ශ්‍රී ලංකාවේ ජනාධිපති රාජ්‍ය ආයතන ප්‍රධානීන් ලෙස හිටපු මිලිටරි නිලධාරීන් පත්කරයි

Sri Lankan president appoints former military officers to head state institutions

ප්‍රදීප් රාමනායක විසිනි, 2019 දෙසැම්බර් 11

අලුතින් පත්වූ ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, නොවැම්බර් 16දා පැවති ජනාධිපතිවරනයෙන් පසුව ඔහුට දැනට මත් පවතින පුලුල් බලතල ශක්තිමත් කරගැනීමටත්, සන්නද්ධ හමුදාවන්ට වැඩි බලතල ලබාදීමටත් හිටපු මිලිටරි නිලධාරීන් කිහිපදෙනෙකුට වැදගත් පත්වීම් ගනනාවක් ලබාදී තිබේ.

ඒවායින් වඩාත් වැදගත් එකක් වන්නේ, දැනට මත් ආරක්ෂක ලේකම් ධුරයට පත්කර ඇති විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුනරත්න ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (ටීආර්සීඑස්එල්) සභාපති ධුරයට තෝරාගැනීමයි.

අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය, ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකාවන්ට බලපත්‍ර ලබාදීම සහ එම මාධ්‍ය ආයතනවලට එරෙහි පැමිනිලි විමර්ශනය කිරීම ආදී සැලකිය යුතු බලතල ටීආර්සීඑස්එල් සතුව තිබේ. ජෙනරාල් ශාන්ත කෝට්ටෙගොඩ ටීආර්සීඑස්එල් ප්‍රධානියා ලෙස පත්කල හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින්, මාර්තු මාසයේ එම කොමිෂන් සභාව ආරක්ෂක අමාත්‍යාංශයේ සෘජු පාලනය යටතට පත්කරනු ලැබී ය.

ශ්‍රී ලංකාවේ මෑත පත්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ (ඒපී ෆොටෝ/ එරංග ජයවර්ධන)

ආරක්ෂක අමාත්‍යවරයෙක් පත්කරනු වෙනුවට, රාජපක්ෂ කර ඇත්තේ, ආරක්ෂක අමාත්‍යාංශයේ මෙන් ම නීතිය හා සාමය අමාත්‍යාංශයේ කටයුතු ඡන්දයෙන් පත් නො වූ නිලධරයෙක් වන ආරක්ෂක ලේකම් යටතේ තැබීම යි. 19වන සංශෝධනයට අනුව ශ්‍රී ලංකාවේ ජනාධිපති අමාත්‍ය ධුර දැරීමෙන් වලක්වන ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව, මෙම තීරනය මගින් උල්ලංඝනය කරනු ලැබේ. පසුගිය ආන්ඩුව සමයේ සම්මත කල මෙම සංශෝධනයට අනුව, ජනාධිපතිවරයාට කල හැක්කේ, අගමැතිවරයාගේ මතය විමසීමෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු කැබිනට් ඇමතියෙකු ලෙස පත්කිරීම යි.

පූර්වයෙන් නීතිය හා සාමය පිලිබඳ කටයුතු පොලීසිය හා සම්බන්ධ වැඩකටයුතු කරන වෙන ම අමාත්‍යාංශයක් යටතේ පැවති අතර, එය සිවිල් කටයුත්තක් ලෙස සැලකුනේ ය. දැන් පොලීසිය හා ඊට සම්බන්ධ ආයතනවලට, ආරක්ෂක ලේකම්වරයා නියෝග හා උපදෙස් නිකුත් කරයි.

රාජපක්ෂගේ දීර්ඝ-කාලීන සමීපතමයෙක් වන ආරක්ෂක ලේකම් ගුනරත්න, ඔහුගේ ජනාධිපතිවරන උද්ඝෝෂනය සංවිධානය කිරීමේ දී මූලික භූමිකාවක් ඉටුකලේ ය. බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි රුදුරු යුද්ධයේ අවසන් අදියරේ දී යුද හමුදාවේ 53වන බලසේනාවට අනදුන් හිටපු මේජර් ජනරාල්වරයාට, රුදුරු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිලිබඳ චෝදනා එල්ල වී ඇත. එම ගැටුමේ දී සිවිල් වැසියන් 40,000ක් ඝාතනය කලේ යයි තක්සේරු කෙරේ.

දෙසැම්බර් 10දා, මානව හිමිකම් සංවිධානයක් වන ජාත්‍යන්තර සත්‍යය හා සාධාරනය පිලිබඳ ව්‍යාපෘතිය, ගුනරත්න පත්කිරීම හෙලාදුටු අතර, ඔහුට එල්ලවී ඇති යුද අපරාධ චෝදනා පිලිබඳ පිටු 100ක ලේඛනයක් නිකුත් කලේ ය.

ඔහුගේ සහෝදරයා හා හිටපු ජනාධිපති වන මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත්කර ඇති ගෝඨාභය, සිය වැඩිමහල් ම සහෝදරයා වන ජාතික ලැයිස්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ ආරක්ෂක රාජ්‍ය ඇමති ධුරයට පත්කර ඇත. මෙය කැබිනට් ඇමති ධුරයක් නො වන කනිෂ්ඨ තනතුරකි. එහෙත් කෘෂිකර්ම හා මහවැලි ඇමති වන චමල් රාජපක්ෂ කැබිනට්ටුවේ සාමාජිකයෙකි.

නොවැම්බර් 27දා, පොලිස් කොමිසම ක්ෂනික ව නිවේදනය කලේ එහි මාධ්‍ය අංශය වසා දමන බව යි. මේ ගැන පැහැදිලි කිරීමක් කර නැති අතර, සමහර මාධ්‍ය වාර්තා කර ඇත්තේ, එම තීරනය නීතිය හා සාමය අමාත්‍යාංශයෙන් කල “ඉල්ලීමක්” අනුව ගනු ලැබූ බව යි. නව විධිවිධානයන් යටතේ, පොලිස් මාධ්‍ය සාකච්ඡා ආරක්ෂක නිලධාරියෙක් විසින් පවත්වනු ඇත. “ත්‍රිවිධ-හමුදා (යුද, නාවික හා ගුවන්) සහ පොලීසියට පොදු මාධ්‍ය ඒකකයක් පත් කෙරෙනු ඇත” යි කියමින් චමල් රාජපක්ෂ පසුව මෙය සනාථ කලේ ය.

තවත් පත්කිරීමක් කරමින්, ජනාධිපති රාජපක්ෂ, රටෙහි රාජ්‍ය ඔත්තු සේවයේ (එස්අයිඑස්) ප්‍රධානියා ලෙස බ්‍රිගේඩියර් සුරේෂ් සලේ පත්කරමින් ප්‍රථම වරට එම ධුරයට මිලිටරි නිලධාරියෙක් පත්කර තිබේ. ඔත්තු බලන ඒජන්සිය කලින් ක්‍රියාත්මක වූයේ, පොලිස් දෙපාර්තමේන්තුවේ කොටසක් ලෙස යි. නව එස්අයිඑස් ප්‍රධානී සලේ, මිලිටරි ඔත්තු සේවයේ හිටපු ප්‍රධානියා ය.

කම්කරුවන්, තරුනයන්, ජනමාධ්‍ය වේදීන් සහ ආන්ඩුව හා එහි මර්දනීය රාජ්‍ය යන්ත්‍රනය ගැන විවේචනාත්මක වන ඕනෑම අයෙකු ගැන ඔත්තු බැලිම, බොරු නඩු පැවරීම හා චෝදනා ඉදිරිපත් කිරීම ගැන එස්අයිඑස් කුප්‍රකට ය.

රාජපක්ෂගේ මැතිවරන උද්ඝෝෂනයේ දී, ඔහු හා ඔහුගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ), ජනාධිපති සිරිසේනටත් හා අගමැති රනිල් වික්‍රමසිංහටත් ඔත්තු සේවාව “දුර්වල කලේ” යයි චෝදනා කිරීමට පුද්ගලයන් සිය ගනනක් ඝාතනය කල පාස්කු ඉරිදා ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර ගසා කෑ හ.

සත්‍යය නම්, ප්‍රහාරය පිලිබඳ ව ශ්‍රී ලංකාවේ මිලිටරිය හා ඔත්තු සේවය මෙන් ම ආන්ඩුවේ මුදුන්වල දේශපාලකයන් කල්තබා තමන්ට අනතුරු ඇඟවීම් ලැබී තිබුනත්, සිතාමතා ම කිසිදු පියවරක් නො ගෙන සිටි බවයි. ඉන් අනතුරු ව, දේශපාලන සංස්ථාපිතය සමස්තයක් ලෙස වාර්ගික බේදකරනයන් ඇවිලවීම සඳහා මහජන කෝපය ගසාකෑවේ ය.

රාජපක්ෂ රටෙහි ව්‍යවස්ථාව නො තකමින්, තමන් අතට වඩා වැඩි බලතල ඒකරාශී කරගැනීමේ උත්සාහය තීව්‍ර කරද්දී, එකදු විරුද්ධ පක්ෂයක් හෝ මාධ්‍යයක් එම පියවරයන් විවේචනය කිරීමක් හෝ ඒ ගැන කිසිදු ප්‍රශ්න මතුකිරීමක් කර නැත. ජනාධිපතිවරනයේ දී රාජපක්ෂට “අතිවිශාල ජනවරමක්” ලැබුනේ ය යන ව්‍යාජ කියාපෑම් පිලිගනිමින්, සියලු දෙනා ඔහුගේ ක්‍රියාවන්ට නින්දිත ලෙස අනුගත වී සිටිති.

ටීආර්සී සභාපති ලෙස වැඩ භාරගනිමින්, විශ්‍රාමික මේජර් ජනරාල් ගුනරත්න කොමිසමේ සේවකයන්ට කීවේ, නව ආන්ඩුව “රට නිවැරදි මාවතට යලි යොමු කොට එය සංවර්ධනය කරනු ඇත” යි ශ්‍රී ලංකාවේ මහජනතාවට “ඉහල අපේක්ෂාවන්” තිබෙන බව යි. රාජ්‍ය අංශයේ කම්කරුවන් හොඳින් වැඩකොට එම අපේක්ෂාවන් ඉටුකල යුතු බව ඔහු කීවේ ය.

“සිංගප්පූරු නායකයන් සෑමවිට ම ඔවුන්ගේ ජනතාවට දැනට වඩා වැඩියෙන් සේවය කල යුතු යයි මතකයට නංවනවා” යි ඔහු කීවේ, පුරවර-රාජ්‍යයේ විශාල ඩිජිටල් තිර “තව ටිකක් වැඩියෙන් වැඩ කරන්න, වැඩියෙන් සේවය කිරීමට කාර්යක්ෂම වන්න” යයි සෑම දෙනාට ම කැඳවුම් කරන බව විස්තර කරමිනි. ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් හා සියලු රාජ්‍ය සේවකයන්ගෙන් තමන් ද එය අපේක්ෂා කරන බව ඔහු ප්‍රකාශ කලේ ය.

සිංගප්පූරුව යනු ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ විධානයන් අනුව කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මුර්ග ලෙස මර්දනය කර ඇති පොලිස් රාජ්‍යයකි. ගැඹුරු වන ආර්ථික අර්බුදයකට සහ කම්කරුවන්, තරුනයන් හා ගම්බද ජනයාගේ වැඩෙන සමාජ විරෝධයට මුහුන දෙන නව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා, කම්කරු පන්තිය සමග ගැටුමකට සූදානම් වෙමින් ඔහුගේ ආන්ඩුව ශක්තිමත් කිරීමට මංමුලා සහගත ලෙස උත්සාහ දරමින් සිටී.

කතුවරයා නිර්දේශ කරන තවත් ලිපි:

ශ්‍රී ලංකාවේ ඒකාධිපති, වර්ගවාදී රාජපක්ෂ තන්ත්‍රයට එරෙහි සටන් කිරීමට කම්කරුවන් සමාජවාදී ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක් මත පදනම් විය යුතු යි - 2019 දෙසැම්බර් 7

Share this article: