හදිසි නීති බලතලවලට මුද්‍රාව තබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ජනාධිපති “සර්ව-පාක්ෂික සමුලුවක්” කැඳවයි

Sri Lankan president calls —all-party conference˜ to rubber stamp emergency powers

වසන්ත රූපසිංහ විසිනි, 2019 අප්‍රේල් 25

“රට තුල ඉස්මතු වී ඇති තත්ත්වය හා ඉදිරි පියවරයන්” සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද දින සර්ව-පාක්ෂික සමුලුවක් කැඳවා ඇත. පාර්ලිමේන්තුව තුල හා ඉන් පිටත සිටින සියලු දේශපාලන පක්ෂවලට මේ සඳහා ආරාධනා කිරීමට නියමිත ය.

ඉරිදා ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරවලින් පසුව පටවන ලද විෂඝෝර පොලිස්-රාජ්‍ය පියවරයන් හා ඉදිරි ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවරයන්ට සියලු පක්ෂවල සහයෝගය ගොනු කරගැනීමට යොදා ගන්නා මෙම සමුලුව, ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) තරයේ හෙලා දකී.

අතීතයේ තියුනු දේශපාලන අර්බුද කාල වල මෙවැනි සර්ව-පාක්ෂික සමුලු කැඳවනු ලැබ ඇත්තේ, ධනේශ්වර පාලනයට මුක්කුව දීමේත් පාලක පන්තියේ හා එහි අධිරාජ්‍යවාදී සහකරුවන්ගේ කම්කරු පන්ති-විරෝධී න්‍යාය පත්‍රය ක්‍රියාවට දැමීමේත් උපක්‍රමයක් ලෙස යි.

අද දින ද එහි විශේෂයක් නැත. යන්තම් හය මසකට පෙර, ජනාධිපති සිරිසේන අගමැති රනිල් වික්‍රමසිංහ නෙරපා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එම තනතුරට පත් කල විට පාලක කවයන් තුල රුදුරු අභ්‍යන්තර අරගලය විවෘත ව පුපුරා ගියේ ය.

කොලඹ කන්ඩායමික අරගලය විසින් නිර්මිත අර්බුදය ප්‍රධාන බලයන්ගේ කුමන්ත්‍රන හා යුද ධාවනය විසින් ගැඹුරු කරන ලදී. 2015 දී එක්සත් ජනපදය ඉන්දියාවේද පිටුබලය ඇතිව චීනයට වඩා සමීප යයි සැලකූ රාජපක්ෂ ඉවත් කිරීම සඳහා තන්ත්‍ර-මාරු මෙහෙයුමක් ක්‍රියාවට දැමී ය. වොෂින්ටනයේ පීඩනයට මුහුන දුන් සිරිසේනට, වික්‍රමසිංහ ඉවත් කිරීම ව්‍යවස්ථා-විරෝධී යයි ශ්‍රේෂ්ඨාධිකරනය විසින් තීන්දු කිරීමෙන් පසුව යලි ඔහු පත්කිරීමට බලකෙරුනි.

ඉරිදා සිදු වූ බියකරු ත්‍රස්තවාදී ප්‍රහාරයට වගකිව යුත්තේ කවුරුන්දැයි තවමත් පැහැදිලි නැත. අයිඑස් සංවිධානය වගකීම බාරගෙන ඇතත්, අතීතයේ දී එය කල එවැනි කියාපෑම් ව්‍යාජ විය.

ප්‍රහාරයට දින 10කට පෙර විදෙස් ඔත්තු සේවා ඒජන්සියකින් සුවිශේෂී අනතුරු ඇඟවීමක් ලැබීමෙන් පසු ද ආන්ඩුව, පොලීසිය හා මිලිටරිය බෝම්බ ප්‍රහාර වැලැක්වීමට ක්‍රියාමාර්ගයක් නො ගත්තේ මන් ද යන්න තවමත් පැහැදිලි කර නැත.

දැන් අවශ්‍ය වන්නේ ප්‍රහාර වටා තිබෙන හේතූන් පිලිබඳ පූර්න ප්‍රසිද්ධ විමර්ශනයකි. එහෙත්, එවැනි ප්‍රසිද්ධ පරීක්ෂනයකට සංස්ථාපිතයේ දේශපාලන පක්ෂ, ආරක්ෂක හමුදා හෝ ප්‍රධාන බලයන් සුදානම් නැත. මන්ද යත් තමන්ගේම දුෂ්ට සහාය හෝ සම්බන්ධය හෝ ඒ දෙකම හෙලිදරවු කෙරනු ඇති නිසා ය.

ඒ වෙනුවට සමස්ත දේශපාලන සංස්ථාපිතය ම කර ඇත්තේ, වැඩකරන ජනයාගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අතුගා දමන පොලිස්-රාජ්‍ය පියවරයන් පැටවීම සඳහා බෝම්බ ප්‍රහාරවල කම්පනය හා භීතිය ගසා කෑම යි.

වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය (එජාප), රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන, සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කන්ඩායම, දෙමල ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුන ඇතුලු සෑම පාර්ලිමේන්තු පක්ෂයක් ම චන්ද විමසීමකින් තොරවම හදිසි නීතියට සම්මත කර ගැනීමට ඊයේ අනුමැතිය දුන්හ. කිසිවෙක් කිසිදු විරෝධතාවක් මතු කලේ නැත.

ජනාධිපති සිරිසේන පෙරේදා තම කතාවේ දී කියා සිටියේ හදිසි නීති රෙගුලාසිවල එකම අභිප්‍රාය ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම බව යි. මාධ්‍ය වාරනය, විරෝධතා වැලැක්වීම හෝ නිදහස් ප්‍රකාශනය මැඩ පැවැත්වීමට එම රෙගුලාසි යොදා නො ගන්නා බවට තමන් “වගකීම බාර ගන්නා” බව ඔහු පැවසීය.

මෙය පචයකි. හදිසි අවස්ථාව නිවේදනය කරනු ලැබීමට පෙර ම, ෆේස්බුක් හා යූටියුබ් ඇතුලු සියලු සමාජ මාධ්‍ය වසාදැමීමට ආන්ඩුවට පෙර නුවූ විරූ පියවරක් ගත්තේ ය.

ඊයේ පනවන ලද රෙගුලාසි ක්‍රියාවට දැමීම සඳහා සන්නද්ධ හමුදා, පොලීසිය හා ජනාධිපති විසින් පත් කරන බලධාරීන්ට ගොරතර බලතල ප්‍රදානය කරයි.

බලතලවල දීර්ඝ ලැයිස්තුවට මේවා ඇතුලත් වේ: පෙලපාලි හා රැස්වීම් තහනම් කිරීම; මහජන සාමයට බාධකයක් හෝ වෛරය ඇතිකරන ප්‍රකාශන වැලැක්වීම හා සීමා කිරීම; වාහන ද ඇතුලු දේපොල අල්ලා ගැනීම; හා අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම. මෙම පියවරයන් වැඩ වර්ජන හා විරෝධතා නීති-විරෝධී කිරීමට යොදාගත හැක.

තහනම් කරන ලද ක්‍රියාකාරකම්වලට මේවා අඩංගු වේ: ජාතික ආරක්ෂාවට අනර්ථකාරී තොරතුරු සම්පාදනය; ත්‍රස්තවාදය හා ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වල නිරත වීම හා මහජන ආරක්ෂාවට හෝ අත්‍යවශ්‍ය සේවාවන්ට අනර්ථකාරී පත්‍රිකා බෙදාහැරීම.

සන්නද්ධ හමුදාවන්ට හා පොලීසියට වරෙන්තු රහිත ව පුද්ගලයන් පිරික්සීම හා අත්අඩංගුවට ගැනීම කල හැකි ය. අත්අඩංගුවට ගන්නා ඕනෑම අයෙකු දින 30 ක් ඇතුලත මහේස්ත්‍රාත්වරයෙක් හමුවට ඉදිරිපත් කල යුතු වුවත්, ආරක්ෂක ලේකම්ගේ නියෝග මත වසරක් නඩු නොමැතිව රඳවා ගත හැක.

සහකාර පොලිස් අධිකාරීවරයෙකු ඉදිරියේ කරන පාපෝච්ඡාරන උසාවියේ දී සාක්ෂි ලෙස යොදා ගත හැක. අතීතයේ දී එවන් පාපෝච්ඡාරන උපුටාගෙන ඇත්තේ වධ බන්ධන පැමිනවීම් හරහා ය.

අද දින සර්ව-පාක්ෂික සමුලුව කැඳවා ඇත්තේ, කොලඹ ආන්ඩුවල දිග්ගැස්සුනු හා මුර්ග සිවිල් යුද්ධයේ දී යොදා ගන්නා ලද දැනට පවතින හදිසි නීතිවලටත් එහා යන පියවරයන් සූදානම් කිරීමට යි. තමන් “පොලීසිය, ත්‍රිවිධ හමුදා හා ආරක්ෂක සේවාවන් ප්‍රතිසංවිධානය කිරීමට පියවර ගන්නා” බවත්, ක්ෂනික පියවරයන් ගත හැකි වන පරිදි ඒවාට නවීන තාක්ෂනය සම්පාදනය කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති සිරිසේන ඊයේ ප්‍රකාශ කලේ ය.

සන්නද්ධ හමුදා දැනට මත් හදිසි තත්ත්වය ක්‍රියාත්මක කරමින් සිටිති. සන්නාහ සන්නද්ධ භටයෝ මාර්ග බාධක ඉදිකරමින්, වාහන පරීක්ෂා කරමින්, සෝදිස් කිරීම් කරමින් හා ජනයා අත්අඩංගුවට ගනිමින් සිටිති. මෝටර් සයිකල්වලනැගී ක්ෂනික විහිදුම් බලකාය කොලඹ වීදි සිසාරමින් සිටී.

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි දශක තුනක වාර්ගික යුද සමයේ ගොඩනගන ලද දිස්ත්‍රික් මට්ටමේ ආරක්ෂක කමිටුවලට සමාන කමිටු යලි පටන් ගන්නා බව, ස්වදේශ ඇමති වජිර අබේවර්ධන ඊයේ නිවේදනය කලේ ය. එම කමිටු යොදා ගන්නා ලද්දේ, දෙමල ජාතිකයන් මෙන් ම දේශපාලන විරුද්ධවාදීන් හා කම්කරුවන්ගේ ක්‍රියාකාරකම් ගැන ඔත්තු බැලීමට යි.

ආන්ඩුව භීතියේ හා සැකයේ වාතාවරනයක් ද අවුලුවමින් සිටී. ආන්ඩු පක්ෂයේ මන්ත්‍රී ආශු මාරසිංහ, මුස්ලිම් කාන්තාවන් විසින් බුර්කාව පැලඳීම “තාවකාලික ව” තහනම් කිරීම ඉල්ලා සිටින “පෞද්ගලික යෝජනාවක්” ඉදිරිපත් කර ඇත. සමස්ත මාධ්‍ය හා දේශපාලන සංස්ථාපිතය, කම්කරු පන්තිය බෙදීම සඳහා වාර්ගික ආතතීන් අවුලුවාලීමට යලි යලිත් යොදාගෙන ඇති සිංහල බෞද්ධ අධිපතිවාදයේ ගිලී සිටී.

මෙම විෂඝෝර පිලිවෙත් ක්‍රියාත්මක කිරීමට තල්ලු කරනු ලබා ඇත්තේ කම්කරු පන්තික අරගලයන්හි ජාත්‍යන්තර පුනර්ජීවනය කෙරෙහි පාලක ප්‍රභූන් තුල පවතින භීතිය විසිනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියෝග කරනු ලබන ආන්ඩුවේ කප්පාදු න්‍යාය පත්‍රයට එරෙහි ව, කම්කරුවන්, ගොවීන් හා ශිෂ්‍යයන් පසුගිය වසර පුරා වැඩ වර්ජන හා විරෝධතාවල නියැලෙමින් සිට ඇත.

ලක්ෂයකට අධික වතු කම්කරුවෝ දෙසැම්බර් මාසයේ තම දරිද්‍ර මට්ටමේ මූලික වැටුප දෙගුන කරන ලෙස ඉල්ලමින් වැඩ නතර කල හ. වැටුප් වැඩි කිරීමක් ඉල්ලමින් පසුගිය මාසයේ එක් දින වැඩ වර්ජනයක නිරත වූ 200,000කට අධික ගුරුවරු මැයි 8-9 දිනවල දෙදින වර්ජනයකට සූදානම් වෙමින් සිටිති. පාලක කව ගැඹුරින්ම කනස්සලු වී සිටින්නේ මෙම වැඩෙන ව්‍යාපාරය සීමා කිරීමට හා මර්දනය කිරීමට වෘත්තීය සමිති අසමත් වනු ඇත යන්න යි.

යුද-කාලීන පියවරයන් ක්ෂනික ව ක්‍රියාවට දැමීම, කම්කරු පන්තියට සහ නාගරික හා ගම්බද දුගීන්ට එරෙහි ව පාලක පන්තිය පැත්තෙන් පන්ති යුද්ධය සඳහා සූදානම් වීම හා ආඥාදායකත්වය පැටවීම දෙසට වන පියවරක් බවත් සසප අනතුරු අඟවයි. වාර්ගික හා ආගමික රේඛා කපාගෙන තම අරගල ඒකාබද්ධ කල යුතු කම්කරු පන්තිය, සියලු දෙනාගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමට නැගී සිටිය යුතු ය. මෙම ඉදිරිදර්ශනයේ කේන්ද්‍රයේ පවතින්නේ, දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර ව සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා කරන සටන යි.

Share this article: