ශ්‍රී ලංකා ආන්ඩුව රැකගැනීමට එක්සත් ජනපදය හා ඉන්දියාව මැදිහත් වෙති

US and India intervene to avert Sri Lankan government collapse

පානී විජේසිර්වර්ධන විසිනි, 2018 පෙබරවාරි 17

පෙබරවාරි 10වැනිදා පැවති පලාත් පාලන මැතිවරනයේ දී ලැබූ අන්ත පරාජයෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ජාතික සමගි ආන්ඩුව කඩා වැටීමෙන් බේරාගැනීමට ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති හා ඉන්දීය මහකොමසාරිස් මෙම සතියේ දී ප‍්‍රසිද්ධියේම මැදිහත් වූහ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන, පාර්ලිමේන්තු විපක්ෂයේ විශාලම පක්ෂය වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුන (ශ්‍රීලපොජපෙ) දිවයිනේ 341ක් වන පලාත් පාලන ආයතනවලින් 249ක් ජය ගත්තේ ය. වික‍්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය (එජාප) ආයතන 41ක පමනක් ජය ගත් අතර, සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) හා එක්සත් ජනතා නිදිහස් සන්ධානය (එජනිස) ජය ගත්තේ ආයතන 10ක් පමනි.

මැතිවරනයේදී අන්ත පරාජය සිරිසේන හා වික‍්‍රමසිංහ ඒ පිලිබඳව එකිනෙකාට දොස් පවරා ගනිති. ඔවුන්ගේ ගැටුම් හමුවේ, පක්ෂ දෙකේ අනුගාමිකයෝ ප‍්‍රසිද්ධියේ සමගි ආන්ඩුවේ අවසානය නිවේදනය කරති.

වාර්තා වන පරිදි එක්සත් ජනපද තානාපති අතුල් කේෂප්, පෙබරවාරි මස 13දා, තකහනියේ සිරිසේන හා වික‍්‍රමසිංහ වෙන වෙන ම හමුවූ අතර ආන්ඩුවේ ආරවුල අවසන් කර පෙරට යන ලෙස ඔවුන්ට අවවාද කලේ ය.

එදින ම, වොෂින්ටනය සමග පැහදිලිව සහයෝගී වෙමින් ඉන්දීය මහකොමසාරිස් සරන්ජිත් සිං සන්ධු එම පනිවුඩය ම දීම සඳහා සිරිසේන හා වික‍්‍රමසිංහ හමුවිය.

ආන්ඩුවේ පක්ෂ දෙකේ ම ක්ෂනික ප‍්‍රතිචාරය වූයේ තම හාම්පුතුන්ගේ “අවවාදයට” නීච ලෙස යටත්වීම යි. වික‍්‍රමසිංහ නායකත්වය දෙන එක්සත් ජාතික පෙරමුනේ (එජාපෙ) පාර්ලිමේන්තු කන්ඩායම “අමාත්‍යාංශ හා මූලෝපායන්ගේ ඇතම් වෙනස්කම් සහිතව සමගි ආන්ඩුව ඉදිරියට ගෙන යාමට” තීරනය කරන ලද බව ඩේලි මිරර් පත‍්‍රය වාර්තා කලේ ය.

2015 ජනාධිපතිවරනය සඳහා 2014දී, රාජපක්ෂට එරෙහිව “විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂකයා” ලෙස සිරිසේන කරලියට ගෙන ඒමේ දී එක්සත් ජනපදය හා ඉන්දියාව ඒ පිටුපස ක්‍රියාත්මක විය. රාජපක්ෂ තන්ත‍්‍රය කෙරෙහි පැවති පුලුල් මහජන කල කිරීම ජනාධිපතිවනරනය ජය ගැනීමට ගසා කෑ සිරිසේන, ඉන් පසු වික‍්‍රමසිංහ අගමැති වසයෙන් පත් කලේ ය.

තම විදේශ ප‍්‍රතිපත්තිය චීනය වෙත නැඹුරු කිරීම හේතුවෙන් රාජපක්ෂ තන්ත‍්‍රය පරාජය කිරීමට වොෂින්ටනය හා ඉන්දියාව මැදිහත් විය. ගෙවී ගිය වසර තුනේ දී සිරිසේන හා වික‍්‍රමසිංහ, ඉන්දු-ශාන්තිකර සාගර කලාපය පුරා චීනයට මුහුන දීමේ හා එය වැටලීමේ එක්සත් ජනපද ව්‍යායාමය සමග ශ්‍රී ලංකාව පෙල ගස්වා ඇත.

කලාපයේ තීව‍්‍ර වන භූමූලෝපායික ආතතීන් මධ්‍යයේ, කොලඹ වර්ධනය වන්නා වූ දේශපාලන අස්ථාවරත්වය මගින් තම මූලෝපායික ජයග‍්‍රහනයන් ආපසු හැරවෙනු ඇතැ යි වොෂින්ටනය බිය වෙයි.

පලාත් පාලන ආයතනවල ලැබූ ජයග‍්‍රහනයෙන් කුල්මත් වූ රාජපක්ෂ, “වර්තමාන දේශපාලන අස්ථාවරත්වය අවසන් කිරීමට” පාර්ලිමේන්තුව විසුරුවා හැර, මහ මැතිවරනයක් කැඳ වන මෙන් මුලින් සිරිසේනගෙන් ඉල්ලා සිටියේ ය. එක්සත් ජනපද හා ඉන්දියානු රාජ්‍යතාන්ත්‍රික මැදිහත් වීමෙන් පසු, ඔහු වහා ම එම ඉල්ලීම අකුලා ගත්තේය.

තම පක්ෂය ආන්ඩුව සමග එක් නොවන නමුදු,“දෙමල ජනයාගේ ප‍්‍රශ්න පිලිබඳ උත්සුක වන තාක් දුරට” සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව විසින් පිලිගනු ලබන “ප‍්‍රගතිශීලී පියවරවලට” එය සහයෝගය දක්වනු ඇතැ යි දෙමල ජාතික සන්ධානයේ එම්.ඒ. සුමන්තිරන් වහාම නිවේදනය කලේ ය.

දෙමල ධනේශ්වර ප‍්‍රභූව නියෝජනය කරමින්, දිවයිනේ උතුර හා නැගෙනහිර පලාත් පාලන ආයතන 34ක් ජය ගත් දෙමල ජාතික සන්ධානය තම බලය බෙදා ගැනීමේ ඉල්ලීම ඉටුකරන මෙන් කොලඹ ආන්ඩුවට බල කරන්නැ යි නැවත නැවතත් එක්සත් ජනපදය හා ඉන්දියාවට ආයාචනය කර ඇත.

දේශපාලන අර්බුදයට ප‍්‍රධාන හේතුව ආන්ඩුවේ කප්පාදු හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පියවර සම්බන්ධයෙන් වැඩෙන සමාජ නොසන්සුන්තාව යි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියමයන් මෙන් ම එක්සත් ජනපදය හා ඉන්දියාවේ භූ-මූලෝපායික අවශ්‍යතාවන් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවේ උපමාරුවලට අවකාශයක් ඉතුරු කර නැත.

පලාත්පාලන මැතිවරනය පැවැත්වෙද්දී සියලු ම විශ්වවිද්‍යාලවල අනධ්‍යන කම්කරුවන් හා ජල සම්පාදන හා ජලාපවහන මන්ඩලයේ කම්කරුවන් වැඩි වැටුප් සඳහා වැඩවර්ජන කලේ, මැතිවරන කාලය සඳහා මැතිවරන කොමසාරිස් විසින් පනවන ලද තහනම ද නොතකමිනි.

වැටුප් හා සේවා කොන්දේසි මත මෑත විරෝධතාවන්ට ඛනිජ තෙල්, වරාය, දුම්රිය, තැපල් හා වතු කම්කරුවෝ ද එක්වූහ. සමාජ සේවා හා සහනාධාර කප්පාදුවට එරෙහිව ග‍්‍රාමීය දුප්පතුන් උද්ඝෝෂනය කල අතර, අධ්‍යාපනය පුද්ගලීකරනයට එරෙහිව විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් මාස ගනනක් තිස්සේ පන්ති වර්ජනය කර ඇත.

මිලිටරි වාඩිලා ගැනීම් දිගට ම පවත්වා ගෙන යාමට එරෙහිව උතුර හා නැගෙනහිර දෙමල ජනයා විරෝධතා දැක් වූ අතර, දිවයිනේ දිග්ගැස්සුන යුද්ධය අතරතුර මිලිටරියට සම්බන්ධ ඝාතක කල්ලි විසින් “අතුරුදහන් කෙරුනු” තම පවුල්වල සාමාජිකයින්ගේ තොරතුරු ඉල්ලා උද්ඝෝෂනය කලහ.

මෙම පුලුල් විරුද්ධත්වය නො තකා ජාමූඅ අවධාරනය කලේ අත්‍යවශ්‍ය භාන්ඩ මත අගය එකතු කල බදු(වැට්) ඉහල දැමීම, හා සමාජ ශුභසාධන කප්පාදු හරහා අයවැය හිඟය අඩු කිරීම සඳහා වන තම ඉල්ලීම් ආන්ඩුව විසින් ක්‍රියාත්මක කල යුතු බව යි. මෙම ප‍්‍රතිපත්ති ක්‍රියාවට නගන්නේ කෙසේ ද යන්න මත, ශ්‍රීලනිප හා එජාප හවුල් පක්ෂ අතර ද, සිරිසේන හා වික‍්‍රමසිංහ යන නායකයන් දෙදෙනා අතර ද ආතතීන් තියුනු වී ඇත.

මාධ්‍ය විසින් පොදුවේ මෙම තියුනු සමාජ ආතතීන් නො සලකා හැර ඇති අතර, ආන්ඩුවේ ප‍්‍රධාන හොරනෑව වන, ඩේලි නිව්ස් පත‍්‍රයේ “සමගි ආන්ඩුව ඇති කිරීම හෝ නැති කිරීම” යන ශීර්ෂයකින් යුත් කතුවැකියක් ප‍්‍රශ්නය ගැන කෙටියෙන් සඳහන් කලේ ය.

කතුවැකිය අවසන් කලේ, තම ප‍්‍රතිපත්ති ක්‍රියාවට නැගීමේ දී ආන්ඩුවේ “සෝමාරිකම” නිසා එජාප හා ශ්‍රීලනිප “හතුරු අරමුනු සහිතව වැඩ කරමින්” සිට ඇති බව පවසමිනි. “ජාමුආ විසින් කෙරෙන නියෝග හමුවේ එජාප බොහෝකොටම හිරවී” ඇති අතර ශ්‍රීලනිපය හැම විටම උත්සාහ කරමින් සිටියේ “එජාප ආර්ථික ප‍්‍රතිපත්ති හේතුවෙන් ජනතාව මත බර පැටවීමට තමන් විරුද්ධ බව කියා පාමින් තම ප‍්‍රතිරූපය ගොඩනැගීමට ය.”

වෙනත් වචනවලින් පවසන්නේ නම්, සිරිසේන නරුම ලෙස උත්සාහ කර ඇත්තේ ජාමූඅ විසින් නියම කරන ලද ආන්ඩුවේ කප්පාදු ප‍්‍රහාරයට ඔහු ද ශ්‍රීලිනිපය ද සම්බන්ධ නැති බව පෙන්වීමට යි. මෙහි ප‍්‍රතිඵලය ලෙස රාජපක්ෂට, මහජන කෝපය ගසා කෑමට ද කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදීමට විෂකුරු සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය වැපිරීමට ද ඉඩ සැලසුනි.

ජාමූඅ මෙන් ම එක්සත් ජනපද හා ඉන්දියාවේ නියමයන් ඉටු කරමින් සිටින අතර, සමස්ත දේශපාලන සංස්ථාපිතය ම (සිංහල,දෙමල හා මුස්ලිම්) ආන්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින කප්පාදු න්‍යාය පත‍්‍රය මගින් අවුලුවනු ලබන සමාජ ප‍්‍රතිරෝධය නැගී ඒම මර්දනය කිරීමට මංමුලා සහගත ය. ප‍්‍රධාන ධනේශ්වර පක්ෂ තමන්ට එල්ලවන දේශපාලන විරුද්ධත්වය, ආරක්ෂාකාරී පාර්ලිමේන්තු ඇලමං දිගේ හරවා යැවීම සඳහා විශේෂයෙන් ම නව සම සමාජ පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය මෙන් ම වෘත්තීය සමිති හා, රාජ්‍ය නොවන සංවිධාන මත විශ්වාසය තබති.

සමාජවාදයට කැපවුනු කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා පීඩිත ජනතාව බලමුලු ගන්වන කම්කරු පන්තියේ දේශපාලනිකව ස්වාධීන ව්‍යාපාරයක් ගොඩනැගීම අද දැවෙන අවශ්‍යතාව බවට පත්ව ඇත. හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය පමනක් දකුනු ආසියාව පුරා මෙන් ම ජාත්‍යන්තර ව කම්කරුවන් විසින් සමාජවාදය සඳහා කරනු ලබන එක්සත් අරගලයේ කොටසක් ලෙස මෙම ක්‍රියාමාර්ගයට සටන් කර යි.

Share this article: