ශ්‍රී ලංකාවේ සසප හා සසජාතශි අසාන්ජ් හා මෑනිං ආරක්ෂා කිරීමට රැලියක් පවත්වයි

SEP and IYSSE in Sri Lanka rally to defend Assange and Manning

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 අප්‍රේල් 17

ජූලියන් අසාන්ජ් හා චෙල්සී මෑනිං නිදහස් කරන ලෙස ඉල්ලන බලගතු විරෝධතාවක් හා රැලියක් සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ විසින් අප්‍රේල් 16දා කොලඹ දී පවත්වනු ලැබී ය.

කම්කරුවන්, තරුනයන් හා ගෘහනීන් ඇතුලු 100ක් පමන කොලඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවති පිකට් උද්ඝෝෂනයට සහභාගි වූ හ. යුද්ධයෙන් විනාශ වී ගිය උතුරේ යාපනයේ සිට සසප සාමාජික කන්ඩායමක් කිලෝමීටර 400ක් පමන ගෙවා රැලියට සහභාගි වීමට පැමිනි අතර මධ්‍යම කඳුකරයේ වතුකාරයෙන් ද කම්කරුවෝ කිහිප දෙනෙක් පැමිනිය හ.

විරෝධතාවෙන් කොටසක්

එය පවත්වනු ලැබුවේ පසුගිය අප්‍රේල් 11දා බ්‍රිතාන්‍ය පොලීසිය විසින් අසාන්ජ් අත්අඩංගුවට ගැනීමෙන් පසුව සමාජවාදී සමානතා පක්ෂ හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) විසින් ලොව පුරා පවත්වනු ලබන විරෝධාතවන්ගෙන් එකක් වසයෙනි. විකිලීක්ස් ප්‍රකාශකයා ව්‍යාජ චෝදනා මත එක්සත් ජනපදය වෙත උදර්පනය කරනු ලැබීමට මුහුන දී සිටී.

“ජූලියන් අසාන්ජ් නිදහස් කරනු, චෙල්සී මෑනිං නිදහස් කරනු,” “භාෂනයේ නිදහස ආරක්ෂා කරනු, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරනු” හා “අන්තර්ජාල වාරනය ඉවත් කරනු, ලෝක යුද්ධය එපා, ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් කරනු” ආදී සටන් පාඨ විරෝධතාකරුවන් විසින් උද්‍යෝගයෙන් යුතු ව සිංහල හා දෙමල භාෂාවලින් හඬනගන ලදී. සිද්ධිය නැරඹූ හෝ ඒ අවස්ථාවේ දුම්රිය ස්ථානය අසලින් ගිය අයට ලෝසවෙඅ අප්‍රේල් 12 ඉදිරිදර්ශන ලිපිය වන “ජූලියන් අසාන්ජ් නිදහස් කරනු” ලිපියේ පිටපත් සිය ගනනක් බෙදා හරිනු ලැබී ය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන දෛනික දෙමල භාෂා පුවත්පත වන වීරකේසරී, අයිබීසී රේඩියෝ, ඩෑන් ටීවී, කැපිටල් එෆ්එම් හා madhyavadiya.lkයන මාධ්‍යයන් සිද්ධිය ආවරනය කලේ ය.

කේ. රත්නායක

විරෝධතාවෙන් පසුව මිනිත්තු 45ක් පමන පැවති රැලිය අමතා ශ්‍රී ලංකාවේ ලෝසවෙඅ ජාතික කර්තෘ කේ. රත්නායක කතා කලේ ය. බ්‍රිතාන්‍ය පොලීසිය විසින් අසාන්ජ් අත්අඩංගුවට ගැනීම සහ ඉක්වදෝර තානාපති කාර්යාලයෙන් ඔහු නීති-විරෝධී ලෙස ඉවත් කිරීම ද කැරලිකාරීත්වය හා ජාතික ආරක්ෂාව උවදුරේ හෙලීම පිලිබඳ චෝදනාවන්ට ඔහු ලක්විය හැකි එක්සත් ජනපදය වෙත උදර්පනය කිරීමේ පියවරයන් ද වටා තිබෙන හේතූන් රත්නායක විස්තර කලේ ය.

“අධිරාජ්‍ය-ගැති ඉක්වදෝර ජනාධිපති ලෙනින් මොරේනෝගේ සහයෝගය ද සහිතව වොෂින්ටනය හා බ්‍රිතාන්‍යය විසින් අසාන්ජ් ව දඩයම් කිරීමට ඔහු කර ඇති අපරාධය කුමක් ද?”

“ඔහු කල ඊනියා අපාරාධය වන්නේ ඉරාකය හා ඇෆ්ගනිස්තානය තුල සිදු කල යෝධ යුද අපරාධ හෙලිදරවු කරමින් හිටපු එක්සත් ජනපද මිලිටරි ඔත්තු සේවා විශ්ලේෂිකා චෙල්සී මෑනිං විසින් එලියට අනාවරනය කල වාර්තා පලකිරීම යි. ඉරාකය හා ඇෆ්ගනිස්තානය තුල නව විජිතවාදී කොල්ලකාරී යුද්ධවල දී එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අපරාධ හෙලිදරවු කිරීම ජාත්‍යන්තර කම්කරු පන්තියට කල මහඟු සේවයක්.

“ආධිපත්‍යය පතා කරන නව යුද්ධ සඳහා සූදානම් වෙමින්, වොෂින්ටනයේ පැරනි අපරාධකාරී ක්‍රියා ආවරනය කිරීම, භාෂනයේ හා ප්‍රකාශනයේ නිදහසට ප්‍රහාර එල්ල කිරීම හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මැඩීම ට්‍රම්ප් පරිපාලනයට අවශ්‍ය යි.”

මාධ්‍ය වෙත කතා කරන සසප දේශපාලන කමිටු සාමාජික එම්. දේවරාජා

අසාන්ජ් අත්අඩංගුවට ගැනීම හා මාධ්‍ය නිදහස මත එල්ල කරන ප්‍රහාර පිලිබඳ ව ශ්‍රී ලංකාවේ ප්‍රධාන මාධ්‍ය සම්පූර්න මුනිවත රැකීම රත්නායක විසින් හෙලාදැක්කේ ය. ශ්‍රී ලංකාවේ සමහර මාධ්‍ය විසින් පලකර ඇති කෙටි වාර්තා අසාන්ජ් හා මෑනිංට හතුරු බව ඔහු පෙන්වා දුන්නේ ය.

“පෙරටුගාමී සමාජවාදී පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය හා නව සම සමාජ පක්ෂය වැනි ශ්‍රී ලංකවේ ව්‍යාජ-වාම කන්ඩායම්වලට ද ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත එල්ල කරන මෙම රුදුරු ප්‍රහාරය ගැන කීමට දෙයක් ඇත්තේ නැහැ. අසාන්ජ් හා මෑනිං සිරගත කිරීම ගැන ඔවුන්ගේ මාධ්‍යයන් තුල වචනයක් වත් නැහැ” යි රත්නායක කීවේ ය.

“අනෙකුත් අර්ධ-විජිත රටවල පාලක පන්තීන් මෙන් ම, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහගේ සිට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ දක්වා ශ්‍රී ලංකාවේ පාලක පන්තියේ සෑම කොටසක් ම, තම අධිරාජ්‍යවාදී හාම්පුතුන්ගේ මෙම ප්‍රහාරය, ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මත ප්‍රහාරය තීව්‍ර කිරීමට ලැබුනු වරපත්‍රයක් ලෙස යොදාගනු ඇත.

කපිල ප්‍රනාන්දු

අසාන්ජ් හා මෑනිං අධිරාජ්‍යවාදී අපරාධ හෙලිදරවු කිරීම නිසා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අගයන කම්කරුවන්, තරුනයන් හා අනෙකුත් අය අතරින් ඉමහත් ගෞරවයක් දිනාගෙන ඇති බව සසජාතශී කැඳවුම්කාර කපිල ප්‍රනාන්දු කීවේ ය.

“අසාන්ජ් පසුගිය වසර හත පුරා ලන්ඩනයේ ඉක්වදෝර තානාපති කාර්යාලයේ සිර වී සිටියා. එම කාලය තුල යෝධ වෙනස්කම් සිදු වී තිබෙනවා. සෑම රටක ම කම්කරු පන්තිය, ඉහල යන සමාජ අසමානතාවට හා කප්පාදු පියවරයන්ට එරෙහි ව තමන්ගේ අයිතීන් ආරක්ෂා කරගැනීමට ඉදිරියට පැමින තිබෙනවා” යි ප්‍රනාන්දු කීවේ ය.

“අසාන්ජ් අත්අඩංගුවට ගත් සන්දර්භය මෙය යි. ඔහු ව සිරගත කිරීම, සමස්තයක් ලෙස කම්කරු පන්තිය වෙත එල්ල කල ප්‍රහාරයක් වන අතර, ඇමරිකානු අධිරාජ්‍යවාදය ලෝක යුද්ධයක් දෙසට යන ධාවනයත් සමග බැඳී තිබෙනවා” යි ඔහු කීවේ ය.

උතුරෙන් හා වතුකරයෙන් පැමිනි සසප සාමාජිකයන් හා ආධාරකරුවන්

අසාන්ජ් හා මෑනිං නිදහස් කරගැනීමේ අරගලය, කම්කරු පන්තිය ස්වාධීන ව බලමුලුගැන්වීමේ සටන හරහා සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගයක පදනම මත ගෙන යා යුතු ව තිබෙන බව ඔහු තවදුරටත් කීවේ ය.

රැලියෙන් පසුව නිදහස් ඡායාරූප ශිල්පී සුනිල් හරිස්චන්ද්‍ර, අසාන්ජ් හා මෑනිං නිදහස් කරගැනීමේ සටනට තමන් සහයෝගය දෙන බව ලෝසවෙඅ වෙත කීවේ ය.

සුනිල් හරිස්චන්ද්‍ර

“ජූලියන් අසාන්ජ් හා චෙල්සී මෑනිංගෙන් ආදර්ශයක් සැකසීමට උත්සාහ කරන ලෝක අධිරාජ්‍යවාදය, ඔවුන් යුද අපරාධ හෙලිදරවු කර ඇති නිසා ඔවුන්ගේ ජීවිත මහා අනතුරකට හෙලමින් තිබෙනවා.

“ඔවුන් පන්තියේ යුද්ධයේ ගොදරු වන අතර, මෙය නිශ්චය කිරීමට එක්සත් ජනපද හා අනෙකුත් අධිරාජ්‍යවාදීන්ට ඉඩ දිය නො හැකි යි” යි ඔහු වැඩිදුරටත් කීවේ ය. “ඔවුන්ගේ ඉරනම ලෝක නිර්ධන පන්තියට තීරනාත්මකයි. අපි ඔවුන්ට නිදහස ඉල්ලා සිටිය යුතු යි.”

කලාකරුවෙක් වන ලොහාන් ගුනවීර: “අධිරාජ්‍යවාදී රටවල් යුද්ධය සඳහා ඉහලින් ම සූදානම් වෙනවා. අසාන්ජ් අත්අඩංගුවට ගැනීම හා මෑනිං සිරගත කිරීම මගින් මෙය පෙන්වා දෙනවා. අධිරාජ්‍යවාදී යුද සූදානමටත් අසාන්ජ් හා මෑනිං සිරගත කිරීමටත් විරුද්ධ සටනේ පෙරමුන ගෙන සිටින්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය යි.

“අසාන්ජ් හා මෑනිංට එරෙහි බොරු නඩු ඉදිරියට ගියහොත් සියලු ජනමාධ්‍යවේදීන්, කලාකරුවන් හා අධිරාජ්‍යවාදයට විරුද්ධ සියල්ලන් දඩයමට ලක්වනු ඇති. මෙම ප්‍රහාර පරාජය කල යුතු යි” යි ඔහු කීවේ ය.

Share this article: