සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුවේ සත්‍යග‍්‍රහය:
රනිල් වික‍්‍රමසිංහගේ සහ එජාපයේ අත ශක්තිමත් කිරීමේ ව්‍යායාමයක්

ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, 2018 නොවැම්බර් 27

“ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා කුමන්ත‍්‍රනයට එරෙහිව” නමැති තේමාව යටතේ සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව කොලඹ විහාරමහාදේවී උද්‍යානයේ නොවැම්බර් 21 වෙනිදා සිට සත්‍යග‍්‍රහයක් ආරම්භ කර ඇත. රට තුල “උද්ගත වී ඇති දේශපාලන අර්බුදයට විසඳුමක් ලැබෙන තුරු” සත්‍යග‍්‍රහය දිගටම කරගෙන යන බව එහි සංවිධායකයන් ප‍්‍රකාශ කර ඇත. මෙම සංවිධානය ව්‍යාජ වාම පක්ෂ සහ සංවිධාන රොත්තක් සමග පෙල ගැසෙමින් 2015 දී මෛති‍්‍රපාල සිරිසේන- රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒම සඳහා රිජුව වැඩ කල සංවිධානයකි.

ජනාධිපති සිරිසේන විසින් ඔක්තෝබර් 26 වෙනි දා ව්‍යවස්ථා විරෝධී හා නීති විරෝධී ලෙස අගමැති වික‍්‍රමසිංහ බලයෙන් පහ කොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එම තනතුරට පත් කිරීමෙන් රට තුල නිර්මානය කෙරුන ව්‍යවස්ථාමය හා දේශපාලන අර්බුදය ඔඩු දුවන තත්වයක් බවට පත්ව ඇත. එම තතු තුල සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුවේ ඊනියා සත්‍යග‍්‍රහයේ අරමුන එම අර්බුදයට කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන මැදිහත්වීමක් සිදුවීම වලක්වමින් දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයේ සහ එහි නායක රනිල් වික‍්‍රමසිංහගේ අත ශක්තිමත් කිරීමය.

සත්‍යග‍්‍රහය ආරම්භ කරමින් මාධ්‍යයට කතා කල සංවිධානයේ නායකයෙකු වන සමන් රත්නපි‍්‍රය, තමා බලයට ගෙන ඒමට වැඩකල සියලූ දෙනාගේ “අපේක්ෂාවන් කඩකරමින්” සිටින බවට ජනාධිපති සිරිසේනට චෝදනා කලේ ය. “ඔහු අපිත් එක්ක සම්මුතියක් අත්සන් කලා. නමුත් එම මහජන සම්මුතියේ වගන්ති වල තිබුන දේවල් පැත්තකට දාලා විනාශ කරලා ඔහුගේ අභිප‍්‍රායන් ඉෂ්ට කර ගැනීමේ තනි ගමනක් යන්න පටන් අරගෙන තිබෙනව. ඔහු ඉතාම උපක‍්‍රමශීලීව 2020 ඔහුගේ ජනාධිපති සිහිනය සැබෑ කර ගන්න තනියෙන් තීන්දු අරගෙන තිබෙන” බව රත්නපි‍්‍රය සඳහන් කලේ ය.

එහි තවත් නායකයෙකු වන මහාචාර්ය සරත් විජේසූරිය “මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ කුමන්ත‍්‍රනය පිලිකාවක් බවට පත් වී ඇති” බව ප‍්‍රකාශ කලේ ය. “සිරිසේන මහතා තමන්ට ලැබුන ජනවරමට පිටුපාල ඉන්නේ. ඔහුට දැන් ජනවරමක් නැහැ. ඔහුට චන්දය දුන් හැට දෙලක්ෂයක් ජනතාව වලපල්ලට යැව්වා. ජනාධිපතිවරයා ව්‍යවස්ථාව කුනු කූඩයට දැම්මා” යයි අඳෝනා නැගූ විජේසූරිය “හැමදාම බුදුන් වඳින පුද්ගලයෙක් ලෙස මේ රට අරාජක වීමෙන් වලක් වන්න ඔහුට ප‍්‍රඥාව පහල වේවායි ප‍්‍රාර්ථනා කරන” බව පැවසුවේ ය.

2015 ජනාධිපතිවරනයේ දී මහින්ද රාජපක්ෂ පාලන තන්ත‍්‍රය බලයෙන් පහකොට සිරිසේන බලයට දමා ගත්තේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ භූ-දේශපාලනික උත්සුකතාවයන්ට අභියෝගයක් ලෙස සැලකෙන චීනය සමග සමීප සම්බන්ධතාවන් ගෙන් ශී‍්‍ර ලංකාව දුරස්ථ කොට බීජිනයට එරෙහි එක්සත් ජනපද මිලිටරි හා රාජ්‍ය සැලසුම් වලට ගැට ගසා ගැනීමේ එල්ලය සහිත දේශපාලන කුමන්ත‍්‍රනයක කොටසක් ලෙස ය.

ජීවන තත්වයන්ට සහ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන්ට එල්ල කල රුදුරු ප‍්‍රහාර හේතු කොට ගෙන රාජපක්ෂ ආන්ඩුව කෙරෙහි පැවති පුලූල් මහජන වෛරය අවමන්ගත කොට නව සම සමාජ පක්ෂය (නසසප) එක්සත් සමාජවාදී පක්ෂය (එසප* ඇතුලූ ව්‍යාජ වාම සංවිධාන සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සමග පෙල ගැසෙමින් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒමට සහයෝගය දීම මගින් සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව කරබදු වුයේ එක්සත් ජනපද පිටුබලය ලත් මෙම දේශපාලන කුමන්ත‍්‍රනය සමගය.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම, නව ව්‍යවස්ථාවක් මගින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහපාලනය තහවුරු කිරීම ඇතුලූ මහජනයාගේ ඇස්වලට වැලි ගැසීමේ හා චන්දය ගසාකෑමේ බොරු පොරොන්දු මාලාවක් සිරිසේන සහ වික‍්‍රමසිංහ විසින් ජනාධිපතිවරනයේ දී සහ මහ මැතිවරනයේ දී ඉදිරිපත් කරනු ලැබී ය. රත්නපි‍්‍රය සඳහන් කරන ඊනියා මහජන සම්මුතියට ඇතුලත් වූ මුලික “සම්මුතීන්” වුයේ ඒවාය.

සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව ඇතුලූ සිරිසේන- වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒමට දායක වූ සංවිධාන විසින් 2016 සැප්තැම්බර් 17 වන දා ජනාධිපතිට යොමුකල සන්දේශයක් මගින් “අතිසංකීර්න ගැටලූ හා බාධා මධ්‍යයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා නිදහස රටේ පුරවැසියන්ට උරුම කරදීමට ගන්නාවූ උත්සාහයට සහ ඒ වෙනුවෙන් ගෙන තිබෙන පියවර ගැන” සිරිසේනට ප‍්‍රනාමය පුද කලේ ය.

එහෙත්, බලයට පත්වීමෙන් ඉක්බිතිව එම පොරොන්දු සහ සම්මුතීන් කුනු කූඩයට දැමූ සිරිසේන- වික‍්‍රමසිංහ ආන්ඩුව ක්ෂනිකව ම, හැරී ගත්තේ එක්සත් ජනපදයේ භූ-දේශපාලන උත්සුකතාවයන් සමග පෙල ගැසීමට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමුඅ) විසින් නියෝග කෙරුන වැඩකරන ජනතාවගේ ජීවනතත්වයන්ට පහර දෙන ආර්ථික කප්පාදු පිලිවෙත් කි‍්‍රයාවට දැමීමට ය.

සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව සිරිසේන-වික‍්‍රමසිංහ “යහපාලන” ආන්ඩුවේ මෙම පිලිවෙත් වලට ද ඊට එරෙහිව මතු වූ ජනතා විරෝධය සහ පන්ති අරගල මර්දනය කිරීමට ද සහයෝගය දුන්නේ ය. වැඩවර්ජන “රාජපක්ෂ ඒකාධිපති පාලනය” යලි බලයට පත් කිරීමේ “කුමන්ත‍්‍රන” ලෙස හංවඩු ගැසූ රත්නපි‍්‍රය කිසිසේත් ඊට ඉඩ නොදෙන බවට ශපත කලේ ය. දේශපාලන කුමන්ත‍්‍රනයකින් රාජපක්ෂ අගමැතිකමට පත් කෙරුනේ සමාජ සහ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන්ට සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව එල්ල කල ප‍්‍රහාරවලට එරෙහිව පුලූල් පන්ති අරගල පුපුරායාම මධ්‍යයේ ධනපති පාලක පන්තිය වඩා ආඥාදායක පාලනයකට මාරු වීමේ සැලසුම්වල කොටසක් ලෙසය.

කෙසේ නමුත්, එක්සත් ජනපදය ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදී බලයන් රාජපක්ෂ පාලන තන්ත‍්‍රයක් යලි ස්ථාපිත වීම කෙරෙහි එකඟතාවක් නැත. එවැනි ආන්ඩුවක් මගින් කොලඹ පාලන තන්ත‍්‍රය යලිත් චීනයට සමීපවීම තුලින් පසුගිය වසර තුන හමාර තුල අධිරාජ්‍යවාදී, විශේෂයෙන් ම එක්සත් ජනපද මූලෝපායට ශී‍්‍ර ලංකාව ගැට ගසා ගැනීමේ වැඩ කටයුතු වලට වල කැපෙනු ඇතැයි ඔවුහු සිතති.

පසුගිය සතියේ එක්සත් ජනපද සෙනෙට් සභික කි‍්‍රස් වෑන් හොලෙන් විසින් සිරිසේනට ලියන ලද ලිපියක දී වික‍්‍රමසිංහ අගමැතිකමින් ඉවත් කිරීම සහ ඉන් උද්ගත කෙරී ඇති දේශපාලන අර්බුදය ගැන වොෂින්ටනයේ උත්සුකය යලි අවධාරනය කර ඇත. පසුගිය සති කිහිපය තුල ගත් කි‍්‍රයාමාර්ග මගින් ශී‍්‍ර ලංකාවේ නීතියේ පාලනය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනතුරේ හෙලා ඇතැයි අවධාරනය කරන හොලෙන් “ශී‍්‍ර ලංකාවේ ව්‍යවස්ථාවට, ප‍්‍රජාතන්ත‍්‍රවාදී කි‍්‍රයාවලියට සහ නීතියේ පාලනයට අනුකූලව” අර්බුදය කෙලවර කිරීමට උත්සාහ කරන ලෙස ඉල්ලා ඇත.

ව්‍යවස්ථාවට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී කි‍්‍රයාවලියට අනුව අර්බුදය විසඳා ගැනීමට පියවර ගන්නා ලෙස සිරිසේන සහ රාජපක්ෂ කන්ඩායම මත යොදන පීඩනය මගින් එක්සත් ජනපදය ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදී බලයන් අවධාරනය කරන්නේ වික‍්‍රමසිංහ යලි අගමැති තනතුරේ පිහිටුවිය යුතු බවයි. වික‍්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂය (එජාප* නායකත්වය දෙන එක්සත් ජාතික පෙරමුන (එජාපෙ) ආන්ඩුබලය යලි අල්ලා ගැනීමට සිරිසේන-රාජපක්ෂ කන්ඩායම සමග පොර වැදී සිටින්නේ මෙම අධිරාජ්‍යවාදී බලයන්ගේ රිජු පිටුබලය ඇතිවය. සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව පෙල ගැසී සිටින්නේ අධිරාජ්‍යවාදී බලයන් සහ එජාපය සමගය.

ආන්ඩු බලයට කා කොටා ගන්නා සිරිසේන-රාජපක්ෂ හෝ වික‍්‍රමසිංහගේ ධනපති කල්ලි දෙකම කම්කරු පන්තිය විසින් ප‍්‍රතික්ෂේප කල යුතුය. “ ශී‍්‍ර ලංකාවේ දේශපාලන අර්බුදයට සමාජවාදී විසඳුමක් සඳහා සටන් කරනු” මැයෙන් සමාජවාදී සමානතා පක්ෂය (සසප) ඔක්තෝබර් 31 දා නිකුත් කල ප‍්‍රකාශනය තුල අවධාරනය කල පරිදි :

“පාලක පන්තියේ කිසිදු කන්ඩායමක් පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සම්මතයන්, ව්‍යවස්ථාව හා සහතිකෙන් ම, වැඩකරන ජනයාගේ මූලික ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් ආරක්ෂා නොකරයි.”

“...කම්කරුවන් වැඩබිම්, නිවහන් ප‍්‍රදේශ හා වතුවල ස්වාධීන කි‍්‍රයාකාරී කමිටු ගොඩනැගීම මූලිකත්වය ගනිමින් ගම්බද දුගීන් හා තරුනයන් බලමුලූ ගන්වාගෙන තමන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් හා පන්ති අවශ්‍යතා සඳහා සටන් කිරීමට පියවර ගත යුතු ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා අරගලය, රාජ්‍ය බලය පිලිබඳ ප‍්‍රශ්නය හා සමාජවාදී ප‍්‍රතිපත්ති කි‍්‍රයාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කිරීම සමග බැඳී තිබේ.”

Share this article: