ඕස්ට්‍රේලියානු ලැව් ගිනි දරුනු වීම, දේශගුනික විපර්යාස පිලිබඳව හදිසි පියවර ගැනීමේ අවශ්‍යතාව මතු කරයි

Worsening Australian fires pose the need for urgent action on climate change

ජේම්ස් කොගන් විසිනි, 2019 දෙසැම්බර් 30

අධික තාපය, විදුලි කුනාටු සහ බොහෝකොටම ස්වේච්ඡා හදිසි සේවා තුනී වීම හේතුවෙන් ඉදිරි දිනවලදී ඕස්ට්‍රේලියානු මහාද්වීපයේ විශාල ප්‍රදේශයක් පුරා ගින්නෙන් දැවෙන ජීවිත හා දේපලවලට ඇති අවදානම ඉහල යනු ඇත.

වික්ටෝරියා ප්‍රාන්තයේ බලධාරීන් විසින් ඊයේ, නැගෙනහිර ගිප්ස්ලන්ඞ් දිස්ත්‍රික්කයේ මුලු‍ පදිංචිකරුවන්ට සහ නිවාඩු ගත කරන්නන් 30,000 කට ආසන්න පිරිසකට ඉවත් වීමේ අනතුරු ඇඟවීම් නිකුත් කරන ලදී. එය බෙල්ජියමෙන් අඩකටත් වඩා විශාල ප්‍රදේශයක් බව ගාඩියන් පුවත්පත නිරීක්ෂනය කලේය. දකුනු දූපත් ප්‍රාන්තය වන ටස්මේනියාව ශතවර්ෂයකටත් අධික කාලයක් තුල හා වාර්තා කිරීම ආරම්භවූ දින සිට, සිය උනුසුම්ම දිනය අත්විඳිනු ඇතැයි පුරෝකථනය කර ඇත. දකුනු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තය තුල නැවත වරක් තාප තරංග උෂ්නත්වය සෙල්සියස් අංශක 40 ට වඩා වැඩි වේ (ෆැරන්හයිට් අංශක 104).

නිව් සවුත් වේල්ස්හි බ්ලැක්හීත්හි දී තම නිවස වෙතට පැතිරෙන ගින්නෙන් ආරක්ෂා වීමට ජලය විදිමින් ගින්න සමග පොරබදන්නෙක් , 2019 දෙසැම්බර් 22, ඉරිදා, ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් හි දී(Twitter@NSWRFS via AP)

නිව් සවුත් වේල්ස් ප‍්‍රාන්තයේ සිඞ්නි නුවර සෙල්සියස් අංශක 40ට වැඩි උෂ්නත්වයකට මුහුන දෙනු ඇත. මිලියන පහක ජනගහනයකින් යුත් නගරය සැප්තැම්බර් මාසයේ සිට දැවෙන ගින්නෙන් වටවී ඇත. ගිනි අවදානම ඉහල යාම හේතුවෙන් සිඞ්නි වරාය වටේට පැවැත්වෙන ජාත්‍යන්තර අවධානයට ලක්වන අලු‍ත් අවුරුදු ගිනිකෙලි සංදර්ශනය අවලංගු විය හැකිය. කැන්බරා අගනුවර ද ඇතුලු රටේ සමහර ප්‍රදේශවල සංගීත උත්සව සහ ගිනිකෙලි සංදර්ශන දැනටමත් අවලංඟු‍ කර ඇත.

පොසිල ඉන්ධන දහනය කිරීමෙන් දිගු කාලීනව කාබන් ඩයොක්සයිඞ් විමෝචනය වීම නිසා ඇති වන දේශගුනික විපර්යාසයන්ගේ ප්‍රතිවිපාක “හදිසි ගිනි ගැනීම්” ලෙස නම් කර ඇත. මිලියන සංඛ්‍යාත වැඩකරන ජනතාව, විශේෂයෙන් තරුන තරුනියන් අතර මෙම ප්‍රශ්නය හුදෙක් නීත්‍යානුකූල විවාදයක මාතෘකාව ලෙස තවදුරටත් නොසැලකේ. ඔවුන්ට අවශ්‍ය වන්නේ, ක්ෂනික අභියෝග සඳහා සූදානම් වීමට හා ප්‍රතිචාර දැක්වීමට තම ප්‍රජාවන්ට සහාය වීමට පමනක් නොව, ගෝලීය උෂ්නත්වය ඉහල යාමේ තර්ජනය අවම කිරීම සඳහා දිගු කාලීන, ලෝක ව්‍යාප්ත වෙනසක් කිරීමටය.

19 වන ශතවර්ෂයේ අග භාගයේ සිට ගෝලීය උෂ්නත්වය දල වශයෙන් සෙල්සියස් අංශක 1 කින් පමන ඉහල ගොස් ඇති අතර 20 වන සියවසේ මැද භාගයේ සිට විශාලතම වැඩිවීම සිදුවිය. මිලියන ගනනකගේ ජීවිතවලට නාටකාකාර ලෙස බලපා ඇති නියඟය, ගිනි, ගංවතුර, හිම කුනාටු, සුලං, සුලි කුනාටු, සුලි සුලං වැනි කුමන හෝ කාලගුනික සිදුවීමකට, ගෝලීය උෂ්නත්වය ඉහල යාම ඒකම “හේතුව” යැයි දේශගුන විද්‍යාඥයින් කියා නැත. කෙසේ වෙතත් ඔවුන් අවධාරනය කර ඇත්තේ, එවැනි සිදුවීම්වල පරිමානය, තීව්‍රතාවය සහ විනාශකාරී බව ඒමඟින් වැඩි කරන බවත්, ඔවුන්ගේ අනතුරු ඇඟවීම් සනාථ වී ඇති බවත් ය.

ඕස්ට්‍රේලියානු මහාද්වීපය සැමවිටම වියලි, උනුසුම් හා ගිනිගැනීම් වලට ගොදුරු විය හැකි නමුත් දේශගුනයේ මූලික වෙනසක් සිදුවෙමින් පවතී. 2018 වන විට, වාර්තාගත උනුසුම්ම වසර 10 න් 9 ක්ම සිදුවී ඇත්තේ 2005 සිටය. මේ වසරේ ප්‍රවනතාවය අඛන්ඩව පැවතුනි. උනුසුම්ම දෛනික වාර්තාව දෙසැම්බර් 16 දා බිඳ වැටුන අතර දෙසැම්බර් 17 වන දින යලිත් එය බිඳී ගිය අතර රට පුරා සාමාන්‍ය උෂ්නත්වය සෙල්සියස් අංශක 41.9 (ෆැරන්හයිට් අංශක 107.4) විය.

බොහෝ මිනිසුන් ජීවත් වන මහාද්වීපයේ ගිනිකොන, වර්ෂාපතන සාමාන්‍යය පහත වැටී ඇති අතර එය වඩාත් නියඟයට හා ගිනිගැනීමේ දිගු කාලයකට මග පාදයි. ඊට වෙනස්ව, නිවර්තන කලාපීය උතුරේ වර්ෂාපතන සාමාන්‍යය ඉහල ගොස් ඇති අතර එය වඩාත් තීව්‍ර මෝසම් වැසි ඇති කරයි. 2019 ජනවාරි පෙබරවාරි දින 12 ක් තුල, උතුරු ක්වීන්ස්ලන්තයේ සමහර ප්‍රදේශවලට මිලිමීටර් 2,000 කට වඩා වැඩි වර්ෂාවක් ඇද හැලීමෙන් විනාශකාරී ගංවතුර තත්ත්වයක් ඇති විය.

මහාද්වීපයේ නියඟයෙන් පීඩාවට පත් ප්‍රදේශවල, අගෝස්තු මස අග සිට සැප්තැම්බර් මුල දක්වා විශාල ගිනිගැනීම් හටගෙන ඇත. දකුනු ක්වීන්ස්ලන්තයේ සහ උතුරු නිව් සවුත් වේල්ස් හි වැසි වනාන්තර ද ඇතුලු ප්‍රදේශවල ගිනි ගැනීම් සාමාන්‍යයෙන් දිගට අල්ලා නොසිටී. වර්ෂය අවසානය කරා ලඟා වෙමින් තිබියදී, සාම්ප්‍රදායිකව උනුසුම්ම හා භයානකම ගිම්හාන මාස තවමත් එලඹීමට ඇති නමුත්, දැනටම හෙක්ටයාර් මිලියන තුනකට අධික වනාන්තර ගින්නෙන් විනාශවී ඇති අතර නිවාස 1,000 කට අධික ප්‍රමානයක් විනාශ වී තිබේ. සිඞ්නි සහ අනෙකුත් ජනාකීර්න නගර දින ගනනාවක් තිස්සේ නැවත නැවතත් විෂ සහිත දුමාරයෙන් වැසී ගිය අතර ඒවායේ දිගු කාලීන සෞඛ්‍යමය බලපෑම් තවමත් නොදනී.

දේශගුනික විපර්යාසයන්ගේ බලපෑමෙන් පෘථිවියේ කිසිදු කලාපයක් හෝ ජාතික රාජ්‍යයක් ගැලවී නොයයි.

“දේශගුනික විපත්” පිලිබඳ ක්‍රිස්ටියන් ඒඞ් සංවිධානය මේ මාසයේ පලකල වාර්ෂික වාර්තාව, 2019 දී සිදුවීම් 15 ක් හඳුනාගෙන ඇති අතර එමඟින් ඩොලර් බිලියන ගනනක හානියක් සිදුවිය. ඒවාට දකුනු ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, එක්සත් ජනපදය, ඉරානය, චීනය, උතුරු ඉන්දියාව සහ ස්පාඤ්ඤයේ ගංවතුර; දකුනු අප්‍රිකාව, ඉන්දියානු උප මහද්වීපය, උතුරු යුරෝපය, චීනය, ජපානය සහ කැරිබියානු සහ ගිනිකොනදිග එක්සත් ජනපදය පුරා පැතිර ගිය සුලි කුනාටු, හෝ සුලි සුලං; ඕස්ටේ්‍රලියාවේ වර්තමාන තත්වයට ආසන්න සමාන්තරයක් වූ කැලිෆෝනියාව විනාශ කල ලැව්ගිනි.

මේ වසරේදී සයිබීරියාවේ හෙක්ටයාර් මිලියන ගනනක වනාන්තර මෙන්ම ඇමසන් හා බෝර්නියෝහි විශාල වැසි වනාන්තර ද ගින්නෙන් විනාශ වී තිබේ.

ආක්ටික් හා ඇන්ටාක්ටිකාවේ අයිස් දියවන ප්‍රමානය පිලිබඳ ප්‍රකාශිත සංඛ්‍යාලේඛන වඩාත් භයානක වන්නේ, මුහුදු මට්ටම ඉහල යාමේ ඇඟවුම් සහ මිලියන සිය ගනනක් ජනයා වෙසෙන ප්‍රදේශ ජලයෙන් යටවීමට ඒවා තුඩු දෙන නිසා ය. ලයිජ් විශ්ව විද්‍යාලය විසින් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද මූලික වාර්තා වලට අනුව, 2019 නොවැම්බර්-දෙසැම්බර් මාසවල ඇන්ටාක්ටිකාවේ මෙතෙක් වාර්තා වී ඇති විශාලතම දෛනික අයිස් දියවීම දැකගත හැකිවිය.

දේශගුනික විපර්යාස නිසා ඇති වන අභියෝග හා තර්ජන ඉදිරි වසර කිහිපය තුල වඩාත් උග්‍ර වනු ඇත. දශක ගනනාවක අනතුරු ඇඟවීම් සහ පියවර ගන්නා බවට දී ඇති නිමක් නැති පොරොන්දු තිබියදීත්, ධනේශ්වර පන්ති සහ ඔවුන්ගේ ආන්ඩු, කාබන් විමෝචනය අඛන්ඩව ඉහල යාමේ පූර්න වගකීම දරයි. වර්තමාන ප්‍රවනතා සැලකිල්ලට නොගත හොත්, පෘථිවිය වේගයෙන් හා ව්‍යසනකාරී ලෙස උනුසුම් වන බවට විද්‍යාඥයින් අතර එකඟත්වයක් ඇත.

ගෝලීය උෂ්නත්වය ඉහල යාම කලමනාකරනය කල හැකි මට්ටමකට ගෙන ඒම සඳහා කල යුතු දේ විද්‍යාත්මක අධ්‍යයනයෙන් තහවුරු වී තිබේ. බලශක්ති උත්පාදනය හා ප්‍රවාහනය සඳහා ප්‍රධාන ප්‍රභවය ලෙස ෆොසිල ඉන්ධන භාවිතය නාටකාකාර ලෙස අඩු කල යුතු අතර, නැවත වන වගාව හා කාබන් මෙල්ල කරන කෘත්‍රිම මාධ්‍යයන් මහා පරිමානයෙන් යෙදවීම සමඟ ඒකාබද්ධව යොදාගත යුතුය. ඒවා පරීක්ෂනයේ අවසන් අදියරයන්ගේ පවතියි.

ලෝක පරිමානයෙන් අවශ්‍ය දේ ඉටු කිරීමට ඇති බාධක ද හඳුනාගත හැකිය. ප්‍රධාන කාරනය නම් ධනපති පන්තියේ පුද්ගලික ලාභ අපේක්ෂාවන් සඳහා ආර්ථික ජීවිතය යටත් කිරීමයි. නිෂ්පාදන බලවේගයන් හිමිකරගෙන සහ පාලනය කරන මූල්‍ය හා ව්‍යාපාරික කතිපයාධිකාරයේ කෙටිකාලීන ලාභ අවශ්‍යතා සඳහා බිලියන සංඛ්‍යාත ජනතාවගේ අනාගතය වචනාර්ථයෙන්ම අවදානමට ලක්කර ඇත.

නවතම බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකය ඇස්තමේන්තු කර ඇති පරිදි, පොහොසත්ම පුද්ගලයින් 500 දෙනාගේ ධනය මේ වසරේදී ඩොලර් ට්‍රිලියන 1.2 කින් ඉහල ගොස් ඇති අතර එය 2018 ට වඩා සියයට 25 ක වර්ධනයකි. ඔවුන්ගේ සාමූහික ශුද්ධ වටිනාකම දැන් ඩොලර් ට්‍රිලියන 5.9 කි. මෙම අනාවරනය වී ඇති ධනයෙන් වැඩි ප්‍රමානයක් සෘජුව හෝ වක්‍රව ලබාගෙන ඇත්තේ, හරිතාගාර වායු විමෝචනයෙන් සියයට 70 කට වගකිව යුතු සහ බලශක්ති නිපදවීමේදී හා ප්‍රවාහනයේදී කාබන් නොවන ආකෘති වලට මාරුවීමට බාධා කිරීම හෝ සම්පූර්නයෙන් අවහිර කිරීම සඳහා ඔවුන්ගේ බලපෑම භාවිතා කර ඇති අන්තර්ජාතික බලශක්ති සමාගම් 100 ක් හෝ ඊට වැඩි ගනනකිනි.

ඒ අතරම ලෝකය ප්‍රතිවාදී ජාතික රාජ්‍යයන් ලෙස බෙදීම යල්පැන ගොස්ය. එය, දේශගුනික විපර්යාසයන්ගේ අන්තරායන්ට පිලියම් යෙදිය හැකි විද්‍යාත්මකව හා ජාත්‍යන්තරව පදනම් වූ සැලැස්මක් වර්ධනය කිරීම අවහිර කර ඇත. සෑම ජාතික රාජ්‍යයක්ම, විශේෂයෙන් එක්සත් ජනපදය විසින් මෙහෙයවනු ලබන ප්‍රධාන බලවතුන්, සිය ප්‍රතිවාදීන්ගේ වියදමින් “ඔවුන්ගේ” සංගතවල සහ ධනවත් ප්‍රභූන්ගේ ලාභදායක තත්වය ආරක්ෂා කිරීමට කටයුතු කර ඇත.

ධනේශ්වර ජාතික රාජ්‍ය ක්‍රමයේ අතාර්කිකත්වයේ පැහැදිලි ප්‍රකාශය, යුද්ධය සඳහා අති විශාල විද්‍යාත්මක සම්පත් හා ඩොලර් ට්‍රිලියන ගනනක් කැප කිරීම යි. එකකින් පසුව තවෙකක් ලෙස පවත්වන දේශගුනික විපර්යාස පිලිබඳ සමුලු අවසන් වන්නේ නාමික පොරොන්දු, අත් ඇඹරවීම් සහ පක්ෂාඝාතයෙනි.

මානව වර්ගයා මහා ව්‍යසනයකට ඇද දැමීමට පෙර ධනේශ්වර කතිපයාධිකාරයේ සහ එහි දේශපාලන දාසයන්ගේ අතින් අත්පත් කරගෙන, ලෝක පරිමානයෙන් නිෂ්පාදන බලවේග පාලනය කිරීමට හැකියාව ඇති සමාජ බලය ජාත්‍යන්තර කම්කරු පන්තියයි. සමාජවාදී සැලසුම්කරනය සහ ආර්ථික ජීවිතය ප්‍රතිසංවිධානය කිරීම සහ පුද්ගලික ලාභයට වඩා මානව අවශ්‍යතා සපුරාලීම සඳහා ධනය විශාල වශයෙන් යලි බෙදා හැරීම තුලින් දේශගුනික විපර්යාසයෙන් නිර්මිත අභියෝගයන්ට මුහුන දිය හැකිය.

Share this article: