ෆෙඩරල් රිසර්ව් බැංකුව රේට්ටු කපා හරියි, එහෙත් වෝල් වීදිය සෑහීමට පත්වී නැත

Federal Reserve cuts rates, but Wall Street demands more

2019 අගෝස්තු 01

2008 මූල්‍ය අර්බූදයේ සිට ප්‍රථම වතාවට ෆෙඩරල් මහ බැංකුව විසින් ෆෙඩරල් මූල්‍ය අනුපාතය සියයට 0.25 න් පහත හෙලීමට ගෙන ඇති තීන්දුව සහ තවත් පොලී කප්පාදු කිරීම් ඉදිරියේදී සිදු කරනු ඇතැයි පිලිබඳ ඉඟි වනාහි මූල්‍ය පිලිවෙතේ පෙර නොවූ විරූ හැරීමකි.

තමන් කෙටි කලකදී මූල්‍ය උත්තේජන යලි ආරම්භ කරන බවට යුරෝපීය මහ බැංකුව විසින් ද, පොලී රේට්ටුව පහලම මට්ටමේ තබන බවට මෙම සතිය මුලදී බෑන්ක් ඔෆ් ජැපෑන් (ජපන් මහ බැංකුව) විසින් ප්‍රකාශිතව දැනට කෙරීගෙන යන කැපවීම විසින්ද පැහැදිලි වන්නේ මූල්‍ය කතිපයාධිපත්‍යයේ සුභ සිද්ධිය පිනිස මහ බැංකු විසින් මූල්‍ය පද්ධතිය වෙත අති-ලාභ මුදල් පොම්ප කිරීම “නව සාමාන්‍යය” බවට පත් වී ඇති බව යි.

ඒ කෙසේ වෙතත්, මෙතෙක් කල් ගන්නා ලද පියවරයන් ප්‍රමානවත් නොවන බව සලකන වෝල් වීදිය වෙලඳපොල කොටස් පිම්බීම සඳහා තව තවත් පීඩනය තීව්‍ර කරනු ඇත. මෙය දැකිය හැකි වූයේ ෆෙඩරල් මහ බැංකුවේ සභාපති පවල්ගේ ප්‍රකාශයට දැක්වූ සතුරු වෙලඳපොල ප්‍රතිචාරය තුලිනි. රේට්ටු කපා හැරීම “මධ්‍ය-චක්‍රීය සීරුමාරුවක්” ලෙසත් සහ “දිගුකාලීන රේට්ටු කැපීම් මාලාවක ආරම්භය නොවන” ලෙසත් ප්‍රකාශයේ සඳහන් විය.

තීරනය පිලිබඳ පවල්ගේ ප්‍රවෘත්ති සාකච්ඡාව අතරතුර සියයට 1.6 තරමින් පහත වැටීමෙන් අනතුරුව එස්ඇන්පී 500 දර්ශකය දිනය නිමාවේදී සියයට 1.1 කින් පහත වැටුනු අතර, ඩව් දර්ශකය සියයට 1.2 න් පහත වැටුනි.

තමන් තීරන ගැනීමේ දී “දත්ත මත පදනම්” වන බව ෆෙඩරල් මහ බැංකුව කියා සිටියේය. එජ විරැකියා රේට්ටුව වසර 50 ක පහලම මට්ටමේ ද ආර්ථිකය සියයට 2 ඉක්මවාද වර්ධනය වන තතු තුල මෙයින් දක්වන්නෙ (ගලා එන්නේ) රේට්ටු නොවෙනස්ව තැබීමයි. ඒ නිසාවෙන් පවල්, තීරනයේ පදනම ලෙස ගෝලීය සාධක හුවා දැක්වීය.

ෆෙඩරල් විවෘත වෙලඳපල කමිටුව ( Federal Open Market Committee) මගින් නිකුත් කෙරුනු ප්‍රකාශනය රේට්ටු කපා හැරීම සඳහා යුක්තිකරනය ලෙස හුවා දැක්වූයේ ගෝලීය ආර්ථිකයේ “අවිනිශ්චිතතාවන්” හා වෙලඳ ආතතීන් ද සමග එක්ව පවතින එජ යේ “අඩු කල උද්දමනය”යි. මෙය වනාහි ප්‍රධාන පිම්බීමක් සඳහා මූල්‍ය වෙලඳපොල වල ඉල්ලීම් සහ තමන් ස්වාධීනව කටයුතු කරන්නේ යන ප්‍රබන්ධය පවත්වා ගැනීම අතර මාවතක යාත්‍රා කිරීම සඳහා වෑයමකි.

සහතිකයෙන්ම ලෝක ආර්ථිකය මන්දගාමී වෙමින් ඇත; යුරෝ කලාපයේ පසු බැසීමක් වාර්තා වෙද්දි, එහි ප්‍රමුඛතම ආර්ථිකය වන ජර්මනිය තුල ව්‍යාපාරික විශ්වාසනීයත්වය “නිර්බාධිත කඩා වැටීමක” නිමග්නව ඇතිසේ ගුනාංගීකරනය කරනු ලැබ ඇත. එහෙත්, එජ ය සහ යුරෝපය තුල රේට්ටු කැපීම් සහ අනෙකුත් උත්තේජන පියවරන් මගින් මෙම පසු බැසීම වලක්වා ලීමට කිසිවක් සිදු නොවනු ඇත. එසේ නොව, මේවා සරලවම මූල්‍ය ප්‍රභූවේ සාක්කු වලට මුදල් දමනු ඇති අතර දහස් සංඛ්‍යාත රැකියාවන් විනාශ කිරීමට මග සලසමින් මෝටර් රථ කර්මාන්තය වැනි ප්‍රමුඛ කර්මාන්ත “ප්‍රතිව්‍යූහගතකරනය” කරනු ඇත.

සිය මාධ්‍ය හමුව පුරා, පවල් උදක්ම කියා සිටියේ මෙම මෑතම තීරනය මෙම වසර පුරා ෆෙඩරල් මහ බැංකුවේ පියවරන් හි අඛන්ඩතාවය වූ බවයි. ඒ කෙසේ වෙතත්, එම පියවර මූල්‍ය වෙලඳපොලවල අඥාවන්ට දැක්වූ ප්‍රතිචාරයක් වූවා මිස, “ස්වාධීනව” ගන්නා ලද ඒවා නොවීය.

සමපේක්ෂනයේ යෙදී අර්බුදය ජනිත කල මූල්‍ය සමාගම් බේරා ගැනීමට 2008 බිඳ වැටීමෙන් අනතුරුව මූල්‍ය වෙලඳපොල තුලට ඩොලර් ට්‍රිලියන සංඛ්‍යාත මුදල් ෆෙඩරල් මහ බැංකුව විසින් පොම්ප කෙරුනු විට එය පැවසුවේ මෙම ක්‍රියාව තාවකාලික පියවරක් බවත් වඩාත් සාමාන්‍ය ප්‍රතිපත්තිය වෙත ආපසු හැරීමක් සිදු වනු ඇති බවත් ය. එහෙත් සමස්ථයක් ලෙස ලෝක ආර්ථිකයද, සමස්ථ මූල්‍ය පද්ධතියද ලාභ මුදල් සැපයුමට කෙතෙක් දුරට ඇබ්බැහි වී ඇත්දැයි පවසතොත් එය කල නොහැක්කක් බවට පත් වී ඇත.

වඩාත් “සාමාන්‍ය” මූල්‍ය ප්‍රතිපත්තියක් දක්වා ආපසු හැරීමේ කොටසක් ලෙස 2018 දී, පොලී අනුපාතයන්වල ක්‍රමික වැඩිවීම් ආරම්භ කල ෆෙඩරල් මහ බැංකුව ඇඟවූයේ එය 2019 දී ද මෙම ක්‍රියාදාමය දිගටම කරගෙන යන බවයි. දෙසැම්බර් මස වෙලඳපොලවල් මෙයට ප්‍රතිචාරය දැක්වූයේ 1931 මහා අවපාතයේ පටන් මෙම මස තුල විශාලතම කඩා වැටීම ඇති කරමිනි.

වෙලඳපොලවල් විසින් එවන ලද පනිවිඩය තමන් වටහා ගත් බව වහාම පවල් සංඥා කල අතර, ජනවාරි මස ප්‍රධාන කථාවකදී, 2019 සඳහා සැලසුම්ගත කෙරුනු වැඩිවීම් න්‍යාය පත්‍රයෙන් ඉවත් කල බවත් ඇඟවීය. රේට්ටු කැපීම සඳහා ෆෙඩරල් මහ බැංකුව වහාම ක්‍රියාත්මක නොවූ නමුත් තම චේතනාව දැනුම් දුන්නේය.

දෙසැම්බර්යේ වෙලඳපොල ප්‍රතිචාරයත් සමගම, පොලී රේට්ටු කැපීම් පිනිස බලකර ඉල්ලා සිටිමින්ද, “ප්‍රමානාත්මක ලිහිල් කිරීම” යලි ආරම්භ කිරීම පවා බලකර ඉල්ලා සිටිමින්ද, මෙම වසර පුරාද දිගටම කෙරීගෙන යන, එජ ජනාධිපති ට්‍රම්ප් පෙරමුන ගත් ප්‍රහාර එක දිගට ෆෙඩරල් මහ බැංකුව ට එරෙහිව එල්ල කෙරින.

ෆෙඩරල් මහ බැංකුවේ ප්‍රතිපත්ති නොවන්නට ඩව් දර්ශකය ඒකක 10,000 ක වැඩිවීමක් පෙන්වනු ඇතැයි කියාපාන ට්‍රම්ප් තමන් මතු වී පැමිනි පරපුටු සහ අර්ධ-සාපරාධී මූල්‍ය කවවල හොරනෑව ලෙස ක්‍රියා කරමින් සිටියි. වඩාත් මෑත දී, එජ යට අවාසි සහගත ලෙස ඩොලරය අධි ප්‍රමානය වීමට එහි පොලී අනුපාත පිලිබඳ ප්‍රතිපත්ති තුඩු දී ඇතැයි ඔහු ෆෙඩරල් මහ බැංකුව හෙලා දැක්කේය. මෙය වනාහි එජ ප්‍රතිමල්ලවයින්ට එරෙහි වෙලඳ යුද්ධයට මත්තෙන් මූල්‍ය යුද්ධයක් ආරම්භ කිරීම සඳහා වන පැහැදිලි පියවරකි.

මෙම තීරනයට පෙර දින පල වූ කතුවැකියකදී වෝල් ස්ට්‍රීට් ජර්නලය, පවල් ෆෙඩරල් මහ බැංකුව “දත්ත මත පදනම්වේ” යන්න පැවසූ බව සඳහන් කලද, “අපට වඩාත්ම පෙනී යන්නේ ෆෙඩරල් මහ බැංකුව කිසිම සුවිශේෂ දත්ත මත පදනම් නොවන බවයි. එබැවින් මහබැංකුව සැබවින්ම යත්න දරන්නේ රේට්ටු කැපීම සඳහා වන ට්‍රම්ප් මහතාගේ ප්‍රසිද්ධ බලකිරීම් වලට ඉඩ දීම සඳහා ය යන වෙලඳපොල තුල පවත්නා සැකයට රුකුල් දෙයි.”

එතෙකුදු වුව ෆෙඩරල් මහ බැංකුවේ (පොලී අනුපාත කැපීම සඳහා) හැරීමේ හේතූන් ට්‍රම්ප්ට ඉඩදීමකට වඩා ගැඹුරට ගමන් කරයි. මේවා මුල් බැසගෙන ඇත්තේ ඇමරිකානු ආර්ථිකයේ පදනමෙහි ද, ලාභ සමුච්චයේ මාදිලියේ ද පසුගිය දශක තුන පුරා සිදු වී ඇති ප්‍රගාඨ වෙනස්කම් තුලය. එනම් කම්කරු පන්තියේ ශ්‍රමය විසින් නිපැදවෙන ධනයේ හැකිතාක් වැඩිවෙමින් පවතින පංගුවක් මූල්‍ය කතිපයාධිපත්‍යයේ සාක්කු වලට හරවා යැවීමේ යාන්ත්‍රනයන් ආයතනික කිරීමයි.

පශ්චාත් යුද කාලීන ධනවාදී උත්පාතයේ සමෘද්ධිමත් සමය තුල කාර්මික නිශ්පාදනය ව්‍යාප්ත කිරීම තුලින් ලාභ සමුච්චය වීම සිදු විය. ප්‍රාග්ධන ආයෝජනය, ලාභ වැඩි වෙද්දී, රැකියා වර්ධනයටත් වැටුප් ඉහල යාමටත් තුඩු දුනි. මෙම සන්තතිය හසුරුවන්නා ලෙස ෆෙඩරල් මහ බැංකුව ක්‍රියා කලේය. තව තවත් ආයෝජන උනන්දු කිරීමටත් ආර්ථික ව්‍යාප්තිය සහතික කිරීමටත් අවශ්‍ය වූ විටෙක පොලී රේට්ටු අඩු කිරීමත්, වැඩි වූ වැටුප් සහ උද්ධමනය සංගත ලාභ දායකත්වයට බලපෑමක් සිදු කෙරෙන්නේ යයි සැලකුනු විට ඒ වා ඉහල දැමීමත් එහි කර්තව්‍යය විය.

මෙම කාලය තුල මූල්‍ය ප්‍රාග්ධනය එක්සත් ජනපද ආර්ථිකය තුල ඉටුකලේ ද්වීතීයික භූමිකාවකි. කාර්මික යෝධයින් එහි ආධිපත්‍ය දැරූ අතර සංගත ලාභවලින් මූල්‍ය අංශයේ ලාභ පංගුව සියයට 10 ක් පමන විය.

එහෙත් 1970 දශකය මැද වසර වල පශ්චාත් යුද උත්පාතයේ නිමාවත් සමග එජ ආර්ථිකය දැවැන්ත පරිවර්තනයක් ආරම්භ කලේය. කර්මාන්තයේ ‘පුද්ගලික සහායිකාව‘ ලෙස සිටි මූල්‍ය ප්‍රාග්ධනය එන්ට එන්ටම වඩාත් අධිපති භූමිකාවක් අත්පත් කරගති. කාර්මික නිශ්පාදනයේ ලාභ රෙට්ටු වල කඩා වැටීමෙහි අර්ථය වූයේ ලාභ සමුච්චය වැඩි වැඩියෙන් සිදු වූයේ මූල්‍යය හරහා බවයි.

මෙහි ප්‍රතිඵලය වූයේ 2000 දශකයේ මුල් යුගය වන විට, 2008 බිඳ වැටීමට පෙරාතුව සමස්ථ එජ සංගත ලාභ වලින් සියයට 40 ක් මූල්‍ය අංශය හිමි කර ගැනීමයි.

අර්බුදය තුල, ලාභ වල තම පංගුව කඩා වැටෙමින් මූල්‍ය අංශය දැවැන්ත කඩා වැටීමකට ලක්විය. මෙය තුඩු දුන්නේ බුෂ් පාලනාධිකාරයේ අවසන් දිනවල ආරම්භ කරනු ලදුව, ඔබාමා යටතේ ගැඹුරු කර පවත්වාගෙන යන ලද ඇප මෙහෙයුම් සඳහා සහ ෆෙඩරල් මහ බැංකුවේ ඊනියා “අසම්මත” මූල්‍ය ප්‍රතිපත්ති ස්ථාපනය කිරීම සඳහා ය.

තවදුරටත්, “අර්බුදයක් කෙදිනකවත් අපතේ යාමට ඉඩ නොහැරිය යුතුයි” යන ආප්තෝපදේශය මත ක්‍රියාත්මක වෙමින්, ඔබාමා ජනාධිපතිත්වය පන්ති සබඳතාවන්හි ප්‍රධාන ප්‍රතිව්‍යූහගත කරනයක් ආරම්භ කලේය. මෝටර් රථ කර්මාන්තයේ ප්‍රතිව්‍යූහගත කරනය ආරම්භ කරමින්, වෘත්තීය සමිති සමග සහයෝගීතාවයෙන් වැඩ කරමින් ආන්ඩුව පශ්චාත් යුද උත්පාත සමයේ කම්කරු පන්තිය හිමි කරගෙන පැවැති කොන්දේසි වලින් ඉතිරි ව පැවැති දෑ විනාශ කිරීම ආරම්භ කලේය.

මෙහි ප්‍රතිඵලය වූයේ ද්වි-ස්ථර වේතන ක්‍රමයන් වර්ධනය කිරීමත්, රැකියා ව්‍යාප්තියේ ප්‍රධානතම අංගයක්වූ තාවකාලික සහ අර්ධ කාලීන රැකියා ව්‍යාප්ත වීමත්, ඊනියා “ගිග් ආර්ථිකය” (“gig economy”-කාල-සීමිත රැකියා ආර්ථිකයක් ) මතු වීමත් සහ ඇමසන් සමාගම වැනිවුන් විසින් වර්ධනය කෙරුනු වඩාත් තීව්‍ර සූරාකෑමේ රූපාකාරයන් සංස්ථාපිත කිරිමයි.

අනුපාත කපා හැරීම් පිලිබඳ ෆෙඩරල් මහ බැංකු තීරනයේ වැදගත්කම වන්නේ කොටස් වෙලඳපොල පිම්ඹීම සඳහාත්, මූල්‍ය සමපේක්ෂනය සදහාත් අති- ලාභ මුදල් සැපයීම නිත්‍ය කිරීම ය.

එහෙත් මූල්‍ය ප්‍රාග්ධනය වශයෙන් යනුවෙන් නම් කරන ලද්දට මෙම වැඩ පිලිවෙල නිකම්ම කොටු කර ඇතැයි සිතීම මහත් වරදක් වනු ඇත. එජ ආර්ථිකය මූල්‍යකරනය වීම දැන් සියල්ල වසා පැතිර පවතියි. නාමිකව මූල්‍ය නොවන සංගත (මේවාහි අධ්‍යක්ෂක මන්ඩලවල ආධිපත්‍ය දැරෙන්නේ බැංකු , හෙජ් අරමුදල් සහ ආයෝජන සමාගම්ද විසින් ය) දැන් ක්‍රියාත්මක වන්නේ කොටස් වෙලෙඳපොලෙහි කොටස් හිමියාගේ අගය උපරිම කිරීම තම කර්තව්‍යය යන පදනම මත යි.

වෙනත් වචන වලින් පවසතොත් මූල්‍ය අංශයේ ආරම්භ වූ සමපේක්ෂනය සහ පරපුටු භාවය සමස්ථ ආර්ථිකයම තම ග්‍රහනයට ගෙන ඇත.

මෙම තත්වයෙන් ගලාගෙන එන තීරනාත්මක දේශපාලන සහ ආර්ථික නිගමනයන් දෙකක් ඇත.

මෙයින් පලමු වැන්න නම් තම උත්සුකයන් (වැටුප පිලිබඳ වේවා සමාජ කොන්දේසි පිලිබඳව වේවා) ආරක්ෂා කර ගැනීමේ සහ වර්ධනය කර ගැනීමේ දී, කම්කරු පන්තිය අරගලයෙන් අභිමුඛ වන්නේ සරලවම තනි හාම්පුතුන් හා අධිකාරීන් සමග නොව ධනපති රාජ්‍යයේ මුලු මහත් ආර්ථික දේශපාලන සහ මූල්‍යමය යාන්ත්‍රනය සමග බවයි.

එමනිසා, මුලදී කුමන රූපාකාරයකින් මෙම අරගල ඉස්මතු වුවද ඒවා පාලක මූල්‍ය කතිපයාධිපත්‍යයේ ආධිපත්‍යය පෙරලා දැමීම සඳහාත්, සමාජවාදී පදනම් මත ආර්ථිකය යලි ගොඩ නැගීම සඳහාත් බලය ලබා ගැනීම එල්ල කරගනිමින් දේශපාලන වැඩපිලිවෙලක් මත දැනුවත්ව වර්ධනය කල යුතුවේ.

දෙවන නිගමනය නම් මෙම ඉදිරිදර්ශනය යම් අනිශ්චිත අනාගතයකට පවරා නොදෙනු යන්නයි. මෙය හදිසි සහ ප්‍රායෝගික අවශ්‍යතාවයකි. මක්නිසාදයත්, පරිගනකයක බොත්තමක් එබීම මගින් සීමා රහිත ලාභ මුදල් සැපයීම, 2008 බිඳ වැටීමේ විනාශය බොහෝ සේ ඉක්මවා යන පරිමානයක මූල්‍ය ඛේදවාචකයක් දිශාවට තර්ජනය එල්ල කරන බැවිනි.

මෑත වෝල් ස්ට්‍රීට් ජර්නල්හි ලිපියක් වාර්තා කල පරිදි, මූල්‍ය උත්තේජනයන් වෙත යලි හැරීමේ “මහා කතන්දරය” වන්නේ “එජ ඩොලරය ඇතුලුව, ආඥාප්ති ව්‍යවහාර මුදල් (රත්‍රං වැනි භාන්ඩයකට අසම්බන්ධිත බැවින් නිසග අගයක් රහිත රජයේ පිටුබලය මත යැපෙන මුදල්) කෙරෙහි විශ්වාසනීයත්වයේ අර්බුදයක් නිර්මානය කිරීමේ හැකියාව ඇත” යනුවෙනි.

එය උකහා දැක්වූයේ 1971 අගෝස්තුවේ පටන්, එනම් එජ ජනාධිපති නික්සන් විසින් රත්රන් සහ ඩොලර් අතර සබඳතාවය ඉවත් කිරීමේ පටන්, එජ ය සහ අනෙකුත් ප්‍රධාන ආර්ථිකයෝ “මොනයම්ම හෝ භෞතික භාන්ඩයකට ගැට නොගැසුනු” මුදල් අසීමිත සැපයුම් ලබාගෙන ඇත යන්නයි.

මෙය තුඩු දෙනු ලැබ ඇත්තේ මුදල් සැපයුම අසීමිතව ව්‍යාප්ත කල හැකිය යන විශ්වාසයටයි. එහෙත්, වටිනාකමේ ගබඩාවක් ලෙස මුදලේ භූමිකාවට වල කපන මෙවැනි ක්‍රියාවලියක් ආඥාප්ති ව්‍යවහාර මුදල් කෙරෙහි විශ්වාසනීයත්වයේ අර්බුදයකට තුඩු දිය හැකි වේ.

දැනටමත් තවත් මූල්‍ය විනාශයක් පිලිබඳ පැහැදිලි අනතුරු හැඟවුම් සංඥාවන් පවතියි. මේ වනවිට ඩොලර් ට්‍රිලියන 13.74 ක් පමන වටිනාකම් සහිත ආන්ඩුවේත් සංගතවලත් බැඳුම්කර, සෘන ප්‍රතිලාභයන් ජනිත කරයි. මෙහි අර්ථය වන්නේ මේවා පරිනත වන තෙක් කල් පැවතියේ නම් හිමිකරුවන්ට පාඩු ලැබෙනු ඇත, යන්නයි. ආර්ථික ඉතිහාසය තුල මෙවැනි තත්වයක් කවරදාකවත් පැවතී නැත.

දැවැන්ත නව ආර්ථික අර්බුදයක් කවදා මතු වනු ඇත්දැයි පුරෝකථනය කිරීම කල නොහැකිය. එහෙත් මෙවැනි සිද්ධියක් දක්වා තත්වය පරිනත වෙමින් පවතින බව නම් නිසැක ය.

ෆෙඩරල් මහ බැංකුවේ ක්‍රියාකාරිත්වය පැහැදිලි කරන්නේ 2008 බිඳ වැටීම මෙන්ම, ලඹ දෙමින් ඇති අර්බුදයේ මුලු බර කම්කරු පන්තිය මත පැටවෙනු ඇත යන්නයි. තම මුලු ශක්තිය භාවිතා කරමින් ෆෙඩරල් මහ බැංකුව, කම්කරු පන්තියේ වියදමින් මූල්‍ය කතිපයාධිපත්‍යයෙ ධනය ආරක්ෂා කිරීමට සෑම දෙයක්ම කරනු ඇත.

කම්කරු පන්තිය සමාජය සමාජවාදී ලෙස පරිවර්තනය කිරීමේ අරගලයක රූපාකාරයෙන් තමන්ගේම ස්වාධීන වැඩ පිලිවෙල සහ ප්‍රතිපත්තිය වර්ධනය කල යුතුයි.

නික් බීම්ස්

Share this article: