ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රභුව තුල කන්ඩායමික ගැටුම කම්කරු පන්තිය මුහුන දෙන අන්තරායන් අවධාරනය කරයි

Factional conflict in Sri Lankan elite underscore dangers facing working class

කේ.රත්නායක විසිනි , 2018 නොවැම්බර් 9

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අගමැති රනිල් වික්‍රමසිංහ බලයෙන් පහ කොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එම තනතුරට පත් කිරීම මගින් උද්ගත කෙරුන දේශපාලන අර්බුදය ඉදිරියට ඇදී යයි. සිරිසේන සහ රාජපක්ෂ විසින් මෙහයවනු ලබන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) හා වික්‍රමසිංහ නායකත්වය දෙන එක්සත් ජාතික පක්ෂය (එජාප) අතර කාකොටා ගැනීම කම්කරු පන්තිය මුහුන දෙන අන්තරායන් පෙන්නුම් කරයි.

වැඩකරන ජනතාවගේ සහ දුගීන්ගේ මූලික අයිතීන් නිරන්තරව මැඩලන ලද දේශපාලන ප්‍රභුවේ කන්ඩායම් දෙකම, ආන්ඩු බලය රැක ගැනීම සඳහා සහ රට මුහුන දී තිබෙන ආර්ථික අර්බුදයේ බර මහ ජනතාව මත පැටවීම තීව්‍ර කිරීම පිනිස ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයන් ලෙස ව්‍යාජ මවා පෑමක යෙදී සිටිති.

ආන්ඩුවක් පිහිටුවීමේ ඔවුන්ගේ උත්සාහයේ දී, සිරිසේන සහ රාජපක්ෂ මුලුමනින් ම වාගේ දෛනික පදනමක ඇමතිවරුන් පත්කර ඇති අතර කැබිනට් ඇමතිවරු 30 ක් පත් කිරීමට සැලැසුම් කර ඇත. නොවැම්බර් 14 වෙනිදා වන විට පත්කිරීම් සම්පුර්න කරන බව අලුතින් පත් කරන ලද ආන්ඩුවේ ප්‍රකාශක සහ වරාය ඇමති මහින්ද සමරසිංහ ඊයේ සඳහන් කලේ ය.

සිරිසේන මුල දී නොවැම්බර් 16 දක්වා පාර්ලිමේන්තුව කල් තැබූ නමුත් ජාත්‍යන්තර පීඩනයට ප්‍රතිචාර වශයෙන් පාර්ලිමේන්තුව යලි රැස්කරන දිනය දින දෙකක් ඉදිරියට ගෙන ආවේ ය. පාර්ලිමේන්තුව රැස්වීම අත්හිටුවීම අවශ්‍ය වුයේ ඇමති තනතුරු දීම සහ අතයට ගනුදෙනු මගින් විපක්ෂ දේශපාලකයන් මිල දී ගැනීමෙන් පාර්ලිමේන්තු බහුතරය පෙන්වීම සඳහා රාජපක්ෂට කාලය ලබා දීමට ය.

නොවැම්බර් 14 වෙනිදා න්‍යාය පත්‍රය ගැන සාකච්චා කිරීමට පාර්ලිමේන්තු පක්ෂ නායකයෝ ඊයේ කතානායක කරු ජයසූරිය හමුවූහ. රාජපක්ෂට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීන් 116 දෙනෙකු විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති විශ්වාස භංග යෝජනාවට ඔහු ප්‍රමුඛත්වය දෙන බව ජයසූරිය පැවසුවේ ය. බහුතරය පවතින්නේ කවර කන්ඩායමට ද යන්න චන්දය මගින් තීරනය කෙරෙනු ඇත.

පලමුව ජනාධිපති සිරිසේනගේ කතාවෙන් පසු අමාත්‍යංශ සඳහා තාවකාලික මුල්‍ය ප්‍රතිපදාන වෙන්කිරීම පිනිස චන්දය විමසීමක් සහ අවශ්‍ය නම් විශ්වාස භංග යෝජනාවක් සඳහා චන්දය විමසීම කල යුතු බව ශ්‍රීලනිප පාර්ලිමේන්තු සාමාජිකයෝ අවධාරනය කලහ.

රාජපක්ෂ විසින් නායකත්වය දෙන ආන්ඩුවකට සහයෝගය ගොනු කිරීම සඳහා මංමුලාසහගත ප්‍රයත්නයක යෙදී සිටින සිරිසේන ආර්. සම්බන්දන් ඇතලු දෙමල ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) නායකයන් හමු විය. ටීඑන්ඒ ට පාර්ලිමේන්තු මන්ත්‍රීන් 16 සිටින බැවින් පාර්ලිමේන්තු බහුතරයක් සඳහා එහි සහයෝගය ලබා ගැනීම තීරනාත්මක ය. මේ දක්වා රාජපක්ෂට සහයෝගය දිනා ගැනීමට හැකි වී ඇත්තේ ඇමතිකමක් ලද එක් ටීඑන්ඒ මන්ත්‍රී කෙනෙකුගෙන් පමනි.

රාජපක්ෂ පත්කිරීමට තමන් විරුද්ධ බව සිරිසේනට පැවසූ ටීඑන්ඒ නායකයෝ බහුතරය ඇත්තේ කවරෙකුට දැයි තීරනය කිරීම සඳහා කලින් දිනයක පාර්ලිමේන්තුව යලි කැඳවන ලෙස ඉල්ලා සිටියහ. ධනේශ්වර ජාතිකවාදී සංවිධානයක් වන ටීඑන්ඒ සුපුරුදු ලෙස ප්‍රතිචාර දක්වන්නේ දෙමල ප්‍රභුවේ උත්සුකයන් සහ වරප්‍රසාද රැක ගැනීම සඳහා වොෂින්ටනයේ සහ නව දිල්ලියේ දේශපාලන සංඥාවන් ට ය.

ආඥාදායක සහ මර්දනකාරී ජනාධිපති බලතල ශක්තිමත් කර ගැනීම සඳහා සිරිසේන අර්බුදය උපයෝගී කර ගනිමින් සිටියි. ව්‍යවස්ථාව යටතේ ඔහුට හිමි වන ආරක්ෂක ඇමැතිකමට අමතරව, පොලීසිය පාලනය කරන නීතිය සහ සාමය පිලිබඳ අමාත්‍යාංශය සහ මාධ්‍ය අමාත්‍යාංශය සිරිසේන යටතට ගෙන ඇත.

ජනාධිපති විසින් නව අගමැති කෙනෙකු පත් කිරීම ව්‍යවස්ථාවට අනුකුල බවත් අවශ්‍යයයි ඔහුට පෙනී යන්නේ නම් පාර්ලිමේන්තුව විසුරුවාලීමේ බලය ද ඔහුට ඇති බවත් රාජපක්ෂගේ සහ සිරිසේන ගේ උපදේශකයන් බොහෝ දෙනෙක් කියති. මෙම ප්‍රකාශයන්, ඉහත බලතල වලින් සමහරක් කප්පාදු කොට සිරිසේන විසින් ම හඳුන්වා දෙනු ලැබූ 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ විකෘතියකි.

මෙම ආත්ම-සේවනීය අර්ථ කථනයන් ගේ එල්ලය වන්නේ හුදෙක් සිරිසේන-රාජපක්ෂ කන්ඩායමේ බලය තහවුරු කරගැනීම පමනක් නොව, වැඩකරන ජනතාවගේ මූලික අයිතීන් මර්දනය කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් සඳහා ජනාධිපතිගේ විධායක බලතල තව දුරටත් යොදා ගැනීම ය.

වහාම පාර්ලිමේන්තුව රැස්කිරීමට සහ විශ්වාසභංග යෝජනාවකට කැඳවුම් කිරීම සඳහා වික්‍රමසිංහගේ එජාප ය සඳුදා කොලඹ දී තවත් විරෝධතා රැලියක් පවත්වයි.

ඔවුන් සටන් කරන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස රැකීමට බව ප්‍රකාශ කරමින් වික්‍රමසිංහ ඊයේ කෙටියෙන් ඔහුගේ ආධාරකරුවන් ඇමතීය. මෙය අභූතයකි. වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ පැරනිතම ධනේශ්වර පක්ෂයෙහි නායකයා ය. එය හැම විටම මහ ව්‍යාාපාරිකයේ උත්සුකයන්ට සේවය කල අතර මහ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සමතලා කලේ ය.

එජාප වාරු වී සිටින්නේ ඊනියා ජාත්‍යන්තර ප්‍රජාව, විශේෂයෙන් ම එක්සත් ජනපදය මතය. කොලඹ සිටින විදේශ රාජ්‍යතාන්ත්‍රිකයන් වෙත කතානායක ජයසූරිය විසින් සඳුදා යවන ලද ලිපිය මගින් ප්‍රධාන බලයන්ගේ සහයෝගය සඳහා කෙරෙන එජාපයේ නිරන්තර ආයාචනයන් නැවතත් එලිදරව් කෙරුනි.

ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තු කතානායක අපක්ෂපාතී විය යුතු බව උපකල්පනය කෙරෙයි. එහෙත්, ජයසූරිය එජාප යේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකි. ඔහුගේ ලිපියෙහි කොටස් බදාදා රොයිටර් වාර්තාවක පල විය.

සිද්ධීන්ගේ සමස්ත දාමය (සිරිසේනගේ ක්‍රියාවන්) විස්තර කල හැක්කේ යුද ටැංකි සහ තුවක්කු පාවිච්චි නොකල කුමන්ත්‍රනයක් ලෙස” බව ජයසුරියගේ ලිපියෙහි සඳහන් විය. “සමස්ත කටයුත්තම කලින් සැලසුම් කරන ලද්දකි.” සිරිසේනගේ ක්‍රියාව ගැන චෝදනා කරමින් ලිපිය තවදුරටත් සඳහන් කලේ එය “විනිවිදභාවයේ, ශිෂ්ටත්වයේ, ප්‍රජාතන්ත්‍රවාදයේ සහ යහ පාලනයේ සියලුම ප්‍රමිතීන්ට පටහැනි සහ පවත්වාගෙන යාමට සහ ආරක්ෂා කිරීමට ඔහු විසින් දිවුරුම් දී ඇති ව්‍යවස්ථාවට පටහැනි” බවය.

ලිපිය ප්‍රධාන බලයන්ගේ මැදිහත් වීමකට කෙරුන ඝෘජු ආයාචනයකි. විදේශ බලයන් වෙතට හැරීම ගැන සිරිසේන සහ රාජපක්ෂ එජාපයට චෝදනා කරන නමුදු ඔවුන්ගේ ආන්ඩුව ද එපරිදිම ප්‍රධාන බලයන්ට හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි ඔවුන්ගේ මුල්‍ය ආයතනවල නියෝගවලට යටත් ය.

ආරම්භයේ පටන් ම, එක්සත් ජනපදය රාජපක්ෂගේ පත්වීමට විරුද්ධය. 2015 ජනවාරි මාසයේ පැවති ජනාධිපතිවරනයේ දී එක්සත් ජනපදය රාජපක්ෂ ජනාධිපති තනතුරෙන් පහ කර සිරිසේන එතැනට පත්කිරීමේ තන්ත්‍ර මාරු මෙහෙයුමක් කලේ ය.

එක්සත් ජනපදය බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි රාජපක්ෂගේ යුද්ධයට සහයෝගය දෙමින් ඔහුගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය කෙරෙහි නොතකා සිටි නමුදු එක්සත් ජනපද මුලෝපායාත්මක උත්සුකයන් ට බාධාවක් ලෙස එය සැලකු බෙයිජිනය සමග ඔහුගේ සමීප සම්බන්ධකම් වලට රුදුරු ලෙස විරුද්ධ විය.

අලුතෙන් පත්කල එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා බී ටෙප්ලිට්ස් නොවැම්බර් 6 වෙනිදා ජයසුරිය හමු විය. “මෙම දේශපාලන අර්බුදය අවසන් කිරීම සඳහා පාර්ලිමේන්තුව යලි කැඳවීමේ වැදගත්කම” ගැන ඔවුන් සාකච්චා කල බව ඇය ට්විටර් පනිවුඩයක සඳහන් කලාය. ඇය ටීඑන්ඒ නායක ආර්. සම්බන්දන් ද ඔහුගේ නිවසේ දී හමු වුවා ය.

පසුගිය සතිය තුල වොෂින්ටනය එහි මැදිහත්වීම තියුනු කර ඇත. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා හෙදර් නොයාර්ට් බදාදා නිකුත් කල ට්විටර් පනිවුඩයක මෙසේ සඳහන් කර තිබුනි: “දේශපාලන අර්බුදය විසඳීම සඳහා පාර්ලිමේන්තුව වහාම රැස් කරන ලෙස අපි ශ්‍රී ලංකාවේ ජනාධිපතිට අවධාරනය කරමු” කවර හෝ ප්‍රමාදයක් ශ්‍රී ලංකාවේ අවිනිශ්චිතතාව සංකීර්න කරන අතර එහි ජාත්‍යන්තර කීර්තියට වල කපනු ඇත” යි ඇය අනතුරු ඇඟ වී ය.

ට්‍රම්ප් ආන්ඩුවට ශ්‍රී ලංකාවේ හෝ එක්සත් ජනපදය ඇතුලු කිසිම තැනක ප්‍රජාතන්ත්‍රවාදය ගැන තැකීමක් නැත. එය සැලිකිලිමත් වන්නේ චීනයට එරෙහිව එහි භූදේශපාලනික උත්සුකතාවයන් පෙරට ගෙන යාම ගැන පමනි.

මෙම සතිය මුල දී ජනතා විමුක්ති පෙරමුනේ (ජේවීපී) නායක අනුරකුමාර දිසානායක විසින් නායකත්වය දෙන ලද නියෝජිත කන්ඩායමක් එහි ආස්ථානය සාකච්චා කිරීම සඳහා සම්බන්දන් ඇතුලු ටීඑන්ඒ නායකයන් හමු විය. සිරිසේනගේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවන් පාර්ලිමේන්තුව තුල දී පරාජය කිරීම සඳහා එකඟ වූ බව පක්ෂ දෙකම ප්‍රකාශ කලහ.

ඔහුගේ ලිපිය “ඉතාම ශක්තිමත්” බව සඳහන් කරමින් ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී දිසානායක කතානායක ජයසූරියට ස්තුති කලේ ය. පාර්ලිමේන්තුවේ ඡන්දයක දී “ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට” විරුද්ධව සහ එජාපයේ විශ්වාසභංග යෝජනාවකට පක්ෂව චන්දය දෙන බව ජවිපෙ ප්‍රකාශ කලේ යයි මාධ්‍ය වාර්තා කලේ ය.

දේශපාලන සන්ස්ථාපිතයේ කොටසක් වන ජවිපෙ ධනේශ්වරයේ එක් හෝ තවත් කන්ඩායමක් සමග නිරන්තරව උපාමාරුවල යෙදී ඇති අතර දැන් දිරාපත්වෙමින් තිබෙන ව්‍යාජ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන මිත්‍යාවන් වැපිරීමේ උත්සාහය තීව්‍ර කරමින් සිටි. එහි ස්ථාවරය ප්‍රවර්ධනය කිරීම පිනිස කොලඹ දී තවත් විරෝධතා රැලියක් පැවැත්වීමට එය සැලසුම් කර ඇත.

පන්ති අරගලයේ පුනර්ජීවනය හා ගැඹුරු වන ආර්ථික අර්බුදය සහ භුදේශපාලනික ආතතීන් මධ්‍යයේ පාලක ප්‍රභුවේ සියලුම කන්ඩායම් වඩාත් දකුනට තල්ලු වී ඇති අතර කම්කරු පන්තියේ සහ දුගීන්ගේ සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් සඳහා සූදානම් වෙමින් සිටිති.

දේශපාලන අර්බුදය පිලිබඳ තම ප්‍රකාශනය තුල දී සමාජවාදී සමානතා පක්ෂය (සසප) මෙසේ ලිවීය: “දේශපාලන තත්වය පිලිබඳ තක්සේරුවක් මත නො නවතින විප්ලවයේ පදනම මත තමන්ගේම ස්වාධීන මාවතක් සකසා ගන්නා ලෙස කම්කරු පන්තියෙන් අපි ඉල්ලමු”

“කම්කරුවන්, වැඩබිම්, නිවහන් ප්‍රදේශ, හා වතුවල ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීමට මූලිකත්වය ගනිමින් ගම්බද දුගීන් හා තරුනයන් බලමුලු ගන්වාගෙන තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහ පන්ති අවශ්‍යතා සඳහා සටන් කිරීමට ආරම්භකත්වය ගත යුතු ය. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගලය, රාජ්‍ය බලය පිලිබඳ ප්‍රශ්නය හා සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා කෙරෙන සටන සමග බැදී තිබේ.

සසප සමග ඒකාබද්ධ වෙමින් මෙම ඉදිරි දර්ශනයට සටන් කරන ලෙස අපි කම්කරුවන්ගෙන් සහ තරුනයන්ගෙන් ඉල්ලමු.

Share this article: