො නවතින විප්ලව න්‍යාය සඳහා අරගලය යි. ශ්‍රී ලංකාවේ පමනක් නො ව ආසියාවේ ද ලෝකය පුරා ද ඉස්මතු වන කම්කරු පන්තියේ අරගලවලට මෙම පාඩම් තීරනාත්මක වන්නේ ය.

ලංකා සම සමාජ පක්ෂය (ලසසප) 1964 දී කල ඓතිහාසික පාවාදීමට එරෙහි ව සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) ගෙනගිය දේශපාලන අරගලයේ තියුනුම ප්‍රකාශනය අත්පත් කරගත්තේ දෙවන සභාග ආන්ඩුවට එරෙහි එහි සටන තුල ය.

ධනේශ්වර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) හා ස්ටැලින්වාදී ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය (ශ්‍රීලකොප) නායකත්වය දුන් සභාග ආන්ඩුවේ කොටස්කරුවෙක් ලෙස 1970 දී ලසසපය දෙවන වරට බලයට පත් විය. කවර හෝ අර්ථයකින් ප්‍රගතිශීලී නොවුන සභාග පාලනයේ ඊලඟ අවුරුදු හත වෙලඳපොල-ගැති ප්‍රතිව්‍යුහකරනයට හා 1983 පටන් දිවයින විනාශ කිරීමට නියමිත වූ වාර්ගික සිවිල් යුද්ධයට මගපෑදී ය.

අගමැතිනි සිරිමා බන්ඩාරනායක නායකත්වය දුන් සභාග ආන්ඩුවටත්, විශේෂයෙන් ම සිය පැරනි ට්‍රොට්ස්කිවාදී වාර්තාවෙන් වංක ලෙස දිගට ම වාසිගත් ලසසපටත් එරෙහි ව විකොස දුෂ්කර කොන්දේසි යටතේ ස්ථීරසාර අරගලයක නිරත විය.

එසේ කිරීමේ දී විකොස, වැඩකරන ජනයාගේ ප්‍රජාතාන්ත්‍රික අභිලාෂයන් හා සමාජ අවශ්‍යතාවන් ඉටුකිරීමට ධනේශ්වරයට පවතින නොහැකියාව පෙන්වා දුන් ට්‍රොට්ස්කිගේ නො නවතින විප්ලව න්‍යාය ආරක්ෂා කලේ ය. කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකටත් සමාජවාදී ප්‍රතිපත්ති සඳහාත් කල අරගලය තුල ධනේශ්වරයේ සියලු කන්ඩායම්වලින් කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා පක්ෂය සටන් කලේ ය.

1968 මැයි-ජුනි ප්‍රන්ස මහා වැඩ වර්ජනය, එක්සත් ජනපදයේ නගරවල නාගරික කැරලි, 1969 ඉතාලියේ උනුසුම් ගිම්හාන වර්ජන සහ ග්‍රීසියේ, ස්පාඤ්ඤයේ හා පෘතුගාලයේ ආඥාදායකත්වයන් ඇදවැටීම ඇතුලු 1968-1975 සමයේ ජාත්‍යන්තර විප්ලවවාදී අරගල රැල්ලක් මධ්‍යයේ සභාගය බලයට පත් විය. 1953 හතරවන ජාත්‍යන්තරයේ භේදයේ දී ට්‍රොට්ස්කිවාදී මූලධර්ම අතහැර දමා තිබුනු පැබ්ලෝවාදී සංශෝධනවාදීන්ගේ උපකාරය හා ආධාරය ලත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්, ස්ටැලින්වාදීන් හා වෘත්තීය සමිති විසින් මෙම අරගල පාවාදෙනු ලැබී ය.

කම්කරු පන්තික අරගල හා ග්‍රාමීය පෙරලිකාරිත්වයේ කැපී පෙනෙන නැග්මක් තිබුනු ශ්‍රී ලංකාව ඇතුලු ඉන්දු උප-මහාද්වීය තුල මෙම අර්බුදය තියුනු විය. විවෘත ව ම දක්ෂිනාංශික පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂය (එජාප) කෙරෙහි පැතිර පැවති විරුද්ධත්වය මධ්‍යයේ කම්කරු පන්ති ව්‍යාපාරය රැඳවීමේ උත්සාහයක් ලෙස 1970 දී සභාග ආන්ඩුව බලයේ පිහිටුවනු ලැබී ය.

1970 මැතිවරනය තුල එහි දේශපාලන ආස්ථානය තීරනාත්මක ව පැහැදිලි කරගැනීමකින් පසු ( සුලු ධනේශ්වර රැඩිකල්වාදයට එරෙහි විකොස/සසප අරගලය) ධනේශ්වර සභාගයෙන් බිඳී සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් වැදීමේ උපායාත්මක ඉල්ලීම ලසසප හා ශ්‍රීලකොප වෙත විකොස ඉදිරිපත් කලේ ය.

ලසසප (වි) හා විප්ලවවාදී කම්කරු පක්ෂය (විකප) වැනි පැබ්ලෝවාදී කන්ඩායම් විකොස මූලධර්මාත්මක ආස්ථානයට එකහෙලා විරුද්ධ වූ හ. ලසසප හා ශ්‍රීලකොප ගැන මිථ්‍යාවන් වපුරන්නේයැයි විකප නායකයෙක් වූ තුල්සිරි අන්ද්‍රාදි විකොස හෙලාදැක්කේ ය. විශේෂයෙන් ම, ලසසපය කෙරෙහි කම්කරුවන්ට තවදුරටත් සැලකිය යුතු මිථ්‍යාවන් පැවති කොන්දේසි යටතේ ශ්‍රීලනිපයෙන් බිඳෙන ලෙස ලසසපයෙන් කල ඉල්ලීම මෙම ධනේශ්වර පක්ෂයේ (ශ්‍රීලනිපයේ) හා එහි කම්කරු පන්ති විරෝධී ක්‍රියාමාර්ගයේ ආරක්ෂකයෙකු ලෙස ලසසයේ භූමිකාව හෙලිදරවු කලේ ය.

සමාජවාදී සමානතා පක්ෂයේ “ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම්” ලියවිල්ල විස්තර කල පරිදි: “විකොස එම ඉල්ලීම කලේ එම පක්ෂ නගා සිටුවීමට නො ව, අකැමැත්තෙන් වුවත් තවමත් නායකත්වය සඳහා එම පක්ෂ දෙස නෙත් යොමු කර සිටි කම්කරු පන්තියේ සමාජවාදී-හිතැති කොටස් මත පවත්නා එම පක්ෂවල ග්‍රහනය බිඳීම සඳහා ය. ...(මෙම ඉල්ලීම පිලිබඳ) වාම හඬක් සහිත හෙලා දැකීම්, සැබවින් ම නම්, ලසසප හා කොප හෙලිදරවු කිරීමේ අත්‍යවශ්‍ය දේශපාලන කර්තව්‍යය පැහැර හැරීම මගින් කම්කරුවන් එම පක්ෂවල අත යටට තල්ලු කිරීමක් විය.”

ලසසපයට එරෙහි ව වෘත්තීය සමිති තුල කරන කිසිදු දේශපාලන අරගලයකට ලසසප (වි) හා විකප දැක්වූ විරුද්ධත්වය මගින් එම පක්ෂවල දෙබිඩි පිලිවෙත හෙලිදරවු විය. ලංකා වෙළඳ සේවක සංගමයේ (සීඑම්යූ) නායකයා වූ ලසසප (වි) නායක බාලා තම්පෝ වෘත්තීය සමිති සටන්කාමීත්වය වෙනුවෙන් පෙනී සිටි නමුත් අරගලයේ ඒකාබද්ධතාවට බලපෑ හැකි නිසා සමිති තුල “දේශපාලනය එපා” යයි අවධාරනය කලේ ය.

සමිති තුල “දේශපාලනය එපා” යන්නෙහි යථා අර්ථය වූයේ විප්ලවවාදී දේශපාලනය එපා යන්න යි. “එකමුතුව” සඳහා කල ආයාචනය වූ කලී සභාග ආන්ඩුවට එරෙහි කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයක් වෙනුවට එවැනි අරගලයක් වැලැක්වීම සඳහා සමිති නිලධරයන්ගේ ඒකාබද්ධ අරගලයකට කල කැඳවුමක් විය. ලසසප හා ශ්‍රීලකොප සමග තම්පෝ හා අන්ද්‍රාදි පවත්වාගෙන ගිය අවස්ථාවාදී සබඳතාවන්ට වලකපන කිසිවකට ඔවුන් ගැඹුරින් ම හතුරු විය.

ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් නායකත්වය දුන් 1971 අවමංගත නැගී සිටීම සිංහල ගම්බද තරුනයන් 15,000ක් ඝාතනය කරමින් හා තවත් බොහෝ පිරිස් සිරගත කරමින් සිදුකල ලේවැකි මර්දනය සභාග ආන්ඩුවේ කුරිරු ස්වභාවය ප්‍රදර්ශනය කෙරුනි. ජවිපෙ සමග අතිමූලික දේශපාලන මතභේද පැවතිය ද දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලන දිග්ගැස්සුනු උද්ඝෝෂනයක් විකොස විසින් දියත් කලේ ය ( 3වන කොටස).

ජවිපෙ කැරැල්ලෙන් ඉක්බිතිව, කම්කරුවන් හා තරුනයන් බෙදීමටත් සිංහල සුලුධනේශ්වරය අතර එහි පදනම ශක්තිමත් කරගැනීමටත් සිංහල වර්ගවාදය අවුලුවමින් බන්ඩාරනායක ආන්ඩුව තවදුර දකුනට හැරුනි. බුද්ධාගම රාජ්‍ය ආගම ලෙස හා සිංහල රාජ්‍ය භාෂාව ලෙස තහවුරු කෙරුනු නව වාර්ගික ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ වගකීම පැවරුනේ ලසසප නායක් කොල්වින් ආර්. ද සිල්වාට ය. දෙමල ජනයාට එරෙහි වෙනස්කම් කිරීමේ පියවරයන් මෙම ලිපි මාලාවේ ඊලඟ කොටසේ විස්තර කරන පරිදි දිවයින ව්‍යසනකාරී සිවිල් යුද්ධයකට ඇදගෙන යාමට නියමිත වූ ක්‍රියාවලීන් ජනනය කලේ ය.

වැඩෙන කම්කරු පන්තික පෙරලිකාරිත්වයට මුහුන දීමේ දී ආන්ඩුවේ ප්‍රතිගාමී උපකරන වූයේ පොලිස් රාජ්‍ය මර්දනය සමගින් භේදකාරී සිංහල ස්වෝත්තමවාදය යි. 1972 අගොස්තු-සැප්තැම්බර් සමයේ, වැටුප් ඉල්ලීම් මත වාරිමාර්ග තාක්ෂන ශිල්පීන් හා බැංකු කම්කරුවන් අතර වර්ජන පුපුරා ගියේ ය. වැඩ පැය ගනන අඩුකරන ලෙස ඉල්ලා 200,000කට වැඩි වතු කම්කරුවෝ වැඩ නතර කල හ. “රටෙහි ආර්ථිකයට වලකපන” ඕනෑම පියවරකට එරෙහි ව දැඩි පියවර ගන්නා බව පාලක සභාගය අගෝස්තු 30දා නිවේදනය කලේ ය.

1972 අගෝස්තුවේ ප්‍රකාශයක් නිකුත් කරමින් විකොස මෙසේ ප්‍රතිචාර දැක්වී ය: “ධනේශ්වර පන්ති පාලනය පෙරලා නොදමා කම්කරු පන්තියේ කිසිදු ප්‍රශ්නයක් විසඳා ගත නොහැකි බව මෙම සටන්කාමීත්වය තුල ප්‍රධාන කාරනය ප්‍රශ්නය වී ඇත. එනම්, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමෙන් තොර ව කම්කරු පන්තියේ කිසිදු අයිතියක් ආරක්ෂා කර ගත නො හැක.”

වැඩ වර්ජිත කම්කරුවන් ආරක්ෂා කිරීම පිනිස තම වෘත්තීය සමිතිවල කාර්මික ශක්තිය බලමුලුගැන්වීම ලසසප (වි) විසින් ප්‍රතික්ෂේප කලේ ය. ආන්ඩුව වර්ජනය තලාදැමීමට කටයුතු කරද්දී පවා, ලසසප (වි) නායක තම්පෝ ලංකා බැංකු සේවක සංගමය (සීබීඊයූ) හා අනෙකුත් වෘත්තීය සමිති සමග “ඵලදායී” සාකච්ඡා සඳහා එලඹෙන ලෙස ආන්ඩුවට ආයාචනා කලේ ය. ලසසප (වි) ට විරුද්ධ වූ විකොස බැංකු සේවකයන් අතර සැලකිය යුතු අනුගාමිකත්වයක් දිනාගත්තේ ය.

ලසසප (වි) ද්‍රෝහීත්වයෙන් දිරිමත් වූ ආන්ඩුව වර්ජිත වාරිමාර්ග තාක්ෂන ශිල්පීන් නෙරපීමට අත්‍යවශ්‍ය සේවා නියෝග යොදාගත් අතර වතු වැඩ වර්ජනය නීති-විරෝධී කලේ ය. ලසසප නායක හා මුදල් ඇමති එන්. එම්. පෙරේරා සියලු බැංකු සේවකයන් නෙරපා හරිමින් දින 108 ක බැංකු වර්ජනය බිඳ දැමී ය.

නව වාර්ගික ව්‍යවස්ථාවට එරෙහි ව මූලධර්මාත්මක ආස්ථානයක් ගත් විකොස දෙමල ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් පෙනී සිටියේ ය. ආන්ඩුවේ මුද්‍රනකරුවන්ගේ සමිතිය එහි නායකත්වයේ සිටි විකොස සාමාජිකයන්ගේ ආරම්භකත්වය මත නව ව්‍යවස්ථාව හෙලාදකින යෝජනාවක් සම්මත කලේ ය. ආන්ඩුවේ කම්කරු සම්මේලනයෙන් මුද්‍රනකරුවන්ගේ සමිතිය නෙරපා හරිමින් ලසසප ප්‍රතිචාර දැක්වුව ද එම තීරනයට එරෙහි ව විකොස උද්ඝෝෂනය කිරීම හේතුවෙන් එය හකුලා ගැනීමට ලසසපට බලකෙරුනි.

තෙල් මිල කම්පනයන් හා අවපාතයට සභාග ආන්ඩුව ප්‍රතිචාර දැක්වූයේ කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ජීවන තත්ත්වයන්ට පහර දෙමිනි. ආනයන පාලනය, වැටුප් කැටිකිරීම සහ හාල්, සීනි හා පිටි වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාහැරීම සීමා කරමින් මුදල් ඇමති පෙරේරා ආර්ථික ක්‍රියාකාරීත්වය නියාමනය කලේ ය. වතුවල කම්කරුවන් දරුනු විරැකියාවට හා ඌනසේවානියුක්තියට මුහුන දුන් අතර කුසගින්න හේතුවෙන් වූ මරන සියගනනක් වාර්තා විය.

අතෘප්තිය වර්ධනය වෙද්දී, ලසසප හා ශ්‍රීලකොප වෘත්තීය සමිති එම පක්ෂ ම පාර්ශවකරුවන් වූ ආන්ඩුවට නිෂ්ඵල ආයාචනා කරමින් ව්‍යාජ “ඉල්ලීම් 28 ව්‍යාපාරයක්” දියත් කල හ. 1976 නොවැම්බර් 16දා කොලඹ දී විරෝධතාවක් පවත්වන බව ලසසප විසින් නිවේදනය කල විට, එවකට මොස්කෝවේ සිටි අගමැතිනි බන්ඩාරනායක ඇඳිරී නීතිය පනවා විරෝධතාව තහනම් කලා ය. ශ්‍රීලනිප හා එජාප මැරයෝ ලසසප සමිති නායකයන්ට පහර දුන් හ. අනෙකුත් අය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබී ය.

ආර්ථික පිලිවෙත අරබයා පාලක සභාගය තුල වූ තියුනු වෙනස්කම් මධ්‍යයේ, 1975 සැප්තැම්බරයේ දී තම කැබිනට්ටුවෙන් ලසසප ඇමතිවරු නෙරපූ බන්ඩාරනායක ශ්‍රී ලංකාව විදේශ ආයෝජන සඳහා විවෘත කිරීම දෙසට වූ පලමු පියවරයන් ගත්තා ය. ලසසප නායකයන් බන්ඩාරනායක විවේචනය කල ද ඔවුන්ගේ කථා දශකයකට පෙර ශ්‍රීලනිපය සමාජවාදී දිශාවක් ඔස්සේ ගමන් කරන බවට ඔවුන් ම කල කියාපෑම් පිලිබඳ දෝසාභියෝගයක් විය. ලසසපය ආන්ඩුවෙන් ඉවත් වූ නමුත් ස්ටැලින්වාදියෝ 1977 දක්වා සභාගයේ එල්ලී සිටිය හ.

තීව්‍ර දේශපාලන අර්බුදය පරිස්සමින් විශ්ලේෂනය කල විකොස සභාග ආන්ඩුව නෙරපා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපනය කරන ලෙස ඉල්ලමින් කම්කරු පන්තියේ වර්ධනය වන ව්‍යාපාරය තුල මැදිහත් විය.

මෙහි ප්‍රතිඵලයක් ලෙස සමාජවාදය සඳහා සටන් වදින එකම පක්ෂය ලෙස විකොස දැකගත් කම්කරුවන්, තරුනයන් හා ගම්බද දුගීන් අතරින් බලගතු සහයෝගයක් විකොස දිනාගත්තේ ය. දුම්රිය, බැංකු, මහ බැංකුව, අධ්‍යාපන ක්ෂේත්‍රය හා තුල්හිරිය පෙහෙ කම්හල මෙන් ම සීනෝර් කම්හල ඇතුලු දිවයිනේ උතුරේ දෙමල කම්කරුවන් අතර සැලකිය යුතු කොටස් ස්ථාපිත කිරීමට එයට හැකි විය.

මෙයට පාලක කවවල වූ උත්සුකයන් කෙසේ ද යත් 1975 නොවැම්බර් 26දා පාර්ලිමේන්තුවේ කල කතාවක දී බන්ඩාරනායක විකොසට “ත්‍රස්තවාදී” සංවිධානයක් යයි ප්‍රසිද්ධියේ පහර එල්ල කලා ය. “විකොසට අත නො තබනු” යන සටන් පාඨය යටතේ ප්‍රසිද්ධ උද්ඝෝෂනයක් දියත් කරමින් දඩයම් කිරීමකට ආන්ඩුව දරූ උත්සාහයට විකොස ප්‍රතිචාර දැක්වූයේ ය.

වැඩපොලවල විකොස ආනුභාවය කඩාකප්පල්කිරීමට ආන්ඩුව උත්සාහ කලේ ය. 1976 මාර්තුවේ දී විකොස සාමාජිකයන් හත්දෙනෙකු ඇතුලු සමිති ක්‍රියාකාරිකයන් 22 දෙනෙකු වර්ජනයකට නායකත්වය දීම හේතුවෙන් තුල්හිරිය පෙහෙකම්හලෙන් නෙරපා දමන ලදී. එහෙත් විකොස දියත් කල නිර්භීත උද්ඝෝෂනයක් හේතුවෙන් නෙරපූ සියලු සමිති ක්‍රියාකාරිකයන් යලි සේවයේ පිහිටුවීමට ආන්ඩුවට සිදු විය.

1976 දෙසැම්බර් මාසයේ රත්මලාන දුම්රිය කර්මාන්තශාලාවල වැඩ නැවැත්වීමක් අනෙකුත් රාජ්‍ය අංශයන්ට ද ක්ෂනික ව පැතිර ගොස් මහා වැඩ වර්ජනයක් බවට වර්ධනය වූ විට වර්ජනවල නැග්ම කූටයකට ලඟා විය. කම්කරු පන්තියේ මෙම අධිෂ්ටානවත් ප්‍රහාරය බලය සඳහා වන දේශපාලන අරගලයක් බවට වර්ධනය කිරීමට විකොස කල අරගලයට බාදා කරමින් ආන්ඩුව ආරක්ෂා කිරීමේ දී ලසසප, ශ්‍රීලකොප, ලසසප (වි) හා වෘත්තීය සමිති තීරනාත්මක භූමිකාවක් ඉටුකල හ.

මහා වැඩ වර්ජනය පරාජය කල ද සභාග ආන්ඩුව කෙරෙහි පැවති වෛරය 1977 මැතිවරනයේ දී එය බලයෙන් ඉවත් කිරීමට හේතු විය. ලසසප, ශ්‍රීලකොප හා ලසසප (වි) විසින් මහා වැඩ වර්ජනය පාවාදීම ජේ. ආර්. ජයවර්ධනගේ නායකත්වය යටතේ දක්ෂිනාංශික එජාපයට හයෙන් පහක පාර්ලිමේන්තු බහුතරයක් සහිත ව බලයට ඒමට පාර කැපී ය. ලසසපය කොතරම් වෛරයට පාත්‍ර ව තිබුනි ද යත් එයට තිබුනු සියලු පාර්ලිමේන්තු ආසන අහිමි විය.

ඊලඟ දශක හතර ලසසපයේ සභාගවාදී දේශපාලනයට එරෙහි විකොස අරගලයේ නිරවද්‍යතාව බලගතු ලෙස සනාථ කලේ ය.

ජාතික ආර්ථික නියාමනයේ පැරනි පිලිවෙත් කුනු කූඩයට දැමූ ජයවර්ධන ආන්ඩුව ශ්‍රී ලංකාව ලාභ ශ්‍රම වේදිකාවක් බවට පරිවර්තනය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයට ආර්ථිකය විවෘත කලේ ය. මෙය 1968-75 නැගිසිටීම්වලින් පසු කම්කරු පන්තියට එරෙහි ගෝලීය ප්‍රති-ප්‍රහාරයේ කොටසක් විය. ශ්‍රී ලංකාව නිදහස් වෙලඳපොල ප්‍රතිව්‍යුහකරනයේ, පුද්ගලීකරනයේ හා සමාජ සේවා විනාශ කිරීමේ න්‍යාය පත්‍රය ක්‍රියාවට දැමූ පලමු රටවලින් එකක් විය.

අතිශය පුලුල් බලතල සහිත විධායක ජනාධිපති ධුරයක් ස්ථාපනය කල 1978 නව ව්‍යවස්ථාවක් හරහා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් විනාශ කිරීම ද එජාපය විසින් වේගවත් කලේ ය. ලසසප, ශ්‍රීලකොප හා ලසසප (වි) ද්‍රෝහීත්වය මත විශ්වාසය තැබූ ආන්ඩුව, ශිෂ්ට සම්පන්න වැටුප් ඉල්ලා වර්ජනය කල රාජ්‍ය අංශ කම්කරුවන් 100,000ක් 1980 දී නෙරපා දැමුවේ ය. එජාපයේ දෙමල-විරෝධී ප්‍රකෝපකරනයන් දිවයිනේ දිග්ගැස්සුනු සිවිල් යුද්ධය ජනනය කල ලේවැකි සංහාරයක් බවට 1983 දී වර්ධනය විය.

1977 පරාජයෙන් පසුව ලසසපයේ පරිහානිය වේගවත් විය. ජයවර්ධන ආන්ඩුවට අනුගත වූ එය කම්කරු පන්තියේ අරගල මර්දනයට උදවු දෙමින් වාර්ගික යුද්ධය පුරා එයට සහයෝගය දුන්නේ ය. අද වන විට ලසසපය කම්කරු පන්තිය අතර කිසිදු සැලකිය යුතු පදනමක් නැති හිස් කෝම්බයක් පමනි. වරෙක කම්කරු පන්තිය අතර මහජන අනුගාමිකත්වයක් තිබූ පක්ෂය අද ක්‍රියාත්මක වන්නේ ධනේශ්වර ශ්‍රීලනිපයේ කන්ඩායමකට නො වැඩි දෙයක් ලෙස ය.

ලසසප (වි) හා විකප කිසිදු සලකුනක් නො තබා දියවී ගියේය. මෙම පක්ෂ 1964 ලසසප පාවාදීමට විරුද්ධ වුවත් පැබ්ලෝවාදී එක්සත් ලේකම් මන්ඩලයෙන් හා එහි අවස්ථාවාදී දේශපාලනයෙන් බිඳුනේ නැත. 1977 ලසසපයේ ව්‍යසනකාරී මැතිවරන පරාජයෙන් පසු ඉන් බිඳුනු නායකයන් කන්ඩායමක් 1978 දී නව සම සමාජ පක්ෂය (නසසප) ආරම්භ කල අතර, වහා ම එය එක්සත් ලේකම් මන්ඩලය විසින් තම ශ්‍රී ලංකා ශාඛාව ලෙස ඇතුලත් කර ගත්තේ ය.

ලසසපයේ සියලු ද්‍රෝහී වෙට්ටු දැමීම් තිබියදී එහි රැඳී සිටි නසසප නායකයෝ සභාගවාදයේ දේශපාලනයෙන් හෙවත් පන්ති සහයෝගිතාවාදයෙන් කිසි කලෙක නො බිඳුනි. පසුගිය 40 වසරේ ගමන් මාවත තුල විවිධාකාර කාලපරිච්ඡේදවල දී ශ්‍රීලනිප හා ජවිපෙ සමග පෙල ගැසුන නසසපය දැන් දක්ෂිනාංශික එජාපයේ හොරනෑවකි.

එක්පසෙක එජාපය හා එහි නායක රනිල් වික්‍රමසිංහ ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා පල්ල ගිය ශ්‍රීලනිපය අනෙක්පස ද සිටිමින් සිදුවන කටුක අභ්‍යන්තර අරගලයක් මධ්‍යයේ තියුනු දේශපාලන අර්බුදයක් දැන් කොලඹ අරක් ගෙන ඇත. ලසසප, නසසප හා නසසපයෙන් බිඳී ගිය එක්සත් සමාජවාදී පක්ෂය (එසප) යනාදී සියලු “වාම” කන්ඩායම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජමුඅ) කප්පාදු න්‍යාය පත්‍රය කම්කරුවන් හා දුගීන් මත පැටවීමට කැප වූ මෙම දක්ෂිනාංශික ධනේශ්වර පක්ෂ දෙකෙන් එකක් හෝ අනෙකක් සමග ඍජු ව හෝ වක්‍ර ව පෙලගැසී ඇත.

ගෙවීගිය කාලපරිච්ඡේදයේ කටුක මූලෝපායික අත්දැකීම්වලින් අවශ්‍ය පාඩම් උකහා ගනිමින් කම්කරුවන් හා තරුනයන් පන්ති සහයෝගිතාවාදයේ ව්‍යසනකාරී දේශපාලනයෙන් මුලුමනින් වෙන් විය යුතු ය. අතිශය මූලික ප්‍රජාතාන්ත්‍රික හා සමාජ අයිතීන් පවා රැකගත හැකි එකම ක්‍රමය වන්නේ සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමේ සටන තුල ගම්බද ජනයාගේ නායකත්වය ලෙස කම්කරු පන්තිය ස්වාධීන ව බලමුලුගැන්වී ගැනීම යි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව වන විකොස/සසප පමනක් ම 1964 ලසසප පාවාදීමෙන් අවශ්‍ය නිගමන උකහාගෙන මෙම මූලධර්ම සඳහා අනවරතව සටන් වැද ඇති එකම පක්ෂය වේ.

Share this article: