ජුලියන් අසාන්ජ් ට එල්ලව ඇති ක්ෂනික තර්ජනය, ගෝලීය ආරක්ෂක ව්‍යාපාරයක අවශ්‍යතාවය මතු කරයි

Imminent threat to Julian Assange underscores need for global defence movement

මයික් හෙඩ් විසිනි, 2018 ජුලි 23

විකිලීක්ස් කතෘ ජුලියන් අසාන්ජ්ට ඉක්වදොර් ආන්ඩුව විසින් දෙන ලද දේශපාලන රැකවරනය අවසන් කර, ඔහු බොහෝ විට දින කිහිපයක් තුල බ්‍රිතාන්‍ය පොලිසියට භාරදීමට ඔවුන් සුදානම්ව සිටින බව ට පිලිගතහැකි වාර්තා ලැබී තිබේ.

මෙම වාර්තා බ්‍රිතාන්‍ය අධිකාරීන් ඔහු දීර්ඝ, සමහර විට අවුරුදු දෙකකටත් වැඩි කාලයක්, සිරගත කර තබනු ඇතැයි ද ඉන් පසු ඔහු එක්සත් ජනපදයට පිටිවහල් කෙරෙනු ඇතැයි ද, එහිදී ඔහුට ඔත්තු බැලීම සහ කුමන්ත්‍රන චෝදනා උඩ මරනීය දන්ඩනය පැමිනවිය හැකි නඩු පවරනු ඇතැයි ද පෙන්නුම් කරයි. මෙම සිදුවීම් ඔහුගේ නිදහස සඳහා ද සියලු මූලික ප්‍රජාතන්ත්‍ර අයිතීන් සඳහා ද බලගතු ජාත්‍යන්තර පන්ති ව්‍යාපාරයක් සඳහා අරගලය ගැඹුරු කිරීමේ අවශ්‍යතාව මතු කරයි.

අසාන්ජ් ලන්ඩන් නුවර ඉක්වදෝර් තානාපති කාර්යාලයෙන් ඉවත්කරනු ලැබුවහොත් එයට එරෙහිව වහා ප්‍රතිචාර දැක්වීමට බොහෝ රටවල විරෝධතා ක්‍රියා සංවිධානය කෙරෙමින් තිබේ. වැඩි විස්තර සඳහා මෙතැනින් ඇතුලුවන්න. එවන් ක්‍රියා අනුමත කරන ලොසවෙඅ ඒවාට සහභාගී වන ලෙස පාඨකයන්ගෙන් ඉල්ලා සිටි. කෙසේ වෙතත් එවන් ක්‍රියා, අසාන්ජ් ආරක්ෂා කිරීම සඳහා ද අන්තර්ජාලය තුල නැගෙන විවේචනාත්මක හඬට සහ ස්වාධීන මාධ්‍යයන් ට එරෙහිව උග්‍රවන ප්‍රහාරය සහ වාරනය පරාජය කිරීම සඳහා ද ඇරඹෙන දීර්ඝ ව්‍යායාමයක ආරම්භය පමනි.

2018 ගෝලීය ආබාධිත සමුලුවට කරන දේශනයකට යයි ඉක්වදෝර් ජනාධිපති ලෙනින් මොරීනෝ ලන්ඩනයට යන ගමනේ සැබෑ අරමුන වන්නේ, ඔසට්‍රේලියානු පුරවැසියෙකුවන, ජුලියන් අසාන්ජ් සිරගත කිරීම ට ඉක්වදෝර්, බ්‍රිතාන්‍ය, එක්සත් ජනපද සහ ඕස්ට්‍රේලියානු ආන්ඩු කරන කුමන්ත්‍රනයට එකඟව සිය මුද්‍රාව තැබීමයි.

දැනටමත් ලන්ඩනයේ ඉක්වදෝර් තානාපති කාර්යාලය තුලට කොටු කරනු ලැබ අවුරුදු හයකට වැඩි කාලයක් ගත කර සිටින අසාන්ජ්, ගිය මාර්තු 28දායින් පසු ව බාහිර ලෝකය සමග මොනම සම්බන්ධතාවකින් හෝ තොරව හුදෙකලා කරනු ලැබ සිටි.

අසාන්ජ් ට එකදු හෝ අපරාධයක් පිලිබඳ චෝදනා කර නැත. පාලක ප්‍රභූවන් ඔහුව සිරකර තිබෙන්නේ, ඔහුගේ මාධ්‍ය සංවිධානය විසින් ආන්ඩු ද මහා සංගත, විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය සහ එහි සගයන්, ලෝක ජනතාවට එරෙහිව නිරතුරුව කරගෙනයන මහා පරිමාන ඔත්තු බැලීම, ප්‍රජාතන්ත්‍ර විරෝධී උගුල් ඇටවීම සහ යුද අපරාධ එලිදරව් කිරීමෙන් තමන්ට ඇතිවිය හැකි විපාක පිලිබඳව දක්වන භීතිය නිසාය.

අසාන්ජ් සහ විකිලීක්ස් නිහඬ කිරීමේ කුමන්ත්‍රනය, එක්සත් ජාතීන්ගේ, හිතුවක්කාර අත්අඩංගුවට ගැනීම් පිලිබඳ වැඩ මුලු කොමිසමේ ද මෙම අයිතීන් අවධාරනය කරන මානව අයිතීන් පිලිබඳ අන්තර්-ඇමරිකානු උසාවියේ ද තීන්දු උල්ලංඝනය කිරීම දැඩි කරයි. සරන ප්‍රදානය පිලිබඳ ජාත්‍යන්තර නීතිය මෙසේ උල්ලංඝනය කිරීම මගින් අවධාරනය කෙරෙන්නේ, විශේෂයෙන්ම කම්කරු පන්ති අරගලවල ජාත්‍යන්තර නැගීමේ ද, එක්සත් ජනපදය මූලිකත්වය ගෙන ඇති වෙලඳ යුද්ධය සහ යුද්ධය කරා වන ධාවනයේ ද තතු තුල විකිලීක්ස් ද අනෙකුත් ප්‍රගතිශීලි වෙබ් අඩවි ද ඉටුකරන ක්‍රියාකලාපය පිලිබඳ පාලක පන්තිවල පවතින තිගැස්ම හා බියයි.

ඉන්ටසෙප්ට් වෙබ් අඩවියේ ජූලි 21දා පලවූ ලිපියක ග්ලෙන් ග්‍රින්වෝල්ඞ් මෙසේ සඳහන් කර තිබුනි: ඉක්වදෝර් විදේශ අමත්‍යාංශයට සමීප, ප්‍රසිද්ධ ප්‍රකාශ කිරීමේ බලයක් නැති මූලාශ්‍රයකින්ඉන්ටසෙප්ට් වෙබ් අඩවිය ලබාගත් තොරතුරු අනුව, “මොරීනෝ, අසාන්ජ් එක්සත් රාජධානියට බාරදීමට ගිවිසුමක් දැනටම ඇති කරගෙන නැතිනම් ඉදිරි සති කිහිපය තුලදී සම්පූර්න කිරීමට ආසන්නව ඉන්නා” බවය. සරනාගත අයිතිය අහෝසි කොට අසාන්ජ් ඉක්වදෝර් තානාපති කාර්යාලයෙන් ඉවත් කර දැමීම ලබන සතිය තරම්, ඉක්මනින් විය හැකි බව ය.”

අසාන්ජ්ගේ නීතිඥයෙකු වන ජේනිෆර් රොබින්සන් සමග ග්‍රින්වෝල්ඞ් කරන ලද සාකච්චාවක් මත පදනම්ව අවුරුදු ගනනාවක් අසාන්ජ් ව සිරකොට තැබීම උදෙසා බ්‍රිතාන්‍ය සහ එක්සත් ජනපදය අටවන්නට යන ව්‍යාජ -නෛතික උගුල කුමක්දැයි පැහැදිලි කලේ ය.

අසාන්ජ් මුහුනදෙන එකම ප්‍රසිද්ධියේ ප්‍රකාශිත අපරාධය නම් “යටත්වීම ප්‍රතික්ෂේප කිරීම” මත 2012 දී නිකුත් කෙරුනු වරෙන්තුවකි. මෙම සුලු ඇපය කඩකිරීමේ චෝදනාව අටවා ඇත්තේ, ලිංගික පහරදීමක් පිලිබඳ බොරු චෝදනාවක් මත ව්‍යාජ ‘පරික්ෂනයක්’ සඳහා යයි අසාන්ජ් ස්වීඩනයට උදර්පනය කර, සහතිකෙන්ම එතැනින් එක්සත් ජනපදයට පිටුවහල් කිරීමේ තර්ජනයට එරෙහි සියලු නීතිමය අභියාචනයන් අසාර්ථකව ගිය තතු තුල ඔහු ලන්ඩනයේ ඉක්වදෝර් තානාපති කාර්යාලයේ සරන සෙවීම පිලිබඳවය.

ඇපය බිඳීම පිලිබඳ චෝදනාව උපරිම වශයෙන් මාස 3 ක සිර දඬුවමකට යටත්ය. ඔහුගේ නීතිඥයින් කරන පරිදි, ඔහු දැනටම බි්‍රතාන්‍ය සිරගෙයක ගත කර තිබෙන කාලයට, ඇපය කඩකිරීමට පැනවිය හැකි දඬුවම් කාලය හිලව් කල යුතු ය. 2010 දී ස්වීඩනයේ දී ‘පිලිතුරු දියයුතු’ ප්‍රශ්න පිලිබඳ යුරෝපීය වරෙන්තුවක් උඩ දින 10 ක් සිරකොට තැබුනු අසාන්ජ් ඉන් පසුව දින 550 ක් නිවාස අඩස්සියේ තබනලදී,

එසේ වුවද මෙම සුලු චෝදනා වලට අමතරව, අසන්ජ් ‘යටත් වීම ට අසමත් වීමෙන් පෙන්නුම් කෙරුනේ’ උසාවිය හෑල්ලුවට ලක් කිරීමක් යයි ද එවන් චෝදනාවක් මත අවුරුදු දෙකක් දක්වා සිර දඬුවම් ලැබිය හැකියයි ද බ්‍රිතාන්‍ය චෝදකයන් කියා සිටිනු ඇත. වඩාත් දිග සිර දඬුවම අසාන්ජ් දිගු කාලයකට නිහඬ කිරීමට පමනක් නොව, එක්සත් ජනපද අධිකාරීන්ට ඔහුට විරුද්ධව නඩු පැවරීමට ඇතිතරම් කාලයක්, වසර තුනක පමන, ලබා දෙනු ඇත.

කුමන හෝ ආකාර අපරාධයක් පිලිබඳ වරද කරුවා වනවා තබා එවන් චෝදනාවක් හෝ එල්ල නොකරන ලද තතු තුලය ජුලියන් අසාන්ජ්ට දශකයකට වැඩි කාලයක් සිරගෙයි ලගින්නට බලකර ඇත්තේ.

අසාන්ජ්ට ලබාදී ඇති දේශපාලන සරන අහෝසි කිරීමට ඉක්වදෝර් ආන්ඩුව පියවර ගන්නේ, මොරිනෝ ආන්ඩුවට ඔබාමා විසින් ගෙනෙනු ලැබූ පීඩනය ට්‍රම්ප් පාලනාධිකාරය විසින් තව තවත් උග්‍ර කරනු ලැබූ තතු තුලය. උප ජනාධිපති මයික් පෙන්ස් ඉක්වදෝරයට ගිය අතර එරට ආන්ඩුව එක්සත් ජනපදයේ ද මූල්‍ය වෙලඳපොලවල ද අනුග්‍රහය දිනා ගැනීමට තම පිලිවෙත දැඩි සේ දකුනට හරවා තිබේ.

නීතිපති ජෙෆ් සේෂන්ස් සහ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ වැනි ට්‍රම්ප් ආන්ඩුවේ ප්‍රමුඛ පුද්ගලයින්, අසාන්ජ් අත්අඬංඟුවට ගෙන සිරගත කිරීම පිලිබඳ සිය අරමුනු ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කොට ඇත. අසාන්ජ් ට එරෙහිව නඩුවක් පැවරීම එක්සත් ජනපදයේ ප්‍රමුඛ කටයුත්තක් බව සේෂන්ස් ගිය අවුරුද්දේ කියා සිටියේ ය. එවකට සීඅයිඒ අධ්‍යක්ෂව සිටි පොම්පියෝ ‘විකිලීක්ස්, බොහෝවිට රුසියාව වැනි රාජ්‍යමය ක්‍රියාකාරීන් ගේ අනුග්‍රහය ලත් රාජ්‍ය නොවන සතුරු බුද්ධි සේවාවක්’ යයි හංවඩු ගැසුවේ ය.

නිදහස් කථනය සහතික කරන එක්සත් ජනපද ව්‍යවස්ථාවේ ප්‍රථම සංශෝධනය අසාන්ජ්ට කුමන අන්දමකින් හෝ අසාන්ජ්ට ආරක්ෂාව සපයන්නේය යන්න පොම්පියෝ කෙලින්ම ප්‍රතික්ෂේප කලේ ය. ඔහු මෙසේ පැවසීය, “‘විකිලීක්ස්’ මවා පෙන්වන්නේ ඇමෙරිකාවේ ප්‍රථම ආන්ඩුක්‍රම සංශෝධනය තමන් නීතියෙන් ආරක්ෂා කරන බවයි. .. එහෙත් ඔවුන්ට වැරදිලා ය.”

2017 මාර්තුවේ දී අසාන්ජ්ට එරෙහි එක්සත් ජනපද ආන්ඩුවේ තර්ජන උග්‍ර වූයේ, විකිලීක්ස් විසින් සීඅයිඒ ලියකියවිලි මහා කාන්දුවක් ප්‍රසිද්ධියට පත් කිරීමත් සමගය. “වෝල්ට් 7” පලකරන ලද ලියවිලි මඟින්, සීඅයිඒ සංවිධානය එක්සත් ජනපදයේ ද ජාත්‍යන්තරව ද ටෙලිෆෝන්, පුද්ගලික පරිගනක, පනිවුඩ බෙදාහරින්නන්, ස්මාට් ටෙලිවිෂන් සහ වාහන ආරක්ෂක පද්ධති වලට හොරෙන් කඩාවදින බව හෙලිදරව් කරනු ලැබිනි.

ට්‍රම්ප් පාලනය විසින් අසාන්ජ් ට නඩුපැවරීමට ගැනෙන තීන්දුව, එක්සත් ජනපදයේ ඩිමොක්‍රටික් පක්ෂය මුල්තැන ගනිමින් අසාන්ජ් රුසියානු ජනාධිපති පුටින්ගේ මෙවලමක් යයි ඔහුට මඩගැසීමට ගෙනයනු ලබන ප්‍රචාරක මෙහෙයුමේ ප්‍රෝඩාකාරිත්වය හෙලි කරයි. ඔවුන් කියන්නේ හිලරි ක්ලින්ටන්ගේ ජනාධිපති ව්‍යායාමයේ ඊමේල් එලිදරව් කිරීම මගින් අසාන්ජ් ට්‍රම්ප් ගේ ජයග්‍රහනයට ආධාර කල බවකි.

ඊමේල් ප්‍රසිද්ධියට පත් කිරීම ගැන ජුලියන් අසාන්ජ් සහ විකිලීක්ස් ට නඩු පැවරීම මගින් ඩිමොක්‍රටික් ජාතික කමිටුව දැනටමත් ඇමරිකානු ව්‍යවස්ථාවේ ප්‍රථම සංශෝධනය ඉරා දමා තිබේ. ක්ලින්ටන් වෙනුවෙන් ක්‍රියාකල එම කමිටුව 2016 ජනාධිපතිවරනයේ අපේක්ෂක ධුරය ලබා ගැනීමේ තරගයේදී බර්නි සෑන්ඩර්ස් ගේ ප්‍රයත්නය කඩා කප්පල් කිරීමට කටයුතුකල බවත්, ක්ලින්ටන් වෝල් වීදියේ මුල්‍ය ලොක්කන් අමතා කල රහස් දේශන වලදී ඔවුන් ගේ අවශ්‍යතා ආරක්ෂා කරන බවට සපථ කල බවත් මෙම ඊමේල් වලින් එලිදරව් විය.

2017 මැයි මාසයේදී ස්වීඩන් බලධාරීන් අසාන්ජ්ට එරෙහිව “පරීක්ෂනය” අහෝසි කරමින් යුරෝපීය අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව අවලංගු කරන ලදී. කෙසේවෙතත් තෙරේසා මේ ගේ ආන්ඩුව සහ බ්‍රිතාන්‍ය උසාවි, නාමික වශයෙන් ඇපය උල්ලංඝනය කිරීම් උඩ අසාන්ජ් ට නිකුත් කර තිබෙන ඔවුන් ගේ වරෙන්තුව අවලංගු කිරීම තවමත් ප්‍රතික්ෂේප කරමින් සිටිති.

අමාත්‍ය මට්ටමේ සාකච්චා සඳහා බ්‍රිතාන්‍යයට පැමින සිටි එක්සත් ජනපද විදේශ ලේකම් ජෙරෙමි හන්ට් සහ ඕස්ට්‍රේලියානු විදේශ ඇමති ජූලි බිෂොප් ජුලි 20 දා කල ප්‍රකාශ, අසාන්ජ් මුහුන දී සිටින අන්තරාය පෙන්නුම් කර ඇත. අසාන්ජ්ට ‘බරපතල චෝදනා’ එල්ලවී ඇති බවත් ඔහු [ඉක්වදෝර්] තානාපති කාර්යාලයෙන් එලියට බැස්සාට පසුව බ්‍රිතාන්‍ය පොලිසියෙන් ඔහුට ‘උනුසුම් පිලිගැනීමක්’ ලැබෙනු ඇති බවටත් හන්ට් කයිවාරු ගැසීය.

අසාන්ජ්ගේ තත්වය පිලිබඳ ආන්ඩුවේ වගකීමෙන් එය බේරා හැරි බිෂොප්, එය ‘බ්‍රිතාන්‍ය නීති අධිකාරීන්’ අත තිබෙන කටයුත්තක් යයි ප්‍රකාශ කලාය. ඇගේ පිලිකුල් සහගත ප්‍රකාශය පෙන්නුම් කලේ, ඕස්ට්‍රේලියාවේ සමාජවාදී සමානතා පක්ෂය විසින් සිඞ්නි නුවර නගරශාලා චතුරශ්‍රයේ දී ගිය ජුලි 17 දා පවත්වන ලද ගෝලීයව විසුරුවා හරින ලද, සුපරීක්ෂක පුවත් කලාවේදී ජෝන් පිල්ජර්ගේ ද සහාය ලත් රැලිය කෙරේ ඇගේ සතුරු බවයි. ඕස්ට්‍රේලියානු ආන්ඩුව, අසාන්ජ් කැමතිනම් ඔහුව සුරක්ෂිතව ඔස්ට්‍රේලියාවට පෙරලා පැමිනීම සහතික කරන ලෙස ද ඔහුව එක්සත් ජනපදයට පිටමං නොකරන ලෙස ද එම රැලිය ඕස්ට්‍රේලියානු ආන්ඩුවෙන් ඉල්ලා සිටියේ ය.

මෙම අත්දැකීම් සියල්ල පෙන්නුම් කරන්නේ, අසාන්ජ් ගේ ඉරනම, ධනේශ්වර උසාවි වලට හා ආන්ඩුවලට බාරදී සිටිය නොහැකි බවය.

අප සියලු තන්හි කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටින්නේ, අසාන්ජ් වහාම නිදහස් කල යුතුය යන ඉල්ලීම, ප්‍රජාතන්ත්‍ර ඉල්ලීම් ආරක්ෂා කිරීමේ අත්‍යන්ත කොටසක් ලෙස ඉස්මතු කල යුතු බවය. ජාත්‍යන්තර කම්කරු පන්තියේ සුවිසල් සමාජ බලය, ඔහුගේ ආරක්ෂව උදෙසා ඒකරාශි කොට, ඔහුට එරෙහිව පාලක පන්තිය සමග පෙල ගැසුනු සියලු අධිරාජ්‍යගැති පක්ෂ ද වෘත්තීය සමිති ද මාධ්‍ය සංවිධාන ද වලින් ස්වාධීනව බලමුලුගන්වා මෙහෙයවිය යුතුය.

Share this article: