හම්බන්තොට වරාය කම්කරු අරගලය සංධිස්ථානයක

නන්දන නන්නෙත්ති සහ එල්.පී.උදය විසිනි, 2018 ජනවාරි 02

හම්බන්තොට වරාය චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග්ස් සමාගමට පැවරීමත් සමග රැකියා අහිමි වූ කම්කරුවන් සිය රැකියා අයිතිය යලි තහවුරු කර ගැනීම සඳහා ගෙන යන අරගලය හය වන සතියට එලඹ ඇත. රැකියා අහිමි වූ සංඛ්‍යාව 438 කි. ඔවුන්ගේ දෙමව්පියෝ සහ පවුලේ සෙසු සාමාජිකයෝද කම්කරුවන්ගේ අරගලයට සහයෝගය දීමට උද්ඝෝෂනයට සම්බන්ධවී සිටිති.

ආන්ඩුවේ අනුදැනුම ඇතිව වරාය අධිකාරිය මුදා හැර ඇති මර්දනයට මුහුන දී සිටින කම්කරුවන්ගේ අරගලය පෙන්නුම් කරන්නේ රැකියා රැක ගැනීමට ඔවුන් තුල පවතින බලගතු අධිෂ්ඨානයයි.

සසප නියෝජිතයන් වරාය කම්කරුවන් සමග

වෘත්තීය සමිතිය ඉදිරිපත් කර ඇති රැකියාව යලි ලබාදීම හෝ රුපියල් ලක්ෂ පනහක වන්දියක් ලබා දීම ප‍්‍රතික්ෂේප කර ඇති ආන්ඩුව හා වරාය අධිකාරිය කම්කරුවන්ගේ අරගලය බිඳීම සඳහා නිරන්තර ප‍්‍රයත්නයක යෙදී සිටියි. නොවැම්බර් 30 වෙනිදා ආරම්භ කෙරුන උද්ඝෝෂනය කඩාකප්පල් කිරීමේ උත්සාහයක් ලෙස දොට්ට දැමූ කම්කරුවන්ට වරාය පරිශ‍්‍රයට ඇතුලුවීම තහනම් කල වරාය අධිකාරිය උද්ඝෝෂනයට විරුද්ධව හම්බන්තොට දිසා අධිකරනයේ නඩුවක් පවරනු ලැබීය. දොට්ට දැමූ කම්කරුවන් වෙනුවට කොන්ත‍්‍රාත් පදනම යටතේ මිනිස් බල (මෑන් පවර්) සමාගම් හරහා අලුතෙන් කම්කරුවන් බඳවා ගැනීම චීන සමාගම විසින් දැනට මත් ආරම්භ කර ඇත.

ආන්ඩුව සහ වරාය අධිකාරිය මුදාහැර ඇති මෙම ප‍්‍රහාරය පෙන්නුම් කරන්නේ තමන් මෙන්ම විවිධ ප‍්‍රහාරයන්ට මුහුන දී සිටින අවශේෂ කම්කරුවන් වෙතට හැරී රැකියා යලි ලබා ගැනීම සඳහා බලගතු අරගලයක් සංවිධානය කිරීම අවශ්‍යවන සන්ධිස්ථානයකට හම්බන්තොට වරාය කම්කරුවන්ගේ අරගලය එලඹ ඇති බවය. හම්බන්තොට අරගලය ආන්ඩුවේ ප‍්‍රහාරයට ඉලක්කවී සිටින සියලු කම්කරුවන් වෙනුවෙන් කෙරෙන අරගලයක ස්වරූපය ගෙන ඇත. මන්ද යත්, ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග මත රාජ්‍ය සමාගම් පුද්ගලීකරනයට හා “ප‍්‍රතිව්‍යූහ කරනයට” පියවර ගන්නා තත්වය තුල මේහා සමාන ප‍්‍රහාරවලට මුහුන දෙන කොන්දේසි නිර්මානය වී ඇති බැවිනි.

එහෙත් උද්ඝෝෂනය මෙහයවන මාගම්පුර වරාය සේවක සමිතිය අරගලය වටා අවශේෂ කම්කරුවන්ගේ සහයෝගය බලමුලු ගැන්වීමේ වැඩපිලිවෙලකට විරුද්ධය. රැකියා හෝ වන්දි ලබා ගැනීම සඳහා ඔවුන් ඉදිරිපත් කල ඉල්ලීම කම්කරුවන්ට උගුලක් විය. එම ඉල්ලීමෙන් සිදු කෙරුනේ රැකියා අහිමි වූ කම්කරුවන්ගේ අරගලය මුලුමනින් ම වරාය අධිකාරියට සහ ආන්ඩුවට බලපෑම් කිරීමෙන් රැකියා නැතිනම් අඩුම තරමින් සාධාරන වන්දියක් ලබා ගත හැකිය යන මිථ්‍යාවකට කොටුකර තැබීම ය.

වරාය අධිකාරියෙන් විසඳුමක් නොලැබුන තැන සමිති නායකයන් ඊලඟට කන්නලව් කලේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ට ය. සතියක් ඇතුලත පිලිතුරක් ලබා දෙන බවට දෙසැම්බර් 21 දා පොරොන්දුව වූ සිරිසේන පසුව ගැටලුව “අදාල” අංශ වලට යොමු කර ඇතයි දැනුම් දෙමින් ප‍්‍රශ්නයෙන් අත සෝදාගෙන ඇත්තේ වරාය අධිකාරියේ පියවරට අනුමැතිය දෙන නිසාය.

වරාය අධිකාරිය රැකියාවෙන් දොට්ට දැමීමට හිලව් වශයෙන් කම්කරුවන්ට සොච්චම් වන්දි මුදලක් පමනක් දීමට යෝජනා කර ඇත. ඒ අනුව රැකියා අහිමි වන කම්කරුවන්ට ලැබෙන්නේ සේවා කාලය අනුව මාසික වැටුප හා කාර්ය ඉටු කිරීමේ දීමනාව මෙන් 3 ගුනයේ සිට 10.5 ගුනයක වන්දියකි. එය වෘත්තීය සමිතිය ඉල්ලා සිටින මුදලින් 25 න් පංගුවක් පමන වේ. වන්දි ලබා දීමේ උපරිමය කාලය වසර 3 ක සේවා කාලයට සමාන වැටුපකට සීමා කර ඇති හෙයින් මූලික වැටුප රුපියල් 14,200 ක් වන සාමාන්‍ය කම්කරුවෙකුට ලැබෙනු ඇත්තේ රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් බව කම්කරුවෝ පැවසුහ. අධිකාරිය පවසා ඇත්තේ රජයේ අනුමත වන්දි මුදල සමග සැසඳූ කල මෙය “ඉතා ඉහල” ගනනක් බව ය. එහෙත් රැකියාව අහිමිවීම, යලි රැකියාවක් සොයා ගැනීමට පවතින දුෂ්කරතා හා රුපියල් ලක්ෂ 25-30 ආදී වශයෙන් බැංකුවලින් ලබාගෙන ඇති නිවාස නය හා සැසඳීමේ දී යෝජිත වන්දිය කිසිසේත් ප‍්‍රමානවත් නොවන බව කම්කරුවෝ කියති.

කම්කරු වෘත්තීය සමිති සහ සබරගමු සංවර්ධන ඇමති විසින් “ආරවුල බේරුම් කිරීම කිරීම පිනිස” අනිවාර්ය බේරුම් කරුවෙකු වෙත පවරා තිබීම ආන්ඩුව සහ වරාය අධිකාරිය මෙම සැලසුම් කම්කරුවන් මත බලහත්කාරයෙන් පැටවීමේ උප්පරවැට්ටියකි.

චීන සමාගමට කම්කරුවන් සපයන “කලම්බු ලොජිස්ටික්” සහ ඇක්සස් යන මෑන් පවර් සමාගම් යටතේ සේවය කිරීමට රැකියා අහිමි වූ කම්කරුවන්ට ද යෝජනා කර ඇත. මාස හයෙන් හයට අලුත් කරන සේවා කොන්ත‍්‍රාත්තුවක් යටතේ සියලු අයිතීන් අහිමි කෙරුනු එම රැකියා උද්ඝෝෂනයේ නිරත කම්කරුවෝ ප‍්‍රතික්ෙෂ්ප කරති.

දොට්ට වැටී සිටින කම්කරුවන් අතරින් තාක්ෂනවේදීන් එකසිය හතලිහක් බඳවා ගැනීම ගැන වරාය අධිකාරිය පතුරවා හැර ඇති නොනිල ප‍්‍රවෘත්තිය අරගලයේ යෙදී සිටන කම්කරුවන් බේද කර විසුරුවා හැරීමේ කූටෝපායක් බව ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුවන්ට කරුනු දැක්වූ කම්කරුවෝ පැවසූහ.

රැකියා අහිමි කෙරුනු කම්කරුවන් සේවයට බඳවා ගෙන ඇත්තේ මාගම්පුර වරාය කලමනාකරන (පුද්ගලික සමාගම) යටතේ ය. සමාගමේ ව්‍යාපාරික කොටස් වල සම්පූර්න අයිතිය වරාය අධිකාරිය සතු වන අතර එහි අධ්‍යක්ෂවරුන් නව දෙනා ගෙන් අට දෙනෙකු ශ්‍රී ලංකා වරාය අධිකාරිය තුලින් හා වරාය විෂය භාර අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබ ඇත. එහෙත් කම්කරුවන් කෙලින් ම වරාය අධිකාරියට බඳවා නොගෙන අධිකාරිය විසින් ස්ථාපිත සමාගමක් මගින් කොන්ත‍්‍රාත් ක‍්‍රමයට බඳවා ගෙන ඇත්තේ අවශ්‍ය විටෙක ඔවුන් රැකියාවෙන් දොට්ට දැමීමේ සැලැස්මක් ඇතිව ය. එය පොදුවේ ලංකාව තුල රාජ්‍ය, අර්ධ රාජ්‍ය මෙන් ම පුද්ගලික අංශය තුල ක්‍රියාවට දමන අතර වැටුප් හා සේවා කොන්දේසි කප්පාදු කරමින් ශ‍්‍රම සූරාකෑම තීව‍්‍ර කිරීමේ කොටසක් ලෙස ජාත්‍යන්තරව ක්‍රියාවට දමන පිලිවෙතකි.

කොන්ත‍්‍රාත් පදනමක හම්බන්තොට කම්කරුවන් තැබීමෙන් රැකියාවල අවදානම් තත්වය එලෙස දිගටම ලියැවී තිබුනි. 2016 දෙසැම්බරයේ චීන සමාගමකට වරාය විකිනීම තීන්දුවන තතුතුල රැකියා ස්ථිරත්වය ඉල්ලා කම්කරුවන් කල අරගලය නාවික හමුදාව දමා මැඩලීමෙන් ආන්ඩුවේ සැලසුම එලිදරවු විය. කෙසේ වුවද මේ සියල්ල සිදුව පැවතියදී වෘත්තීය සමිතිය රැකියා රැක ගැනීමේ බැරෑරුම් අරගලයකට විරුද්ධව සිටියේය.

දොට්ට වැටුන කම්කරුවන්ගේ රැකියා අයිතිය යලි තහවුරු කිරීම සඳහා සමස්ථ කම්කරු පන්තියේ පන්ති ශක්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමේ යෝජනාව සසප ඉදිරිපත් කලවිට මාගම්පුර වරාය සේවක සමිතියේ සම කැඳවුම්කරු බුද්ධික ප‍්‍රසාද් ප‍්‍රකාශ කලේ තමන් ආන්ඩු පෙරලියකට සූදානම් නැති බවත් රැකියා හෝ වන්දි නොලැබුනොත් “සාමූහිකව ඝාතනය වෙනවා හැර” වෙන කලයුතු දෙයක් නැති බවය.

කම්කරුවන් මෙම මංමුලාවේ හා අපේක්ෂා භංගයේ ප්‍රකාශය තරයේ හෙලා දැකිය යුතුය. රැකියා නැසීමේ වැඩපිලිවෙල ඉදිරියේ ඔවුන් දේශපාලනිකව නිරායුධ කර තැබූ සමිති නායකයාගේ ප්‍රකාශය ඇඟවුම් කරන්නේ ධනපති ක්‍රමය තුලම විසඳුම් සෙවීමට කම්කරුවන් සීමාවී ගතයුතු බවය.

හම්බන්තොට වරායේ කම්කරුවන් ගේ අරගලය වෛෂයිකව ගැටෙන්නේ විදේශ ආයෝජන ආකර්ෂනය කර ගැනීමේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමුඅ) නියෝග මත ධනපති ආන්ඩුව විසින් ක්‍රියාවට දමනු ලබන සමස්ත කම්කරු පන්තියේ රැකියා, වැටුප්, සේවා කොන්දේසි හා ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කරන ධනපති ආන්ඩුවේ පිලිවෙත සමග ය.

දිවි පරදුවට තබා ධනපති ක‍්‍රමය රැකීමේ වෘත්තීය සමිති නායකයන්ගේ අධිෂ්ඨානය ප‍්‍රතික්ෂේප කරමින් සිය අරගලය ට අවශේෂ කම්කරුවන්ගේ සහයෝගය දිනා ගැනීමට උද්ඝෝෂනයේ යෙදී සිටින කම්කරුවන් යොමුවිය යුතුය. එවන් අරගලයකට එරෙහිව තිරිංගයක් ලෙස ක්‍රියාත්මක වන වෘත්තීය සමිතියෙන් බිඳී කම්කරුවන් සිය චන්දයෙන් තෝරා පත්කර ගන්නා ක්‍රියාකාරී කමිටුවක් මගින් අරගලය සංවිධානය කිරීමේ වගකීම ගත යුතු ය.

කියවන්න: චීන සමාගමට පැවරීමත් සමග ආන්ඩුව හම්බන්තොට වරාය සේවකයන් දොට්ට දමයි

ශ්‍රී ලංකාව: හම්බන්තොට වරාය සේවක වර්ජනයේ දේශපාලන පාඩම්

ලංකාවේ ආන්ඩුව හම්බන්තොට වරාය චීනයට පවරාදීම ගැන ඇමරිකාවේ හා ඉන්දියාවේ උත්සුකය පලවෙයි

Share this article: