ශ්‍රී ලංකාවේ අර්බුදය: වොෂින්ටනය තම දේශපාලන ආනුභාවය පවත්වාගෙන යාම සඳහා මැදිහත් වේ

Sri Lankan crisis: UNP rally demands reconvening of parliament

දීපාල් ජයසේකර විසිනි, 2018 නොවැම්බර් 3

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔක්තෝබර් 26 දා සිදුකල දේශපාලන කුමන්ත්‍රනයට හා ඉන් හටගත් දේශපාලන අර්බුදයට ට්‍රම්ප් පරිපාලනය ප්‍රතිචාර දක්වා ඇත්තේ, චීනයට එරෙහි ව එක්සත් ජනපදයේ භූ-මූලෝපායික මෙහෙයුම්වලට දිවයිනෙහි දේශපාලන වියවුල බල නොපානු ඇතැයි තහවුරු කරගැනීමට උත්සාහ දරමිනි.

ව්‍යවස්ථා-විරෝධී ලෙස රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉවත් කල සිරිසේන, එම තනතුරට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ව පත්කලේ ය. රාජපක්ෂගේ චීන-හිතවාදී ආස්ථානය හේතුවෙන් ඔහුට එරෙහි එක්සත් ජනපද පාලක ප්‍රභූව, 2015 ජනාධිපතිවරනයේ දී රාජපක්ෂ ඉවත් කිරීමට සිරිසේනට පිටුබලය දුන්නේ ය.

වික්‍රමසිංහට එරෙහි කටුක අභ්‍යන්තර ගැටුමේ දී රාජපක්ෂ බලය තහවුරු කර ගතහොත් එය කොලඹ සමග ප්‍රවේශමෙන් වගා දිගා කරගෙන ඇති තම මිලිටරි හා දේශපාලන සබඳතාවන්ට බලගතු ලෙස බලපානු ඇතැයි වොෂින්ටනය උත්සුක වේ.

වික්‍රමසිංහ නෙරපා දැමූ සිරිසේන නොවැම්බර් 16 දා දක්වා පාර්ලිමේන්තුව කල් දැමුවේ, අතයටින් කෙරෙන ගනුදෙනු හරහා අතිරේක මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ගොනුකරගෙන, පාර්ලිමේන්තුවේ බහුතරය ඇතැයි වික්‍රමසිංහ කරන කියාපෑම්වලට අභියෝග කිරීම සඳහා රාජපක්ෂට ඉඩ ලබාදීමට යි.

බදාදා පැවති මාධ්‍ය හමුවක දී, එක්සත් ජනපද මාධ්‍යවේදීන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රකාශක රොබට් පැලඩිනෝගෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය පිලිබඳ ව ට්‍රම්ප් පරිපාලනයේ ආකල්පය ගැන යලි යලිත් විමසී ය.

එක් වාර්තාකරුවෙක්, වික්‍රමසිංහ තවදුරටත් ශ්‍රී ලංකාවේ “නීත්‍යානුකූල අගමැති” ලෙස එක්සත් ජනපදය තවමත් සලකන්නේ දැයි විමසී ය. ඔහු ව ඉවත් කිරීම “ව්‍යවස්ථා-විරෝධී” ද එය “කුමන්ත්‍රනයක්” ද එනිසා ඒ සඳහා එක්සත් ජනපදයේ මැදිහත් වීම අවශ්‍ය ද යන්න වාර්තාකරුවා විමසී ය.

පැලඩිනෝ මෙම ප්‍රශ්නවලට ඍජු පිලිතුරු ලබාදුන්නේ නැත. එහෙත් ඔහු මෙසේ කීවේ ය: “ශ්‍රී ලංකාවේ නීතිය හා නිසි ක්‍රියාදාමයට අනුව තීන්දුවකට එලඹිය යුතු යයි එක්සත් ජනපදය විශ්වාස කරනවා. එම නිසා, යලිත් වරක් අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ, කථානායකවරයාගෙන් විමසා ශ්‍රී ලංකාවේ ජනතාව විසින් ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරාපත් කරගත් නියෝජිතයන්ට ඔවුන්ගේ ආන්ඩුවට නායකත්වය දිය යුත්තේ කවුරුන්දැයි තහවුරු කිරීමට ඉඩ ලබාදෙමින් පාර්ලිමේන්තුව වහා ම යලි කැඳවන ලෙස යි. නීතියට අනුව කටයුතු කරන ලෙසත් නිසි ක්‍රියාදාමයට ගරු කරන ලෙසත් අපි සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිනවා.”

අර්බුදය ආරම්භයේ පටන් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නැවත නැවතත් කියා සිටින මෙය වික්‍රමසිංහගේ ආස්ථානයට සමාන වේ. නෙරපා දැමූ අගමැතිවරයා තමන්ට දිගට ම බලයේ සිටීම පිනිස බහුතරය පෙන්වීම සඳහා පාර්ලිමේන්තුව යලි කැඳවන ලෙස ඉල්ලා ඇත.

චීනයේ භූමිකාව පිලිබඳ ව විමසූ තවත් වාර්තාකරුවෙක්, “අගමැති වික්‍රමසිංහ ඉවත් කිරීමට බීජිනය දායක වී යයි අඩු ම තරමින් එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හෝ චෝදනා කර තිබෙනවා” යයි සඳහන් කලේ ය.

ලතින් ඇමරිකාව තුල “ඉහල යන චීන බලපෑම” ගැන වොෂින්ටනයේ උත්සුකතාව පිලිබඳ ව පැලඩිනෝ කලින් කර තිබූ අදහස් දැක්වීම්වලට එක් මාධ්‍යවේදියෙක් අවධානය යොමු කලේ ය. “මේ (ශ්‍රී ලංකාවේ) සිද්ධිය ඒ හා සමාන වන අතර, නැතහොත් ඒ හා සමාන තත්ත්වයක් පිලිබඳ චෝදනා තිබෙනවා” යයි වාර්තාකරුවා අවධාරනය කලේ ය. “කොලඹ (එක්සත් ජනපද) තානාපති කාර්යාලය කරන්නේ කුමක් ද?”

ඔක්තෝබර් 31දා නිව් යෝක් ටයිම්ස් පත්‍රයේ පලකල මාධ්‍ය හමුව පිලිබඳ ඇසෝෂියේටඞ් ප්‍රෙස් ලිපියක් මෙසේ සඳහන් කලේ ය: “දේශපාලන කලබැගෑනිය හා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට ඇති අභියෝග, රාජපක්ෂට බලය අහිමි වූ 2015 මැතිවරනවල පටන් ගොඩනගාගෙන ඇති එක්සත් ජනපද-ශ්‍රී ලංකා සබඳතාවන් අනතුරේ හෙලිය හැකි යි. ...

“පසුගිය වසර තුන පුරා ශ්‍රී ලංකාවේ බිඳෙනසුලු සමගි ආන්ඩුවක් බලයේ සිටිය දී පවා, ප්‍රකෘතිමත් කරගත් මිලිටරි සබඳතාව ඇතුලු රාජපක්ෂ පාලනයේ පශ්චාත් අවුරුදුවල ඇනහිටි සබඳතා එක්සත් ජනපදය විසින් ප්‍රසාරනය කරගෙන ඇත.”

එක්සත් ජනපදයේ ආසියා-පැසිෆික් බලකාය, 2015 පටන් ශ්‍රී ලංකා මිලිටරිය සමග සමීප සබඳතා වර්ධනය කර ගනිමින්, ශ්‍රී ලංකා සොල්දාදුවන් පුහුනු කොට, සාගර ඒකකයක් ස්ථාපනය කර, ඒකාබද්ධ අභ්‍යාස සඳහා මිලිටරියට ආරාධනා කර ඇත්තේ ඉන්දියානු සාගරයේ පිහිටි මෙම දිවයිනට යුද නැව් ද එවමිනි.

සෙනෙට් විසර්ජන කමිටුවේ ඉහල ම තානාන්තරය දරන ඩිමොක්‍රටිකයා වන වර්මොන්ට් සෙනෙට් සභික පැට්ට්‍රික් ලීහි, රාජපක්ෂ අගමැති ධූරයට පත්කිරීම තහවුරු වීමට ඉඩ දුන්නහොත් එය “එම ආන්ඩුව සමග එක්සත් ජනපදයේ සබඳතාවනට විශාල අභියෝගයක් වන” බව ඒපී පුවත් සේවයට කීවේ ය.

රාපපක්ෂ “චීනය සමග සුහද ගනුදෙනු සිදුකරමින්, දෙමල සුලුතරය පීඩාවට ලක්කරමින් සහ දේශපාලන විරුද්ධවාදීන් හා ජනමාධ්‍යවේදීන් සාවද්‍ය ලෙස සිරගත කරමින්, ආන්ඩුව සාපරාධී ආයතනයක් ලෙස” පවත්වාගෙන ගිය බව ලීහි කීවේ ය.

වොෂින්ටනයේ උත්සුකතාවන්ට, ප්‍රජාතන්ත්‍රවාදය, නිසි ක්‍රියාදාමය හෝ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව ආරක්ෂාව කිරීම සමග කවර හෝ සම්බන්ධයක් නැත. රාජපක්ෂ ඉවත් කර සිරිසේන ජනාධිපති ධූරයේ පිහිටුවීම මගින් ලබාගත් දේශපාලන වාසි දුර්වල වෙතැයි ද චීනයට එරෙහි භූ-මූලෝපායික මෙහෙයුම්වලට වලකැපෙනු ඇතැයි ද එක්සත් ජනපදය උත්සුක වේ.

“යහපාලනය” හා “ප්‍රජාතාන්ත්‍රික මූලධර්ම” උල්ලංඝනය කිරීම පිලිබඳ ව සිරිසේන හා වික්‍රමසිංහ දැන් එකිනෙකාට චෝදනා කරගනිති. එහෙත් 2015 දී රාජපක්ෂ ඉවත් කිරීම සඳහා වොෂින්ටනය සැලසුම් කල කුමන්ත්‍රනයක දී වික්‍රමසිංහ හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සමගින් සිරිසේන අත්වැල් බැඳගත්තේ ය.

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි ව රාජපක්ෂ විසින් යලි ආරම්භ කොට 2006 මැද සිට 2009 දක්වා ගෙනගිය යුද්ධයේ දී දෙමල සිවිල් වැසියන් දසදහස් ගනනක් මරා දැමුනි. අනුප්‍රාප්තික වොෂින්ටන් පරිපාලනයන් එම යුද්ධයට සහයෝගය දුන්නේ ය. රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී විධික්‍රම හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් එක්සත් ජනපදය නුදුටුවා සේ සිටියේ ය. රාජපක්ෂගේ කැබිනට්ටුවේ ජ්‍යෙෂ්ඨ ඇමතියෙකු වූ සිරිසේන හා විපක්ෂයේ සිටි වික්‍රමසිංහ යන දෙදෙනා ම රුදුරු යුද්ධයේ උද්‍යෝගිමත් ආධාරකරුවන් වූ හ.

වොෂින්ටනය රාජපක්ෂ ව විවේචනය කිරීමට පටන් ගත්තේ, ඔහු බීජිනය සමග සමීප සබඳතා වර්ධනය කරගැනීමෙන් හා යුද්ධයේ අවසන් මාස කිහිපය තුල මිලිටරියට ආයුධ හා ඔහුගේ ආන්ඩුවට අරමුදල් සපයන ප්‍රමුඛයා බවට චීනය පත්වීමෙන් පසුව පමනි. කලාපය තුල තමන්ගේ අවශ්‍යතා ඉදිරියට දමාගැනීමට අධිෂ්ඨාන වත් වූ ඉන්දියාව, චීනයට එරෙහි වොෂින්ටනයේ ක්‍රියාවන්ට පිටුබලය දුන්නේ ය.

එල්ටීටීඊයට එරෙහි යුද්ධයේ දී රාජපක්ෂ තන්ත්‍රය විසින් සිදුකල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් විමර්ශනයක් අවශ්‍ය යයි කියමින්, එක්සත් ජනපදය ඉන්පසුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට යෝජනා මාලාවක් ඉදිරිපත් කලේ ය. මෙම යෝජනාවල අභිප්‍රාය වූයේ බීජිනයෙන් ඈත්වන ලෙස කොලඹ ආන්ඩුවට පීඩනය යෙදීම යි. රාජපක්ෂ චීනය සමග ඔහුගේ සබඳතා දිගට ම පවත්වා ගත් තතු තුල වොෂින්ටනය ඔහු ව ඉවත් කිරීමට ක්‍රියාකලේ ය.

රාජපක්ෂගේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී පාලනය කෙරෙහි වැඩකරන ජනයා, ගම්බද දුගීන් හා දෙමල ජනතාව අතර පැවති ගැඹුරු විරෝධය සිරිසේන, වික්‍රමසිංහ හා අනෙකුත් අය විසින් ගසා කනු ලැබුවේ, එම දේශපාලන මෙහෙයුමට ප්‍රජාතන්ත්‍රවාදී ආවරනයක් සම්පාදනය කිරීම සඳහා, නව සම සමාජ පක්ෂය වැනි ව්‍යාජ-වාම සංවිධාන, වෘත්තීය සමිති හා ශාස්ත්‍රාලිකයන් ආදීන්ගේ පිටුබලය ලබමිනි.

දැන් හතුරු කඳවුරුවල සිටින සිරිසේන හා වික්‍රමසිංහ විසින් ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයන් ලෙස කල කියාපෑම් මුලුමනින් ම ප්‍රෝඩාවක් වන අතර, එය, 2015 තන්ත්‍ර-මාරු මෙහෙයුමේ දී ඔවුන් ඉටුකල භූමිකාවෙන් ද හෙලිදරවු වේ. වරක් සිරිසේන ව තරයේ හෙලා දුටු රාජපක්ෂ දැන් ඔහු සමග සමීප වී සිටී.

ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූවේ මෙම කන්ඩායම් එකිනෙකා ව දැඩි ලෙස හෙලාදකින අතර ම, මහ ව්‍යාපාරිකයේ හා ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ අවශ්‍යතා ආරක්ෂා කරමින්, අතීතයේ දී මෙන් ම, සමාජ සමානතාව හා අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා කම්කරු පන්තිය සහ දුගීන් ගෙනයන අරගල රුදුරු ලෙස මර්දනය කරනු ඇත.

කතුවරයා නිර්දේශ කරන තවත් ලිපි

ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදයට සමාජවාදී විසඳුමක් සඳහා සටන් කරනු

Share this article: