පෙරටුගාමී සමාජවාදී පක්ෂය ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන්ට දේශපාලන උගුලක් අටවයි

Frontline Socialist Party prepares political trap for Sri Lankan plantation workers

කේ. රත්නායක විසිනි, 2019 පෙබරවාරි 21

පෙරටුගාමී සමාජවාදී පක්ෂය හා එය සමඟ ගොනුවී ඇති සංවිධාන, යහපත් ජීවන කොන්දේසි හා සාධාරන වැටුපක් සඳහා වතු කම්කරුවන් විසින් ගෙනයන දිග්ගැස්සුන අරගලය, වතු හිමියන්ට හා ආන්ඩුවට නිරර්ථක ඉල්ලීම් ඉදිරිපත් කිරීම තුලට හරවා යැවීමේ උත්සාහයක නිරතව සිටිති.

ව්‍යාජ වාම සංවිධානයේ එම උද්ඝෝෂනය, ගැඹුරු අර්බුදයකට පාලක පන්තිය මුහුනදී සිටීමත් වෘත්තීය සමිති කෙරෙහි වතු කම්කරුවන් තුල වැඩෙන සතුරු කමත් මධ්‍යයේ දැක්වෙන ප්‍රතිචාරයකි. කම්කරුවන් සමිති වලින් බිඳෙමින් හාම්පුතුන්ටත්, ආන්ඩුවටත්, ධනපති ක්‍රමයටත් විරුද්ධව ස්වාධීන අරගලයකට පෙරමුන ගැනීම වැලැක්වීමට පෙසප අදිටන් කරගෙන සිටියි.

පසුගිය දෙසැම්බරයේදී ලක්ෂයක් වතු කම්කරුවෝ දින 9ක් තිස්සේ වැඩවර්ජනයක් ගෙන ගියේ, දිනක වැටුප රුපියල් 1000 දක්වා දෙගුනයකින් වැඩි කරන ලෙස ඉල්ලමිනි. රට පුරා ගෙනගිය වැඩ වැරීම නතර කරවමින් වතු සමිති එය පාවා දුන්නෝය.

ජනවාරියේදී ආන්ඩුවේ ද සහාය ලබමින් සමිති රහසේ වතු සමාගම් සමඟ ගිවිසුමක් අත්සන් කලහ. පාවාදීමේ ගිවිසුමට ඇතුලත්වුයේ රුපියල් 500 සිට 700 දක්වා නාමික වැටුප වැඩි කිරීමක් සමග කොන්ද කැඩෙන වැඩ වේගවත් කිරීමකි.

2012 දී පෙසප පිහිටුවා ගත්තේ, කොලඹ පාලනය බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහිව ගෙනගිය වර්ගවාදී යුද්ධයටත් ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එය එල්ල කල ප්‍රහාරයන්ටත් සහයෝගය දීම නිසා තරයේම අපකීර්තියට පත්ව සිටි ජවිපෙන් කැඩී ගිය කන්ඩායමක් විසිනි. එහි ආරම්භකයින් පැවසුවේ, තමන්ට ජවිපෙ සමඟ මතභේද ඇති බවයි. “ස්වයං විවේචනයක” යෙදෙමින් පෙසප “වමට” ගමන් කරන බව පැවසීය.

පෙසප තමන් අටවාගත් සංවිධානවන ඊනියා “1000 (රුපියල්) ව්‍යාපාරය,” වතු කම්කරු මධ්‍යස්ථානය, කම්කරු අරගල මධ්‍යස්ථානය හා ජාතික අරගල මධ්‍යස්ථානය ද අනෙකුත් “වමේ” කන්ඩායම්, වෘත්තීය සමිති මෙන්ම ජවිපෙ ද සම්බන්ධ පුලුල් වමේ සන්ධානයක් සඳහා කැඳවුම් කලේය.

පෙබරවාරි 4දා පෙසප වතු කම්කරු මධ්‍යස්ථානය (ඊඩබ්ලිව්සී) බන්ඩාරවෙලදී සමුලුවක් පැවැත්වූ අතර ප්‍රසිද්ධ රැස්වීම් මාලාවක් ද පැවැත්වීය. එහි නායකයා ද ඊඩබ්ලිව්සීයේ ලේකම් දුමින්ද නාගමුව ද සමුලුවේදී පැවැත්වූ කථා පෙසප දේශපාලනිකව හෙලිදරව් කරයි.

වතුවල තිබෙන දුගී සමාජ කොන්දේසි වලට පිටින් වතු සමාගම් දැවැන්ත ලාභ උපයා ගන්නා බව නාගමුව පැවසීය. කම්කරුවෙකුට දිනකට රුපියල් 1000ක් ගෙවීම අමාරු නැත. ඉන්පසුව ඔහු, අරගලය විකුනා දැමූ සාමූහික ගිවිසුමට අත්සන් තැබීම ගැන ලංකා කම්කරු සංගමය (සීඩබ්ලිව්සී) හා ලංකා ජාතිකවතු කම්කරු සංගමය විවේචනය කලේය.

ඉන්පසු නියම අවස්ථාවාදී විලාසයෙන් නාගමුව කියා සිටියේ, රුපියල් 1000 දෛනික වැටුප “දිනාගත හැකි හොඳම අවස්ථා අත ලඟම ” තිබෙන බවයි. “මේ සියල්ලෙන් වඩාත්ම වැදගත් එක, ඊලඟ නව මාසය තුල පැවැත්වෙන ජනාධිපතිවරනයත් ඇතුලු එලඹෙන මැතිවරනයි.”

“සියලු දේශපාලන පක්ෂ ඔබගෙන් ඡන්දය ඉල්ලීමට පැමිනෙනු ඇත. එලඹෙන මාසවලදී අපට මහජන ව්‍යාපාරයක් ගොඩනැඟිය හැකි නම් අපට දිනිය හැක” ඔහු පැවසීය. නාගමුව “1000 ව්‍යාපාරයට” සහාය දැක්වීමට ඉදිරිපත්ව සිටින සමිති, ශිෂ්‍ය කන්ඩායම් හා අනෙකුත් සංවිධාන ගැන ද සඳහන් කලේය.

වෙනත් වචන වලින් කිවහොත්, පෙසප “පුලුල් පෙරමුනක්” සඳහා ගෙන යන උද්ඝෝෂනය යොමුවී ඇත්තේ, වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් ඉල්ලීම වන රුපියල් 1000 සඳහා ආන්ඩුවට, ධනපති පක්ෂ වලට හා සමාගම් වලට බලපෑම් දැමීමටය. මෙය වනාහි, පසුගිය මාස 4 තුල පමනක් කම්කරුවන් ලබා ඇති කටුක අත්දැකීම් වලින් කුඩු පට්ටම්ව ගිය මිත්‍යාවන්ට යලි පන දීමේ නරුම උත්සාහයකි.

දැවැන්ත ලාභ උපයා ගන්නා අතරම වතු සමාගම්, සිය ආන්තික ලාභ සීමා රැකගැනීම පිනිස ශ්‍රම පිරිවැය කැපීම හා තියුනු ලෙස නිෂ්පාදනය වැඩිකර ගැනීමට වෑයම් කරන්නේ, අනෙකුත් තේ නිෂ්පාදනය කරන රටවල උග්‍ර තරඟයට මුහුනදෙන තත්වයකය. සාමූහික ගිවිසුමෙන් දී තිබෙන සොච්චම් වැටුප් වැඩිකිරීමත් සමග, වඩාත් රුදුරු ලෙස පලදායිතාව තවතවත් වැඩිකිරීමට යොමුවී සිටීන්නේ මේ නිසාය.

ධනපති ගැති කෘෂිකර්ම හා ඉඩම් ප්‍රතිසංස්කරන ව්‍යාපාරය (මොන්ලාර්), ලංකා ගුරු සංගමය (ලංගුසං), නිදහස් වෙලඳ කලාප හා පොදු කම්කරු සංගමය හා ඊනියා ප්‍රැක්සිස් සාමූහිකය පෙසප “1000 ව්‍යාපාරයට”සම්බන්ධ අනෙක් සාමාජිකයෝ වෙති.

මොන්ලාර් ඇතුලු රාජ්‍ය නොවන සංවිධාන ද ලංගුසං, නිදහස් වෙලඳ කලාප හා පොදු කම්කරු සංගමය ද විවිධාකාර ව්‍යාජ වාම සංවිධාන ද 2015 ජනාධිපතිවරනයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කිරීමේ, ඇමරිකාව පිටුබලය දුන් තන්ත්‍ර මාරු මෙහෙයුමට සම්පූර්න සහාය දුන්නෝය. ජනාධිපති මහින්ද රාජපක්ෂට බීජිනය සමඟ පැවති දේශපාලන සම්බන්ධකම් නිසා ඔහුට සතුරුව සිටි වොෂින්ටනයට රාජපක්ෂ ඉවත් කිරීමට අවශ්‍යව තිබුනි.

ලංගුසං හා නිවෙක හා පොදු කම්කරු සංගමයට, සිය ක්ෂේත්‍රයන්හිදී කම්කරුවන් පාවාදීම සම්බන්ධයෙන් දිගු හා කැත වාර්තාවක් තිබේ. ප්‍රැක්සිස් සාමූහිකයේ පැත්තෙන් එය, ග්‍රීසියේ සිරිසාවට පිටුබලය දුන්, ඊනියා “වාම ජනතාවාදයේ” ප්‍රමුඛ න්‍යායාචාර්ය වරයෙකු වන චැන්ටාල් මූෆ් හුවා දක්වයි. සිරිසා ආන්ඩුව විසින් ක්‍රියාවට නගන්නේ කම්කරු පන්තිය හා දුගී ජනතාව එල්ල කර ගෙන යුරෝපීය බැංකු හා මූල්‍ය ආයතන විසින් අනවනු ලැබ ඇති රුදුරු කප්පාදු පියවරයන් ය.

පෙසප ද ඇතුලු මේ සංවිධානවල කැපී පෙනෙන ලක්ෂනය වන්නේ, සමාජවාදය සඳහා සටන කෙරෙහි ඔවුන් දක්වන සතුරුකම හා ශ්‍රී ලංකාවේ ද ජාත්‍යන්තරව ද වෘත්තීය සමිති වලට එරෙහිව කම්කරුවන්ගේ නැඟී එන කැරැල්ල පිලිබඳව ඇති ඔවුන්ගේ තැතිගැන්මයි.

පසුගිය සිව් මාසය තුල වතුකරයේ පැනනැඟි බොහෝ වැඩවර්ජන හා විරෝධතා සමිතිවල අන නොතකා පැනනැඟි ඒවාය. සීඩබ්ලිව්සී, ලංකා ජාතික වතු කම්කරු සංඟමය, කම්කරු ජාතික සංඟමය, ප්‍රජාතන්ත්‍රවාදී මහජන පෙරමුන හා කඳුරට මහජන පෙරමුන යන සියලු සමිති, වතු සමාගම් වෙනුවෙන් කාර්මික පොලිසියක් ලෙස කටයුතු කිරීම නිසා තරයේම අපකීර්තියට පත්ව ඇත. සමිති නායකයින් ගෙන් බොහොමයක් පවතින හෝ පැවති ධනපති ආන්ඩුවල ඇමතිවරුන් ලෙස කටයුතු කරයි.

සමාජවාදී සමානතා පක්ෂය විසින් කරන ලද කැඳවුමට අනුව ඇබෝට්ස්ලි වත්තේ කම්කරුවෝ ස්වාධීන ක්‍රියාකාරී කමිටුවක් ගොඩනැඟුවේ ද එම කැඳවුමට කම්කරුවන් අතරින් උනුසුම් සහයෝගයක් පලව ඇත්තේ ද මේ නිසාය.

ව්‍යාජ වාම පෙසප හා එහි විවිධ අනුචරයින්ගෙන් වතු කම්කරුවන් ප්‍රවේශම් විය යුතුය. වතු සමිති ගැන “විවේචනවලින් ” සැඟවී ගත් මේ කන්ඩායම්, කම්කරුවන් ස්වාධීන දේශපාලන බලවේගයක් ලෙස සංවිධානය වීමට සතුරුය.

සමාජවාදී හා ජාත්‍යන්තර ඉදිරිදර්ශනයකට එරෙහිව පෙසප වතු කම්කරුවන්ට කියන්නේ, “ඉඩමක් සඳහා සටන් කිරීමටත් නිවසක් ද පෞද්ගලික ලිපිනයක් හා මාසික වැටුපක් දිනාගැනීමටත්” පොදු වෘත්තීය සමිතියක් ගොඩනගන ලෙසය. වෙනත් වචන වලින් කිවහොත්, ව්‍යාජ වාම සංවිධානය, කම්කරුවන් මුහුනපා සිටින සමාජ අර්බුදයට වගකිවයුතු එම ධනපති ක්‍රමයටම වතු කම්කරුවන් යටත් කිරීමට උත්සාහ දරයි.

යථාර්තය නම්, විශාල වතු, සමාගම් සතුව හා ඒවායේ පාලනය යටතේ පවතිනා තාක්, වතු කම්කරුවන්ට සිය ජීවන හා සමාජ කොන්දේසි ඉහල නංවාගත නොහැකි බව දශක ගනනාවක අත්දැකීම් වලින් පෙන්නුම් කර තිබීමයි.

වතු සමාගම් හා ආන්ඩුව විසින් කම්කරුවන්ට එරෙහි ප්‍රහාරය තියුනු කිරීම, සෑම රටකම කම්කරු පන්තියට හා එහි මූලික අයිතීන්ට එල්ල කරනු ලබන පුලුල් ප්‍රහාරයක කොටසකි.

නැඟී එන නය අර්බුදයකට මුහුනපා සිටින ආන්ඩුව, රැකියා වැනසීම, රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරනය, දුගී ජනතාවගේ සහනාධාර හා ශුභ සාධන වැඩසටහන් කපා හැරීම ඇතුලු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු ඉල්ලීම් ක්‍රියාවට නැඟීම පිනිස මුලුමනින්ම කැපවී සිටියි.

කම්කරු හා පීඩිත ජනතාවට තම ජීවන තත්වය ඉහල නංවාගත හැක්කේ ද අනාගත සුරක්ෂිත භාවය අත්කරගත හැක්කේ ද විශාල වතු, බැංකු හා ප්‍රධාන සමාගම් පොදු අයිතියට ගෙන කම්කරු පාලනය යටතට පත් කිරීමෙනි. මේ සඳහා විප්ලවකාරී සමාජවාදී වැඩපිලිවෙලක් පදනම් කරගත් කම්කරු ගොවි ආන්ඩුවක් සඳහා සටන් වැදිය යුතුය. එවන් අරගලයක් පෙරට යනු ඇත්තේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ එක්සත් කම තුලින් පමනි.

පෙසප වැනි ජාතිකවාදී සංවිධාන, එවන් ක්‍රියාමාර්ගයකට සතුරුය. ආරම්භයේ පටන්ම පෙසප, ග්‍රීසියේ සිරිසාව හා ස්පඤ්ඤයේ පොඩෙමොස් පිලිබඳව මිත්‍යාවන් වැපිරුවෝය. පුලුල් ජනතා ව්‍යාපාරයන් සඳහා මොඩලයක් ලෙස ඒවා හුවා දක්වමින් පෙසප, ග්‍රීක හා ස්පාඤ්ඤ කම්කරුවන්ට ඔවුන් එල්ල කල ප්‍රහාර වසං කලේය. පෙසප මෙරට තුල අනුගමනය කරන්නේ ද එම ප්‍රතිගාමී මාවතම ය.

කම්කරුවන්ට, තරුනයින්ට හා ප්‍රගතිශීලී බුද්ධිමතුන්ට සසප කියන්නේ, පෙසප විසින් අටවනු ලබන දේශපාලන උගුල ප්‍රතික්ෂේප කර මාර්තු 17දා හැටන් නගර ශාලාවේ ඇබොට්ස්ලී වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව විසින් කැඳවා ඇති සමුලුවට සහභාගී වන ලෙසයි. “වතු කම්කරු අරගලයේ පාඩම් හා වැටුප් ද සමාජ අයිතීන් ද දිනාගැනීමේ ඉදිරි මාවත” නමින් කැඳවා ඇති සමුලුව අරමුනු කරන්නේ, වතු කම්කරුවන් මුහුන දෙන ප්‍රශ්න පිලිබඳ අව්‍යාජ දේශපාලන සාකච්ඡාවක් විවෘත කර ගැනීමයි.

කතුවරයා තවදුරටත් අනුමත කරන ලිපි

ශ‍්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය එක්සත් සමාජවාදී පක්ෂයට පිලිතුරු දෙයි

ශ්‍රී ලංකාවේ සසප "වාමාංශිකයන්ගේ සංවාදයක්" සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ආරාධනය ප‍්‍රතික්ෂේප කරයි

Share this article: