ශ්‍රී ලංකාව: බොගවන්තලාව තේ වත්තේ ගින්න පවුල් 16කට නිවාස අහිමි කරයි

Sri Lanka: 16 families homeless after fire at Bogawantalwa tea plantation

ඒ. සුරේෂ් හා එම්. දේවරාජා විසිනි, 2019 පෙබරවාරි 04

ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ රොබ්ගිල් වත්තේ වනාකඩු කොටසේ දී ජනවාරි 29 දා හටගත් විනාශකාරී ගින්නක් ලයින් කාමර 12ක් විනාශ කලේ ය. පෙරවරු 11.30ට පමන වැඩකරන වේලාවේ සිදු වූ මෙම අනතුර ලමුන් 21 ක් ඇතුලු 66 දෙනෙකුගේ නිවාස ව්‍යසනයට පත් කලේ ය.

ඇඳුම්, කුස්සි හා අනෙකුත් ගෘහස්ත ආම්පන්න ද උප්පැන්න සහතික, ජාතික හැඳුනුම්පත් හා අනෙකුත් අවශ්‍ය ලේඛන මෙන් ම ලමුන්ගේ පොත් හා පාසල් නිල ඇඳුම් ද ඇතුලු සියලු දේපොල පවුල් 16ට අහිමි විය. ප්‍රමානවත් ආහාර හා සනීපාරක්ෂක පහසුකම්වලින් තොර ව විනාශයට ගොදුරු වූවන් දැනට වත්තේ සංස්කෘතික ශාලාවේ හා කෝවිලේ නවාතැන් ගෙන සිටී.

රොබ්ගිල් වත්තේ ගින්නෙන් දැවෙන ලයින් කාමර : ඡායාරූප අනුග්‍රහය/ ජී. කිශාන්තන්

කැලනිවැලි වතු සමාගමට අයත් රොබ්ගිල් වත්තේ බොගවන්තලාවේ සිට කිලෝමීටර 7ක් හා හැටන් සිට කිලෝමීටර 11ක් දුරින් පිහිටා ඇත. වනාකඩු කොටසේ කම්කරුවෝ 110ක් රැකියාවේ නිරත වෙති.

ගින්නට හේතුව තවමත් නිල වසයෙන් නීර්නය කර නැතත්, ප්‍රධාන කාරනය රහසක් නො වේ. එය වනාහි ප්‍රමානවත් නො වන, තදබදයෙන් යුත් හා අනාරක්ෂිත නිවාස කොන්දේසිවල නිෂ්පාදිතයකි. ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන් හා ඔවුන්ගේ පවුල්වලින් බහුතරයක් නවාතැන් ගෙන සිටින්නේ කුඩා සාලයකින් හා කුස්සියකින් යුක්ත තනි නිදන කාමරයක් සහිත අසම්පූර්න ලයින් කාමරවල වන අතර, ඒවායින් බොහොමයක් ගොඩනගා ඇත්තේ බි්‍රතාන්‍ය විජිත පාලන සමයේ ය. එක් ලයින් කාමරයක් තුල සාමාන්‍යයෙන් පවුල් දෙකක් හෝ වැඩියෙන් ජීවත් වෙති.

පහත දැක්වෙන ලැයිස්තුව අනාවරනය කරන පරිදි ශ්‍රී ලංකාවේ තේ වතුවල නිවාස ගිනිගැනීම් සුලභ දෙයකි:

■ 2011 අප්‍රේල් මාසයේ මස්කෙලියෙහි බෘන්ස්වික් වත්තේ ලයින් කාමර 20ක් ගින්නකින් විනාශ විය. 2016 ජනවාරි මාසයේ එම වත්තේ ම හටගත් ගින්නක් ලයින් කාමර කිහිපයකට දැඩි ලෙස හානි කලේ ය.

■ 2012 මැයි මාසයේ මස්කෙලියේ මෝචා වත්තේ ගින්නක් නිවාස 22ක් විනාශ කලේ පුද්ගලයන් 100 ක් පමන අවතැන් කරමිනි.

■ 2014 නොවැම්බර් මාසයේ නුවරඑලිය ඩයගම වත්තේ ගින්නක් නිවාස 22ක් විනාශ කොට පුද්ගලයන් 80කට වැඩි දෙනෙකු අවතැන් කලේ ය.

■ පසුගිය වසරේ දෙසැම්බර් 29දා දික්ඔය ෆෝඩයිස් වත්තේ හටගත් ගින්නක් නිවාස 20ක් පමන විනාශ කලේ ය. නව නිවාස ලබාදෙන බවට කලමනාකාරීත්වය පොරොන්දු වුවත් එම පවුල් තවමත් ජීවත් වන්නේ අප්‍රමානවත් පහසුකම් යටතේ තාවකාලික කූඩාරම්වල ය.

ගිනි, නායයාම් හා අනෙකුත් මුලුමනින් ම වැලැක්විය හැකි හේතූන් නිසා වසර කිහිපයක් තිස්සේ අනෙකුත් ලයින් කාමර සිය ගනනක් විනාශ කරනු ලැබ ඇත.

අනුප්‍රාප්තික ශ්‍රී ලංකාවේ ආන්ඩු හා වතු සමාගම් වතු කම්කරුවන්ට හොඳ වාසස්ථාන ලබාදෙන බවට පුරුද්දක් ලෙස පොරොන්දු වුව ද කිසිවක් වෙනස් නො වේ.

රොබ්ගිල් වත්තේ කෝවිලක රැඳී සිටින පවුල්

සමහර තක්සේරුකිරීම්වලට අනුව, වතු කම්කරුවන්ගෙන් සියයට 67 ක් පමන සුදුසු වාතාශ්‍රය රහිත අඩි 120 ලයින් කාමරවල ජීවත් වෙති. මේවායින් සියයට විසිපහකට පමන සුදුසු වැසිකිලි නොමැත.

ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශවල සාක්ෂරතාව සියයට 92ක් වුවත් වතු දිස්ත්‍රික්කවල එම අගය සියයට 67ක් පමනි. මෙම ප්‍රදේශවල පාසල් නිසි පරිදි නඩත්තු නො කරන අතර ඒවාට ප්‍රමානවත් ගුරුවරුන් හෝ ප්‍රමානවත් පහසුකම් හා උපකරන නැත.

තමන්ගේ ජීවන කොන්දේසි පිලිබඳ ව පසුගිය සතියේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් සමග කතාකල රොබ්ගිල් වත්තේ ගින්නෙන් පීඩාවට පත්වූවෝ ආන්ඩුව හා වෘත්තීය සමිති හෙලාදුටුවෝ ය.

කම්කරු කාන්තාවක වන එස්. ශාන්ති, ගින්න හේතුවෙන් සම්පූර්නයෙන් විනාශයට පත් වූ නිවාස හිමියන් අතරට සාමාජිකයන් 11 බැගින් වූ පවුල් තුනක් අයත් වන බව ලෝසවෙඅ වෙත කීවා ය.

“අපේ සියලු දේපොල හා ලිපිලේඛන සියල්ල අහිමි වුනා. අපේ වැටුප ආහාර සඳහා වත් ප්‍රමානවත් නො වන නිසා ඒවා නැවත ලබාගැනීම සඳහා වියදම් කිරීම අපට අපහසු යි” යි ඇය කීවා ය.

වතු හිමියන් හා වෘත්තීය සමිති අතර මෑත දී අත්සන් තබන ලද පාවාදීමේ ගිවිසුම, කලින් ස්ථාපනය කර තිබූ දීමනාවන් කිහිපයක් ම කපා දැමූ බව ශාන්ති විස්තර කලා ය.

“අපේ දෛනික පඩිය ඇත්තට ම වැඩිවන්නේ රුපියල් 20කින් විතරක් නිසා අපේ නැති වූ ලේඛන ලබාගැනීමට අපට කොපමන කාලයක් ගත වේදැයි මට හිතාගන්න බැහැ. අපට යහපත් වාසස්ථාන හා නිවාස පද්ධතියක් තිබුනා නම් මේ තරම් හානියක් සිද්ද වෙන්නේ නැහැ” යි ඇය කීවා ය.

කඳුකර ප්‍රදේශයක පිහිටා ඇති රොබ්ගිල් වත්තේ වනාකඩු කොටසට බස් සේවාවක් නැති අතර, ඒ හේතුවෙන් ප්‍රධාන පාරට ලඟාවීම සඳහා එහි වැසියන්ට කිලෝමීටර ගනනක් පයින් ඇවිද යාමට බලකෙරේ. ප්‍රදේශයේ පාරවල් අබලන් තත්ත්වයෙන් පවතී. ලමුන්ට ඔවුන්ගේ පාසල් වෙත ලඟාවීම සඳහා දිගු දුරක් පයින් ඇවිද ඒමට සිදු වේ.

අසල පිහිටි බොගවන්තලාව රෝහලට තමා විසින් රැගෙන යද්දී, රෝගීන් තිදෙනෙකු මියගිය බව හා ගැබිනි කාන්තාවන් හයදෙනෙකු දරුවන් බිහිකල බව ත්‍රී-රෝද රථ රියදුරෙක් වන රන්ජිත් කුමාර් ලෝසවෙඅ වාර්තාකරුවන් වෙත කීවේ ය.

හානියට පත්වුන ලයින් කාමරවලින් කොටසක්

42 හැවිරිදි ආර්. ආනන්දකුමාර් වත්තේ වැඩ කොන්දේසි නරක බවත් ඒ පිලිබඳව කතා නොකරන ලෙස ඔහුට කලින් අවවාද කර ඇති බවත් කීවේ ය.

“දෛනික ඉලක්කය ලෙස අපි තේ දලු කිලෝ 18ක් කැඩිය යුතු අතර, ගෝනි බරට කැපිය යුත්තේ එක් කිලෝවක් වුවත් කලමනාකාරීත්වය කිලෝ දෙකක් හෝ තුනක් අඩුකරනවා. කවුරු හරි මේක අභියෝගයට ලක්කලොත් ඔහු හෝ ඇය ව දඩයමට ලක්වෙනවා. මේ වත්තේ නිවාඩු ගැනීම හරි ම අසීරු යි.”

රෝගී තත්ත්වය හේතුවෙන් කාන්තා කම්කරුවන්ට නියමිත ගර්භනී නිවාඩු කාලයට වඩා මාසයක් වැඩියෙන් නිවාඩු ගතහොත් ඔවුන්ගේ වැඩ නවත්වන බව ආනන්දකුමාර් සඳහන් කලේ ය. “අපේ අයිතීන් වෙනුවෙන් සටන් නො කරන වෘත්තීය සමිතිවලින් වැඩක් නැහැ. මේ සියලු වෘත්තීය සමිති අපේ වැටුප් අරගලය පාවා දුන්නා.”

31 හැවිරිදි එස්. ප්‍රභාකරන්, කිසිදු වෘත්තීය සමිති නායකයෙක් ගින්නේ පසු වත්තට නොපැමිනි බවත් නිවාස අහිමි වුනු කම්කරුවන්ට හෝ ඔවුන්ගේ පවුල්වලට කතාකිරීමක් වත් කර නැති බවත් පැවසී ය.

“අපේ වැටුප් අරගලය පාවාදීමේ බිය නිසා ඔවුන් එන්නට බය යි. රුපියල් 150 වාරිකය වෘත්තීය සමිතියට ගෙවීම ප්‍රතිඵල රහිත නිසා එය ගෙවීම නැවැත්වීමට අපි තීරනය කලා. අපේ අයිතීන් වෙනුවෙන් අපි ම සටන් කරන්න කැමතියි” යි ඔහු කීවේ ය.

වතු කලමනාකාරීත්වයට ආදායම් බෙදාගැනීමේ ක්‍රමය හඳුන්වාදීමට අවශ්‍ය බව ඔහු වැඩිදුරටත් කීවේ ය. “අපි ඒ ක්‍රමයට විරුද්ධ වුනා, ඒක තාවකාලික ව නැවැත්වූවා. කැලනිවැලි සමාගමට ම අයත් තිල්ලේරිය වත්තේ මේ ක්‍රමය ක්‍රියාත්මක කල නමුත් එහි කම්කරුවන් දැන් ගැටලු රාශියකට මුහුන දෙනවා.”

21 හැවිරිදි මවක් වන එස්. රන්ජිනී වසර තුනහමාරක් තිස්සේ වත්තේ වැඩකරන අනියම් කම්කරුවෙකි. “මං වගේ තව අනියම් කම්කරුවන් කිහිප දෙනෙක් සිටියත් සමිති අපි ව ස්ථීර කරන්න සටන් කරන්නෙ නැහැ. මට දවසකට කඩන්න පුලුවන් දලු කිලෝ 10ක් විතරක් හින්ද මට දවසකට ගෙවන්නෙ රුපියල් 300 ක් පමනයි. මම තේ ෆැක්ටරියෙ වැඩකලා නම් රුපියල් 500 ක් ගන්න තිබුන වුනත් ෆැක්ටරිය දැන් වහල.”

දැවුනු කාමර තුල සුන්බුන් අතර

හිටපු තේ ෆැක්ටරි සේවකයන් 60 දෙනෙකු ක්ෂේත්‍ර වැඩවලට මාරු කර ඔවුන්ගේ වැඩ දින ගනන අඩු කර ඇති බව තවත් කම්කරුවෙක් විස්තර කලා ය. “අනාගතේ අපේ රස්සාවල් ගැන සහතියක් නැහැ”යි ඇය කීවා ය.

රොබ්ගිල් කම්කරුවන් මුහුන දෙන කොන්දේසි, වැටුප් හා ජීවන තත්ත්වයන් ඉහල දමාගැනීමට කටුක අරගලයන්හි නිරත ව ඇති කම්කරුවන් සිටින ශ්‍රී ලංකාව පුරා තේ වතුවල කම්කරුවන් මුහුන දෙන කොන්දේසිවලට උදාහරනයකි.

වතු කම්කරුවෝ පසුගිය වසරේ ඔක්තෝබරයේ තම දෛනික රුපියල් 500 සිට 1,000 දක්වා සියයට 100කින් වැඩිකරන ලෙස ඉල්ලා අධිෂ්ඨානවත් අරගලයක් ඇරඹූ හ. දෙසැම්බරයේ වතු කම්කරුවන් 100,000කට අධික පිරිසක් දියත් කල දින නවයේ ජාතික වර්ජනය තුල මෙම අරගලය කුලුගැන්වුනි.

දේශපාලන උපාමාරුවල හා රහස් කාමර සාකච්ඡාවල සති කිහිපයකට පසු ලංකා කම්කරු කොංග්‍රසය හා ලංකා ජාතික වතු කම්කරු සංගමය කම්කරුවන්ගේ ඉල්ලීම් මුලුමනින්ම පාවාදෙන සාමූහික ගිවිසුමකට පසුගිය සඳුදා අත්සන් තැබූ හ. නායකයන් ආන්ඩුවේ ඇමතිවරුන් වන ජාතික කම්කරු සමිතිය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුන හා කඳුරට ජනතා පෙරමුන ඇතුලු අනෙකුත් වතු වෘත්තීය සමිති මෙම ද්‍රෝහීත්වයට ආධාර හා පිටුබලය දුන් හ.

මෑත වැටුප් අරගලය තහවුරු කරන පරිදි, හාම්පුතුන්ගේ ලාබ, ආන්ඩුව හා සමස්ත ධනේශ්වර පද්ධතිය ආරක්ෂා කරන වෘත්තීය සමිති විසින්, වතු කම්කරුවන්ගේ වැටුප්, වැඩ කොන්දේසි සහ ඔවුන්ගේ පවුල්වලට නවීන හා ආරක්ෂිත නිවාස සම්පාදනය කිරීම සහතික නො කරනු ඇත.

වනාකඩු කොටසේ ගින්නෙන් නිවාස අහිමි වූවන් හා අනෙකුත් රොබ්ගිල් වතු කම්කරුවන් ඇබොස්ලී වත්තේ කම්කරුවන් විසින් දී ඇති දේශපාලන නායකත්වය අනුගමනය කරමින්, ආරක්ෂිත හා සුරක්ෂිත වාසස්ථාන, ශිෂ්ට සම්පන්න වැටුපක් හා අනෙකුත් සමාජ අයිතීන් සඳහා සටන් වැදීමට ඔවුන්ගේ වත්තේ කම්කරු ක්‍රියාකාරී කමිටුවක් ගොඩනැගිය යුතු ය.

අවශ්‍ය කරන්නේ වෘත්තීය සමිතිවලින් මුලුමනින් ම බිඳී, වතු මහජන හිමිකාරීත්වය හා කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ තැබීම ඇතුලු සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා කරන අරගලයේ පදනම මත ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ අනෙකුත් කොටස් වෙත හැරීම යි.

කතුවරු පහත ලිපිය ද අනුමත කරයි

ශ්‍රී ලංකාවේ වතු කම්කරු වර්ජනයේ ජාත්‍යන්තර අර්ථභාරය

Share this article: