ගූගල් වෙත යවන ලද ලෝසවෙඅ විවෘත ලිපියෙන් වසරකට පසු
මුහුනු පොත වාමාංශික, යුද විරෝධී සංවිධානවලට එරෙහි වාරනය උග්‍රකරයි

One year after WSWS open letter to Google Facebook escalates censorship of left-wing, anti-war organizations

2018 අගෝස්තු 23

වසරකට පෙරාතුව මෙම සතියේ, ලෝක සමාජවාදී වෙබ් අඩවිය අන්තර්ජාල වාරනය අවසන් කරන ලෙස සෙවුම් ඒකාධිකාරී ගූගල් සමාගමට යැවූ විවෘත ලිපියක් පල කලේය.

“ප්‍රාධිකාරී” පුවත් මූලාශ්‍රයන් උනන්දු කිරීමේ එල්ලය ඇතිව යයි කියා පෑ ගූගල් සමාගමේ සෙවුම් අල්ගෝරිදම වෙනස් කිරීම මගින් වාමාංශික, සමාජවාදී සහ යුද විරෝධී වෙබ් අඩවි වෙත සෙවුම් පිවිසුම් පරිමාව සැලකිය යුතු ලෙස අඩු වීමකට තුඩු දුන් බව ලිපිය ලේඛන ගත කලේය. ලෝසවෙඅ ජාත්‍යන්තර කතෘ මන්ඩලයේ සභාපති ඬේවිඞ් නෝර්ත් ගේ ලිපිය ප්‍රකාශ කලේ ගූගල් සමාගම “අන්තර්ජාලය දේශපාලනිකව වාරනය කිරිමේ යෙදී ගන සිටී” යනුවෙනි.

වසරකට පසුව පැහැදිලි වන්නේ ගූගල් සමාගමට එරෙහි චෝදනාවන් නිවැරදි සහ අතිශයින්ම දූරදර්ශී බවයි. ගූගල් සමාගම විසින් ගන්නා ලද පියවර ෆෙස්බුක් සහ ට්විටර් සමාගම් ඇතුලු සියලුම එජ තාක්ෂනික ඒකාධිකාරයන් විසින් ක්‍රියාවේ යොදවන පුලුල් පරාසීය සංගත-රාජ්‍ය වාරන පද්ධතියකට ආරම්භකත්වය දෙනු ලැබ ඇත. “රුසියානු අත පෙවීම්” සහ “ව්‍යාජ ප්‍රවෘත්ති” වලට එරෙහි සටන් කිරීමේ කඩතුරාව යටතේ ආරම්භ කල උද්ඝෝෂනය වඩ වඩාත් විවෘතව වාමාංශික මතවාදයන්ට එරෙහිව එල්ල වෙමින් ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත එල්ලවූ වඩාත්ම මෑතම සහ ආන්තික ප්‍රහාරය අඟහරුවාදා සිදුවූයේ, මැද පෙරදිග ඇමරිකානු, සවුදි සහ ඊස්රායල ආන්ඩු වල අපරාධ වලට එරෙහි බොහෝ දෙනෙකුගේ ඇතුලු, සිය ගනනකගේ පරිශීලක ගිනුම් (user accounts) සහ පිටු සිය ගනනක් ඉවත් කිරීම ෆෙස්බුක් ආයතනය විසින් නිවේදනය කිරීමත් සමගය. ඒවා ඉරානය සහ රුසියාවේ “බලපෑම් උද්ඝෝෂනවල” ප්‍රතිඵල බව චෝදනා කෙරිනි.

තම කැපිලි වලදී ෆෙස්බුක් සම්බන්ධීකරනය කරගත්, හිටපු බුද්ධි - අංශ නිලාධාරින් බෙහෙවින් සම්බන්ධව සිටින ෆයර් අයි නම් අන්තර්ජාල ආරක්ෂක සමාගමට අනුව, ගිනුම් වලින් සමහරක් “පලස්තීනුවන්ට සහය දෙමින් ඊස්රායලයට විරුද්ධත්වය” ප්‍රකාශ කල, “එක්සත් ජනපද සෙනෙට් මන්ත්‍රී බර්නි සැන්ඞ්ර්ස්ට සහය දෙන ඇමරිකානු ලිබරලුන්ගේ” ඒවා විය.

පුවත්පත්, “විදේශීයබලපෑම්” මෙහෙයුම් සමග වාමාංශික දෘෂ්ටි කෝනයන් සම්බන්ද කිරීම ඊටත් එහා ගෙන ගියහ. ෆිනෑන්ශල් ටයිම්ස් ප්‍රකාශ කලේ, “එජ තුල, ෆයර් අයි එජ සෙනේට් සභික බර්නි සෑන්ඩර්ස්ට සහය දක්වන්නේ යයි කියන ගිනුම් සහ දක්ෂිනාංශය ට එරෙහිව නැගෙව් (Rise Against the Right) නමින් හැඳින්වෙන ව්‍යාජ සංවිධානයක් සොයා ගති. එක්සත් රාජධානියේ, මෙම සමාගම, ලේබර් පක්ෂයේ නායක ජෙරමි කෝබින්ගේ සහයට (අන්තර්ජාලයේ) පල කරනා බ්‍රිතාන්‍ය වම( British Left) සහ බ්‍රිතානය ප්‍රගතිශීලී පෙරමුන ( British Progressive Front) නම් වලින් හැඳින්වෙන, අටවන ලද (ව්‍යාජ) සංවිධාන සොයා ගති.” යනුවෙනි.

වාරනය සඳහා ව්‍යාපාරය මෙහෙය වන ප්‍රමුඛයා වන වර්ජිනියා හි ඩිමොක්‍රටික මාර්ක් වර්නර් පැහැදිලි කලේ, අන්තර්ජාල වාරනය සඳහා අන්තර්ජාල යෝධයින්ගේ පියවර, 2016 මැතිවරනයේදී රුසියානු “අතපෙවීම්” මැයින්වූ මුල් ව්‍යාජ හේතුවට වඩා පුලුල් බවයි. “සමාජ මාධ්‍ය හැසිරවීමේ ප්‍රශ්නය සාන්ත පීටර්ස්බර්ග් හි තනි ට්‍රොල්පලකට (අන්තර්ජාලය හරහා කඩාකප්පල් කිරීම් සංවිධානය කරන ස්ථාන) පමනක් සීමා වීමට විධියක් නැති අතර එම කාරනාව දැන් සැකයකින් තොරය.” ඔහු තවදුරටත් සඳහන් කලේ, “ඉරාන ජාතිකයෝ දැන්, 2016 ක්‍රෙම්ලින් උපදෙස් ග්‍රන්ථය අනුගමනය කරමින් සිටිති.” යනුවෙනි.

අනාවරනීය ලෙස ෆයර් අයි කියා සිටියේ, එයට “මෙම වැඩ උපත ලැබුවේ ඉරාන ක්‍රියාකාරීන්ගෙන්ය යන්න ගැන තිබුනේ සාමාන්‍ය විශ්වාසයක්” පමනක් බවය. එම සමාගම මෙසේද කීය, “මෙම ක්‍රියා වෙනත් තැන් වලින් උපන්නාද විය හැකිය” . එමෙන්ම මෙ අතර “අව්‍යාජ අන්තර්ජාල හැසිරීම් “ද තිබිය හැකි වේ.

කුමන ස්ථානයක ගිනුම් ආරම්භ වූවද මේවා “අව්‍යාජ” ද නැත්ද යන්න නීර්නය කිරීම ෆෙස්බුක් සමාගමේ කර්තව්‍යයක් නොවේ. අනාවරනීය ලෙස, ෆෙස්බුක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් වාර්තාකරුවන් සමග සම්මන්ත්‍රන දුරකථන සාකච්ඡාවකදී තව දුරටත් සඳහන් කලේ ඉවත් කරන ලද සමහර ගිනුම් පැමිනියේ, “එක්සත් ජනපද ආන්ඩුව හා අනෙකුන් රුසියාව සමග සබඳතා ඇතැයි සලකන පුද්ගලයින් කන්ඩායමක ගෙනි “යනුවෙනි. එජ විදේශ ප්‍රතිපත්තිවලට එරෙහි වන ඕනෑම කෙනෙකුත් ක්‍රෙම්ලින් ඒජන්තයකු ලෙස හංවඩු ගැසීමට එජ රජයේ අධිකාරවත් කන්ඩායම් මං සොයන තතු තුල, එවැනි පුලුල් අර්ථකථනයක් එජ දේශපාලන සංස්ථාපිථයට එරෙහි ඔනෑම ප්‍රසිද්ධ විවේචකයකුට එරෙහිව විස්තීරනය කල හැකිය.

“ඉරානය හා බැඳුනු” පිටු සහ ගිනුම් ඉවත් කරන ලදැයි ෆෙස්බුක් සමාගම පැවසූ දිනයේම, එය ආරූඩ නාමයක් යටතේ ලිපි ලියමින් සිටි ලෝසවෙඅ යේ රචකයෙකුගේ දීර්ඝ-කාලීන ෆෙස්බුක් ගිනුම අත්හිට වූයේය. එය ප්‍රකාශ කලේ ඔහු තමන්ගේ අනන්‍යතාවය සනාථ කිරීමට ආන්ඩුව විසින් ලබාදුන් අනන්‍යතාවක් ඉදිරිපත් කරන්නේ නම් පමනක් ඔහුගේ ගිනුම් යලි පිහිටුවන බවයි.

මෙවැනි ප්‍රමිතියක් සැමටම භාවිතා කල හොත්, ස්ටීවන් කින්ග් (ඔහු ලියන්නේ රිචර්ඞ් බැක්මන් නමිනි), ඈන් රයිස් (ඇය ලියන්නේ ඈන් රැම්ප්ලින් නමිනි) සහ අසංඛ්‍ය අන්‍ය සමකාලීන ලේඛකයින් විසින්, මිලියන ගනන් ජනතාව තමන්ව හඳුනා ගන්නා නම් ඔවුන් භාවිතා කලේ නම්, සමාජ මාධ්‍ය තුල කරන පල කිරීම් “ව්‍යාජ” වනු ඇත. ව්ලැදිමීර් ලෙනින් සහ ලියොන් ට්‍රොට්ස්කි ඇතුලුව, විප්ලවවාදී ව්‍යාපාරයේ වඩාත්ම ප්‍රසිද්ධ පුද්ගලයින්ගෙන් සමහරෙක් හැඳින්වෙන්නේ සුවිශේෂයෙන්ම ඔවුන්ගේ ලේඛක අන්වර්ත නාමය මගින්ය. ඇමරිකානු ෆෙඩරල්වාදී ලිපිලේඛන සහ ප්‍රති- ෆෙඩරල්වාදී ලිපිලේඛන සියල්ලම කෙටුම්පත් කෙරී ඇත්තේ අන්වර්ථ නාම භාවිතා කළ ලේඛකයන් විසිනි.

ආන්ඩුවේ ආයතන සමග සම්බන්ධීකරනයෙන් ක්‍රියාත්මක වන ෆෙස්බුක් සමාගම කටයුතු කරන්නේ, පලමුවන ව්‍යවස්ථා සංශෝධනයෙන් සහ ජාත්‍යන්තර සිවිල් අයිතිවාසිකම් පිලිබඳ නීති යටතේ තහවුරු කෙරී ඇති භාෂනයේ නිදහස භුක්ති විදිය හැක්කේ කවුරුන්දැයි තීරනය කරන විනිසුරු, ජූරි සභාව සහ ගහලයා ලෙසය. එය, නඩු විභාගයකින්, ඇපෑලකින් සහ තොරතුරු සැපයීමකින් තොරව, ප්‍රකාශන “ව්‍යාජ” බැව් කියා පෑමටත් සහ ඒවා ඉදිරිපත් කරන ගිනුම් ඉවත් කිරීමටත් හිමිකම් පායි.

පසුගිය මස, ෆෙස්බුක් සමාගම මෙම මස “දක්ශිනාංෂය එකමුතු වව් 2” මැයෙන් වොෂින්ටනයේ සංවිධානය කල ෆැසිස්ට් උද්ඝෝෂනයට එරෙහි වාමාංශික ප්‍රති-විරෝධතාවය සඳහා පැවැති නිල සිදුවීම් පිටුව, ඉවත් කලේය. දූෂන හෙලිදරවු කල චෙල්සී මෑනිං ඇතුලු ප්‍රමුඛ පෙලේ වාමාංශික දේශපාලනික ක්‍රියාධරයින් විසින් මෙම ප්‍රති-විරෝධතාවය අනුමත කරනු ලැබ තිබින. ෆෙස්බුක් සමාගමෙහි යුක්ති කරනය වූයේ “සම්බන්ධීකරනය ලද ව්‍යාජ හැසිරීම” දැක්වූ එක් ගිනුමක්, සිද්ධි පිටුවට සම්බන්දව පැවැති බවය.

මෙම සතියේ වොෂින්ටන් පෝස්ට වාර්තා කලේ, “තම භාවිතා කරන්නන්ගේ විශ්වාසනීයත්වය නීර්නය කිරීම සදහා 0 සිට 1 දක්වා පරිමානයක අභ්‍යයන්තර අනුතැන් (ශ්‍රේනිගත කිරීමේ) ක්‍රමයක් ෆෙස්බුක් සමාගම ක්‍රියාත්මක කරන බවයි. “අවිශ්වසනීය” සේ හංවඩු වැදුනවුන් ඉවත් කරනු ලැබීමට ගොදුරු වියහැකි බැව් පැහැදිලිය.

කොටසින් කොටස, හඳුන්වා දෙනු ලබමින් පවතින්නේ, තමන්ගේ ප්‍රකාශන සහ අදහස් “ව්‍යාජ” සහ “භේදකාරියි” යනුවෙන් චෝදනාවට ලක්කරමින් ඕනෑම කෙනෙකු, ඕනෑම මොහොතක, ඕනෑම හේතුවක් දක්වා නිශ්ශබ්ද කිරීම පිනිස වූ එජ තාක්ෂනික ඒකාධිකාරයන් සඳහා යාන්ත්‍රනයයි.

පුද්ගලික අංශයෙන් පාලිත සමාජ මාධ්‍ය පරිසර පද්ධතිය තුල පරීක්ෂාවට ලක් කරන ලද සහ ක්‍රියාවෙහි යොදවන ලද එවැනි යාන්ත්‍රනයක්, අන්තර්ජාල අපක්ෂපාතිත්වය අවසන් කිරීමෙන් පසු, ඊලඟට, පොදු අන්තර්ජාලයේ වෙබ් අඩවි සහ ඊමේල් වෙත පිවිසීම් අවහිරකිරීම සදහා පොලිස්කාරකම් කිරීමට “වගකීමක්” තමුන්ට ඇතැයි කියාපාමින් පුද්ගලික අන්තර්ජාල සේවය සපයන්නන් විසින් භාවිතා කරනු ඇත.

වෙනත් වචනවලින් කිවහොත්, ලෝසවෙඅ තම විවෘත ලිපිය පල කර වසරකින් පසුව, නීතිමය පිහිටක් නැතිව, මහජනතාවගේ අනුදැනුමෙන් හා සුපරීක්ෂාවකින් තොරව, ඔනෑම කෙනෙකු තහනම් කිරීමටත් සහ නිශ්ශබ්ද කිරීමටත්, ගූගල්, ෆෙස්බුක්, ට්විටර් සහ ප්‍රමූඛ අන්තර්ජාල සේවය සපයන්නන් සඳහා සියලුම යාන්ත්‍රනයන් නිර්මානය කරනු ලැබ ඇත.

එහෙත් තම විවෘත ලිපිය පල කිරීමේ සිට ගතවූ වසරේ තවත් ක්‍රියාවලියක් මතුවී ඇත. ලොව පුරා කම්කරු පන්තිය වැඩ වර්ජන රැල්ලක් ආරම්භ කරමින් අරගලවලට ඇතුලු වී ඇත. එනම්, මෙම වසරේ මුල එජයේ ගුරුවරුන්ගේ වැඩ වර්ජන රැල්ලෙන් ආරම්භවී, ජර්මනියේ බැර කර්මාන්ත කම්කරුවන්ගේ සහ යුරෝපය පුරා රයන් එයාර් ගුවන්යානා නියමුවන්ගේ වැඩ වර්ජන හරහා අඛන්ඩව පැවතී ගෙන යන සහ යූපීඑස් කම්කරුවන්ගේත්, වාහන කම්කරුවන්ගේත්, ඇමේසන් කම්කරුවන්ගේත් සහ කම්කරු පන්තියේ අනෙකුත් කන්ඩායම් වලත් වර්ධනය වෙමින් පවතින විරෝධතාව සහ කෝපය වශයෙනි.

වාරනය උග්‍ර කිරීමේ පියවර ඉලක්ක කරනු ලැබ ඇත්තේ, සියල්ලටමත් වැඩියෙන්, කම්කරු පන්තියේ වර්ධනය වන මෙම ව්‍යාපාරය සමාජවාදී වැඩ පිලිවෙල සමග අන්තර්ඡේදනය වීම අවහිර කිරීමටය.

එහෙත් කම්කරු පන්තියේ මෙම ව්‍යාපාරය වාරනයට එරෙහි අරගලය සඳහා දේශපාලන පදනමද නිර්මානය කරයි. කම්කරුවෝ තම හාම්පුතුන් සහ තම වෘත්තීය සමිති ද්‍රෝහීන් සමග ගැටුමේදී, දේශපාලන වාරනයට එරෙහි විරෝධය තම ධජයන්හි සටහන් කරමින්, සමාජවාදය සඳහා සටනේ මූලික කොටසක් ලෙස පොදු පාලනය යටතට සමාජ මාධ්‍ය ඒකාධිකාරයන් අත් පත් කර ගැනීම සඳහා සටන් කල යුතුය.

මෙම වසරේ ජනවාරියේදී, ලෝක සමාජවාදී වෙබ් අඩවිය, “සමාජවාදී, යුද-විරෝධී, වාමාංශික සහ ප්‍රගතිශීලී වෙබ් අඩවි වලට, සංවිධාන වලට සහ ක්‍රියාධරයින්ට” “අන්තර්ජාල වාරනයට එරෙහි සටන සඳහා ජාත්‍යන්තර සන්ධානයකට” ඒකාබද්ධවීම සඳහා කැඳවුම් කරමින් විවෘත ලිපියක් නිකුත් කලේය. මෙම ඉල්ලීම වෙන කවරදාටත් වඩා අදට අදාලය. තාක්ෂනික ඒකාධිකාරයන්ගේ දඬු අඬුවටත් සහ අන්තර්ජාල මත ඔත්තු සේවාවලට එරෙහිවවත් සටන් කිරීමට මං සොයමින් සිටින සියලු දෙනාගෙන් අප බලවත් ලෙස ඉල්ලා සිටින්නේ අප හා සබඳතා ගොඩ නගමින් වාරනයට එරෙහි සටනට ඒකාබද්ධ වන ලෙසයි.

අන්ද්‍රේ ඬේමන්

Share this article: