ලංකාවේ ආන්ඩුවේ අයවැය සහ පාලක පන්තියේ ඒකාධිපති සැලසුම්

2019 අප්‍රේල් 09

පසුගිය සිකුරාදා ලංකාවේ ආන්ඩුවේ අයවැය ලේඛනය, විපක්ෂයේ ව්‍යාජ විරුද්ධත්වය මධ්‍යයේ වැඩි චන්දයෙන් සම්මත විය. ආන්ඩු පක්ෂයද විරුද්ධ පක්ෂ ද ඇතුලු පාලක පන්තියේ සෑම කන්ඩායමක් ම ද අයවැය සම්බන්ධයෙන් ගත් ආස්ථානයන්ගෙන් පෙන්නුම් කලේ කම්කරුවන්ගේ සහ පීඩිත ජනතාවගේ සමාජ හා ජීවන අයිතීන් ගැන ඔවුන් තුල අබමල් රේනුවක් තරම් වත් තැකීමක් නැතිකමත් නැගී එන පන්ති අරගල තලා දැමීමට ඔවුන් තමතමන් ගේ පැත්තෙන් සුදානම් වීමත් ය.

අයවැයෙන් එල්ල කිරීමට නියමිත ප්‍රහාර ගැන හොඳම සාක්ෂිය ලංකාව සම්බන්ධයෙන් පත්කර ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමුඅ) නියෝජිත කන්ඩායමේ ප්‍රධානි මැනුවෙලා ගොරෙට්ටි ඊට අනුමැතිය පල කරමින් දුන් සහතිකයයි. “2019 අයවැයේදී, අනාරක්ෂිතයන් ඤදුප්පත්ම ජනයා%, ආයෝජකයන් සහ ඤආර්ථික% වර්ධනය කෙරෙහි බලපෑම අවම කරමින් නමුත්, ශ්‍රී ලංකාවේ බලධාරීන් අයවැය ස්ථාවරත්වය ඉදිරියට ගෙන යාම සඳහා ප්‍රමානවත් තුලනයක් ඇතිකර තිබේ” යැයි ඇය සඳහන් කලාය.

සරල භාෂාවෙන් සඳහන් කරන්නේ නම් එහි අර්ථය වනුයේ රාජ්‍ය අංශයේ සීමිත වැටුප් වැඩි කිරීමක් සහ සමෘද්ධිලාභින් ගනන ලක්ෂ හයකින් වැඩිකිරීමේ මූනිච්චාවක දවටා රාජ්‍ය වියදම් කප්පාදුව මගින් සමාජ අයිතීන් අතුගා දැමීමත් පුද්ගලිකරනය ඇතුලු ආර්ථික ප්‍රතිසංස්කරනත් සඳහා ආන්ඩුව දිගටම ගන්නා පියවර ගැන ජාමුඅ සැහීමකට පත්වන බවයි.

අයවැයේ දී තමන්ගේ ප්‍රතිගාමී නව-ලිබරල්වාදී දෘෂ්ටිය ඔජවැඩවූ මුදල් ඇමති මංගල සමරවීර ප්‍රකාශ කලේ “මෙම බරපතල අවස්ථාවේ දිවි ගලවා ගැනීමට නම් රටට මුල්‍යමය විනයක් අවශ්‍ය නිසා” ජාමුඅ ප්‍රතිපත්ති අනුව යාම එකම මග බවයි. “ආර්ථික ලිහිල්කරනය” රටට අවශ්‍යම බව කිී ඔහු ඊට එරෙහිව පවත්නා “සමාජවාදය නමැති කොඩිවිනය කුඩුකොට විනාශ කල යුතු බව” සඳහන් කලේය. සමාජ අයිතීන් අතුගා දමමින් දරුනු ශ්‍රම සූරා කෑමේ තිප්පොලවල් බවට පත්කර විදේශ ආයෝජනවලට පාවාඩ එලන බංග්ලාදේශය සහ වියට්නාමය ඔහු උදාහරන ලෙස ගෙන හැර පෑවේය.

විදේශ නය ගෙවීමේ අර්බුදය සමග ආර්ථික වර්ධනයේ පල්ලම් බැසීම එකතුවීමෙන් බැටකන පාලක පන්තියට කම්කරුවන්ගේ හා දුගීන්ගේ සමාජ හා ජිවන අයිතීන් තලා දැමීම හැර වෙනත් විකල්පයක් නැත. ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික නියෝජිත උස්ටාව් කුමාර් ගිය සතියේ සඳහන් කලේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2018 දී 3.2 ක් ව තිබී මේ වසරේ එය යන්තම් 3.6 ට ද ඊලඟ වසරේ 3.8 ද ගාටනු ඇති බවයි. එයද, “රැඳී ඇත්තේ අයවැය වියදම් කපාහැරීමේ ෆිස්කල් සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරන ක්‍රියාවට දැමීම මත ය.”

ලංකාවේ මෙම ව්‍යසනකාරී වර්ධනය ලෝක අර්බුදයේ කොටසක් ලෙස පැන නංවා තිබෙන්නකි. ජාමුඅ ප්‍රධානියා වන ක්‍රිස්ටීන් ලැගාර්ඞ් ලෝක ආර්ථික තත්වය ගැන පසුගිය සතියේ මෙසේ කීවාය: “අවුරුදු දෙකකට පෙර ලෝක ආර්ථිකයේ සියයට 75 ක උද්ගමනයක් අප අත්දැක්කා. මේ අවුරුද්දේ අප දකින්නේ ගෝලීය ආර්ථිකයේ සියයට 70ක මන්දගාමි වීමකි.” ලෝක ආර්ථිකය “අස්ථාවර” කොන්දෙසි තුලට වැටී තිබේ. වහාම ආර්ථික “පසුබැස්මක්” ඇති නොවුනත් තත්වය “අවදානම සහගත” ය.

ගැඹුරුවන ආර්ථික අර්බුදය හා පලල්වන සමාජ අසමානතාව ගෝලීය ආර්ථිකය අලලා ගෙන ඇති තත්වය තුල රටක් රටක් පාසා පාලක පන්තීන් ඊට ප්‍රතිචාර දක්වා ඇත්තේ ඒකාධිපතිත්වයන් කරා මාරුවීමට සහ ෆැසිස්ට්වාදය යලි ඉස්මත්තට ගැනීමට වේගයෙන් හැරීමෙනි. අර්බුද ග්‍රස්ත ධනපති ක්‍රමයට ප්‍රජාතන්ත්‍රවාදය සමග එකට පැවතිය නොහැක.

ප්‍රධාන ධනපති බලයන් ලෝක ආධිපත්‍යය සඳහා දරන ප්‍රයත්නයන්ගෙන් ලෝක යුද්ධයක අනතුර තියුනුවන තතු තුල “නොදියුනු” රටවල පාලක පන්තීන් එම බලයන් සමග පෙලගැසෙමින් සිටිති. ධනවාදයේ කේන්ද්‍රයේ පිහිටා ඇති ඇමරිකා එක්සත් ජනපදය ලෝක යුද ආතතිය අවුලුවන්නා බවට පත්ව ඇත. ඉන්දියාවේ පාලක පන්තිය එරට චීනයට එරෙහි එක්සත් ජනපදයේ මූලෝපායික සහකරුවා කර ඇති අතර ලංකාව වොෂින්ටනය හා නව දිල්ලිය සමග පෙලගැසී ඇත.

තිස් අවුරුදු වර්ගවාදී යුද්ධයේ පටන් ලංකාවේ ආන්ඩු ක්‍රමානුකුලව මිලිටරි-පොලිස් මර්දනය තියුනු කරමින් පැමින දැන් ඍජුවම පොලිස් පාලනයකට මාරුවීම වේගවත් කර ඇත.

පසුගිය සතියේ සබරගමු විශ්වවිද්‍යාල සිසුන්ට එරෙහිව ආන්ඩුව පොලීසිය යොදා කල මුර්ග පහරදීම කිසිදු කම්කරුවක් සිසුවෙක් සරලව නොගත යුතු ය. එය වනාහි සියලු කම්කරුවන්ට එරෙහි අනතුරු සංඥාවකි. ආන්ඩුව දැන් ත්‍රස්ත විරෝධී පනත නමින් පොලිස් රාජ්‍යයක රාමුවක් ලෙස යොදාගත හැකි පනතක් සම්මත කර ගැනීමට යයි.

ආන්ඩුව සමග පවතින මතභේද තිබියදීම, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අයවැයට ප්‍රශංසා කර ඊට මුලුමනින්ම සහයෝගය දුන්නේය. එහෙත්, ඊනියා මත්ද්‍රව්‍ය ඤහා පාතාල% විරෝධී යුද්ධයේ නමින් ත්‍රිවිධ හමුදා නවීන තාක්ෂනයෙන් සන්නද්ධ කර රටපුරා ක්‍රියාන්විතයකට මෙහෙයවමින් සිටින සිරිසේනගේ මූලික නැඹුරුව ඇත්තේ මිලිටරිය මත වාරුවෙමින් හා මධ්‍යම පන්තික කොටස් මෙහෙයවා ගෙන අධිපතිවාදී පාලනයකට කොන්දේසි හදා ගැනීමයි.

එහි කොටසක් ලෙස, යලි ජනාධිපති තරඟයට ඉදිරිපත්වී බලයට ඒම සඳහා සිරිසේන හා ඔහුගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ (ශ්‍රීලනිප) පතුර (මෙම පක්ෂයේ කොටසක් රාජපක්ෂ සමගය) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහු නායකත්වය දෙන ශ්‍රී ලංකා පොදුජන පක්ෂය (ශ්‍රීලංපොප) සමග කැත ගනුදෙනුවකට අර ඇන්දේය. ශ්‍රීලනිපය සිරිසේනට ජනාධිපති අපේක්ෂකත්වය තහවුරු කිරීමට එකඟවන්නේ නම් පමනක් අයවැයට විරුද්ධව චන්දය දෙන බව ප්‍රකාශ කලේය.

ආන්ඩුව වැට්ටවීමට මගක් සෙවීමේ යෙදී සිටි රාජපක්ෂ සහ ශ්‍රීලංපොපය එවැනිම යටිකුට්ටු ගනුදෙනුවක යෙදුනේ ශ්‍රීලනිපය සමග සන්ධානයකට ඒමට දිගටම සාකච්චා ගෙනයාම සිදුකරන්නේ එය අයවැයට විරුද්ධව චන්දය දෙන්නේ නම් පමනක් බවට අනතුරු අඟවමිනි. රාජපක්ෂ සහ සමාගම මිලිටරිය හා සිංහල ස්වෝත්තමවාදී කන්ඩායම් රැලිකර ගනිමින් කම්කරු පන්තියට එරෙහිව ”ශක්තිමත් ආන්ඩුවක්,” එනම් පොලිස් පාලනයක් ඇටවීමට සැලසුම් හදමින් සිටී.

පාලක පන්තියේ මේ කල්ලි පසුගිය ඔක්තෝබර් මාසයේ විවෘත දේශපාලන යුද්ධයක යෙදී සිටියහ. 2015 පිහිටුවූ සිරිසේන ගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ “සමගි ආන්ඩුව” ආන්ඩුව මහජනයා අතර අපකිර්තියට පත්වන තත්වය තුල 2018 පෙබරවාරියේ පැවැත්වූ පලාත්පාලන මැතිවරනයේදී ශ්‍රීලනිපය අන්ත පරාජයකට පත්විය. වැඩකරන ජනතාවගේ නැගී එන අරගල වලට පහර දීමට සූදානම්වීම් වස් සිරිසේන ආන්ඩුවෙන් දුරස්තවී අවසානයේ වික්‍රමසිංහ අගමැතිකමෙන් ඉවත්කර එතනට තමන්ගේ පරම සතුරා ලෙස සැලකුනු රාජපක්ෂ පත් කලේය.

මෙම දේශපාලන කුමන්ත්‍රනය අසාර්ථක විය. වොෂින්ටනය චීනයේ මිතුරෙකු ලෙස සලකන රාජපක්ෂ යලි බලයට ඒමට විරුද්ධවීමත්, ඔහුට මන්ත්‍රීන් වැඩි සංඛ්‍යාවක සහාය ගත නොහැකිවූ තැන සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හැරියද ශ්‍රේෂ්ඨාධිකරනය එම ක්‍රියාව නීති විරෝධී බව ප්‍රකාශයට පත්කිරීමත් නිසා වික්‍රමසිංහ යලි අගමැතිකමට පත් කිරීමට සිදුවිය.

මෙම පාලක පන්තියේ කල්ලි ජාමුඅ කප්පාදු වැඩපිලිවෙලට ඉඳුරාම පක්ෂය. රාජපක්ෂ දැන් බොරුවට ජාමුඅ ගැන මැසිවිලි කීවත් බලයේ සිටි කාලය පුරා ක්‍රියාවට දැමුවේ එම වැඩපිලිවෙලයි. රාජපක්ෂ වොෂින්ටනය සමග එකට වැඩකිරීමට සුදානම් බව යලියලිත් කියා ඇත. කම්කරු පන්තියේ හා දුගීන්ගේ අරගල මැඩලා කප්පාදු පිලිවෙත් ගෙනයාමට “ශක්තිමත්” ආන්ඩුවක් ඇටවීම ගැන මෙම කන්ඩායම් අතර මත භේදයක් නැත. මතභේදය තම කල්ලියේ වරප්‍රසාද රැක ගනිමින් එය කිරීමට සුදුස්සා කවුද යන්න ගැනයි.

දෙමල ජාතික සන්ධානයේ (දෙජාස) මන්ත්‍රීන් අයවැය ලේඛනයට පක්ෂව චන්දය දී ආන්ඩුව පවත්වා ගැනීමේ තම ව්‍යායාමය ඉදිරියට ගෙන ගියේය. දෙජාස දේශපාලනය තීන්දුවී ඇත්තේ අධිරාජ්‍යවාදී මූලෝපායට සේවය කරමින් ධනපති පන්ති පාලනය රැක හොඳම ක්‍රමය කුමක්ද යන්න මතයි.

ධනපති පන්තියේ අන්ඩක් ලෙස ක්‍රියා කරන ජනතා විමුක්ති පෙරමුන අයවැය ගැන විවේචන ඉදිරිපත්කර ඊට විරුද්ධව මෙවර චන්දය දුන්නේය. ඔවුන්ගේ ප්‍රතිපත්ති තීන්දුවී ඇත්තේ දූෂනයෙන් තොරව මනා කලමනාකරනයකින් ප්‍රහාර වලක්වා ගත හැකිය යන මිත්‍යාව මහජනතාව මත පටවා ධනපති ක්‍රමය ආරක්ෂා කිරීමේ දේශපාලනය මතයි. ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෘත්තීය සමිති කිහිපයක් සමග එක්වී අයවැයෙන් කම්කරුවන්ට හා දුගීන්ට සහන ලබාගැනීම සඳහා විරෝධතා සංවිධානය කිරීමට යොමුවිය.

මොනතරම් පලල් විරෝධතා ගොඩනැගුව ද අර්බුදයේ කිඳී යන පාලක පන්තිය වැඩකරන ජනතාවගේ අයිතීන් දීමට පොලඹවා ගැනීමට නො හැකිය.

කම්කරු පන්තිය ඉදිරියේ ඇති විකල්පයන් වන්නේ “ප්‍රතිසංස්කරනයද විප්ලවයද” යන්න නොවේ, එය “විප්ලවයද ප්‍රතිවිප්ලවයද” යන්නයි. ධනපති පද්ධතියේ මරලතෝනිය විසඳාලන්නේ කෙසේද යන්න “ආඥාදායකත්වය, ෆැසිස්ට්වාදය, අධිරාජ්‍යවාදී යුද්ධය සහ ම්ලේච්ඡත්වයට කඩාවැටීමෙන්ද, ජාත්‍යන්තර කම්කරු පන්තිය විප්ලවවාදීව බලය අල්ලාගෙන සමාජවාදී සමාජයකට පරිවර්තනය වීමෙන්ද යන්න තීරනය වනු ඇත්තේ ලෝක පරිමානව පන්ති අරගලයේ ප්‍රතිඵලයක් ලෙසය.” ජාත්‍යන්තර පන්ති අරගලයේ මූලෝපාය සහ 2019 දී ධනපති ප්‍රතිගාමිත්වයට එරෙහි දේශපාලන අරගලය

ගැඹුරුවන අර්බුදය මධ්‍යයේ ආන්ඩුව හා පාලක පන්තියේ කන්ඩායම් දක්ෂිනාංශික උපාමාරු මගින් මූලිකත්වය ගෙන පොලිස් රාජ්‍යයක් කරා යන ගමනට ඉඩදී සිටීමට කම්කරු පන්තියට නොහැකි ය. ජාත්‍යන්තර පන්ති අරගලයේ කොටසක් ලෙස වර්ධනය වන සමාජ ප්‍රතිරෝධය මැඩ තලා දැමීම ඉලක්ක කරගත් මෙම ප්‍රතිගාමී සූදානම් පරාජය කිරීමට කම්කරු පන්තිය තමන්ගේ පැත්තෙන් සුදානම් විය යුතුය. ධනපති පන්තියේ සෑම කන්ඩායමකින්ම ස්වාධීනව ජාත්‍යන්තර පන්ති සගයන් සමග එකමුතුවී සමාජවාදය සඳහා සටන් කිරීමට කම්කරු පන්තිය මූලිකත්වය ගත යුතුයි.

ලංකාව තුල මෙම ඉදිරිදර්ශනයට සටන් කරන්නේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂයයි.

කේ.රත්නායක විසිනි

Share this article: