එක්සත් ජනපද යුද තර්ජන මධ්‍යයේ ඉරානය, රුසියාව සහ චීනය ඉන්දියානු සාගරයේ ඒකාබද්ධ නාවික අභ්‍යාස පවත්වති

Iran, Russia and China hold joint naval drills in Indian Ocean amid US war threats

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි, 2019 දෙසැම්බර් 30

ඉරාන, රුසියානු සහ චීන යුද නැව්, ඉරාන වෙරල ආසන්නයේ සහ තෙලින් පොහොසත් පර්සියානු ගල්ෆ් කලාපයේ ඕමාන් බොක්ක ප්‍රදේශයේ දින හතරක නාවික අභ්‍යාසයක් අද අවසන් කරනු ලැබීය. ඉරාන හමුදා සමඟ ඒකාබද්ධ අභ්‍යාස සඳහා ඉන්දියානු සාගරය වෙත මොස්කව් සහ බීජිං යුද නැව් යැවූ පලමු අවස්ථාව මෙලෙස සනිටුහන් විය.

නිරිතදිග ඉරානයේ වරාය නඟරයක් වන ඕමාන් බොක්කේ චාබහාර් වෙත ලඟාවෙමින් තිබෙන යුද නැවකි. ඉරාන නාවික හමුදාව පසුගිය සඳුදා රුසියාව හා චීනය සමඟ සිය පලමු ඒකාබද්ධ නාවික අභ්‍යාසය පැවැත්වීය ඒ ඉන්දියානු සාගරයේ උතුරු කොටසෙහිය. [ඇසෝසියේටඩ් ප්‍රෙස් හරහා ඉරාන හමුදාව](Iranian Army via AP)

මෙම අභ්‍යාසයට සහභාගී වූ ඉරාන බලඇනියේ ප්‍රධානී රියර් අද්මිරාල් ගොලම්රෙසා ටහානි පැවසුවේ, ඉරානය, රුසියාව සහ චීනය අතර සමීප සබඳතා ප්‍රදර්ශනය කිරීම එහි අරමුන බවයි. “මෙම අභ්‍යාසයේ පනිවුඩය සාමය, මිත්‍රත්වය සහ සහයෝගීතාවයෙන් හා එකමුතුකම තුලින් කල් පවත්නා ආරක්ෂාවයි. එයින් අපේක්ෂා කරන්නේ, ඉරානය හුදෙකලා කල නොහැකි බව පෙන්වීමයි” ටහානි පැවසීය. “‍මෙම බලතල ක්‍රියාත්මක කිරීමට සත්කාරකත්වය දැක්වීම තුලින් අපගේ සබඳතා අර්ථවත් ස්ථානයකට පැමින ඇති බවත් එය ජාත්‍යන්තර බලපෑමක් ඇති කල හැකි බවත් පෙන්නුම් කරයි.”‍

ඇත්ත වශයෙන්ම මෙම අභ්‍යාසය, වොෂිංටනයේ සහ යුරෝපයේ අධිරාජ්‍යවාදී අගනගරවල පාලක කවයන් වෙත යවන ලද සංඥාවක් වන අතර ඉරානය සමඟ එක්සත් ජනපදය මූලිකත්වය දරන යුද්ධයක්, ලෝකයේ ප්‍රධාන න්‍යෂ්ටික බලවතුන් සම්බන්ධ සෘජු හා පූර්න ගැටුමක් කරා වේගයෙන් ව්‍යාප්ත විය හැකිය.

ජුනි මාසයේදී ඉරානය විසින් එක්සත් ජනපද ඩ්‍රෝන යානයක් පර්සියානු ගල්ෆ් කලාපයේ මුහුදු සීමාවට ඉහලින් වෙඩි තබා බිම හෙලීමෙන් පසුව, ට්‍රම්ප් ට්වීටර් පනිවිඩයකින් කියා සිටියේ, එක්සත් ජනපද මිසයිල ප්‍රති ප්‍රහාර ආරම්භ කිරීමට මිනිත්තු දහයකට පෙර ඔහු එය අත්හිටවූ බවයි. ඉරානය, රුසියාව සහ චීනය යන රටවල් සියල්ලම වොෂිංටනයේ දැඩි මිලිටරි තර්ජනයන්ට හා පීඩනයට ලක්ව ඇති අතර, ඉරානය සමඟ එක්සත් ජනපද මූලිකත්වයෙන් කෙරෙන නේටෝ යුද්ධයක් මැද පෙරදිගට පමනක් සීමා නොවන බවට සංඥා කිරීම සඳහා බීජිං සහ මොස්කව් ඉරානයේ වෙරලට ඔබ්බෙන් වූ මූලෝපායික මුහුදු කලාපයට යුද නැව් යැවීමට තීරනය කලහ.

රටවල් හයක් විසින් පසුගිය වසරේ ඉරානය සමඟ අත්සන් තැබූ න්‍යෂ්ටික ගිවිසුම වොෂින්ටනය ඒකපාර්ශවිකව අවලංගු කර, ඉරාන ආර්ථිකයට එරෙහිව විනාශකාරී සම්බාධක යලි පනගැන්වීමෙන් පසුව ඉරානයට එරෙහිව වැඩෙන එක්සත් ජනපද හා ඊස්රායල යුද තර්ජනවල සෙවනැල්ල යටතේ මෙම අභ්‍යාසය දිග හැරුනි.

රුසියානු යුද නැව් බදාදා ඉරානය කරා ලඟාවෙද්දී ඊස්රායලයේ යුද හමුදා මාන්ඩලික ප්‍රධානී අවිව් කොහවි ඉරානයට එරෙහිව මිලිටරි පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියේය. “අපි පමනක් ඔවුන්ට ප්‍රතිචාර නොදැක්වුවහොත් වඩා හොඳය” යනුවෙන් කොහවි පැවසීය. ටයිම්ස් ඔෆ් ඊස්රායල් පුවත්පතට අනුව මෙය, කල්තියා ඉරානයට පහර නොදුන් නිසා වොෂිංටනයට, සෞදි රාජාන්ඩුවට සහ අනෙකුත් පර්සියානු ගල්ෆ් ෂීක් රාජාන්ඩු වලට කරන ලද චෝදනාවකි. “යුද්ධයේ අවදානම තිබියදී පවා ඊස්රායල් හමුදාව විවෘතව මෙන්ම රහසිගතව ද ප්‍රදේශය පුරා ක්‍රියාත්මක වනු ඇතැයි” කොහාවි පැවසීය.

ඊට පිලිතුරු වශයෙන් ඉරාන නියෝජ්‍ය හමුදා සම්බන්ධීකරන කටයුතු පිලිබඳ අනදෙන නිලධාරී හබිබුල්ලා සයාරි අනතුරු ඇඟවූයේ, මෙම අභ්‍යාසයට සම්බන්ධ නැව් ඔත්තු බැලීමට උත්සාහ කරන ඕනෑම යාත්‍රාවකට වෙඩි තබන බවයි. “බොහෝ රටවල් නියත වශයෙන්ම උත්සාහ කරන්නේ කාරනය කුමක්දැයි දැන ගැනීමටයි. ඔත්තුකරුවන් ද ක්‍රියාත්මක වී තිබේ. යුද අභ්‍යාස කලාපයේ ඇති ඔත්තු බැලීමේ ඕනෑම යාත්‍රාවකට අපි පහර දෙමු.”

විය හැකි යුද්ධය සහ ඉරානයට ඔවුන් දක්වන සහයෝගය පිලිබඳව රුසියානු සහ චීන නිලධාරීන් අනුක්‍රමිකව කනස්සල්ල පල කලහ. රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා පැවසුවේ “කලාපයේ ස්ථාවරත්වය පවත්වා ගැනීම, ආරක්ෂාව සහ ත්‍රස්තවාදයට එරෙහි අරගලය යන කරුනු සම්බන්ධයෙන් අපි කටයුතු කරන්නෙමු. මෙම සහයෝගීතාවය හා අන්තර් ක්‍රියාකාරිත්වය ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික පදනමක් මත ගොඩනගා ඇති නමුත් එය තනිකරම නෛතික පදනමක් මත වේ.”

චීන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක වු ක්වාන් පැවසුවේ “මෙම සරඹය රටවල් තුනේ නාවිකයින් අතර හුවමාරුව හා සහයෝගීතාව ගැඹුරු කරනු ඇත” යනුවෙනි. මෙම අභ්‍යාසය “සාමාන්‍ය මිලිටරි මිලිටරි සහයෝගීතාව” ලෙස හැඳින්වූ අතර ඒවා “අවශ්‍යයෙන්ම කලාපීය තත්වයට සම්බන්ධ නොවේ” එය ඉරානයට එරෙහි එක්සත් ජනපද ආක්‍රමනකාරී යුද්ධයක අවදානම පිලිබඳ පැහැදිලි සඳහනකි.

කෙසේ වෙතත් අභ්‍යාසයට සම්බන්ධ නැව්වල ස්වභාවයෙන්, එහි අරමුන, මුහුදු කොල්ල විරෝධී හා ගලවා ගැනීමේ මෙහෙයුම් වල යෙදීම පමනක් ය යන ඒ පිලිබඳ නිල ප්‍රකාශයන් ප්‍රතික්ෂේප වේ. රුසියාවේ බෝල්ටික් නාවික ආරක්ෂක නෞකාව වන යාරොස්ලාව් මුද්රි, යෙල්නියා ටෑංකරය හා වික්ටර් කොනෙට්ස්කි ටග් යාත්‍රාව ද චීනයේ ගයිඩඞ් මිසයිල නාශක ෂයිනිං ද ඊට සම්බන්ධ වේ. දිගු දුර ප්‍රහාරක කෘස් මිසයිල, ගොඩබිම් හා නාවික යාත්‍රා විනාශ කරන මිසයිල වලින් සන්නද්ධ ෂයිනිං, “වාහක ඝාතකයා” යන අපනාමයෙන් හඳුන්වනු ලබයි. ගුවන් යානා සහිත එක්සත් ජනපදයේ විශාල සතුරු යුද නැව් වලට පහර දිය හැකි.

ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත විමසීම් කරන ලද එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන්, මෙම සරඹය හෙලා දකිමින් ඒකාබද්ධ හමුදා අභ්‍යාස ගැන “දෙවරක් සිතා බැලිය යුතු” බවට ඉරානයට අනතුරු ඇඟවීය. ලෝක තෙල් වෙලඳාමෙන් තුනෙන් එකක් පමන ඕමාන් බොක්ක හරහා සිදුවන බව සඳහන් කරමින් එක්සත් ජනපද නිලධාරීන් කුහක ලෙස කියා සිටියේ, මෙම යුද සරඹය “කලාපයේ නාවික ගමනා ගමනයේ නිදහස ආරක්ෂා කිරීමට උනන්දුවක් දක්වන සියලු‍ ජාතීන්ගේ අවධානයට ලක් විය යුතු” බවයි.

කෙසේ වෙතත්, කලාපයට ඇති ප්‍රධාන අන්තරාය, ස්ටැලින්වාදීන් සෝවියට් සංගමය විසුරුවා හැර 1991 දී ධනවාදය පුනරුත්ථාපනය කල දා සිට එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සහ එහි යුරෝපීය සහචරයින් විසින් දියත් කරන ලද යුද්ධයන් ය. ඉරාකය, ඇෆ්ගනිස්ථානය, ලිබියාව සහ සිරියාව තුල දශක ගනනාවක් තිස්සේ යුද්ධ පවතියි. මිලියනයක් ජනතාවගේ ජීවිත විනාශ කරමින් තවත් මිලියන ගනනකට තම නිවෙස්වලින් පලා යාමට බල කෙරුනු සහ කලාපය පුරා කටුක කුලීකාර මිලිටරි ගැටුම් මෙ මඟින් නිර්මානය කෙරුනි. ඉරානයට එරෙහි ට්‍රම්ප්ගේ සම්බාධක සහ යුද තර්ජන තුලින් බලහත්කාරී ලෙස කලාපීය ආධිපත්‍යය අත්පත් කර ගැනීමේ මෙම ප්‍රතිපත්තිය දිගටම පවත්වාගෙන යයි.

නේටෝව විසින් 2011 දී සිරියාවේ දියත් කරන ලද කුලීකාර යුද්ධයට එරෙහිව ඉරානය, රුසියාව සහ චීනය මිලිටරි හෝ බුද්ධි අංශ යොදා ගනිමින් සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ට සහාය දැක්වීමට පියවර ගත්හ. නේටෝ යුද්ධයෙන් දැනට ලක්ෂ ගනනකගේ ජීවිත විනාශ කෙරී ඇත. දැන්, නැගෙනහිර යුරෝපයේ නේටෝ මිලිටරි තරකිරීමට මුහුන දෙමින් හා එක්සත් ජනපදයේ “ආසියාවට හැරීම” සහ චීනයට එරෙහි වෙලඳ යුද්ධ තර්ජන හමුවේ, මොස්කව් සහ බීජිං දෙපාර්ශවයම ඉරානයට සමාන සහයෝගයක් ලබා දීමට තල්ලු‍ වී තිබේ.

ඉරානයට එරෙහි එක්සත් ජනපද මිලිටරි තර්ජන සහ වෙලඳ යුද්ධය ද වොෂින්ටනය සහ ආසියාවේ, යුරෝපයේ එහි පෙනෙන සහචරයින් අතර ආතතීන් උත්සන්න කර තිබේ. පර්සියානු ගල්ෆ් කලාපයේ අධිරාජ්‍යවාදී මිලිටරි මැදිහත්වීම් දැන් සිදුවෙමින් පවතී. විසිවන සියවසේදී දෙවරක් ලෝක යුද්ධ පුපුරා යාමට තුඩු දුන්, සම්පත්, වෙලඳපල සහ ලාභ පාලනය කිරීම පිලිබඳ එම අන්තර් අධිරාජ්‍යවාදී එදිරිවාදිකම්ම, යලිත් 21 සියවසේ ද ලෝක යුද්ධයේ තර්ජනය මතුකරයි.

ඉරාන න්‍යෂ්ටික ගිවිසුම වොෂින්ටනය විසින් අවලංගු කිරීමෙන් පසු පර්සියානු ගල්ෆ් කලාපයේ වැඩෙන ආතතීන් මධ්‍යයේ, ජපාන තෙල් නෞකාවක් වන කොකුටා කරේජස් මිසයිල ප්‍රහාරයකට ලක්විය. තමන් මිසයිල් ප්‍රහාරය එල්ල කල බවට එක්සත් ජනපදය නැඟූ චෝදනා ඉරාන නිලධාරීන් තරයේ ප්‍රතික්ෂේප කල අතර ජපාන නිලධාරීන් මෙම එක්සත් ජනපද චෝදනා අනුමත කිරීම ප්‍රතික්ෂේප කිරීම ද සැලකිය යුතු කාරනයකි. පසු ගිය සතියේ ටෝකියෝව නිවේදනය කලේ, ගල්ෆ් කලාපයේ ජපන් වෙලඳ නැව් ආරක්ෂා කිරීම සඳහා පර්සියානු බොක්ක වෙත යුද නැව් යවන බවයි.

පර්සියානු ගල්ෆ් තෙල් ප්‍රවාහන මාර්ගවල මුර සංචාරයේ යෙදෙන යුරෝපීය නාවික හමුදාවේ, ඩෙන්මාර්ක හා ලන්දේසි යාත්‍රා හමුදාව සමඟ සිය කෝර්බෙට් ප්‍රහාරක නෞකාව ද එක්වන බව ප්‍රන්ස හමුදා නිලධාරීන් දෙසැම්බර් 19 වන දින තහවුරු කලහ. බ්‍රෙක්සිට් අර්බුදය මධ්‍යයේ බ්‍රිතාන්‍යය යුරෝපීය මෙහෙයුමට සම්බන්ධ නොවන අතර ඒ වෙනුවට කලාපයේ එක්සත් ජනපද ප්‍රමුඛ නාවික බලඇනිය වෙත ඕස්ට්‍රේලියාව සමඟ එක්ව සිය නැව් පිටත් කර තිබේ.

ඉරානය, රුසියාව සහ චීනය අධිරාජ්‍යවාදී ආක්‍රමනවල ඉලක්ක බවට පත්ව ඇති නමුත්, ටෙහෙරානයේ, රුසියාවේ හෝ චීනයේ පශ්චාත්-ස්ටැලින්වාදී ධනවාදී පාලන තන්ත්‍රයන්ගේ මිලිටරි උපාමාරු ප්‍රගතිශීලී නොවේ. වොෂින්ටනය සමඟ ගනුදෙනුවලට යාමේ උත්සාහයන් සහ පූර්න න්‍යෂ්ටික යුද්ධයක් දක්වා ව්‍යාප්ත විය හැකි විනාශකාරී ගැටුමක් දියත් කිරීමට තර්ජනය කිරීම අතර ඔවුහු දෝලනය වෙති. ජාත්‍යන්තර කම්කරු පන්තිය තුල වර්ධනය වන යුද විරෝධී හා ධනවාදී විරෝධී හැඟීම්වලට ආයාචනා කිරීමට ඔවුන්ට හැකියාවක් හෝ අවශ්‍යතාවක් නැත. පහල සිට නැගෙන තර්ජනය පිලිබඳව ඔවුහු භීතියට පත්ව සිටිති.

එක්සත් ජනපද මෝටර් රථ කර්මාන්තශාලා සහ පතල් කම්කරු වර්ජන ද ප්‍රන්ස “කහ බැනියම්” විරෝධතා සහ රාජ්‍ය අංශයේ වැඩ වර්ජන, පෝලන්තයේ ජාතික ගුරුවරුන්ගේ වැඩ වර්ජනය සහ ඇල්ජීරියාව සහ ලෙබනනයේ සිට ඉරාකය හා හොංකොං දක්වා මහජන විරෝධතා, 2019 තුල පුපුරා ගියේය. සමාජ අසමානතාවයට එරෙහි පුපුරනසුලු‍ කෝපය අධිරාජ්‍යවාදී යුද්ධ කෙරෙහි වැඩෙන විරෝධය සමඟ අත්වැල් බැඳගනී. මෙම වර්ධනය වන අරගල තුල කම්කරු පන්තියේ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම අතිශයින් වැදගත් ය.

Share this article: