ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: ව්‍යාජ-වාම නසසපය එජාප උද්ඝෝෂනය දිරිමත් කරයි

Sri Lankan political crisis: Pseudo-left NSSP promotes UNP campaign

කේ.රත්නායක විසිනි, 2018 නොවැම්බර් 5

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඔක්තෝබර් 26දා එක්සත් ජාතික පක්ෂයේ (එජාප) නායක රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් නෙරපා දැමීමෙන් පසුව, නව සම සමාජ පක්ෂයේ (නසසප) නායක වික්‍රමබාහු කරුනාරත්න, ආන්ඩු බලය යලි ලබාගැනීම සඳහා එජාපය ගෙන යන උද්ඝෝෂනයේ පෙරමුනෙහි ම සිටී.

වික්‍රමසිංහ නෙරපා දැමූ සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති තනතුරට පත්කලේ ය. අතයට ගනුදෙනු හා අල්ලස් හරහා මන්ත්‍රීවරුන් නම්මාගෙන පාර්ලිමේන්තු බහුතරයක් තහවුරු කරගැනීමට සිරිසේන පාර්ලිමේන්තුව ද නොවැම්බර් 16දා තෙක් කල් දැම්මේ ය. 2005 සිට 2015 දක්වා රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ කාලය ප්‍රජාතන්ත්‍ර-විරෝධී ආඥාදායක විධික්‍රම සම්බන්ධයෙන් කුප්‍රකට ය.

එහෙත් අගමැති නිලනිවස හැරයාම ප්‍රතික්ෂේප කර ඇති වික්‍රමසිංහ, ඔහුට තවමත් බහුතරයක් තිබෙන පාර්ලිමේන්තුව වහා ම කැඳවන ලෙස බල කරයි. එක්සත් ජනපදය හා එහි සහකරුවෝ මෙම උද්ඝෝෂනයට පිටුබලය දෙති. ප්‍රධාන බලයන්ගේ පීඩනයට ප්‍රතිචාර දක්වමින් දින දෙකකට පෙරාතුව නොවැම්බර් 14දා පාර්ලිමේන්තුව කැඳවන බව සිරිසේන දැන් නිවේදනය කොට තිබේ.

සිරිසේන හා රාජපක්ෂ මෙන් ම වික්‍රමසිංහ ද “පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය” සඳහා තම සහයෝගය ව්‍යාජ ව කියාපාති. එහෙත් රුදුරු අභ්‍යන්තර අරගලයෙහි ඉලක්කය වන්නේ, පාලක පන්තියේ තමන්ගේ කන්ඩායම අත රාජ්‍ය බලය තබාගැනීම යි. ඔවුන් සියලු දෙනා කම්කරු පන්තියේ හා දුගීන්ගේ සමාජ අයිතීන් හා ජීවන කොන්දේසි මත ප්‍රහාර තීව්‍ර කිරීමට කැප වී සිටිති.

දේශපාලන අර්බුදයට “විසඳුමක්” ලෙස පාර්ලිමේන්තුව වහා කැඳවන්නැයි නසසප ඇතුලු ව්‍යාජ-වාම සංවිධාන ද මාධ්‍යය හා ශාස්ත්‍රාලිකයෝ ද ඉල්ලා සිටිති. පාලක ප්‍රභූව තුල සිදුවීගෙන යන ගැටුම් විසින් ධනේශ්වර පාලනයේ කුනු වූ ස්වභාවය හා එහි පාර්ලිමේන්තු වහන්තරාව මිලියන ගනන් වන වැඩකරන ජනයා ඉදිරියේ හෙලිදරවු කරතැයි ඔවුහු බියපත් වෙති.

වික්‍රමසිංහගේ දීර්ඝ-කාලීන සහකරුවෙකු වන නසසප නායක කරුනාරත්න, එජාපය උද්ඝෝෂනය දිරිමත් කරමින් හා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ ව මිථ්‍යාවන් වපුරමින් කේන්ද්‍රීය භූමිකාවක් ඉටුකරයි. එජාප රැස්වීම්වල කතාකරන කරුනාරත්න, මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම, පිකට් විරෝධතා සංවිධානය කිරීම හා මාධ්‍ය වෙත ලිවීම ආදිය කරයි.

ඔක්තෝබර් 30 දා පැවති එජාප රැලියක් අමතමින් කරුනාරත්න මෙසේ ප්‍රකාශ කලේ ය: “මම මෙතෙන්ට ආවෙ ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නෙ මෙතන හින්ද. රනිල් වික්‍රමසිංහට එරෙහි අපරාධ නැවැත්වීමට ඔහු යලි (අගමැති ධූරයට) පත්කරල, බලය පැහැරගත්ත හොරුන් එලවා දැමිය යුතු යි.”

වික්‍රමසිංහ වැඩකරන ජනයා වෙනුවෙන් සටන් කරන්නෙකු ලෙස හුවාදැක්වීමට උත්සාහ කරමින් කරුනාරත්න මෙසේ කීවේ ය: “මේ රටේ ජනතාව වෙනුවෙන් කතාකරන්නෙ කවුද? නිර්ධන පන්තිය වෙනුවෙන් කතාකරන්නෙ කවුද? දෙමල හා මුස්ලිම් ජනයාට එක් ජනතාවක් ලෙස කතාකරන්නෙ කවුද? මේක දැන් මුලු ලෝකයට ම පෙන්නුම් කරල තියෙනවා.”

කොතරම් නග්න බොරු ද! 1977 දී පාර්ලිමේන්තුවට තේරී පත්වූ වික්‍රමසිංහ, වෛරයට පාත්‍ර වූ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ දක්ෂිනාංශික ආන්ඩුවේ කැබිනට් ඇමතියෙකු බවට පත් විය.

කම්කරුවන්ගේ හා දුගීන්ගේ සමාජ අයිතීන් හා රැකියා කප්පාදු කල “විවෘත ආර්ථික” පිලිවෙත් අනුකම්පා විරහිත ලෙස ආරම්භ කල ජයවර්ධන තන්ත්‍රය, දෙමල ජනයා මර්දනය කිරීම සඳහා 30 අවුරුදු ව්‍යසනකාරී යුද්ධය ඇවිලවී ය.

ආන්ඩුවේ සිටිය දී වේවා, විපක්ෂයේ සිටිය දී වේවා මහ ව්‍යාපාරිකය හා ධනේශ්වර පද්ධතිය ආරක්ෂා කිරීමේ දී වික්‍රමසිංහ නො සැලී සිට ඇත.

රාජපක්ෂ තන්ත්‍රයේ කම්කරු පන්ති විරෝධී ප්‍රහාර පසුගිය සිවු වසර පුරා ක්‍රමානුකූල ව ගැඹුරු කර ඇති සිරිසේනගේ හා වික්‍රමසිංහගේ “ජාතික සමගි ආන්ඩුව” ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) විධානයන් ක්‍රියාවට දමා තිබේ.

නසසප නායක කරුනාරත්න විසින් වික්‍රමසිංහ හුවාදැක්වීම, ජාමූඅහි කප්පාදු පිලිවෙත් අනුමත කිරීමක් වන අතර, කම්කරුවන් එක්සත් ජනපද හිතවාදී දක්ෂිනාංශික එජාපයට ගැටගසමින් කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් ඉස්මතු වීම වැලැක්වීමට දරන මංමුලා සහගත උත්සාහයක් ද වේ.

වික්‍රමසිංහට හා එජාපයට කරුනාරත්න දෙන සහයෝගය එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ හා එහි සහකරුවන්ගේ භූ-දේශපාලනික අවශ්‍යතාවන්ට සේවය කරයි.

2015 ජනවාරියේ පැවති ජනාධිපතිවරනයේ දී විවිධාකාර ව්‍යාජ-වම්මුන් හා ශාස්ත්‍රාලිකයන් ද සමගින් කරුනාරත්න, සිරිසේන බලයට ගෙන ආ තන්ත්‍ර-මාරු මෙහෙයුමට හා වික්‍රමසිංහගේ එජාපය සමග සිරිසේනගේ සන්ධානයට සහයෝගය දුන්නේ ය. කරුනාරත්න මෙම රහස් කාමර මෙහෙයුම “ප්‍රජාතනත්‍රවාදී විප්ලවයක්” යයි නරුම ලෙස කියාපෑවේ ය.

සිරිසේන-වික්‍රමසිංහ පාලනය පිහිටුවීම ඉන්දියාවේ දේශපාලන සහයෝගය සහිත ව වොෂින්ටනය විසින් සිදුකරන ලද්දකි. එක්සත් ජනපදයට රාජපක්ෂගේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී පාලනය සමග නොඑකගතාවයන් නො තිබූ නමුත්, තම භූ-මූලෝපායික ගනන් බැලීම් වලට අනුව බීජිනය සමග සමීප සබඳතා පැවැත්වූ රාජපක්ෂ ඉවත් කිරීමට අවශ්‍ය විය.

වික්‍රමසිංහ ඉවත් කිරීමට එක්සත් ජනපදය හා අනෙකුත් මහා බලයන් ප්‍රතිචාර දක්වා ඇත්තේ ඔහුට සහයෝගය දෙමින් හා සිරිසේන මත දේශපාලන පීඩනය දැඩි කරමිනි. රාජපක්ෂ චීන-හිතවාදියෙකු ලෙස සලකන වොෂින්ටනයට, ඔහුට යලි බලයට පැමිනීම සඳහා ඉඩදීමට අවශ්‍ය නැත.

පසුගිය සතියේ එක්සත් ජනපදය ඩොලර් මිලියන 500කට ආසන්න සංවර්ධන සහකාරක නයක් ශ්‍රී ලංකාවට ලබාදීම අත්හිටවූ අතර, ජපානය ලුහු-දුම්රිය ව්‍යපෘතියක් සඳහා ලබාදීමට නියමිත වූ ඩොලර් බිලියන 1.4ක “මෘදු නයක්” අත්හිටුවීම නිවේදනය කලේ ය. යුරෝපා සංගමය ද එය ශ්‍රී ලංකාවේ අපනයන්ට ලබා දෙන ජීඑස්පී බදු සහන පිලිබඳ ව යලි සලකා බලන බවට ඉඟි කොට තිබේ. ශ්‍රී ලංකාව මත ආර්ථික සම්බාධක පැනවීමේ හැකියාවක් ද ඇත.

තම එජාප-හිතවාදී උද්ඝෝෂනයට රැඩිකල් වර්නයක් ලබාදීමට කරුනාරත්න උත්සාහ දරමින් සිටී. ඔක්තෝබර් 31දා පැවති මාධ්‍ය හමුවක දී පාර්ලිමේන්තුව නො සලකා හරින්නන්ට එරෙහි ව ක්‍රියාකිරීමට ජනතාව සූදානම් බව ප්‍රකාශ කල ඔහු, “මහා වැඩ වර්ජනයක් හා ජනතා කැරැල්ලක්” යෝජනා කලේ ය. ඔහු මෙලෙස අදහස් පලකලේ සිරිසේන විසින් වික්‍රමසිංහ නෙරපා දැමීමට විරුද්ධ එජාප රැලියකට විශාල සෙනගක් එක්රැස් වීමෙන් දිනකට පසුව ය.

නසසප නායකයා මෙම අදහස ඊයේ ඉරිදා ලක්බිම පුවත්පතට ලියූ ලිපියක් තුල වැඩිදුර විස්තාරනය කලේ ය. පාර්ලිමේන්තුව කල්තැබීම පිලිබඳ ව අදහස් දක්වමින් හෙතෙම මෙසේ පැවසීය: “හිතට එන විදියට නීති හදාගෙන එය ගැසට් කිරීමේ පාලන ක්‍රමයක් තුලට ප්‍රජාතන්ත්‍රවාදය හකුලා තිබෙනවා. මෙයට විරුද්ධව මහා වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කල හැකිද යන්න සොයා බැලිය යුතු ය.”

“මහා වැඩ වර්ජනයක් අඩුම වශයෙන් රාජ්‍ය අංශ වලවත් ඇතිවුවහොත් ගැසට් වලින් බලාත්මකවන පාලනය බිඳ හෙලා” ආඥාදායකත්වය පරාජය කිරීමට සමත් වනු ඇතැයි කරුනාරත්න කියා සිටියේ ය. “හිට්ලර්ලා බලවත් වන්නේ බොරුව ඉදිරියේ ජනතාව නිහඬවීම නිසා. කම්මැලිකමට බොරුව වැලඳගෙන ඇත්තට පිටුපා සිටින්නට ජනයා හුරු වුනොත් ඔල්මාදකාරයෙකුට ඒකාධිපතිවාදයකට රට ලේසියෙන් ඇදගෙන යන්න පුලුවන්” යැයි ඔහු ලිවී ය. කොතරම් නරුම උද්ඝෝෂනයක් ද!

කම්කරු පන්තියෙන් ඉල්ලා සිටිනු ලබන්නේ සමාජ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් නග්න ලෙස උල්ලංඝනය කිරීම පිලිබඳ ඉතිහාසයක් සහිත පාලක පන්තියේ එක් දක්ෂිනාංශික පාර්ශවයක් තවත් එම වර්ගයේ ම අනුකම්පා විරහිත පාර්ශවයකට එරෙහි ව ආරක්ෂා කිරීම පිනිස ක්‍රියාත්මක වන ලෙස යි.

කරුනාරත්න විසින් රාජපක්ෂ ව හිට්ලර් හා ෆැසිස්ට්වාදය සමග සන්සන්දනය කරන්නේ වික්‍රමසිංහගේ ම ප්‍රජාතන්ත්‍ර-විරෝධී වාර්තාව ආවරනය කරනු පිනිස ය.

ජාත්‍යන්තර කම්කරු පන්තියේ තිත්ත ඓතිහාසික අත්දැකීම් පෙන්වා දෙන්නේ, ආඥාදායකත්වයන් හා ෆැසිස්ට්වාදය බලයට පත්වන්නේ ස්ටැලින්වාදී, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හා නසසප වැනි “වම්මුන්” ඇතුලු කම්කරු පන්තියේ අවස්ථාවාදී නායකත්වයන්ගේ පාවාදීම් හේතුවෙන් බව යි.

කම්කරු පන්තියට සිරිසේන-රාජපක්ෂ කඳවුර හා වික්‍රමසිංහ කඳවුර අතර වෙනසක් නැත. කවර පක්ෂයක් හෝ සන්ධානයක් රාජ්‍ය බලය උදුරා ගත්ත ද එය කම්කරුවන්ගේ හා දුගීන්ගේ සමාජ හා ප්‍රජාතාන්ත්‍රික අයිතීන්වලට වඩාත් අනුකම්පා විරහිත ප්‍රහාරයන් දියත් කරනු ඇත.

ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය පිලිබඳ ව සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ප්‍රකාශය විස්තර කරන පරිදි: “වික්‍රමසිංහ නෙරපා හැරීමේ සිරිසේනගේ ව්‍යවස්ථා-විරෝධී ක්‍රියාව, ශ්‍රී ලංකාවට 1948 දී ඊනියා ‘නිදහස’ ප්‍රදානය කල තැන් පටන් පාර්ලිමේන්තු පාලනයේ දිග්ගැස්සුනු කුනුවීමේ කූටප්‍රාප්තිය යි. මෙම දේශපාලන කුමන්ත්‍රනය, ගැඹුරු වන ආර්ථික අර්බුදයක්, විශේෂයෙන් ම එක්සත් ජනපදය හා චීනය අතර තියුනු භූ-දේශපාලනික ආතතීන් හා ජාත්‍යන්තර ව පුනර්ජීවනය වන පන්ති අරගල ශ්‍රී ලංකාව තුල තියුනු ප්‍රකාශනයක් අත්පත් කරගැනීමකි.”

කම්කරුවන්, තරුනයන් හා සමාජවාදයට ලැදි බුද්ධිමතුන් නසසප නායකයාගේ ප්‍රතිගාමී උත්සාහයන් ප්‍රතික්ෂේප කල යුතු ය. කම්කරු පන්තියට එහි පන්ති අවශ්‍යතා ආරක්ෂා කරගත හැක්කේ ශ්‍රී ලංකාවේ පාලක පන්තියේ සෑම කොටසකට ම එරෙහි ව දේශපාලන අරගලයක යෙදෙමින් ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත් මත පදනම් වන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමට සටන් වැදීමෙන් පමනි.

ශ්‍රී ලංකාව තුල මෙම ක්‍රියාමාර්ගයට සටන් වදින්නේ සසප හා එහි තරුන අංශය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ ව්‍යාපාරය පමනි.

කතුවරයා නිර්දේශ කරන තවත් ලිපි:

ශ්‍රී ලංකාව: ව්‍යාජ-වාම නසසපය ධනේශ්වර පක්ෂයන්ගේ සන්ධානයක් උනුසුම් ලෙස සමරයි (2017 පෙබරවාරි 1)

Share this article: