පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වැලැක්වීමට නොහැකිවූයේ “ප්‍රමාද දෝෂයන්” නිසා බව අගමැති වික්‍රමසිංහ නරුම ලෙස කියාපායි

පානි විජේසිරිවර්ධන විසිනි, 2019 අගෝස්තු 12

පාස්කු ඉරිදා ත්‍රස්ත බෝම්බ ප්‍රහාරය වැලැක්වීමට නොහැකිවූයේ “ප්‍රමාද දෝෂයන්” හේතුවෙන් බව, අගමැති රනිල් වික්‍රමසිංහ, ත්‍රස්ත ප්‍රහාරය විමර්ශනය කිරීමේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව (පීඑස්සී) ඉදිරියේදී අගෝස්තු 06 දා පැවසීය.

“නිසැකවම ප්‍රමාද දෝෂයන් සිදුවී තිබෙනවා. අන්තවාදයේ සිට ප්‍රචන්ඩ ව්‍යාපාරයක් දක්වා පරිවර්තනය වූ සංක්‍රාන්ති සමයේදී සහරාන් සහ ඔහුගේ කන්ඩායම පිලිබඳ තොරතුරු එක්රැස් කිරීමේ අඩුපාඩුවක් සිදුව තිබෙනවා. ආන්ඩුවට වගකීමෙන් පලා යන්න බෑ. වැරැද්ද කුමක්දැයි නිර්නය කිරීම සඳහා පරීක්ෂනයක් පැවැත්වෙනවා” යැයි වික්‍රමසිංහ එහිදී ප්‍රකාශ කලේය.

මෙම ප්‍රහාරයට පෙර, ඒ පිලිබඳව ආරක්ෂක අංශ විසින් ලබාදුන් තොරතුරු තමාට නොලැබුනු බවට සිද්ධිය වූ තැන් පටන් වික්‍රමසිංහ කල ප්‍රකාශයන් ඔහු පීඑස්සී ය ඉදිරියේදී ද ආරක්ෂා කලේය.

පීඑස්සීයට ඉදිරිපත් කෙරුනු සාක්ෂිවලට අනුව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුලු දේශපාලන නායකයන් සියලු දෙනාගේ හා ආරක්ෂක සංස්ථාපිතයේ පූර්න අනුදැනුම සහිත ව බෝම්බ ප්‍රහාර සිදු වීමට ඉඩ හල බව අනාවරනය වී ඇත. එම තතු තුල, “ප්‍රමාද දෝෂයන්” පිලිබඳ වික්‍රමසිංහ කරන ප්‍රකාශයන් මුලුමනින්ම ව්‍යාජ ය.

දෙසිය පනහකට අධික සංඛ්‍යාවක් මරනයට පත් කෙරුනු සහ තවත් සිය ගනනකට තුවාල සිදුකෙරුනු මෙම බලගතු අපරාධය සිදු වන්නට සිතාමතාම ඉඩහැරීමෙන් යලි ප්‍රකාශයට පත්වූයේ, ශ්‍රී ලංකාවේ පාලක පන්තිය තම පන්ති අවශ්‍යතාවයන් වෙනුවෙන් කවර හෝ සාපරාධී ක්‍රියාවකට පසුබට නොවන බවයි.

ප්‍රහාරයෙන් ක්ෂනික ඉක්බිත්තෙහි සිට ආන්ඩුව ඇතුලු සමස්ත දේශපාලන සංස්ථාපිතය ගත් පියවර මාලාවෙන්, මෙම සාපරාධී ක්‍රියාවට ඉඩහලේ මන්ද යන්න මනාව පැහැදිලි වෙයි.

අප්‍රේල් 22 දා, පාර්ලිමේන්තුව තුල හදිසි නීතිය ඒකච්ඡන්දයෙන් සම්මත කෙරුනු අතර ඒ යටතේ රුදුරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත බල ගැන්වින. අධිකරන නියෝගයකින් තොරව අත්අඩංගුවට ගැනීමේ බලය පොලීසියට සහ මිලිටරියට පැවරුනි. වැඩපොල තුලට, විශ්ව විද්‍යාල තුලට සහ නිවස්නා ප්‍රදේශ වලට පොලීසිය සහ මිලිටරිය කඩා වැදුනි.

මීට සමාන්තරව, මුස්ලිම්-විරෝධී ප්‍රචන්ඩත්වයක්ද ආන්ඩුවේ සහ අනෙකුත් පාලක පන්ති කොටස්වල අනුග්‍රහයෙන් මුදා හැරින.

මෙම රුදුරු ක්‍රියාදාමයේ අරමුන කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදා දුර්වල කිරීම සහ පොලිස් රාජ්‍ය පාලනයකට කොන්දේසි නිර්මානය කරදීම බව සමාජවාදී සමානතා පක්ෂය 2019 ජූනි 12 වන දින නිකුත් කල ප්‍රකාශයෙන් පෙන්වා දුනි.

ප්‍රහාරය එල්ල කල ත්‍රස්ත කන්ඩායම මුලුමනින්ම මර්දනය කොට මහජන ආරක්ෂාව තහවුරුකොට ඇතැයි ජනාධිපති සහ අගමැති යලියලිත් ප්‍රකාශ කරන අතරතුර, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ වල අනුග්‍රහයෙන් හදිසි නීතිය යලියලිත් දිගු කෙරෙමින් පවතී. ඒ යටතේ අත්‍යවශ්‍ය සේවා නියෝග පනවමින් වැඩවර්ජන සහ විරෝධතා තහනම් කිරීම නොකඩවා ක්‍රියාවට දැමෙයි.

ආන්ඩුවේ සහ ආරක්ෂක අංශයන්ගේ උත්සුකය මහජන ආරක්ෂාව නොවන බව වික්‍රමසිංහ පිඑස්සී ය ඉදිරියේ කල සඳහනකින්ම පැහැදිලි වෙයි. ජාතික ආරක්ෂක මන්ඩලය ප්‍රමුඛතාව දුන් කරුනු මොනවාදැයි පීඑස්සී ය අසන ලද ප්‍රශ්නයට පිලිතුරු දෙමින් වික්‍රමසිංහ මෙසේ පැවසීය: “විශේෂයෙන්ම විශාල උද්ඝෝෂන ගැන, වර්ජන ගැන, එල්ටීටීඊ සංවිධානය යලිත් තිබෙනවද කියන එක, අයිඑස්අයිඑස් සංවිධානයට සහයෝගය දෙන ප්‍රකාශ ආදී දේ ගැන සාකච්ඡා කලා.”

ප්‍රමුඛතා පිලිබඳව පෙලගැස්වීමේදී වික්‍රමසිංහගේ මුවින් “විශේෂයෙන්ම විශාල උද්ඝෝෂන සහ වර්ජන” යන්න පෙරට පැමිනෙනුයේ අහම්බයකින් නොවේ. සැබැවින්ම ධනපති පාලක පන්තියට “ජාතික ආරක්ෂාව” යනු ධනපති රාජ්‍යයට සහ ධනපති ක්‍රමයට කම්කරු පන්තියෙන් සහ අවශේෂ පීඩිත මහජනතාවගෙන් එල්ල වන තර්ජනයෙන් ආරක්ෂා වීමයි. ඔවුන් ප්‍රධාන කොටම උත්සුක වනුයේ එම ප්‍රශ්නය පිලිබඳවයි.

ත්‍රස්ත ප්‍රහාරය සිදු වන්නට සිතාමතාම ඉඩහල බව වසන්කරමින් එය ආරක්ෂක යාන්ත්‍රනයේ “අඩුපාඩු” හෝ “ප්‍රමාද දෝෂ” බවට ඌනනය කිරීමට මාධ්‍ය සංස්ථාපිතයෙන් දිගටම ලැබෙනුයේ බලගතු අනුග්‍රහයකි. අගෝස්තු 08 වනදා දි අයිලන්ඞ් කතුවැකිය මෙසේ සඳහන් කලේය:

“ත්‍රස්තවාදීන්ට පහසුවෙන් පහර දීමට ඉඩ ලැබුනු බරපතල අඩුපාඩුකම් සම්බන්ධයෙන් සමස්ත ආන්ඩුවම වගකිව යුතු බව තේරීම් කාරක සභාවට පැවසීම ගැන අගමැතිවරයා ප්‍රශංසා ලැබිය යුතුය.”

කෙසේ වෙතත්, පීඑස්සී ය පිහිටුවනු ලැබුවේ, ජනාධිපති සිරිසේන සහ අගමැති වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය (එජාප) අතර පැන නැගී ඇති ගැඹුරු දේශපාලන ගැටුමේ ප්‍රතිඵලයක් ලෙසිනි. එජාප ය පාර්ලිමේන්තුව තුල කල යෝජනාවක් මත පිහිටුවන ලද පීඑස්සී යේ අරමුන වනුයේ, වික්‍රමසිංහ කොක්කෙන් ගලවා, ව්‍යසනයේ වගකීම සිරිසේන වෙත පවරන අතරතුර, ආන්ඩුව එය සිතාමතා වෙන්නට ඉඩහල බව වසන් කිරීමයි.

පීඑස්සී යේ මෙම ඊනියා විමර්ශනය උත්කර්ෂයට නංවමින් දි අයිලන්ඞ් කතුවැකිය මෙසේ කියයි: “මේ අතර, අඟහරුවාදා පීඑස්සී යේ කටයුතු ඉතා සිත්ගන්නා සුලු බව අපට පෙනී ගියේය. පෙනෙන ආකාරයට තදබල ප්‍රශ්න අසන ලද අතර ඒවා හොඳින් ඉදිරිපත් කරන ලදී.”

දි අයිලන්ඞ් කතුවරයා මෙසේ පවසන්නේ, “ප්‍රහාරය පිලිබඳ සංයුක්ත තොරතුරු පූර්වයෙන් ලැබී තිබියදී එය සිදුවන්නට ඉඩහලේ සිතාමතාම නොවේද?” යනුවෙන් මහජනතාවට ඇති “තදබලම” ප්‍රශ්නය පීඑස්සී යේ කවරෙකු හෝ නොවිමසූ තතු තුලය. ඒ වෙනුවට, වියුක්ත “අඩුපාඩු” සහ “ප්‍රමාද දෝෂයන්ට” ව්‍යසනය ඌනනය කෙරෙන ආකාරයේ ප්‍රශ්න වලට පමනක් සීමා වීමට කොමිටියේ සියලුම නියෝජිතයෝ දැනුවත්ව උත්සාහ කලහ.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මතුවන මෙම ප්‍රශ්න වලින් කම්කරු-පීඩිත මහජනතාවගේ දෑස් ඉවතට හැරවීම සඳහා විපක්ෂයෙන් ලැබෙනුයේ නොමඳ සහායකි. “ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලා ප්‍රහාරය පිටුපස සිටින බලවේගවලට දඬුවම් කිරීමට ස්වාධීන පරීක්ෂන කොමිසමක් කඩිනමින් පත්කරන” ලෙසට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ කරන ඉල්ලීම එහි නවතම ප්‍රකාශනය යි. එවන් “ස්වාධීන පරීක්ෂන කොමිසමකින්” කෙරෙනුයේ සත්‍යය වසන් කිරීම බැව් මහජනතාව අත්දැකීමෙන් ම දනිති.

ව්‍යසනයට හේතු වූ “ප්‍රමාද දෝෂයන්” සොයාබලා ඒවා නිරවද්‍ය කර ගනිමින් ත්‍රස්තවාදය වැලැක්වීමේ ආරක්ෂක යාන්ත්‍රනය වඩාත් ශක්තිමත් කරගතයුතු බව වික්‍රමසිංහ පීඑස්සී ය ඉදිරියේ තවදුරටත් පැවසීය. මෙහි අර්ථය වනුයේ කම්කරු පන්තිය මැඩීමේ යාන්ත්‍රනය වඩාත් ශක්තිමත් කිරීම හැර අනෙකක් නොවේ.

වික්‍රමසිංහ විසින් දිගින් දිගටම අවධාරනය කරන “ප්‍රති-ත්‍රස්ත පනතේ” අවශ්‍යතාව ඔහු පීඑස්සී ය ඉදිරියේ ද මතු කලේය. ඔහුගේ කැබිනෙට්ටුව විසින් පසුගිය සැප්තැම්බරයේදී අනුමත කරන ලද “ප්‍රති-ත්‍රස්ත පනත් කෙටුම්පතට” අනුව, කම්කරුවන්, සිසුන් හෝ දුගීන් විසින් කරනු ලබන වැඩ වර්ජන, විරෝධතා සහ උද්ඝෝෂන “ත්‍රස්තවාදී වැරදි” ලෙස අර්ථ දැක්විය හැකිය. එම පනතට අනුව ත්‍රස්තවාදයට වැරදිකරු වුවහොත් වසර 20 ක හෝ ජීවිතාන්තය දක්වා හෝ සිර දඬුවම් නියම වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධානයන් මත ක්‍රියාත්මක කෙරෙන රුදුරු කප්පාදු වලට එරෙහිව කම්කරුවන්, ශිෂ්‍යයන් හා ගොවීන් අතරින් නොකඩවා මතුවන අරගල, පාස්කු ඉරිදා ප්‍රහාරය ගසාකමින් ආන්ඩුව තැබූ රුදුරු මර්දන පියවර යටතේ දිනපතාම මර්දනය කෙරෙමින් පවතී. ඉදිරි මැතිවරන වලදී කවරෙකු බලයට පත්වුවද ඔවුන් මෙම ප්‍රහාර දිගටම කරගෙන යනු ඇත.

Share this article: