මහින්ද රාජපක්ෂ කන්ඩායම වර්ගවාදය උසිගැන්වීමට පලාත්පාලන මැතිවරනය යොදා ගනී

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2018 ජනවාරි 18

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුවේ දේශපාලන අර්බුදය ගැඹුරුවීම මධ්‍යයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය දේශපාලන කන්ඩායම මෙහෙයවාගෙන යලිත් දේශපාලන පදනමක් ගොඩනගා ගැනීම සඳහා පලාත් පාලන මැතිවරනය තුල වියරු වෑයමක යෙදී සිටියි. මහජනයාගේ ප‍්‍රශ්න ගැන කිඹුල් කඳුලු හෙලමින් දෙමල විරෝධී වර්ගවාදය ඇවිස්සීම ඔහුගේ උද්ඝෝෂනයේ විසකුරු ආයුධය කරගෙන තිබේ.

රාජපක්ෂ නායකත්වය දෙන්නේ කලින් ඒකාබද්ධ විපක්ෂය ලෙස සංවිධානය වී සිට දැන් පොදු ජන පෙරමුන (පොජපෙ) නමින් අටවා ඇති අලුත් පක්ෂයටයි. මෙහි මූලිකයන් සිරිසේනගේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් (ශ්‍රීලනිප) හා එය නායකත්වය දෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වෙන්වූ මන්ත්‍රීන් කන්ඩායමකි. රාජපක්ෂගේ ඉලක්කය ශ්‍රීලනිපය තුල බලය අල්ලාගෙන හෝ නැතිව යලි ආන්ඩු බලයට පැන ගැනීමයි.

2015 ජනාධිපතිවරනයෙන් රාජපක්ෂ පරාජයට පත්වූයේ ඔහුගේ පාලන සමයේ කුරිරු ලෙස අවසන් කෙරුනු දෙමල විරෝධී වර්ගවාදී යුද්ධය, ජීවන තත්වයන් තලා දමමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමුඅ) ප‍්‍රතිපත්ති ක්‍රියාවට දැමීම හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් උදුරා ගනිමින් ගෙනගිය පාලනය කෙරෙහි රට පුරා පැනනැගුනු මහජන විරෝධය නිසාය. සිරිසේන බලයට ගෙන ඒමට එකතුවූ බලවේග “යහපාලනය” ඇති කරන බවට මොරදෙමින් මෙම මහජන විරෝධය නොමග යැවූහ.

එහෙත් තුන් අවුරුද්දක් පිරෙන තැන ව්‍යාජ මැතිවරන පොරොන්දු තිබියදී, රාජපක්ෂ නැවැත්වූ තැනින් එහාට යමින් ජාමුඅ නියෝග අනුව ආර්ථික කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමීම සහ ප‍්‍රජාතන්ත්‍රී ය අයිතීන්ට පහර දීම නිසා සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවට එරෙහිව කම්කරුවන්ගේ, දුගීන්ගේ හා තරුනයන්ගේ පෙරලිකාරිත්වයක් අලුත් වටයකින් වැඩෙයි. මේ විරෝධය නොමග යවා ගසාකෑමට රාජපක්ෂ තැත්කරයි.

පලාත්පාලන චන්දයෙන් ඔහු නායකත්වය දෙන පොජපෙ දිනවන ලෙස ජනවාරි 14 වනදා පානදුර නගරයේ පැවති රැස්වීමක දී රාජපක්ෂ ඉල්ලා සිටියේ ය. “මේ ආන්ඩුව ඉතා දුර්වල තත්වයක ඉන්නේ. අන්ඩුවේ ඉන්න දෙගොල්ල කුලල් කා ගන්නවා. කුලල් කා ගන්නා ආන්ඩුව තුල රටක් දියුනු වෙන්නේ නැහැ” යි ඔහු කිවේය. ආන්ඩුවේ කුලල් කෑම ගැන ඔහු කරන කතාව ධනපති පන්තියට දෙන පනිවුඩයකි. එනම් ඔහු යටතේ මහා ව්‍යාපාරිකයන්ගේ හා මුල්‍ය අරමුදලේ වැඩපිලිවෙල ක්‍රියාවට දමන “ශක්තිමත් ආන්ඩුවක්” අටවා ගත හැකි බවයි.

රාජපක්ෂ සඳහන් කරන “ආන්ඩුව තුල කුලල් කාගැනීම” විවෘත ව ඉස්මත්තට පැමින ඇත්තේ කප්පාදු වැඩපිලිවෙලට එරෙහි මහජන විරෝධය වැඩෙන තතු යටතේ ආන්ඩුවෙන් දුරස්තවීමට සිරිසේනත්, ජනාධිපති නොතකා තමන් සංවර්ධනයේ යෙදෙන බව පෙන්වීමට එජාපයත් ක්‍රියා කරන තතු තුලය. මේ දෙකම බේගල්ය. දෙදෙනා එකට මේ ප‍්‍රහාර එල්ල කරති.

තම අත් ශක්තිමත් කර ගැනීමට සිය පක්ෂයෙන් වෙන්වී සිටින රාජපක්ෂ සමග සම්මුතියක් ඇතිකර ගැනීම පිනිස සිරිසේන පසුගිය නොවැම්බරයේ තැත් කලේය. එසේ කිරීමට නම්, පලමුව ශ්‍රීලනිපය ආන්ඩුවෙන් බිඳිය යුතුයයි රාජපක්ෂ ඉල්ලූ නිසා එම උත්සාහය ව්‍යර්ථ විය. රාජපක්ෂ කලේ තම ස්වෝත්තමවාදී උද්ඝෝෂනය උත්සන්න කිරීමයි.

යෝජිත නව ව්‍යවස්ථාව මගින් බුද්ධාගමට දී තිබෙන ප‍්‍රමුඛත්වය අහෝසි කිරීමට හා රට බෙදීමට ආන්ඩුව කටයුතු කරන බවටත් “රන විරුවන්” හෙවත් යුද්ධය ජයගත් මිලිටරිය පාවාදෙන බවටත් චෝදනා කරමින් ඔහු රටවටා උද්ඝෝෂනයක් ගෙනයයි. කඩවත නගරයේ 6 වනදා පැවති එවැනි එක් පොජපෙ මැතිවරන ප‍්‍රචාරක රැස්වීක දී රාජපක්ෂ මහජනයාගෙන් ඉල්ලා සිටියේ “ඊලම දක්වා යන රට දෙකඩ කරන ව්‍යවස්ථාවට විරුද්ධ ජන මත විචාරනයක් ලෙස පලාත් පාලන මැතිවරනය යොදා ගන්නා ලෙස”යි. “මේ රටට ආදරය කරන හැම කෙනෙක් ම තරුනයන් ජීවිත පුජා කර ආරක්ෂා කර ගත් රට ආරක්ෂා කර ගත යුතු” යයි ද ඔහු කිවේය.

“තරුනයන් ජිවිතපුදා රැකගත් රට ලෙස” ඔහු සඳහන් කලේ මිලිටරිය රුදුරු ලෙස මෙහෙයවමින් ගෙනගිය වර්ගවාදී යුද්ධය එල්ටීටීඊය පරාජය කර අවසන් කිරීමයි. සිංහල වර්ගවාදය ඇවිස්සීම සඳහා ආන්ඩුව රට බෙදන බවට රාජපක්ෂ පචයක් ගොතන්නේ තමන් මෙන්ම සිංහල වර්ගවාදය යහමින් යොදා ගන්නා සිරිසේන හා වික‍්‍රමසිංහ සිංහල භාෂාවට හා බුද්ධාගමට මුල්තැන දෙන, මර්දන නීති තවත් විස ගැන්වුනු ව්‍යවස්ථාවක් ගෙන එන බවට පන්සල් ගානේ යමින් දිවුරන තත්ත්වයක ය.

ධනපති පන්තිය තමන් උග‍්‍ර අර්බුදයක ගිලෙන හැම විටම මෙම චිරාකාලින විසකුරු ප‍්‍රචාරය ගෙන එන්නේ සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් බෙදා දමා තම පාලනය රැක ගැනීමේ අවශ්‍යතාවය මතුවන විටයි. රාජපක්ෂගේ උද්ඝෝෂනයේ අරමුන වන්නේ ජීවන තත්වයන්ට, සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ලවන ප්‍රහාර නිසා නැගී ඇති මහජන කෝපය ධනපති ක‍්‍රමයට එරෙහිව යාම වලක්වා පීලි පැන්වීමට සහ බලයට පැමින කම්කරු පන්තිය තලා දමන වර්ගවාදයෙන් මත්කෙරුනු අන්ත දක්ෂිනාන්ශික ව්‍යාපාරයක් ගොඩනැගීමටයි.

සිය පරාගතවාදී සංස්තාපිතය හා වරප‍්‍රසාද රැක ගැනීම ගැන උත්සුක බෞද්ධ භික්ෂුන් හිටපු ජනාධිපතිගේ මේ උද්ඝෝෂනය ඇවිලීමට පෙලගැසී සිටියි. අන්තවාදී ජාතික නිදහස් පෙරමුන සහ පිවිතුරු හෙල උරුමය, බොදුබලසේනා, සිහල රාවය ආදී ෆැසිස්ට්මය සංවිධාන ඔහුට සහය දෙයි. හිටපු හමුදා නිලධාරින් හා දයාන් ජයතිලක ආදීන් මහින්ද රාජපක්ෂගේ සහෝදරයා වන හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මුදුනට දමාගෙන තනා ඇති වර්ගොත්තමවාදින්ගේ ඊනියා විද්වත් සභාව රාජපක්ෂ පුම්බා ගැනීමට ඇටවූ තවත් සංවිධානයකි.

බඩු මිල වැඩිවීම, බදු වැඩි කිරීම හා රාජ්‍ය ආයතන විකිනීම ආදිය ගැන රාජපක්ෂ කරන ව්‍යාජ ජනතාවාදී කතා ඔහුගේ දක්ෂිනාංශික උද්ඝෝෂනයට අමුනා ගෙන ඇත්තේ මහජනයා කෙරෙහි මොනම අනුකම්පාවකින් වත් ඒවා කෙරෙහි විරුද්ධත්වයක් නිසාවත් නොවේ. 2005 සිට 2014 අවසානාය දක්වා පැවති රාජපක්ෂගේ ආන්ඩුව මුල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල නිර්දයව ගෙන ගියේය.

උතුරු නැගෙනහිර යුද්ධය අවුලවමින් ගෙන ගිය වර්ගවාදී උසිගැන්වීමේ මූලික ඉලක්කය වූයේ කම්කරු පන්තිය මත අර්බුදයේ බර පැටවීමයි. එල්ටීටීඊ “ත‍්‍රස්තවාදීන්ට” සහාය දෙන්නේයයි කම්කරුවන්ගේ අරගලවලට පහර දුන් ඔහුගේ පාලනය මිලිටරි-පොලිස් මර්දනය ගෙන එමින් ඒවා මැඩලා වැටුප් කැටිකිරීම ආන්ඩුව වැටෙන තුරුම ක්‍රියාත්මක කලේය. 2009 මැයි යුද්ධය අවසන් වූ පසු මෙම ප‍්‍රහාර ගෙන ගියේ “ආර්ථික යුද්ධය දියත් කිරීම” නමිනි.

ආන්ඩුව සහ රාජපක්ෂ නායකත්වය දෙන කන්ඩායම අතර ඇත්තේ උපායාත්මක මතභේදයන් ය. රාජපක්ෂ පාලනය යටතේ වරප‍්‍රසාද ලැබූ ධනපති පන්තියේ ඇතැම් කොටස් තමන් වත්මන් පාලනය තුල කොන්වීම නිසා සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව කෙරෙහි උරනව සිටින නමුත් ජාමුඅ විසින් යෝජිත ආර්ථික කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමීම හෝ අධිරාජ්‍යවාදී බලයන් සමග ගනුදෙනු කිරීම ගැන මූලික මත භේදයක් ඔවුන් අතර නැත.

රාජපක්ෂ ඉවත්කර සිරිසේන බලයට දමා ගැනීමට “යහපාලන” ප‍්‍රචාරයට පිටුපසින් ඇමරිකාව ඉන්දියාවේ උදව් ඇතිව මැදිහත් විය. ඒ ඔහුගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනයට එරෙහිව නොව චීනය තම අධිකාරියට යටත් කර ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික හා මිලිටරි සූදානම් සිදු කරන තතු තුල රාජපක්ෂ චීනය සමග පවත්වාගෙන ගිය සම්බන්ධතා බිඳ ලංකාව තම මුලෝපායික කක්ෂය තුලට ගැනීමටයි.

රාජපක්ෂ වත්මන් ආන්ඩුවේ අර්බුදය ප‍්‍රකාශයට පත්වන විවිධ ප‍්‍රශ්න අල්ලාගෙන තමන් පාලනයේ සිටි සමයේ එවන් අර්බුද නොතිබුන බවට මාධ්‍ය ප‍්‍රකාශ එකකට පසු තව එකක් නිකුත් කරයි. ඉන් එකක් නම් තමන්ගේ පාලනය යටතේ නය අර්බුදයක් නොවූ බවට ද නය ගත්තේ ඒවා පියවීමට නිසි සැලසුම් ඇතිව බවට ද නිකුත් කල ප‍්‍රකාශයකි.

2005 ඔහුගේ පාලනය අරඹන විට ලංකාවේ විදේශ නය රුපියල් බිලියන 956ක් විය. 2014 ඔහුගේ පාලනය අවසන් වන විට එය රුපියල් බිලියන 3113ක් දක්වා ගොඩ ගැසී තිබුනි. සිරිසේන ආන්ඩුව යටතේ 2016 අගවන විට එය බිලියන 4045 දක්වා වැඩිවිය. ලංකාවේ ප‍්‍රකාශයට පත්වන්නේ යුද්ධය සඳහා දැවැන්ත මුදල් සම්භාරයන් පුච්චා දැමීමත් සමගම හා අපනයන පහලයාම ඇතුලුව 2008 ලෝක මුල්‍ය කඩාවැටීමෙන් ගැඹුරුවී ඇති ජාත්‍යන්තර අර්බුදයයි. රාජපක්ෂත් සිරිසේන-වික‍්‍රමසිංහත් කලේ දැවැන්ත නය බර මහජනයා මත පැටවීමට ජාමුඅ කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දැමීමයි. මොන ධනපති පාලනයක් යටතේ හෝ මෙම ලෝක අර්බුදයෙන් තීන්දුවී ඇති ප‍්‍රහාර ක්‍රියාවට දැමීම හැර වෙනත් වැඩපිලිවෙලක් නැත.

වෘත්තීය සමිතිවල මග ඇවිරීම්, කඩාකප්පල් කිරීම් සහ ආන්ඩුවේ මෘග මර්දනය තිබිය දී, පසුගිය මාස කිහිපය තුල පැනගුන කම්කරුවන්ගේ, ගම්බද දුගීන්ගේ හා සිසුන්ගේ අරගල පෙන්නුම් කරන්නේ බරපතල සමාජ පිපිරීම් වල කොන්දේසිය. වාවාගත නොහැකි ආර්ථික අර්බුදයක් ධනපති පන්තිය ඉහවහා ගොස් ඇත.

පාලක පන්තිය ඊට මුහන දීමට සුදානම් වන්නේ ආඥාදායක පාලනයකට මාරුවීමටය. සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව දේශපාලන අර්බුදය පිටුපසින් සූදානම් වන්නේ ඒ සඳහා ය.

ආන්ඩුවේ දුර්වලත්වය ගැන ගනන් බලමින් රාජපක්ෂ බලයට ඒමේ දක්ෂිනාංශික ව්‍යාපාරයක් ගොඩනැගීමේ වැඩකටයුතු උත්සන්න කර ඇත්තේ ආඥාදායක පාලනයකට තමන්ගේ සුදුසුකම කියාපාමිනි. ලංකාවේ වර්ධනයවන දේශපාලන අර්බුදය තුලින් මතුවන අන්තරාය කම්කරුවන්, තරුනයන් හා හිතනමතන කොටස් අවධානයට ගැනීම හදිසි අවශ්‍යතාවකි. කියවන්න: ශ‍්‍රී ලංකාවේ පලාත් පාලන මැතිවරනය: කප්පාදුවට හා යුද්ධයට එරෙහි ව සසපට සහාය දෙන්න! කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් වදිමු!

Share this article: