<

 

අන්තර්ජාල වාරනයට එරෙහිව සටන් වැදීමේ ජාත්‍යන්තර සන්ධානයක් සඳහා

සමාජවාදී, යුද විරෝධී, වාමාංශික හා ප‍්‍රගතිශීලී වෙබ් අඩවි, සංවිධාන හා ක්‍රියාකාරීන් වෙත ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයෙන් විවෘත ලිපියක්

For an international coalition to fight Internet censorship

2018 ජනවාරි 23

එක්සත් ජනපද ආන්ඩුව ගූගල්, ෆේස්බුක්, ට්විටර් හා අනෙකුත් බලගතු තොරතුරු තාක්ෂන සමාගම් සමග සහයෝගීව, සමාජවාදී, යුද විරෝධී හා ප‍්‍රගතිශීලී වෙබ් අඩවි කරා අන්තර්ජාලයෙන් ප‍්‍රවිෂ්ටවීම කෙරේ දැවැන්ත සීමාවන් පනවා ඇත. යුරෝපයේ හා ලෝකය පුරාමත් ධනපති ආන්ඩු මෙවැනිම මර්දනකාරී පියවර ගනිමින් සිටිති.

වාරනයේ නව අධිකාරී යාන්ත‍්‍රනය අත්වැල් බැඳ ගන්නේ, අන්තර්ජාලයේ ගත කරන කාලය තුල මිනිසුන් කියවන්නේ, ලියන්නේ සහ සිතන්නේ කුමක්දැයි අධීක්ෂනය කිරීම් වස් ක්‍රියාවට නංවා ඇති ඔත්තු බැලීමේ මෙහෙයුම් උත්සන්න කිරීම සමගය. මිලිටරිය, රහස් තොරතුරු අංශ ආයතන හා කතිපයාධිකාරී තාක්ෂනික සමාගම් අතර ඇති මෙම රාජ්‍යමය සන්ධානයේ වැඩ කටයුතු, කථා කිරීමේ නිදහසට සහ අනෙකුත් මූලිකම ප‍්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි බිහිසුනු තර්ජනයකි.

“ව්‍යාජ ප‍්‍රවෘත්ති” හා “රුසියානු අත පෙවීම්” අහෝසි කිරීමේ ප්‍රෝඩාකාරී ආවරනයට යටින්, 21 වන සියවසේ ධනපති පොලිස් රාජ්‍යයේ තාක්ෂනික ආකෘතිය ඉදි කෙරෙමින් පවතී.

වාමාංශික වෙබ් අඩවි කරා වන ප‍්‍රවිෂ්ටයන් සීමා කිරීම් වස්, පසුගිය අප්‍රේල් මාසයේ පටන් ගූගල් සමාගම, සිය සෙවුම් යන්ත‍්‍රවල ප‍්‍රතිඵලවලට අත පොවා ඒවා හැසිරවීම පිලිබඳ තොරතුරු ලෝක සමාජවාදී වෙබ් අඩවිය 2017 ගිම්හානයේ දී ප‍්‍රකාශයට පත් කලේය. ගූගල් සෝදිසිවල ප‍්‍රතිඵල හරහා ලෝසවෙඅ කරා ප‍්‍රවිෂ්ට වූ පාඨක සංඛ්‍යාවේ සියයට 70 කට ආසන්න පහල වැටීමක් එය වාර්තා කලේය. 2017 අප්‍රේල් දක්වා ලෝසවෙඅ කරා ප‍්‍රවිෂ්ටය ජනනය කල ප‍්‍රධාන ගූගල් සෝදිසි වදන් 150 අතරින් 145 ක් ම තව දුරටත් අපේ වෙබ් අඩවිය දක්වන එකම ප‍්‍රතිඵලයක් හෝ ජනනය නොකලේය. ලෝසවෙඅ විමර්ශනය තවදුරටත් පෙන්වා දුන්නේ, globalresearch.ca, consortiumnews.com, counterpunch.org, alternet.com, wikileaks.com සහ truthdig.org, වැනි විපක්ෂ වෙබ් අඩවි ද ගූගල් සෝදිසි හරහා ජනිත පාඨක සමූහයේ සැලකිය යුතු පහල වැටීම් අත් දැක තුබූ බවයි.

2017 අගෝස්තු 25 දාතමින් ගූගල්හි ප‍්‍රධාන විධායකයන් වෙත යවන ලදවිවෘත ලිපියක ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් මෙසේ ලිවීය:

මෙම පරිමානයේ වාරනයක් යනු දේශපාලනිකව අපලේඛනගත කිරීමකි. ගූගල්හි වාරන ක‍්‍රමලේඛයන්හි (ඇල්ගොරිතම්) නිසැක අභිප‍්‍රාය වන්නේ, වාර්තා කෙරෙනු දැකීමට ඔබේ සමාගම අකැමැති ප‍්‍රවෘත්ති අවහිර කිරීම හා ඔබ එකඟ නොවන මත යටපත් කිරීමයි. වානිජ ව්‍යවසායයක් වශයෙන් ගූගල්හි පරමාධිකාරය කවරාකාරයේ වුවත්, දේශපාලනික අපලේඛනගත කිරීම යනු එහි නීත්‍යානුකූල කටයුත්තක් නොවේ. ඒ වූ කලී සිය ඒකාධිකාරී බලය බරපතල ලෙස අනිසි භාවිතයේ යෙදීමකි. ඔබ කරන දෙය, කථා කිරීමේ නිදහසට එරෙහි ප‍්‍රහාරයකි.

එබැවින් අපි ලෝසවෙඅ අපලේඛනගත කිරීම නවතා දමන ලෙසත්, ඔබේ නව විචක්ෂන(තෝරා බේරා වෙනස්කම් කිරීමේ) සෝදිසි පිලිවෙත් මගින් පීඩාවට පත් කෙරී ඇති සියලු වාමාංශික, සමාජවාදී, යුද විරෝධී හා ප‍්‍රගතිශීලී වෙබ් අඩවි වාරනය කිරීම අතහැර දමන ලෙසත් ඔබෙන් ද ගූගල් වෙතින් ද ඉල්ලා සිටිමු.

ගූගල් සමාගම මෙම ලිපියට පිලිතුරු දුන්නේ නැත. එහෙත් 2017 සැප්තැම්බර් 26 වන දින නිව්යෝර්ක් ටයිම්ස්හි ලෝසවෙඅ සොයා ගැනීම් වාර්තා කරමින් පල වූ ලිපියක උපුටා දැක්වූ පරිදි ගූගල් කියා සිටියේ, “එහි සෝදිසි ක‍්‍රමලේඛයන්හි ප‍්‍රතිඵල කිසිදු දේශපාලනික, ලිංගික, ජාතික හෝ වාර්ගික පක්ෂපාතිත්වයක් පිලිබිඹු නොකරන බැව් තහවුරු කර ගැනීම් වස් ඒවා බරපතල පරීක්ෂන ක්‍රියාවලියකට භාජනය කෙරෙමින් පවතින” බවයි.

මෙය අමූලික මුසාවකි. ලෝසවෙඅ මුල් හෙලිදරව්ව සිදු කල තැන් පටන් මේ වනවිට, තමා ලෝක පරිමානයෙන් සිය වාරන ප‍්‍රයත්නයන් තීව‍්‍ර කරමින් සිටින බව රාජ්‍ය-මිලිටරි-රහස් තොරතුරු-සමාගම් තාක්ෂනික සංකීර්නය තවදුරටත් රහසක් කොට සඟවා නොසිටියි. 2017 දෙසැම්බරයේ ට‍්‍රම්ප් පාලනය අන්තර්ජාල අපක්ෂපාතිත්වය අවලංගු කර දැමූ අතර ජර්මනියේ, ප‍්‍රන්සයේ හා ඉන් ඔබ්බෙහි ආන්ඩු ද අන්තර්ජාලය තුල අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස මත කඩා වැදීම ආරම්භ කොට ඇත. 2018 ජනවාරියේ ෆේස්බුක් අඩවිය සිය නිව්ස්ෆීඩ් අංගයට නව වෙනස්කම් හඳුන්වා දුන්නේ, ප‍්‍රවෘත්ති කරා පිවිසීම අවහිර කරමින් හා සුවිශේෂී ලෙසම වාමාංශික වෙබ් අඩවි ඉලක්ක කරමිනි. එහි ප‍්‍රධාන විධායක මාක් සකර්බර්ග් සමාගම්කරුවන්ගේ දෙපිටකාට්ටුකාරී වාග්මාලාවක් භාවිත කරමින් කියාසිටියේ, මෙම වෙනස, පරිශීලකයන්ට ඔවුන් “වඩාත් සම්බන්ධිතයැයි ද අඩුවෙන් හුදෙකලා වී ඇතැයි ද හැෙඟන පරිදි” සිදු කල එකක් බවයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එරෙහි තර්ජනය දුරදිග යන ප‍්‍රතිඵල ගෙන එන්නා වූ ද සාන්දෘෂ්ඨික වූ ද එකකි. 1990 ගනන්වල ඇති වූ අන්තර්ජාලයේ වර්ධනය තොරතුරු බෙදා හදා ගැනීමේ හා ලෝක සන්නිවේදනයේ අතිමහත් ප‍්‍රසාරනයක් සඳහා ශක්‍යතා නිර්මානය කලේය. එහෙත් පුපුරා යන සමාජ අසමානතාවයට, මහජනයා තුල වැඩෙමින් පවත්නා අසන්තෝෂයට හා ඉහල යන ජාත්‍යන්තර ආතතීන්ට ප‍්‍රතිචාර වශයෙන්, තොරතුරුවල, කෘත්‍රිම බුද්ධියේ හා තොරතුරු තාක්ෂනයන්හි හිමිකම් දරන ධනපති රාජ්‍ය සහ බිලියනපති කතිපයාධිකාරීහු රාජ්‍යය ඔත්තු බැලීමේ, ආඥාදායකත්වයේ, පෞද්ගලික ලාභයේ හා යුද්ධයේ උපකරනයක් බවට අන්තර්ජාලය පරිවර්තනය කිරීමට කටයුතු කරමින් සිටිති.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජනවාරි 16 දින වෙබ් අන්තර්ජාල වාරනයට එරෙහි ප්‍රතිරෝධය සංවිධානය කිරීමේසම්මන්ත‍්‍රනයට එවන ලද ප‍්‍රකාශයක් මගින් විකිලීක්ස්හි ප‍්‍රාරම්භක ජුලියන් අසාන්ජ් මෙසේ නිවැරදිව අනතුරු හැඟවිය:

අන්තර්ජාලය විසින්, තමන්ට හා අන්‍යයන්ට අධ්‍යාපනය ලබා දීමට ජනයාට ඇති හැකියාව පිලිබඳ විප්ලවයක් සිදු කරනු ලැබ ඇති අතරම, එහි ප‍්‍රතිඵල ලෙස ඇති වූ ප‍්‍රජාතාන්ත්‍රික ප‍්‍රපංචය, පවත්නා සංස්ථාපනයන් ඒවායේ අරටුව තෙක්ම වෙවුලුවා ඇත. වත්මන්හි වැජඹෙමින් හිඳින ප‍්‍රභූන් සමග සාමාජීය, ප‍්‍රවර්ධනීය හා මූල්‍යමය වශයෙන් සමෝධානය වී සිටින ගූගල්, ෆේස්බුක් හා ඒවාට සමාකාර චීන ආයතන ද, කතිකාවන් මත තම පාලනය යලි තහවුරු කිරීමට ඉදිරිපත් වී සිටිති.

ක්‍රියාකාරිකයෙකු හා චිත‍්‍රපට නිර්මානකරුවකු වන ජෝන් පිල්ගර් ලෝසවෙඅ වෙබ් සම්මන්ත‍්‍රනයට එවන ලද තවත් පනිවුඩයක් මගින්, සෝදිසි ප‍්‍රතිඵල හා ඇල්ගොරිතම හැසිරවීමේ ක්‍රියාකලාපය “තරාතිරම් මත පිහිටා කෙරෙන වාරනයක්” ලෙස හඳුන්වා දෙමින් හෙලා දැක ඇත. ඔහු වැඩිදුරටත් මෙසේ ද කියයි: “ප‍්‍රධාන ධාරාවෙන් නෙරපා හල ස්වාධීන මාධ්‍යවේදීන් ද සහිතව ලෝක ව්‍යාප්ත වෙබ් අවකාශය බැරෑරුම් හෙලිදරව් කිරීම්වල හා සාක්ෂ්‍ය මත පදනම් වූ විශ්ලේෂනයේ ප‍්‍රානභූත ප‍්‍රභවය ලෙස පවතී: එය සැබෑ පුවත්පත් කලාවයි.”

තොරතුරු පිලිබඳව තමාට ඇති ඒකාධිකාරයට ද, යුද වැදීම ප‍්‍රවර්ධනය කිරීමේ ප‍්‍රචාර සඳහා ද, සම්පත් අශිෂ්ඨ ලෙස ඒකරාශී වීම හා ආන්තික සමාජ අසමානතාවයන් නීත්‍යානුකූල කිරීම සඳහා ද තමාට ඇති හැකියාවට, අන්තර්ජාලය මරනීය තර්ජනයක් ගෙන එන බව පාලක පන්තිය හඳුනා ගෙන ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ද තොරතුරු නිදහසේ ගලා යාම ද අද දවසේ ධනේශ්වර ක‍්‍රමය සමග අනුකූල නොවේ. ලෝක ජනගහනයෙන් හරි අඩක් - එහි අඩු ආදායම්ලාභී අර්ධය - වන බිලියන 3.6 ක් වූ, ජනයා සතු ධන සම්පත්වලට සමාන සම්පත් ප‍්‍රමානයකට බිලියනපතීහු අට දෙනෙක් හිමිකම් කියති. ධනේශ්වර සූරාකෑමට හා අධිරාජ්‍යවාදී යුද්ධවලට එරෙහි ලෝක ව්‍යාප්ත අරගලයේ සාකච්ඡා, තොරතුරු හුවමාරු කිරීම් හා දේශපාලනිකව සංවිධානය වීම සඳහා අන්තර්ජාලය තෝතැන්නක් ලෙස ක්‍රියා කරනු ඇතැයි ලෝක ආර්ථිකයේ පූර්න පාලනය හිමි කතිපයාධිකාරය භීතියට පත්ව සිටී.

2017 දී ලොව පුරා බිලියන 3.8 ක ජනකායක් - එනම්, ලෝකයේ මුලු ජනගහනයෙන් සියයට 52 ක පමන ප‍්‍රමානයක් - අන්තර්ජාලය භාවිතා කලෝය. මෙය 2005 දී පැවැති බිලියන 1 සියයට 16න් වර්ධනය වීමකි. තරුනයින්ගෙන් සියයට 70 ට වැඩි ප‍්‍රතිශතයක්, එනම් මිලියන 830 ක ජනකායක්, දැන් අන්තර්ජාලයට සම්බන්ධව සිටිති. චීනය හා ඉන්දියාව තුල පමනක් මිලියන 320 ක තරුනයින් මීට ඇතුලත් වෙති. ජංගම දුරකථන බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතා ග‍්‍රාහක සංඛ්‍යාව 2012 දී පැවැති බිලියන 1.7 ක සිට 2017 දී බිලියන 5 ක් ඉක්මවා ගියේය. ඉන් විශාලතම වර්ධනයන් සිදු වූයේ ආසියාවේ, අප්‍රිකාවේ, මැද පෙරදිග හා ලතින් ඇමරිකාවේ ය. දැන් පෙර කවර කලකටත් වඩා සංඛ්‍යාවෙන් විශාල ව වඩාත් ඒකාග‍්‍රිතව හා වඩාත් ජාත්‍යන්තරව සමෝධානය වී සිටින ලෝක කම්කරු පන්තියට දේශපාලන බලය සඳහා අතිමහත් ශක්‍යතාවයක් පවතී.

අන්තර්ජාල වාරනය, තොරතුරු පාලනය හා පොලිස් රාජ්‍ය ඔත්තු බැලීම් සාධාරනීකරනය කිරීම සඳහා ඩිමොක‍්‍රටික් හා රිපබ්ලිකන් පක්ෂ සහ සංස්ථාපිත ජනමාධ්‍ය භාවිතා කරන තර්ක, මුසාවාදයන් පමනෙකි. ඒවායේ අරමුන වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් හා නීත්‍යානුකූල නිසි ක්‍රියාදාමයන් උපුටා දැමීම සඳහා පීඩනෝන්මාදී භීතියේ වාතාවරනයක් නිර්මානය කිරීමයි.

ඇමරිකානු හමුදාවේ හා එෆ්බීඅයිහි හිටපු ඒජන්තයකු වන ක්ලින්ට් වොට්ස් ජනවාරි 17 දින සෙනෙට් සභාව හමුවේ මෙසේ ප‍්‍රකාශ කලේය: “ලොව පුරා අඩු අධ්‍යාපනයකින් යුත් හා බහුල ලෙස ජංගම දුරකථන මගින් සයිබර් අවකාශයට පිවිසෙන ජනයා ත‍්‍රස්තවාදීන් හා ප‍්‍රාධිකාරකයන් විසින් සමාජ මාධ්‍ය හසුරුවනු ලැබීමට විශේෂයෙන්ම ගොදුරු විය හැකිය.”

ෆේස්බුක් නීතිඥ මොනිකා බිකර්ට් ඕවෙලියානු භාෂා ශෛලියකින් (1984 ග‍්‍රන්ථයේ ජෝර්ජ් ඕවෙල් හඳුන්වා දුන්, යථාර්ථයේ පවතින දේට හාත්පසින් ප‍්‍රතිවිරුද්ධ අර්ථයක් දැනවෙන සේ භාෂාව භාවිතා කිරීමේ ශෛලිය) කථා කරමින් සෙනෙට් සභාවට මෙසේ ප‍්‍රකාශ කලාය: “සාවද්‍ය ප‍්‍රවෘත්ති කඩාකප්පල් කිරීමෙහි හා, අව්‍යාජ ප‍්‍රවෘත්ති සමග සම්බන්ධ වීමට ජනයාට ආධාර කිරීමෙහි ලා වඩවඩාත් නව මාවත් අපි සොයා ගනිමින් සිටින්නෙමු - ඔවුන්ට අවශ්‍යම එය බැව් අපි දනිමු.”

“ව්‍යාජ ප‍්‍රවෘත්ති” පිලිබඳව කෙරෙන කන්නලව්ව ද “රුසියානු අත පෙවීම්”වලට නොඅඩු ලෙස ම ප්‍රෝඩාකාරී වේ. ඩිමොක‍්‍රටිකයන්, රිපබ්ලිකන්වරුන් හා නිව්යෝර්ක් ටයිම්ස්හි සහ (ඇමසන් සමාගමේ ජෙෆ් බිසොස්ට අයත්) වොෂින්ටන් පෝස්ට්හි සංස්ථාපිත මාධ්‍ය ප‍්‍රචාරකයන් විපක්ෂ වෙබ් අඩවිවලට චෝදනා කරන්නේ, ඇත්තෙන්ම, මෙම ධනේශ්වර ප‍්‍රකාශනයන්හි විශේෂඥතාවය දරන ක්ෂේත‍්‍රයේ නියැලීම පිලිබඳවය, එනම්, බොරු ප‍්‍රවෘත්ති පතුරුවා හැරීම පිලිබඳවය.

මේ සම්බන්ධයෙන්, 2003 දී දශ ලක්ෂයකට වැඩි මරන සංඛ්‍යාවකට මග පෑදූ ඉරාක ආක‍්‍රමනයට පූර්වගාමීව සිදු කෙරුනු “ජන ඝාතක අවි” පිලිබඳ ව්‍යාජ කියාපෑම්වලට වඩා හොඳ උදාහරනයක් නැත. ස්ථාවර යුද්ධයක නිමග්නව සිටින්නා වූ ද, සෑම මහාද්වීපයක් තුලම පාලන තන්ත‍්‍රයන් වෙනස් කිරීමේ මෙහෙයුම් සිදු කර ඇත්තා වූ ද, ලොව පුරා සිය බල ඇනි ස්ථානගත කොට ඇත්තා වූ ද ආන්ඩුවක් දැන් “රුසියානු අත පෙවීම්” පිලිබඳ කිසිසේත් ප‍්‍රත්‍යක්ෂ නොවූ ප‍්‍රකාශ කරමින් සිටී. පාලක පන්තිය මේ තොරොම්බල් කල චෝදනා භාවිතා කරමින් සිටින්නේ, විරුද්ධ මත දැරීම සාපරාධී ක්‍රියාවක් බවට පත් කිරීමට හා විවේචනකාරී අදහස් පල කිරීම රාජ්‍ය ද්‍රෝහීකමට සමාන කොට ලේබල් ගැසීමටය.

අධිරාජ්‍යවාදී යුද්ධ සෑමවිටෙකම අත්වැල් බැඳ සිටින්නේ, දේශපාලන මර්දනය සමගය. පලමුවන ලෝක යුද්ධයට එක්සත් ජනපදය ඇතුලුවීමෙන් සති ගනනකට පසු කොන්ග‍්‍රසය චරපුරුෂ පනත සම්මත කොට සමාජවාදීන් සිරගත කිරීමට හා රැඩිකල් සංක‍්‍රමනිකයන් පිටුවාහල් කිරීමට එය භාවිතා කලේය. 2 වන ලෝක යුද්ධය සමයේ රජය සමාජවාදීන්ට සිය පුවත්පත් තැපෑලෙන් යැවීම අවහිර කොට, ට්‍රොට්ස්කිවාදීන්ට ස්මිත් පනත යටතේ නඩු පවරා, ජපන් ජාතිකයන් ලක්ෂයකට වැඩි ප‍්‍රමානයක් රැඳවුම් කඳවුරු තුල ගාල් කිරීමට කටයුතු කලේය. වියට්නාම් යුද්ධයට එරෙහි මහජන විරෝධයට මුහුන දෙමින් ජොන්සන් හා නික්සන් පාලන තන්ත‍්‍ර අප‍්‍රමාන සිවිල් අයිතිවාසිකම් හා වාමාංශික දේශපාලන ක්‍රියාකාරිකයන් ගැන ඔත්තු බැලීමට අපකීර්තිමත් කොයින්ටෙල්ප්‍රෝ වැඩපිලිවෙල ක්‍රියාත්මක කලෝය. 2001 සිට ඩිමොක‍්‍රටිකයෝ හා රිපබ්ලිකන්වරු දේශප්‍රේමී පනත හා ෆිසා පනත හරහා බ්ලැක් සයිට් සිරකඳවුරු ලෙස හැඳින්වෙන රහසිගත සිරගෙවල් ජාලයක් නිර්මානය කල අතර, “ත‍්‍රස්තවාදය” සමග සටන් කිරීමේ මුවාවෙන් සීඅයිඒ වධකයන් ආරක්ෂා කලෝය.

සමාජ ජාලවල ප‍්‍රජාතන්ත‍්‍රවාදී ශක්‍යතාවය තම මෙහෙයුම්වලට එරෙහි ප‍්‍රමුඛ තර්ජනයක් ලෙස ඇමරිකානු මිලිටරිය සලකයි. 2016 දෙසැම්බර් 21 වන දින නිකුත් කෙරුනු මූලෝපායික ලේඛනයක ඇමරිකානු හමුදාවේ යුද විදුහල මෙසේ ලියා ඇත. “ඉහලින්ම ඩිජිටලීකරනය වූ නගරයක සමාජ ජාලවල ද, තොරතුරු (හා ව්‍යාජ තොරතුරු) ශීඝ‍්‍ර ලෙස පැතිර යාමේ ද ගම්‍යයන් අතිශය බලගතු විය හැකිය... මෙහි, එක්සත් ජනපදය තුල, පොලිසිය විසින් සිදු කෙරෙන ඝාතන පෙන්වන වීඩියෝ පට සැලකියයුතු විරෝධතාවයන්ට හා දේශපාලන ව්‍යාපාරවලට මග පාදා ඇත.”

2017 අප්‍රේල් මස පල වූ තවත් ලේඛනයක් තුල යුද විදුහල, “ස්මාට් දුරකථන අත දරා සිටින හා තම ප‍්‍රදේශයේ ඇතිවන සිදුවීම් පිලිබඳව අන්‍යයන්ට සන්නිවේදනය කිරීමට කැමැති ජනගහනයකට, සිදුවෙමින් පවත්නා සිද්ධීන්ගේ චිත‍්‍රයක් එකී ජනගහනයේ සමස්ත පරාසය පුරාම එය සිදුවෙමින් පවත්නා මොහොතේම ජනනය කිරීමට හැකි” වීම පිලිබඳ සිය භීතිය පල කර තිබින.

අන්තරායේ පරිමානය අවතක්සේරු නොකල යුතුය ඩේවිඩ් නෝර්ත් සමග වෙබ් සම්මන්ත‍්‍රනයට සහභාගී වූ ස්වාධීන මාධ්‍යවේදී ක්‍රිස් හෙජස් පැහැදිලි කල පරිදි:

මෙය ලෝක පරිමාන වාරනයකි. ජර්මන් රජයේ ජාල බලාත්මක කිරීමේ පනත ප‍්‍රශ්නකාරී බවට චෝදනා නැගෙන අන්තර්ගතයන් පිලිබඳව සමාජ මාධ්‍ය සමාගම්වලට දඩ පනවයි. ප‍්‍රන්ස ජනාධිපති එමානුවෙල් මැක්රෝන් අන්තර්ජාලයෙන් “ව්‍යාජ පුවත්” ඉවත් කිරීමට ප‍්‍රතිඥා දී ඇත. චෙචෙන් ජනරජයේ ඒකාධිපති රැම්සන් කඩිරව් ඇමරිකානු දන්ඩන ලැයිස්තුවට ඇතුලත්ව සිටින හෙයින් ඔහුගේ ගිනුම් මකා දැමීමට ෆේස්බුක් හා ඉන්ස්ටග‍්‍රම් ආයතන ක්‍රියා කර ඇත. සත්තකින්ම කඩිරව් අප‍්‍රසන්න පුද්ගලයෙකි, එහෙත් මෙම තහනම යනු, ඇමරිකානු සිවිල් නිදහස පිලිබඳ සංගමය පෙන්වා දෙන පරිදි, එම වෙබ් අඩවිවල අන්තර්ගතයන් වාරනය කිරීමේ බලය සඵල ලෙස ඇමරිකානු රජයට ලබාදීමකි. ඊස්රායල රජය සමග ක්‍රියාත්මක වෙමින් ෆේස්බුක් වෙබ් අඩවිය පලස්තීන ක්‍රියාකාරීන් 100 කට අධික සංඛ්‍යාවකගේ ගිනුම් ඉවත් කොට ඇත. මෙය චින්තන පොලිසිය, “නිව්ස්පීක්” සහ “පරිකල්පනමය අපරාධ” හෝ, ෆේස්බුක් එය හඳුන්වා දීමට කැමැති පරිදි “තරාතිරමෙන් පහත හෙලීම” සහ “ප‍්‍රතිභාෂනය” ආදියෙන් සමන්විත ඕවෙලියානු (ජෝර්ජ් ඕවෙල් විසින් 1984 ග‍්‍රන්ථයෙහි නිරූපිත ලෝකය බඳු) ලෝකයක් කරා වන අශුභ ගමනකි. [Truthdig.com, 2018 ජනවාරි 21]

මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ගේ සුරක්ෂිතභාවය මත නැගෙමින් පවත්නා තර්ජනයට ප‍්‍රතිරෝධය දැක්විය යුතුය. මේ සඳහා අන්තර්ජාල වාරනයට හා ඔත්තු බැලීමට එරෙහිව පුලුල් සන්ධානයක් සංවිධානය කිරීම හා සම්බන්ධීකරනය කිරීම අවශ්‍ය කෙරේ. මේ එල්ලය ජය ගැනීම සඳහා ලෝක සමාජවාදී වෙබ් අඩවිය සමාජවාදී, යුදවිරෝධී හා ප‍්‍රගතිශීලී වෙබ් අඩවිවල මෙන්ම අන්තර්ජාල වාරනයට විරුද්ධත්වය දැක්වීමේ සුවිශේෂී අරමුන වෙනුවෙන් සන්ධානයක් ඇති කර ගැනීමට සූදානම් තනි තනි ක්‍රියාකාරීන් හා මාධ්‍යවේදීන්ගේ ද ජාත්‍යන්තර සමගි සන්ධානයක් ගොඩනැගීම සඳහා ඉදිරිපත් වෙයි.

කෙසේවෙතත්, සමාජවාදී, යුදවිරෝධී හා ප‍්‍රගතිශීලී වෙබ් අඩවිවල සන්ධානය ඵලදායීවීමට නම්, නිශ්චිත ප‍්‍රතිපත්ති මාලාවක් වෙනුවෙන් පෙනී සිටීමේ එකඟත්වයක් පැවතිය යුතුය. ඊට පහත දැක්වෙන කරුනු ඇතුලත් විය යුතුය:

  • x අන්තර්ජාලය, ඊට ප‍්‍රවිෂ්ටවීම අයිතියක් බවටත් එය අවහිරයකින් තොරව සැමට එකසේ ලබා ගත හැකි විය යුතු බවටත් වන මූලධර්මයෙන් මග පෙන්වනු ලබන, දේශපාලන සංවිධානයේත්, නිදහස් ලෙස තොරතුරු, සංස්කෘතිය හා විසංවාදී දෘෂ්ටිකෝනයන් හුවමාරු කර ගැනීමේත් වේදිකාවක් ලෙස ආරක්ෂා කිරීම.
  • x අන්තර්ජාලය ආන්ඩු හා පෞද්ගලික සමාගම්වල පාලනයෙන් පරිපූර්නව ස්වාධීන විය යුතු බවට කොන්දේසි විරහිතව බල කර සිටීම.
  • x අන්තර්ජාලයේ අපක්ෂපාතිත්වය හා ඊට නිදහස්, නිර්බාධිත සහ සමාන ප‍්‍රවිෂ්ටයක් ලැබීම කොන්දේසි විරහිතව ආරක්ෂා කිරීම.
  • x මහජනයාට වෙබ් අඩවිවල දෘශ්‍යතාවය සීමා කෙරෙන හා අවහිර කෙරෙන පරිදි ආන්ඩු හා සංස්ථාවන් විසින් සෝදිසි ඇල්ගොරිතම හා පටිපාටීන් හැසිරවීම තහනම් කිරීම හා නීතිවිරෝධී කිරීම.
  • x අන්තර්ජාලය හා කෘතිමව බුද්ධියේ තාක්ෂනය, වෙබ් පරිශීලකයන් පිලිබඳ ඔත්තු බැලීමට භාවිතා කිරීමට එරෙහිව සම්මුති විරහිත විරුද්ධත්වය.
  • x ජුලියන් අසාන්ජ් හා එඩ්වඩ් ස්නෝඩන්ට එරෙහි හිංසා පීඩා නවතා දැමීමට හා ඔවුන්ගේ පෞද්ගලික නිදහස මුලුමනින්ම ප‍්‍රතිස්ථාපනය කිරීමට බල කිරීම.
  • x ඒකාධිකාරී අන්තර්ජාල සමාගම් ජාත්‍යන්තරව සමායෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් යටතේ පෞද්ගලික ලාභය නොව ඉහලම ප‍්‍රමිතියේ සේවය සම්පාදනය කරන මහජන උපයුක්තතා බවට පරිවර්තනය කිරීම.
  • අන්තර්ජාල වාරනයට එරෙහිව හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් රැක ගැනීම සඳහා වන අරගලය, ධනේශ්වර ආන්ඩුවලට සහ ඒවායේ උත්සුකයන් වෙනුවෙන් සේවය කරන පක්ෂ හා දේශපාලනඥයන්ට ආයාචනය කිරීම මගින් නොව, ඔවුන්ට එරෙහිව සම්මුතිවිරහිත අරගලයකින් පමනක් සිදු කල හැක්කකි. තවද, මෙම අරගලය එහි විෂය ක්ෂේත‍්‍රයෙන් ජාත්‍යන්තර වන අතර එය ජාත්‍යොන්මාදවාදයේ, වර්ගවාදයේ හා අධිරාජ්‍යවාදී යුදවාදයේ සෑම ආකාරයකට හා විද්‍යමානවීමකටම මුලුමනින්ම සතුරු වෙයි. එබැවින්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සත්‍යවශයෙන්ම කැප වී සිටින කවරෙක් වුව, සියලු රටවල කම්කරු පන්තිය බලමුලු ගැන්වීම කෙරේ සිය ප‍්‍රයත්නයන් යොමු කල යුත්තාහ.

මෙකී පිලිවෙත්වලට අනුකූලව ජාත්‍යන්තර සන්ධානය පහත දැක්වෙන අත්‍යවශ්‍ය කර්තව්‍යයන්ට උර දිය යුතුය:

  • x රාජ්‍ය හා සංස්ථානික වාරනය හෙලිදරව් කිරීම සඳහා, අන්තර්ජාලයේ පල කිරීම, භාවිත කල හැකි සියලු ආකාරයන්හි සමාජ මාධ්‍ය ජාලයන් තුල පතල කිරීම සහ පත්‍රිකා, පොත් පිංචවල් හා පුස්තිකා ලෙස බෙදා හැරීම සඳහා සකස් කෙරෙන, ලිඛිත නිරාවරන කිරීම්වල ක‍්‍රමානුකූල ව්‍යාපාරයක් වර්ධනය කිරීම.
  • x ලිපි, වීඩියෝ පට, සම්මුඛ සාකච්ඡා, ග‍්‍රැෆික් චිත‍්‍ර හා අනෙකුත් අන්තර්ගතයන් බෙදා ගැනීමට එකිනෙකාට ආධාර කිරීම මගින් අන්තර්ජාලයේ නිදහස් අදහස් පල කිරීම කෙරේ එල්ල වී ඇති තර්ජනය පිලිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීමට කටයුතු කිරීම.
  • x අන්තර්ජාල වාරනයට එරෙහි සටන පිලිබඳ සාකච්ඡා කිරීමට වැඩබිම්වල, නිවාස ප‍්‍රදේශවල හා පාසැල්වල රැස්වීම් සංවිධානය කිරීමටත්, සාකච්ඡා කන්ඩායම් පිහිටුවීමටත් කටයුතු කිරීම.
  • x වාරකයන් හා රජය විසින් ඉලක්ක කෙරී ඇති වෙබ් අඩවි, කන්ඩායම්, සහ තනිතනි පුද්ගලයන් ද ආරක්ෂා කිරීමට සියල්ලන් සතු ඒකාබද්ධ සම්පත් එක්රැස් කොට මෙහෙයවා ගත යුතුය.

සන්ධානයේ ප‍්‍රතිපත්ති හා කර්තව්‍යයන් පිලිබඳ එකඟතාවයකට පැමිනීම, අන්තර්ජාලය වාරනය කිරීම හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් වනසා ලීම සඳහා වන ආන්ඩු සහ සමාගම්වල කුමන්ත්‍රනයට එරෙහිව ජාත්‍යන්තර ප‍්‍රතිප‍්‍රහාරයක් වර්ධනය කිරීම සඳහා ඵලදායි ආරම්භක ලක්ෂ්‍යයක් වනු ඇත.

සමාජවාදී, යුද විරෝධී හා ප‍්‍රගතිශීලී වෙබ් අඩවිවල ජාත්‍යන්තර සන්ධානය තුල නොවැලැක්විය හැකි ලෙස ම පුලුල් පරාසයක පැතිරුනු මත සහ දේශපාලන ප‍්‍රශ්න ගනනාවක් පිලිබඳ පරස්පර විරෝධී දෘෂ්ටීන් පවතිනු ඇත. සහභාගිත්වය සඳහා එක් දේශපාලන මාවතක් පිලිගැනීම අවශ්‍ය නොවේ. සහභාගී වන වෙබ් අඩවි හා සංවිධානවලට තම ස්වාධීන කටයුතු පවත්වා ගෙන යාමේ නිදහස ඇත.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය අනෙකුත් සංවිධානවලට ඔවුන්ගේ දේශපාලනය කුමක් විය යුතුදැයි අන පැනවීමට තැත් නොකරන අතරම, ප‍්‍රතිිපත්ති විරහිත එක්සත්භාවයක උත්සුකයන් වෙනුවෙන් අපේ සමාජවාදී දේශපාලන ඉදිරිදර්ශන මත කවර හෝ සීමා පැනවීමක් පිලිගැනීමට ද අප සූදානම් නැත.

කෙසේවෙතත්, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ අන්තර්ජාලය තුල පෙනී සිටිමින්, ලෝක සමාජවාදී වෙබ් අඩවිය එහි මාක්ස්වාදී හා සමාජවාදී වැඩපිලිවෙල, ප‍්‍රතිපත්ති හා විශ්ලේෂනය ප‍්‍රවර්ධනය කිරීමට දිගටම කරගෙන යනු ඇත. තාක්ෂනික ඒකාධිකාරයන්හි ස්වාමිත්වය අහෝසි කිරීමට සහ අන්තර්ජාලය මත ජාත්‍යන්තර හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් තහවුරු කිරීමට සහයෝගය ගොනු කර ගැනීම සඳහා අපි යත්න දරමු. කථා කිරීමේ නිදහස හා සියලු ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් සඵල ලෙස ආරක්ෂා කිරීමට නම් අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලයක්, ධනපති ක‍්‍රමය අහෝසි කිරීම හා සමාජවාදී සමාජයක් ගොඩ නැංවීම අවශ්‍ය කෙරෙන බවට වන අවබෝධය සඳහා ලෝසවෙඅ සටන් වදිනු ඇත.

බලගතු ධනේශ්වර රාජ්‍ය සහ අප‍්‍රමාන අන්තර්ජාතික සමාගම් විසින් ක්‍රියාවට නංවනු ලැබ ඇති අන්තර්ජාල වාරනයට සාර්ථක ලෙස ප‍්‍රතිරෝධය දැක්විය හැක්කේ මෙම සටනට උර දීමට, ජාත්‍යන්තර කම්කරු පන්තියේ මහා බලය කැඳවා ගන්නා තාක් දුරට බැව් ලෝසවෙඅ අවධාරනය කරනු ඇත. තම පන්ති උත්සුකයන් - සිය ජීවන මට්ටම්, සේවා කොන්දේසි, වැටුප්, ආදිය - ආරක්ෂා කිරීම වෙනුවෙන් සටන් වැදීම හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් වෙනුවෙන් සටන් කිරීම අතර ඇති නොවෙන්කලහැකි සම්බන්ධය පිලිබඳ අවබෝධයක් කම්කරු පන්තිය තුල තහවුරු කිරීම තීරනාත්මක වේ. විකල්ප ප‍්‍රවෘත්ති හා සමාජ මාධ්‍යවලට ප‍්‍රවිෂ්ටවීමේ අවකාශයෙන් තොරව, විවිධ රටවල සිටින කම්කරුවන්ට තම පොදු අරගල සඵල ලෙස සම්බන්ධීකරනය කර ගැනීමට නොහැකි වනු ඇත. අන්තර්ජාලය කරා නිර්බාධිතව ප‍්‍රවිෂ්ටවීමේ අවකාශය, සමාජවාදය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සමානාත්මතාවය වෙනුවෙන් වන ලෝක පරිමාන අරගලය තුල කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව සඳහා පහසුකම් සපයනු ඇත. අන්තර්ජාල වාරනයට එරෙහි අරගලය ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමෙහි ලා තීරනාත්මක සංරචකයක් ලෙස කම්කරු පන්තියේ උද්‍යෝගිමත් සහයෝගය දිනා ගන්නා බව ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඒත්තු ගෙන සිටී. මෙය ඔවුන්ගේ සටනයි. එය හුදු, භාෂනයේ නිදහස ආරක්ෂා කිරීමෙහි ලා කෙරෙන සටනට කම්කරු පන්තිය සහභාගිවීමේ වැදගත්කම පිලිබඳ කරුනක් නොවේ. ඒ වෙනුවට, භාෂනයේ නිදහස ආරක්ෂා කිරීමට කෙරෙන සටන කම්කරු පන්තියට වැදගත්වීම පිලිබඳ කරුනකි.

සන්ධානයේ කටයුතු හා සාකච්ඡා අතරතුර මෙම වැඩපිලිවෙල සම්බන්ධයෙන් ද, අන්තර්ජාලය මත රාජ්‍ය-සංස්ථාපිතයේ පාලනයට හා වාරනයට එරෙහි අරගලය කෙරේ වන විප්ලවවාදී සමාජවාදී ප‍්‍රවිෂ්ටය සම්බන්ධයෙන් ද අන්‍යයන්ට ඒත්තු ගැන්වීමට අපි ප‍්‍රයත්න දරන්නෙමු.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය, සමාජවාදී, යුද විරෝධී හා ප‍්‍රගතිශීලී වෙබ් අඩවිවල ජාත්‍යන්තර සන්ධානයේ කටයුතු සඳහා සහයෝගීව කටයුතු කරන ලෙස සියලු සමාජවාදී, යුද විරෝධී හා ප‍්‍රගතිශීලී වෙබ් අඩවිවලට කියා සිටින අතර ඔවුන් ඊට සාදරයෙන් පිලිගනී.

සන්ධානයට එක් වීමට උනන්දු වන වෙබ් අඩවි හෝ සංවිධානවල නියෝජිතයන් සිය විමසීම් සෘජුවම endcensorship@wsws.org වෙත යොමු කල යුතුය. සන්ධානයේ කටයුතුවලට සහභාගී වීමට කැමැති තනි පුද්ගලයන් මෙම ආකෘතිපත‍්‍රය සම්පූර්න කර යොමු කල යුතුය.

Fight Google's censorship!

Google is blocking the World Socialist Web Site from search results.

To fight this blacklisting:

Share this article with friends and coworkers