ඇප මත නිදහස් කෙරුනු ලේඛක ශක්තික සත්කුමාර ලෝසවෙඅ සමග කතා කරයි

පානි විජේසිරිවර්ධන විසිනි, 2019 අගෝස්තු 20

අප්‍රේල් 1 දා අත්අඩංගුවට ගන්නා ලද ලේඛක ශක්තික සත්කුමාර, මාස හතරකට අධික කාලයක් බන්ධනාගාරගත කර තැබීමෙන් පසු අගෝස්තු 8 දා ඇපමත නිදහස් කරනු ලැබී ය. තමාගේ මුහුනුපොත් ගිනුම තුල පලකරනු ලැබූ “අර්ධ” නමැති කෙටිකතාවෙන්, බුද්ධාගමට අපහාස කරන බවට හා බුදුන්ගේ ජීවිතය විකෘති කරන බවට, බෞද්ධ අන්තවාදී කන්ඩායමක් හා බෞද්ධ භික්ෂුවක් මගින් පොල්ගහවෙල පොලීසියට කරන ලද පැමිනිල්ලක් මත ඔහු අත්අඩංගුවට ගැනින.

රුපියල් 100,000 ක මුදල් ඇපයක්, රුපියල් 200,000 ශරීර ඇප දෙකක් හා සෑම මසක ම දෙවන හා හතරවන ඉරිදා පොල්ගහවෙල පොලීසිය හමුවේ පෙනී සිටිය යුතු ය දරුනු ඇප කොන්දේසි සත්කුමාරට පනවා ඇත.

සමාජවාදී සමානතා පක්ෂය (සසප), ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) මුල් කරගෙන සත්කුමාර අත්අඩංගුවට ගත් තැන් පටන් ම ඔහුගේ නිදහස සඳහා උද්ඝෝෂනයක් ගෙන ගියේ ය. කලාකරුවන්, හිතන මතන කම්කරුවන් සහ බුද්ධිමතුන්ගේ සහය ගොනුකර ගැනීමට එම උද්ඝෝෂනය සමත් විය.

සත්කුමාර ට එරෙහි දඩයටම විරෝධය පල කරමින් කලාකරුවන් ගනනාවක්ම ලබාදුන් විරෝධතා ප්‍රකාශ ලෝසවෙඅ හි පලවිය. සත්කුමාර කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස ඉල්ලමින් ජූනි 17 දා කොලඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිටදී සසප පැවැත්වූ ප්‍රබල උද්ඝෝෂනයට, පක්ෂ සාමාජිකයන්, ආධාරකරුවන් සහ කලාකරුවන් සැලකියයුතු පිරිසක් සහභාගි වූහ. මීට අමතරව, සත්කුමාර නිදහස්කර ගැනීමේ අධිකරන ක්‍රියාවලිය තුල ද සසප ප්‍රමුඛ භූමිකාවක් ඉටු කිරීමට සසප සමත් විය.

ප්‍රකාශනයේ නිදහස ඇතුලූ කලාවට එල්ල කෙරී ඇති බිහිසුනු ප්‍රහාර පරාජය කිරීම සඳහා, ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනයක් මත පුලුල් මහජන ව්‍යාපාරයක් ගොඩනැංවීමේ අත්‍යවශ්‍යභාවය පැහැදිලි කරමින් සසප, ජූනි 24 දා, ලෝසවෙඅ හරහා විශේෂ ප්‍රකාශයක් නිකුත් කලේය. එහි ප්‍රතිඵලයක් ලෙස, අගෝස්තු 9 දා, කලාකරුවන්, ශිෂ්‍යයන් සහ තරුනයන් ඇතුලු 40 ක පමන කන්ඩායමක් එක්ව, “කලාවේ සහ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව" පිහිටවනු ලැබූ අතර එය මෙම මූලධර්මාත්මක උද්ඝෝෂනයේ වැදගත් සන්ධිස්ථානයක් විය.

ඇප ලබාගැනීමෙන් පසු සත්කුමාර ඔහුගේ බිරිඳ යනුෂා ලක්මාලි ද සමග, සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස් හා අනෙකුත් සසප සාමාජිකයන් හමුවීමට පැමිනි අවස්ථාව

බන්ධනාගාරයෙන් නිදහස් වීමෙන් පසු, සත්කුමාර ඔහුගේ බිරිඳ යනුෂා ලක්මාලි ද සමග, සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස් හා අනෙකුත් සසප සාමාජිකයන් හමුවීමට පැමිනියේ, ඔහුගේ නිදහස වෙනුවෙන් සසප, ලෝසවෙඅ හරහා දියත් කල උද්ඝෝෂනය සඳහා ස්තුතිය පලකිරීමට යි.

සත්කුමාර එම හමුවේදී, තමා නිදහස් කර ගැනීම සඳහා දියත්වූ අරගලය සම්බන්ධයෙන්, ලෝසවෙඅ සමග සම්මුඛ සාකච්ඡාවක නිරත විය. ලෝසවෙඅ ලේඛක පානි විජේසිරිවර්ධන සමග පැවති මෙම සම්මුඛ සාකච්ඡාව පහත පල වේ.

පානි විජේසිරිවර්ධන: බන්ධනාගාරයේ සිටිය දී ඔබට මුහුන පෑමට සිදු වූ තත්ත්වය කෙබඳු ද?

ශක්තික සත්කුමාර: බන්ධනාගාරයේ දී විවිධ දුෂ්කරතාවන්ට මුහුන පෑවා. උදාහරනයක් ලෙස, බන්ධනාගාරයේ රැඳැවියන් 850 ක් පමන සිටියා. රැඳැවියන් සියලූ දෙනාට ම තිබුනේ වැසිකිලි හයක් හා නාන කරාම අටක් පමන යි. 850 දෙනා ම පැය දෙකක් ඇතුලත වැසිකිලි ගොස් අවසන් කල යුතු අතර, පැයක් ඇතුලත නෑම අවසන් කල යුතු යි. බෞද්ධ සංස්ථාපිතය සහ සිංහල-බෞද්ධ වර්ගවාදීන් මට එරෙහිව විසඝෝර උද්ඝෝෂනයන් ගෙන ගියද, රැඳැවියන්ගෙන් මට හිරිහැරයක් වුනේ නැහැ. ඒ වගේ ම, අප්‍රේල් 21 බෝම්බ පිපිරීම නිසා මගේ ප්‍රශ්නය කෙරෙහි වැඩි අවධානයක් යොමු වුනේ නැහැ. සඳහන් කල යුතු අනෙක් දේ තමයි සිංහල අන්තවාදී ප්‍රහාරයේ ඉලක්කයක් බවට පත්වුන කුරුනෑගල රෝහලේ වෛද්‍ය සාෆි හිටියෙත් මා සමග කියන එක.

පා.වි: වෛද්‍ය සාෆි සමග ඔබට කතා කිරීමට අවස්ථාවක් ලැබුන ද?

ශ.ස: ඔව්, අපි දෙන්න ම සිංහල-බෞද්ධ අන්තවාදයේ ගොදුරු බව අපි කතා කලා. සාෆි සම්බන්ධයෙන් ගත්ත ම මුලූමනින් ම මාධ්‍යවලින් අරන් ගිය උද්ඝෝෂනයේ ගොදුරක් බවට යි ඔහු පත්වෙලා තිබුනෙ.

පා.වි: නැවත රැකියාවට ගිය පසු මුහුන දීමට සිදු වූ තත්ත්වය කුමක් ද?

ශ.ස: මාව දැනට අනිවාර්ය නිවාඩු යවලයි තියෙන්නෙ. අනිවාර්ය නිවාඩු යැවීමේ ලිපිය ගෙදරට ලැබුනෙ ඇප නියම වුනාට පස්සෙ අගෝස්තු 6 වෙනිද. ඒත් ලියුමෙ දිනය තියෙන්නෙ අගෝස්තු 7 වෙනිද.

පා.වි: ඔබේ කලා කටයුතු සහ අධ්‍යාපනය ගැන යමි විස්තරයක් කල හැකිද?

ශ.ස: මම ලිවීම ඇරඹුවෙ උසස් පෙල කරනකොට. ඒ කාලෙ මම රාවය පත්තරේට ලිවුව. සුවිශේෂීව කලා කටයුතුවල නියැලෙන්න පටන් ගත්තෙ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන කාලයෙ. මම, 2007-2011 කාලයෙ කැලනිය විශ්ව විද්‍යාලයේ සිංහල විශේෂවේදී උපාධිය හැදෑරුවා. සැබැවින්ම, මා කලා කටයුතුවල නියැලෙන්නෙ, මා ද ඇතුලු සමස්ත මානවයා දැනට විඳින දුක්ඛ දෝමනස්සයන්ගෙන් නිදහස්වුනු ලෝකකයක් නිර්මානය කිරීම සඳහා මගේ ආධ්‍යාත්මයෙන් එන පෙලඹුමෙන්.

පා.වි: ඔබේ නිදහස වෙනුවෙන් අනෙක් ලේඛකයන්ගෙන් සහ කලාකරුවන්ගෙන් ලැබුනු සහයෝගය කෙසේද?

ශ.ස: මගේ ප්‍රශ්නෙදි ප්‍රවීන ලේඛකයො ඇතුලු ප්‍රවීන කියන කලාකරුවො කිසිම දෙයක් කලේ නැහැ. සැප්තැම්බර් මාසෙ කොලඹ පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙදි භාෂනයේ නිදහස වෙනුවෙන් පුලුල් මැදිහත් වීමක් කරන්න පුලුවන් වෙයි කියලත් මම හිතනවා.

පා.වි: ඔබ නිරතව සිටි සහ නිරතව සිටින දේශපාලනය ගැන යමක් කිව හැකිද?

ශ.ස: විශේෂයෙන් දේශපාලන සංවිධානයක මම වැඩ කරල නැහැ. විශ්ව විද්‍යාලයේ ඉන්නකොට ශිෂ්‍ය ව්‍යාපාරයට යම් ප්‍රමානයක දායකත්වයක් සැපයූවා. ඒ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය ජවිපෙන් කැඩිල පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) යටතට ආවට පස්සෙ.

පා.වි: පෙසප ගැන ලෝසවෙඅ හි පලකොට ඇති සසප විශ්ලේෂන ඔබ කියවා තිඛෙනවද?

ශ.ස: ඇත්තෙන්ම මම ලෝසවෙඅ සමීපව ඇසුරු කරල නෑ. ඒත් මා නිදහස්කර ගැනීම සඳහා සසප ගෙනගිය උද්ඝෝෂනයෙදි තමයි එය ඇසුරු කිරීමේ වැදගත්කම මට දැනුනෙ.

පා.වි: ඔබේ “අර්ධ” කෙටිකතාවේ කතා වස්තුවට ඔබ පෙලඹුනේ කුමක් නිසා ද?

ශ.ස: නොයෙක් අත්දැකීම් ඒ සඳහා බලපෑවා. විශ්ව විද්‍යාලයේ ඉන්න කාලෙ ඉඳන් ම මම මේ වගේ කතා වස්තූන් මත ලියා තිඛෙනවා. එක පැත්තකින් මම භෞතිකවාදියෙක්. අනෙක් අතට ආගමික උන්මත්තකභාවයට හා ආගමික සංස්ථාවන් මගින් සමාජයට කරන බලපෑමට හා පීඩනයට මම විරුද්ධ යි. ඒක තමා මූලික දේ. මීට කලිනුත් මගේ කෙටි කතා සංග්‍රහයකටත් කාව්‍ය සංග්‍රහයකටත් මෙවර තරම් විශාල නැතත් යම් යම් බලපෑම් ආවා. ඒත් ඒව නැවතුනා.

පා.වි: ඔබ බන්ධනාගාරගතවූ දින සිට, ඔබ නිදහස් වීම සඳහා ගෙන ගිය සටනෙදි ඔබත් සමග හිටපු අය ගැන ඔබට තියන අදහස මොකක් ද?

ශ.ස: ප්‍රවීනයන් හා ජ්‍යෙෂ්ඨයන් කියන පිරිස මගහරිද්දි, තරුන ලේඛකයො හා තරුන ලේඛක සංවිධාන මා වෙනුවෙන් අරගල කලා. සංස්ථාපිත මාධ්‍යය සම්පූර්න නිහඬතාවක් පවත්වාගෙන යද්දි, විකල්ප මාධ්‍ය තමයි මා වෙනුවෙන් පෙනී හිටියෙ. රාවය, අනිද්දා, ඇත්ත හා ලංකා ඒවයෙන් කිහිපයක්. ලංකා ලේඛක සංවිධානයත් මා වෙනුවෙන් පෙනී හිටිය. දේශපාලන පක්ෂයක් හැටියට සමාජවාදී සමානතා පක්ෂය පමනයි පෙනී හිටියෙ. එහි මාධ්‍යය වන ලෝසවෙඅ මෙහිදී ප්‍රමුඛ භූමිකාවක් ඉටු කලා.

පා.වි: ඔබ නිදහස් වූ දිනයෙ ඔබ පිලිගැනීමට පැමින සිටි ජවිපෙ සාමාජිකයෙකු වන ඔබේ එක් හිතවතෙකු සඳහන් කලා ඔබ වෙනුවෙන් සටනක් කල යුතු බව ජවිපෙට ඔහු යෝජනා කලත් ජවිපෙ එය ප්‍රතික්ෂේප කල බව. ඔහු සඳහන් කලා ජවිපෙ බෞද්ධ සංස්ථාපිතයට ගැටගැසී සිටීම නිසා එසේ ප්‍රතික්ෂේප කල බව වැටහෙනවා කියා. ඒ ගැන ඔබ සිතන්නේ කුමක්ද?

ශ.ස: ඔහු අශෝක චන්ද්‍රසේකර. මාලිම්බොඩ ප්‍රදේශයේ සමාජ ක්‍රියාකාරිකයෙක් වන ඔහු මටත් ඒ අදහස ප්‍රකාශ කරල තියෙනව. මා නිදහස්කර ගැනීමට සසප ගෙනයන අරගලය ඔහු ඉතා අගය කරනවා.

පා.වි: ලෝක සමාජවාදී වෙබ් අඩවිය විකිලීක්ස් ආරම්භක ජූලියන් අසාන්ජ්ගේ නිදහස සඳහා ගෙන යන අරගලය පිලිබඳ ව ඔබගේ අදහස කුමක් ද?

ශ.ස: මම මේ ගැන දැන සිටියේ යම් ප්‍රමානයකට පමනයි. ලංකාවේ වේවා ලෝකයේ කවර හෝ තැනක වේවා, නිදහස් ප්‍රකාශනයට හා තොරතුරු ලබා දීමේ නිදහසට අවස්ථාව තිබිය යුතු යි. සෑම විට ම ලෝකයට හොඳ දෙයක් කරල තියෙන්නෙ දඩබ්බර වැඩ කියල හඳුන්වන දේවල් කල අය යි. එතෙන්දි ජාතික ආරක්ෂාව, ආගමට අපහාස කිරීම ආදිය ඉදිරියට දමාගෙන මර්දනය කිරීම වැරදි යි. අසාන්ජ් ගැන මම දැනගෙන හිටියෙ විකිලීක්ස් ප්‍රකාශකයා හැටියට. ඊට වැඩිපුර දැනුමක් ලැබුනෙ ඔබලා දුන්න ලෝසවෙඅ ප්‍රකාශනවලින්.

පා.වි: ලෝසවෙඅ හි ප්‍රකාශයන් කියවන විට ඔබට විශේෂයෙන් දැනුන දේවල් මොනවා ද?

ශ.ස: එයට අනුව අසාන්ජ්ට අවුරුදු 170 ක සිර දඬුවමක් නියම කිරීමට නියමිත යි. පුද්ගලයෙකු යම් අපරාධයක් නිසා සිරගත කිරීම එක් දෙයක්. ඒත් ලිවීම නිසා සිරගත කිරීම වෙනත් දෙයක්. ලෝසවෙඅ හි ප්‍රකාශ කියවු පසු බන්ධනාගාරයෙදි මා අසාන්ජ් ගැන කවියක් ලීවා “ඔබව මට දැනෙනවා” කියල.

“සාතන්ගෙ ධර්මයෙන්

කලියුගේ නීතියෙන්

විලංගුව දමනුයේ

විශ්වීය මිනිසෙකුට

අධමයන්ගේ විසකුරුබව

විකිලීක්ස් අඩවියෙන්

ලෝකයට පෙන්වූ

තෙවන ඇස රැක ගන්න

දසදහස් නෙත් නොනිදමින් ඇත ලොවේ”

අසාන්ජ් ආරක්ෂා කරගැනීම සඳහා ඔබ ඉදිරිපත් කර තිඛෙන ක්‍රියාමාර්ගයට මම එකඟ යි. මා එය ආරක්ෂා කරනවා.

පා.වි: ඔබට පනවා ඇති ඇප කොන්දේසි ගැන සිතෙන්නේ කුමක්ද?

ශ.ස: ඒවා ඉතා බරපතලයි. සෑම දෙසතියකට වරක් ඉරිදා පොලීසියෙ පෙනී සිටීමට තිබීම එක අතකින් තවත් දඬුවමක්. මට පෙනී ඉන්න තියෙන්නෙ මාව අත්අඩංගුවට ගත්ත පොලීසියෙමයි. එය මානසික වදයක්.

පා.වි: මේ සිද්ධිය දිග හැරුනු ආකාරය පැහැදිලි කල හැකිද?

ශ.ස: මාර්තු 6 වෙනිද හාමුදුරුවරු කට්ටියක් මා වැඩ කරන පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙට ඇවිල්ල ප්‍රාදේශීය ලේකම් තුමිය මුන ගැහිල මාව ගෙන්නුව. එක හාමුදුරු කෙනෙක් ඇහුව උඹේ ආගම මොකක් ද කියල. මම කිවුව මම නිරාගමිකයි කියල. එතකොට උඹ මහජාතියෙ නෙවෙයි ද කියල ඇහුව. මම කිවුව ජාතියෙ මහජාතිය කියල එකක් නැහැ කියල.

ඔය සිද්ධියට පස්සෙ තමයි ඒගොල්ලො පොලීසි යන්න පටන් ගත්තෙ. පොලීසියෙදිත් ඒගොල්ලො බලාපොරොත්තු වුනේ මම වැඳල සමාව ගනීවි කියල. ඒත් මම මගේ නිර්මානය වෙනුවෙන් දිගට ම පෙනී හිටිය. මේ නඩුවෙන් පස්සෙ වන්දි ඉල්ලල නඩුවක් පවරන්නත් මම බලාපොරොත්තු වෙනව. එහෙම වන්දියක් අරගෙන අනාගතේ මෙවැනි සිද්ධිවලට මුහුන දෙන කලාකරුවන්ගෙ සුභසාධනය වෙනුවෙන් යොදවන්නයි මම අපේක්ෂා කරන්නෙ. මේ සටන දිගට ම ගෙන යා යුතු යි. මෙලෙස සිරගත කල පලමුවෙනියාත් අවසාන තැනැනත්තාත් මා වීම යි මට අවශ්‍යය.

පා.වි: මෙම සටන දිගට ම ගෙන යාමට “කලාවේ හා භාෂනයේ නිදහස සඳහා වූ ක්‍රියාකාරී කමිටුව” පිහිටුවා තිඛෙනවා. මෙම කමිටුව ගැන ඔබේ අදහස කුමක්ද?

ශ.ස: එම කමිටුව ගැන මට දැනගන්න ලැබුනා. එයට මා මුලුමනින්ම එකගයි. නිශ්චිතවම එයට මා සම්බන්ධ වෙනවා.

මට එරෙහි දඩයමේ අන්තරායන් එම කමිටුව තුල සාකචිඡා කල යුතුයි. ඉදිරියේ දී කෙටිකතා සංග්‍රහයක්, කවි පොතක් ආදිය පලකිරීමේ දී පන්සලේ හාමුදුරුවන්ගේ අනුමැතිය ලබාගෙන එන්න කියලා පොත් ප්‍රකාශකයන් කියන්න පුලුවන්.

පා.වි: ඔබ කලාව පිලිබඳ ට්‍රොට්ස්කිවාදී සාහිත්‍යය කියවා තිඛෙනවා ද?

ශ.ස: විශ්ව විද්‍යාලයෙදි දි අපට ඉගැන්වූ මහාචාර්ය ජිනදාස දනන්සූරිය සසප හිතවතෙක්. ඔහු කලාව පිලිබඳ ට්‍රොට්ස්කිවාදී සාහිත්‍යය සිසුන්ට හඳුන්වා දීමට කටයුතු කලා. එහි ප්‍රතිඵලයක් ලෙස පියසීලී විජේගුනසිංහගේ එක් පොතක් මම කියවා තිඛෙනවා. මම කෙටි කතාවක්, කවියක් ලිවීමේ දීත් ඒ දැනුම යොදාගන්නවා.

පා.වි: කලාව සහ සංස්කෘතිය පිලිබඳව ලෝසවෙඅ හි නිතිපතා පලවන ලිපි ලේඛන මගින්, එකී ක්ෂේත්‍රයන්හි මංපෙත් හෙලි කිරීම සඳහා ප්‍රමුඛතම කාර්යයක් ඉටු කෙරෙනවා. එම ලිපි සමීපව ඇසුරු කරන ලෙස, විශේෂයෙන්ම එම වෙබ්අඩවියෙහි කලා අංශයේ සංස්කාරක ඩේවිඩ් වොල්ෂ් විසින් ඉදිරිපත් කරන විචාර සහ විශ්ලේෂන අධ්‍යනය කරන ලෙස අපි ඔබට ආරාධනය කරනවා.

ශ.ස: මම එම ආරාධනය ඉතා උනුසුම්ව පිලි ගන්නවා.

Share this article: