කන්ඩායමික ප්‍රකෝපකරන, මධ්‍යම පන්තියේ උන්මාදය හා ජාත්‍යන්තර සමාජවාදී සංවිධානයේ බිඳවැටීම

Factional provocation, middle-class hysteria, and the collapse of the International Socialist Organization

සමාජවාදී සමානතා පක්ෂයේ (එජ) දේශපාලන කමිටුවේ ප්‍රකාශය, 2019 අප්‍රේල් 2

සිය වාර්ෂික සමුලුව පවත්වා යන්තම් දෙමසක තරම් කාලයක් ගතවූ තැන ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය (අයිඑස්ඕ), කන්ඩායමික ලෙස මතුව ආ ලිංගික අපචාර හා ඒවා වසං කිරීම හෙලාදැකීම්, සමඟ බිඳ වැටෙමින් තිබේ.

දිගු කාලීන නායකයින් නෙරපා හැරීමේ දුෂ්ඨ ව්‍යායාමය හමුවේ, නායකත්වයේ ඉතිරිවී සිටින කොටස් විසින් යෝජනා කරන ලද “විප්ලවවාදී සමාජවාදය සඳහා නව මොඩලයක්” වෙනුවෙන් ඡන්දය දීමට අයිඑස්ඕ සංවිධානයේ සාමාජිකයන්ට බලකෙරී ඇත. එය ආරම්භ වන්නේ “අයිඑස්ඕව විසුරුවා හැරීමේ ක්‍රියාවලියක් වර්ධන කිරීම” මගිනි. ඊලඟ දෙසතිය තුල සංවිධානයේ මූලික ප්‍රකාශනය වන සෝෂලිස්ට් වර්කර් වෙබ්අඩවිය socialistworker.org වසා දැමීමට ද සමාජිකත්වය ඡන්දය දුන්හ. මෙම තීරන ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය සාරාර්ථයෙන් දියකර හැරෙනු ඇත.

අයිඑස්ඕහි කඩාවැටීම සිදුවුනේ අත්‍යසාමාන්‍ය වේගයකිනි. එම බිඳවැටීම වනාහි, නායකත්වයේ කොටසක් විසින් උසිගන්වන ලද, අවධි දෙකකින් ක්‍රියාත්මකවූ, කන්ඩායමික කුමන්ත්‍රනයක ප්‍රතිපලය බවට අර්බුදයේ කාලවේදය විසින් කිසිදු සැකයක් නැතිව තහවුරු කර ඇත.

මෙහෙයුම ආරම්භ වුනේ යන්තම් මසකට පෙරය. පෙබරවාරි අවසානයේ අයිඑස්ඕව සිය වාර්ෂික සමුලුව පැවැත්වීය. මාර්තු 15දා සෝෂලිස්ට් වර්කර් හි පල කල ප්‍රකාශයකින්, එම සමුලුව සංවිධානයේ ඉතිහාසයෙහි “වඩාත්ම වේදනාකාරී” එක ලෙස විස්තර කර තිබුනි. සමුලු ප්‍රකාශනයට අනුව, එය “අපගේ අතීත භාවිතාවන් වල හා අභ්‍යන්තර දේශපාලන සංස්කෘතියේ හානිදායක බලපෑම හඳුනා ගැනීමට කැපකෙරිනි.”

සමුලුව අයිඑස්ඕහි ජාතික කමිටුවේ හා මෙහෙයුම් කමිටුවේ සංයුතියෙහි ප්‍රබල වෙනස්කම් ඇතිකිරීමට ඡන්දය දුන්හ. මෙහෙයුම් කමිටුව සංවිධානයේ දෛනික නායකත්වය ලෙස කටයුතු කරයි. වාර්ගික කෝටා ක්‍රමයක් පදනම් කරගෙන තෝරාගත් මෙහෙයුම් කමිටුවේ තුනෙන් දෙකක්ම නායකත්වයට ආධුනිකයෝ වූහ. මෙම දේශපාලන පලපුරුද්දෙන් අඩු හා ලෙහෙසියෙන්ම රැවටිය හැකි සාමාජිකයින්ගෙන් අඩක්ම “වර්න සම් ඇති සහෝදරයින්” (මෙය ඇමරිකාව තුල සුදු/යුරෝපීය නොවන සම්භවයක් ඇති පුද්ගලයින් හැඳින්වීමට යොදන පදයකි-පරිවර්තක) වූහ.

මාර්තු 11 වන සඳුදා, කන්ඩායමික මෙහෙයුමේ දෙවන අදියර ඇරඹුනි. එෆ්එම් යන නමින් පමනක් හඳුන්වාගත්, හිටපු සාමාජිකයෙකු විසින් ලියා තිබුන ලේඛනයක් අයිඑස්ඕ කාර්යාල වලට විද්‍යුත් තැපෑලෙන් ලැබුනි. මාර්තු 15 ප්‍රකාශයට අනුව එෆ්එම්ගේ ලේඛනය “අයිඑස්ඕවෙන් පිටත, අපත් සමග වැඩකර ඇති මිතුරන් වන සමාජවාදී ස්ත්‍රීවාදී හා සමරිසි ක්‍රියාකාරිකයන්ට ද” යවා ඇත. ප්‍රකාශය පැමිනි වේලාව හා ඉන් ඉක්බිතිව වහාම ඇතිවූ සිදුවීම් දෙස බලන විට එය මුලුමනින්ම ලියා ඇත්තේ හෝ ඊට පොලඹවා ඇත්තේ අයිඑස්ඕ නායකත්වයේ කොටසක් බව පැහැදිලිය.

එෆ්එම් ගේ මේ ලේඛනය මගින්, නව මෙහෙයුම් කමිටුවට පත්ව සිටි අයිඑස්ඕ සංවිධානයේ සාමාජිකයෙකුට එරෙහිව, 2013 වසරේදී එල්ල කෙරුනු ලිංගික අතවර චෝදනාවක් යලි පනගැන්වුනි. අයිඑස්ඕහි මාර්තු 15 ප්‍රකාශයට අනුව, එෆ්එම් යනු 2013 චෝදනාව විභාග කල ජාතික විනය කමිටුවේ සාමාජිකයෙකි.

2013 ඉදිරිපත් කරන ලද චෝදනාවන්ට රුකුල් දෙන නව සාක්ෂි හෝ තොරතුරු කිසිවක් එෆ් එම්ගේ ප්‍රකාශනයට ඇතුලත් නොවේ. එහෙත් එය අයිඑස්ඕහි දිගුකාලීන සාමාජිකයින් නෙරපා හැරීම සඳහා හේතුවක් ලෙස වහාම යොදා ගන්නා ලදී. නිමක් නැති උන්මාදය මධ්‍යයේ මෙහෙයුම් කමිටුව ප්‍රමුඛ සාමාජිකයින් ගේ සාමාජිකත්වය අත්හිටුවීය. නැතහොත් නෙරපා දැමීය. එසේත් නැත්නම් ඔවුනට ඉල්ලා අස්වීමට බල කලේය.

සිදුවීම්වල කාල පරාසය මගින්, ක්‍රියාපටිපාටියේ මූලධර්ම විරහිත, ප්‍රජාතන්ත්‍ර විරෝධී හා කුනුවූ ස්වභාවය හෙලිදරව් කරයි.

මාර්තු 15 දා ප්‍රකාශයට අනුව, මාර්තු 12 අඟහරුවාදා සවස, එනම් එෆ්එම්ගේ ලේඛනය පැමින පැය 24 කට පසුව, අයිඑස්ඕ මෙහෙයුම් කමිටුව හදිසි රැස්වීමක් පවත්වා “තමා කවුදැයි හඳුනාගෙන ඉල්ලා අස්වන ලෙස වගඋත්තරකරුට (චුදිතයාට)” බල කර ඇත. එම පුද්ගලයා කමිටුවෙන් ඉල්ලා අස්වෙමින් පැවසුවේ, ඔහු “නොපැමිනීමේ නිවාඩු ගන්නා” බවයි. මෙහෙයුම් කමිටුව “ඔහුගේ කමිටු සාමාජිකත්වය අත්හිටුවීමට ඡන්දය දුන් අතර, ඔහුගේ සංවිධාන සාමාජිකත්වය ගැනද පසුව තීරනයක් ගන්නා බව ප්‍රකාශ කලේය”.

දෙදිනකට පසුව මාර්තු 14 බ්‍රහස්පතින්දා, ජාතික කවුන්සිලය හා මෙහෙයුම් කමිටුවේ ද අනෙකුත් සාමාජිකයින්ගේ ද ඒකාබද්ධ රැස්වීමකදී, එම පුද්ගලයා නෙරපීමට ඒකච්ඡන්දයෙන් එකඟ විය. ඒ විනය කමිටුවේ මුල් තීන්දුවට අනුවය. මීට අමතරව විධිමත් ක්‍රියාවලියකින් හෝ පරීක්ෂනයකින් තොරව එය “මුල් පරීක්ෂනයේ තීන්දුවට ඍජුව සම්බන්ධ වූ, 2013 මෙහෙයුම් කමිටු සාමාජිකයන් තිදෙනෙකුගේ සාමාජිකත්වය ද, 2013දී සිදුවූයේ කුමක් ද යන්න පිලිබඳ පූර්න පරීක්ෂනයක් පවත්වන තෙක්, අත්හිටුවීමට තීරනය කෙරින.”

තව ද අයිඑස්ඕව, “පරීක්ෂනය පැවැත්වෙන කාල වකවානුවේ විනය කමිටුවේ පරීක්ෂනයට වලකැපීම සඳහා ක්‍රියාකලාපයක් ඉටුකරන ලද, මෑතකදී තෝරාගත් ජාතික කවුන්සිල සාමාජිකයෙකුද ඇතුලුව, 2013 මෙහෙයුම් කමිටුවේ ඕනෑම සාමාජිකයෙකු හෝ ඕනෑම නායකත්ව මන්ඩලයක දරන තනතුරු වලින් නෙරපීමටත්, ඡන්දය දුන්නේය.”

තහනමට ලක්වූවන්ගෙන් අයෙක් 80 හැවිරිදි ජොයෙල් ගෙයියර් වේ. ඔහු අයිඑස්ඕවේ පූර්වගාමී ස්වාධීන සමාජවාදීන් සංවිධානයේ ආරම්භක සාමාජියෙක් විය. ගෙයියර් පසුව ඉල්ලා අස්විය. හිටපු ප්‍රමුඛ නායක සාමාජිකයන් අට දෙනෙක් ද ඉල්ලා අස්වන බව නිවේදනය කලහ. ඊට හිටපු ජාතික සංවිධායක ෂැරොන් ස්මිත් ද පෝල් ඩි ඇමටෝ, ලාන්ස් සෙල්ෆා හා අහමඞ් ෂව්කි ද අයත්ය.

2013 ලිංගික අතවර පිලිබඳ චෝදනාව

2013 ලිංගික අතවර පිලිබඳ චෝදනාවන්ට සම්බන්ධ නිශ්චිත සාක්ෂි ඉදිරිපත් නොකලා පමනක් නොව අයිඑස්ඕ මෙහෙයුම් කමිටුව, එෆ්එම්ගේ ලියවිල්ල පවා නිකුත් කලේ නැත. කෙසේ වෙතත් මාර්තු 21 දින දරන ජොයෙල් ගෙයියර් ගේ ඉල්ලා අස්වීමේ ලිපියෙන්, වසං කිරීමක් සිදුව ඇතැයි යන ප්‍රකාශය අපකීර්තියට පත්වන තොරතුරු සම්පාදනය කෙරේ.

අයිඑස්ඕව විසින් 2013දී පිහිටුවන ලද නව විනය කමිටුව සඳහා මඟපෙන්වීමේ සටහන් සැකසීමට තමන් සම්බන්ධවූ බවට ගෙයියර් සඳහන් කරයි. චුදිතයාගේ මූලික ප්‍රජාතන්ත්‍රික අයිතීන් පිලිබඳව තමන් කමිටුවට උපදෙස් දුන් බව ද ඔහු කියා සිටී.

ප්‍රශ්නයට අදාල කාරනය වුනේ සාමාජිකාවක් නොවන්නියක් තමා සාමාජිකයෙකු විසින් දූෂනය කලාය යනුවෙන් කල ප්‍රකාශයයි. විනය කමිටුව චුදිතයා නෙරපීමට ඡන්දය දුන්නේය. ගෙයියර් සඳහන් කල හේතු මත මෙහෙයුම් කමිටුව තීන්දුව නිෂ්ප්‍රභ කලේය.

”වගඋත්තරකරුට තම ආරක්ෂාව වෙනුවෙන් කරුනු කීමට අවස්ථාවක් නොදෙමින් ඔවුන් සිය නිගමනය කරා පැමින ඇත, ඔහුට විරුද්ධ සාක්ෂි හා තොරතුරු පිලිබඳව ප්‍රශ්න කිරීමට ඔහුට අවස්ථාවක් හෝ, පැමිනිලිකාරියගෙන් ප්‍රශ්න ඇසීමට ඔහුට හෝ නීතිඥයෙක් මාර්ගයෙන් හෝ ඉඩ නොදීම ගැන, ඔවුන්ට (කමිටුවට) කරුනු පෙන්වා දෙන ලදී” යයි ගෙයියර් සඳහන් කරයි. එසේම චෝදනා එල්ල කල තැනැත්තිය අයිඑස්ඕවේ අභ්‍යන්තර ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කර තිබුනි.

අදාල ක්‍රියාවලියට යම් මූනත් තහඩුවක් ලබාදීමට සිදු කෙරුනු අයිඑස්ඕ මෙහෙයුම් කමිටු මැදිහත්වීමෙන් පසුව ජාතික විනය කමිටුව තම තීන්දුව වෙනස් කලේය. ඉන් පසුව අභියාචන කමිටුව තීන්දු කර තිබුනේ, ප්‍රශ්නය ගැන “නිගමනයක් කිරීමට තරම් ප්‍රමානවත් සාක්ෂි” ඉදිරිපත්ව නොතිබූ බවටය. කිසිදු විනය පරිපාටියක් යෝජනා කර නොතිබුනි.

අයිඑස්ඕවේ 2014 සමුලුවේදී පරීක්ෂනයේ ක්‍රියාපටිපාටිය හා ප්‍රතිපලය ගැන සාමාජිකයින්ට දැනුම් දුනි.

නායකත්වය විරේක කිරීමට සහාය දැක්වූ අනභියෝගී ප්‍රකාශන පසුගිය දෙසතිය මුලුල්ලේම සෝෂලිස්ට් වර්කර් හි පල විය. අපචාරයට චෝදනා ලත් පුද්ගලයා අනිවාර්යයෙන්ම වරදකරු යයි පිලිගත යුතුය යන පදනම මත 2013 විනය කමිටුවේ තීන්දුව ඉවත්කර ගැනීම ඒවායින් හෙලාදැක තිබුනි. තොරතුරු රැස්කිරීමේ ක්‍රියාවලියක් හෝ සාක්ෂි සොයාගැනීමේ උත්සාහයක් අවශ්‍ය නැත. චෝදනා කරනු ලබන්නා නිවැරදි යයි පිලිගත යුතුය.

එලිසබෙත් රිග්ලි ෆීල්ඞ් විසින් මාර්තු 20 සඳහන් කර ඇති, “#මීටූ (ව්‍යාපාරයෙන්) සමාජවාදීන්ට ඉගෙනගත හැකි පාඩම්” යන මැයෙන් යුත් ලිපිය හෙලිදරව් කරන්නේ, මධ්‍යම පන්තික අනන්‍යතා දේශපාලනයේ පදනම මත අයිඑස්ඕවට බඳවාගත් සාමාජිකයන් අතර පැතිර පවතින, ඝාතක කල්ලියක උමතු මනෝභාවයයි. ඇය මෙසේ ලියයි: “මක්නිසා ද යත්, මම චෝදනාවට සහාය දෙමි. මම ලියන්නේ මගේම ඉදිරිදර්ශනයෙනි, මම නීති භාෂාවෙන් නොව කෙලින්ම කියන්නෙමි: අපචාර චෝදනාව යන පදයට වඩා ඍජුවම අපචාරය යනුවෙනුත්, පැමිනිලිකාරයා යන පදයට වඩා වින්දිතයා යනුවෙනුත්, චුදිතයාට වඩා දූෂකයා යනුවෙනුත් හඳුන්වමිනි” වශයෙනි.

රිග්ලි ෆීල්ඞ් තමා 2013ට සම්බන්ධ ලිපි ලේඛන “කිසිවක් කියවා නැති” බව පිලිගන්නා අතර පැමිනිලි කරන්නේ, පරීක්ෂනය “සත්‍යය අනාවරනය කිරීම හා හානිය අවමකිරීමට වඩා ක්‍රියා පටිපාටිය රැකීම පිලිබඳ මානසිකත්වයෙන්” සිදු කෙරෙන බවටයි. රිග්ලි-ෆීල්ඞ්ට අනුව “සත්‍යය” තීන්දු කරනු ලබන්නේ, චෝදනාව එල්ල කරන්නා එය අවධාරනය කරන ආකාරයෙනි. චෝදනා කරන්නාගේ “සත්‍යය” ගැන කෙලින්ම අභියෝග කිරීම කෙසේ වෙතත්, ඒ ගැන පරීක්ෂන හා සාක්ෂි ඉදිරිපත් කරන ලෙස ඉල්ලන ක්‍රියා පටිපාටියක් පවා ඇත්තේ නැත. දඩයම් කරන්නාගේ මනෝභාවයෙන් යුතුව අවසන් කරන රිග්ලි-ෆීල්ඞ්, මෙසේ පවසයි, “අප අපගේ නීති නියාම සත්‍යය සොයාගන්නට බාධාවක් නම් නීති නියාම බල්ලට දාමු.”

සඟවා ඇති දේශපාලන ප්‍රශ්න

අයිඑස්ඕව නිකුත්කර තිබෙන ප්‍රකාශනය තුල, 2019 මාර්තු 11දා පුපුරා ගිය අර්බුදයට යටින් පැවති සංවිධානයේ නායකත්වය තුල පැවති දේශපාලන මතභේද පිලිබඳ සාකච්ඡාවක් හෝ විශේෂිත සඳහනක් වත් ඇත්තේ නැත. ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය දේශපාලනිකව බිඳවැටීමට හේතුව, වසර හයකට පෙර සිදුවූ, ලිංගික අපචාර පිලිබඳ චෝදනාවක් පිලිබඳ කටයුතු කිරීමේදී සිදුවූ අක්‍රමිකතාවක් බව පාඨකයින් විශ්වාස කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අභූතයක්වන මෙය විශ්වාස කරනු ඇත්තේ, නිවටයන් හෝ වැදගැන්මකට නැති මුග්ධයන්ය. දේශපාලන සංවිධානයක් තුල ලිංගික අපචාර පිලිබඳ සෝලියක් ඇදගැනීමෙන් අරමුනු කරන්නේ, නොවරදවාම උන්මාදයක් ජනිත කිරීම, සාමාජිකත්වය කුලප්පු කිරීම හා ක්‍රියාමාර්ගය, ඉදිරිදර්ශනය, මූලෝපාය හා භේදකාරී අභ්‍යන්තර කන්ඩායම්වල හා සමාජ බලවේගයන්ගේ ආසක්තයන් පිලිබඳ තර්කානුකූල හා විවෘත සාකච්ඡාවක් ඇතිවීම වැලැක්වීමයි. දේශපාලන ආසක්තයන් හා අර්බුදය ඇවිලවීමේ අරමුනු පැහැදිලි වන්නට පටන්ගන්නේ සංවිධානාත්මක සංහාරයෙන් පසුව දුමාරය ක්‍රමයෙන් පහව යාමට පටන්ගත් කල පමනකි.

සෝෂලිස්ට් වර්කර් හි පල කරන ලද ප්‍රකාශනය මත පාදක වීමෙන් සහ විවිධාකාර ප්‍රමුඛ පුද්ගලයින්ගේ පෙලගැසීම් පරීක්ෂාකර බැලීමෙන් පැහැදිලි වන්නේ අර්බුදයේ ප්‍රතිඵලයවී ඇත්තේ අතිශයින්ම තියුනු ලෙස දකුනට පැද්දීමක් බවයි.

1 වන කරුන: අයිඑස්ඕව හා ඩිමොක්‍රටික් පක්ෂය

අයිඑස්ඕව දියකර හැරීම, එහි අධිකාරවත් කොටස ඩිමොක්‍රටික් පක්ෂයේ කක්ෂය වෙත ඒකාබද්ධ කිරීමට පැවති සංවිධානාත්මක බාධකය සාරභුත වශයෙන් ඉවත් කිරීමකි.

පෙබරවාරි සමුලුවට පෙරාතුව අයිඑස්ඕව, ඇලෙක්සැන්ඩ්‍රියා කෝර්ටෙස් කොන්ග්‍රසයට පත්වීමේ දේශපාලන ඇඟවුම් පිලිබඳව දිග්ගැස්සුන සාකච්ඡාවක නිරතව සිටියේය. ඔකේසියෝ කෝර්ටෙස් ද සාමාජිකාවක් වන ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍ර සමාජවාදීන් (ඩීඑස්ඒ), ඩිමොක්‍රටික් පක්ෂයේ බලවත් තැන් වලට ඔසවා තැබින. 2020 මැතිවරනය ලඟාවෙමින් තිබියදී ඩිමොක්‍රටික් පක්ෂය, වමෙන් එල්ලවිය හැකි විරෝධය සංවිධානාත්මකව නිරායුද කර ඒකාබද්ධ කිරීම [ප්‍රධාන ධාරාවට] පිනිස දැවැන්ත පීඩනයක් යොදවමින් සිටියේය.

ඩිමොක්‍රටික් පක්ෂයේ කොටසක් ලෙස කටයුතු කරමින් සිටින ඩීඑස්ඒ, ජනාධිපතිවරන උද්ඝෝෂනයේදී බර්නි සෑන්ඩර්ස් සමඟ සන්ධානගතව සිටියේය. අයිඑස්ඕව දේශපාලන අන්ඩක් ලෙස පක්ෂයට ඒකාබද්ධ කර ගැනීමට ඔවුහු උත්සාහ දැරූහ. මෙහෙයුම් කමිටුවේ මාර්තු 15දා ප්‍රකාශය කියා සිටියේ, අයිඑස්ඕව (හෙවත් එහි ඉතිරි කොටස්) “ඩිමොක්‍රටික් පක්ෂයේ මැතිවරනවලදී අයිඑස්ඕව ඩිමොක්‍රටික් අපේක්ෂකත්වය තුල සමාජවාදී උද්ඝෝෂනයට සම්බන්ධව කටයුතු කල යුත්තේ කෙසේදැයි” විමසා බලමින් සිටී යනුවෙනි.

2 වන කරුන: අයිඑස්ඕව හා වෘත්තීය සමිති

මෑත වසර වලදී අයිඑස්ඕවේ ප්‍රමුඛ සාමාජිකයින්, ඒඑෆ්එල්-සීඅයිඕ (ඇමරිකාවේ ප්‍රමුඛ වෘත්තිය සමිති දෙක-පරිවර්තක) සංවිධානවල, පෞද්ගලිකව ලාභදායි හා බලපෑම් සහගත ස්ථානයන් ලබාගෙන තිබුනි. මෙම වර්ධනය පසුගිය වසරේදී චිකාගෝ ගුරු සංගමයේ සභාපතිත්වය ජෙසී ෂාකිට හිමිවීමෙන් සලකුනු කෙරින. මාර්තු 15 දා ප්‍රකාශය, “දශක ගනනාවක වෘත්තීය සමිති අත්දැකීම් සහිත සහෝදරවරුන්, මෙහෙයුම් කමිටුව විසින් සකසන ලද මාවතෙන් ඕනෑවට වඩා පිට පනිනු ඇතැයි යන බිය නිසා අයිඑස්ඕහි නායකත්වය විසින් සැකයට බඳුන් කිරීම” හෙලා දුටුවේය.

අයිඑස්ඕවේ විරේකයට සහාය දුන් ෂාකි නියෝජනය කලේ, පක්ෂයේ විනයෙන් සීමා වීමට තවදුරටත් අකැමතිවූ, අයිඑස්ඕවට බැඳී සිටින වෘත්තීය සමිති නිලධරයේ ස්ථරයයි. ෂාකි ගුරු සංගමයේ සභාපති ලෙස, දැන් චිකාගෝ හි ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රමුඛ ක්‍රියාකලාපයක් ඉටු කරමින් සිටිතැ යි යන කරුනෙන් ඔවුන්ට අයිඑස්ඕවේ පාලනයෙන් නිදහස් වීමට ඇති අවශ්‍යතාව තවත් උත්සන්න කෙරී ඇත.

මෑතක පැවති පලාත් පාලන ඡන්දයේදී, ගුරු සංගමයට හෝ ඩිමොක්‍රටික් සමාජවාදී සංවිධානය යන දෙකින් එකකට සම්බන්ධවූ නියෝජිතයින් දුසිමක් තරම්වත් ඇල්ඩමෙන් මන්ඩලයේ ආසන දිනාගත් අතර එය සලකුනු කරන්නේ, චිකාගෝහි ඊලඟ නගරාධිපතිගේ කනිෂ්ඨ සහචරයාගේ ක්‍රියාකලාපය ඉටුකිරීමට ව්‍යාජ වම්මුන්ගේ ඇති සූදානමයි.

තව ද ෂාකි යටතේ ගුරු සංගමය අප්‍රේල් 2දා, චිකාගෝ නගරාධිපති අපේක්ෂකයා ලෙස ටෝනි ප්‍රෙක්වින්කල්ගේ නම යෝජනා කලේය. ඔහු ඩිමොක්‍රටික් පක්ෂයේ දිගු කාලීන ක්‍රියාකාරිකයෙකු වෙයි.

3 වන කරුන : අයිඑස්ඕව හා මූල්‍ය සම්පත්

අයිඑස්ඕව තුල ගැටුම් යටින් ඇති ප්‍රධාන කාරනය, සම්පත්වල පාලනයයි. එහි වත්කම් වල වටිනාකම ඩොලර් මිලියන ගනනකි. අයිඑස්ඕවේ ලාභ නොලබන 501(සී) (3) යන සංවිධානය, ආර්ථික පරියේෂන හා සමාජ වෙනස පිලිබඳ මධ්‍යස්ථානය ක් Center for Economic Research and Social Change (සර්ස්ක්) යනුවෙන් හඳුන්වයි. සර්ස්ක්හි ව්‍යාපෘතීන් අතර හේමාර්කට් බුක්ස් ද වේ. ප්‍රසිද්ධියට පත්කර ඇති, 2017 බදු ලිපිගොනු පිලිබඳ සර්ස්ක් වාර්තා අනුව එහි ගලපන ලද ශුද්ධ ආදායම ඩොලර් තිස්එක් ලක්ෂ හැත්තෑ හත්දහස් නමසිය තිස් අටකි (3,177,938). පොත් අලෙවියෙන් ලත් ආදායම මිලියන 3.6ක් හා විවිධ පදනම් ආයතන වලින් ප්‍රධාන හා දායක මුදල් වශයෙන් මිලියන 1ක් ද ලැබී තිබුනි.

සර්ස්ක්හි ප්‍රධාන වත්කම් අතර, ඇමරිකාවේ තාක්ෂනික සමාගමක් වන ඔරැකල්හි ඩොලර් මිලියනයක කොටස් ද, ඒ හා සමානම මුදලක් කොන්සොලිඬේටඞ්-ටොමොකා ලෑන්ඞ් කම්පැනි (සීටීඕ) යන ෆ්ලොරිඩාහි වතු හා දේපොල සමාගමක කොටස් ද වේ. 2017දී සර්ස්ක් ඩොලර් ලක්ෂ 9 ක් වැටුප් හා දීමනා වශයෙන් ගෙවා ඇත.

ස්ර්ස්ක්

විවිධ පදනම් ආයතන වල අරමුදල් ලාභියෙකි. දුම්කොල සමාගම් කෝටිපතිනියක වන ආර් ජේ රෙනොල්ඞ්ස් විසින් පිහිටුවන ලදුව මෑතදී බිලියන පති ජෝජ් සොරෝස් ප්‍රතිපාදන සැපයු ටයිඞ්ස් පදනමෙන්, 2017 දී එයට ඩොලර් 225,000 ලැබුනු අතර, අයිඑස්ඕ සමග කිට්ටු සම්බන්ධතා ඇති ලැන්නන් පදනමෙන්ද ඩොලර් 240,000 ක් ලැබුනි.

ලැන්නන් පදනම අයිඑස්ඕහි සාමාජිකයින් ගනනාවකට පොත් ලිවීම සඳහා ප්‍රතිපාදන ලබාදී ඇත. එයට, අනන්‍යතා දේශපාලනයේ විශේෂඥයෙකු වන ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කීන්ගා-යමාටා ටේලර් ද ඇතුලත්ය. එසේම එම පදනම, චිකාගෝහි බියුනා පාක්හි හේමාකට් සඳහා කාර්යාලයක් මිලට ගැනීම පිනිස ඩොලර් මිලියන 2.3ක් ගෙවා ඇත.

අයිඑස්ඕව සමග සම්බන්ධ ප්‍රකාශන ආයතනයක් වන හේමාකට් බුක්ස්, අභ්‍යන්තර විරේක කිරීම් වලට සහාය පලකරමින් මුහුනු පොතේ ප්‍රකාශයක් නිකුත්කර ඇත. සර්ක්ස් හි “ප්‍රමුඛ ව්‍යාපෘතියක්” බව කියමින් නිකුත්කල ප්‍රකාශයේ “වින්දිතයන් සමග අපි නැගී සිටින අතර ඔවුන් විශ්වාස කරන්නෙමු” යයි පවසා තිබේ.

එය තවදුරටත් පවසන්නේ: “සර්ක්ස් මන්ඩලයේ සමහර සාමාජිකයින්ගේ පැත්තෙන් සර්ක්ස්ට පිටින් සිදුවී ඇති දේ පිලිබඳ උත්සුකයෙන් අපි වහාම ක්‍රියාත්මක වීමු. එතැන් පටන් මුලුමනින්ම නව මන්ඩලයක් පත්කරගෙන ඇති අතර, එම පුද්ගලයින්ට අපගේ පූර්න විශ්වාසය හා සහාය ලැබේ.”

සංවිධානයේ අන්තිම බදු වාර්තාවල ලැයිස්තුගත කර තිබෙන, සර්ක්ස්හි විධායකයින් හෝ අධ්‍යක්ෂවරුන් හය දෙනාගෙන් හතරදෙනෙක්ම අයිඑස්ඕවෙන් විරේක කල අයයි. ඔවුන් නම්, ෂැරොන් ස්මිත්, අහමඞ් ෂවුකි, ලාන්ස් සෙල්ෆා හා පෝල් ඩි ඇමෙටෝ ය.

හේමාකට් ප්‍රකාශයට අත්සන් තැබූවන් අතරට, සර්ක්ස්හි ඉතිරිව සිටි අධ්‍යක්ෂකවරයෙක් හා හේමාකට්හි ප්‍රධාන කතෘ, ඇන්තනි ආනෝවි ද ඇතුලත්ය. ප්‍රකාශයට හේමාකට් බුක්ස්හි කලමනාකාර සංස්කාරක ජුලී ෆෙන්ද අත්සන් තබා ඇත, ඇය චිකාගෝ ගුරු සංගමයේ සභාපති ජෙසී ෂාකි ගේ බිරිඳවේ.

විවෘත භාවය හා විනිවිද භාවය පිලිබඳ සියලු කථා තිබියදී, මතභේද සහිත නායකත්වයේ කොටස් අතර වත්කම් බෙදාගැනීම පිලිබඳව ගැටුම් සමනය කර ගැනීමට, වැසූ දොරවල් පිටුපස රහසිගත සාකච්ඡා සිදු වීම අපේක්ෂා කල හැක. පදනම් ආයතන හා ලාභ නොලබන සංවිධාන නීතිමය ක්‍රියාවලියකට බඳුන්වේ. කලින් ඔවුන් දැරූ තනතුරු වලින් නෙරපීමට ලක්ව සිටින, හිටපු නායකයින් හා පදනම්වල කොටස් හිමියන් විසින් ගෙන ආ හැකි නීතිමය ක්‍රියාපටිපාටි වලක්වා ගැනීමට දැන් ආදායම හා වත්කම් පාලනය කරන අය උත්සාහ දරනු ඇත.

දේශපාලන නිගමන

ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය මුලුමනින්ම විසුරුවා හැරීම, නායකත්වයේ කොටසක් විසින් සංවිධානය කරන ලද දේශපාලන කුමන්ත්‍රනයක ප්‍රතිඵලයදැයි තවමත් පැහැදිලි නැත. කෙසේ වුව ද එය වනාහි, එයට සම්බන්ධ සියලු කොටස් කරබදු වූ, අයිඑස්ඕවේ දක්ෂිනාංශික, මධ්‍යම පන්තික හා තරයේම අවස්ථාවාදී දේශපාලනයේ ප්‍රතිඵලය බව පැහැදිලිය.

අයිඑස්ඕව #මීටූ වර්ගයේ මෙහෙයුමකට මුලුමනින්ම නිරාවරනය වී තිබුනි. එයට සාමාජිකයින් බඳවා ගත්තේ මධ්‍යම පන්තික අනන්‍යතා දේශපාලනයේ පදනමෙනි. සංවිධානයට බැඳුනු අයට හතරවන ජාත්‍යන්තරයේ මූලික ඓතිහාසික අත්දැකීම් කෙසේ වෙතත්, මාක්ස්වාදී න්‍යාය පිලිබඳව වත් අධ්‍යාපනයක් ලැබී නොතිබුනි. එය නිරන්තරයෙන් ක්‍රියාත්මක වුනේ, මූලධර්ම විරහිත කන්ඩායම්වාදී, අමු අවස්ථාවාදී, දේශපාලන නරුම හා ආන්තික ආත්මීයවාදී වාතාවරනයකය. ක්‍රියාමාර්ගය හා දේශපාලන මූලධර්ම පිලිබඳ ප්‍රශ්න ගැන උනන්දුවීම ප්‍රතික්ෂේප කිරීමට සාමාජිකයින් හැඩගස්වනු ලැබින. ඔවුන්ගේ එක් ප්‍රධාන ලාලසාවක් වුනේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවටත් ලෝක සමාජවාදී වෙබ් අඩවියටත් ද්වේෂ කිරීමයි. ට්‍රොට්ස්කිවාදී නොනවතින විප්ලවයේ න්‍යාය මත පදනම්ව කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා අප ගෙන යන අරගලය “කට්ටිවාදය” ලෙස හෙලා දුටුවේය.

අයිඑස්ඕව කඩාවැටීමට මුල්වූ දේශපාලන හේතු පිලිබඳව කිසිදු බැරෑරුම් තක්සේරුවක් එහි අවස්ථාවාදී කොටස් වලින් මතුවිය නොහේ. ඒ වෙනුවට, කඩාවැටීමට අවසන් වශයෙන් වගකිවයුතු හේතු ලෙස නොමග යවන සුලු “සම්භාව්‍ය ලෙනින්වාදී ධර්මයට” බැඳීම, හා ඊටත් වඩා නරක ලෙස “අයථාර්තවත් විප්ලවවාදී අභිලාෂයන්ට නැඹුරුවීම” යයි පවසන ප්‍රකාශ සෝෂලිස්ට් වර්කර් පලකරනු ලැබේ. එහි ආරම්භයේ පටන්ම අයිඑස්ඕහි දේශපාලනයට, ලෙනින්වාදය සමඟ කෙසේ වෙතත් සමාජවාදී විප්ලවය සමගවත් මෙලොව සම්බන්ධයක් නොතිබුනේය යන කාරනය පසෙකින් තිබියදී, එහි නායකත්වය වෙලාගෙන තිබුන දේශපාලන දිරිසුන්කම සාරාංශ ගත කලේ පෝල් ලෙබ්ලෑක් විසිනි. සිය දශක හයක අවස්ථාවාදී දේශපාලන කටයුතු වමාරා කමින් ඔහු කල්පනා කරන්නේ, සංවිධාන “තමන්ට කල හැකි දේට වඩා දේ කිරීමට බලාරොත්තු වීමෙන්” [එනම්, විප්ලවවාදී ලෙස ධනවාදය පෙරලා දැමීම සඳහා කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට වෑයම් කිරීම], “ප්‍රගාඪ ලෙස හානිදායක ප්‍රතිපල ඇතිවීම නොවැලැක්විය හැකිය” යනුවෙනි. ["Reflections on Coherence and Comradeship", posted on SocialistWorker.org, March 27, 2019]

අයිඑස්ඕවේ සුන්බුන් අතරින් “විප්ලවවාදී සමාජවාදයේ නව ආකෘතියක් නැඟී එනු” ඇතැ යි සමහරු පම්පෝරි ගසති. ඔවුහු සොහොනක් පසු කරමින් යන අතරේ (බිය නැතිකර ගැනීමට) හුරුවම් බාති. නව ආකෘතියක් සොයන ඔවුන්ගේ චාරිකාව යනු ඇත්තේ කෙලින්ම ඩිමොක්‍රටික් පක්ෂය කරාය.

අවසාන විග්‍රහයේදී අයිඑස්ඕවේ බිඳ වැටීම පිලිබිඹු කරන්නේ, උත්සන්න වෙමින් ඇති සමාජ අර්බුදය හා පන්ති අරගලයේ ආරම්භක ප්‍රකාශනය, දේශපාලනිකව බංකොලොත් ව්‍යාජ වාම සංවිධාන මත ඇතිකර තිබෙන බලපෑමය. මේ ක්‍රියාවලියේ අවසාන ගොදුර අයිඑස්ඕව නොවනු ඇත. තමන්ගේ කාලයෙහි අවස්ථාවාදී සංවිධාන ගැන ට්‍රොට්ස්කි වරෙක සඳහන් කල පරිදි, “මනුෂ්‍ය වර්ගයා වෙත කඩා වදින දැවැන්ත සිදුවීම්, මෙම යල් පැන ගිය සංවිධානවල එක ගඩොලක් මත තවෙකක් ඉතිරි නොකරනු ඇත.” අයිඑස්ඕ සංවිධානයේ ඉරනමෙන් මෙය තහවුරු වන්නේය.

Share this article: