සිය පක්ෂ ආධාරකරුවන්ගේ අනන්‍යතාව ආරක්ෂා කරන ලෙස එක්සත් ජාතික පක්ෂය මුහුනුපොතෙන් ඉල්ලා සිටියි

Sri Lanka: UNP demands Facebook protect identity of party supporters

වසන්ත රූපසිංහ විසිනි , 2018 නොවැම්බර් 21

එක්සත් ජාතික පක්ෂයේ (එජාප) නායකත්වය මුහුනු පොතට ලියන සිය අනුගාමිකයන්ගේ අනන්‍යතාව රකින ලෙස එය අයිති මහාසංගතයට නොවැම්බර් 16 දා ලියා දැන්වීය. ලංකාවේ පවත්නා “නීතිවිරෝධී පාලනය” විසින් එම තොරතුරු තම පාක්ෂිකයන් සහ ක්‍රියාකාරීන් මර්දනය කිරීම සඳහා යොදාගැනීමට ඉඩ තිබේ යයි එම ලිපිය කියාසිටියේ ය

“නීතිවිරෝධී පාලනය” යන පදය වනාහි ජනාධිපති සිරිසේන අලුත් ආන්ඩුවක අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ පත්කිරීම, එජාපය විසින් හඳුන්වා ඇති අයුරු ය. සිරිසේන, ඔක්තෝබර් 26 දා එජාප නායක නායක රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථා විරෝධී ලෙස පහ කර දැමිය.

පක්ෂයේ සභාපති කබීර් හෂීම් අත්සන්කොට මුහුනුපොතේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග්ට යොමු කරනලද පිටු දෙකක ලියුමේ මෙසේ ද සඳහන් කොට තිබුනි: “ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මෙහෙයවෙන ලංකාවේ වත්මන් නීතිවිරෝධී පාලනයේ නිලධාරීන්, තෝරාගත් සමහර මුහුනුපොත භාවිතාකරන්නන්ගේ නීතිමය වශයෙන් පුද්ගලික වියයුතු තොරතුරු මුහුනු පොතෙන් ඉල්ලා සිටීමට බොහෝවිට ඉඩ තිබේ. මෙම තොරතුරු වලට, මෙම පිටුපරිශීලකයන්ගේ පුද්ගලික නාමයන්, ඔවුන් පදිංචි භූස්ථානයන් හා මෙම පිටුවල පෝස්ටු පලකරන හා ඒවා කියවන අයගේ අනෙකුත් අනන්‍යතා විස්තර ද ඇතුලත් විය හැකි ය.

එජාපය මෙම තොරතුරු “ආරක්ෂා” කරනලෙස මුහුනුපොතට කියා සිටියේ “වර්තමාන නීතිවිරෝධී පාලනය මේවා නීතිමය වශයෙන් තහනම් කර තිබෙන ආකාරයට පාවිච්චි කිරිම්ට හොඳටම ඉඩ තිබේ ය” යන්නක් උඩ ය.

දිනකට ඉහතදී-නොවැම්බර් 15 දා- එක්සත් ජාතික පක්ෂයේ නිල ෆේස්බුක් පිටුව මුහුනුපොත විසින් පැය කිහිපයකට අවහිර කර තිබීම සහ කොලඹදී පැවත්වීමට තිබූ රැලියක් හා පුවත්පත් සාකච්ඡාවක් මුහුනුපොත හරහා සජීවි විකාශයට අවහිර කර තිබීම ගැන ලිපිය කිසිදු සඳහනක් නොකලේ ය. කෙසේවතුදු, යූඇන්පී නායකයන් පසුව මධ්‍යයට කීවේ, මුහුනු පොත විසින් නොවැම්බර් 16දා උක්ත අවහිර කිරීම ඉවත් කල බව යි.

මුහුනුපොතේ ක්‍රියාවන් සහ එජාප සභාපති හෂීම්ගේ ලිපිය ආවේ, වික්‍රමසිංහ ඉවත්කිරීමෙන් ඉක්බිති ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රභුව තුල දිගින් දිගටම අභ්‍යන්තර ඝට්ටනයක් ඇදීයමින් යන තතු තුලය. සිරිසේන විසින් වික්‍රමසිංහ ඉවත් කිරීම ආපසු හරවා, ඔහුගේ පක්ෂයටත් එහි මිත්‍ර පක්ෂවලටත් පාර්ලිමේන්තු බහුතරයක් පැවැති බව පිළිගත යුතුයි බල කිරීමට නොවැම්බර් 15 දා එජාප පෙලපාලිය කැඳවනු ලැබ තිබිනි.

මුහුනුපොත හා සිරිසේන හා හවුල්වී ක්‍රියා කිරීමක් ගැන විස්තර කෙරෙන “සුවිශේෂි” වාර්තාවක් නොවැම්බර් 15 දා කලම්බු ටෙලිග්‍රාෆ් පුවත් පත විසින් පල කෙරුනි. “දේශපාලකයින් 16 දෙනෙකු විසින් ක්‍රියා කරවන මුහුනුපොත් පිටුවලට අදාල රහස්‍ය තොරතුරු එලිදරව් කරන ලෙස” ජනාධිපතිවරයාගේ කාර්යාලය මුහුනුපොතට බලකර සිට තිබුන බව එම ලිපිය කියා සිටියේ ය.

එම පුවත්පත කියාසිටියේ, පරීක්ෂණයට භාජනය වුවන් අතර එජාප දේශපාලකයින් 10 දෙනෙක් ද සිරිසේනගේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දේශපාලකයින් ද රාජපක්ෂ සහ ඔහුගේ පුත් නාමල් රජපක්ෂ ද ඇතුලත් වූ බවය.

ටෙලිග්‍රාෆ් පුවත්පතට අනුව, සිරිසේනගේ කාර්යාලය, “ජාතික ආරක්ෂාව” පිලිබඳ උත්සුකයන්' ඉදිරිපත් කරමින්, නම්කරන ලද මාධ්‍ය පිටුවල පරිපාලකයන් ද කතුවරුන් ද අයිපී ලිපිනයන් ද ස්ථානයන් ද මෙම පිටුවල ක්‍රියාකාරකම්වල නිරත අයට අදාල තොරතුරු, ඔවුන්ගේ පදිංචි ස්ථාන හා අනෙකුත් රහස්‍ය තොරතුරු මුහුනු පොතෙන් ඉල්ලා ඇත.

සතියකට පෙර ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා, මුහුනුපොතේ රාජ්‍ය පිලිවෙත් සහ පොදු කටයුතු (දකුනු ආසියාව)පිලිබඳ “ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙකු” සමග පැවැති හමුවකදී මෙම ඉල්ලීම යොමුකරන බව කියනු ලැබේ. ටෙලිග්‍රාෆ් පුවත්පත වාර්තාකලේ, මෙම ඉල්ලීමට මුහුනු පොතේ නියෝජිතයා එකඟවූ බව යි. ලෝකය පුරා ධනේශ්වර ආන්ඩුවල නියමයන් අනුයමින්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කිරීම සඳහා විවිධ ප්‍රජාතන්ත්‍ර විරෝධී විධික්‍රම මුහුනු පොත විසින් යොදාගෙන තිබේ.

මුහුනුපොතට යැවූ එක්සත් ජාතික පක්ෂයේ ලිපිය, විකාරසහගත ලෙස කීවේ, මෙම දක්ෂිනාංශික හා මහාව්‍යාපාරිකයන්ගේ පක්ෂයට “ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය රැකීම සම්බන්ධයෙන් සහ අපගේ ජනතාව සඳහා ආර්ථික වර්ධනය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් බලගතු යහවාර්තාවක් සතු” බව යි.

අරුත්බරව, ලිපිය මෙසේද කිවේය: මුහුනුපොතේ පරිශීලකයන් පිලිබඳ තොරතුරු, “රටේ අධිකරනයක් මගින් මැනවින් අනුමත කර නොමැති නම්, ” ආන්ඩුවේ නිලාධරීන්ට හෙලි නොකට යුතුය. වෙනත් වචනවලින් කිවහොත් , ශ්‍රී ලංකාවේ උසාවි සහ අනෙකුත් රාජ්‍ය අධිකාරීන්, තැනට රුචි පරිදි තෝරාගත් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් මර්දනය කිරීමට එජාපය විරුද්ධ නැත.

මේ අවුරුද්දේ මාර්තු මාසයේ දී සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව, මහනුවර දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජන කොටසට එරෙහිව වාර්ගික ප්‍රචන්ඩත්වය ලිහා හරින ලද අවස්ථාවේ මුහුනුපොත ද අනෙකුත් අන්තර්ජාල පනිඩුව හුවමාරුජාලා ද වසාදැමී ය. එසේ කරන ලද්දේ, ජනවාර්ගික ප්‍රචන්ඩය අවුලුවාලීම වැලක්වීමට යැයි ආන්ඩුව ව්‍යාජව කියා සිටියේ ය.

සිරිසේන සේ ම, එජාප නායක වික්‍රමසිංහ ද අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසේ ආරක්ෂකයෙකු නොවේ. මේ වසරේ පැවැත්වුනු වාර්ෂික කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රනයේ දී , එකල අගමැතිව සිටි වික්‍රමසිංහ , “ගෝලීය ව්යසනකාරී බලවේග” අන්තර්ජාලය සහ මුහුනුපොත සහ ට්විටර් යනාදී සමාජ මාධ්‍යයන් රටවල් අස්ථායි කොට “ජාතික අවශ්‍යතාවලට තර්ජනය කරන බව” කියා සිටිය්ය. ඔහු විශේෂයෙන්ම, 2011 වර්ෂයේදී ටියුනිසියවේ ද ඉජිප්තුවේ ද මහා විප්ලවවාදී ව්‍යාපාර පුපුරායාම ගැන සඳහන් කලේ ය. (බලන්න: “ශ්‍රී ලංකාවේ අගමැතිවරයා අන්තර්ජාල හා සමාජ මාධ්‍ය වාරනය උත්සන්න කිරීමට තර්ජනය කර සිටි” ).

ඔවුනොවුන් අතර කොතරම් කන්ඩායමික ඝට්ටන පැවතිය ද සිරිසේන සහ වික්‍රමසිංහ අතර ඇවීලි තිබෙන යුද්ධයේ සැබෑ දේශපාලන කුරුමානම නම් දැන් ශ්‍රී ලංකාව තුල ධනේශ්වර පාලක ප්‍රභූවට එරෙහිව අරගලයට පිවිසෙමින් ඉන්නා වැඩකරන ජනතාව සහ තරුන ජනයා ය.

මුහුනුපොතේ වාරනය සහ මහාසංගතය විසින් නිදහසේ අදහස් ප්‍රකාශනයට එරෙහිව එල්ල කරන අනෙකුත් ප්‍රහාර මූලිකවම වාමාංශික සහ සාමජමය වශයෙන් ප්‍රගතිශීලි වෙබ් අඩවි වලට එරෙහිව එල්ල කෙරී ඇති අතර ලෝක සමාජවාදී වෙබ් අඩවිය එහි මූලිකම ඉලක්කයව පවතී.

නොවැම්බර් 12 දා , මුහුනු පොත ලෝක සමාජවාදී වෙබ් අඩවියේ නිල දෙමල භාෂා ෆේස්බුක් පිටුවේ ලංකාව පිලිබඳ ලිපියක් ඉවත් කලේ ය. වාරනයට ලක්වූ ලිපිය, දෙමල ජාතික සන්ධානය රාජපක්ෂ අගමැති කිරීමට විරුද්ධ වන්නේ, එම සංවිධානය වොෂිංටනයේ සහය සෙවීමේ වැඩකටයුතුවල කොටසක් ලෙසයැයි පැහැදිලි කලේ ය. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලකල එම ලිපිය, සමාජ මාධ්‍ය ජාලයේ “ප්‍රජා මානයන්” උල්ලංඝනය කලේ යැයි මුහුනුපොත කියා සිටියේ ය.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය පෙන්නුම් කල පරිදි , මුහුනුපොත සහ එය හවුල්වන රාජ්‍ය ආයතන, “ජාත්‍යන්තර සමාජවාදය විසින් වැඩෙන ශ්‍රාවකත්වයක් අත්පත් කරගැනීම, වොෂින්ටනයේ ගෝලීය ආධිපත්‍යය තව දුරටත් ආරක්ෂා කිරීමට වාර්ගික බෙදීම් ගසා කෑමේ එක්සත් ජනපද උත්සාහයන්ට බාධා කරන බව” දැක ගනියි.

Share this article: