යුද අපරාධ විමර්ශනය කිරීමේ ශ්‍රී ලංකාවේ අසමර්ථභාවය යූඑන්එච්ආර්සී ය නො තකා හරී

UNHRC ignores Sri Lanka’s failure to investigate war crimes

ප්‍රදීප් රාමනායක විසිනි, 2019 අප්‍රේල් 3

“සංක්‍රාමීය සාධාරනත්වය හා වගවීම” පිලිබඳ ව කොලඹ ආන්ඩුව ඉටු නො කල පොරොන්දු හෙවත් බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි දශක තුනක කුරිරු යුද්ධයට සම්බන්ධ යුද අපරාධ විමර්ශනය ක්‍රියාත්මක කිරීම සඳහා එයට තවත් වසර දෙකක් ලබාදෙමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (යූඑන්එච්ආර්සී) පසුගිය මාසයේ පැවති එහි 40 වන සැසියේ දී නව යෝජනාවක් සම්මත කලේ ය.

මාර්තු 21දා ඉදිරිපත් කල “ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම්” නමැති යෝජනාව, එක්සත් රාජධානිය විසින් ආරම්භකත්වය ගෙන ශ්‍රී ලංකාවේ සම අනුග්‍රහය ඇතිව ඉදිරිපත් කලේ වොෂින්ටනයේ කලාපීය මූලෝපායික සගයා වන ඉන්දියාව විසින් තිරයෙන් පිටුපස සිට සිදුකල සාකච්ඡාවන් ද සමගිනි.

මානව හිමිකම් ආරක්ෂා කිරීම, මිලිටරිය වාඩිලා ගත් ඉඩම් සිවිල් වැසියන් වෙත නිදහස් කිරීම සඳහා කැපවීම හා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) අවලංගු කිරීම දෙසට ශ්‍රී ලංකාවේ ආන්ඩුව ගත් “ධනාත්මක පියවරයන්” යෝජනාව මගින් අගය කෙරුනි.

“ධනාත්මක පියවරයන්” වනාහි ප්‍රබන්ධයකි. යුද්ධය අවසන් වීමෙන් වසර දහයක් ගත ව ඇතත් රටේ උතුරු හා නැගෙනහිර පලාත් මිලිටරි වාඩිලාගැනීම යටතේ පවතී. ඉඩම් සමහරක් ආපසු සිවිල් වැසියන්ට ලබා දී ඇතත් විස්තර රහිත “ආරක්ෂක හේතු” ගෙනහැර දක්වමින් අල්ලා ගත් සියලු ඉඩම් නිදහස් කිරීම මිලිටරිය විසින් ප්‍රතික්ෂේප කර ඇත. පීටීඒ පනත අවලංගු කිරීම සැලකූ කල, එම මර්දනීය නීතිය ඒ හා සමාන ව රුදුරු ප්‍රති-ත්‍රස්ත පනත මගින් විස්ථාපනය කිරීමට කොලඹ ආන්ඩුව සැලසුම් කරයි.

එල්ටීටීඊයට එරෙහි ව 1983 දී ආරම්භ වූ යුද්ධය, කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදීම ඉලක්ක කරගෙන 1948 නාමික නිදහසේ පටන් දිවයිනේ දෙමල සුලුතරයට එරෙහි ව කොලඹ පාලක ප්‍රභූව විසින් සිදුකල ක්‍රමානුකූල වෙනස්කම් කිරීම්වල කූටප්‍රාප්තිය යි.

එල්ටීටීඊය සමූල ඝාතනයට ලක්කරමින් 2009 මැයි මාසයේ යුද්ධය අවසන් වූ අතර එක්සත් ජාතීන්ගේ වාර්තාවන්ට අනුව ගැටුමේ අවසන් මාසවල දී සිවිල් වැසියන් 40,000කට වඩා ඝාතනය කෙරුනි. අනෙකුත් චෝදනාවන් අතරට දෙමල වැසියන් දහස් ගනනක් අතුරුදහන් කිරීම හා වධ බන්ධනවලට බඳුන් කිරීම අයත් වේ. මිලිටරියේ දේශපාලනික සහයෝගය මත බොහෝ සෙයින් රඳා සිටින අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු, මෙම අපරාධ පිලිබඳ කිසිදු විමර්ශනයක් සිදුකිරීම වැලැක්වීමට මංමුලා සහගත ව උත්සාහ දරා ඇත.

යුද්ධය අවසන් වීමෙන් පසුව, ලොව විශාලතම මානව හිමිකම් උල්ලංඝනය කරන්නා වන වොෂින්ටනය, ශ්‍රී ලංකාවට එරෙහි ව මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිලිබඳ එක්සත් ජාතීන්ගේ යෝජනා ආරම්භ කලේ ය. එහි උත්සුකයන්ට ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සමග කිසිදු සම්බන්ධයක් නො වූ අතර, එයට උවමනා වූයේ බීජිනයෙන් ආයුධ මිල දී ගෙන එය සමග සමීප ආර්ථික සබඳතා ගොඩනගා ගත් ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මත දේශපාලන පීඩනය යෙදීම යි. චීනය හුදකලා කිරීමේ උත්සාහයන්ගේ කොටසක් ලෙස, ශ්‍රී ලංකාව බීජිනය සමග ගෙන යන සබඳතා අවසන් කොට වොෂින්ටනයේ භූ-මූලෝපායික සැලසුම් සමග පෙලගැසීම එක්සත් ජනපදයට අවශ්‍ය විය.

මෙම ඉල්ලීම්වලට රාජපක්ෂ ප්‍රතිරෝධය දැක්වීමෙන් අනතුරු ව, 2015 ජනවාරි ජනාධිපතිවරනයේ දී මෛත්‍රීපාල සිරිසේන බලයට ගෙන ආ තන්ත්‍ර-මාරු මෙහෙයුමකට වොෂින්ටනය අනුග්‍රහය දැක්වී ය. එම මෙහෙයුමේ ප්‍රධාන ආධාරකරුවන් වූයේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග යි.

සිරිසේන හා වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ විදෙස් පිලිවෙත වොෂින්ටනය හා නව දිල්ලිය වෙත මාරු කිරීමෙන් පසු එක්සත් ජනපදය 2015 ඔක්තෝබරයේ දී යූඑන්එච්ආර්සීය වෙත තවත් යෝජනාවක් ගෙනාවේ ය. මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිලිබඳ ව ජාත්‍යන්තර විමර්ශනයක් සඳහා වූ කැඳවුම ඉවත ලූ එය, ජාත්‍යන්තර අධීක්ෂනය යටතේ “අභ්‍යන්තර අධිකරන යාන්ත්‍රනයක්” වෙනුවෙන් කැඳවුම් කලේ ය. 2017 මාර්තුවේ දී වොෂින්ටනය මෙම නියෝග ක්‍රියාත්මක කිරීමේ කාල සීමාව තවත් වසර දෙකකින් දිගු කලේ ය.

ඊස්රායලය පිලිබඳ ව යූඑව්එච්ආර්සී ය කල සීමිත විවේචන හේතුවෙන් 2018 ජුනි මාසයේ දී ට්‍රම්ප් පරිපාලනය එයින් ඉවත් වූ විට, ඉන්දියාවේ ද අනුදැනුම සහිත ව පසුගිය මාසයේ යෝජනාව ඉදිරිපත් කිරීමට ආරම්භකත්වය ගත්තේ එක්සත් රාජධානිය යි.

ඉන්දියානු වෙබ් අඩවියක් වන ද වයර් හි පලවූ ලිපියක්, “යෝජනාව ලේඛනගත කිරීමේ ‘සෑම අවධියක දී ම’ නව දිල්ලිය දැනුවත් කරනු ලැබූ” බව වාර්තා කලේ ය. “වඩාත් ම මෑත දී සිරිසේන හා වික්‍රමසිංහ අතර හටගත් ව්‍යාකූල දේශපාලන ඉතිහාසය හා ‘සංයුක්ත සබඳතා’ ” පිලිබඳ ව උත්සුකතාවන් පැවති බව එය සඳහන් කලේ ය.

නම් සඳහන් නො කල ඉන්දීය ආන්ඩුවේ නිලධාරියෙක් මෙසේ කීවේ ය: “ආන්ඩුවට විවේකයක් අවශ්‍ය බව හැඟී ගිය” අතර “කිසිදු තදබල බාධක පැටවීමක්” නො කිරීමට තීන්දු කලේ ය. වෙනත් වචනවලින් කියතොත්, යුද අපරාධ හා අනෙකුත් විෂමාචාර ගැන විමර්ශනය කිරීම අරබයා කොලඹ මත පීඩනය නො යෙදිය යුතු ය.

“ව්‍යාකූල දේශපාලන ඉතිහාසය” යන්න පසුගිය ඔක්තෝබරයේ වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කොට රාජපක්ෂ එම තනතුරට පත්කිරීමට සිරිසේන දැරූ අසාර්ථක වූ කුමන්ත්‍රනය පිලිබඳ සැඳහුමකි. රාජපක්ෂ තවමත් චීන-හිතවාදී යයි සලකන එක්සත් ජනපදය හා ඉන්දියාව විසින් එම දේශපාලන උපාමාරු ප්‍රතික්ෂේප කල හ.

පාර්ලිමේන්තු මන්ත්‍රී බහුතරයක් ලබාගැනීමට රාජපක්ෂ අසමත් වූ විට සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ ය. වික්‍රමසිංහ යලි අගමැති ධුරයට පත්කිරීමට බලකරමින් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරනය සිරිසේනගේ ක්‍රියා ව්‍යවස්ථා-විරෝධී යයි ප්‍රකාශයට පත්කලේ ය.

එහෙත්, රටෙහි වැඩෙන ආර්ථික අර්බුදය, ජාමූඅ කප්පාදු නියෝග සහ කම්කරුවන්ගේ වැඩෙන වැඩ වර්ජන, ශිෂ්‍ය විරෝධතා හා ගම්බද දුගීන් අතර පවතින අතෘප්තිය සමග හොඳින් ම ගනුදෙනු කරන්නේ කෙසේදැයි යන්න අරබයා පාලක ප්‍රභූව සටන් වදිද්දී කන්ඩායමික යුද්ධය දිගට ම පවතී. වැඩෙන ආන්ඩු-විරෝධී අතෘප්තිය සමග ගනුදෙනු කිරීමට පාලක පන්තියේ සෑම කොටසක් ම ආඥාදායක පාලන ක්‍රම සූදානම් කරමින් සිටිති.

එජාපයේ ඊනියා “සමගි ආන්ඩුවට” ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තම කන්ඩායම දෙන සහයෝගය ඉවත් කරගෙන ඇති සිරිසේන, රාජපක්ෂ නායකත්වය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලපොපෙ) අනුමැතිය ද සහිත ව මේ වසර අග දී යලිත් ජනාධිපති ධුරයට පත්වීමට උත්සාහ කරමින් සිටී.

යුද සමය තුල සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිලිබඳ විමර්ශනයක් සඳහා කලින් දුන් සහයෝගය ආපසු හරවමින් හා මිලිටරියට එරෙහි යුද අපරාධ චෝදනා විවෘත ප්‍රතික්ෂේප කරමින් මිලිටරියේ හා සිංහල ස්වෝත්තමවාදී සංවිධානවල පිටුබලය දිනාගැනීමේ උත්සාහයන් ද සිරිසේන විසින් තීව්‍ර කර ඇත. පසුගිය මාසයේ සිරිසේන නරුම ලෙස කියා සිටියේ නවතම යූඑන්එච්ආර්සී යෝජනාව පිලිබඳ ව දැන නො සිටි බවත් එය ප්‍රතික්ෂේප කල බවත් ය.

බලයට ඒමට දරන උත්සාහයේ දී රාජපක්ෂ හා ඔහුගේ ආධාරකරුවන් අන්ත දක්ෂිනාංශික ව්‍යාපාරයක් ගොඩනගමින් සිටින්නේ මිලිටරියට, සිංහල අධිපතිවාදී කන්ඩායම්වලට හා ගතානුගතික බෞද්ධ සංස්ථාපිතයට ආයාචනා කරමිනි. යුද අපරාධ විමර්ශනයකට එකඟ වීම මගින් ආරක්ෂක හමුදා “පාවාදී” ඇතැයි ආන්ඩුවට චෝදනා කර ඇති රාජපක්ෂ, කම්කරු පන්තිය බෙදීමට දෙමල-විරෝධී මනෝගතිය අවුලුවාලමින් සිටී. එක්සත් ජනපදය හා එහි සගයන් සමග වැඩකිරීමට තමන් සූදානම් යයි ඒත්තු ගැන්වීමට ද රාජපක්ෂ කන්ඩායම උත්සාහ දරයි.

පරාජය වීමට සූදානම් නැති එජාපය නායකත්වය දෙන ආන්ඩුව යුද අපරාධවලට සුදු හුනු ගෑමේ උත්සාහයේ දිගට ම නිරත වෙයි. ජිනීවා නියෝජිත කන්ඩායමට නායකත්වය දුන් ශ්‍රී ලංකා විදේශ ඇමති තිලක් මාරපන, යුද්ධයේ අවසන් අදියරවල දී සිදු වූ මරන සංඛ්‍යාව “අතිශයෝක්තියට” නංවා ඇති බවත් විමර්ශන පිලිබඳ ව අවධාරනය කිරීම අසාධාරන බවත් කියා සිටී.

නවතම යූඑන්එච්ආර්සී යෝජනාව, පසුගිය වසර හතර තිස්සේ ශ්‍රී ලංකාව සමග ගොඩනගා ගත් සමීප මිලිටරි හා දේශපාලන සබඳතා අස්ථාවර නො කරන ලෙස සිරිසේන හා රාජපක්ෂ යන දෙදෙනාට ම වොෂින්ටනය හා නව දිල්ලිය විසින් දුන් දේශපාලන අනතුරු ඇඟවීමකි.

පසුගිය මාසයේ යූඑන්එච්ආර්සී යෝජනාවේ ප්‍රතිඵලය දෙමල ධනපති පක්ෂවල ප්‍රතිගාමී දේශපාලනය ද හෙලිදරවු කර ඇත. දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) 2015 දී රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත් කල තන්ත්‍ර-මාරු මෙහෙයුමට පිටුබලය දුන්නේ, ජාත්‍යන්තර බලයන්ගේ ආධාරය සහිත ව දෙමල ජනයාට ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරක්ෂිත කරගත හැකි යයි කියාපාමිනි.

මාර්තු 22දා පාර්ලිමේන්තුව අමතමින් ටීඑන්ඒ නායක එම්. ඒ. සුමන්දිරන් යූඑන්එච්ආර්සී යෝජනාවට පිටුබලය දුන්නේ ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ට දී ඇති පොරොන්දු කඩ කලහොත් ජාත්‍යන්තර අපරාධ අධිකරනයට යොමු කිරීමට තම සංවිධානය පියවර ගන්නා බව වාචාල ලෙස ප්‍රකාශ කරමිනි.

හිටපු ටීඑන්ඒ නායකයෙකු ද වන උතුරු පලාත් සභාවේ හිටපු මහ ඇමති සී. වී. විග්නේස්වරන් හා අනෙකුත් දේශපාලන කන්ඩායම් කිහිපයක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ ට ලිවූහ. “සංක්‍රාමික සාධාරනත්වය හා වගවීම” සමග එකඟ වීමට කොලඹ ආන්ඩුවට දෙන කාල රාමුව දිගු නො කරන ලෙසත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ඍජු ව අධීක්ෂනය කරන ලෙසත් ඔවුහු ඇය ව උනන්දු කල හ.

ඔවුන්ගේ උපායාත්මක වෙනස්කම් නො තකා සියලු දෙමල පක්ෂ උත්සාහ දරන්නේ අධිරාජ්‍යවාදී බලයන්ට සේවය කිරීම මගින් දෙමල ප්‍රභූවේ වරප්‍රසාද ආරක්ෂා කරගැනීමට යි. උතුරේ හා නැගෙනහිරේ දෙමල කම්කරුවන් හා දුගීන් අතර වැඩෙන අතෘප්තිය හා දිවයිනේ දකුනෙහි ඔවුන්ගේ සහකරුවන් සමග ඒකාබද්ධ ක්‍රියාවක අනතුර පිලිබඳ ව මෙම සංවිධාන බියපත්ව සිටිති.

ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූවේ යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හෙලිදරවු කිරීම දෙමල හා සිංහල යන සමස්ත කම්කරු පන්තියේ උත්සුකය යි. එහෙත් මෙම අපරාධ පිලිබඳ වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම හා සියලු ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කිරීම සුරක්ෂිත කරගත හැක්කේ දකුනු ආසියානු සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා වන සමස්ත කම්කරු පන්තියේ ඒකාබද්ධ විප්ලවවාදී ව්‍යාපාරයක් හරහා පමනි. සමාජවාදී සමානතා පක්ෂය සටන් වදින ඉදිරිදර්ශනය මෙය යි.

Share this article: