ජර්මානු කම්කරුවන් නව මැතිවරනයක් ඉල්ලා සිටිය යුතු ය!

Workers must demand new elections in Germany!

2018 ජනවාරි 10

නිලධාරීන් ක්‍රිස්තියානි ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්(සීඩීයූ/සීඑස්යූ) හා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්(එස්පීඩී) අතර මූලික සාකච්ඡා ආරම්භ කිරීමත් සමග, බර්ලිනයේ සැලැසුම් කෙරෙමින් තිබෙන දේශපාලන කුමන්ත‍්‍රනය නව අදියරකට පිවිස තිබේ. මහජනයාට හොරෙන් පාලක පන්තිය වැඩ කරමින් සිටින්නේ හිට්ලර්ගේ තුන්වැනි රයිකය ඇද වැටීමෙන් පසු අතිශයින් දක්ෂිනාංශික ආන්ඩුවක් ජර්මනිය තුල ඇටවීමට යි.

සාකච්ඡා කෙරෙමින් තිබෙන ආන්ඩුවේ ක්‍රියාමාර්ගය කොතරම් කම්කරු පන්ති විරෝධී, මිලිටරිවාදී හා ප‍්‍රතිගාමී එකක් ද යත්, විලී බ‍්‍රාන්ට් නිවසේ පිහිටි එස්පීඩී මූලස්ථානයේ පලමු සාකච්ඡා වටය පැවතුනේ හොර රහසේ පමනක් නො ව, ආවරනය කෙරුනු ජනේලවලට පිටු පසිනි. ඒ මාධ්‍ය ඡායාරූප ගැනීම ද ඇතුලු මාධ්‍ය ආවරනය වැලැක්වීමටය. අන්තර්ගත දේ මහජනයාට කාන්දු වීම වැලැක්වනු පිනිස (මාධ්‍යයේ) සම්මුඛ සාකච්ඡා තහනම් කිරීමට මූලික සාකච්ඡාවලට සහභාගීවන 39දෙනා එකඟ වී ඇත.

නිල වශයෙන් මෙම රහස්‍යතභාවය යුක්තිසහගත කෙරෙන්නේ ක්‍රිස්තියානි ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්, නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය හා හරිතයන් අතර නොවැම්බර් 19වැනිදා පැවති සාකච්ඡා අසාර්ථක වූයේ, සහභාගී වන්නන් සාකච්ඡා යන අත හෙලි කර තිබූ අතර පුද්ගලික සම්මුඛ සාකච්ඡා, කතා සංදර්ශන හා සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දැක් වූ නිසා ය යන කාරනයෙනි.

යතාර්ථයේ දී, පාලක පන්තිය එවැනි රහස්‍ය භාවයක පිහිට සොයමින් සිටින්නේ, ඔවුන්ගේ මිලිටරිවාදී ප‍්‍රතිපත්ති, අභ්‍යන්තර ප‍්‍රතිසන්නද්ධකරනය හා සමාජ ශුභසාධන කප්පාදුවලට එරෙහිව වර්ධනය වන විරුද්ධත්වයට බියෙනි. ඔත්තුසේවා හා ජාතික ආරක්ෂක සන්ධානයේ (ඉන්සා) මෑත අධ්‍යයනයකට අනුව, ප‍්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 30ක් පමනක් මහා සභාගය ඉදිරියට ගෙන යාමට සහයෝගය දැක් වූ අතර, නව මැතිවරන සඳහා සැලකියයුතු මහජන සහයෝගයක් පලවී තිබේ.

මෙම තතු යටතේ, සමාජවාදී සමානතා පක්ෂය නව මැතිවරනයක් සඳහා වන තම ඉල්ලීම යලිත් දැඩි ලෙස ඉදිරිපත් කරයි. මහජනයාගේ කිසිදු අනුමැතියකින් තොර ව දක්ෂිනාංශික කුමන්ත‍්‍රනකරුවන්ගේ කල්ලියකට තම මාවතට අවතීර්න වීමට අවසර නො දිය යුතු ය. නව මැතිවරන උද්ඝෝෂනයක දී, සසප ධනේශ්වර පක්ෂවල (එස්පීඩී, වාම පක්ෂය හා හරිතයන් ඇතුලුව) සැබෑ අරමුනු හෙලිදරව් කරනු ඇති අතර ධනවාදය, යුද්ධය හා ඒකාධිපතිවාදයට එරෙහිව සමාජවාදී විකල්පයක් ගොඩනැගීමට සටන් කරනු ඇත.

ගෙවී ගිය සති කීපයේ දී, සාකච්ඡාවල නියලි පක්ෂ තුනේ ම නායකයින් ඇති තරම් පැහැදිලි කර ඇත්තේ මහා සභාගයේ නව සංස්කරනයක් ඊට පෙර එකේ ප‍්‍රතිපත්ති සරලව ඉදිරියට ගෙන නො යනු ඇති බව යි. එහි ගමන් මාවත ඊටත් වඩා ප‍්‍රතිගාමී වනු ඇත. අවධානය යොමු වන්නේ මාතෘකා තුනක් ගැන ය: එනම්, විදේශ හා මිලිටරි ප‍්‍රතිපත්තිය, කප්පාදු හා ශුභසාධන කැපීම් ය. මේ සඳහා පලවන විරුද්ධත්වය මර්දනය කිරීම සඳහා පොලිස් හා ඔත්තුසේවා සංවිධාන පුලුල් කර යි.

සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී විදේශ ඇමිති සිග්මාර් ගේබ්‍රියල්, නව ආන්ඩුවේ තම තනතුර රැක ගැනීමට උත්සාහ කරමින්, දැවන්ත මිලටරි තර කිරීමක් හා රුසියාවට හා චීනයට එරෙහිව පමනක් නොව, එක්සත් ජනපදයට එරෙහිව ද එල්ල කෙරෙන මහා බලවතෙකුගේ ප‍්‍රතිපත්තියක් සඳහා උද්ඝෝෂනය කරමින් සිටී.

පසු ගිය සතියේ ඩර් ස්පීගල් පත‍්‍රය තුල, ගේබ්‍රියල් “මාංශ භක්ෂකයින්ගෙන් පිරුනු ලෝකයක” බලය තහවුරු කර ගැනීමට සිදු ව තිබූ “ශාඛ භක්ෂයින්” සමග යුරෝපය සමාන කල අතර දැවන්ත ප‍්‍රතිසන්නද්ධකරනය හා යුද්ධයේ ප‍්‍රතිපත්ති ඉල්ලා සිටියේ ය. “ලෝකය තුල අපගේ උත්සුකයන් සවිබල ගැන්විය යුතු අතර ප‍්‍රන්සය, බ්‍රිතාන්‍ය හා විශේෂයෙන් ම එක්සත් ජනපදය මත ජර්මනියට තව දුරටත් රඳා පැවතිය නො හැකි ය.”

ඔහු නිරන්තරයෙන් සඳහන් කරන, ප‍්‍රතිගාමී දේශපාලන න්‍යායවාදියෙකු වන හර්ෆ්‍රීඩ් මූන්ක්ලර් මෙන් ම ගේබ්‍රියල් ද විශ්වාස කරන්නේ එරට යුරෝපා සංගමයේ “අධිපතියා” මෙන් ම “වැඩ නියම කරන්නා” වන්නේ නම් පමනක් නැවත වතාවක් ජර්මනියට මහබලවතෙකු විය හැකි බව යි. එම අරමුන වෙනුවෙන්, ඔහු සහ එස්පීඩී දේශපාලඥයෝ, ඔහු ම ද යුරෝපා සංගමයේ මිලිටරි සවිබල ගැන්වීම් ගැන අවධාරනය කරන ප‍්‍රන්ස ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් සමග කිට්ටු සහයෝගිත්වයක් සඳහා බල කරමින් සිටිති.

එස්පීඩීයට පක්ෂ රාජ්‍යතාන්ත්‍රිකයෙකු වන මයිකල් ස්ටේනර් විසින් සූඬේයුට්ෂේ ෂේයිතුංග් පත‍්‍රය තුල මෙම මාවත යුක්තිසහගත කරන ලදී. ජර්මනියට ලෝක ජනගහනයෙන් සියයට එකක් පමනක් අයත් වන අතර විදේශ රටවල් සමග වෙලඳාම මත ඔවුන්ගේ ධනය රැඳී ඇති බව සඳහන් කරමින්, ඔහු මෙසේ සඳහන් කලේ ය, “අපට යුරෝපා සංගමය අවශ්‍ය වන්නේ සමාන අඩිතාලමක් මත ගෝලීය වර්ධනයන් හැඩ ගැස්විය හැකි බලගතු, වටිනා ගෝලීය හවුල් කරුවෙකු ලෙස ය.” ස්ටේනර් මෙසේ ද සඳහන් කලේ ය: “යුරෝපා සංගමය තුල අප එක්ව වැඩ කල යුතු ක්ෂේත‍්‍ර අතර, පලමුව ආරක්ෂාව, කිට්ටු මිලිටරි සම්බන්ධතා, පොලිස් සහයෝගිතාව හා ඒකාබද්ධ දේශසීමා ආරක්ෂාව...දෙවනුව, ව්‍යාපාර හා මූල්‍ය කටයුතු... හා තුන්වනුව, විදේශ ප‍්‍රතිපත්තිය” වන්නේ ය.

සීඑස්යූව හා සීඩීයූවේ පාර්ශ්වයක් “ජාතික ස්වාධිපත්‍යය මෙන් ම හංගේරියාව හා ඔස්ට්‍රියාවේ දක්ෂිනාංශික ආන්ඩු සමග කිට්ටු සම්බන්ධතා පවත්වා ගැනීම” අවධාරනය කිරීම, යුරෝපා ප‍්‍රශ්නය මත වෙනස්කම් මතු කරයි. නමුත් මේවා උපක‍්‍රමික ස්වභාවයේ ඒවා වන්නේ ය. සියලුම නියෝජිතයෝ යෝධ ප‍්‍රතිසන්නද්ධකරනය හා ජර්මන් මිලිටරියේ මෙන් ම ආරක්ෂක සංවිධාන පුලුල් කිරීම පිලිබඳ අතිමූලික ප‍්‍රශ්න සම්බන්ධයෙන් එකඟ වෙති.

ග්‍රීසිය හා අනෙකුත් යුරෝපා සංගමයේ සාමාජික රටවල පමනක් නො ව, ජර්මනිය තුල ම ද සමාජ ව්‍යසනයකට හේතු වී ඇති, හිටපු සීඩීයූ මුදල් ඇමති වොල්ෆ්ගැන්ග් ෂෝබල්ගේ කප්පාදු ප‍්‍රතිපත්තිය පිලිගැනීමට ද මෙය අදාල වේ. ජර්මනිය තුල සමාජ අසමානතාව 2013ට පසු ඉහල ම මට්ටමක පවතින අතර, දරිද්‍රතාව හා නිවාස නොමැතිකම නිරන්තරයෙන් ඉහල යමින් පැවතුන ද සියලු ම පක්ෂ, කප්පාදු පියවර ඒකමතිකව වැලඳ ගනිති. ඒ අතරම, ඔවුහු බදු කප්පාදු (පොහොසතුන් සඳහා) හා මිලිටරි වියදම් දැවන්ත ලෙස වැඩි කිරීම සැලැසුම් කරමින් සිටිති, මෙයට මුදල් සැපයිය හැක්කේ සමාජ ශුභසාධන වියදම් තව දුරටත් කප්පාදු කිරීමෙන් පමනි.

ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ “පලමුව ඇමරිකාව” ප‍්‍රතිපත්තිය හා චීනය සමග වැඩෙන තරඟකාරිත්වයට ප‍්‍රතිචාර වශයෙන්, විශාල සංගත දොට්ට දැමීම් රැල්ලක් හා වැටුප් කප්පාදු දියත් කර ඇත. මේ වන විටත්, සීමෙන්ස්, තයිසෙන්කෘප්, බොම්බාඩියර්, එයාර් බර්ලින්, ඕපල් යන සමාගම්වල හා ඩොයිෂ් බැංකුවේ රැකියා දහස් ගනනක් කප්පාදු කෙරෙමින් තිබේ.

සභාග සාකච්ඡා සිදුවන්නේ ජර්මනිය පුරා වර්ධනය වන්නා වූ කම්කරු සටන්කාමිත්වයේ රැල්ලක් මධ්‍යයේ ය. කම්කරුවන් මිලියන 3.9ක් සඳහා වැටුප් සාකච්ඡා ඇරඹීමෙන් පසු, ලෝහ හා ඉංජිනේරු කර්මාන්තවල මෙම සතියේ දහස් ගනනක් කම්කරුවෝ වැඩවර්ජන වලට එලඹුනහ. පෙබරවාරි මස ඇරඹීමත් සමග මෙය ඊටත් වඩා විශාල වර්ජන කරා පැතිර යා හැකි බවට ගම්‍යයන් ඇත.

කම්කරු පන්තියේ වැඩෙන අරගල, (හා මහජනයා පුලුල් ලෙස මිලිටරිවාදය ප‍්‍රතික්ෂේප කිරීම) සීඩීයූ/සීඑස්යූ හා එස්පීඩීය යන දෙකම දේශීය දේශපාලනයේ දී තියුනු ලෙස දකුනට හැරීමක් බලාපොරොත්තු වීමේ හේතුවයි. ප‍්‍රචන්ඩ පන්ති සටන් පිලිබඳ පූර්වාපේක්ෂාව මත ඔවුන්ට දැවන්ත ලෙස පොලීසිය හා ඔත්තුසේවා තර කිරීමට අවශ්‍ය අතර, අන්ත දක්ෂිනාංශික පක්ෂයක් වන ජර්මනිය සඳහා විකල්පයේ (ඒඑෆ්ඩී) සටන්පාඨ පිලිගනිමින් සිටිති. හිට්ලර්ගේ පරාජයෙන් දශක හතකට පසු ඒඑෆ්ඩීය ආපසු ජර්මන් පාර්ලිමේන්තුවට පිවිස ඇත.

සිග්මාර් ගේබ්‍රියෙල් ඉල්ලන්නේ, දක්ෂිනාංශය සමග අඳුනා ගැනුනු “අනන්‍යතාව”, “ප‍්‍රමුඛ සංස්කෘතිය”, හා “මාතෘභූමිය” යන සටන්පාඨ තුලින් එස්පීඩීයේ වැඩසටහන තුලට මාවතක් සොයා ගත යුතු බව යි. වයිමාර් සමූහාන්ඩුවේ ජාතික සමාජවාදයේ (නාසිවාදයේ) සාංකල්පික පුරෝගාමීන් සමග පෙලට සිටිමින්, ප‍්‍රමුඛ සීඑස්යූ දේශපාලඥයෙකු වන ඇලෙක්සැන්ඩර් ඩොබ්‍රින්ට් ඉල්ලන්නේ “ආචීර්නකල්පික(කොන්සර්වටිව්) විප්ලවයකි.” යුරෝපා පාර්ලිමේන්තුවේ කොන්සර්වටිව් යුරෝපීය මහජන පක්ෂයේ(ඊපීපී) නායකයා මෙන් ම ඔහුගේ පක්ෂ සගයෙකු වන මැන්ෆ්‍රෙඩ් වෙබර්, මෑත සීඑස්යූ රැස්වීමක දී මෙසේ පැවසුවේ ය: “2018දි, කේන්ද්‍රීය යුරෝපීය මාතෘකාව සරනාගත ප‍්‍රශ්නයේ අවසාන විසඳුම වනු ඇත: මෙය නොවරදින ලෙස හිට්ලර්ගේ “යුදෙව් ප‍්‍රශ්නය පිලිබඳ අවසාන විසඳුම” මතක් කර දෙන සූත‍්‍රයකි.

හුස්ම හිර කරවන වේගයකින්, සංස්ථාපිත පක්ෂ ආපසු පැමිනෙන්නේ දීර්ග කාලයක සිට වලලා දමන ලදැ යි සැලකී ඇති දේශපාලනික සම්ප‍්‍රදායකට ය. මෙය වාම පක්ෂයේ නායකත්වයට ද අදාල වේ. එහි පාර්ලිමේන්තු කන්ඩායම් නායක ඩියෙත්මාර් බාර්ට්ෂ්, ගේබ්‍රියල්ගේ මහබලවතුන්ගේ දේශපාලනයට නිශ්චය ලෙස ම සහාය දක්වන අතර, සාරා වගෙන්ක්නෙක්ට් හා ඔස්කාර් ලෆොන්ටේන් වටා පාර්ශ්වයක් දීර්ග කාලයක් තිස්සේ සරනාගතයින්ට එරෙහිව උද්ඝෝෂනය කරමින් ද දේශසීමා වසා දැමීමට උපදෙස් දෙමින් ද සිටිති.

මෙම දක්ෂිනාංශික ප‍්‍රතිපත්තිවලට විරුද්ධ වන එකම පක්ෂය සමාජවාදී සමානතා පක්ෂය යි. නව මැතිවරනයේ දී, ධනේශ්වර පක්ෂවල ප‍්‍රතිගාමී කූටෝපායන් හෙලිදරව් කිරීමේ සියලු මාධ්‍ය එය විසින් බලමුලු ගන්වනු ඇති අතර ජර්මානු හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ උත්සුකයක් ප‍්‍රකාශ කරන ක්‍රියාමාර්ගයකට සටන් කරනු ඇත්තේ, ධනවාදයට එරෙහිව සටන සමග යුද්ධයට එරෙහිව සටන් එකාබද්ධ කරමිනි.

සමාජවාදී සමානතා පක්ෂය (ජර්මනිය)

Share this article: